Divaina - ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. මේ මිලට ගම්මිරිස් දීලා අපට වෙන්නේ වහ කන්න...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මිරිස් තරමට සැර  වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ  දුක හිතෙන කතාව

සුදු ගම්මිරිස් කිලෝව රු.2300 ට ගියා දැන් 800 ටත් දෙන්න බෑ...
ගම්මිරිස් වගාවේ වසන්ත කාලය 2010 ට පෙර...

p34 1ම්මිරිස් මිල පහළට... ගම්මිරිස් අස්වැන්න  විකුණාගැනීමට මිලක් නැතිව  ගොවියො පාරට... ගම්මිරිස්වලට හොඳ මිලක් ලබාදෙන බවට අගමැති මහින්ද රාජපක්‍ෂ මොනරාගල, මැදගමදී ගොවීන්ට පොරොන්දු විය. කමිටු රැුස්වීමකදී උද්ගතව ඇති ගම්මිරිස් මිල ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දීර්ඝව කතා කරන අයුරු රූපවාහිනිය ඔස්සේ අපි දුටිමු. එහෙත් වෙළෙඳපොළේ ගම්මිරිස් පැකට් කපුරු වගෙ ගණන්ය. ගම්මිරිස් ග‍්‍රෑම් 100 පැකට් එක රුපියල් 155 සිට 220 දක්වා ඉහළට විවිධ වෙළෙඳ නාමවලින් සුපිරි වෙළෙඳසල්වල මෙන්ම ගමේ සිල්ලර බඩු කඩවලත් විකිණීමට ඇති අයුරුද අපි දුටිමු. වෙළෙඳපොළේ ගම්මිරිස් මිල දකින විට  ගම්මිරිස් ගොවියො කියන කතාව සපුරා වෙනස්ය. එහෙයින් ගම්මිරිස් ගැටලූවේ සත්‍යය සොයාගෙන මොනරාගල ගම්මිරිස් ගොවීන් අතරට අපි ගියෙමු.

දවස පුරා මොර සූරන වැස්සය. මොණරාගල  නගරය වට කරගත් කඳු ශිකරවලින් ගලා හැළෙන වැසි ජලය මහ මඟ දෝරෙ ගලා යන්නේය. කඳු, බෑවුම් සහිත මගෙහි වාහනයකට ගමන් කිරීමට නොහැකි තරමට වැස්ස තදය. එහෙත් මහ වැසි නොතකා මොනරාගල දිස්ත‍්‍රික්කයේ බඩල්කුඹුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න ග‍්‍රාම සේවා වසම සොයාගෙන අපි දුෂ්කර ගමනක් ගියෙමු. ඒ මොණරාගල දිස්ත‍්‍රික්කයේ බහුලව ගම්මිරිස් වගා කෙරෙන ප‍්‍රදේශය මාලිගාතැන්න වන බැවිනි.

මාලිගාතැන්න ගම කඳු ගැටයකි. කොන්ක‍්‍රීට් ඇතූරු පටු මඟ විටෙක ඇඟ හිරිවැටෙන බැස්මකි. විටෙක වක ගැසුණු නැග්මකි. ගමන අතිශය දුෂ්කරය. එහෙත් සෑම දුෂ්කර ක‍්‍රියාවක අවසානයේ යහපත් ප‍්‍රතිඵලයක් තිබෙන බැවින් කොන්ක‍්‍රීට් පතුරු ගැල වී ටයර් පොව්වන තරමට වතුරු පිරුණු වළවල් සහිත මගෙහි අප රැුගත් මෝටර් රථය ඉහළට ගමන් කෙරිණි. කෙඳිරි ගාමින් ගමන් කළ මෝටර් රථය කන්දක් නැඟ, පහළ කඳු බෑවුමේ මාලිගාතැන්න ගමෙහි පුංචි සිල්ලර බඩු කඩයක් අසල නතර විය. නටබුන්ව පවතින පැරණි නිවසකට බද්ධ වූ කඩ කාමරයකි. ඒ කඬේ ගෝනියක් පුරවන්න බඩු නැත. අඩුම තරමින් හාල් ගෝනියක්, පරිප්පු ටිකක්වත් ඒ කඬේ විකිණීමට නොතිබිණි. දුප්පත්කමේ අන්තයටම වැටුණු ඒ කඬේ කරගෙන යන්නේ ද වියපත් මිනිසෙකි. හේ සරදියල්ලාගේ සෝමපාල ය. වයස අවුරුදු හැත්තෑ තුනකි. තිදෙරු පියෙකි. දරුවන් දීගතල ගොස් සැඳෑ සුවයෙන් ජීවත් වන ආදරණීය බිරිඳ සමඟ දවස ගෙවන්නට කඬේ කරගෙන යන බව ද සෝමපාල මාමා අපට කීවේය.

‘‘මේ කඩෙන් ලැබෙන ආදායමෙන් අපිට ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙන්නෙ ගම්මිරිස් වගාවෙන් ලැබෙන ආදායමෙන්. මට ගම්මිරිස් අක්කරයක් තියෙනවා. හොඳ ආදායමක් ආවා. කඬේට බඩු ටිකක් දාගන්නෙත් ගම්මිරිස් අස්වැන්න නෙළුවට පස්සෙයි. මෙදා සැරේ ගම්මිරිස් කුණු කොල්ලයට ගියා. කඩෙත් මැස්සො ඇහිරෙන්න ගත්තෙ ඒ හින්දා. ජීවත් වෙන්න විදිහක් නැතිකමට සමෘද්ධි බැංකුවෙන් ණයක් අරගෙන කඬේට බඩු ටිකක් ගෙනත් දාගන්න තමයි හිතා ඉන්නේ...’’ ජීවන ගැටලූ ඉහටත් උඩින් ගියද සෝමපාල මාමා සතුටින් ජීවත් වන බව රැුළි වැටුණු මුහුණත් තහඩුවේ ඇඳුණු අව්‍යාජ සිනා රැුලිවල සටහන්ව තිබිණි. ජීවිතෙන් අඩකටත් වැඩි කාලයක් ගම්මිරිස් වතුවල ඔට්ටු වූ හේ දැන් අස්වැන්න නෙළීමට ගම්මිරිස් වතු බදු දෙන්නේ දවස තිස්සේ වැඩ කිරීමට හයි හත්තියක් නැති නිසාය.

‘‘අපේ ගමේ හැම පවුලකටම ගම්මිරිස් වගාවක්, රබර් වගාවක් තියෙනවා. ඉස්සර වගේ රබර්වලින් දැන් ලොකු ලාභයක් එන්නෙ නෑ. ඒ නිසා සමහර මිනිස්සු රබර් ගලවලා ගම්මිරිස් දැම්මා. අක්කරය, දෙක, තුන වගේම අක්කර දහය පහළොව ගම්මිරිස් වගා කරපු මිනිස්සුත් ඉන්නවා. මේ ප‍්‍රදේශයේම ගම්මිරිස් ගොවියො විසිපන්දාහකට වැඩියි. මේ වැස්ස නැති නම් මහත්තෙලා ආපු ආරංචියට මුළු ගමම මෙතැනට එකතු වෙනවා. ගම්මිරිස්වලට සාධාරණ මිලක් නැතිව හැමෝම ඉන්නෙ කනස්සල්ලෙන්. පහුගිය දවස්වල ගම්මිරිස් ගොවියෝ සේරම එකතු වෙලා මොනරාගල නගර මධ්‍යයේ උද්ඝෝෂණයකුත් කළා. ඒත් අපේ ප‍්‍රශ්නයට තවම විසඳුමක් ලැබුණේ නෑ...’’

‘‘අපේ ගමේ හැම කෙනෙක්ම වාගේ ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන අරගෙන තියෙන්නෙ ගම්මිරිස් වතුවලින් ලැබුණු ආදායමෙන්. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ වේළපු ගම්මිරිස් කිලෝව 1200 ට දුන්න අවස්ථා තිබුණා. සුදු ගම්මිරිස් කිලෝව 2200, 2300 ට ගියා. ඒ කාලේ අපි සුද්දො වගෙයි. බැංකු පොත්වල සල්ලි ඉතිරි වුණා...’’

p34 2‘එක කන්නයක මම රුපියල් ලක්‍ෂ දහයක ආදායමක් ගත්තා...’’ සෝමපාල මාමාගේ හඬ යටපත් කරමින් අසල සිටි ආර්. එම්. ධනපාලගේ උස් හඬ ඉස්මතු විය. ඔහු ද හැත්තෑ එක් වැනි විය පසු කරගෙන යන ගොවියෙකි.

‘ඒ කන්නයෙ නම් ඇති කියන්න ගම්මිරිස් හැදුණා. අක්කර දෙකේම එකම වගෙ ගම්මිරිස්. ඒ වතාවේ සුදු ගම්මිරිස් කිලෝවට රුපියල් 2300 ක් දුන්නා. දැනුත් මගේ ළඟ සුදු ගම්මිරිස් ටිකක් තියෙනවා. හොඳ මිලක් එනකම් දෙන්නෙ නෑ. හුළං වදින්නෙ නැති වෙන්න අහුරලා තියනවා...’

‘සුදු ගම්මිරිස් කියන්නෙ මොනවද...’ ධනපාලගේ ධනාත්මක කතාවට මම අතුරු ප‍්‍රශ්නයක් එකතු කළෙමි.

‘‘හොඳට ඉදුණු ගම්මිරිස් ඇට සෝදපු හැටියේ පොතු ගැලවිලා යනවා. මදය ඉතුරු වෙනවා. ඒක හොඳට පිරිසිදු කරලා අව්වේ දාලා වේළලා ගත්තම සුදු ගම්මිරිස්. කළු ගම්මිරිස්වලට වඩා සැරයි. මිලත් වැඩියි. දැන් නම් සුදු ගම්මිරිස් කිලෝවක් යන්නෙත් රුපියල් හත්සිය පනහකට විතර...’’ ධනපාල කතාව නතර කරන්නට පෙර සෝමපාල මාමා යළිත් කතාවට එකතු විය.

‘‘යහපාලනය රජ වුණාට පස්සෙ තමයි ගම්මිරිස් වගාවට හෙණ ගෙඩිය පාත් වුණේ. දවසින් දවස ගම්මිරිස් මිල පහළ වැටුණා. මීට මාස පහ, හයකට ඉස්සර වේලපු ගම්මිරිස් කිලෝව රුපියල් 550 ඉඳලා 650 දක්වා මිල වුණා. දැන් වේලපු ගම්මිරිස් කිලෝවක් මිල වෙන්නෙ රුපියල් 400 ක් 470 ක් අතර. ගම්මිරිස් අමු ඇට කිලෝවක් අපෙන් ගන්නෙ රුපියල් 140,  143 ට. ඒ මිලට ගම්මිරිස් කිලෝවක් දෙන්න කුලීකාරයො දාගෙන නෑහීගෙන වැඩක් නැති නිසා අස්වැන්න නෙළා ගන්න කියලා මුළු වගාවම හැටදාහකට දුන්නා. දෙදහස් දහයට පෙර අවුරුදුවල අස්වැන්න නෙළා

ගන්න අක්කරයම රුපියල් ලක්‍ෂ දෙකටත් මම දීලා තියෙනවා...’’

ගම්මිරිස් අස්වැන්න නෙළනු ලබන්නේ අවුරුද්දකට එක වතාවකි. ඒ ජුනි, ජූලි මාසවලය. සරුවට හැදුණු ගම්මිරිස් අක්කරයකින් කිලෝ දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් නෙළාගැනීමට හැකි බව ද ගම්මිරිස්

ගොවියෝ කීහ. එමෙන්ම හොඳ මිලක් ලැබුණොත් අවුරුද්ද පුරාවට දරු පවුලට හොඳට කන්න අඳින්න දී, ගේ දොරේ වැඩක් ද කරගැනීමට හැකි බවද ඔවුහු අපට කීහ.

‘‘දැන් කන්න පහ, හයක ඉඳලා සරුවට අස්වැන්නක් ලැබුණේම නෑ. බාගයක් බොල්. පිරිච්ච කරල් තියෙන්නෙ අඩුවෙන්. මල් හැදෙන කාලෙට වැහි වැටුණොත් මල් හේදෙනවා. නිසියාකාර නඩත්තුවක් නැති වීමත් අස්වැන්න අඩු වෙන්න ප‍්‍රධාන හේතුවක්. නන්චි (ගිනිසීරියා* අතු පාහින්න කුලීකරුවෙක් දාන්න මිනිස්සුන්ට ආදායමක් නෑ. අතු පාහීන කුලීකරුවෙක්ට කන්න, බොන්න දීලා රුපියල් එක්දාහස් පන්සීයක් දෙන්න ඕනෑ. බිම යන පා වැල් කපන්න ඕනෑ. නිතරම පොළව සුද්ධ පවිත‍්‍ර කරලා තියා ගන්න ඕනෑ. ගම්මිරිස් අස්වැන්න සරු වෙන්න හොඳට අව්ව වැටෙන්නත් ඕනෑ. අව්ව වැටෙන්න නම් නච්චි ගස්වල අතු පැහැලා පිරිසිදුව තියාගන්න ඕනෑ. එහෙම කරන්න කුලීකරුවො දාන්න ඕනෑ. තනි පුද්ගලයකුට ගම්මිරිස් අක්කරයක්, දෙකක් නඩත්තු කරන්න බෑ. ගම්මිරිස් කඩන මනුස්සයෙක් කිලෝ එකක් කඩන්නෙ රුපියල් පනහකට. කන්න, බොන්න දෙන්නත් ඕනෑ. එහෙම කුලී ගෙවලා ගම්මිරිස් අස්වැන්න නෙළලා කිලෝවක් රුපියල් හාරසීයට දෙනවා කියන්නෙ අතින් කාලා හරක් බලනවා වගෙයි. ගම්මිරිස්වලට පොහොර, තෙල් බෙහෙත් දැම්මේ නැති වුණාට අක්කරයක බිම සකස් කරලා නන්චි (ගිනිසීරියා* හිටවල ගම්මිරිස් පැළ දාලා අස්වැන්න නෙළන තත්ත්වයට ගේන්න රුපියල් ලක්‍ෂයක් විතර වියදම් වෙනවා. තමනුන් හොඳ හැටි මහන්සි වුණොත් තමයි ඒ වියදමෙන් සෑහෙන්න පුළුවන්. නැති නම් වියදම වැඩියි. ගම්මිරිස්

p34 3වගා කරන්න නම් රජයෙන් ආධාර දුන්නා. ආධාර දුන්නට මදි අස්වැන්නට හොඳ මිලකුත් දෙන්න ඕනෑ. නැති නම් වගාවෙන් ඇති වැඩක් නෑ...’ සෝමපාල මාමාගේ කතාවට එස්. එච්. බුලේගොඩ ද එකතු විය.

‘‘පහුගිය කන්නයෙත් ගම්මිරිස්වලට හොඳ මිලක් තිබුණේ නෑ. ඒ නිසා අපේ ගොවියො ගොඩක් දෙනෙක් ගිය කන්නයේ අස්වැන්න නෙළුවේ නෑ. මේ කන්නයෙත් හුඟ දෙනෙක් තාම අස්වැන්න නෙළලා නෑ. හැළෙන ඇට ඇහිඳිනවා. එතකොට අස්වැන්න ලැබෙන්නෙ බාගෙට භාගයක් අඩුවෙන්. තව පිරිසක් අස්වැන්න නෙළාගන්න වගාව පිටින් ගානකට දෙනවා...’’ වැස්සෙ මුරණ්ඩුකමට සමීපයේ කතා කරන වචන ද නොඇසෙන ගානය. එය හොඳින් වටහා ගත් එස්. එච්. බුලේගොඩ වැස්ස වැටෙන ශබ්දය පරයමින් කතා කළේය.

‘අර පේන ගම්මිරිස් වගාවත් මගේ. ගෙදර වත්තෙත් අක්කරයක් විතර ගම්මිරිස් වගා කරලා තියෙනවා...’’ බුලේගොඩ වැස්ස මැදින් කඬේට ඉදිරිපස මාර්ගයෙන් ඉහත්තෑවේ ගම්මිරිස් වගාවකට අත දිගු කළේය. බැලූ බැල්මට ගිනිසීරියා වගාවක් වැනිය. ගම්මිරිස් වැල් එතී ඇත්තේ පෙළට සිටුවා ඇති නන්චි (ගිනිසීරියා* ගස්වලය. වත්ත පුරා වල්බිහි වී ඇති අයුරු ද පෙනේ. මේ ලඳු කැලෑවට ගම්මිරිස් ඇට වැටුණු විට ඇහිඳීම නම් ලේසී පහසු කටයුත්තක් නොවන බව ද අපට හැඟිණි.

‘‘ඉස්සර ගම්මිරිස් අස්වැන්න නෙළන කාලෙට

ගම්මිරිස් වතු බත් දාගෙන කන්න පුළුවන් විදිහට සුද්ධ පවිත‍්‍ර කරනවා. දැන් එහෙම සුද්ධ කරන්න කුලීකරුවො දාන්න සල්ලි කෝ... මේ වැස්ස දිගට ඇල්ලූවොත් අමු කරලූත් වැටිලා අස්වැන්න හේදිලාම යනවා. අහසත් අපිත් එක්ක තරහා වෙලා වගෙයි. දැන් අවුරුදු තුන, හතරකින් අපේ අතට ලොකු ගතමනාවක් ලැබුණේ නෑ. දැන් මම ජීවත් වෙන්නෙ රබර් අක්කර දෙකෙන් ලැබෙන ආදායමෙන්. රබර්වලිනුත් ලොකු ආදායමක් එන්නෙ නෑ. කුලීකරුවො දාන්නෙ නැතිව අපිම රබර් ටික කපා ගත්තම පුංචි ආදායමක් ගන්න පුළුවන්. ඒ සොච්චම් ආදායමෙන් තමයි මමයි, නෝනයි ළමයි දෙන්නයි ජීවත් වෙන්නෙ. ලොකු පුතා නම් මාත් එක්ක වතුවල වැඩ කරනවා. දුව තාම ඉගෙනගන්නවා...’’

‘‘අපිට රබර් කට්ටියක්වත් නෑ. වෙනත් රස්සාවකුත් නෑ. මුළු පවුලම ජීවත් වුණේ ගම්මිරිස් අක්කරෙන් එන ආදායමෙන්...’’ බුලේගොඩ හිරිකිඩට වහං වෙන සුනංගුවට කතාව මැදට පැන්න ජෝතිපාල එසේ කීවේය. ඔහුට වයස අවුරුදු හැට එකකි. දරුවන් හතරදෙනකුගේ පියෙකි. දරුවන් තිදෙනෙක්ම දීගතල ගොස් සිටින හේ සීයා කෙනෙකි.

‘‘දරුවො හතර දෙනෙක් උස් මහත් කරලා දීග තල දුන්නෙ ගම්මිරිස් වතුවල ආදායමෙන් තමයි. කාලයක් ගම්මිරිස් මිල පහළ වැටෙන්නෙම නැතිව තිබුණා. අපේ වගාවට හෙණහුරා පාත් වුණේ යහපාලනයත් එක්ක තමයි. ගිය කන්නයෙත් ගම්මිරිස්වලට මිලක් තිබුණේ නෑ. ජීවත් වෙන්න වෙනත් මගක් නැති හින්දා අපිම මහන්සි වෙලා අස්වැන්න නෙළාගෙන අමුවෙන් විකුණුවා. මේ කන්නයෙත් ඒකම වුණා. අපිම මහන්සි වෙලා අස්වැන්න නෙළාගෙන දැන් වේළනවා. තවත් අමු ගම්මිරිස් කිලෝ පන්සීයක් විතර තියෙනවා. වේළපු  ගම්මිරිස් පොර කවර හයක් විතර තියෙනවා.

අගමැතිතුමා හොඳ මිලක් දෙනවා කිව්ව නිසා ගොඩ ගහගෙන ඉන්නවා. අගමැතිතුමා අපිට දුන්න පොරොන්දුවට අපේ මිනිස්සු දඩි බිඩියේ මහන්සි වෙලා අස්වැන්න නෙළන්න පටන් අරගෙනත් තියෙනවා. සමහරක් අය වේළනවා. පිරිසක් තවම කඩනවා. මහින්ද මහත්තයාව අපිට විශ්වාසයි. ඒ විශ්වාසය තවදුරටත් එතුමා රැුක ගනී කියලා අපි විශ්වාස කරනවා...’’ ජෝතිපාලගේ ඒ කතාවට රැුස්ව සිටි ගම්මිරිස් ගොවීහු සියලූ දෙනාම හූ මිටි තැබූහ.

මොණරාගල, මැදගම මැතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ගම්මිරිස් මිල වැඩි කරදෙන බවට ලබා දුන් පොරොන්දුවත් සමඟ ගම්මිරිස් ගොවීන්ට නැවුම් ජීවයක් ලැබී ඇති බව සැබෑය. පොරොන්දුවේ හැටියට ගම්මිරිස් මිල වැඩි කරන්නේ නම් සැබැවින්ම යහපතකි. දේශීය ගොවිතැන, දේශීය කර්මාන්ත නඟාසිටුවීමට ප‍්‍රමුඛත්ව ලබාදී කටයුතු කරන මේ රජය යටතේ ගම්මිරිස් ගොවීන්ට අත්ව ඇති ඉරණම අතිශය ඛේදජනකය. එමෙන්ම වෙළෙඳපොළේ ගම්මිරිස් පැකට්වල මිල දකින විට ගම්මිරිස් ගොවීන්ට මිලක් නැතිවීම පුදුමයකි. පැතිරී යන කොරෝනා වසංගතයක් සමඟ අපනයන වෙළෙඳාම පහළ බැස ඇති බව සැබෑය. එහෙත් කොරෝනා වසංගතය හිස එසැවීමටත් පෙර සිට ගම්මිරිස් මිල කුණු කොල්ලයට වැටී තිබුණු බව ගොවීන්ගේ අදහසය. එහෙයින් උද්ගතව ඇති ගම්මිරිස් ගැටලූව සම්බන්ධයෙන් අපට හැෙඟන යථාර්ථය නම් ගෝඨාභය රජයට ද අතරමැදි කළුකඩ මුදලාලි තවම පාලනය කරගැනීමට නොහැකි වී ඇති බවය.

තරංග රත්නවීර

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles