Divaina - මහනකමට ගියාම කුරුම්බා ගෙඩි කඩන්න කීවා; මට ඒකට කේන්ති ගියා... අත්තනගලූ ඔයේ ගිලෙන්න ගිහින් අනූනවයෙන් බේරුණේ...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

dalai


* පිරිවෙනට ගියාට මාස අටක් යනකම් පන්සලක් මුර කරන්න වුණා...
* අත්තනගලූ ඔයේ ගිලෙන්න ගිහින් අනූනවයෙන් බේරුණේ...

 දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදු දහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ -10



තරංග රත්නවීර

ලොවේ විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය.

මම නැවත පන්සලට යනවට ලොකු අක්කගෙත් වැඩි කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මම පන්සලට ගියා. ඈත තියා මාව දකිනකොට ලොකු හාමුදුරුවන්ගෙ මුහුණ මලක් වගේ පිපුණා. ඒ විරල හිනාවට මගේ හිතේ තිබුණු බය අන්තරස්දාන වුණා. නායක හාමුදුරුවන්ගේ දෙපා නමස්කාර කර ‘අපේ හාමුදුරුවනේ, මම ආවේ ඔබ වහන්සේගෙන් සමාව අරගෙන යන්න...’ ලොකු හාමුදුරුවො ඔලූව අතගාලා ආශිර්වාද කරලා ‘හැතැම්ම ගාණක් පයින් ඇවිත් මහන්සි නොවැ. දාන ශාලාව පැත්තට ගිහින් තියන දෙයක් කාලා ඉන්න...’ බොහෝම කරුණාවන්ත ලීලාවෙන් උන්නාන්සේ කතා කළා...

දවාලට කාලා, හවසට තේ කහට එකක් බීලා පන්සලෙන් පිට වෙන්න හදනකොට ‘මොකද ඔය හදිස්සිය... එක දවසක් ඉඳලා හීමිට යන්න... ලොකු හාමුදුරුවන්ගේ කීම අහලා එදා ? පන්සලේ නතර වුණා. ඊළඟ දවසෙ හවස පන්සලෙන් යන්න හදනකොට ‘ඔය ආපු එකේ ටික දවසක් ඉඳල යන්න’ ලොකු හාමුදුරුවන්ගේ ඒ ඉල්ලීමත් පිළිගත්තා. දවස් තුනක් විතර යනකොට ලොකු හාමුදුරුවො මගෙන් අහනවා ‘ආයෙමත් මහණ වුණොත් හොඳයි නේද...’ කියලා. එතකොට මටත් ඕන වෙලා තිබුණේ නැවත මහණ වෙන්න. ඒ වචන ටික උන්වහන්සේගේ කටින්ම එනකං තමයි මමත් බලාගෙන හිටියේ...

‘මේ සැරේ මහණ වුණොත් පන්සලේ ඉන්න බෑ... මාව පිරිවෙණකට දාන්න ඕනෑ...’ මම ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා...

‘ඒක මහ කජ්ජක්ද... මම දන්න උන්නාන්සේ නමක් ඉන්නවා ගම්පහ බැන්ඩියමුල්ල පිරිවෙනේ. මම උන්නාන්සේට කියලා පිරිවෙනට යන්න ලෑස්ති කරලා දෙන්නම්. ඊට ටික දවසකට පස්සෙ පුංචි උත්සවයක් කරලා, පරණ විදිහටම පැවිදිකමට ඕනෑ කරන දේවල් කියවලා ‘හේනෙපොළ ගුණරතන’ නමින්ම නැවත මහණ කළා...

සිවුරු දැම්මට පස්සෙ උදේ, හවස බුදුන් වැඳගෙන, පන්සලේ වැඩ ටික කරගෙන පාඩුවේ හිටියා. ලොකු හාමුදුරුවොත් නිස්කාරනේ බණින්න ගහන්න ආවේ නෑ. හරිම ළෙන්ගතු විදිහට කතා බහ කළා. මහණ වෙලා මාස දෙකක් විතර යනකොට අපේ ලොකු හාමුදුරුවෝ, සියඹලන්ගොඩ ධම්මක්ඛන්ධ උන්නාන්සේට කතා කරලා බැන්ඩියමුල්ලෙ විද්‍යාසේකර පිරිවෙනට මාව ඇතුළත් කරන්න කටයුතු සූදානම් කළා. ඒ කටයුතු සූදානම් කළෙත් විස්තරය ලියපු පෝස්ට් කාඞ් එකකින් දැනුම් දීලා. අපේ ලොකු හාමුදුරුවො පන්සලෙන් බැහැරට වැඩියේ නුවර පන්සල්වල මහණ පින්කමකට විතරයි. බැන්ඩියමුල්ල විද්‍යාසේකර පිරිවෙනට මාව එක්කරගෙන ගියෙත් සියඹලන්ගොඩ ධම්මක්ඛන්ධ උන්නාන්සේ.

1942 අවුරුද්දේ දවසක්. එතකොට මට අවුරුදු පහළොව අවසාන වෙලත් නෑ. බැන්ඩියමුල්ල පිරිවෙනේ ඉගෙනගන්න හිටිය සේරම භික්‍ෂුන් වහන්සේලා පෙනුමෙන් සම වයස්වල පොඩි හාමුදුරුවෝ. එතකොට පරිවෙනාධිපති වහන්සේ විදිහට වැඩ හිටියේ නාපාගොඩ සීලවංශ නායක හාමුදුරුවෝ. එතකොට විද්‍යාසේකර පිරිවෙන ගොඩක් දුප්පත්. ගොඩනැඟිලිවල වහළවල් දිරාපත් වෙලා, වැස්සට හිල් කූඩයකින් වතුර බේරෙනවා වගේ තෙමෙනවා. පිරිවෙනේ ඉගෙනගන්න හිටිය පොඩි හාමුදුරුවන්ට තිබුණු ආවාසගේත් ජරාජීර්ණ වෙච්ච තනි ගොඩනැඟිල්ලක්. බිත්ති බැඳලා තිබුණේ බාගෙට. දූවිලි පිරිලා. බල්ලො ලැගලා කිනිතුල්ලො, මැක්කො පිරිලා. නිල මැස්සො සිවුරු අස්සෙත් රිංගනවා. ඒ ගොඩනැඟිල්ල හරක් මඩුවක් වගෙයි. ඒත් සාමණේර හාමුදුරුවන්ට ඉන්න වෙනත් තැනක් තිබුණේ නෑ. අම්බලම්වල නිදාගත්ත මට නම් එතැන තවත් එක් නවාතැන් පළක් පමණක් වුණා. ඒත් මට පිරිවෙනෙ ඉන්න ලැබුණේ සති දෙකකටත් අඩු කාලයක්. පරිවෙනාධිපති වහන්සේ නාපාගොඩ සීලවංශ හාමුදුරුවො කියලා සියඹලන්ගොඩ ධම්මක්ඛන්ධ උන්නාසේ මාව නිට්ටඹුව, නාපාගොඩ පන්සලට එක්කරගෙන ගියා. ඉගෙනගන්න ආපු මට පන්සලක් මුර කරන්න වුණා...

ඒ පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ හෙයියන්තුඩුවේ අරියවංශ හිමි සිවුරු අරින්න තීරණය කරලා පන්සල සීලවංශ හාමුදුරුවන්ට භාර දීලා තිබුණා. නාපාගොඩ සීලවංශ හාමුදුරුවන්ට පන්සලේ භාරකාරත්වය ලබාදීම සම්බන්ධයෙන් දරණාගල උපනන්ද හාමුදුරුවෝ නඩු මගට ගියා. නාපාගොඩ සීලවංශ හාමුදුරුවෝ වෙනුවෙන් උසාවියට වැඩම කළෙත් සියඹලන්ගොඩ ධම්මක්ඛන්ධ උන්නාන්සේ. ඒ දෙනම හරිම එකමුතුයි. ධම්මක්ඛන්ධ උන්නාන්සේ දක්‍ෂ පෙරකදෝරු මහත්වරු අල්ලලා නඩු කියලා පන්සලේ අයිතිය සීලවංශ හාමුදුරුවන්ට ලබාගත්තා. මම තමයි ඒ පන්සලේ ලොකු හාමුදුරුවො වුණේ... මමත් පොඩි හාමුදුරුනමක් නිසා ගමේ කොල්ලො කුරුට්ටො නිතරම පන්සලට ආවා ගියා. සීලවංශ හාමුදුරුවන්ගේ අනුදැනුම මත සමහර කොල්ලො පන්සලේ නතර වෙලා හිටියා. ඒ ළමයි විසේකාරයි. සමණේර හිමිනමක් නිසා මාව තුට්ටුවකට මායිම් කළේ නෑ. ඒ නිසා ඒ ළමයිත් එක්ක නිතර අඩදබර ඇති කර ගන්න මට සිද්ධ වුණා. පොඩි මහත්තයා විතරයි ටිකක් හරි මට පක්‍ෂව හිටියේ. එයත් නාපාගොඩ ගමේ ළමයෙක්. අපි දෙන්නා එකතු වෙලා පන්සල් වත්තේ තැඹිලි ගස්වල වලූ කපලා කඩවලට විකුණලා සල්ලි ගත්තා. ඒ සල්ලිවලින් කඩෙඅප්පන් ගෙනත් දෙන්නා එක්ක කෑවා. පන්සලට දානය ලැබුණෙත් නෑ. හැමදාම උදේට පිණ්ඩපාතය කරගෙන ඇවිත් තමයි මම දානය වැළඳුවේ. ඒ ලැබෙන දානයෙන් කොටසක් පොඩි මහත්තයටත් දීලා, පන්සලේ ඉන්න සතුන්ටත් කන්න දුන්නා. එක දවසක් මට හිතුණා අද පිණ්ඩපාතය වඩින්න බෑ කියලා. ටිකක් දවල් වෙලා බඩ ගිනියම් වෙනකොට පොඩි මහත්තයට කිව්වා පාන් ගෙඩියක් ගේන්න කියලා...

‘මට බෑ කඬේ යන්න...’ පොඩි මහත්තයා ගත් කටටම එහෙම කිව්වා.

‘පාරේ යන මිනිහෙකුට සල්ලි දීලා මම පාන් ගෙඩියක් ගෙන්න ගන්නවා. කෑලි ඉල්ලගෙන එන්න එපා...’ මමත් පොඩි මහත්තයාට සැරෙන් කිව්වා. ඒ කතාවට පොඩි මහත්තයට කේන්ති ගියා. බොහෝම නරක විදිහට බැණලා, කුණුහරුපයක් කියාගෙන මගේ දිහාට එනකොටම මම පයින් පාරක් ගැහුවා. මිනිහව කරකැවිලා ගිහින් කබරයා පොලොවෙ ගැහුවා වගේ ඇදගෙන වැටුණා. නැඟිටින්න දෙන්නෙ නැතිව තවත් දෙකක් ගැහුවා. මිනිහා හොඳටම බය වුණා. ටික වේලාවක් අඬ, අඬ ඉඳලා ඇඳුම් කෑලි දෙක, තුනත් ඔතාගෙන පන්සලෙන් යන්න ගියා. ඊට ටික දවසකට පස්සෙ සීලවංශ ලොකු හාමුදුරුවො පන්සලට වැඩම කරපු අවස්ථාවක පොඩි මහත්තයා කෝ කියලා මගෙන් ඇහුවා...

‘පොඩි මහත්තයා කුණුහරුපෙන් මට බැන්නා. මම ගැහුවා...’ හැංගි මුත්තන් නැතිව වෙච්ච දේ කෙළින්ම කිව්වා.

‘එහෙම නම් අර ගහට ගිහින් කුරුම්බා ගෙඩියක් කඩාගෙන එනවා මට බොන්න...’ සීලවංශ හාමුදුරුවන්ගේ කතාවට මට නොසෑහෙන්න කේන්ති ගියා.

‘හාමුදුරුවනේ, මම මහණ වුණේ කුරුම්බා කඩන්න ගස් නඟින්න නෙමෙයි. මහණදම් පුරන්න. මට ගස් නගින්න බෑ. හාමුදුරුවන්ට ඕන කෙනෙකුට කියලා කඩා ගන්න...’ කේන්තියෙන් වගේ මම එහෙම කිව්වා. පුංචි සන්දියේ ඉඳලා අසාධාරණය මට පේන්න බෑ. සීලවංශ හාමුදුරුවොත් වරදක් වෙච්ච බව තේරුම් අරගෙන ශබ්ද නැතිව හිටියා...

විද්‍යාසේකර පිරිවෙනේ ඉගෙනගන්න ගිය මම නාපාගොඩ පන්සලේ මාස අටක් හිටියා. ඒ කාලය පුරාවට බාලාවතාරයෙහි මුල් ගාථාව විතරයි ඉගැන්නුවේ. සීලවංශ හාමුදුරුවෝ ඒ ගාථාව ඉගැන්නුවෙත් යන, එන ගමන්. ඒත් මම බාලාවතාරය සම්පූර්ණයෙන්ම කටපාඩම් කළා. කවි පදවලට ඕන කරන සූත‍්‍ර, පද හැදුණු හැටි සේරම මට කටපාඩම්. ඒත් මට පිරිවෙන් අධ්‍යාපනය ලබාගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ‘අද පිරිවෙනට එක්කරගෙන යයි... හෙට එක්කරගෙන යයි...’ කියලා මාස අටක් බලාගෙන ඉඳලා බැරිම තැන මලන්දෙණිය පන්සලේ කිරිබත්කුඹුරේ සෝනුත්තර ලොකු හාමුදුරුවන්ට ලියුමක් ලියලා ‘පිරිවෙනට ඇවිත් මාස අටක් වෙනවා. තාම ඉගෙනගන්න ලැබුණේ නෑ. මට පන්සල් රකින්න වෙලා...’ කියලා දැනුම් දුන්නා. මගේ ලියුම් කඩදහිය කියවලා අපේ ලොකු හාමුදුරුවන්ට නොසෑහෙන්න කේන්ති ගිහින් තිබුණා...

‘ධම්මක්ඛන්ධ... අපේ උන්නාන්සේව පිරිවෙනට භාර දෙනවා. නැති නම් පන්සලට ගෙනත් ඇරලවනවා...’ කියලා අපේ නායක හාමුදුරුවෝ ධම්මක්ඛන්ධ උන්නාන්සේට පෝස්ට් කාඞ් එකක් යවලා තිබුණා. ඒ කාලේ ප‍්‍රදේශයේම හාමුදුරුවෝ මලන්දෙණිය පන්සලේ නායක හාමුදුරුවන්ට බයයි. අපේ ලොකු හාමුදුරුවන්ට පොඞ්ඩෙදි කේන්ති යනවා. කියන දේ කෙළින්ම කියනවා. ලොකු හාමුදුරුවො පෝස්ට් කාඞ් එක යවලා සතියක් ගියේ නෑ. ‘පොඩි උන්නාන්සේ පොත්පත් ටික සේරම අරගෙන පිරිවෙනට එන්න...’ ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ මට ලියුම් කඩදහියක් එව්වා. පස්සෙ මම පොත්පත් ටිකත් උස්සගෙන පාරට ඇවිත් බක්කි කරත්තයක් නතර කරගෙන වේයන්ගොඩ ස්ටේෂන් එකට ගියා. කෝච්චි එන, යන වේලාවක් දැනගෙන හිටියේ නෑ. ගම්පහ ස්ටේෂන් එකේ නතර කරන කෝච්චියක් වේයන්ගොඩ ස්ටේෂන් එකට එන්නෙ තව පැය අටකින් කියලා දැනගන්න ලැබුණා. පැය අටක් කියන්නෙ බොහෝ වේලාවක්. දවල් දානය වළඳන්නත් ඕනෑ. කල්පනා කරලා ස්ටේෂන් එකේ සේවකයන්ගෙන් පාර අහගෙන ළඟම පන්සලට ගියා...

ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ බැහැදැකලා විස්තරය කියලා, ගම්පහට යන කෝච්චිය එනතුරු විවේක ගන්න අවසර ලබා ගත්තා. මම ලොකු හාමුදුරුවොත් එක්ක කතා බහා කරන අතරේ ආවාස ගේ ඇතුළෙන් පොඩි හාමුදුරුනමක් එබිකම් කර, කර බැලූවා. වයස අවුරුදු අටක විතර පොඩි හාමුදුරුනමක්. හරිම හුරුබුහුටියි. ඒ වගේම පින් පාටයි. දැකපු හැටියේ උන්නාන්සේ කෙරෙහි මාගේ සිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. ලොකු හාමුදුරුවො එක්ක කතා කර, ආවාස ගෙයින් එළියට පැමිණි විගස පොඩි හාමුදුරුවො මා ළඟට පැමිණියා. ‘ඔබ වහන්සේ කොහේ පන්සලේද... ඇයි මේ පන්සලට වැඩියේ...’ උන්නාන්සේ ප‍්‍රශ්න වැලක් ඉදිරිපත් කළා. හුරතල් විදිහට අහන ඒ සියලූ ප‍්‍රශ්නවලට මම උත්තර දුන්නා. ටික වේලාවක් යනකොට අපි දෙන්නා ගොඩක් හිතවත් වුණා...

‘හාමුදුරුවනේ, මට හොඳට පීනන්න පුළුවන්. අපි යමු නාන්න...’ පොඩි හාමුදුරුවන්ගේ යෝජනාවට මමත් කැමති වුණා. අත්තනගලූ ඔය ගලා බහින්නෙ පන්සල පිටුපසින්. ඔය හරිම පළලයි. ගැඹුරු ජල කඳක් ගලා බහිනවා. ඒ වගේම වේයන්ගොඩ නගරයේ කුණු කාණුත් හේදිලා ගිහින් ඔයට වැටෙන්නෙ ඒ කිට්ටුවෙන්. ගං දියේ කුණු ජරාවත් පිරිලා. නාන්න තියා වතුරට බහින්නවත් හිරිකිතයි. ඒත් ඔය අයිනට ගිය හැටියේ පොඩි උන්නාන්සේ සිවුර ගලවලා පැත්තකින් තියලා නානකඩය තදට ගැටගහාගෙන දියට පැන්නා. දිය යටින් යනවා... උඩින් එනවා... උඩු අතට පීනනවා... මාළුවා වගේ පීනගෙන උන්නාන්සේ එහා ඉවුරටත් ගියා. මම සිවුර පිටින්ම මෙහා ඉවුරේ. මට හරියට පීනන්න බෑ. පුංචි කාලේ වතුරකට බැහැලා හිතේ හැටියට පීනන්න අපේ අම්මා ඉඩ දුන්නෙ නෑ. ඒ නිසා තමයි මට හරියට පීන්න බැරි වුණේ...

‘පොඩි හාමුදුරුවනේ, ඇයි බලාගෙන ඉන්නෙ... එන්න... එන්න... පීනන්න එන්න...’ එහා ඉවුරේ ඉඳගෙන පොඩි උන්නාන්සේ කෑගහනවා. උන්නාන්සේගේ ඇවිටිලි කිරීම නිසාම මමත් සිවුර ගලවලා පැත්තකින් තියලා නානකඩය තද කරගෙන වතුරට අඩිය තියලා පීනන්න හැදුවා විතරයි සුරුස් ගාලා මාව යට ගියා. අඩිය ගහන්න හදනවා... හදනවා... පොළොවට වදින්නෙ නෑ. දිය යටටම යනවා. කොච්චර අත්දෙක ගහලා එන්න හැදුවත් උඩට එන්න බැරි වුණා. යටටම ගිහින් එක පාරක් උඩ ඇවිත්, ආයෙමත් යට ගියා. දැන් මගේ අත්තටු ගැහෙන්නෙත් නෑ. කකුල් වැඩ කරන්නෙත් නෑ. දෙවැනි සැරේ උඩ එනකොටම කවුරුහරි තදට මගේ එක කනකින් අල්ල ගන්නවා තේරුණා...

මතු සම්බන්ධයි...
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles