Divaina - අගමැතිතුමා මට දොස් කියන්නත් ඉඩ තියෙනවා.... සනත් ගුණතිලක

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 හේමන්ත රන්දුණු

p25 2පුරා දශක ගණනාවක් සිනමා ක්ෂේත‍්‍රයේ බොහෝ අත්දැකීම් සපිරූ ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පී සනත් ගුණතිලක මහතා විසින් මේ වසරේ පෙබරවාරි මාසයේ මුල් සතියේ දේශීය සිනමාව පිළිබඳව කරන ලද ඉතා ආන්දෝලනාත්මක කතාවක් අප ‘ඉරිදා සංග‍්‍රහයේ’ පළ කළෙමු. ඒ වෙනින් කවර හේතුවක් නිසාවත් නොව දේශීය සිනමාව පිළිබඳ මින් පෙර නොකියවුණු වැදගත් යැයි සැලකිය හැකි කරුණු කීපයක් ප‍්‍රථම වතාවට එළිවූ බැවිණි. සමස්ත සිනමා ක්ෂේත‍්‍රයේත්, රජයේත්, බලධරයන්ගේත් අවධානයට එම කරුණු යොමු කිරීම යෝග්‍ය යැයි ජනතා හිතෛෂී පුවත්පතක් ලෙස අපි තීරණය කළෙමු.

 
 එමෙන්ම කුමන විලාශයකින් හෝ කුමන අයුරකින් තමා මෙම කරුණු ඉදිරිපත් කළත්, එය සද්භාවයෙන් කළ කටයුත්තක් මෙන්ම තමා ඉදිරිපත් කළ කරුණු වැරදි නම් ඒවා නිවැරදි කරමින් තමාටත් වඩා සිනමා ක්ෂේත‍්‍රයට සිය යුතුකම ඉටුකරන මෙන් ඔහු ප‍්‍රසිද්ධියේ මෙන්ම අප පුවත්පත හරහා ද ඉල්ලා සිටියේය.
 
 ලැබුණු පිළිතුරක් නැත. කෙසේ වෙතත් අද උද්ගතව ඇති ව්‍යසනය හමුවේ දිගුකාලීනව නොව, මේ මොහොතේ සිනමාව යළි නැංවීමට කළ යුතු දේ පිළිබඳ අපි ඔහුගෙන් විමසුවෙමු. මෙම අවස්ථාවේ කතා නොකර සිටීම නුසුදුසු බැවින් තමා අපට ඕනෑම දෙයක් ඇසීමට අවසර බව කීවේය.
 
  තමා සනත් ගුණතිලක බවට පත්කළ සිනමාව දෙවැනි වන්නේ තම දෙමවුපියන්ට පමණක් බවත් කිසිදා හෝ දේශීය සිනමාවට වින කිරීමට, ද්‍රෝහී වීමට කිසිම අවශ්‍යතාවක් නොතිබුණු බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය. නමුත් නොදැනුවත්ව හෝ වක‍්‍රව හෝ තමා අතින් එවැන්නක් සිදුවී ඇත්නම් එය නිවැරදි කර ගැනීමට කිසිම මොහොතක පසුබට නොවන බවද වැඩිදුරටත් කීවේය. එහෙත් තමා වගකිව යුතු නැති යම් යම් තීරණ හෝ සිද්ධීන් තමා පිට පැටවීමේදී එක දිගටම ඉවසා සිටියත් අඛණ්ඩව එය සිදුකරන බැවින් පෙරළා පිළිතුරු දුන්නේ තමාගේ ආත්ම ගෞරවය සඳහා බවද තමාට අපහාස කළ, වින කළ චෝදනා කළ කිසිවකු සමග තමාගේ වෛරයක්, ක්‍රෝධයක් නොමැති බවද එවැනි පිරිස්වලට බලය ඇති එදා, අද හෝ හෙට ඔවුන් කරන හොඳ කාර්යයකට සහාය දෙනවා විනා කිසිම අයුරකින් වචනයකින් වත් මේ දක්වා හෝ ඉදිරියේදී බාධා කර හෝ බාධාකිරීමක් තමා අතින් සිදුනොවන බවද විශ්වාස වන්තව ප‍්‍රකාශ කළේය.
 
 අපගේ සාකච්ඡුාවට මුලපිරීමක් වශයෙන් මේ මොහොතේ කළ හැකි සහ කළ යුතු දේවල් ලෙස ඔබ හඳුන්වන්නේ කුමක්ද?
 
 මෙම ප‍්‍රශ්නය කිසිම භේදයකින් වෙන්කිරීමකින් තොරව හැමෝටම එක ලෙස බලපානවා. පිළියම් සොයන්න ඉස්සර වෙලා ක්ෂේත‍්‍රයේ එකමුතුවක්, එලෙස සියල්ලම එකමුතු කළ හැකි නායකත්වයකුත් අවශ්‍යයි. අප ක්ෂේත‍්‍රය අයත් වන්නේ සංස්කෘතික අමාත්‍යාංශයට. සංස්කෘතික ඇමැතිතුමා,  අගමැතිතුමා එතුමාගේ නායකත්වය අවශ්‍යයි. මෙය දුටුවිට අගමැතිතුමා මට දොස් කියන්න ඉඩ තිබෙනවා. එතුමාට තිබෙන වැඩ රාජකාරී රාශියක් මැද්දේ මා මෙවැනි යෝජනාවක් කිරීම ගැන. නමුත් මම කියන්නේ ඇත්ත. තීරණ ගැනීමටත්, එකී තීරණ ක‍්‍රියාත්මක කිරීමටත් සුදුසු ක‍්‍රමවේදයක් නැත්නම් මොනවා යෝජනා වුණත් වැඩක් නෑ. අද සිනමාවට අයත් විවිධ පාර්ශ්ව සහ තැනැත්තන් යෝජනා ගෙන එනවා. ඔවුන් කුමන පක්ෂයක සිටියත්, කුමන මතිමතාන්තර දැරුවත් මේ වෙලාවේ නම් ගෙනෙන සියලූම යෝජනාවල යම් පදනමක් තිබෙනවා. තමාගේ ක්ෂේත‍්‍රයේ යහපතට මෙන්ම අනෙකා නියෝජනය කරන ක්ෂේත‍්‍රයටත් අයහපතක් නොවෙන අන්දමටත් යෝජනා පැමිණීම මෙහිදී වැදගත්. ඒකයි මම කීවේ නායකත්වය වැදගත් කියලා. පසුගිය කාලයේ දාපු විවිධ කමිටුවලට වුණේ මොකක්ද? කමිටු නියෝජනය කළ නිලධාරීන් සහ කලාකරුවන්ගේ නාස්ති වුණු වෙලාව. මේවා ආයේ මතක් කරන්න ඕනද?
 
 යෝජනාව වගේම ක‍්‍රමවේදයත් වැදගත්. ඊටත් වඩා වැදගත් පසු විපරම. එතනයි ජයග‍්‍රහණය.
 
 දැන් මොනවද ඔබේ යෝජනා?
 
 මේ යෝජනා බොහෝ පාර්ශ්ව දැනටමත් කියා සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ මුල් අවදියේම මුදල් ඇමැතිතුමා ලෙස සිනමා ක්ෂේත‍්‍රයට විශාල බදු සහන රාශියක් දුන්නා. ඒවා පසුකාලීනව නැවතුනා. වර්තමාන මුදල් ඇමැතිතුමා විදියට එතුමාට පුළුවන් ඒ බදු සහන නැවත දෙන්න. හැකිනම් ඒ දුන්න සහනවලටත් වඩා (කෙටි කලකට හෝ) තව සහන දීම.
 
 ඒවා නැවතුණේ කොහොමද?
 
 ඒ ගැන කතා කරල වැඩක් නෑ. දැන් තියෙන ප‍්‍රශ්නෙට අවශ්‍ය දේ කරමු. රවි කරුණානායක ඇමැතිතුමා ඔය සහනය වෙනුවට සැලකිය යුතු මුදලක් භාණ්ඩාගාරයෙන් සංස්ථාවට ලබා දුන්නා. නමුත් ඒ මුදල් පාවිච්චි නොකිරීම මත නැවත භාණ්ඩාගාරයට යැවුණු බව ආංරචියි. එහි ඇත්ත නැත්ත ඔබලාට සොයාගත හැකියි. පසුගිය කාලයේ මමත්, ක්ෂේත‍්‍රයේ, චිත‍්‍රපට නිෂ්පාදනයේ ප‍්‍රදර්ශනයේ බොහෝ පිරිසක් මේ නැති වූ බදු සහන ඉල්ලූවාට ඒවා ලැබුණේ නෑ.
 
 තව යෝජනා තියෙනවාද?
 
 ඔව්. විනෝද බද්ද ඉතා අවම අගයකට ගෙන ඒමට හැකිනම් (කෙටි කලකට හෝ එය අහෝසි කිරීමට හැකිනම් වඩාත් හොඳයි) එම මුදල නිෂ්පාදකයා හා ප‍්‍රදර්ශකයා අතර හරි ආකාරව බෙදී යාවි.
 
 ඒක කරන්න පුළුවන් වෙයිද?
 
 පාසල් කාලයේ සිට මා දන්නා අඳුනන ජනක තෙන්නකෝන් ඇමැතිතුමා වරක් පළාත් පාලන ඇමැතිතුමා වශයෙන් සිටි යුගයේ එතුමාට අප කරුණු කීමෙන් පසුව විනෝද බද්ද 5%-7.5 % අතර කරන්න තීරණයක් ගත්තා. ඒ අවස්ථාව වන විට විනෝද බද්ද 15%- 20% ක් වගේ තිබුණෙ. සමහර තැන්වල 25% ක් තිබුණා. මේ ක‍්‍රියාවලිය අවුරුදු දෙකක් තුළ පවත්වාගෙන යෑමටත් ඒ අතතුර නිවැරදි විමර්ශනයකින් පසුව සාධාරණ ප‍්‍රතිශතයකට සියලූම පාර්ශ්ව එකඟ වීමටත් කටයුතු යොදා තිබුණා. මුල් කරුණ සිදු වුණත් විමර්ශනයක් නම් සිදුවුණේ නෑ. ඔය කටයුත්තේදී එවකට පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කැෂියන් හේරත් මහතාත් එවකට සභාපතිව සිටි වර්තමාන සභාපති ජයන්ත ධර්මදාස මහතාත් බොහෝ උනන්දු වුණා. අවුරුදු දෙකෙන් පසුව සහ ඊටත් පසුව නැවත මුල් තත්ත්වයට පත්වුණා.
 
අදත් පළාත් පාලන ඇමැති ජනක මැතිතුමාමයි. එතුමා ලවා මෙය කර ගැනීමට ප‍්‍රදර්ශකයන් උත්සුක බව දැන ගන්න ලැබුණා. මා පැරණි ලිපි ඒ අය අතට පත් කිරීමට උත්සාහ කළේ කටයුත්ත තවත් පහසු කර  ගැනීමට. නමුත් මගේ එකතුව ඔවුනට අපහසුවක් වෙන්න ඇති. මම නිශ්ශබ්දව ඉන්නම්. එතකොට ඒ අයට සතුටුයිනෙ.
 
 ඔබට තවත් යෝජනා තිබේද?
 
 සියලූ දෙනාම කියන විදියට සිනමා කර්මාන්තයත් පිළිගත් කර්මාන්තයක් බවට පත් කරන්න කියන එක තමයි ඊළඟ යෝජනාව. අනෙකුත් කර්මාන්ත ලබන වරප‍්‍රසාද භුක්ති විඳීමට සිනමා කර්මාන්තයට නොහැකි වී තිබෙන්නේ එය කර්මාන්තයක් ලෙස රජය පිළි නොගෙන තිබීම බව වැඩි දෙනාගේ මතයයි.
 
 නමුත් මගේ අදහස නම් සිනමාව කර්මාන්තයක් කළ යුත්තේ කිසියම් විශේෂත්වයක්ද සමඟයි. එක්තරා කෙටි කාලයක අපේ කර්මාන්තයන් එනම් චිත‍්‍රපට සංස්ථාවත් කර්මාන්ත අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබුණත් සිදුවෙන්න ගියේ වෙනම දෙයක්. මේ වෙලාවේ හිටපු පාලකයන්වත්, තිබුණු රජයන්වත් විවේචනය කරන්න ඕනේ නෑ. නමුත් ඒවා මතක් කරන්නේ ? වැටුණු වළේ දවල් නොවැටීමට. අප වගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියක් ඇති ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, කැනඩාව වැනි රටවල ඔවුන්ගේ සිනමා කර්මාන්තය ආරක්ෂිත කර්මාන්තයක් ලෙස විශේෂ ගණයකට යටත් කර තිබෙනවා. එහෙම කරලා තියෙන්නේ ඔවුන්ගේ රටේ සිනමාව වෙනත් රටක දැවැන්ත සිනමාවකින් ගිල
 
 ගැනීමට තිබෙන අවදානම අවම කර ගැනීම ස`දහායි. ප‍්‍රංශය සහ අමෙරිකාව අතර තිබුණු වෙළෙඳ ගිවිසුමේදී (ගැට්) අසීමිත ලෙස ඇමරිකානු චිත‍්‍රපටි ප‍්‍රංශය තුළ ව්‍යාප්ත වීම වැලකුනේ ප‍්‍රංශය සිනමා කර්මාන්තය එලෙස ආරක්ෂිත කර්මාන්තයක් ලෙස නම් කර තිබූ නිසයි. එම අවස්ථාවේ ප‍්‍රංශ සිනමා කර්මාන්තයේ අනාගතය උදෙසා කතා කළ සිනමාකරුවන් අතර ඇමරිකානු අධ්‍යක්‍ෂවරුන් වන ස්පීල්බර්ග් සහ මාර්ටින් කෝසිස්ද සිටිනවා.
 
 මෙවැනි කරුණු ගැන මට වඩා හොඳට විස්තර දන්න විදේශ සිනමා සම්බන්ධතා ප‍්‍රවර්ධනය කරගෙන ඇති ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැන්නවුන්ගේ සහාය ලබාගත හැකියි. ඔවුන්ගේ පෞද්ගලික සිතුම් පැතුම් අපට වැඩක් නෑ. සමස්ත සිනමාවට සහ එහි ප‍්‍රවර්ධනය සම්බන්ධ ඔවුන්ගේ දැක්මයි අපට වැදගත්. එමෙන්ම වෙනත් රටවල වසංගත බිය නිසා දර්ශන ගැනීමට අපහසුතා තිබෙන විදේශ සිනමාකරුවන් මේ අවස්ථාවේ ලංකාවේ දර්ශන තලවල වැඩ කිරීමට කැමැත්තක් දක්වනු ඇති. එය මේ වෙලාවේ සලකා බැලිය හැකි නමුත් ප‍්‍රමුඛතාවය දිය යුත්තේ රජයේ ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල නීතිරීති වලටය. ඒවාට යටත්ව ඒවාට ගරු කරමින් කිසියම් ක‍්‍රියාවලියක් හරි ආකාරව මෙහෙයවා ගත හැකි නම් එය යම් අන්දමක සතුටුදායක තත්ත්වයක් අප කර්මාන්තයට ලබා දෙනු ඇත.
 
 මෙම ක‍්‍රියාවලියේදී එදා සිට මූලිකත්වය ගත් තැනැත්තා වූ චන්ද්‍රන් රත්නම් මහතාගෙන්ද යම් උපදෙසක් ලබා ගත හැක. දැනට දශක කීපයකට ප‍්‍රථම ඇමරිකාවේ පැවති ඔලිම්පික් උළෙලකදී ශ‍්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම ආචාර පෙළපාලියට එකතු වන අවස්ථාවේ විස්තර ප‍්‍රකාශකයා එම කණ්ඩායම හඳුන්වා දුන්නේ මේ අන්දමටයි. ‘ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ ශ‍්‍රී ලාංකික කණ්ඩායමයි. ඉන්දියන් සාගරයේ පිහිටා ඇති මනරම් ¥පතක් වන ශ‍්‍රී ලංකාවේ දර්ශනීය පසුතලවල ස්පීල්බර්ග් අධ්‍යක්‍ෂවරයා ඔහුගේ ‘ඉන්දියානා ජෝන්ස්’ දර්ශනගත කළා. ලංකාවේ දර්ශනීය පසුතල හා සුන්දරත්වය
ගැන එලෙස ලැබෙන ලෝක ප‍්‍රසිද්ධිය අප සංචාරක කර්මාන්තයට රුකුළක් නොවේද? වර්තමානයේ මේ කටයුත්තේ නියැලි සමාගම් කිහිපයක්ම ඇති නිසා ඔවුන්ගේ විදේශ සම්බන්ධතාවලට දිය හැකි උදව්වකින් අනියම් අන්දමකට රටට විදේශ විනිමයද ලැබෙනු ඇතැයි සිතමි. මේ පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතාගේත් සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේත් අවධානය යොමු වේවා යැයි ප‍්‍රාර්ථනා කරනවා.
 
 අවසාන වශයෙන් ඔබට කීමට ඇත්තේ කුමක්ද?
 
 මම ඉදිරිපත් කළ කරුණුවල, යෝජනාවල කළ හැකි නොහැකි යෝජනා තිබිය හැකියි. කොරෝනා වසංගතය අන් රටවලට සාපේක්ෂව අප රටේ යම් පාලනයකට නතුව තිබෙන අවස්ථාවේදී නැවත පාතාලය නමැති වසංගතය අප රට තුළ හිස එසවීම
 
 කනගාටුවට කරුණකි. නමුත් ඒ සඳහා පියවර ගැනීමට ජනාධිපතිතුමා පසුබට නොවීම ගැන රටේ සියලූ පුරවැසියන් සතුටු විය යුතුමය. එතුමාගේද ආශිර්වාදය යටතේ සිනමාව, කලාව සහ කලාකරුවා ගැන යම් දැනීමක් මෙන්ම හැඟීමක්ද ඇති අගමැතිතුමා අප වෙනුවෙන් ක‍්‍රියාත්මක වනු ඇතැයි මගේ විශ්වාසයයි.
 
 ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි කියනු ලබන බලවත් රාජ්‍යයන් තුළ වර්තමානයේ සිදුවන සුළු ජාතික හිංසනය තවමත් තුරන් වී නොමැත. 60 දශකයේ මාටින් ලූතර් කිං ගේ ඝාතනයෙන් මුළු ලොවම කම්පා විය (1964). මෙම සියවසේ මුල බැරක් ඔබාමා බලවත්ම රාජ්‍ය නායකයා වූ විට මුළු ලොවම සතුටු විය (2008). ඒත් අද? ඉදිරි අනාගතය? ලෝක ආර්ථිකය? මේවාට පිළිතුරු සැපයිය හැක්කේ කාටද?
 
 ඔබේ පෞද්ගලික ජීවිතය?
 
 පසුගිය කාලය නම් පෞද්ගලික ජීවිතයත් තිබුණෙ නෑ. රටේ පුරවැසියෙක් විදිහට හැමෝටම පොදු නීතිවලට ගරු කරමින් මම ජීවත් වුණා . අසනීප තිබුණත් එම කාලය තුළ නැවත ආපස්සට හිතන්න අවස්ථාව ලැබුණා. එහෙම හිතලා සනීපයක් ලැබුණේ නෑ. අසනීප වැඩිවුණා මිසක්.
 
ඒකෙන් කලින් නොදත් කලින් නොපෙනුණු බොහෝ අය පිළිබඳව තේරුම් ගත්තා. මගේ රසික පිරිසගේ ආදරය නොඅඩුව ලැබුණා. සැබෑ මිත‍්‍රයන් හඳුනා ගත්තා. මා උදව් කරපු අයම, උදව් අමතක කිරීම ලෝක ස්වභාවයක්. නමුත් ඔවුන්ම නැවත මටම පෙරළා කෙනෙහිලිකම් කිරීම, අපවාද අවලාද ගොඩනැඟීම විශ්වාස කරන්නත් අමාරුයි. බුදුන් වහන්සේ කියා දුන් අටලෝ දහම ගැන හිතලා ධෛර්යවන්ත වෙන්න ඕන. (නමුත් ඒ අයත් දෙවියෝ බුදුන් මටත් වඩා හොඳට අදහනවලූ) එහෙනම් වැරදි මම වෙන්න ඇති. මම එහෙම හිත හදා ගන්නම්.
 
 ඔබේ අලූත්ම නිර්මාණය ගැන මොනවද කියන්න තියෙන්නේ?
 
 අපි ඒක ගැන කතා කරන්නේ නැතිව ඉඳිමුද?
 
 ඒක ඔබේ කැමත්තක්.
 
 අනේ ඔබට ගොඩාක් ස්තුතියි.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles