Divaina - අපේක්‍ෂා රෝහලේ බෙහෙත්වලට විතරක් මාසයකට කෝටි 400ක්... රටම දන්න මහාචාර්ය වරයකුත් පිළිකාවට ප‍්‍රතිකාර ගන්නවා...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

තරංග රත්නවීර

අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ  විශෙෂඥ වෛද්‍ය වසන්ත දිසානායක හෙළිකරන අලූත්ම කතාවක්...

- රටම දන්න මහාචාර්යවරයකුත්  පිළිකාවට ප‍්‍රතිකාර ගන්නවා...
- පිළිකාවට දැන් බෙහෙත් තියෙනවා...

- පිලිකා රෝගීන්ගේ සීග‍්‍ර වර්ධනයක්.... නේවාසික දරුවන්ට උපකාරක පංති...

p29 1පිළිකාව ගැන කතා කිරීම දුකකි. එහෙත් මෙරට අසරණ පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කරන අපේක්‍ෂා රෝහල ගැන කතා කළ යුතුය. එමෙන්ම මෙරට පුරවැසියන් විදිහට මහරගම අපේක්‍ෂා රෝහල ගැන අප නිරන්තර අවධානයෙන් සිටිය යුතුය. ඒ මෙරට පිළිකා රෝගීන්ට ඇති එකම අපේක්‍ෂාව මහරගම පිළිකා රෝහල පමණක් නිසාය. එහෙයින් කොරෝනා වසංගතය හමුවේ රටම ලොක් ඩවුන් වූ කාලය තුළ මහරගම අපේක්‍ෂා රෝහල සිදු කළ සුවිශේෂී මෙහෙවර මෙන්ම පිළිකා රෝහලේ උද්ගත වූ බෙහෙත් අර්බුදය ගැන විමසා බැලීමට අපි එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා හමු වීමු. ඔහු අපගේ ප‍්‍රධාන ගැටලූවලට පිළිතුරු ලබාදෙන අතරේ පිළිකා රෝහල සම්බන්ධයෙන් සුවිශේෂී තොරතුරු රැුසක්ම අප ඉදිරියේ හෙළිදරව් කළේය. මේ

පෙළගැසෙන්නේ ඒ විශේෂ තොරතුරු ඇතුළත් වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියන කතාවය.

‘‘කොරෝනා වසංගතය පාලනය කරන්න රට වහනකොට අපේ රෝහලේ නේවාසික රෝගීන් එක්දහස් හයසියයකට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර ලැබුවා. ළමා වාට්ටුවේ පමණක් රෝගීන් එකසිය පනහක් ප‍්‍රතිකාර ගත්තා. ඔවුන්ගෙන් 
90% ක් ලියුකේමියා රෝගීන්. ඒ දරුවන්ව උපරිමයෙන් අපි ආරක්‍ෂා කළා. සාමාන්‍ය දවස්වලට ඒ ළමයි වෙනුවෙන් සෙල්ලම් ගෙයක් තිබුණා. උපකාරක පන්ති පැවැත්වූවා. ඒ සේරම නතර කළා. සෙල්ලම් බඩු ඇතුළු ඒ දරුවන්ට ලබාදෙන සියලූ පරිත්‍යාග නතර කළා. පුංචි දරුවන්ගේ විතරක් නෙමෙයි, සියලූම පිළිකා රෝගීන්ගේ ප‍්‍රතිශක්තිකරණය ඉතාම දුර්වලයි. වසංගත රෝගයක් වැළඳීමේ ප‍්‍රවණතාව ඉතාම වැඩියි. යම්කිසි විෂබීජයක් රෝහල තුළට ඇතුළු වුණා නම්, ඉතාම කෙටි කාලයකින් නේවාසික රෝගීන් සියලූ දෙනාට විෂබීජය ඇතුළු වෙනවා. ඒ නිසා අවදානමට පෙර සූදානම් වෙමින් දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට අපි කටයුතු කළා...’’

cancer333

‘‘අපේක්‍ෂා රෝහලේ රෝගීන් බැලීමට සීමා පැනවීම් කරලා තිබුණේ නෑ. කොරෝනා වංසගතයත් එක්ක රෝගීන් බැලීම දවසටම දවල් දොළහට පමණක් සීමා කළා. එක් රෝගියෙක්ව බලන්න දුන්නෙ එක් පුද්ගලයකුට විතරයි. අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන් ගැන අනුකම්පා කරලා, උදේ, දවල්, හවස අවස්ථා තුනේදීම ඥාතීයකුට බලන්න අවසරය ලබා දුන්නා. එහෙම කළෙත් දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින්. දවල්ට රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයන්ගේ පෝළිම හැතැක්මකට වැඩියි. ගිනි අව්වේ මිනිස්සු වේළුණා. ඒත් ඉතිං රෝගීන් ගැන හිතලා රාජකාරිය හරියටම කළා. රෝහලට එන සෑම පුද්ගලයෙක්ම පිටරටවල ඉඳලා පැමිණි අය ඇසුරු කළේද කියා දැනගෙන, උෂ්ණත්වය බලලා, විෂබීජහරණය කරලා තමයි ඇතුළට ගත්තේ...’’

p29 2‘‘ඒ වගේම රට ලොක් ඩවුන් කළා කියලා අපේක්‍ෂා රෝහලේ කරගෙන ගිය කිසිම සායනයක් නතර කළේ නෑ. ඒ සියලූ සායන පෙර පරිදිම කරගෙන ගියා. ප‍්‍රදේශ භාර පොලිස් පරීක්‍ෂකවරයාට ක්ලින්ක් කාඞ් එක පෙන්නලා අවසර අරගෙන සායනවලට පැමිණෙන ලෙස රෝගීන් දැනුවත් කළා. රෝගීන් බැලීමට පැමිණෙන්න ඥාතීන්ට, රෝගීන්ට, අපේ කාර්ය මණ්ඩල සේවකයන්ට පැමිණීමට මුළු රටම ආවරණය වන විදිහට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සේවාවක් ආරම්භ කළා. ඒ වගේම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ඖෂධ අරගෙන යන්න ඒ බස් දහයක ශීතකරණ සවි කළා. මුලතිව්, ත‍්‍රිකුණාමලය, මාතර, නුවර, නුවරඑළිය සියලූම ප‍්‍රදේශ ආවරණය වන විදිහට ප‍්‍රධාන මාර්ගවල ඒ බස් ධාවනය වුණා. බස් සේවාව ක‍්‍රියාත්මක කරවීමේ වියදම අපි ලංගමයට පියෙව්වා. ඒ බස් සේවාවට නොමිලේ ඉන්ධන ලබා දුන්නෙ ඛනිජ තෙල් සංස්ථාව. රෝහල් කාර්ය මණ්ඩලයේ සියලූම අයගේ වාහනවලට ඉන්ධන ලබාදෙන්න බොරලැස්ගමුවේ ඉන්ධනහල පැය විසිහතර පුරාම විවෘත කර තැබුවා...’’

පෞද්ගලික රෝහල් වහපු නිසා රෝගීන් වාර්තා වීමත් වැඩි වුණා. වෙන සිංහල අවුරුදුවලට සාමාන්‍ය රෝගීන් ටිකට් කපාගෙන ගෙවල්වලට ගියා. මේ සිංහල අවුරුද්දට කිසිම රෝගියෙක් ගෙවල්වලට ගියේ නෑ. ‘රෑකට අමාරු වුණොත් ඇඳිරි නීතිය අස්සෙ අපිට එන්න බෑ... මේ අවුරුද්ද ඉස්පිරිතාලේම ඉන්නවා...‘ හැම රෝගියෙක්ම එක හෙළා කිව්වේ ඒ කතාව. ඒ නිසා අපිත් නේවාසික රෝගීන් වගේම පිටතින් පැමිණෙන කිසිම රෝගියෙක්ව හරවලා යැව්වේ නෑ. සමහර දවස්වලට දහස පැනලා රෝගීන් වාර්තා වුණා. ඒ සියලූ රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර උපරිමයෙන් ලබා දුන්නා. ශල්‍යකර්ම අඛණ්ඩව සිද්ධ කළා. සැක කටයුතු රෝගීන් හඳුනාගෙන එක දවසකට ඡුක්‍ඍ පරීක්‍ෂණ සීයක් කළා. කැස්ස, උණ, හෙම්බිරිස්සාව වගේ රෝග ලක්‍ෂණ පෙන්වන රෝගීන් වෙන් කර තැබීමට රෝහල් භූමිය තුළ වෙනම වාට්ට්ටුවක් ඉදිකළා. ඇඳන් දහයක් තැබීමට ඉඩ පහසුකම් ඇති ඒ වාට්ටුව දින කිහිපයක් ඇතුළත ඉඳිකිරීමට ශ‍්‍රම දායකත්වය ලබා දුන්නේ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ‘21 වාට්ටුව’ කියලා නම් කළාට රෝහල තුළ ප‍්‍රසිද්ධ වුණේ කොරෝනා වාට්ටුව කියලා. ඒත් කිසිම කොරෝනා රෝගියෙක් හිටියේ නෑ. එම වාට්ටුවට ඇතුළත් කළේ ශ්වසන ආබාධ සහිත රෝගීන්. ඒ වගේම ඒ වාට්ටුවට වෙනම කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කළා...’’

‘‘අපේක්‍ෂා රෝහල කොරෝනා වසංගතයෙන් බේරා ගන්න රෝහල් කාර්ය මණ්ඩලය දැඩි සේ කැප වී සේවය කළා. මාර්තු, අපේ‍්‍රල්, මැයි මාස තුනේම එක දිගට අපි වැඩ කළා. මම දවස් අනූවම රෝහලට ආවා. සිංහල අවුරුද්ද දවසෙත් පිළිකා රෝහලේ. වෙසක් දවසෙත් රෝහලේම ඉඳගෙන රෝගීන් එක්ක වෙසක් සැමරුවා. විශේෂඥ වෛද්‍යවරු, සාමාන්‍ය වෛද්‍යවරු, හෙද නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය සහායකවරු, සුළු සේවකයො සියලූම වෘත්තිකයින් ඉතාම කැපවීමෙන් සේවය කළා. රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය මුඛ ආවරණ, ඡුඡුෑ ඇඳුම් අපේ හෙදියන් විසින් මහ ගත්තා. ඒ වගේම නිවෙස්වලට යෑමට අපහසු දුර බැහැර සේවකයන්ට නවාතැන් පහසුකම්, ආහාරපාන ලබා දුන්නා. පවිත‍්‍රතා කටයුතුවල යෙදෙන සුළු සේවකයාගේ ඉඳලා රෝහල් කාර්ය මණ්ඩලයේ සියලූදෙනාට, නේවාසික රෝගීන්ට, රෝගීන් බලාගන්න ඉන්න පුද්ගලයන්ට තුන්වේලම ආහාර ලබාදීමට අපි කටයුතු කළා...’’

‘‘අපේක්‍ෂා රෝහලේ තුන්වේලටම ආහාර ලබාදීමට විශාල මුදලක් ඕන නිසා දානපතියන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වුණා. මට හිතවත්, අපිට උදව් කරන ව්‍යාපාරිකයන්ට, ආයතනවලට කතා කළා. මම කතා කරපු ගොඩක් ව්‍යාපාරිකයො අපිට උදව් කළා. ඒත් පොලොන්නරුවේ විශාල හාල් මෝල් අයිතිකාරයකුට කතා කරලා හාල් ටිකක් දෙන්න පුළුවන් ද කියලා ඇහුවම ‘පුළුවන් ඩොක්ටර්... අපේ බැංකු ගිණුමට සල්ලි දාන්න. ඊට පස්සෙ අපි හාල් ලොරියක් එවන්නම්’ කිව්වා. සාමාන්‍ය දවස්වලට ඒ මනුෂ්‍යයා ඇවිත් රෝහලේ නේවාසික රෝගීන්ට පළතුරු, විවිධ කෑම ජාති බෙදලා යනවා. මුළු රටම අසරණ වෙලා තියෙන මොහොතක අපේක්‍ෂා රෝහලට එයාගේ හාල් මෝලකින් හාල් ටිකක් ඉල්ලූවම අඩු මුදලටවත් දෙන්න බැරි වුණා. සතොස කිව්ව ගමන් අපිට අවශ්‍ය හාල් උපරිම සාධාරණ මිලකට ගෙනත් දුන්නා. ලංගමය, සතොස වගේ ආයතන විකුණලා තිබුණා නම් පෞද්ගලික ව්‍යාපාරිකයන් ඒ ආයතන කළු කඩ බවට පත් කර ගන්නවා. අපේ රෝහලට බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට පොලිසිය, හමුදාව විශාල සේවයක් කළා. ත‍්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අංශ, ලංගම, සතොස වගේ ආයතනවල සේවකයො කොරෝනා අවදානම නොතකා සේවය කරපු නිසා තමයි මේ තරම් ඉක්මනට කොවිඞ් 19 වසංගතය පාලනය කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ රට කොරෝනා ව්‍යසනයෙන් බේරුණේ ශක්තිමත් රාජ්‍ය යාන්ත‍්‍රණයක් තිබුණ නිසා. වැනෙන ආණ්ඩුවක් තිබුණා නම් කොරෝනා මර්දනය කරන්න බෑ. ඇඳිරිනීතිය දවස්වල ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමැතිතුමිය මට කතා කරලා රෝහලට තියෙන අඩුපාඩු ගැන සොයා බැලූවා. පක්‍ෂ, විපක්‍ෂ බේදයකින් තොරව දේශපාලනඥයන් මට කතා කරලා රෝහලේ අඩුපාඩු ගැන සොයා බැලූවා. ඒ ගැනත් මතක් කරන්න ඕනෑ...’’

‘‘අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකයම ලොක් ඩවුන් වුණා. එහෙම වුණාම අනිවාර්යයෙන්ම ලෝකය පුරා ඖෂධ හිඟයක් මතු වෙනවා. ඒ වගේම පිළිකා රෝගීන්ට ලබාදෙන කිසිම ඖෂධයක් ලංකාවේ හදන්නෙ නෑ. ඒ නිසා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග හතක් හිඟ වුණා. ඇතැම් ප‍්‍රතිකාර, පරීක්‍ෂණ නතර කරන්න වුණා. සමහර අය කියලා තිබුණා බෝතල් හිඟතාවක් නිසා අපේක්‍ෂා රෝහලේ බරපතල ඖෂධ හිඟයක් මතු වෙලා කියලා. ඒ කතාව සම්පූර්ණ බොරුවක්. හදිසියේ එක බෙහෙත් වර්ගයක් ආනයනය කරනකොට අතපසුවීමකින් ඒ බෙහෙත් එක දිය කරන සේලයින් බෝතලය එවලා තිබුණේ නෑ. ඒක තමයි බෝතල් හිඟයක් කියලා ප‍්‍රසිද්ධ කරලා තිබුණේ. සමහර බෙහෙත් වර්ග තියෙනවා විශේෂයෙන්ම පෙට් ස්කෑන් යන්ත‍්‍රය සඳහා අවශ්‍ය ත්‍ඔඨ ඖෂධය පරීක්‍ෂණය කරන දිනයේම ගෙන්වා ගත යුතුයි. ගුවන් ගමන් ඇන හිටීම නිසා ඒ පරීක්‍ෂණය නතර වුණා. පසුගිය 24 වැනිදා ඉඳලා නැවත පෙට් ස්කෑන් පරීක්‍ෂණය කරනවා. ඒ පරීක්‍ෂණය කරන්නෙ සතියකට එක දවසයි. එදාට පරීක්‍ෂණ දොළහක් කරනවා. ඒ පරීක්‍ෂණයට විශාල වියදමක් යනවා. ඒ වගේම තයිරොයිඞ් පිළිකා රෝගීන්ට දෙන අයඩින් ප‍්‍රතිකාරය පසුගිය මාස තුනේදී නතර වුණා. ඒකට හේතුව වුණේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ ඖෂධ කම්හලක විතරයි. කෙරෝනා වසංගතය නිසා ඒ ඖෂධ කම්හල් වහලා දැම්මා. දැන් ඒ කම්හල් නැවත විවෘත කර ඇති නිසා අපේක්‍ෂා රෝහලේ අයඩින් ප‍්‍රතිකාර පටන් ගත්තා. මේ වෙනකොට හිඟ වෙච්ච ඖෂධ හතෙන් හතරක් ලැබිලා තියෙනවා. ඉතිරි ඖෂධ වර්ග තුනත් නුදුරු කාලයේදී ලැබෙයි. කොරෝනා නිසා නෙමෙයි කොහොමත් අපේක්‍ෂා රෝහලේ බෙහෙත් සමහර අවස්ථාවල හිඟ වෙනවා. එහෙම වුණා කියලා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා නොදී ඉඳලා නෑ. බෙහෙත් වර්ගයක් රෝහලේ හිඟ නම් ෆාමසිවලින් ගන්නත් නැති නම් වෛද්‍යවරු ඊට සමාන ඖෂධයක් නියම කරනවා...’’

‘‘අපේ රටේ රෝහල්වලින් මිල අධිකම බෙහෙත් වර්ග භාවිත කරන්නේ අපේක්‍ෂා රෝහලේ. ඒ වගේම බෙහෙත්වලට වැඩිම වියදමක් වැය වෙන්නෙත් අපේක්‍ෂා රෝහලට. එක මාසෙකට බෙහෙත්වලට විතරක් රුපියල් කෝටි හාරසීයක් වියදම් වෙනවා. සමහර රෝගීන්ට රුපියල් කෝටි දෙක, දෙකහමාරක් වියදම් කරලා ප‍්‍රතිකාර කරනවා. එහෙම ප‍්‍රතිකාර කරලත් මියැදෙන රෝගීන් ඉන්නවා. එක රෑකට රෝගීන් දහයක් පහළොවක් අතර සංඛ්‍යාවක් මිය යනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. ඒ වගේම වයසෙන් වැඩි රෝගීන් කියලා ප‍්‍රතිකාර සීමා කරන්නෙ නෑ. අපි උපරිමයෙන් උත්සාහ කරන්නේ සෑම  රෝගියෙක්ම සුවපත් කරගන්න. අඩුම තරමින් පැයක් හෝ ජීවත් කරවන්න. ඒ වගේම මහරගම අපේක්‍ෂා රෝහල දැන්  ගොඩක් දියුණුයි. සියලූම රෝගීන්ට නේවාසික ඇඳන් පහසුකම් තියෙනවා.

පහුගිය කාලේ පිටරටවල යවලා කරපු පරීක්‍ෂණ දැන් අපේක්‍ෂා රෝහලේ කරනවා. රෝගීන්ගේ මානසික සංවර්ධනය උදෙසා වැඩසටහන් ඉදිරිපත් කරනවා. නේවාසික ප‍්‍රතිකාර ලබන පාසල් දරුවන්ට අධ්‍යාපනික වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. උපකාරක පන්ති පවත්වනවා...’

‘‘2018 අවුරුද්දේ අපේ රෝහලේ උපකාරක පන්තිවලින් ඉගෙනගත්ත රත්නපුරේ ළමයෙක් ලකුණු එකසිය අසූ එකක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වුණා. පහුගිය අවුරුද්දෙත් අපේක්‍ෂා රෝහලේ අමතර පන්තිවලින් ඉගෙනගෙන දරුවෙක් ශිෂ්‍යත්වය පාස් වුණා. ඒ දරුවට ලියුකේමියාව තිබුණේ. අද ඒ දරුවා සුවපත් වෙලා ඉතාම යහපත් ජීවිතයක් ගත කරනවා. අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන ලියුකේමියා රෝගීන්ගෙන් සීයට අනූවක්ම පූර්ණ සුවය ලබනවා. ඒ නිසා අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ගේ ඡුායාරූපයක්වත් අපි ගන්න දෙන්නෙ නෑ. ඒ විදිහේ පින්තූර සමාජගත වුණාම ඒ දරුවන්ගේ අනාගතයට හොඳ නෑ. අපේක්‍ෂා රෝහලේ නේවාසික දරුවන්ට ප‍්‍රතිකාර විතරක් නෙමෙයි සෙනෙහස, අධ්‍යාපන දැනුම හැකි උපරිමයෙන් ලබාදීමට අපි කටයුතු කරනවා. අපේ රෝහලේ පන්ති කරන ගුරුවරු කිසිම කෙනෙක් සල්ලි ගන්නෙ නෑ. ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වෙලා පන්ති පවත්වලා, දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණත් ඒ ගුරුවරුම ලබාදෙන අවස්ථා තියෙනවා...’’

‘‘මහරගම අපේක්‍ෂා රෝහල ආසියාවේ හොඳම රෝහල වුණත්, පිළිකා රෝගීන් වෙනුවෙන් රජය කොපමණ වියදම් කළත්, පිළිකා රෝගයෙන් වැළකී සිටීමට කොතරම් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කළත් පිළිකා රෝගීන්ගේ කිසිම අඩුවීමක් නෑ. මේ වන විට පිළිකාව උණ සෙම්ප‍්‍රතිශ්‍යා රෝගයක් ගානට පත් වී තියෙනවා. වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද පිළිකා රෝගයට ගොදුරුවීම සීග‍්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ලොකු, පොඩි තරාතිරම කිසිවක් වලංගු නැති පිළිකා මාරයාට මෙරට කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම විවිධ වෘත්තිකයින් බහුල වශයෙන් ගොදුරු වෙමින් සිටිනවා. මේ වෙනකොට මුළු රටම දන්න මහාචාර්යවරයෙක් පිළිකා රෝගියෙක් විදිහට අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. පිළිකා රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා පහුගිය කාලයේ කලාකරුවන් විශාල ප‍්‍රමාණයක් නැති වුණා. මේක අති භයානක තත්ත්වයක්. ඒත් මේ අවාසනාවන්ත තත්ත්වයට රජයට වගකියන්න බෑ. තම, තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා උපරිමයෙන් කෑම පාලනය කළ යුතුයි. නරක ආහාර පුරුදු නිසා තමයි පිළිකා රෝගීන් වර්ධනය වෙන්නේ. මත්පැන්, දුම්වැටි භාවිතය නිසා විශාල වශයෙන් පිළිකාවට ගොදුරු වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ... පිළිකාවේ මූලික රෝග ලක්‍ෂණ හඳුනාගත්ත හැටියෙ අපේක්‍ෂා රෝහලට එන්න. නිට්ටාවටම සුවපත් කරන්න ප‍්‍රතිකාර තියෙනවා. පිළිකාව ඔඩු දිව්වට පස්සෙ ඇවිත් කෝටි සීයක් වියදම් කරන්නම් කිව්වත් වැඩක් නෑ, සුවපත් කරන්න බෑ...’’ මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ කතාව සමාජ පාඩමකි. ඒ පාඩම ඔබේ ජීවිතයට අත්පොතක් බව සැබෑය.

මහරගම අපේක්‍ෂා රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරු පනහකි. සාමාන්‍ය වෛද්‍යවරු දෙසිය හැටදෙකකි. සමස්ත කාර්ය මණ්ඩලය එක්දාහස් අටසීයකි. ඔවුන්ගේ මාසික වේතන සඳහා වැය වන වියදම, ඖෂධ සඳහා මාසයකට වියදම් වන කෝටි හාරසීය, රෝහලේ අනෙකුත් වියදම් සඳහා රජය වැය කරන අති විශාල වියදම ගැන නොසිතුවද, ඔබට ලැබී තිබෙන මනුෂ්‍ය ආත්මයේ වටිනාකම ගැන සිතන්න. ජීවිතය විඳින්න සුරාවෙන් මත් වී කටට රසට කෑම සොයන ඔබට, ජීවිතය අවසානයේ විඳින්නට සිදුවන වේදනාව අතිශය අමිහිරිය. පිළිකා රෝගීන් ජීවිතයේ අවසාන හුස්ම පොද වාතලයට මුසු කරන්නේ ද අතිශය වේදනාකාරී සමුදීමකිනි. එය මෙලොවත් වේදනා විඳ පරලොවත් දුක් විඳීමට දොරගුළු විවර කරගැනීමක් බව නොකිවමනාය. එහෙයින් කටට රසට හැම් බේකන් ෆ‍්‍රයිඞ් රයිස්, නොසෑහෙන්න කා විස්කි, බ‍්‍රැන්ඩි හෝ ගල් අරක්කු කසිප්පු දවස තිස්සේ බී ගෙන හකු ඇදෙන්න දුම් බී අවසානයේ දුක්ඛිත මරණයක් උරුම කර ගන්නේ ද ශරීර සෞඛ්‍යය ගැන අවධානය යොමු කර දුමෙන්, මතින් තොර වී පාලනයකින් යුක්තව ආහාර ගෙන දුකෙන් තොර මරණයක් උරුම කරගන්නේ ද යන්න ඔබ තීරණය කළ යුතුය.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles