Divaina - මහරාජා වෝකර්ස් බ‍්‍රවුන්ස් සෙන්ට් ඇන්තනීස් පැරණි බිල්ඩින් ඉවත් කළේ මමයි... කොළඹ සමතලා කළ යකඩ ගැහැණිය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- මාව වැඩිදෙනෙක් හදුන්වන්නේ යකඩ ගැහැණිය කියලයි
 
yakබම්මනආරච්චිගේ ජූලිස් අප්පුහාමි 1940 දශකයේ මෙරට සිටි දක්‍ෂතම වාස්තු ශිල්පියෙකි. ඔහුගේ හැකියාවන් කෙසේද යත් අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඉපැරණි රුවන්මැලි සෑ කොත් කැරැුල්ල වාත්තු කිරීමේ භාරධුර කාර්යය පැවරෙන්නේද ඔහු වෙතය. ඔහුගේ හැකියාවන් හා දක්‍ෂතාවන් ඉන් අනතුරුව ඉදිරියට රැුගෙන ගොස් ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුතණුවන් වූ ස්ටීවන් අප්පුහාමි විසින්ය. ඔහු කොළඹ හා ඒ අවට ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘කානිවල් පොඩි මහත්තයා’ නමින්ය. අමුම අමු කොළඹයන් වන මොවුන්ගේ වාසස්ථානය බවට පත්වන්නේ කොටහේනය.
 
 එකල කොටහේන බ්ලූමැන්ඩල් පාර 54 වත්තේ පිහිටි පිත්තල බඩු වාත්තු කිරීමේ වැඩ බිම ඔවුන්ට අයත් එකක්ව පැවැති අතර මෙම පිය පුතු දෙපළගේ සේවය ලබා ගැනීම පිණිස රටේ නමගිය පුද්ගලයින් නිතර ආගිය තැනක් වූ බැවින් බ්ලූමැන්ඩල් පාර 54 වත්ත එකල ප‍්‍රදේශයේ බොහෝ දෙනෙක් අතර ඉමහත් ප‍්‍රසිද්ධියට පත් ස්ථානයක් බවට පත්ව ඇත.
 
 එකල මෙම පිත්තල වාත්තු කිරීමේ වැඩ බිමට නිතර ආ ගිය බොහෝ දෙනකුගේ ආදරය දිනා ගත් දැරියක් ද විය. ඇය කානිවල් පොඩි මහත්තයාගේ වැඩිමහල් දියණිය වීමත් යන්තම් හය හතර තේරෙන අවධියේ පටන් තම පියාගේ අත්උදව්වට ඉදිරිපත් වීමත් හේතුවෙන් පිත්තල, යකඩ ආදියෙන් නිම කරන රළු පරළු නිපැයුම් කෙරෙහි ඇය තුළ දැඩි කැමැත්තක් උපදින්නට ගෙන ඇත්තේ නිරායාසයෙන්ය.
 
yakad එකල කුඩා දැරියක් වූ ඇය පසුකලෙක කොළඹ පමණක් නොව, රට පුරා ප‍්‍රසිද්ධියට පත්වන්නේ ‘යකඩ ගැහැණිය’ යන අන්වර්ථ නාමයෙන්ය. සැබෑ නමින් බම්මනආරච්චිගේ ෆිලීෂියා වන ඇය මේ වනවිට  73 හැවිරිදිය. තවමත් ප‍්‍රදේශයේ සිදු කරනු ලබන ඕනෑම පොදු කටයුත්තකදී පෙරමුණ ගෙන කි‍්‍රයා කිරීමට සමත් ඇයව ප‍්‍රදේශවාසී බොහෝ දෙනෙක් හඳුන්වනු ලබන්නේ ‘විනී අක්කා’ යන ආදරණීය ආමන්ත‍්‍රණයෙන්ය.
 
 ඉකුත් දිනක මේ කියන ‘යකඩ ගැහැනිය’ දිවයින කාර්යාලයට පැමිණියා ය. එහි පැමිණි ඇය පළමුව සඳහන් කර සිටියේ තමන්ට‘දිවයින’ කාර්යාල භූමිය නුහුරු නුපුරුදු තැනක් නොවන බවය. ඒ පිළිබඳව අප විසින් වැඩිදුරටත් ඇයගෙන් විමසීමේදී ඊට හේතුව ඇය විසින් පහදා දෙන ලදී. දැනට දශක දෙකකට පමණ පෙර දිවයින කාර්යාල භූමියේ සිදු කළ අලූත්වැඩියාවකදී එහි තිබී ඉවත් කරන ලද අබලි යකඩ ඇතුළු තවත් බඩු භාණ්ඩ තොගයක් මිලදී ගෙන ඇත්තේ යකඩ ගැහැනිය හෙවත් විනී අක්කා විසින්ය. එපමණක් නොව කොළඹ ඇතුළු රටේ ඕනෑම ප‍්‍රදේශයක පැරණි ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම අබලි යකඩ ඇතුළු බඩු භාණ්ඩ මිලදී ගැනීම තම වෘත්තීය බවට පත්කර ගත් මෙම යකඩ ගැහැනිය එතැන් සිට යකඩින් පන්නරය ලද නම අතීතය අප හමුවේ විස්තර කරන්නට විය.
 
 මම ඉපදුණේ 1947 අවුරුද්දෙ දහවැනි මාසෙ නව වැනිදා. ඒ කාලේ මගේ සීය තමයි කොළඹට ඉඳල තියෙන දක්‍ෂම වාස්තු ශිල්පියා. සීයා වැඩ කළේ වෝකර් සමාගමේ ප‍්‍රධාන වස්තු ශිල්පියා විදියට. අනුරාධපුර රුවන්මැලි සෑයේ කොත වාත්තු කළේ මගේ සීයා. අවුරුදු පහේදී මාව කොටහේන ගුඞ් ෂෙපර්ඞ් විiාලයට ඇතුළත් කරනවා. මම හතේ පන්තියට වෙනකම් විතරයි ඉගෙන ගත්තේ. ඔය අතරේ මගේ සීයා මිය පරලොව යනවා. ඊට පස්සේ කර්මාන්තය අතට ගත්තේ මගෙ තාත්තා. මමත් තාත්තගේ උදව්වට පිත්තල බඩු වාත්තු කරන්න ඉගෙන ගන්නවා. ඒ ආකාරයෙන් තමයි පිත්තල කර්මාන්තයට මගේ ඇල්මක් ඇතිවුණේ....’’
 
 පැවසීමට බොහෝ දේ ඇති බැවින් තම කුඩා විය පිළිබඳව මතකය ඇය විසින් විස්තර කරන ලද්දේ සැකවින්ය. පළමුව පාසල් අධ්‍යාපනයට තිත තබන ඇය දෙවනුව සියුමැලි යොවුන් විය ගෙවා දමනු ලබන්නේ තම පියාණන්ගේ දිවිබරට යම් අස්වැසිල්ලක් ලබා දීම සඳහා ඔහුගේ වෘත්තියට සහයෝගය දීම පිණිසය. ඉන් නතර නොවන මෙම ‘යකඩ ගැහැනිය’ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ ඇයට අවුරුදු 20 ක් සම්පූර්ණ වීමත් සමඟය.
 
 ‘ඒ... වෙද්දී මම විවාහ වෙලා හිටියෙ. තාත්තාට තවදුරටත් බරක් වෙන්නෙ මොකටද කියල හිතල බිස්නස් එකක් කරන්න තීරණය කළා. ඒ වෙද්දී අවුරුදු දහයක් පහළොවක් තිස්සේ පිත්තල, යකඩ එක්ක හැප්පිල ඒ ගැන තිබුණ අවබෝධයක් මිසක් වෙනත් බිස්නස් එකක් කරන්න තරම් අවබෝධයක් මට තිබුණේ නෑ. කල්පනා කරල... කල්පනා කරල තීරණයක් ගත්තා අබලි යකඩ, පිත්තල, ඇළුමිනියම්, චීනච්චට්ටි ආදිය මිලට අරන් ආපහු විකුණන බිස්නස් එකක් පටන් ගත්තොත් හොඳයි කියල. ඒත් ඒ වගේ බිස්නස් එකක් ගැහැනියකුට ඔබින්නේ නෑ කියල අපේ අයගෙන්ම මට විරෝධය ආව. ඒ වුණාට මට ඒකම කරන්න ඕනකමට බිස්නස් එක පටන් ගත්තා. ඒකාලේ ගැහැනියක් විදියට මම විතරයි ඒ බිස්නස් එක කරගෙන ගියේ. ටික දවසක් යද්දී මට තේරුණා තමන් හරිනම් කරන්න බැරි දෙයක් නෑ කියල...’’
 
ඇය යකඩ ගැහැනිය බවට පත් වන්නේ එතැන් සිටය. එතැන් සිට ඇය මෙරට ප‍්‍රධාන ආයතන  ගණනාවක අබලි යකඩ මිලදී ගන්නා තැනැත්තිය බවට පත්ව ඇත. ක‍්‍රමයෙන් ඇය එම ක්‍ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධියට පත් වන්නේ ඉන් අනතුරුවය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ හා ඒ අවට ප‍්‍රසිද්ධ  ගොඩනැඟිලි කඩාඉවත් කිරීමේ කොන්ත‍්‍රාත්තුවද ඇයට හිමිවී ඇත. එය ඇගේ ව්‍යාපාර ජීවිතයේ එක් සංධිස්ථානයක් බවට පත් වන්නේ එතැන් සිටය.
 
‘‘ටික කාලයක් පරණ යකඩ මිලදී ගන්න අතරේ පොඩි පොඩි ගොඩනැඟිලි කඩා ඉවත් කරල දෙන්න කියල සමහරු මගෙන් ඉල්ලීම් කළා. ඒ වෙද්දී මට ඒක ගැන අවබෝධයක් තිබුණේ නෑ.’’ මොකද ගොඩනැඟිල්ලක් කඩල ඉවත් කරල බිම සුද්ධ කරල දෙන්න නම් ඒකට මුලින්ම මිලක් තීරණය කරන්න ඕන. ඒ මිල කීයද කියල කිව්වට පස්සෙ තමයි ඒකෙ අයිතිකාරයා තීරණය කරන්නෙ ඒ කොන්තරත් එක දෙනවද නැද්ද කියල. ඒක දෙන්නෙත් බිල්ඩින් කඩල ඉවත් කරන කීපදෙනකුගෙන්ම මිල ගණන් අහල වැඩිම ලංසුවට. ගන්න කෙනෙක් දැනගෙන ඉන්න ඕන. ඒක බිමට සමතලා කරාට පස්සෙ කීයක විතර ලාභයක් ගන්න පුළුවන්ද බැරිද කියල. මොකද බිල්ඩින් කසළ ඉවත් කරන කොට ඒකෙ තියෙන යකඩ ටික උළු ටික ගෘහ භාණ්ඩ තියෙනව නම් ඒවයේ අයිතියත් දෙන්නෙ කඩන කෙනාට. එතකොට ගන්න කෙනා දැනගන්න ඕන බිල්ඩිම කඩන්න කීයක් යනවද ඒ මුදල උපයගන්න තරම් බඩු භාණ්ඩ ඒ ගොඩනැඟිල්ලෙ තියෙනවද කියල. මට මුලින් මුලින් ඒ ගැන අවබෝධයක් ලොකුවට තිබුණේ නෑ. එහෙමයි කියල මට එන වැඩක් මම පිට යැව්වෙත් නෑ. මුල් කාලයේ පෙලක් වෙලාවට මට පාඩු සිද්ධ වුණා. ලාභ පාඩු පැත්තකින් තියල මට ඕන වුණේ වැඩ කරන්න විතරයි. කොහොමෙන් කොහොමෙන් හරි කාලයක් එහෙම කරගෙන යද්දී කොහේ හරි බිල්ඩිමක් කඩනව නම් ඒ ආරංචිය මට එන්න ගත්ත. සමහර මුදලාලි මහත්වරු අපේ ගෙදරට ම ඇවිත් කිව්ව බිල්ඩිම ඉවත් කරල දෙන්න කියල. මොකද කාලයක් යද්දී හැමතැනම ප‍්‍රසිද්ධ වුණා ඒ වැඬේට හොඳම මිලක් ගන්න නම් මගේ ළඟට එන්න ඕන කියල...’
 
 එලෙස කලක් ගතවීමත් සමග යකඩ ගැහැනිය මෙන්ම ඇයගේ ව්‍යාපාර කටයුතු ද බොහෝ දෙනෙක් අතර ප‍්‍රචලිත වීම ආරම්භවී ඇත. ඒ අනුව පැරණි ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමේ ඇනවුම් නිතර ඇය වෙත ලැබෙන්නට
 
 ගන්නා අතර මේ වනවිට කොළඹ නගරයට අලංකාරය එක්කරන නවීන ගොඩනැඟිලි ඉදිවීමට පෙර එම ස්ථානවල ඉදිකර තිබූ පැරණි ගොඩනැඟිලි සමූහයක් බිමට සමතලා වන්නේ යකඩ ගැහැනිය හෙවත් විනී අක්කාගේ බලපරාක‍්‍රමයෙන් ය. යුගයක් සුන්බුන් ගොඩක් බවට පත් කළ අතීත මතකය මෙනෙහි කළ මෙම දිරිය කාන්තාව එහි රසමුසු තැන් නැවතත් අප හමුවේ මෙනෙහි කළාය.
 
 ‘‘මහරාජා ආයතනය, වෝකර්ස්, බ‍්‍රවුන්ස්, සෙන්ට් ඇන්තනීස්, පැරණි බිල්ඩින් ඉවත් කළේ මම. ඊට අමතරව බාටා, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මන්තශාලා, අතුරුගිරියේ වානේ කම්හල, දුම්රිය දෙපාර්තමේන්තුව, ලෝහ භාණ්ඩ සංස්ථාව, ඇගළුම් කම්හල්, තේ කර්මාන්ත ශාලාවල ගබඩා ඔය හැම එකක්ම කසළ ඉවත් කරන්න ඒ කාලේ මට පුළුවන් වුණා. ඒ හරහා ඒවායේ අයිතිකාර මහත්වරු නෝන මහත්තයල හඳුන ගන්න අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි මගේ ගාව වැඩට එන්න හුඟ දෙනෙක් කැමැත්තෙන් හිටිය. මොකද ඒ හැමෝම දන්නව ඒ මිනිස්සුන්ගේ දවසෙ මහන්සියට මම හොඳ මිලක් දෙනව කියල. කන්න බොන්න දෙන දෙයක් වුණත් මට එක දෙයක් ඒ අයට තව දෙයක් කියල මගේ භේදයක් තිබුණේ නෑ. වැඩක් කරල ලාභයක් ගත්තනම් ඒකෙන් කොටසක් මගේ ළඟ වැඩ කරන මිනිස්සුන්ටත් දෙන පුරුද්දක් මගේ ළඟ තිබුණා. ඒවගේම තමයි පිට පළාත්වල ගිහින් සති
 
 ගණන් එහේට වෙලා වැඩ කරපු තැන් අනන්තවත් තිබුණා. ඒ බිස්නස්වලින් හොඳට ලාභ ලබපු කාල වගේම උහුලන්න බැරි තරමේ අලාභත් සිද්ධවෙලා තියෙනව. ඒව ගැන මට කලකිරීමක් නෑ. බිස්නස් කියන්නෙ ලාභ පාඩු දෙකම සම සිතින් විඳ ගැනීමටයි කියන එක මම අත්දැකීමෙන් දන්න කාරණයක්...’’
 
 දියණියන් දෙදෙනකු සහ පුතණුවන් සිව් දෙනකුගේ මවක් වන විනී අක්කා හෙවත් යකඩ ගැහැනිය ප‍්‍රදේශය පුරා තවමත් ප‍්‍රකටව සිටින්නේ ආගම දහමට මෙන්ම මානව හිතවාදී ගුණයෙන් පොහොසත් තැනැත්තියක් ලෙසය. ඇයගේ පරිත්‍යාගශිලී ගුණය කොපමණ ද යත් එකල ප‍්‍රදේශයේ විහාරස්ථාන ඇතුළු වෙනත් සංවිධාන විසින් සංවිධානය කරන ඕනෑම කටයුත්තකදී ඇය නිර්ලෝභීව තම පෞද්ගලික ධනය ඒ සඳහා පරිත්‍යාග කර ඇත්තේ ඇය සතුව පැවැති මානව හිතවාදී ගුණය හේතුවෙනි.
 
 එයට කදිම සාක්‍ෂියක් ඉදිරිපත් කරමින් අදින් වසර  25 ක ට පෙර සිදුවූ එක්තරා සිදුවීමක් අප හමුවේ විස්තර කරන ලද්දේ පහත සඳහන් ආකාරයෙන්ය.
 
 ‘‘දවසක්... කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ නායක හාමුදුරුවො දායකයෙක් අතේ මට පණිවුඩයක් එවල තිබුණ පන්සලට එන්නය කියල. ඒ ගියහම හාමුදුරුවො කිව්ව අතරමංවෙලා ඉන්න ළමයි තුන්දෙනෙක් පන්සලේ ඉන්නව. පුළුවන්නම් ඒ අයගේ දෙමාපියන් හොයල දරුවො තුන්දෙනාව ඒ අයට භාර දෙන්න කියලා. මොකද හාමුදුරුවො දන්නව මමත් අම්ම කෙනෙක් හින්ද ඒ දරුවො තුන්දෙනාගේ ආරක්‍ෂාව මම භාර ගන්නව කියල. ඒ පාර මම ඒ ළමයි තුන්දෙනාවත් අරගෙන අපේ ගෙදරට ආව. ඇවිත් කෑම බීම ගෙනත් හොඳට කන්න දුන්නා. තුන්දෙනාම පාසල් යන වයසෙ දරුවෝ. ඒ අයගේ ගම මීගොඩ. තුන්දෙනත් එක්ක පිටකොටුවට ඇවිත් අතරමං වූ පාර මේ අය පන්සලට ඇවිත් තියෙනවා. ඒ පාර ?ම තී‍්‍රවීල් එකක් හයර් එකට අරන් මේ ළමයි තුන්දෙනත් එක්ක මම මීගොඩ ගියා. මුලින්ම එක ළමයෙක්ගේ ගෙදරට ගියා. එතැන එකම යුද්ධයක් ඒ ළමයව භාරදීල අනිත් ළමයින් දෙන්නගෙ ගෙවල් හොයාගෙන ආපහු තවදුරක් ගියා. එහෙම එක ගෙදරකට ගියා විතරයි. පනහක් පමණ පිිරිසක් ඇවිත් මාව වට කර ගත්තා. ඒ අය මුලින් හිතල තියෙන්නේ මම ඒ දරුවන්ව පැහැරගෙන ගියා කියල. පස්සෙ තමයි ඒ අය තේරුම් ගත්තේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ කියල. ඒ කාලේ හැටියට රුපියල් පන්දාහක් විතර ඒ  ගමනට වියදම් වුණා. මට සල්ලි නෙවෙයි වටින්නේ. ඒ දරුවො තුන් දෙනාව පරිස්සම් කරල ගෙවල්වලට ගිහින් භාර දීපු සතුට ලක්‍ෂ ගණනකට වඩා අදත් මට වටිනවා... ඒව මුදලින් මැන්නනම් ඒ සතුට අද නැහැ මහත්තයා...’’ ඇය සිය කථාව හමාර කරන ලද්දේ ඇය සතුව පැවැති මවු ගුණය උදාහණයක් සහිතව පහදා දෙමින්ය.
 
 යස -අයස, ලාභ -අලාභ අභියස ඉන්ද්‍රඛීලයක් සේ නැඟීසිටීමේ සමත්කමක් සහිත මෙම යකඩ ගැහැනිය සතුව උණුවන හදවතක් පැවැති බව අවබෝධ කර ගැනීම පිණිස උදාහරණ ලෙස පෙන්වා දිය හැකි තවත් සිදුවීම් ගණනාවක් ඇය සතුය. බොරැුල්ල ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රසිද්ධ
 
 ගොඩනැඟිල්ලක් කඩා ඉවත් කිරීමේදී එහි කළමනාකාරීත්වය විසින් සිදු කළ නොමනා කි‍්‍රයාවක් හේතුවෙන් වරක් ඇයට රුපියල් ලක්‍ෂ  22 ක අලාභයක් සිදුවී ඇත. එය විසඳා ගැනීම සඳහා අධිකරණයේ පිහිට පතන ලෙස බොහෝ දෙනෙක් ඇගෙන් ඉල්ලීම් කර ඇතත් ඇය එම අලාභය තනිව විඳ දරා ගැනීමට සමත්වී ඇත. වෙඬරු මෙන් උණුවන හිතක් ඇති මෙම යකඩ  ගැහැනියගේ ව්‍යාපාරික කටයුතුවලට ඒ හරහා මරු පහරක් එල්ලවී ඇත. ඊට අමතරව ඇයගේ වියපත් බවත් දරු මුණුපුරන්ගේ ඉල්ලීමත් හේතුකොට ගෙන ඇය තරමක් දුරට තම වෘත්තියෙන් ඈත්වන අතර මේ වනවිට ඇය පාදයක හටගත් රෝගයක් හේතුවෙන් විවේකී සුවයෙන් කල්ගත කරන්නීය.
 
 ඇය දිවයින කාර්යාලයට පැමිණියේ එම අභිමානවත් අතීතය අප හමුවේ පැවසීම පිණිසය. තවමත් ඇය දන්නා හඳුනන බොහෝ පිරිසක් රට පුරා විසිර සිටින බැවින් ඇය අපගෙන් නිහතමානීව ඉල්ලා සිටියේ ඔවුන්ගේ දැන ගැනීම ‘යකඩ ගැහැනිය’ තවමත් නිදුකින් සිටින බව පත්තර පිටුවක ලියා තබන ලෙසය. ඇය නූතන කාන්තා පරපුරට ද පරමාදර්ශී චරිතයක් වන බැවින් ඉහත සැකෙවින් විස්තර කරන ලද්දේ ‘යකඩ  ගැහැණිය’ නමින් නම් ලද ඇයගේ කථාවය.
 
 රුවන් ජයවර්ධන
 ඡායාරූප - කමල් බෝගොඩ

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles