Divaina - රජ වාසලට වෙදකම් කරලා තෑගි ලැබුණු ගම ආණ්ඩුවට සින්න කරගත් හැටි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

wasala2කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කියන්නෙ වඩිග පරම්පරාවෙන් පත්වුණු දෙවැනි රජතුමා. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ගුරු ඇසුර නිසා මේ රජු බුද්ධ ශාසනයට විශාල සේවයක් කළා. දඹුලූ විහාරෙ එහෙම ප‍්‍රතිසංස්කරණය කළේ මේ කාලෙ තමයි. සමනක්කොඩි නිලමේ ගෙන් පසුව රජුගේ ප‍්‍රධාන මහ අදිකාරම් තනතුර හොබවන ලද්දේ පිළිමතලව්වේ නිලමේ තුමා. ඔහු නුවර කලාවිය නැතිනම් අනුරාධපුර පළාතේ දිසාපති තනතුරත් දරා තිබෙන බව පැහැදිලියි.

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී විශා
ල කැරැුල්ලක් හටගත්තා. වඩිග රජු බලයෙන් පහකොට සිංහල කුමාරයකු නැවත සිංහාසනයේ තැබීම එහි බලාපොරොත්තුවයි. දෝන කතිරිනා බිසවගේ ඥාති සහෝදරයා වන දෙනවක මායාදුන්නේ කුමරුගේ පරම්පරාවේ මුණුපුරෙක් පහතරටට පැන ගොසින් ලන්දේසීන්ගේ සිත් දිනාගෙන හිටියා. ඔහු ලන්දේසි හමුදාවක් සමග එකතුවෙලා කුරුණෑගල හරහා මහනුවරට සේන්දු වෙන්නට උත්සාහ කළා. ගලගෙදර කපොල්ල තරණය කොට කටුගස්තොට අභිබවා ගියාම මහනුවර යටත් කරගන්න හැකිවන නිසා වර්ෂ 1760 -65 කාලයේ දී මේ පහරදීම සිද්ධ වුණා. නමුත් උඩරට රජුට ශක්තියට හිටි නිලමේවරු නිසා මේ කැරැුල්ල පරාජයට පත් කළා. මහා සංඝයා වහන්සේගේ සහායත් රජුට හිමි වූ නිසා පහසුවෙන් මේ කැරැුල්ල මැඬ පවත්වන්නට හැකි වුණා.

කැරැල්ලෙන් පසු 1766 දී උඩරට රජු ලන්දේසීන් සමග ගිවිසුමකට එළඹුණා. සුප‍්‍රසිද්ධ හඟුරන්කෙත ගිවිසුම යනුවෙන් ප‍්‍රකට වන්නේ එයයි. මේ ගිවිසුම නිසා මුහුදුකරයේ සිට ගව්වක ප‍්‍රමාණයක් තමන්ගේ පාලනයෙන් අත්හරින්නට රජුට සිදු වුණා. උතුරුකරය මෙන්ම නැගෙනහිර ප‍්‍රදේශයත් මෙලෙස අත්හැරීම නිසා උඩරට රාජධානිය හුදකලා වුණා. මේ නිසා ලන්දේසි පාලන සීමාවට යාබදව තිබෙන බොහෝ ප‍්‍රදේශ සන්නද්ධ කරන්නට තීරණයක් ගත් ආකාරය අපට දැක ගන්නට පිළිවන්. මේ කාලයේ ත‍්‍රිකුණාමලයට සහ මඩකලපුවට යාබදව තිබෙන පළාත් අතරින් අනුරාධපුරය නැතිනම් නුවර කලාවිය ප‍්‍රබලයි. කාලිංග මාඝ ආක‍්‍රමණවලින් පස්සෙ මේ පළාත් ජන ශූන්‍ය වුණා. පිළිමතලව්වේ මහ නිලමේ විසින් මෙහෙයවපු ක‍්‍රියාදාමයක් මගින් නැවත මේ පළාත්වල රාජකාරි සඳහා උඩරට ප‍්‍රභූවරු යොදවන්ට තීරණයක් ගත්තා. එ් අනුව මහනුවර පළාතේ සේවයේ යෙදී සිටි බොහෝ රට කෝරලේ ඇත්තන් සේවයෙන් මුදවල නුවරකලාවියේ ගම්බිම් අස්වද්දන්ට සහ ආදායම් එකතු කරන්නට ගම්ප‍්‍රධානීන් බවට පත් කළා. මේ කාලයේ රජරට වන්නිය මුර කළ වන්නි මුදියන්සේවරුත් හිටියා. ඔවුන් මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන රජරට ගම්වල තමුන්ගේ මිනිසුන් පදිංචි කරන්නට පෙළඹණු බව පේනවා. එ් අනුව හුරුලූ පළාතේ දුටුවෑ තුලානේ ගම් කීපයක්ම මඩකලපුවේ වැසි මරක්කල වානිජයන්ට පවරා දී තිබෙන බවද තුඩපත්වලින් දැක ගත හැකියි.

මෙම ලිපියේ ප‍්‍රධාන කතාවට අදාළ පුංචිරාල නිලමේ සේවය කළේ මහවාසලේ ගබඩාවෙයි. ඔහු පරම්පරාවෙන්ම දක්ෂ වෛද්‍යවරයෙකි. රජුට මෙන්ම නිලමේවරුන්ට වෙදකම් කරමින් කීර්තියට පත් පුංචිරාළ මේ යුගයේ පැතිරුණු වසංගතවලට ද ප‍්‍රතිකාර කොට තිබෙනවා. කෝලය යනුවෙන් හැඳින්වූ ශ්වසන රෝග රාශියක් ඔහුගේ වෙදකම්වලින් සුවපත් වූ බව පැවසෙනවා. වෛද්‍යවරයකු වශයෙන් පමණක් නොව දක්ෂ සටන් ශිල්පියෙකු වූ පුංචිරාල ගබඩා රාජකාරියෙන් මුදවා නුවර කලාවියේ කෝරාළ ලෙසින් පත්කර හරින්නට පිළිමතලව්වේ තීරණය කරගත්තේ මේ නිසයි. මේ කාලය වන විට රට අස්ථාවරයි. ලන්දේසීන් සමග තිබෙන සටන් අපමණයි. මේ නිසා නැගෙනහිර පළාතේ සිට එන ආක‍්‍රමණ වළක්වා ගන්නට ගම්රකින්නට වැඩ පිළිවෙළක් හැදිය යුතුව තිබුණා.

wasala3

නුවර කලාවිය කියන්නේ නුවර වැව, කලාවැව සහ පදවිය කියන මහා වාරිමාර්ගවලට ආවරණය වන ප‍්‍රදේශයයි. පුංචිරාළ කෝරලේ කරලා පත්කළේ දුටුවෑ තුලානේ කපුගොල්ලෑව කියන ගමටයි. පදවිය වැව ඉස්මත්තේ පූර්ව අනුරාධපුර සමයේ සිට සංවර්ධනය වූ මේ ගම්මානවල තිබෙන ලොකු කුඩා වැව් ගණන ඉතා විශාලයි. මේ වැව්වලට ජලය ලබා දෙන්නට මහා පැරකුම් රජ දවස දී යෝධ ඇළවල් බිහිවුණා. යාන් ඔය එහි ප‍්‍රධාන ජල මූලාශ‍්‍ර යයි. හොරොව්පතානේ සිට පදවිය සහ වාහල්කඩ දක්වා තිබෙන සියලූම වැව් පෝෂණය කරමින් මේ යෝධ ඇළවල් ගලා ගියා. කපුගොල්ලෑව වැවත් එලෙස පෝෂණය වූ මධ්‍යම පරිමාණයේ වැවක්. පුංචිරාළ කෝරලේට රජුගෙන් තුඩපත් ලැබුණා. තුප්පොට්ටියත් සමග ඇඳුම් ලැබුණා. ගබඩා රාජකාරිය අතහැර කපුගොල්ලෑවට ඇවීදින් ගම අස්වද්දලා කුඹුරු සරිකරලා පළාත රැුක්කා. මේ කාලයෙ වැටෙන්නේ ශකවර්ෂයෙන් 1710 නැතිනම් ක‍්‍රිස්තු වර්ෂයෙන් 1788 වැන්නටයි. එ් කාලේ වෙනකොට කීර්තී ශ‍්‍රී රාජසිංහ ඉකුත් වෙලා රාජාධිරාජසිංහ රජකමට පත්වෙලා. පුංචිරාළට ලැබුණු ගමේ කුඹුරු සහ හේන් ගොවිතැනට ඉඩකඩ ලැබුණා. එ් වගේම පැරණි කාලේ පටන් පැවතෙන මහ කැලෑද තිබුණා. නමුත් මේ මහ කැලෑවලට අත නොතියා හේන් ගොවිතැන් කරන්ට පුංචිරාළ සහ ඔහුගේ ඥාතීන් දැන සිටියා. පුංචිරාළට හිටියා පිංහාමි කියා පුත‍්‍රයෙක්.

wasala1
ඔහුගෙන් පස්ස මැණික්රාළ ආදී වශයෙන් වර්තමාන පරම්පරාව දක්වා පැවතෙන වෛද්‍යවරු රාශියක් සිටි බව පේනවා. පුංචිරාළගේ පෙළපත් නාමය වන චන්ද්‍රශේඛර මුදියන්සේ යන නාමය අද දකින්නට නැහැx දෙමළ රෙජිස්තාර්වරු ජනයා ලියාපදිංචි කළේ දෙමළ ක‍්‍රමයටයි. එ් අනුව තමයි උක්කුරාලගේ මුදලිනායක කියන වත්මන් වෛද්‍යවරයා හැඳින්වෙන්නේ. ඔහු කැඩුම් බිඳුම් වෙදකමට වගේම අර්ශස් වෙදකමටත් දක්ෂයි. තමන්ගේ පරම්පරාවේ උරුමය වර්තමානයේ දී විනාශ වී ගිය හැටි ඔහු පවසන්නේ මෙලෙසයි.

wasala4

‘පුංචිරාළ වෙදනා කියන්නේ අපේ මුත්තා. පරම්පරා හතකට එහායින් නුවර රජවාසලේ ගබඩාවෙ කත්හාල් රාජකාරිය ඉෂ්ට කරන්න බැඳිල හිටිය කියල තමයි කියැවෙන්නෙ. වෙදකම පරම්පරාවෙන් එන නිසා රජ වාසලේ නිලමක්කාරයන්ට වෙදකන් කරලා තිබෙනවා. මහරජුටත් වෙදකන් කරන්න ඇති. රාජාධිරාජසිංහ වඩිග රජ්ජුරුවන් ගේ කාලෙදි එ් කියන්න වර්ෂ 1788 දී පිළිමතලව්වේ මහ නිලමේ තුමා විසින් අපේ මුත්තා ගබඩා රාජකාරියෙන් නිදහස් කරලා තිබෙනවා. එ් දක්ෂ වෙදකමක් කළ නිසා. ඊට පස්සෙ මේ කාරණය තල්පතක ලියලා අත්සන් කරලා කෝරලේට අයිති ඇඳුම් ආයිත්තම් දීලා නුවරකලාවිය පැත්තෙන් කපුගොල්ලෑව කියන නින්දගම දීලා එහි ආදායම පඬුරු වශයෙන් රජ වාසලට ඔප්පු කරන්ට කියලා කෝරාළ තනතුර පංගාත්තු කරලා පිටත් කරලා තිබෙනවා. එ් නිසා පුංචිරාළ මුත්තා ගමට නායකයා වෙලා කපුගොල්ලෑව වැව යටතේ පමණක් නොව වීරවැව, හල්මිල්ලෑව මරදන්මඩුව වගේ වැව් යටතේ ඉඩම් අස්වද්දලා තමන්ගේ ඥාතීන් සමග සිටි බව පේනවා. පුංචිරාළගෙන් පසු පිංහාමි, පිංහාමි ගෙන් පසු මැණික්රාල, මැණික්රාල ගෙන් පසු රංහාමි. ඊට පස්සෙ මැණික්රාල. අපේ අප්පච්චි උක්කුරාල. මේ සෑම දෙනම වෙදකම් කළා ගමේ වරිග්කාරයන්ට නායකත්වය දෙමින් සිටිය කියල තමයි දැනෙන්නෙ. 1788 දී අප පරම්පරාවට ලැබුණු සන්නස වර්ෂ 1866 දී ඉංග‍්‍රීසි ආණ්ඩුවට පෙන්නල තිබෙනවා. පස්සෙ එහි පිටපතක් අරගෙන දැන් නුවර ලේඛනාගාරයේ තැන්පත් කරලා තිබෙනවා. නමුත් ඉඩම් රාජසන්තක වුණා. නිදහසින් පස්සෙ 1975 දී ගමේ ඉඩම් නිරවුල් කරන්න කියලා කච්චේරියක් තිබ්බා. අපේ අප්පච්චි උක්කුරාළ පැරණි සන්නස ආණ්ඩුවට ඉදිරිපත් කළා. එ්ත් එ්ක පිළිගත්තේ නෑ. අපේ ගමට පරවේණි ඉඩම් වශයෙන් වෙන් කරලා දුන්නෙ අක්කර 140 ක් පමණයි. කපුගොල්ලෑව ගමට තිබෙන සම්පූර්ණ ඉඩම් ප‍්‍රමාණය පමණක් අක්කර 2372 ක්. සන්නසෙන් හිමිවුණු මේ සියලූ ඉඩම්වලින් වැඩි හරියක් ආණ්ඩුවට ගත්තා.’

උක්කුරාල වෙදරාළගේ මුදලිනායක වෙද මහතා වර්තමානයේ පවසන මේ යථාර්ථය රජරට ගම් රාශියකට අත්ව ඇති ඉරණම කියාපාන්නකි. සන්නස් මගින් දුන් බොහෝ ඉඩම් රජයේ අවශේෂ කැලෑ බවට පත් වූ අතර වරින් වර එ්වා පුද්ගලයන්ට බැහැර කර තිබේ. විශේෂයෙන්ම අන්තවාදීන්ට පවරා දී තිබේ. දුටුවෑ තුලානේ පමණක් ගම් 11 ක් මුස්ලිම් ජනතාවට පවරා දී තිබේ. වර්තමානයේ මේ කැලෑ ඉඩම් පදවිය වන රක්ෂිතයට එක්කර තිබෙන අතර දේශපාලනඥයන් සහ පිටස්තර පුද්ගලයන් වෙත බැහැර කරමින් ඇත. ඵ ක්‍ ක්‍ වැනි ගිවිසුම්

මගින් විදේශකයන් සතු කරන්නට උත්සාහ කරනුයේ මෙවැනි පාරම්පරික පරවේණි ඉඩම්ය. මේ තිත්ත ඇත්ත බොහෝ දෙනෙකුට වැටහී නොමැත.

මතුගම සෙනෙවිරුවන්

p21 3

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles