Divaina - මුහුදු පතුලේ සැඟවූ සෝවියට් යුද රහස් සොරාගත් හැටි... සී.අයි.ඒ. ගැන ඔබ නොදන්න කතාව

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 - 3
නන්දජීව සූරියබණ්ඩාර

soviyat1

- දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව සෝවියට් දේශය හා එක්සත් ජනපදය අතර ප‍්‍රධාන කොට ගත් ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙක අතර ඇතිවූ භූ දේශපාලනික මත ”ගැටුම් සීතල යුද්ධය’’ ලෙස හැඳින්වේ. 1947 ”ටෲමන්’’ මූලධර්මයේ සිට (ටෲමන් මූලධර්මය යනු සෝවියට් භූ දේශපාලනික ව්‍යාප්තිය අඩාල කිරීම සඳහා ජනාධිපති හැරී එස්. ටෲමන් විසින් හඳුන්වා දුන් විදේශ ප‍්‍රතිපත්තියකි.

ඒ යටතේ සෝවියට් දේශයට සම්බන්ධ බාහිර හෝ අභ්‍යන්තර බලවේගයන්ගේ බලපෑමට ලක්ව ඇති සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් සඳහා දේශපාලන, හමුදාමය හා ආර්ථික ආධාර ලබා දීම සිදුකරන ලදි.* 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම දක්වා වන වසර 44 ක කාලයක් පුරා දිග ඇදුන මෙම මතවාදීමය ගැටුමේදී දෙපාර්ශ්වයම එකිනෙකා අභිබවා යෑමේ තරගයක නියුතු වෙමින් සිටි අතර එකිනෙකාගේ යුද රහස් අත්පත්කර ගැනීම වෙනුවෙත් අනවරත උත්සාහයක නිරත විය.

soviyat2

මෙම කාලසීමාවේදී එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ කාර්යභාරය තීරණාත්මක වූ අතර එහි ඇතැම් ව්‍යාපෘතීන් සම්බන්ධ තොරතුරු අතිශය සංවේදී හා රහසිගත බුද්ධි තොරතුරු ලෙස සලකා සඟවා තැබීමට කටයුතු කරන ලදි.

1975 වසරේ පෙබරවාරි මාසයේදී ”නිව්යෝර්ක් ටයිම්ස්’’ පුවත්පතේ ලේඛකයෙකු වන ”සෙමොර් හර්ෂ්’’ විසින් සහ ගුවන් විදුලි වැඩසටහනක තීරු රචක ”ජැක් ඇන්ඩර්සන්’’ විසින් මෙම රහසිගත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පළමු හෙළිදරව්ව සිදුකළ අතර අනතුරුව මාධ්‍යවේදී ”හැරියට් පිලිප්ස්’’ විසින් ”තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත’’ යටතේ අදාළ ලිපිලේඛන සඳහා ඉල්ලීමක් ගොනු කරන ලදි. සී. අයි. ඒ. විසින් ග්ලොමර් ව්‍යාපෘතිය සමග ඇති සම්බන්ධය හෙළිදරව් කිරීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකි බව දන්වා ඇති අතර ඉන් අධෛර්යමත් නොවූ මාධ්‍යවේදී පිලිප්ස් නඩුවක් ගොනුකළ නමුත් එක්සත් ජනපද අභියාචනාධිකරණය 1976 වසරේදී සී. අයි. ඒ. ස්ථාවරය සනාථ කරමින් තීන්දුවක් ලබාදෙන ලදි. ”හැරියට් පිලිප්ස් එදිරිව සී.අයි.ඒ.’’ හි නඩු තීන්දුවෙන් සනාථ කළ මෙම ස්ථාවරය ඉන් අනතුරුව ”ග්ලොමරයිස්’’ හෝ ”ග්ලොමර් ප‍්‍රතිචාරය’’ යනුවෙන් සමාන අවස්ථාවන් හැඳින්වීම සඳහා භාවිතයට ගැණිනි.

1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු සී. අයි. ඒ. විසින් සෝවියට් සබ්මැරීනයෙන් ගොඩගත් නාවිකයන්ගේ සිරුරු මුහුදේ භූමදානය කරන ලද බව පෙන්වන වීඩියෝ පටයක් රුසියානු ජනාධිපති ”බොරිස් යෙල්ට්සින්ට’’ පෙන්වා ඇති අතර එමගින් ඔවුන් ව්‍යාපෘතියේ තොරතුරු සම්බන්ධ සිය ස්ථාවරය ලිහිල් කරන ලදි. කෙසේ වෙතත් 2010 දී සී. අයි. ඒ. විසින් මෙම අතිශය වැදගත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 1985 පළවූ අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කිරීම හේතුවෙන් සී. අයි. ඒ. මෙහෙයුම් අතර වඩාත් සංවේදී හා රහසිගත මෙහෙයුමක් වන ”ඇසෝරියන් මෙහෙයුම’’ සම්බන්ධ සිත්ගන්නා සුළු කථා පුවත ලෝකයාට දැන ගැනීමට ඉඩ සැලසුනි.

සෝවියට් න්‍යෂ්ටික සබ්මැරීනය අතුරුදන් වීම

”කේ - 129’’ යනු ”සීතල යුද’’ සමයේ සෝවියට් නාවික හමුදාව සතුව තිබුණු බලසම්පන්න යුද සබ්මැරීනයකි. මෙම සබ්මැරීනය ඞීසල් බලයෙන් ක‍්‍රියාත්මක වන අතර අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල බලයෙන් සන්නද්ධය. එය පැසිෆික් නාවික බලඝණයට අයත් ”කම්චැට්කා’’ අර්ධද්වීපයේ  ”පෙට්ට්‍රොපව්ලොව්ක්’’ හි නාවික කඳවුරෙහි ස්ථානගත 15 වන සබ්මැරීන් බලඝණයට අනුයුක්තව රාජකාරියෙහි යොදවා තිබුණි. නෙටෝ වර්ගීකරණයට අනුව කේ-129 සබ්මැරීන් හැඳින්වෙන්නේ ”ගොල්ෆ් 2’’ කාණ්ඩයට අයත් සබ්මැරීන ලෙසිනි.

1968 මාර්තු වන විට කේ - 129 න්‍යෂ්ටික යුදහිස් සහිත බැලස්ටික් මිසයිල තුනක් රැුගෙන හවායි දූපත් ආසන්න ජාත්‍යන්තර දින රේඛාව අසල කලාපයේ මුර සංචාරයන්හී නිරතව සිටි අතර මාර්තු 08 වන දින  ”ඔහාවූ’’ සිට ආසන්න වශයෙන් නාවික සැතපුම් 1560 වයඹ දෙසට වන්නට පිහිටි පැසිපික් සාගර කලාපයේදී අතුරුදන් විය. අතුරුදන් වන විට සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය 98 දෙනකු සේවය කළ අතර ඔවුන් සියලූ දෙනාම සබ්මැරීනයත් සමගම සාගර පතුලේ සැඟව ගියේය. න්‍යෂ්ටික යුද රහස් සතුරන් අතට පත්වේ යැයි යන බිය නිසා සෝවියට් හමුදාව නෞකා විශාල ප‍්‍රමාණයක් යොදාගෙන සිදුකළ මෙහෙයුම්  ගණනාවකින් සබ්මැරීනය පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට උත්සාහ කළද කිසිදු සලකුණක් ඉතිරි නොකරම කේ-129 පැසිපික් සාගරයේ සැඟව ගියේය.

සී.අයි.ඒ.සංවිධානය වැඩට බසියි 

අතුරුදන් සබ්මැරීනය පැසිපික් සාගරයේ අඩි  16500 ක් ගැඹුරෙහි තැන්පත්ව ඇති බව එක්සත් ජනපද නාවික හමුදාවේ ”සෝසස්’’ දියයට සෝනාර් පද්ධතිය මගින් අනාවරණය කරගන්නා ලද නමුත් ඒ බව රහසිගතව තබා ගන්නා ලදි. සෝවියට් සබ්මැරීනය යුද රහස් ගබඩාවක් වන බැවින් එය ගොඩගතහොත් එක්සත් ජනපදයට අත්වන උපායමාර්ගික වාසිය අතිමහත් බැවින් සී. අයි. ඒ. සංවිධානය සබ්මැරීනය ගොඩ ගැනීම සඳහා අවධානය යොමුකළ නමුත් සෝවියට් දේශය සතු සබ්මැරීනය එක්සත් ජනපදය විසින් ගොඩට ගැනීම එක්තරා ආකාරයක දේපළ සොරා ගැනීමක් වන බැවින් එම කටයුත්ත අතිශය රහසිගත ලෙස සිදුකළ යුතු විය. එසේම සාගර පතුලේ අඩි 16500 ගැඹුරෙහි ඇති දැවැන්ත න්‍යෂ්ටික සබ්මැරීනය ගොඩගැනීම එකල පැවැති තාක්‍ෂණයට අනුව දුෂ්කර කටයුත්තක් විය. මේ සඳහා සී. අයි. ඒ. විසින් ”ප්‍රොජෙක්ට් ඇසෝරියන්’’ නමින් යුත් ව්‍යාපෘතියක් සකස් කරන ලදි.

1969 ජූලි 1 වන දින ප්‍රොජෙක්ට් ඇසෝරියන් ව්‍යාපෘතිය කළමනාකරණය කිරීම සඳහා සී. අයි. ඒ. විද්‍යා හා තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ”ජෝන් පරන්ගොස්කි’’ ගේ නායකත්වයෙන් කාර්ය සාධක බළකායක් පිහිටුවන ලද අතර ජනාධිපති ”රිචඞ් නික්සන්’’ විසින් අගෝස්තු මාසයේදී මෙම කාර්ය සාධක බළකාය පිහිටුවීම අනුමත කරන ලදි.

කාර්ය සාධක බළකාය ව්‍යාපෘතියට අදාළ සියලූ ලිපි ලේඛන තැන්පත් කර තැබීම සඳහා ”ජෙනිෆර්’’ නම් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කළ අතර එක්සත් ජනපද බුද්ධි ප‍්‍රජාව තුළ මෙම ව්‍යාපෘතිය ජෙනිෆර් ව්‍යාපෘතිය නමින් වැරදි අවබෝධයක් පැතිර යන්නට එය හේතුවක් විය.

සී. අයි. ඒ. ඉංජිනේරුවන් සහ විශේෂඥයන් නිර්දේශ කළ පරිදි ටොන් 1750 ක් බරැුති දැවැන්ත සබ්මැරීනය මුහුදු පතුලෙන් උඩට ඔසවා ගැනීම සඳහා ඇති එකම තාක්‍ෂණික ක‍්‍රමවේදය වන්නේ සබ්මැරීනයේ පිටත පෘෂ්ඨය වානේ කම්බි දැලක් මගින් නෞකාවක අමුණා ප‍්‍රවේශමෙන් මතුපිටට ඇදගෙන ඒම වන අතර ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරීන් පවා මෙම ව්‍යාපෘතිය සාර්ථක වීමට ඇති අවකාශය 10% ක් පමණක් වන බව විශ්වාස කළේය. ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නෞකාවක් අවශ්‍ය වූ අතර සමස්ත ව්‍යාපෘතිය සඳහා වන අතිවිශාල පිරිවැය හේතුවෙන් ව්‍යාපෘතිය අත්හැර දැමීමේ සීමාවට අවස්ථා ගණනාවකදී පැමිණියේය. නමුත් ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ලැබෙන බුද්ධිමය වාසිය විශාල බැවින් 1971 ඔක්තෝබර් 4 වන දින ඇසෝරියන් ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමට බලය පවරන ලදි.

හියුස් ග්ලෝමර් එක්ස්ප්ලෝරර් නෞකාව තැනීම

අනතුරුව ඇසෝරියන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන සුවිශේෂී නෞකාව සැලසුම් කිරීම 1971 නොවැම්බර් 16 වන දින ආරම්භ වූ අතර නෞකාව තැනීම සඳහා වන වගකීම පෙන්සිල්වේනියාවේ චෙස්ටර්හි ”සන් ෂිප් බිල්ඩර්ස් ආයතනය’’ වෙත පවරන ලදි. 1972 ඔක්තෝබර් 05 වන දින මූලික සවිකිරීම් කටයුතු ඇරඹුන අතර 1973 අපේ‍්‍රල් 20 දින නිමකරන ලද නෞකාව සී. අයි. ඒ. වෙත භාරදීමට නියමිත විය.

යෙදවීමට නියමිත අවදානම් මෙන්ම සංකීර්ණ ක‍්‍රියාවලිය සඳහා නෞකාව විශේෂ අංගෝපාංගයන් සහිතව නිර්මාණය කළ යුතු විය. මේවා අතර තෙල් විදුම් යන්ත‍්‍රයකට සමාන ඩෙරික් පයිප්ප හුවමාරු දොඹකරයක්, නෞකාවේ සිට මුහුදු පතුල තෙක් පහත්කළ හැකි කොකු සහිත අල්ලා ගැනීමේ අඩුවක් වැනි කොටසක්, නෞකාවේ පතුලේ ඇති විවෘත කිරීමට හා වැසීමට හැකි දොරවල් සහිත තටාකයක් වැනි කොටසක් සහ සමබරතාව රඳවා ගැනීම සඳහා උස තටාක කකුල් ආදී විශේෂ හැකියාවන් විය. මෙම විශේෂ සැලසුම නිසා නෞකාව සාගරයේ නැංගුරම් ලා ඇති විට කිසිදු සැක කටයුතු හැසිරීමක් ඔත්තු බලන යාත‍්‍රාවන්ට නිරීක්‍ෂණය නොවේ. සියලූ කටයුතු සිදුවන්නේ නෞකා පතුල සහ මුහුදු පතුල සම්බන්ධ සැඟවුණ කොටස තුළය.

මේ අතර 1972 මැයි ”මොස්කව් සමුළුවේදී’’ ”ජනාධිපති නික්සන්’’ සහ සෝවියට් නායක ”ලියොනීඞ් බ්‍රෙෂ්නෙව්’’ හමුවූ අතර දෙරට අතර වර්ධනය වූ සුහදතාව මධ්‍යයේ ඇසෝරියන් ව්‍යාපෘතිය නැවත අඩාලවීමේ තර්ජනයකට ලක්විය. එක්සත් ජනපද ආරක්‍ෂක සහ බුද්ධි ධූරාවලියේ ඉහල නිලධාරීන්ගෙන් බහුතරයක් ව්‍යාපෘතිය අවසන් කරන ලෙසට නිර්දේශ කළ අතර ව්‍යාපෘතිය අධික්‍ෂණය කළ විශේෂ විධායක කමිටුව සියලූ සංවේදී බුද්ධි මෙහෙයුම් අධීක්‍ෂණය කළ ”ඉහළ හා රහසිගත කමිටුවෙන්’’ ඉල්ලා සිටියේ ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් 1972 දෙසැම්බර් 11 වන දින ජනාධිපති නික්සන් ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස සිය විධායක නියෝගය නිකුත්කළ අතර එය අවසානාත්මක විය. ඒ අනුව සියලූ බාධා අභිබවමින් ඇසෝරියන් ව්‍යාපෘතිය ඉදිරියට ගමන් කරන ලදි.

ඇසෝරියන් මෙහෙයුම ඇරඹෙයි

1973 ඔක්තෝබර් වන විට නෞකාව තැනීම අවසන් වූ අතර මෙහෙයුම සඳහා අවශ්‍ය උපකරණ සවිකිරීමේ කටයුතු සඳහා එය කැලිෆෝර්නියාවේ ”ලෝන්ග් බීච්’’ වරායට ගෙන යන ලදි.1974 ජනවාරි දක්වා කාලය තුළ එය ලෝන්ග් බීච් වරායේ නවතා උපකරණ සවිකිරීම සිදුකිරීමට නියමිත විය. පැසිපික් සාගරයේ කාලගුණ තත්ත්වය යහපත් ව තිබෙන ජූලි සිට සැප්තැම්බර් අතර කාලයේ මෙහෙයුම ක‍්‍රියාත්මක කළ යුතුවූ බැවින් නෞකාව මෙහෙයුම් තත්ත්වයට පත්කර ගැනීම සඳහා වේගයෙන් උපකරණ සවිකිරීමේ කටයුතු සිදුකරන ලදි. මේ අතර ”සමුද්‍ර ඉංජිනේරුවන්ගේ සුබසාධක සංගමය’’ විසින් ආරම්භ කළ වැඩවර්ජනයක් හේතුවෙන් නෞකාව තැනීමේ මෙහෙයුම් කටයුතු අඩාල වූ අතර මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට නියමිත කාල රාමුව තුළ එය සිදුකිරිමේ හැකියාවක් නොමැතිවන තත්ත්වයක් උද්ගත විය. සති 10 ක පමණ මෙම කාල රාමුව  මගහරුණහොත් නැවත කාලගුණය යහපත් වන තෙක් වසරක් බලා සිටිය යුතු වේ. මෙම අවදානම් තත්ත්වය මෙහෙයුමට සම්බන්ධ සී. අයි. ඒ. නිලධාරීන්ගේ ආතතීන් උත්සන්න කිරීමට හේතු විය.

බාධක මධ්‍යයේ වුවත් 1974 ජුනි වන විට ”හියුස්

ග්ලොමර් එක්ස්ප්ලෝරර්’’ නෞකාවේ වැඩ කටයුතු අවසන් වූ අතර නියමිත කාල රාමුව තුළ මෙහෙයුම ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කෙරිණි. 1974 ජුනි 07 වන දින මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති නික්සන් ගේ විධායක නියෝගය නිකුත්වන අතර ජනාධිපතිවරයා මොස්කව්හි සමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව ඇමෙරිකාව බලා පිටත්ව ගිය දිනට පසු දින වන ජූලි 04 වන දින නෞකාව පැසිපික් සාගරයේ හවායි සිට වයඹ දෙසින් වන මෙහෙයුම් ලක්‍ෂය වෙත ළඟා විය.

සෝවියට් යුද රහස් සාගර පතුලෙන් ගොඩට

හියුස් ග්ලැමර් එක්ස්ප්ලෝරර් නෞකාව, කේ-129 සබ්මැරීනය මුහුදු පතුලේ තැන්පත්ව ඇති ස්ථානයේ නැංගුරම් දමා ගොඩගැනීමේ කටයුතු ආරම්භ කළ අතර මෙම මෙහෙයුම අඛණ්ඩව ක‍්‍රියාත්මක වෙමින් තිබියදී සෝවියට් ඔත්තු බැලීමේ නෞකා දෙකක් ඒ ආසන්නයට පැමිණීමෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත විය. සෝවියට් ඔත්තු බැලීමේ නෞකා ආසන්නයේ රැුඳී සිටියදීම ඇසෝරියන් මෙහෙයුමේ කටයුතු අඛණ්ඩව සිදුවිය. කෙසේ වුවත් සෝවියට් භටයන් හෙලිකොප්ටර් මගින් හියුස් ග්ලොමර් නෞකා තට්ටුව වෙත ගොඩබසිනු ඇතැයි බියට පත්වූ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා නෞකාවේ හෙලිකොප්ටර් අංගනය භාණ්ඩ සහ උපකරණ රඳවා තැබීමෙන් අවහිර කරන ලෙස නියෝග කළ අතර එවැනි අවස්ථාවක් උදාවුවහොත් මෙහෙයුමට යොදාගන්නා රහසිගත සහ සංවේදී උපකරණ විනාශ කිරීම සඳහා සූදානම්ව සිටින ලෙසටද නියෝග කර ඇත. සූදානම්ව සිටින ලෙසට නියෝග කල නමුත් වෙඩි තැබීමේ නියෝග නිකුත් කර තිබුණේ නැත.

පැසිපික් සාගරයේ වේගවත් දියවැල් සමග කටයුතු කළ යුතුවූ බැවින් සබ්මැරීනය අල්ලා ගැනීම සඳහා නැවේ සිට මුහුදු පතුලට පහත්කළ පෙට්ටියක් වැනි කොටස ප‍්‍රවේශම් සහගත ලෙස පහළට යැවිය යුතු විය. වරකට අඩි 60 ක පමණ දිග වානේ පයිප්ප කොටස් පමණක් මුහුද යටට යවමින් එකිනෙක හා සම්බන්ධ කරමින් සෝපානයක් වැනි ආධාරකයක් ගොඩනැංවීම සිදුකළ අතර සබ්මැරීනය අල්ලා ගැනීමෙන් පසු නැවත වරක් එකිනෙක හකුලමින් නැව තුළට ඇද ගැනීම ඉලක්කය විය.

සති තුනකට වැඩි දුෂ්කර මෙහෙයුම් කාලයකට පසු 1974 අගෝස්තු 01 වන දින මුහුදු පතුලට පහත්කළ අඩුවක් වැනි කොටස මගින් සබ්මැරීනය අල්ලා ඉහළට ගෙන එන ලද නමුත් ඉහළට යන මාර්ගයේ අතරමැදදී කොටසක් මුහුදට කඩා වැටුණි. කේ-129 සබ්මැරීනයේ ඉතිරි කොටස සාර්ථක ලෙස මුහුදු පතුලෙන් ගොඩට  ගැනීමට මෙහෙයුම් කණ්ඩායම සමත්වූ අතර ගොඩගත් සබ්මැරීනයේ කොටස්  ග්ලොමර් එක්ස්ප්ලෝරර් නැව් තට්ටුව මත සුරක්‍ෂිතව තැන්පත් කර ගැනීමට දින අටක කාලයක් ගත විය. ගොඩට ගත් කොටසේ සෝවියට් නාවිකයන්ගේ මළසිරුරු 6 ක් ද වූ අතර ඔවුන්ට විධිමත් හමුදා භූමදානයක් ලබාදෙන ලද අතර සාර්ථක මෙහෙයුමකින් පසු නෞකාව අගොස්තු 8 වන දින කේ-129 සබ්මැරීන කොටස්ද රැගෙන හවායි වෙත පිටත්ව යන ලදි.

දෙවැනි මෙහෙයුමක උත්සාහය අසාර්ථක වේ

සී. අයි. ඒ. සංවිධානය ඇසෝරියන් මෙහෙයුම සම්බන්ධ පිරිවැය වාර්තා කිසිවක් ඉදිරිපත් කිරීම සිදුකර නැති නමුත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 500 පමණ වියදම් කර ඇති බව අනුමාන කරයි. කෙසේ වෙතත් එක්සත් ජනපද ආරක්‍ෂක සේවයේ ඉහළ නිලධාරීන් උපුටා දක්වමින් ”නිව්යෝර්ක් ටයිම්ස්’’ 1975 දී වාර්තා කරනු ලැබුවේ මෙහෙයුමෙන් කේ-129 හි අඩි 38 ක් දිග ඉදිරි කොටස පමණක් සොයා ගත් බවයි. වඩා සංවේදී තොරතුරු සහිත පාලක මැදිරිය, කොණින් කුලූන, මිසයිල මැදිරිය, ගුවන් විදුලි පණිවුඩ හුවමාරු කාමරය සහ එංජින් කාමරය ආදී කොටස් අත්පත්කර  ගැනීමට නොහැකි වූ අතර ඒවා පහළට වැටීමේදී මුහුදු පතුලේ ගැටීමෙන් විනාශවන්නට ඇතැයි අනුමාන කෙරේ.

පහළට කඩාවැටුන කොටස නැවත ලබා ගැනීම සඳහා දෙවැනි මෙහෙයුමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් වූ නමුත් බලාපොරොත්තු නොවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් එම අදහස අත්හැර දමන ලදි. 1974 ජුනි මාසයේ ග්ලොමර් එක්ස්ප්ලෝරර් යාත‍්‍රා කිරීමට පෙර ව්‍යාපෘතිය සම්බන්ධ ලියකියවිලි කිහිපයක් අතුරුදන්ව තිබුණු අතර පසුව ජනමාධ්‍ය මගින් මෙම ව්‍යාපෘතිය රහස් කිසිවක් සොයා ගැනීමට නොමැති නාස්තිකාර ව්‍යාපෘතියක් ලෙසට මහත් ප‍්‍රසිද්ධියක් ලබාදෙන ලදි. ජනමාධ්‍ය හෙළිදරව් කිරීම හේතුවෙන් මහජන බදු මුදල් විනාශ කරන බවට සී. අයි. ඒ. වෙත චෝදනා  නැගෙන්නට වූ අතර වැඩිකල් නොයා සෝවියට්වරු මෙහෙයුම පිළිබඳ තොරතුරු දැනගත්තේය. මෙම අවුල් සහගත තත්ත්වය යටතේ ධවල මන්දිරය ඇසෝරියන් මෙහෙයුමේ දෙවැනි පියවර අවලංගු කර දමන ලදි.

මෙහෙයුමෙන් සොයාගත් යුද රහස්

1993 දී පමණ මෙම මෙහෙයුම සම්බන්ධයෙන් රුසියානු විශේෂඥයන් පිරිසක් විසින් රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින්ට ලබාදී ඇති වාර්තාවක් දක්වා ඇති පරිදි ඇසෝරියන් මෙහෙයුමෙන් අවම වශයෙන් න්‍යෂ්ටික යුද හිස් සහිත ටෝර්පිඩෝ දෙකක්වත් සොයාගෙන ඇති බව කියැවේ.

ඇසෝරියන් මෙහෙයුම එහි මූලික බුද්ධි අපේක්‍ෂාවන් සම්පූර්ණයෙන් සපුරාලීමට අසමත් වුවත් සී. අයි. ඒ. සංවිධනය එය සිය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම බුද්ධි මෙහෙයුමක් ලෙසට සලකමින් මෙහෙයුමෙන් සොයාගත් කේ-129 සබ්මැරීනයේ කොටස් සහ ඒ සම්බන්ධ ලේඛන මූලස්ථාන පරිශ‍්‍රයේ ඇති කෞතුකාගාරයේ සංරක්‍ෂණය කර ප‍්‍රදර්ශනයට කටයුතු කර ඇත. ග්ලොමර් එක්ස්ප්ලෝරර් නෞකාව 1990 දශකයේ අගභාගයේ ඇමෙරිකානු ඛනිජ තෙල් සමාගමක් විසින් නවීකරණය කරන ලදුව සමුද්‍ර ගවේෂණ කටයුතු සඳහා යොදවා ඇත. කෙසේ වුවත් ඇසෝරියන් ව්‍යාපෘතිය හේතුවෙන් ගැඹුරු මුහුදේ ගවේෂණ කටයුතු සඳහා වන ඉංජිනේරු තාක්‍ෂණයේ විශාල ඉදිරි පිම්මක් ඇතිවුන බව පිළිගැනේ.

ඇසෝරියන් ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා චිත‍්‍රපටයක් ”ඇසෝරියන් : ද රයිසින් ඔෆ් ද කේ-129’’ නමින් 2009 වසරේදී ඇමෙරිකානු සිනමාවේදියෙකු වන ”මයිකල් වයිට්’’ විසින් නිෂ්පාදනය කර තිබේ. එහිදී මෙහෙයුම සම්බන්ධ තාක්‍ෂණික කාරණා රූපරාමු මගින් මනාව පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇති අතර මෙහෙයුමට සම්බන්ධ වූ ප‍්‍රධාන පෙලේ නිලධාරීන් තිදෙනකුගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡුාද ඇතුළත් කර තිබේ. මෙම කතා පුවත පදනම් කරගත් පොතක් ”ප්‍රොජෙක්ට් ඇසෝරියන් : ද සී.අයි.ඒ.ඇන්ඞ් ද රයිසින් ඔෆ් ද කේ-129’’ නමින්  ”නෝමන් පොල්මාර්’’ සහ ”මයිකල් වයිට්’’ විසින් 2010 දී ප‍්‍රකාශයට පත්කර ඇති අතර එහි මෙහෙයුම සම්බන්ධ අතිරේක ලේඛනමය සාක්ෂි ඇතුළත් කර ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles