Divaina - නන්දා මාලනීගේ සිට රනිඳු ලංකා දක්වා මම ගීත ලිව්වා... අවුරුදු විස්සෙදි ප‍්‍රවීණයන් ගේ ඇසුර ලැබෙනවා...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ජ්‍යෙෂ්ඨ ගී පද රචක බන්දුල නානායක්කාරවසම්bandula333i
* මගේ පළමු කවිපොත කඩදාසි ගොඩක ගීතය

පායනා ඉර පාන / ගඟක් සේ ඔබ ගලා ඒ නම් / එක් පෙති මලක් විය /මලට වඩින බඹරුන් / වියෝ වූ පසුවයි /රන් හිරු මඬලින් / රන් ගිර මා / අහසයි ඔබ මට.....
සිනා තොටක් වී /කටු අකුලේ / මල් පිපෙයි / පාන තියා බුදු සාදුට /නිහඬ අරණ / විසිරුණු මල් පෙති / අකීකරුද ඔබේ සිතත් / සඳපානක් සේ ඇවිදින්....
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ / පහන තියා සියෝතුනේ උතුරින් මෙහි එනු පියඹා / නෙළන්න බැරි දුරින් පිපී / නිදුකාණනේ....


bandula333ගී පද රචනා එක්දහස් පන්සියයකට වැඩි මිස අඩු නැති නිර්මාණ රැුසක් එක් අතකිනුත්, සරසවි, සිග්නීස්, සුමති, රාජ්‍ය යනාදී සම්මානයන් තවත් අතකිනුත්, හදවත පුරවා තබන, නොබිඳෙන රසික ආදරයකුත් එක ලෙස හිමිකර ගන්නට තරම් ඔහු වාසනාවන්ත වුණා. වසර ගණනාවක් පුරා වැඩසටහන් එකසිය පනස්නවයක් ඉදිරිපත් කරමින් රෑ ඉර පාන නම් සංගීතාත්මක වැඩසටහන තම එකදු ගීතයක්වත් තෝරා නොගනිමින් ජනගත කරන්නට තරම් ඔහු දක්ෂ සහ ප‍්‍රතිපත්තිගරුක වුණා. ඔහු වසර තිස්අටක් බැංකු ක්ෂේත‍්‍රයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකරුවකු ද වුණා. නමුදු දශක ගණනාවක් පුරා සහෘද හදවත් තුළ සදාතනිකව ලැගුම්ගත් විස්මිත ගී පද මැවුම්කරුවා 

ඔහුයි. අද මීවිත කතා බහ ජ්‍යෙෂ්ඨ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් සමඟයි.

ඒ කාලේ, ගාල්ලේ බන්දුල නානායක්කාරවසම් ඔබ තරම් ම ජනප‍්‍රියයි?

ඒ කාලේ මම ඉස්කෝලේ යන ළමයෙක් වුණාට, දයාසේන ගුණසිංහ මහත්මයාගේ කව්මුතු වලට පත්තරේට දිගටම කවි ලියනවා. ඒ නිසා ගාල්ලේ බන්දුල නානායක්කාරවසම් කිව්ව ම ඒ කාලේ හුඟක් අය ඒ නමින් දන්නවා.

කවි පොතක් කළෙත් ඔය කාලේද?

කිත්සිරි නිමල් ශාන්ත උසස් පෙළ පන්තියේ ඉඳිද්දී කොතැන හෝ වරදක් ඇත කියලා පොතක් නිකුත් කළා. අපි යාළුවෝ. නමුත් මම සාමාන්‍ය පෙළ පන්තියේ. අර පොත දැකලා මට හිතුණා කොච්චර හොඳද ඉස්කෝලේ යන ළමයකුට පොතක් පළ කරන්න පුළුවන් නම් කියලා. ඉතිං මම කඩදාසි ගොඩක ගීතය නමින් මගේ පළමුවැනි කවි පොත පළ කළා.

එතකොට පළමුවැනි ගීතය?

තනුවකට තමයි ඉස්සෙල්ලා ම ගීතයක් ලියන්න වුණේ. උසස් පෙළ කරලා ඉන්නකොට දවසක් මට අහම්බෙන් හම්බවුණා ගාමිණී සන්දනායක. වසන්තා සන්දනායක ගේ බාල පුතා. ඒ ප‍්‍රසංගයක් සංවිධාන කරන්න මාතර ආව වෙලාවේ. මාව හම්බවෙච්ච වෙලාවේ මගේ කවි පොත මේසේ උඩ තිබුණා. එයා දන්නේ නෑ පොත මගේ බව. මගෙන් ඇහුවා මේ කවුද මල්ලි මෙයා, කොහෙද ඉන්නේ කියලා. එතකොට මම කිව්වා ඔයාගේ ඉදිරිපිට ඉන්නේ එයා තමයි කියලා. හරි සතුටුවෙලා එයාගේ හිතේ ටියුන් එකක් තියෙනවා කියලා මාතර කිංග්ස් හොටෙල් කියලා ළඟ තිබුණ හෝටලයකට ගිහිල්ලා ඔහු තට්ටු කර කර තාලයක් කිව්වා. ඒ තාලෙට මං වචන දැම්මා. ඒක තමයි මගේ පළමුවැනි ගීතය. ගායනා කළේ ටී.එම්. ජයරත්න සහ දයා හේමන්තා අබේසේකරයි. ”සිඳු තෙරේදී බැන්ද ආදරේ”. ඒ ගීතයට ටී.එම්. අයියා රාජ්‍ය සම්මාන ලැබුවා හොඳම ගායකයා විදිහට. මගේ වයසේ අයට මුත්තුසාමි මාස්ටර් වගේ අයගේ තනුවක් ලැබුණේ නැහැ. නමුත් මගේ පළමුවැනි ම සරල ගීතය ආර්. මුත්තුසාමි මාස්ටර් හදපු දයා හේමන්තා ගයපු ”රුදු බව කතරේ වල්මත් වීලා”. ඊට පස්සේ තමයි නන්දා මාලිනි ”ඉර ලස්සනයි ඉර ගල රැුස් වැටෙන විට” ගීතය ගායනා කළේ. කලණි පෙරේරා ගේ සංගීතය. ඒකෙන් තමයි මට අවස්ථාව ආවේ ගීත රචනයට පිවිසෙන්න. ඒකට මූලික වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න. ඔහු තමයි මගේ කවි පොතේ පසුවදන ලිව්වේ. පෙරවදන ලිව්වේ ධර්මසිරි ගමගේ මහතා. කවි පොතේ පසුවදනට ඉස්සෙල්ලා තියෙනවා පිටුවක්; ඒකෙ ඇගයුම ලිව්වේ බණ්ඩාර කේ. විජේතුංග සහ පේ‍්‍රමකීර්ති ද අල්විස්. ඉතිං මේවා මගේ ජීවිතේ මට ලැබිච්ච විශාල ම දායාද. මං හිතනවා මට අවුරුදු විස්ස වගේ වයසකදී ප‍්‍රවීණයන් ගේ ඇසුර, ඒගොල්ලන්ගේ ආදරය ලැබීමෙන් තමයි ගොඩක්ම මං මේ පැත්තට දිරිමත් වුණේ. මගේ ගීත කලාව පටන් ගත්තේ ඔය විදිහට.

ඉංජිනේරුවෙක් වෙන්න ද පාසල් කාලයේ හිතං හිටියේ?

මට පොඞ්ඩක්වත් ඕනකමක් තිබුණේ නෑ. ඒ වුවමනාව තිබුණේ අපේ තාත්තට. අපේ පවුලේ අක්කා, අයියා, නංගි සේරම කලා විෂයන්ගෙන් තමයි විශ්වවිද්‍යාලයට ගියේ. මගේ යාබද අක්කා මට අවුරුදු අටක් වැඩිමල්. ඇය පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරියක් හැටියට දැන් විශ‍්‍රාම ගිහිල්ලා. ඒ අක්කා ඕලෙවල් විද්‍යා විෂයන් කරලා, තාත්තට නොකියා ඔහුට වංචා කරලා උසස් පෙළ කලා විෂයන් කළා. එහෙම කරලා අක්කා ඉහළින්ම පාස් වුණා. දවසක් අයියයි අක්කයි කාමරේ කතා කරනවා තාත්තට ඇහුණා. ඒ කාලේ සංඛ්‍යානය විශ්වවිද්‍යාලවල තිබුණේ නැහැ. මුලින්ම පටන් ගත්තේ 70වේ, කැලණියේ. අයියා කිව්වා අක්කට ”උඹට ඒ තුනක් තියෙන හින්දා සංඛ්‍යානය විශේෂ කළොත් උඹගේ උපාධිය බී.එස්.සී වෙනවා. එතකොට තාත්තා හිතන්නේ උඹ විද්‍යා විෂයන් කළා කියලයි” කියලා කියන එක තාත්තට ඇහුණා. ඒ වෙලාවේ තාත්තට හරි දුකක් ඇතිවුණා, එයාව රැුවට්ටුවා කියලා. මං එතකොට හයේ පන්තියේ. තාත්තලා අධ්‍යාපනයට පුදුමාකාර නැඹුරුවක් ඇතිව අපිව පොළඹවන ගතියක් තිබුණේ. ඉතිං ඒ සිද්ධිය තමයි නීරස. විද්‍යාව කරන්න මාව පෙළඹුවේ මට මැත්ස් වලට හොඳටම ලකුණු තිබුණා. අන්තිමේදී තාත්තා මාත් අක්කා කරපු දේ කරයි ද කියලා විමසිල්ලෙන් හිටියා. අවසානයේදී මං වැඳලා ඉල්ලූවා මට කලා විෂයන් කරන්න දෙන්න කියලා. මොකද ඒ වෙද්දී මගේ වීරයා වුණේ සුනිල් ආරියරත්න. මං ඔහු විදිහට කන වහලා කොණ්ඬේ වවනවා. අදටත් මං කන්නාඩි දාන්නේ නෑ. නමුත් අපේ අයියගේ බෝතල් අඩි කණ්නාඩි දෙකක් තිබුණා ඒක දානවා. ඒ වගේ පිස්සුවක් තිබුණා. ඉතිං තාත්තා කිව්වා උඹ අධ්‍යාපනය නැවත්තුවත් උඹට ආර්ට්ස් නං කරන්න හම්බවෙන්නේ නෑ කියලා. තාත්තට මං දොස් කියන්නේ නෑ. තාත්තලා කවුරුත් බලන්නේ දරුවන්ට හොඳම දෙයක් දෙන්නනේ.

නමුත් ඔබ වෘත්තීය ලෙස බැංකු ක්ෂේත‍්‍රය තෝරා ගන්නවා?

මම විද්‍යා විෂයන් ම කළා. 79 විභාගෙකරලා 80වේ පුද්ගලික බැංකුවක තරඟ විභාගයට ලිව්වා. එතකොට උසස් පෙළ ප‍්‍රතිඵල ඇවිල්ලත් නෑ. ඒ වෙලාවේ මාස හයක් බැංකුවේ වැඩ කරන මොහොතක මාව භෞතිකවිද්‍යා අංශයට තේරුණා. ඒත් මම ගියේ නෑ. මොකද මට බැංකුව රහ වැටිලා තිබුණා ඊට වැඩිය. ඇත්තට ම මං හිතනවා විශ්වවිද්‍යාලේ ගියාට වැඩිය විශ්වවිද්‍යාලයක් වුණේ බැංකුව කියලා. බිලිඳු දරුවාගේ ඉඳලා මහල්ලා දක්වාත් අහිංසක ගැමි මිනිස්සුන්ගේ ඉඳලා ලෝකේ කාලා වතුර බීපු හොරු තක්කඩි දක්වාත් හැම කෙනෙක්ම බැංකුවට එනවා. එයාලා හැමෝම එක්කම කතා කරලා විචක්ෂණශීලි නුවණක් ලැබුණා. ඔය විදිහට බැංකුව මට විශ්වවිද්‍යාලයක් වුණත් බැංකුවට ගිය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගෙන් ගිලිහුණා.

නමුත් වරක් ඔබට රාජ්‍ය බැංකුවකට සම්බන්ධ වීමේ අවස්ථාව මඟහැරෙනවා නේද?

තාත්තා වාමාංශික ව්‍යාපාරයේ ප‍්‍රබලයෙක්. කොමියුනිස්ට් පක්ෂයේ දකුණු පළාතේ තත්ත්ව නොදන්නා කෙනෙක් නෑ. වාමාංශික නායකයෝ පීටර් කෙනමන්, එන්.එම්.පෙරේරලා එහෙම ගාල්ලට ආවොත් තාත්තලා එයාලා හම්බවෙනවා. තාත්තා කොමියුනිස්ට් පක්ෂය හා බැඳිලා හිටියා මියෙනතුරුම. ඒ හින්දම 77 දී මට දකුණු පළාතෙන්ම දෙවැනි ස්ථනය හම්බවෙලත් රාජ්‍ය බැංකුවකට සම්බන්ධ වෙන්න දුන්නේ නැත්තේ, එවකට පැවැති දේශපාලන පක්ෂයේ තරුණ සමිතියේ සාමාජිකත්වය නැතිවීම නිසා. මම එවකට මුදල් ඇමතිගේ බිරිඳ හම්බවුණා, මගේ ලකුණුත් එක්ක. ඇයි ඔය ළමයා තරුණ සමිතියේ නැත්තේ කියලා ඇහුවා. මං කිව්වා මට ඡුන්ද බලය නෑ කියලා. ඒ පාර ඇය කිව්වා අවුරුදු 14 ළමයිනුත් අපේ සාමාජිකයෝ, ඡුන්ද බලයක් ඕනේ නෑ පක්ෂයේ සාමාජිකත්වය ගන්න කියලා මට දොස් කිව්වා. වෙන කෙනක් නං එවේලේ අරගලයකට යනවා. එහෙම වුණා නං 88 වගේ කාලයේ මාව හොයාගන්නත් නැති වෙනවා. හොඳ දෙමවුපියෝ ගුරුවරු හිටපු හින්දා සහ සාහිත්‍යමය පසුබිමක් තිබුණ හින්ද මේවා ඉවසගෙන ඉන්න ඕන කියන ලෝක ධර්මතාවය තේරුම් අරං හිටියා මිසක්, ඒ අසාධාරණය මේ ඡුන්දයක් තියෙන මොහොතේ පවා මගේ හිතෙන් ඈත්වෙන්නේ නෑ. ඒ ශාපලත් දේශපාලනය පිළිකුලෙන් බැහැර කරන්න තරම් ඒක හේතුවක් වුණා. ඒකෙන් මට හොඳක් වුණා. පුද්ගලික බැංකුවට ගිහිල්ලා කාගෙවත් පන්දම් පාලි නැතුව විභාග පාස් කරලා ඒ වෘත්තීය ගමන මං ගියා.

ඔබේ ගෙදර?

අපේ තාත්තා කළුවර ලීවලින් අලි හදන කර්මාන්තයක් කළා. ලංකාවේ එකම කේන්ද්‍රස්ථානය තමයි ඒකට ගාල්ල. තාත්තා සෞඛ්‍ය දෙපාර්තම්නේතුවේ රස්සාවකුත් පාට් ටයිම් කළාට, මැෂින් දොළහක් අපේ ගෙදර තිබුණා. හැට ගණන්වල ඒක සුවිසල් දෙයක්. අම්මා ගෘහණියක්. හැබැයි තාත්තට වැඩිය අම්මා ඉගෙනගෙන තිබුණා. අම්මා දිගට ඉගෙන ගනිද්දී වහාම අධ්‍යාපනය නැවැත්තුවා සීයා. මගේ සාහිත්‍ය ගුරුවරයාගේ මාමගේ දුව එක්ක තමයි මම විවාහ වුණේ. ඇය සුභාෂිණි බණ්ඩාරනායක. එවක එකපාරම මම ඈ මගේ බිරිඳ විය යුතුයි කියලා හිතුවා. අපිට දුවලා දෙන්නෙක් ඉන්නේ. ලොකු දුව විවාහ වුණා වෛද්‍යවරයෙක් එක්ක. දුවලා දෙන්නම කළේ භාෂාව. ඇය මාස තුනක් විද්‍යා විෂයන් කරලා මගෙන් ඇහුවා භාෂා විෂයන් කරන්න. මං කැමැත්ත දුන්නා. මම හැමතිස්සෙම හිතන්නේ මගේ ගෙදරයි, මගේ රසිකයොයි තමයි මා ලැබූ ලොකුම සම්මානය කියලා කලා කරුවෙක් විදිහට.

ඔබ කවියෙක්; ලේඛකයෙක්; ගී පද රචකයෙක්?

යම්කිසි දෙයක් අද මං අත්කර ගෙන තියෙනවා නං ඒ මගේ සාහිත්‍ය ගුරුවරයා හින්දා. බණ්ඩාර සර් තමයි මට රුසියන් සාහිත්‍ය මී පැණි වගේ කියලා දුන්නේ නවයේ පන්තියේ ඉඳන්ම. ඔහු දහයේ පන්තියට එද්දී ඉංග‍්‍රීසි පොත් කියවන්න හුරු කළා. ඒ වගේම තාත්තත් මං හයේ හතේ පන්තිවල ඉඳිද්දී ගාල්ලේ පොත් කඬේට ගිහිල්ලා රුපියල් සීයක් (අද දහදාහක් විතර* මගේ අතට දීලා තාත්තා පොළේ ඇවිදිනවා. එතකොට මම සේරම පොත් ගත්තත් රුපියල් හතළිහක් විතර වියදම් වෙන්නේ. ඒ වගේම පාලිත පෙරේරා කියන මාධ්‍යවේදියා මට දුන් අයෝමය සහාය පේ‍්‍රමකීර්ති ද අල්විස්, එච්.එම්.ගුණසේකර, දයා ද අල්විස්, කුසුම් පීරිස් වගේ මහ විශාල පිරිසක් මගේ සාර්ථකත්වය පිටුපස ඉන්නවා. ඒ වගේම මගේ දෙවැනි අක්කා මට ගොඩක් බලපෑවා. එයා තමයි රචනා තරගවලින් දිනන්නේ. එතකොට මටත් ආසා හිතුණා. 68 බණ්ඩාරනායක රචනා තරඟයෙන් අක්කා ලංකාවෙන්ම පළමුවැනියා වෙනකොට මම හතරේ පන්තියේ. මට මතකයි මම නිදි මරාගෙන ඉඳලා අක්කට හම්බවෙච්ච තෑගී ටික කඩපු හැටි. ඉතිං ඔය වගේ විශාල ඉතිහාසයක් ඇතුව තමයි මං මේ ක්ෂේත‍්‍රයට ආවේ.

1982 වසරේදී ඔබේ නිර්මාණ අපට හමුවන්නේ නැහැ?

කුලරත්න අරියවංශ, රෝහණ වීරසිංහ කියන මේ දෙදෙනා ගැන මට නොකියම බෑ. යම්කිසි සිද්ධියකින් මම මන්දෝත්සාහි වෙලා ලිවීමෙන් බැහැර වෙලා ඉද්දී තමයි රෝහණ අයියයි කුලේ අයියයි හම්බවෙන්නේ මට. එතකොට තමයි මම ආපහු ලියන්න ගත්තේ. ඒගොල්ලෝ නැතුව මට මගේ ගීතයක් නැහැ. බණ්ඩාර සර් නැතුව සාහිත්‍යක් නෑ. ඇඟළුම් ක්ෂේත‍්‍රය ගැන කතා කරනකොට අදටත් ප‍්‍රමුඛව කතා කරන්නේ ඔබේ ? වැඩ මුරය ගීතය පිළිබඳව. අවුරුදු 35 ක් තිස්සේ මේ ගීතය එක ලෙස ජනප‍්‍රියතත්වයේ තියෙනවා. මේ සුලබ ප‍්‍රස්තුතය ගැන විවිධ ගීත ලියවුණත් ඒ කිසිවක් මේ ගීතය තරම් කතා බහට ලක්වුණේ නෑ කියන එකයි විචාරකයින් ගේ මතය.

සුනිල් අයියගෙන් මට විශාල කීර්තියක් ලැබුණේ රෑ වැඩ මුරය සහ වියෝ වූ පසුවයි ගීත දෙකෙන්. කටුනායක ඇඟළුම් කර්මාන්තශාලා ගැන අහලා තිබණනට ඒ කාලේ කොග්ගල ඇඟළුම් කර්මාන්ත පුරය එහෙම තිබුණේ නෑ. කුරණ, කටුනායක තමයි මේ කර්මාන්තයේ ළමයි අපිට දකින්න පුළුවන් වුණේ. අපි දවසක් මළගෙදරක යද්දී මහ රෑ යාමෙක මේ ළමයි කෑ කෝ ගහගෙන කර්මාන්ත ශාලාවට යනවා දැක්කා. අපි මළගෙදර ගිහිං එනකොට ඒක ඉතා නිහඬව නිසංසලව තිබුණා. ඒක ඇතුළේ කිසි සද්දයක් බද්දයක් නෑ. අපි එද්දී එතැන ටිකක් නැවැත්තුවා. එතැන සුදු බිත්තියක් තිබුණා. උඩ සිවිලිමක් තිබුණා. ඒ දෙක අතරින් නියෝන් එළිය එළියට ගලාගෙන යනවා. කර්මාන්ත ශාලාවේ ලස්සන තණ බිමේ නියෝන් එළිය විහිදිලා විසිරිලා දොරේ ගලලා ගිහිං තිබුණා. මට හිතුණා මේක ඇතුළේ මේ ළමයින්ගේ තාරුණ්‍ය පුදුම විදිහට දියවෙනවා කියලා. මේ ගීතය ජනකවි ආරට ලිව්වේ. සිංහල ජනකවිවලට මං හරි කැමතියි. කුලේ අයියයි සුනිල් ආර්. ගමගේ දෙන්නා තමයි මේ ගීතය කරන්න පසුබිම හැදුවේ.

වියෝ වූ පසුවයි?

රිච්මන්ඞ් එකේ අවුරුදු හකොළහමාරක් ඉඳලා අවුරුදු එකහමාරක් මට දික්වැල්ලේ විජිත මධ්‍ය මහා විද්‍යාලයට යන්න වුණා. ඒක මගේ විශාල ජීවිත පරිවර්තනයක් වුණා. විජිතේ ප‍්‍රධාන ශිෂ්‍ය නායක වෙනකං මං ආවා ඉතා කෙටි කලකින්. ලංකාවේ ප‍්‍රථමයා වුණා රචනා තරගවල. සාහිත්‍ය තරගවල. විජිතේ පුදුම සමගියක් තිබුණා. හැබැයි වියෝ වූ පසුවයි කියන්නේ මගේ අත්දැකීමකට වැඩිය අද ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, විජිතෙට ගියාම මට හම්බවුණ රැුග් එකෙන් මාව බේරගත්ත මගේ මිතුරකු ගේ අත්දැකීමක්. මගේ ඒ මිත‍්‍රයාගේ විශාල පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා පන්තියේ හිටපු දීප්තිමත්ම ශිෂ්‍යාව එක්ක. ඒ පේ‍්‍රමය කොච්චර ද කියනවා නං මගේ යාළුවා රස්සාවකට ගියා උසස් පෙළ අතහැරලා දාලා ඈ වෙනුවෙන්... ඈට උගන්වන්න. නමුත් ඇය ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේදී මගේ මිතුරාට කියනවා තවත් විශ්වවිද්‍යාලයට එන්න එපා ඇයව බලන්න කියලා. ඒක මහ විශාල කම්පනයක්. දවසක් ඔහු ගාල්ලේ අපේ ගෙදරට ආවා. මට නිකං දැනුනේ ඔහු ජීවිතේ නැතිකරගන්න හදන තත්ත්වෙක හිටියා කියලා. එතකොට මං අපේ ගෙදර පිටිපස්සේ කුඹුරු යායකට මුහුණලා මිදුලේ පුටුවක් තියාගෙන ලිය ලිය හිටියේ. එතකොට සිකුරු තරුව පායාලා තිබුණා මගේ මිතුරා මේ කතාව කියද්දී. අම්මා තේ, හකුරු ගෙනාවා. මේ සිකුරු තරුව අහසට හඳ ආවම පේන්නේ නෑ. මගේ මිත‍්‍රයට වුණෙත් ඒකයි. මගේ මිත‍්‍රයාගේ දරා ගත නොහැකි පේ‍්‍රම සම්බන්ධය තමයි වියෝ වූ පසුවයි ගීතයට ප‍්‍රස්තුතය වුණේ.

ජීවිතය, හැඟීම්, ඔබ හරි අපූරුවට ගීතයකට පරිවර්තනය කරනවා. ඔබේ ගීත සංචිතයේ මුනිවර ආදරය පිළිබඳ ලියවුණු සුන්දර පද හමුවෙනවා?

සිම්පෝසියම්, සිංහල අනුවාදය මධු සාදයෙහි පේ‍්‍රමය, ආදරය, වර්ග කරනවා හය විදියකට. මේ වර්ග කිරීමේදී ආදරයේ මුනිවර දහම පිළිබඳ ලියවිලා තියෙනවා. ඉතිං ඕක ගැන මං හුඟක් හිතනකොට අරවින්දගේ චරිතය මට හම්බවෙනවා. විරාගයේ අරවින්දත් මුනිවරයෙක් කියලා තමයි මට හිතෙන්නේ. එයා අයිතිකරගන්න නෙමෙයි ආදරය කළේ. ඒ අතරේ රුසියන් කවි කියවන්න ලැබෙනවා මට පුෂ්කින්ගේ. ඒවයෙ තියෙන්නෙත් මේ මුනිවර ආදරය ගැන. පෙම්වතිය නැතිවුණයි කියලා එයාට සාප නොකරන, ඇයට හොඳක් වෙන්න පතන සාධුවන්තයින් ගේ චරිත මට හම්බවෙනවා. මෙන්න මේ සේරම ඔළුවේ තියෙනකොට තමයි නිරෝෂා දවසක් කිව්වේ අයියේ කවදාවත් එකතුවෙන්න බැරි හැබැයි ආදරය බින්දුවක්වත් අඩු නැති කිසිම වෛරයක් නැති කවදාහරි ඒ ජීවිතේ ගැන හිතලා සැනසෙන්න පුළුවන් ගැහැනියක ගේ ගීතයක් මට ලියලා දෙන්න කියලා. මේ සේරම හේතුවුණා මට නිරෝෂාට මේ සින්දුව ලියන්න. දවසක් දයා ද අල්විස් මහත්මිය ගේ ගෙදරදී හම්බවුණ වියපත් මහත්මයෙක් මට කිව්වා පුතා තවත් සින්දු නොලිව්වට කමක් නෑ මේ සින්දුව පුතාට ඇති කියලා. ඒක මට හම්බවෙච්ච ලොකුම ඇගයීමක්. ඊට අමතරව විශාල වශයෙන් ගැහැනු පිරිමි භේදයක් නැතුව මේක අගය කරනවා. එක් පෙති මලක් විය මෙයට ම සමාන අදහසක් තියෙන ගීතයක්. ඒ දෙකම මුනිවර පේ‍්‍රමය පාදක කරගෙන තමයි ලිව්වේ.

ඔබ නන්දා මාලිනි, පණ්ඩිත් අමරදේවයන්, වික්ටර්, එඞ්වඞ්, දීපිකා, උරේෂා, නිරෝෂා පමණක් නොවෙයි රනිඳුට පවා ගීත රචනා කළා?

මං හරි වාසනාවන්තයි ඒ අතින්. නන්දා අක්කගේ ඉඳලා අමරදේව සර්ගේ ඉඳලා අද නව යොවුන් ගායක ගායිකාවන්, රනිඳු ලංකා ගේ වැනි වෙනම ම ශානරයක යන ගායකයකුට පවා මම ලිව්වා. නමුත් ඒ සියල්ල අතරින් මට දීලා තියෙන සීමිත ඉඩ හසරේ එපා තවත් ඔබ ගීතය මා අද තෝරා ගන්නවා. වසන්තා තිලකාංගනී කෑගල්ලේ ඉතා දුෂ්කර පැත්තක හිටපුකෙනෙක්. වසන්තා ගොඩක් ගී ගැයුවත් ඇයව හඳුන්වන්නේ මේ ගීතයෙන්. ගැහැනියකට පිරිමින් ගේ රැුවටිලි නැතිවුණාට කෙලින් ඉන්න පුළුවන්. එහෙම කෙලින් ඉන්න ගැහැනියක් තමයි වසන්තා. වසන්තා බොහොම අමාරුවෙන් මහන්සිවෙලා මේ තැනට ආව කෙනෙක්.

ඔබේ ගීත රචනා කලාව උඩු යටිකුරු කරපු ගීතයක් නේද විරාග රාගය?

විරාග රාගය ගැහැනිය පිළිබඳ ඉතා සානුකම්පිතව බලපු ගීතයක්. රූප රචනයේදී යශෝධා විශාල මෙහෙවරක් කරනවා. යශෝධා පුදුම නිළියක්. අමරසිරි සහ අමල් ගීතය ගැයුවට ඒකෙ ඒ කතාව කියවෙන්නේ යශෝධාගෙන්. ඒ වගේම මගේ ප‍්‍රථම චිත‍්‍රපටය විරාග රාගය; කොරෝනා නිසා පහුවුණා. අධ්‍යක්ෂණය සහ තිර රචනය දෙකම මගේ. යශෝධා, මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ රංගනය. හුඟක් දෙනෙක් ඒ ගීතය චිත‍්‍රපට ගීතයක්ද කියලා අහනවා. ඒකයි චිත‍්‍රපටයක් කරන්න හිතුණේ.

අඹ යාළුවෝ ටෙලි නාට්‍යයේ ගීත තුනෙහිම රචකයා ඔබ. එනු කොහි සිට චරිතාපදානය ඇතුළු කෘති රැුසක් ඔබ අතින් ලියවුණා. ඔබේ පළමුවැනි ගී පොත සිනා තොටක් 2003 හොඳම ගී පොත ට හිමි රාජ්‍ය සම්මානය හිමි වුණා. ඒ වගේම ලංකාවේ පළමු වතාවට පාසලක් පිළිබඳ වාර්තා චිත‍්‍රපටයක් කළෙත් ඔබ ?

ඔව්. ඒ රිච්මන්ඞ් රුවන. පසුව මහින්ද මහිම ඇතුළු වාර්තා චිත‍්‍රපට ගණනාවක් නිර්මාණය කළා. මගේ යූ ටියුබ් චැනල් එකක් ලබන මාසේ විතර මං දියත් කරනවා. ඒකෙ මම කරපු වාර්තා චිත‍්‍රපට ඇතුළු මේ සියල්ල ඇතුළත්. සිනමාව සම්බන්ධයෙන් මං විශාල දැනුමක් ලැබුවා සුනිල් ආරියරත්නගෙන්.


යුගන්ති යශෝධරා




sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles