Divaina - සීමාව පැන්නොත් ඇල්වතුරත් වස...! ලොව වැඩියෙන්ම වසවිස කන්නේ අපි ද?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p22 4රසායනික පොහොර හා පලිබෝධනාශක යනු කාර්යක්ෂම ගොවිතැනේ මෙවලම් පමණයි. ඒවා කෑමට ගතයුතු නෑ. මෙවලම් භාවිතය  මාර්ගෝපදේශ යටතේ සිදුවිය යුතුයි. වගකීම ගොවියා අතේ. රසායනික පොහොර භාවිතයෙන් ලංකාව ලෝකයේ 68 වෙනියා.
 
 වස විස කතාව දැන් වෙළඳ ප‍්‍රයෝගයක් වෙලා. වස නෑ විස නෑ. ගමේ හදපුවා, දැන් ගලෝපුවා කියමින් යකඩ කටක් කෑගසමින් සිටී. හොඳට ඉර පායා අව්ව වැටී තිබුණත්, නීතිය යටතේ ඇඳිරිය ප‍්‍රකාශ කර තිබූ පසුගිය දිනෙක බට්ටා ලොරියක එළවළු තොගයකුත් පටවාගෙන පැමිණ ඇති ඔවුන් කෑගසන්නේ මගේ නිවෙස ඉදිරිපිට වාහනය නවතාගෙනය. කොරෝනාවට මුහුණ දීම සඳහා ණය තුරුස් වී
හෝ හාල්, පොල්, තුනපහ, යම් තරමකට එකලස් කරගෙන සිටියත් එළවළු රැුස්කිරීම එසේ කළ නොහැකි නිසා මුඛ ආවරණ සවිකරගත් අසල්වැසියන් දෙතුන් දෙනෙක්ද හනි හනිකට වසවිස නැති ගමේ බඩු වෙළෙන්දා වෙතට යනවා පෙනින. කොරෝනාවට එරෙහිව මිනිසුන්ගේ ශරීර ප‍්‍රතිශක්තිය වැඩිකළ යුතුය යන පරහිතකාමී සිතුවිල්ල පෙරදැරිව මේ නම් ගෙනැවිත් ඇත්තේ ඇඳිරි නීතිය අස්සේ නෙලා ගත් හේන් එළවළු තොගයක් විය යුතුය.
 
 මිදුලේ තාප්පයට උඩින් බට්ටාගේ බක්කිය දෙසට බෙල්ල දිගු කෙරුවේ ඕපදූප සෙවීමේ පුරුද්දට මිස එළවළු උවමනාවකට නම් නොවේ. එහි තිබූ හේන් එළවළුවක් නැත. කැරට්, බෝංචි, ලීක්ස්, රාබු ආදී උඩරට එළවළු පිරී තිබණා මිස හේනක සුවඳවත් වැදෙන්නට ඇතැයි සිතිය හැකි කැකිරි, පිපිඤ්ඤා ගෙඩියක්වත් එතුළ තිබුණේ නැත. එසේ නම් මේ යෝධයා වසවිස කතාවක් එළියට ඇදගෙන කෑගසන්නේ ඇයි? කුමන දහ ජරාවක් වුවද පහසුවෙන් විකුණාගත යුතු නම් අද දවසේ ක‍්‍රමය එයයි.
 
 
කොම්පෝස්ට් භාවිතය පිළිබඳව මා ලියූ ලිපියක අගමුල පටලවාගත් මහාචාර්ය යාපා මහතාණන් පසුගිය සතියේ ලියා ඇති ලිපියකට අප පිළිතුරු බැඳිය යුතු නැත. මා ලියා තිබුණේ දිවයිනේ ඇතැම් කොම්පෝස්ට් නිෂ්පාදකයන් වංචා සහගත අන්දමින් නොයෙකුත් කැළි කසළ පවා දමමින් කාබනික පොහොර සාදන බවත්, ඒවා නිදහසේ අලෙවි කරන බවත්, අහිතකර ක්ෂුද්‍රජීවීන් මේවා සමග ඇවිත් ජන ඇසුරට පත්වුවහොත් එය සමාජයට අහිතකර බලපෑමක් ඇතිකරන බවත්ය. යම් ක‍්‍රමවේදයක් මගින් මේවා නියාමනය කළයුතු බවත්, මූලද්‍රව්‍ය ගැන සංයුතිය සඳහනක් එම ඇසුරුම්වල තිබිය යුතු බවත්ය. මීට අමතරව කොම්පෝස්ට් යනු පාංශු සත්කාරකයක් බවත්, රසායනික පොහොර සමග එය යෙදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය බවත් එහි මා විසින් සඳහන් කරන ලදී. මහාචාර්යතුමාගේ නිර්දේශිත ක‍්‍රමය හෝ රජයේ නිර්දේශය හෝ ක‍්‍රියාත්මක කරන්නට බාධාවක් කාටවත් නැත. වැරදුනත් ආපසු පැමිණිය හැකිය. එබැවින් තීරණය ගැනීම බුද්ධිමත් පාඨකයා සතුවේ.
 
 සුළු පිරිසකගේ ශක්තිමත් ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයක් තුළින් මෙලෙස වසවිස හංවඩුව ගසන්නේ කාර්යක්ෂම බෝග නිෂ්පාදනයක් සඳහා රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍යයන්ගේ සහයෝගය ලබාගන්නා විටදීය. එපමණක්ද නොව ලෝකයේ වැඩියෙන්ම වසවිස කන රට ශ‍්‍රී ලංකාව යනුවෙන් පවසන ලෙසට මේ පිරිස පාලකයින්ටද උගන්වා තිබේ. රසායනික පොහොර මාත‍්‍රා හා පලිබෝධ නාශක නිර්දේශ ගොඩනගන රජයෙන් පඩි ගන්නා කෘෂි විද්වතුන්, බහුජාතික රසායන ද්‍රව්‍ය කොම්පැනිවලින් සන්තෝසම් හා වරදාන ලබන කප්පම්කරුවන් ලෙස හඳුන්වාදෙමින්, ඔවුන්ව සමාජ පිළිකුලට පත්කිරීමටද වසවිස මන්තරය ජපකරන්නන් කටයුතු කර තිබේ.
 
  මෙවැනි අවිද්‍යාවක් ජනගත වීමේ වරද කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ නිහඬව සිටිනා විද්වතුන්ද යම් පමණකට භාරගත යුතුවේ. වෙනත් වෘත්තීය ක්ෂේත‍්‍රයන්හි දක්නට නැති තරමේ සීමා ඉක්ම වූ ආචාරශීලීත්වයක් සමග ඔවුන් ගැටගැසී ඇති බවක් පෙනෙන්නට ඇත. රසායනික පොහොර හා පලිබෝධනාශක භාවිතයන්හි ලෝක ප‍්‍රවනතාවය හා වේගවත් බෝග නිෂ්පාදනයකට එහි ඇති අවශ්‍යතාවය පෙන්වන්නට ගිය තැන කොම්පැනි සුරතලූන් යයි සුළු පිරිසක් වෙතින් ගැසෙන හංවඩුව හරහා මේ නෝන්ජල් විද්වතුන්ගේ ඉතිරිව තිබෙන හුස්ම පොදත් පිටකරගත නොහැකිව හිරවන්නේය. ඔවුහු හොඳටම තක්කු මුක්කු වී හුඹහට රිංගූ තලගොයා වලිගය පමණක් පිටතට දමාගෙන උපරිම වෙර යොදා හුඹහේ ඇතුල් බිත්තිය බදාගෙන සිටින්නාක් සේ ගල් ගැසී සිටී. එවන් තලගොයෙක්ව බාවෙන් අල්ලා එළියට ඇද  ගැනීමේ අපහසුතාවය දන්නේ වැඬේට කරගැසූවන් පමණි. බට්ටාගේ ලොරි තට්ටුව මතට ගොඩගසා ඇති වසවිස නැති එළවළු චූර්ණිකාව යකඩ කටින් දෝරගලන්නේද යුතුකමක් ලෙසින් තමා වෙතින් සමාජයට කාන්දු විය යුතු විද්‍යාත්මක සත්‍යය මේ වෘත්තිකයින්ගේ ඉහමොළ තුළම ඝනීභවනය වී ඇති කරුමය නිසාමය. මේ කුසීත පිළිවෙත නිසා සමාජයට මෙතෙක් සිදු වූ හානිය වෙනුවෙන් මේ කම්මැලි විද්‍යාඥයින් තරුණ සමාජයෙන් පමණක් නොව, මතු උපදින දරුවන්ගෙන් පවා සමාව අයැදිය යුතුවේ.
 
 විස විද්‍යාවේ මූලධර්මයන් අතර එක්තරා ආප්තෝපදේශයක් තිබේ. ඒ ”මාත‍්‍රාව වස විස සාදයි” යනුවෙනි. ඖෂධ විද්‍යාවේ නිර්මාතෘ බොම් බැස්ටර් පැරසෙල්සස් 15 වෙනි සියවස තරම් ඈත අතීතයකදී පවා කියා ඇත්තේ යම් ද්‍රව්‍යයක් වසක්ද, බෙහෙතක්ද යන්න තීරණය වන්නේ භාවිතා කරන ප‍්‍රමාණය මත බවය.
 
p22 5 වසවිස කතාවේ යථාර්ථය සාමාන්‍ය ජනතාවට තේරුම් යන විද්‍යාත්මක මූලධර්ම ඇසුරෙන් පැහැදිලි කරදීම සඳහා සුදුස්සෙක් සොයා යන ගමනේදී මට හෙතෙම මුණගැසුණි. වසර අසූවකටත් එහාගිය දිවිසැරිය තුළදී ඉන් අඩකටත් වඩා ඔහු ගතකර ඇත්තේ කෘෂිකර්ම විද්‍යාව ඇසුරේය. මේ වනවිට ජාත්‍යන්තර පර්යේෂණ පත‍්‍රිකා 80 කට වැඩියෙන්ද පුවත්පත් ලිපි සිය ගණනක්ද ලියා ඇති මෙම විද්වත් චරිතය සිංහල පාඨකයාට හඳුන්වා දීමට හැකිවීමද භාග්‍යයකි. 1995-98 අතර කාලය තුළ ජනාධිපතිතුමාගේ කෘෂිකර්ම අනුශාසක ධුරයද හෙබවූවාට අමතරව වසර 10 ක කාලයක් පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලෙසද ඔහු කටයුතු කර තිබේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර පියැසි සෙවනේ හෙතෙම උපදේශක තනතුරු පවා හොබවා ඇත. ලෝකය පුරා කෙරෙන නානාප‍්‍රකාර ගොවිතැනේ මහිමය දෑසින් බලා දෙකනින් අසා ඇති නිසා අපේ වසවිස කෑම ගැන අදහස් දැක්වීමට ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ මහතා ඉතා උනන්දුවෙන් ඉදිරිපත් වුණි.
 
  ''ලෝකයේ වැඩියෙන්ම වසවිස කන රට ලංකාව බව කියන කතාව නම් වැරදියි. අපේ අසල්වැසි රටවල්වල රසායනික පොහොර භාවිතය බැලූවහම ඕනේ කෙනෙකුට ඇත්ත නැත්ත අවබෝධ කරගන්න පුළුවන්. ඉන්දියාව, පිලිපීනය, පාකිස්තානය අපිට වඩා පාවිච්චි කරනවා. බංගලාදේශය අපි මෙන් දෙගුණයක්, චීනය හතර ගුණයක්. ගොඩක්ම දුප්පත් රටවල් නම් අපිට වඩා අඩුවෙන් තමයි භාවිතා කරන්නේ. ඒ ඉතින් ඒ අයගේ දුප්පත්කම නිසා. පොහොර ගන්න සල්ලි නැති නිසා. එහෙම නැතුව වසවිස කතාවකට කීකරුවෙලා නෙවෙයි. සල්ලිය බාගේ තිබුණ නම් ඒ රටවලූත් හොඳට පෝර දාල බෝග වවාවි.
 
විද්‍යාත්මකව සිදුකෙරෙන කාර්යක්ෂම කෘෂිකර්මාන්තයට එරෙහිවෙන කණ්ඩායම් විසින් වස විස ලෙස අපට හඳුන්වා දෙන එක සංඝටකයක් වන්නේ රසායනික පොහොර බැවින් වෛද්‍යනාථ මහතා පොහොර මල්ල අසලින්ම කතාවට පිවිසුණා විය හැකිය. රට රටවල වාර්ෂික රසායනික පොහොර භාවිතා කරන ප‍්‍රමාණයන් ලෝක බැංකු වාර්තාවල පවා සඳහන් වේ. හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් වලින් සඳහන් කර ඇති එම දත්තයන්ට අනුව ලංකාව ඉන්නේ වැඩියෙන්ම රසායනික පොහොර භාවිතා කරන්නා ලෙස නොව 68 වෙනි ස්ථානයේය. ඒ හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 132 ක් වාර්ෂිකව ගොවි බිමට හලමිනි. රාජ්‍ය ප‍්‍රතිපත්ති හසුරවන බලධාරීන්ට පවා දිරච්ච ලනු ගිල්ලවන මෙම වස විස සටන්පාඨකරුවන් රටවල් 68 ක් පසුකර පළමුතැනට ලංකාව රැුගෙන ආවේ කිනම් ආශ්චර්යයකින් දැයි අපට නම් වැටහෙන්නේ නැත.
 
සිංගප්පූරුවේ රසායනික පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 30207 කි. පළමු තැන ඔවුන්ටය. දෙවනියා 6757 ක අගයක් ඇති කටාර් රාජ්‍යයයි. තුන්වැනියා හොංකොං ය. ගණන 2704 කි. මෙතරම් අධික භාවිතයක් ඔවුනට ඇත්තේ සිංගප්පූරුව හා හොංකොං වැනි රටවල ගොවිතැන් කරන්නට ඉඩම් නොමැති බැවින් හයිඞ්රොෆොනික් නොහොත් ජල රෝපණ ඇසුරෙන් කරන වගාවන්ට ඔවුන් වඩාත්ම නැඹුරු වී ඇති නිසා විය හැකිය. කොම්පෝස්ට් හෝ කාබනික පොහොර යොදා ජලරෝපණ පද්ධති දුවවන්නට බැරිය. ඒ නිසා අපට වඩා 200 ගුණයකින් පමණ වැඩි සිංගප්පූරු පොහොර භාවිතය මෙරට තත්ත්වය හා සැසඳීමද සාධාරණ නොවේ. ජලරෝපණ ක‍්‍රමයට වැඩිපුර ගොවිතැන් කරන රටවල් පොහොර භාවිත ලැයිස්තුවේ ඉහළ ස්ථාන වලට පැමිණීම ගැනද පුදුම වියයුතු නැත. එහෙත් අප මෙන්ම පස පෙරලා ගොවිතැන් කරන අසල්වාසීන්ද ඉහළ පොහොර භාවිතයක් පෙන්නුම් කරද්දී 68 වෙනියාව සිටියදී පවා වසවිස කෑමේ අංක එකේ මිනිසුන් හැටියට අවලාද ඇසීමටද අප කැමති නැත. වස විස ද නැති ද යන්න මොහොතකට අමතක කර හෙක්ටයාරයකට යොදන රසායනික පොහොර ප‍්‍රමාණයන් කිලෝග‍්‍රෑම් වලින් ගත්විට ඉන්දියාව 165 ක්, පිලිපීනය 157 ක්, තායිලන්තය 162ක්, ඉන්දුනීසියාව 231 ක්, පාකිස්තානය 144 ක් වැනි අගයන් පෙන්නුම් කරයි. (මූලාශ‍්‍රය- ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත ගොනුව)
 
 පැරණි හේන් ගොවියා නවදැලි හේනක් වැනි වගාබිමක වසර දෙක තුනක් කල් ගෙවද්දී ක‍්‍රමයෙන් ඔහුට අවබෝධවන්නේ භූමියෙන් ලැබෙන අස්වැන්නේ ක‍්‍රමික අඩුවීමකි. මන්දයත් ඔහු අස්වැන්න ලෙස පොළොවෙන් ඉවත් කර ගන්නා සංචිත ද්‍රව්‍ය ප‍්‍රමාණයට හිලව් වෙන්නට යමක් ආපසු දීමට මෙම ගොවිතැන් ක‍්‍රමය හරහා හෙතෙම අසමත් වෙන නිසාය. අවටින් එකතුවෙන දිරාපත්වෙන කොලරොඩු ප‍්‍රමාණය මගින් මේ අඩුව පුරවන්නට නොහැකිය. එදා ඔහුට රසායනික පොහොර විකල්පය තිබුණේද නැත. ඔහුට කළ හැකි එකම දෙය වූයේ, මේ නිසරු වගාබිම අතහැර ගොස් කැලයේ තවත් තැනක් එළිපෙහෙළි කරගෙන නවදැලි හේනකින් වැඩ ඇරඹීමයි. රසායනික පොහොර යොදා වැවූ බෝගයන්ට වස විස ලේබලය අලවමින් කාබනික පොහොර වලින් පමණක් වාණිජ කෘෂිකර්මාන්තය කරන්නට සිතන සහ උපදෙස් දෙන අය පැරණි හේන්  ගොවියා වසර කීපයකට වරක් ගොවිබිම් අතහැර යමින් සිදුකරන මේ ඉඩම් මාරුවට හේතුව සොයා බලන්නේ නම් මැනවි. වාණිජ ගොවිතැනක් නොව අහල පහල උදවිය සමග බෙදා හදාගෙන කෑමට තරම්වත් දෙයක්  ගොවිපොළෙන් නොලැබෙන නිසාම, තවත් හේනක් කොටන්නට පැරණි ගොවියා දහදිය හෙලූ බව මේ පිරිසට ඒත්තු ගියත් ඔවුහු එය හිතාමතාම සමාජයෙන් ස`ගවා තබති.
 
 ”රසායනික පොහොර අවභාවිත වෙන අවස්ථාත් තියෙනවා. උඩරට ගොවියෝ පසට හලන පොස්පරස් පොහොර හොඳ උදාහරණයක්. කෘෂි නිලධාරීන් වරක් නුවරඑළියේ ගොවිබිම් 742 ක පස් පරීක්ෂා කරලා එහි තිබෙන පොස්පරස් ප‍්‍රමාණය බලල තියෙනවා. පරිසරයට දරාගත හැකි පොස්පරස් මට්ටම පස් කොටස් දස ලක්ෂයකට පොස්පරස් කොටස් 60 වුවත් බොහොමයක් වගා බිම්වල මේ මට්ටම ඉක්මවලා ගිහින්. නුවරඑළියේ කෘෂිකාර්මික නොවන ඉඩම්වල තියෙන්නේ  12 යි. බෝග වවන තැනක් නම් එතනට ඕන වෙන්නේ උපරිමයට 30 යි. ඉතින් වරද කාගෙද? ගොවියාගේද රසායනික පොහොර වලද?” වෛද්‍යනාථ මහතා ප‍්‍රශ්නකර සිටී. නුවරඑළියට හැලෙන රසායනික පොහොර තොගයට අමතරව එම එළවළු වගාබිම්වලට කාබනික පොහොරද විශාල ප‍්‍රමාණයක් කන්නයක් පාසා යොදන බව නොරහසකි. පරිසරය විසින් රඳා ගැනීමට සුදානම් 60 අගය ඉක්මවායත් දී මෙම පොස්පරස් සේදී ගොස් එකතුවන්නේ පහත් බිම්වල ඇති ජලාශයන්හිය. තවත් ප‍්‍රශ්න වැලකට ඇරඹුම ඇත්තේ එතැනයි. දැන් ඉතින් අප වරද ඇති තැන නිවැරදි  කරගන්නට කතා නොකර ගෙදර ඇවිත් රසායනික පොහොර නමැති මුවහමට තඩිබාමින් සිටින්නෙමු.
 
 සුරංගනා කතාවක් හැටියට වුවත් කවුරුන් විසින් හෝ රසායනික පොහොර දමන්නේ නැතිව කෙරෙන ගොවිතැනක් ගැන කතා කරන්නේ නම් රටක පාලකයින්ට වුවත් ඒ වදන් මහත් ආස්වාදයකට හේතුවන්නේය. මන්දයත් ඔවුන් බලවත් අර්බුදයක් කරගසාගෙන සිටිනා බැවිනි. රසායනික පොහොර මෙරට නිෂ්පාදනය නොකරන නිසා ඒවා ආනයනයට විශාල වියදමක් යන අතර මෙරට ගොවියාගේ ඇති දිළිඳු බව හේතුවෙන් ලෝක වෙළඳපොලෙන් ගෙනෙනා මිලටවත් ඒවා ගොවියාට දෙන්නටද නොහැකිය. ඒ නිසා මහත් වියදමක් දරා රැගෙන එන පොහොර මල්ල ගොවි ගෙදරට පැමිනෙන්නේ එයට වැයකළ මුදලින් වැඩි කොටසක් රජය මගින්ම දරාගෙන සොච්චම් මුදලක් පමණක් ගොවියාගෙන් අයකර ගනිමිනි. මේ බන්ධනයෙන් ගැලවෙන්නට තිබේනම් රජයක් හැටියට කවුද අකමැති? පසුගිය අපේ‍්‍රල් මාසයේදී පවා අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 760 ක පොහොර ඇනවුමකි. එය රුපියල් කෝටි 15,000 කට ආසන්නය. ඒ යූරියා මෙටි‍්‍රක් ටොන් 29440 ක් සහ ටි‍්‍රපල් සුපර් පොස්පේට් ටොන් 3000 ක් වෙනුවෙන්ය. රසායනික පොහොර යොදා කරන කෘෂිකර්මාන්තයම ඒ හා සමාන කාර්යක්ෂම තාවයකින් කාබනික පොහොර යොදා තිරසාර ලෙස කරගෙන යා හැකි බවට කවුරුන් හෝ දෙන උපදෙසක් වෙතට බලධාරීන් ඇදීයාම ගැන අප මේ නිසා අප පුදුම විය යුතු නැත. නමුත් මෙය ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක්ද? අපට පෙර මේ ගැන වෙනත් රටවල් සිතා බැලූවේ නැතිද? එසේනම් ඔවුන් මේ වනවිට අත්කරගෙන ඇති ප‍්‍රගතියේ තරම කොපමණද? නැවතත් වෛද්‍යනාථ විද්වතාණන් හඬ අවදි කරයි.
 
 ”ලෝකයේ වගා ඉඩම් වලින් 2% ක් වගේ සුළු ප‍්‍රමාණයක් තමයි කාබනික ගොවිතැනකට වෙන්වෙලා තියෙන්නේ. එයිනුත් 66% ක් තෘණ භූමි. ඒවා භාවිතාවෙන්නේ මස් පිණිස හරක් ඇති කරන්න. ඉතුරු 34% තමයි ධාන්‍ය හා වෙනත් බෝග සඳහා වෙන්වෙලා තියෙන්නේ. කාබනික කෘෂිකර්ම බිම් අවුරුද්දකට වැඩිවෙන්නේ 0.2% ක් වගේ ඉතා සුළු ප‍්‍රමාණයකින්. හේතුව තමයි කාබනික පොහොර හිඟ වීම. 19 වෙනි සියවසේ මැද භාගයේ විතර ඉඳලා ලෝකය රසායනික කෘෂිකර්මය පැත්තට හැරුනේ මේ හේතුවෙන්. කාබනික ගොවිතැන ඉතා හොඳ වැඩක්. ඒත් මේ තාක්ෂණයෙන් ලෝකෙට ආහාර සපයන්න බෑ. ඒ බව අපි අවංකව පිළිගන්න ඕනෑ”
 
 බලධාරීන් තමාගේ හිසරදය සමනය කරන්නට කොට්ටය මාරු කරන්නට නොගොස් යම් සහනදායී පිළිවෙතක් වෙතට යොමු විය යුතුවේ. පොහොර සහනාධාරය දිය යුතුම නම් ගොවියාගේ සහනය වෙනුවෙන් එය දීමේ ද වරදක් නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ග‍්‍රාම නිලධාරි වසම් තරම් කුඩා ප‍්‍රදේශයන් වෙතටම ගැලපෙනසේ වී වගාවට අදාළ පොහොර අවශ්‍යතා ගණනය කර ප‍්‍රසිද්ධ කර තිබේ. දිස්ත‍්‍රික්කයකට, නගරයකට වැනි විශාල ප‍්‍රදේශයකට ගැලපෙන සේ සැකසුවා නම් අපේ ගමට ගැලපේද කියා ප‍්‍රශ්නයක් ඇතිවිය හැකි වුවත් දැන් ජී.එස්. වසම වෙතටම නිර්දේශය පැමිණ ඇත. එහි ලියවී ඇති දෑ බලන විට පෙනෙන්නේ ඇතැම් වසම් වලට සමහර පොහොර සංරචක අනවශ්‍ය බවයි. ඇතැම් තැන් වලට අවශ්‍ය වන්නේ පොදු නිර්දේශයෙන් සුළු කොටසක් පමණි. දශක කීපයකට ඉහතදී පැවති ආකාරයට ගොවියා වෙතට යන කෘෂිකර්ම ව්‍යාප්ත සේවාවක් තිබුණා නම්, පොත්වල අච්චුගසා ඇති මේ තොරතුරු මේ වන විටත් ගොවියාට කටපාඩම්ය. සහනාධාරය දෙනවාට අමතරව, රන් කැට තරමට වටිනා මේ පොහොර උරය පිරිමැස්මෙන් පසට හලන පිළිවෙල කියාදිය හැකි ශක්තිමත් කෘෂිකර්ම ව්‍යාප්ති සේවයක් යළි ස්ථාපනය කරන්නට කටයුතු කිරීම පොහොර හිසරදය තරමකට හෝ සමනය කරගැන්මට රජය විසින් හදිසියෙන්ම කළ යුතු දෙයකි.
 
 තවත් දෙයක් කළ යුතුව තිබේ. ලෝකයේ නිපදවෙන රසායනික පොහොරවල ගුණාත්මක තත්ත්වය විවිධාකාරය. ඇතැම් පොහොර ඉතා පිරිසිදුය. මේවා මිලෙන් වැඩිය. වටපිට නොබලා ටෙන්ඩර් කැඳවා අඩුම මිල ඉදිරිපත් කර ඇති පොහොර නැවට කොළ කොඩිය වැනීම නොකළ යුතු අතර රටට ගෙනායුත්තේ අපද්‍රව්‍ය සංයෝග නොමැති ගුණාත්මයේ ඉහළ පොහොර වර්ගයන්ය. රසායනික පොහොර සම්බන්ධයෙන් පැනනැගී ඇති වසවිස භීතිකාවට පක්ෂපාතී යමක් මෙතැන නම් ඇති බවද අප පිළිගන්නෙමු. බාල පොහොරවල ඇති බැරලෝහ ආදියෙන් පස ¥ෂණය වුවහොත් ඒවා උරාගත හැකි බෝග හරහා අපගේ සිරුරට ඇතුල් වන්නේ වසවිස බවද සැබෑය.
 
 ‘‘කෘෂි විද්වතුන්ගෙන් උපදෙස් ගැනීමට රජය මීට වඩා උනන්දු විය යුතු වගේම, සාමාන්‍ය සමාජයට තේරෙන භාෂාවෙන් කරුණු ඉදිරිපත් කිරීමට විද්වතුනුත් මීට වඩා ශක්තිමත්ව පෙරට එන්න ඕනෑ. ප‍්‍රධාන ආහාර බෝගය නොසාදන, ගෙවතු වගේ ඒකකයන් කාබනික පොහොර ඇසුරෙන් පවත්වා ගැනීමට ප‍්‍රතිපත්ති සැකසීමෙන් රජය ලොකු වැඩක් කරනවා. ඉතාම හොඳයි. එහෙත් ජාතික ආහාර අවශ්‍යතාවය කාබනික ගොවිතැනෙන් නිපදවිය නොහැකි බව අවබෝධ කරගැනීමත් වැදගත්. ඒ වගේම ලෝකෙන්ම වැඩියෙන්ම වසවිස කන්නේ අපි නොවන බවත්, රසායනික පොහොර දැම්මා කියා ආහාර බෝග වස නොවෙන බවත් ජනතාවට අවබෝධ කරදීම විද්වතුන්ගේ තවත් වගකීමක්”
 
 වර්තමාන ඇතැම් කෘෂි වියතුන් වගකිවයුත්තන්ට නිවැරදි උපදෙස් දීමේදී අනුගමනය කරන ඇල්මැරුණු ස්වභාවය ගැන ආචාර්ය වෛද්‍යනාථයන් තුළ යම් කනස්සල්ලක් පවතිනවා දැයි සිතෙන තරම්ය. ලූලා නැති වළෙහි කනයා නොව දණ්ඩියා, මඩකරියා වැන්නවුන් පවා පණ්ඩිත වාක්‍ය දොඩන්නේ මේ නිසාය.
 
 
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles