Divaina - එදා මැතිවරණ වේදිකාවේ රසමුසු කතා...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කොරෝනා වෛරසය අස්සේ මහමැතිවරණ උණසුමෙන් මුළු රටම ගිනියම් වෙමින් ඇත්තේය. මේ දිනවල දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවක් බවට කොරෝනා වෛරසය පත්ව තිබේ. දේශපාලන වේදිකාව රසකතා ඇනුම් බැනුම් අපහාස උපහාස සහ අහස උසට ලබාදෙන පොරොන්දුවලින් පිරී පවතී. මේ දිනවල දේශපාලනඥයන් විසින් කියන කයි කතාවලින් දේශපාලන වේදිකාවද රසවත් වී ඇත්තේය. මේ කතා අසා රට්ටුන්ද ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්ව ඇත්තාහ. අද මෙන් නොව එදා අපේ මැතිවරණ වේදිකාවේ අසන්නට ලැබූ දේශපාලන රසකතා කියුම් කෙරුම් රට්ටුන් අසාගෙන හිටියේ ඉතා ආශාවෙනි. අදටත් අපේ පැරැුන්නෝ ඒ රසවත් සිද්ධීන් රස කර කර සිහිපත් කරති.

මහමැතිවරණ උණුසුමෙන් දේශපාලන පොරපිටිය

p31 1

ගිනියම් වී ඇති මේ මොහොතේ එදා ඡුන්ද කළ හැටි මෙන්ම දේශපාලන වේදිකාව තුළ වූ රසමුසු තැන් සොයන්නට මා උත්සුක වීමි. සැබවින්ම අපේ රටේ දේශපාලනඥයන්ගේ චරිත හා බැඳී ඇත්තේ හරි අපූරු හා රසවත් කතාන්දරයන්ය. දහනායක මුත්තා, සීනිබෝල ගත්තා, ඒක විකාගන්න බැරිව රැුවුල විකා ගත්තා මේ අපි කුඩා කාලයේදී දිවංගත හිටපු අගමැතිවරයකු වූ ආචාර්ය විජයානන්ද දහනායකයන් ගැන අසා ඇති කවියකි.

සැබවින්ම එදා කවුන්සලයට යෑම සඳහා එදා සිටි දේශපාලනඥයන් අද මෙන් කෝටි ප‍්‍රකොටි ගණන් මුදල් වියදම් කළේ නැත. වාහන පෝලිම්වලින් ගියේ නැත. ගහ මරා ගත්තේ නැත. එකිනෙකාට චෝදනා කරමින් චරිත ඝාතනය කරගත්තේ නැත. ඉතා සාමකාමි මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යනු ලැබීය. ආචාර්ය ඇන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැනි දේශපාලනඥයන් දේශපාලන වේදිකාව තුළ පළ කළ අදහස් ඉතා හරවත් ඒවා විය.

p31 2දේශපාලන රසකතා, මෙන්ම එදා ඡුන්ද කළ හැටි ගැන කථාකරන විට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා සතුව ඇත්තේ ඉතා රසවත් දේශපාලන කථාන්දර ගොන්නකි. හේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු ඇමැතිවරයකු වූ බැසිල් රාජපක්ෂ යන මහත්වරු සමග දිගු කාලයක සිට ඉතා සමීපව ඇසුරු කරන අයෙකි. ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේයන්ට මහින්ද රාජපක්ෂයන් දැන හැඳින ගැනීමට ලැබෙන්නේ විලී ගමගේ මහතා විශ්වවිද්‍යාල සිසුවකු ලෙස සිටියදීය. ඒ 1967 වර්ෂයේදීය. එතැන් සිට හේ මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන ක‍්‍රියකාරිකයෙකු විය. 70 දශකයේ මැද භාගයේදි පැවති කලාවැව අතුරු මැතිවරණයේදී වූ ඉතා රසවත් සිද්ධියක් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සිහිපත් කළේ බඩ අල්ලාගෙන සිනහා වෙමිනි.

ඒ සමගි පෙරමුණ රජයේ පාලන කාලයයි. කලාවැව අතුරු මැතිවරණය පැවතියේ මේ කාලයේ දීය. අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විදේශගතව සිටි බැවින් කලාවැව ආසනයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම භාරවී තිබුණේ වැඩබලන අගමැති මෛත‍්‍රිපාල සේනානායක මහතාටය. කලාවැව අතුරු මැතිවරණය සඳහා 1974 ඔක්තෝබර් මස 31 වැනිදින නාම යෝජනා භාරගනු ලැබීය. ඒ සඳහා අපේක්ෂකයන් 05 දෙනකු නාම යෝජනා භාරදී තිබුණි. ඡුන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ 1974 නොවැම්බර් මස 27 වැනිදාය. තරගය පැවතියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුණ යටතේ නාම යෝජනා භාරදුන් ඞී. බී. රත්නමලල හා එජාපයෙන් අලියා ලකුණ යටතේ නාම යෝජනා භාරදුන් ඒ. එම්. එස්. අධිකාරි යන මහත්වරුන් අතරේය. එවකට පාර්ලිමේන්තුවේ සිටි ළාබාලතම මන්ත‍්‍රීවරයා වූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද රත්නමලල මහතාට සහයෝගය ලබාදීමට කලාවැවට ගොස් සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා සමග බැසිල් රාජපක්ෂ, වත්මන් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු පිරිසක්ද එහි ගොස් සිටියහ. මහින්ද බැසිල් විලී ඇතුළු පිරිස කලාවැව ප‍්‍රදේශයේ ගම් නියගම්වල සැරිසරමින් ශ‍්‍රී ල. නි. පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබා දෙන ලෙස ගම්මුන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ කාලයේ රජරට ප‍්‍රදේශයේ පුරා දැඩි නියඟයක් පැතිර ගොස් තිබුණි. මේ නිසා රජරට වැසියන් පසුවූයේ දැඩි විස්සෝපයෙනි. දැඩි නියඟය ඔවුන්ට තදින් බලපා තිබුණේය. රජරට වැසියන්ට ආහාර අහේනියද තදින් බලපා තිබුණි. මෙම තත්ත්වය නිසා ගම්මට්ටමින් පැවති මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීම් සඳහා ගම්මුන්ගේ පැමිණීමද ඉතා අඩු මට්ටමක පැවතිණි. ඇතැම් ප‍්‍රචාරක රැුස්වීම්වලට ගම්මුන් සහභාගි වූයේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විලී ගමගේ ඇතුළු පිරිස ශ‍්‍රීල.නි.පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන ලෙස නිවෙස්වලට යමින් සිටියදී මේ අය කුඩා කටුමැටි ගෙයකට ගොඩවූහ.

මෙකී නිවසේ වහලයට පොල් අතු සෙවිලීකොට තිබූ අතර නිවසේ මැටි බිත්තියක බණ්ඩාරනායක මහතාගේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හා අනුර බණ්ඩාරනායක මහතාගේ ඡුායාරූප එල්ලා තිබුණි. මහත්තයෝ අපිත් ඔය පක්ෂයේ තමයි. අපේ කුස්සියට ඇවිදින් බලන්න කෝ අපිට වෙලා තියෙන වින්නැහිය කෙසඟ සිරුරකින් යුත් නිවෙස් හිමි ගැමියා එසේ කීවේය. ඔහුගේ දෑස්වලින් කඳුළු කැට රූරා වැටමෙන් තිබුණේය. විලී ගමගේ මහතා ඇතුළු පිරිස ගැමියගේ නිවසේ කුස්සිය වෙත ගොස් බැලූවේය. නැටෙමින් තිබූ වතුර හැළියක් ළිප මත විය. ගැමියා හැලිය වසා තිබූ භාජනය ඉවත් කළේය. මහත්තයෝ මේ දරුවන්ට කන්න දෙන්න අමු ගස් ලබු වගයක් තම්බනවා ගැමියා කීවේය. රජරට පැවති නියඟය ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයාගේ අවාසියට හේතුවී ඇති බැව් විලී ගමගේ ඇතුළු පිරිසට ඒ වනවිටත් තේරුම්ගොස් තිබුණි.

මේ අතර රත්නමලල මහතාට සහයෝගය පිණිස කලාවැව ආසනයේ ගම්මානයක පැවති ප‍්‍රචාරක රැුලියකටද මහින්ද, බැසිල්, විලී ගමගේ ඇතුළු පිරිස එක්ව සිටියහ. වේදිකාවක් ගසා නිල් කොඩි ඇද රැුස්වීම් භූමිය සරසා තිබුණි. රැුස්වීම සඳහා පැමිණ සිටියේ 20 කටත් වඩා අඩු ආධාරකරුවන් පිරිසකි. එවකට සමගි පෙරමුණු රජයේ මන්ත‍්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතා ද මෙම රැුස්වීම ඇමතුවේය. මාළුවන්ට ජීවත්වීම සඳහා ජලය අවශ්‍ය වන්නේ යම්සේද දේශපාලනඥයන්ටද ජනතාව නැතිවම බැරිය. මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමේ ආධාරකරුවන් සුළු පිරිසක් සිටීම මහින්ද රාජපක්ෂයන්ගේ හිතට ඇල්ලූවේ නැත. හේ වේදිකාවෙන් බැස විලී ගමගේ අසලට පැමිණියේය. විලී උඹත් මොනවා හරි කථා කරපන් මහින්ද රාජපක්ෂ කීවේය. අවශ්‍ය නැහැ විලී කීවේය. නැහැ නැහැ වචන දෙක තුනක් කථාකරපන් මහින්ද රාජපක්ෂ කීවේය. මහින්ද රාජපක්ෂයන්ගේ පෙරැුත්තය නිසාම විලී ගමගේ මහතාද වේදිකාවට ගොඩවී කථාවක් කළේය. ඒ වන විට රැුස්වීමේ ආධාකරුවන් තුන් හතර දෙනකුට වඩා නොසිටියහ. හිටපු ආධාරකරුවන්ද යන්නට ගියහ.

මහින්ද රාජපක්ෂ මහත්තයා කොළඹ ඇවිත් කලාවැව රැුස්වීමේ විලී කතා කරන කොට හිටියේ තුන් හතර දෙනයි. ඒ අයත් ඇවිත් හිටියේ මේස පටු ගෙනියන්න කියලා මහා ප‍්‍රචාරයක් කරලා තිබුණා. එතුමා ඉතින් මේ වගේ වැඩ කරනවා ආණ්ඩුකාර විලී ගමගේ සිනහ වෙමින් කීවේය. මේ අතර විලී ගමගේ අකරතැබ්බයකට මුහුණ දී සිටියේය. යළි කොළඹ බලා ඒම සඳහා විලී ගමගේ පැමිණි ජීප් රථයේ ඞීසල් ප‍්‍රමාණවත් නොවීය. විලී ගමගේ අත මුදල්ද නොවීය.

පස්සේ අපි කලාවැව තිබූ මැතිවරණ කාර්යාලයට ගියා අවිස්සාවේල්ල මන්ත‍්‍රී බොනී ජයසූරිය තමයි කාර්යාලයේ හිටියේ ඉතිරිවෙලා තිබූ පෝස්ටර් ජීප් රථයට පටවා ගත්තා. ඒවා පත්තර කඩයකට විකුණලා ඒ සල්ලිවලින් ජීප් රථයට ඞීසල් ගහගෙන කොළඹ ආවා. ශ‍්‍රී.ල.නි.පක්ෂයේ අපේක්ෂක රත්නමලල මහතා පරාජයට පත්වුණා. ඒ කාලයේ රජරට පැවති නියඟය තමයි මැතිවරණ ප‍්‍රතිඵලයට විශාල වශයෙන් බලපෑවේ ආණ්ඩුකාර විලී ගමගේ මහතා අතීත දේශපාලන රස කතා සිහිපත් කරමින් එසේ කීවේය. අතුරු මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව එජාප අපේක්ෂක ඒ. එම්. එස්. අධිකාරි මහතා ඡුන්ද 13799ක් ලබාගෙන තිබූ අතර ඞී. බී. රත්නමලල මහතා ඡුන්ද 10942 ක් ලබාගෙන තිබුණි. ඒ අනුව එජාපයේ එම්. එස්. අධිකාරි මහතා වැඩි ඡුන්ද 2857 කින් කලාවැව ආසනයේ මන්ත‍්‍රීවරයා බවට තේරී පත්විය.

එවකට ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා විශ්වවිද්‍යාල සිසුවෙකි. 1967 වර්ෂයේ පැවති දෙවිනුවර අතුරු මැතිවරණය සඳහා ශ‍්‍රි.ල.නි.පක්ෂයෙන් ඉදිරිපත් වූයේ රොනීද මෙල් මහතාය. විලී ගමගේ විශ්වවිද්‍යාල සිසුවකු ලෙස එදා දෙවිනුවරට ගොස් රොනීද මැල් මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කළේය. 56 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ එවකට කුඩා  කොළුගැටයෙකි. ඒ කාලයේදි මොහු ඉගෙනුම ලැබුවේ නුවර  අස්ගිරිය ප‍්‍රදේශයේ පාසලකය.

ඒ කාලයේ මම කුඩා ළමයෙක්. දින 02 ක් පුරා ඡුන්දය තිබුණු බව මතකයි. දේශපාලනය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. 56 බණ්ඩාරනායක මහතා අගමැති වීමෙන් පසු ගම්වල මිනිසුන් පෙළපාලි යනවා එදා කුඩා ළමයෙකු ලෙස මා බලාගෙන හිටියා. බණ්ඩාරනායක මහත්තයා ඝාතනයට ලක්වීමෙන් පසු එතුමාගේ මිනිය බලන්නත් මා ගියා ඒ කාලයේ මම මිනී පෙට්ටියටත් උස නැහැ ආචාර්ය විලී ගමගේ අතීත සිද්ධීන් සිහිපත් කරමින් එසේ කීවේය.

ආචාර්ය විලී ගමගේ දැඩි වාමාංශික මතධාරියෙක් විය.

අකුරැුස්ස ආසනයද එදා සිටම වාමාංශික බලකොටුවකි. කොමියුනිස්ට් පාක්ෂිකයන්ගේ ක්ෂේම භූමියකි. විලී ගමගේ මහතාගේ උපන් ගමද අකුරැුස්සේ මලිදුව නිසාත් කුඩා කාලයේ සිට වාමාංශික අදහස් ඔහු තුළ විය. අකුරැුස්ස ආසනය ගැන සඳහන් කරන විට කොමියුනිස්ටි පක්ෂයේ පතාක යෝධයකු වන දොස්තර වික‍්‍රමසිංහයන් අමතක කළ නොහැකි දේශපාලනඥයෙකි.

ඒ කාලයේ දොස්තර වික‍්‍රමසිංහයන් සමග එජාපයෙන් තරගයට ආවේ වතුහිමිකරුවෙක්. එයා වතුවල වැඩකළ අයට මුදල් හදල් දීලා ඡුන්දය ලබා ගැනීමට උත්සාහ කළා. වතුවල වැඩකළ ගැමියන් වතු හිමියාගෙන් මුදල් අරගෙන ඡුන්දය ලබා දුන්නේ දොස්තර වික‍්‍රමසිංහ මහත්තයාට. උදේ හතට පොල් හේනට, වැඩ කුලියට ඡුන්දෙ රතට එහෙම කිය කිය ගිහින් තමයි වතුවල වැඩකළ ගැමියන් දොස්තර වික‍්‍රමසිංහ මහත්තයාට ඡුන්දය ලබා දුන්නේ. ගැමියන් මුදල් බලයට යටවෙලා සිය ප‍්‍රතිපත්ති පාවලා දුන්නේ නැහැ. ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ කීවේය.

එදා ඡුන්ද කිරීමට ගොස් මුහුණ දුන් ත‍්‍රාසජනක අත්දැකීම්ද ආණ්ඩුකාරවරයා සතුව ඇත්තේය. ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ 86 මුල්කිරිගල අතුරු මැතිවරණයේදීද රාජපක්ෂවරුන් වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරත වූ අයෙකි. 88, 89 භීෂණ සමය වනවිට ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේයන් විදේශගතව සිටියේය. 80 දශකයේ බැසිල් රාජපක්ෂයන් සමග ශ‍්‍රි.ල.නි.පක්ෂය වෙනුවෙන් තරුණ සමිති පිහිටුවා දේශපාලන කටයුතුවල නිරතව සිටි විලී ගමගේ ගැන බැසිල් රාජපක්ෂයන් හොඳින් දැන සිටියේය. අයියා මහ මැතිවරණයට තරග කරනවා නරකද ඇවිත් අයියාට උදව් කළහොත් බැසිල් රාජපක්ෂ විලී ගමගේයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වනවිට රටපුරා දැඩි භීෂණයක් ඇතිවී තිබුණි. තැන් තැන්වල දක්නට ලැබුණේ මිනී කඳුය. විලී ගමගේ මහින්ද මහත්තයාට උදව් කිරීමට මෙරටට පැමිණියේය. ඔහු කොළඹින් පිරිසක්ද රැුගෙන මැදමුලනට ගියේය. මාසයකට අධික කාලයක් මැදමුලන වලව්වේ නතර වී මහින්ද හා චමල් වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරතව සිටියේය. එවකට තරුණයකු වූ වර්තමානයේ සිළුමිණ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ධර්මන් වික‍්‍රමරත්න ද විලී ගමගේ සමග එක්ව මහින්ද මහත්තයා දිනවීම සඳහා දේශපාලන කටයුතුවල නිරත වූහ. භීෂණ සමයේ මැද පැවති මහ මැතිවරණයේදි හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් මහින්ද හා චමල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවට තේරීපත් වූහ. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමත් වත්මන් ආණ්ඩුකාර විලී ගමගේ යළි කොළඹ බලා එන්නට වූයේය.

ත‍්‍රාසජනක අත්දැකීමක්....

නීතිඥවරයකු වූ මහින්ද රාජපක්ෂයන් භීෂණ සමයේදි අතුරුදන් වූ තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටියේය. ඒ වෙනුවෙන් අරගල කළේය. මේ කාලයේ යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු මහින්ද මහත්තයා හමුවීමට ආවා. ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ නීතිඥයකු මගින් පොලිසියට භාරවෙන්න. මහින්ද මහත්තයා මේ දෙදෙනා රැුගෙන ගොස් පොලිසියට භාරදුන්නා. ටික වේලාවකට පසු මේ දෙදෙනාගේ ඥාතීන් කිහිප දෙනකු මහින්ද මහත්තයා හමුවීමට ඇවිත් දෙපා මුල වැටිලා හඬන්නට වුණා. අනේ සර් පොලිසියෙන් මේ දෙන්නාට එල්ලලා ගහනවා. ඒ අය කීවා. මහින්ද මහත්තයාට හොඳටෝම කෙන්ති ගියා. ඔහු මාත් ජීප් රථයට දමාගෙන පොලිසියට ගියා. ඒවන විටත් අර පුද්ගලයන් දෙදෙනාට එල්ලා ගහනවා. එහි හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නේවාසිකාගාරයට දිව ගියා. මහින්ද මහත්තයා ගියාට පසු තමයි මේ පුද්ගලයන් දෙදෙනාට පහරදීම නතරවුණේ ආණ්ඩුකාර විලී ගමගේ කීවේය.

එදා හා අද ඡුන්ද ගැන ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා කීවේ මෙවැනි කථාවකි.

ඡුන්ද කරන විට මුල්කාලයේ මිනීමරන්න ගියේ නැහැ. කොයි කවුරුත් සාමකාමි ලෙස මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියා. 77 න් පසු තමයි දරුණු විදියට මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවුණේ. 94, 2004, 2010 යන මහ මැතිවරණවලදි එතරම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවුණේ නැහැ. යූ. එන්. පිය බලයට පත්වූ හැමවිටම මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවුණා. වමේ පක්ෂ බලයට පත්වූ විට කලබල ඇතිවුණේ නැහැ ආණ්ඩුකාරවරයා කීවේය.

ගාල්ලේ උණවටුණේ පදිංචි කලාශූරී කලාභූෂණ කොට්ටව සිරිසේන රාළහාමිද දේශපාලන රසකථා කීමට රුසියෙකි. හේ ප‍්‍රබල දේශපාලන චරිත සමීපව ඇසුරු කළ හා කරන අයෙකි. 1947 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී කවිකොළ මැතිවරණ සටනේ ප‍්‍රබල මාධ්‍යයක් බවට පත්ව තිබුණි. තමන් උදව් කරන අපේක්ෂකයාගේ ගුණවරුණ මෙන්ම ප‍්‍රතිවාදී අපේක්ෂකයාගේ නුගුණ කවි පදවැල් බවට පත්කොට බෙදාහැරීමට ආධාරකරුවන් කටයුතු කර තිබුණි.

1947 මහමැතිවරණය සඳහා බිබිලේ මහජන මන්ත‍්‍රීව සිටි ආචාර්ය විජයානන්ද දහනායක මහත්තයා ගාල්ල අසුන සඳහා නාම යෝජනා භාර දුන්නා. දහනායක මහත්තයාගේ ප‍්‍රතිවාදියා වුණේ ගාල්ල මන්ත‍්‍රීව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහත්තයා. අමරසූරිය මහත්තයා දකුණු පළාතේ සිටි කීර්තිමත් වැවිලිකරුවෙක්. මේ නිසා කරට කර සටනක් තමයි තිබුණේ. ගොක් කොළයක් අදින තැනක, බෙරපදයක් ගහන තැනක, බණපදයක් කියන තැනක, දහනායක ඉඳියි එතන කියලා කවි පත්තර ගහලා බෙදාහැරලා තිබුණා. අමරසූරිය මහත්තයාගේ නුගුණ ගැන සඳහන් කවි කෙළයක්ද ගහලා දහනායක මහත්තයාගේ ආධාරකරුවන් විසින් බෙදාහැරලා තිබුණා. අමරසූරිය මැතිතුමාට බිලීපිත්ත දී සුරතට, කොළඹුරුවන් බාන ලෙසට පිටත් කරමු උනවටුණට ඒ කවිකොළවල සටහන් වෙලා තිබුණා. දහනායක මහත්තයා ඉදිරිපත් වෙලා තිබුණේ බොල්ෂෙවික් ලෙනින් පක්ෂයේ අපේක්ෂකයා ලෙස අමරසූරිය මහත්තයා එජාපයෙන් ඉදිරිපත් වෙලා තිබුණා. ජය හිමිවුණේ දහනායක මහත්තයාට බොල්ෂෙවික්වරුන් හෝ ලෙනින් ගැන ගාල්ලේ අය දැනගෙන හිටියේ නැහැ. ඡුන්දය දුන්නේ දහනායක මහත්තයාට කොට්ටව සිරිසේන රාළහාමි අතිත සිද්ධීන් සිහිපත් කරමින් කීවේය.

යක්කලමුල්ල කොට්ටව ප‍්‍රදේශයේ පැවති මැතිවරණ  රැලියකදි වූ අකරතැබ්බයක් ගැනද කොට්ටව රාළහාමි කීවේ සිනහ වෙමිනි.

ඒ කාලයේ කොට්ටව ගමේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැුලියකට ආචාර්ය ඇන් එම් පෙරේරා, රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, විජයානන්ද දහනායක ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ කාලයේ අපි පොඩි කොල්ලෝ බද්දේගම මන්ත‍්‍රී නීල් ද අල්විස් මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තමයි රැස්වීම සංවිධානය කරලා තිබුණේ. ඒ කාලයේ පොල්කොට වලින් තමයි වේදිකාව හදලා තිබුණේ. රොබට් ගුණවර්ධන මහත්තයා කථා කරන කොට වේදිකාව කඩාගෙන වැටුනා. නමුත් ප‍්‍රශ්නයක් වුණේ නැහැ යළි වේදිකාව ඉදිකරලා රැුස්වීම පැවැත්වූවා කොට්ටව සිරිසේන රාළහාමි කීවේය.

වාසුදේව නානායක්කාර ඇමැතිවරයා කුඩා කාලයේ සිටම නිර්ධන පංතියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අයෙකි. වාසුදේව නානායක්කාර මහතාගේ කුඩා කාලයේදී වූ සිදුවීමක් කොට්ටව රාළහාමි මේ ආකාරයෙන් විස්තර කළේය.

මගේ මතකය හැටියට 1953 වර්ෂයේ ඒ කාලයේ මගේ වයස අවුරුදු 17යි. වාසුගේ වයස අවුරුදු 11යි. වාසුගේ පියා විසින් දේවගිරි තේ කම්හල ඉදිකිරීමට ගෙපල ඇදීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීලා තිබුණේ මගේ පියාට හා ජොන් අප්පු කියන අයෙකුට. දැන් කාලයේ වගේ ගෙපල් කපන්න යන්ත‍්‍ර සූත‍්‍ර තිබුණේ නැහැ. මිනිස් ශ‍්‍රමයෙන් තමයි හැම දෙයක්ම කළේ. වාසුත් ඇවිත් හිටියා ගෙපල කපනවා බලන්න. ඒ කාලයේ පොඩිකොල්ලා. මම වාසු හා ගමේ කොලූපැටව් එකතුවෙලා කොළපොත් අරගෙන පස් කණ්ඩියේ ඉහළ සිට පහළට රූටා එමින් සෙල්ලම් කළා. අපි සෙල්ලම් කරන විට වාසුදේව වැඩකරන මිනිසුන්ගේ දෑත්වල ඇති කරගැට බලමින් දුක්වුණා. දිනක කුලිය වශයෙන් ලැබුණේ සොච්චම් වැටුපක්. ඒ වැටුප මදි බව වාසු කීවා. මේ අතර ගෙපල කපමින් සිටි ගැමියෙකු ගල් ඉන්නක් ඇනී මියගියා. ඔහු පස් කණ්ඩියේ උඩ සිට වැටුණේ එරිලා තිබුණු යකඩ ඉල්ලම් කුරක් මතට. අත්වැරදීමක් බව කවුරුත් පිළිගත්තා. නමුත් වාසු නිකන් හිටියේ නැහැ. මියගිය ගැමියාට ලොකු වන්දි මුදලක් ලබාදෙන්න කියලා. වාසු තාත්තාට හා බාප්පාට බලකර සිටියා. එදා සිටම වාසුදේව දුප්පතා වෙනුවෙන් පෙනී සිටි බව කොට්ටව රාළහාමි අතීත කථාවක් සිහිපත් කරමින් කීවේය.

ලලිත් චාමින්ද
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles