Divaina - කරන්නේ සිංහල වෙදකම නම් පාරම්පරික සහල් ඕනෑමයි !

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p25 4සිංහල වෛද්‍ය ක‍්‍රමය අනුව ගර්භණී චිකිත්සාව විශේෂ අවස්ථාවකි. නව දරු උප්පත්තියක් සලසන බැවින් විශේෂ සත්කාර රාශියක් මෙන්ම උපදෙස් රාශියක්ද ඊට අන්තර්ගතය. කාන්තාවක් මව් පදවිය ලැබීම සොබා දහමට අනුව අරුමයක් නොවේ. නමුත් විවිධ සංස්කෘතීන් පවතින ලොව තුළ මව් පදවිය තක්සේරු වන්නේ වෙනස් ලෙසටයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි සිංහල ජන සමාජය මව් පදවිය ඉතා උතුම් කොට සලකයි. එ් නිසාම මවක් බවට පත්වීම පමණක් නොව ගැහැනු ළමයෙකු වැඩිවියට පත් වීමද වෙසෙසියාවක් වේ. නිරෝගීමත් දරුවෙකු බිහි කරලීමෙන් අනාගතයේ දී උසුලනු ලබන ජාතික වගකීම දරා ගැනීමට ශක්තිය ඇති වන බව පැරණි සමාජය විශ්වාස කරලීම ඊට හේතුවයි. නිදසුනක් වශයෙන් ලංකාවේ ප‍්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබූ ගොවිකම පවත්වා ගෙන යෑමට අවශ්‍ය ශක්ති සම්පන්න ශ‍්‍රම සම්පත දැක්විය හැකිය. එය ඇති වන්නේ නිරෝගීමත් දරුවකු බිහිකරලීමෙන් පසුව බව පැරණියන් තේරුම් ගෙන සිටියහ. එසේම ගැහැනු ළමයෙකු නිරෝගීව වර්ධනය වීම ද ජාතිය බිහිකරලීමට ඉවහල් වන බව ඔවුහු තේරුම් ගෙන සිටියහ.
 
 ගැබිනියක් දසමසක් (චන්ද්‍ර මාස දහයක්) තුළ සිය කුසෙහි දරුවා රඳා ගෙන සිටීම ස්වභාවික දෙයක් ලෙසට අතීත සමාජය සලකා ඇත. එහෙත් ගැබිනි අවධියේදී ඇයට ඇති විය හැකි අපහසුතා වළක්වාලීමට විවිධ ආහාර තහංචි අනුගමනය කිරීමක් ද විය. අපත්‍ය ආහාර පරිභෝජනය කිරීම නිසා මවගේ ලේ ¥ෂ්‍ය වී කුස තුළ සිටින බිළිඳා ගේ සිරුරේ රත ඇති වන බව වෙද පොත පතේ කියා දී තිබේ. මේ නිසා කෑම පරිහරණයේ දී ඇය බෙහෙවින්ම පරෙස්සම් විය යුතු යැයි සම්මතයක් විය.
 
 දරුවා කුස දරා සිටින මුල් මාස තුන ගැබිනියන්ට බෙහෙවින්ම පීඩා කාරී නමුත් ක‍්‍රමයෙන් එම අපහසු කම් දුරු වී යයි. එහිදී එක් එක් මාසයට ගැළපෙන ඖෂධ වර්ග නියම කරලීමක් ආයුර්වේදයේ ඇත. කෙසේ වෙතත් අවසාන මාස වලදී ගර්භය සැහැල්ලූ කර ගැනීමට අවශ්‍ය ශක්තිය මවට ලැබිය යුතු වන අතරම දරුවාද සුවෙන් සිටිය යුතුය. මේ සඳහා පැරණියන් ගැබිනියට ලබා දුන් ඖෂධ වර්ග මෙන්ම ආහාර වර්ගද විවිධය. ගර්භය පහසුවෙන් පහත හෙළීමට නම් අපාන වාතය (මළ මුත‍්‍රා හා ගර්භය පහත හෙළන වාත ශක්තිය ) හීන නොවී ශක්තිමත් විය යුතුය. එහි දී සුදු ලූනු බැබිල මුල් කසායට තිප්පිලි ප‍්‍රතිවාප දමා දීම සිරිතකි. එයට හේතුව සුදුලූනු මගින් මේ වාත වේගය ශත්තිමත් කරලීමයි.
 
 
p25 3විසිවන සියවස මුල් භාගයේදී ගමක ඇති වූ සිද්ධියක් මේ සමගම මට මතකයට නගා ගත හැකිය. එකල ගම් ප‍්‍රදේශ වලට හෝ වතුවලට පත් කරන ලද ඉංග‍්‍රීසි වෛද්‍යවරුන් හැඳින්වීමට ඇපොතිකරි යන නාමය භාවිත කළහ. ගමක ගැබිනියක් දරු ප‍්‍රසූතිය සඳහා සූදානම් වූ නමුත් පහසුවෙන් එය සිදු නොවූ නිසා මේ ඇපොතිකරි වරයා කැඳවීය. නගරයෙන් පැමිණි බැවින් එකල එම වෛද්‍ය සේවය ගැමියා ගෞරව සම්ප‍්‍රයුක්තව සැලකීමට පුරුදුව සිටියේය. නමුත් දරු ගැබ ස්වභාවිකව එළියට ගැනීමේ පිළියමක් ඔහු සතු නොවීය. එවිට ගමේ වෙද මහතා මතක් වූ නිවැසියන් කලබලව ඔහුද කැඳවා ගෙන ආයේය. ලෙඩා සෝදිසි කළ වෛද්‍යවරයා වහා කරුණු තේරුම් කර ගත්තේ නාඩි පරීක්ෂා කිරීමෙනි. අනතුරුව පැසුණු කොස් ගෙඩියක් කඩන්නට අණ කළ වෙද මහතා ගෙදර කුඹුක් ගහ ළිඳෙන් හොඳ හැටි නා කියා ගත්තේය. අනතුරුව තැම්බූ කොස් ආහාරයට ගන්නා ලෙසද උපදෙස් දුන්නේය. ගත වූයේ ටික වේලාවකි. බිළිඳාගේ හැඬීම කාහටත් ඇසෙන්නට විය. ඇපොතිකරිවරයා විශ්මයට පත්ව නොකියාම යන්නට ගියේය. සිදුව ඇත්තේ මවගේ අපාන වාතය හීන වී තිබීමයි. එවිට පහසුවෙන් දරුවා එළියට නොපැමිණෙයි. කොස් කෑම නිසා වාත කෝපය ඇති වූ අතර අපාන වාතයද ක‍්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. මේ විද්‍යාත්මක හේතුව වෙද මහතාගෙන් දැන ගෙනම ඇපොතිකරිවරයා පිටව ගියේ නම් වර්තමානයේ සිදු වන සීසේරියන් සැත්කම් රාශියක්ම රෝහල් වලින් නතර කරගන්නට ඉඩ කඩ තිබුණු බවද කිව යුතුය. තවමත් සිංහල වෙද මහතුන්ගෙන් ඉගෙනීමට බටහිර වෛද්‍යවරු නොකැමතිය.
 
 ගර්භය සැහැල්ලූ කර ගැනීමට පෙර සඳහන් කළ අගනා ඖෂධ ගන්නා අතරම කුසේ සිටින දරුවා ගැනද ඇය කල්පනා කළ යුතුය. එහිදී දරුවා නිරෝගීමත් ලෙස දොරට වැඩමවීමට අවශ්‍ය ආහාර ඇය ගත යුතුය. බත් අපගේ ප‍්‍රධාන ආහාරය බව සැබවි. නමුත් වර්තමානයේ රටේ බහුතරයක් ආහාරයට ගන්නේ අභිජනනයෙන් පසු වගා කරන ලද වී ප‍්‍රභේදයන්හි සහල්ය. වැඩි අස්වනු ඇති කර ගැනීමට පමණක් මෙසේ වැඩි දියුණු කරන ලද බැවින් එහි ගුණාත්මය හීන වී ඇත. එසේම රසායනික වසවිස යෙදීම නිසා මේවා ආහාරයට ගැනීමෙන් විවිධ ලෙඩ රෝග වලටද බඳුන් විය හැකිය. පැරණි සිංහල ජනතාව වැඩි වශයෙන් භුක්ති විඳින ලද්දේ දේශීය පාරම්පරික සහල් වර්ගයි. එ් අතර ගැබිනියන්ට සුදුසු සහල් වර්ගද විය. වෙසෙසිසන්ම ඇල් සාල් හි බත ඇයට සුදුසු වන්නේ එ්වා සෞම්‍ය වන බැවිනි. හේන් වල වැවෙන ඇල් සාල් ද මඬේ හෝ ගොඩ වැවෙන ඇල් සාල් යනුවෙන් දෙවර්ගයකි. ගංතුඹ ඇල් නමින් යුත් ඇල් වී වර්ගය මා අවසාන වරට දුටුවේ කුකුලේ ව්‍යාපාරය ආරම්භ කරන අවදියේ දීය. එම ජල විදුලි බල ව්‍යාපාරය නිසා සහ අක‍්‍රමවත් තේ වගාව නිසා මේ ඇල් වර්ග වර්තමානයේ දී අභාවයට පත් වී තිබේ. නමුත් පොලැල් නම් වූ ඇල් වර්ගය ගොඩ හෝ මඬේ වගා කිරීමට තවමත් හැකියාව ඇත. මේ වර්ගය ගැබිනියන්ගේ ආහාරයට ඉතාමත් උචිතය. සෙම් පිත් නසන බැවින්ද මිහිරි රසයෙන් යුක්ත හෙයින්ද ගැබිනියගේ මෙන්ම දරුවාගේ ශක්තිය වර්ධනය කරයි. එයට අමතරව මුරුංගකායන් නමැති පාරම්පරික වී වර්ගයේ සහල් වලින් බත් පිස ලබා දුන්නේ යැයි ද පැවසේ. එය අවසාන මාස කීපය තුළ ආහාරයට එක් කර ගැනීමෙන් දරුවා නිරෝගීව වැඬේ. මවට අවශ්‍ය තර්පණ ගුණය නිතැතින්ම ලැබෙයි. ඕජාව වැඩි කරයි. එසේම ගැබ පහත හෙළීමටද එයින් පහසුවක් වන බව කියා ඇත.
 
p25 5 පාරම්පරික වී වර්ග වගාව නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය අර්බුදයට ලක් විය හැකි යැයි නූතන විද්‍යාඥයෝ පවසති. එය සත්‍යයක් නොවේ. විසිවන සියවස මුල් කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවා කළ අත්හදා බැලීම්වලදී පාරම්පරික වී වර්ග වලින් ලබා ගත හැකි වූයේ අක්කරයකට බුසල් 13-15 වැනි සුලූ අස්වැන්නක් බවට ඇතැම් සංඛ්‍යා ලේඛන මොවුන් ඉදිරිපත් කරති. නමුත් හතළිහ දශකය පනහ දශකය වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභිජනන කටයුතු වලට පවා ලැබ ගත්තේ පාරම්පරික වී වර්ගයි. ඔවුහු එ්වායේ පෙළපත නුමුහුන් කොට ගුණනය කිරීමෙන් පසු වගා කිරීමෙන් අක්කරයකට බුසල් 60-80 දක්වා ගත හැකි යැයි තේරුම් ගත්හ. මේ ගැන වාර්තා රාශියක් ගොවිකම් සඟරා වල පළ වී තිබේ.
 
 වී වර්ග වගා කරනුයේ ආහාරයට මිසා ඖෂධ පිණිස නොවේ යැයි කියන මතයද සත්‍යයෙන් තොරය. සිංහල ජීවන රටාව අනුව ආහාරය ඖෂධයක්ම විය. කුලූබඩු නිසා ශරීර ප‍්‍රතිශක්තිය වර්ධනය වන ආකාරය මෑත අත්දැකීම් වලින් අපට පසක් කර ගත හැකිය. එබැවින් ගර්භණී කාලය තුළ මේ වී වර්ග වලින් ලැබෙන සහල් වලින් මවකට සහනයක් අත් කරදීම වාසනාවක් ලෙසට සැලකිය යුතුය. දරුවා ලැබුණ පසුව මවද නිරෝගීමත්ව සිටිත් නම් දරුවාට කිරි දීමේ අපහසුවක් පැමිණෙන්නේ නැත. නමුත් අද බොහෝ මව්වරුන්ට විවිධ හේතු නිසා කිරි නැත. පැරණි මව්වරු මේ අවස්ථාවේ දී විවිධාකාර අත් බේත් සහ කෂාය වර්ග ප‍්‍රයෝග කර ගත්හ. හාතාවාරිය අල, ආඩාතෝඩ මුල්, කලූ උක්දඬු, ඉරමුසු, බැබිල, කිරි අඟුණ මුල්, වැල්මී ආදී ඖෂධ පළමක් ගෙන පත අට එකට සිඳුවා සීනි මීපැණියෙන් දීම එක් ක‍්‍රමයකි. මේ සියලූ ඖෂධ කිරි එරෙන හා තුන් දොස් සමනය කරන බෙහෙත්ය. එ් අතර වෑවර ගෙඩියක (කුරුම්බා ) ළොඳ බත් මුට්ටියේ වාෂ්පයට අසු කර තබා කතා නොකර දීමද කරති.
 
  අවසාන වශයෙන් ගැබිනියන්ට මෙන්ම කාන්තාවන්ගේ තර්පණයට ඉතා රසවත් පාරම්පරික ආහාරයක් සඳහන් කිරීම මැනවි යයි සිතමි. එය සුදුසු වන්නේ අලස සුවයෙන් ගත කරන කාන්තාවන්ට නොව බෙහෙවින් ක‍්‍රියාශීලී පුද්ගලයන්ටයි. මෙම ආහාරයට උඩරට පළාත් වල කියන්නේ කිරි රොටී නැතහොත් කී රොටී යනු වෙනි. මුරුංගකායන් හෝ පොලැල් වැනි වී වර්ගයන්හි හාල් පිටි පොල් කිරිවලින් අනා ස්වල්ප වේලාවක් තබා ඉන්පසු කිරි රොටි කබල ගෙන එයට ආප්ප මිශ‍්‍රණය වත් කරන පරිද්දෙන් වත් කර පිස ගන්නා මේ රසවත් ආහාරය කෑමට ගන්නේද පිටි හා පැණි මිශ‍්‍රණයක දවටා ගෙනයි. මේ කිරි රොටි කබලේ තිබෙන වෙසෙසියාව නම් රා මණ්ඩි හෝ ඊස්ට් නොමැතිව පිපීම සිදුවන තාක්ෂණයකින් යුක්ත වීමයි. රූපයේ පෙනෙන ලෙස රොටි කබල මූඩියෙන් වැසූ පසු රත් වූ කබලේ මූඩියට වරින් වර වතුර ඉසිනු ලබයි. එවිට පිටි තැම්බී උඩට ඉස්සෙයි. මේ අගනා උපකරණය අද අභාවයට ගොස් ඇති අතර බටහිර සංස්කෘතියේ නොගැළපෙන ආටෝපයන් බදා ගැනීම නිසා මිනිසුන් අතරමං වී සිටිති.
 
 මෙම ලිපියට කරුණු සැපයූ පාලින්දනුවර යකුපිටියේ විජේරත්න වෙදමහතාටද, ගන්දර දෙල්ගල්ලේ පල්ලෙවෙල මාතාවටද වෙසෙසි ස්තූතිය පළ කර සිටිමි.
 
 මතුගම සෙනෙවිරුවන්

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles