Divaina - මගෙ 'මහාචාර්යකම' තාත්තාට දකින්නට නොහැකි වීම මට හැමදාම දුකක්....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ  මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
 
n24 3 ‘‘අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළු මහත් විශ්වයම අපොහොසත්’’ යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලූතර් කිං පැවසීය. මා එසේ කීවේ නිකමට නම් නොවේ. ආචාර්ය මහාචාර්යවරුන් පවා දහසින් බැඳි පියලි දී මිලදී ගන්නා ලෝකයක, තමන්ගේ වගකීම වන ජාතික, ආගමික, සංස්කෘතික, සමාජමය වටිනාකම් උදෙසා කැපවීමෙන් කටයුතු කරන, නිවැරැදි යාන්ත‍්‍රණය වෙනුවෙන් පෙනී සිටින අවංක යතිවරයකුගේ පුවත අකුරු කරන්නට සිතෙන මේ මොහොතේ ඇතිවූ සිතිවිලිවලියක් නිසාවෙනි. ඒ එම හිමියන් තම පියාගෙන් ලැබූ පන්නරයයි. එතුමා ද ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන මිනිසෙකි.
 
මේ හිමියන්ගේ හෘද ස්පන්දනයේ මහරු වටිනාකම් ලැබූ ඒ ‘අම්මා’ගේ පුවත කලකට පෙර ‘සිළුමිණ’ ජාතික පුවත්පතට ලියන කාලයේ මා සිරස්තලය තැබුවේ ‘‘මා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වුණත් මගේ මහාචාර්යවරිය අම්මා’’ යනුවෙනි. මුහුණු පොත හරහා ඊට අති විශාල ප‍්‍රචාරයක් ලැබුණු අතර ඒ අම්මා මෙලොවින් ඈත්ව ගිය මොහොතේ එගමේ වැසියන් එම ලිපිය මුද්‍රණය කැර ගම පුරා බෙදා තිබූ බවද මට මතකය.
 
 කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ මෙවර පිය වරම ‘අපේ තාත්තා’ සහෘද මණ්ඩපයට වඩිති. මේ ඒ හිමියන් තම ආදරණීය පියතුමා ගැන නඟන හඬය.
 
 දස සිල් ඇත්තා
 
 n24 1මගේ පියා නම්වර ලැබුවේ මාතර ගමගේ පැන්ටිස් අප්පුහාමි නමින්. කුඹුරු ඉඩකඩම් තරමක් හිමිව තිබූ ගොවියෙක්. මාතර දිස්ති‍්‍රක්කයේ අකුරැුස්ස ඡුන්ද බල කොට්ඨාසයේ වැලිගම් කෝරළයේ ඉතාම ඉසුරුබර ගමක් මේ අගලකඩ කියන්නේ. මේ ගම හුඟාක් පැරැුණියි. මහනුවර යුගයේ සරණංකර සංඝරාජයාණන්ගේ කාලයට දිවෙන අතීතයක්. ඒ කාලෙ මේ ගමේ පසු වැසියෙක් දස සිල් ඇත්තෙක් මහනුවරට පයින්ම ගිහින් සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලබලා ගමට ඇවිත් අගලකඩ ධම්මරක්ඛිත නමින් අගලකඩ අපේ මහ පන්සල හැදුවා. උන්වහන්සේට පහතරට ප‍්‍රධාන සංඝ නායක ධුරයත් හිමි වුණා.
 
 හාමුදුරුවන් මට නොකීවත් මා දන්නා හැටියට ‘අප්පුහාමි’ යන වචනය භාවිත කළේ ඒ කාලෙ ප‍්‍රභූ පවුල්වල ඇත්තන්ට විතරයි. අගලකඩ ගමේ එදා සිටි එකම අප්පුහාමි මේ හිමියන්ගේ පියාය.
 
 අකුරැස්ස මාකඳුර මාර්ගයේ කිලෝමීටර් 3 1/2 ක් පමණ ගිය පසු වමට හැරී වෙල් යාය, කඳුවැටි, ඇළ, දොළ, ගහකොළ, ඕවිටි, වනවදුලූ මේ හැම දෙයින්ම සපිරුණු මේ අගලකඩ ගම හරිම සොඳුරුයි. හංස සංදේශයේදී කෑරගල ගම පිළිබඳ කරන ලද සියලූ වර්ණනා, ඒ ග‍්‍රාමීය ලක්‍ෂණ සියල්ලම අපේ තාත්තාගෙත් අපෙත් ගමට තිබුණා. සශී‍්‍රක කෙත් බිමක්.
 
 අපේ තාත්තා සාමාන්‍යයෙන් මේ ගමේ ප‍්‍රභූ පවුලක කෙනෙක්. අපේ තාත්තගේ තාත්තා කුඩා කාලෙ නැතිවෙලා. තාත්තාගේ පවුලෙ සහෝදර සහෝදරියන් කවුරුවත් නෑ. අපේ අම්මා තැලිකෝරළයේ හින්නිහාමි. කැකුණවෙල ගමින් තාත්තා කැන්දගෙන ඇවිත් තියෙන්නෙ.
 
 යෝධ ගෙපළ
 
 තාත්තා මේ ගමේ අක්කරයක විතර තරමක ගිරි ශිඛරයක් තම හයි හත්තියෙන් පෙරළාගෙන මහා ගෙපැළක් කපා ගත්තා. ඉස්සර මෙතැනට කියා තිබෙන්නෙ කැකිල්ලේ කැලෑව කියලයි. එදා බැකෝ ආදිය තිබුණෙ නෑ. අලවංගුව, උදැල්ල ආදිය භාවිතා කරලා ඒ යෝධ ගෙපැළ තාත්තා කැපූ බවයි කියන්නේ. ඒ නිසාම අපේ ගමේ මිනිසුන් අපේ ගෙදර හැඳින්වුවෙත් ‘ගෙපැළ’ කියලා. අපේ පවුලෙ දරුවන් 6 දෙනයි. අයියා ධනපාල ලූණුගම්වෙහෙර ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රධාන ලිපිකරුවෙක්. විශ‍්‍රාමිකයි. අක්කා ධම්මිකා. ඊළඟට මම, මල්ලි බන්දුල ව්‍යාපාරික කටයුතු කරනවා. මල්ලි ගාමිණි තක්සේරු නිලධාරියෙක්. නංගි අතුරලිය ප‍්‍රාදේශීය සභාවේ සමෘද්ධි බැංකුවේ නිලධාරිනියක්.
 
 යති අකුරු
 
 අපේ තාත්තලා විශාල උගතුන් නොවේ. ඒත් ජීවත්වීමේ ප‍්‍රායෝගික ඥානය හොඳටම තිබුණා. එතුමාට තිබුණා පැරැණි යතිවරයකුට සමාන අකුරු. යති අකුරු’ කීවාට කමක් නෑ. සිංහල දැනුමත් විශිෂ්ටයි. ගමේ මරණාධාර සමිති, ග‍්‍රාම සංවර්ධන සමිති මේ හැම තැනම ලේකම් වගෙ ධුරයන් තිබුණා. ලේකම් වාර්තා හැදුවෙ තාත්තා.
 
 1960 - 70 දශකය වගේ කාලෙ අපේ ගම්වල ලොකු ආකල්පයක් තිබුණෙ නෑ ළමයින් ලොකු තැන්වලට ඉහළටම උගන්වන්න ඕනෑ කියලා. ඒත් තාත්තාටයි අපේ අම්මටයි මේක තිබුණා. ඒ සඳහා පෙලඹවීම
 
 දෙන්නාගෙන්ම ලැබුණා. මට මතකයි තාත්තා මට බුලත් අතක් අරන් දීලා පළමු දවසේ මිදිගහගොඩ ඉස්කෝලෙට එක්ක ගිහින් මලවලආරච්චි ගුරුතුමියට වන්දවලා පළමු වන පංතියට භාර දෙනවා. ඒ ගුරුතුමියට අද අවුරුදු 80 ක්. තවමත් ජීවතුන් අතර ඉන්නවා.
 
 අපේ ගෙදර දෙවි දේවතා වන්දනා, කේන්දර බැලීම, නක්‍ෂත‍්‍ර වැඩ, වාස්තු විද්‍යා මේවා ගැන විශ්වාසයක් තිබුණෙ නෑ. තාත්තා ඒවා පිළිගත්තෙම නෑ. ඒ ආභාසය නිසා පවුලෙ කිසිම කෙනෙක් මේවා පසුපස යන්නෙ නෑ. හැබැයි පන්සලේ වැඩවලට කැමැතියි. පන්සලේ වහලක් සෙවිල්ලූවත් තාත්තා එතැන. ගමේ අය කෙරෙහිත් හරිම සමීපයි. ඒ අයගෙ මඟුල, පිරිත, වහල සෙවිල්ලූමට, කුඹුරේ වැඩට යනවා. අපේ වැඩටත් ගමේ අය පෙරහැර හැදිලා එන්නෙ. ඒ තාත්තාගේ නායකත්ව ගුණය කියලත් හිතෙනවා. දීම පිළිබඳ පුදුමාකාර කැමැත්තක් තාත්තාට තිබුණා. අංශු මාත‍්‍රයක්වත් ලෝභ සිතිවිල්ලක් නැතිව දෙනවා. ගෙදරට ආපු කෙනෙක්ට බත බුලතින් සංග‍්‍රහ කිරීම තාත්තා හැමදාම කළා.
 
 හුළු එළි සමග ගෙන ගිය බඩු මල්ල
 
 අම්මයි තාත්තයි හොඳ ගොවියො. වත්තෙත් එළවළු වගා කළා. මෑ, නිවිති, වම්බටු, කරවිල, පලා වර්ග පලතුරු මේ හැම දේම, අල, බතල, මඤ්ඤොක්කා, මේවායින් කොටසක් දුප්පතුන්ට දුන්නා. ටවුමෙන් තිරිඟු පිටි ආදිය ගෙනැවිත් දුප්පතුන්ට දුන් අවස්ථා තිබෙනවා. එක් වතාවක් තාත්තා හන්දියට ගිහින් පරක්කු වෙලා ගෙදර එනකොට එහෙම බඩු මල්ලක් බලාපොරොත්තුව සිටි දුප්පත් පවුලක අම්මා කෙනෙක් නැවත ගිහින්. තාත්තාට මේක ඇහුවාම නිදාගන්න බෑ. ‘‘අර මිනිස්සු බඩගින්නෙ ඇති. එහෙම කියලා කළුවරේම පන්දම් හුළු අතු පත්තු කරගෙන මහ කැලෑවක් ඇතුළේ තියෙන ඒ ගෙදරට රාති‍්‍රයෙම අපත් සමගම ගියා ඒ බඩු ටික දෙන්ට. මට ඒක හොඳටම මතකයි.
 
 කැපුවත් කොළ
 
 අපේ තාත්තාට කුල, මල, ජාති ගෝත‍්‍ර පිළිබඳ තිබුණෙ මනුස්සකමේ ජාතිය, ගෝත‍්‍රය කියන එකමයි. කිසිවක් වෙන් කොට සැලකුවෙ නෑ. අපේ තාත්තලා හොඳ එක්සත් ජාතික පාක්‍ෂිකයෝ. ඞී. ඞී. වනිගසේකර මහත්මයාට වැඩ කළා. 1970 දී දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ මහත්මයා ඉල්ලූවත් එතුමා එජාපයේ අබේසිංහ මහතාටයි ඡුන්දය දුන්නෙ. කැපුවත් කොළ ජාතියෙ මිනිහෙක්. 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වීමෙන් පස්සෙ තාත්තාගේ ගොවිකමේ දක්‍ෂතාව නිසා අක්කර 2 1/2 ක් ලූණුගම්වෙහෙරින් වවන්න ඉඩම් දුන්නා. තාත්තා ඒකෙ සරුසාර කෙත් යායක් හැදුවා. ලක්‍ෂ්මන් යාපා මන්තී‍්‍ර වුණායින් පස්සෙ තාත්තා එතුමා වෙනුවෙන් දේශපාලනය කළා. මළ දවසේ එතුමා ඇවිත් මේ ගැන මතක් කළා.
 
 අපේ ගෙදර එක්තරා කාලයක (ගොයම් කැපූ කාලෙට* හරි පුදුම දෙයක් වෙනවා. ඒ ගමේ ඇත්තන් හුළු එළි බැඳන් ඇවිත් පැදුරු එළාගෙන අපේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා ? 11 - 12 වෙනකම් කතා සරින් සාගරේ දානවා. එතකොට ගමේ කතා, වීර කතා, අතීත කතා අපටත් අහන්න පුළුවන්.
 
 අස්වනු කපන කාලෙට කතා සරින් සාගරේ
 
 දැන් වගේ ඇඳිරි වැටීගෙන එනකොට රූපවාහිනි පෙට්ටිය ළඟ සිරවෙලා ඉන්නෙ නැතිව දුව, පුතා, ආච්චි, අසල්වැසියා හැමෝම එකතුවෙලා මේ වගේ නොයෙක් කතා දාගෙන ඉන්න එක සමාජය සවිබල ගන්වන හේතුවක්. ගමේ ප‍්‍රශ්නවලට විසඳුම් පවා එතැනදී කතා කළා. අම්මා තේ කහට, හකුරු, පැණි රස කෑමක් ඒ වෙලාවට පිළිගන්වනවා. මෙවැනි සංස්කෘතික පුරුදු හරිම වැදගත්.
 
 අපේ ගමේ හිටියා පත්තිනිහාමි කියලා මිනිහෙක්. එයාට තාත්තා කැමතියි. ? තිස්සේ නටලා ශාන්තිකර්මයක් ගමට, කුඹුරට, කෙතට, ගොයමට කරන චාරිත‍්‍රයක්. ඒ තුළින් සමාජය එකතුවීම, එහි තිබූ සෞන්දර්ය වගේ දේවලට තාත්තා ආසා කළේ. තාත්තා වැඩියෙන්ම ආසා කළේ අලූත් හාලෙන් හදන හාල් කිරි දානයටයි. මේ යාතුකර්මය අවසානයේ හාල් කිරි දානය ගමටම
 
 පිළිගන්වනවා. ‘කිරියා’ කියලා අම්මාවරුන්ගේ දානයට හදන ‘කිරියා’ නොවේ. ඒ වගේ ඊටත් වඩා රසවත් හාල් කිරි දානෙ.
 
 ඇස්ටෝන් මඩුව
 
 ඒ කාලෙ ගමේ ගෙවල්වලනෙ මඟුල් ගෙවල් ගත්තෙ. ඒ වෙලාවට ‘ඇස්ටෝන් මඩුව’ හදනවා. තාත්තා මෙහි මූලිකයෙක්. මාසයකට කලින් ඉඳන් බොහොම පිළිවෙළට මේවා හදන්න තාත්තා ගමේ අයත් සමඟ එකතු වෙන්නෙ.
 
 
 
 අපේ තාත්තා අම්මා වගේම දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන්න මහන්සි ගත්තා. අපේ තාත්තා දරුවන්ට මිරිදිය මාළු දෙන්න මහන්සි ගත්තා. අපේ ගෙපැළට ටිකක් එහායින් තිබුණා මාළු කටක්. ඒ කියන්නෙ මිරිදිය මාළු ඕනෑ තරම් හැදෙන ‘‘ගොරොක් ගහවළ’’ කියලා එකක්. විශාල ගොරකා ගහක් යටයි මේ වළ තිබුණෙ. මේකෙ පෙතියො, ලූල්ලූ, කොරළි වගේ මාළු අල්ලන්නෙ ගොඩපිටියෙ ගමේ ඉඳන් එන මුස්ලිම් මිනිස්සු. තාත්තා මේ මිනිසුන්ගෙන් සල්ලි දීලා මාළු ගත්තෙ.
 
 කැවුම් කෑමට රුසියා
 
 ඒ වගේම තාත්තත් අම්මාත් හැ¥ ගොවි බිමේ කංකුං, මුගුණුවැන්න, නිවිති, බණ්ඩක්කා, අල, බතල මේ මොනවා හරි පලා ටිකක් එක්ක දරුවන්ට දෙන්න තාත්තා මහන්සි වුණා. ඊළඟට මිදිච්ච කිරි (එළකිරි* සතියකට දෙතුන් වතාවක් දරුවන්ට කවනවාමයි. තවත් විශේෂ දෙයක් තියෙනවා. තාත්තා කැවුම් කන්න රුසියා. දරුවන්ටත් කැවුම් කවනවා.
 
 ඊට අමතරව අපේ ඇඳන් යට දෙල් අටුකොස්, කොස් අටුකොස්, පිරිලා. අම්මා ඒවා සකස්කර තියනවා දරුවන්ට කන්ට. අම්මයි තාත්තයි අතර තිබුණේ හොඳ හිතවත්කමක්. ගැටුම්වලට යන්ට තරම් පරිසරයක් අපේ ගෙදර තිබුණෙ නෑ. ඒ අය තමන්ට හිමි කොටස නොපිරිහෙළා ඉටුකළා. නම්‍යශීලී ප‍්‍රතිපත්ති දෙන්නා ළඟම තිබුණා.
 
 සදාචාරවත් පියා
 
 ඉතාම සදාචාරවත් පියෙක්. ඒ කාලෙ තිබුණා ‘රා’ තාත්තා ‘රා’ බොන මිනිසුන් පවා පිළිකුල් කළා. බුලත් විටක් කෑවා. සූදු පළවල් තිබෙන පැත්තක්වත් එතුමා දැන සිටියෙ නෑ. ඉඳ හිට සුරුට්ටුවක් නම් බොනවා මා දැක තිබෙනවා. අපටත් කීවෙ ‘සදාචාරවත්ව ඉඳීමේ ගුණය’ ගැනයි.
 
 1968-69 කාලෙ අපේ ගමේ විශාල ගැටලූවක් ඇති වුණා. පාරම්පරික පන්සලේ අයිතිය තිබෙන හාමුදුරුවරු පන්නා දමලා වෙනත් හාමුදුරු කට්ටියක් අගලකඩ පන්සල අයිතිකර ගැනීමේ ගැටුමක් ආවා. මේකෙ නියම අයිතිය තිබුණේ සඟරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලබා ගත් නායක හිමියන්ගේ පරපුරේ හිමිවරුනටයි. මේ ගැටුම නිසා ගම්වැසියන් පවා දෙකට බෙදුණා. අපේ තාත්තා ඒ වගේ අයුක්තිසහගත තැන්වල ඉන්ද්‍රඛීලයක් වගේ හරි කෙළින් කි‍්‍රයාත්මකයි. මිල මුදල්, වරප‍්‍රසාද, නම්බු නාම මේ කිසිවකට අහු නොවී යුක්තිය සඳහාමයි එතුමා වැඩ කළේ. එතුමා පන්සලත් එක්ක තිබුණු මහා බැඳීම නිසා සටන් කරලා කතා කරලා නිත්‍ය සාමාජිකයනට අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා අපටත් පන්සල ගෙදර වගේ වුණා.
 
 අකම්පිත ගුණයක් තිබුණා
 
 මාතර ගමගේ සිරිල් මගේ ගිහි නම. ශිෂ්‍යත්ව විභාගයෙන් ගමේ ඉස්කෝලෙ පාස් වෙච්ච එකම දරුවා වූ මා තෙලිජ්ජවිල මධ්‍ය මහා විදුහලට ඊළඟට ගියේ. උදේ
 
 රැුයින් නැගිටලා පයින්ම අකුරැුස්සට යන්න පුරුදු කළේ තාත්තා. ‘දිනමිණ’, ‘දවස’ වගේ පත්තර තාත්තා මට ගෙනත් දුන්නා. තාත්තා නොකීවට මා ගැන ලොකු බලාපොරොත්තුවක් එතුමාට තිබෙන බව මටත් දැනුණා. එයා ඇතුළෙ සඟවා ගත් දරු සෙනෙහස තිබුණු, ඒක එළියට නොකියපු පියෙක්. අපට හොරෙන් අප ගැන හිතා අඬපු අවස්ථා ඇති. ඒත් ඒවා අපටවත් පෙන්නුවෙ නෑ. දරුවන්ගේ ලෝකය නිර්මාණය කරන්න වෙහෙසුණා. කිසිම දේකට කම්පා නොවන අකම්පිත ගුණය තාත්තා ළඟ තිබුණ කියලා මට හිතෙනවා.
 
 ‘‘එපා පුතේ, නවතින්න’’
 
 මා අවුරුදු 18 දී මහණ වුණේ. ඒ තීරණය ගත්තේ මගේ තනි මතේට. කවරදාවත් නොඇඬූ මගේ තාත්තාගේ දෑසට කඳුළු කැටියක් නැඟුණු ඒ දවස මට මතකයි. තාත්තා වක්කඩක් ළඟ අත සෝදමින් සිටි වෙලාවෙ මං තාත්තා ළඟට ගිහින් කීවා ‘‘තාත්තෙ මං මහණ වෙන්න යනවා’’ කියලා. මෙන්න! ඒ යෝධ ප‍්‍රතිරූපය අකම්පිත මිනිසා කම්පාවේ ලකුණු මුහුණින් පළ කළා. මා ඒ වචන කියූ ගමන් හැරිලා, දැන් යනවා!
 
 ‘‘එපා පුතේ නවතින්න නවතින්න’’ තාත්තා පසුපසින් වේදනාබරිතව කියන හඬ මගේ සවන්පත් පාරන්නට වුණා. ඒත් සසර පුරුද්ද නිසාදෝ මා ඒ වෙලාවෙ හැරුණේ නෑ.
 
 මං කලින් සූදානම් කර ගත් පරිදි මොරවක කළුබෝවිටියන රුවන්කන්ද රජමහා විහාරයට ආවා. මං කොච්චර ස්ථිර අදිටනින් ආවත් ගෙදර ගැනත් පසුව විපරම් කළා. තාත්තා සති දෙකක් විතර හරි හැටි කාලා බීලා නෑ. අම්ම නම් මේකට මට අවසර දුන්නා. පියතුමා කළුවරේ ඇඳේ ගුළිවෙලා කල්පනා කරමින් සිටි බව දැනගන්නට ලැබුණා.
 
 යෝධ සෙනෙහස
 
 තාත්තා ඇතුළට නැමුණු ගැඹුරු සෙනෙහසකින් අප දිහා බැලූවෙ කියලා මට හිතෙනවා. එතුමාගේ යෝධ සෙනෙහස මට සසර පුරාම නැවත නැවත ලැබෙනවා නම් කියලා හිතෙනවා.
 
 මං මහාචාර්ය පදවියක් ලබලා කොළඹ විශ්වවිද්‍යාලයෙ ඉන්නවා කියලා දකින්නට තාත්තාට බැරි වුණා. ඒක මට මහා පශ්චාත්තාපයක්. එතුමා මට පත්තර පොත් ගෙනැත් දීලා කවි කතන්දර කියලා බලාපොරොත්තු වුණේ එහෙම තැනකට ගේන්නයි කියලා හිතෙන්නෙ ඒ සිද්ධි එකින් එක මගේ හිතේ අවලෝකනය වන විටයි.
 
 අපේ තාත්තා හරිම තේජාන්විතයි. මං වගේම උසයි, කළුයි. ආරෝහ පරිණාහ දේහයක් එතුමාට තිබුණා. පවුලෙ අනෙක් දරුවො සුදු වුණාට මං තාත්තා වගේමයි කියලා ගමේ කට්ටිය කියනවා.
 
 මධ්‍යස්ථ මතධාරියෙක්
 
 88-89 කාලෙ මං කොළඹ විශ්වවිද්‍යාලයේම ඉගෙන ගන්නා භික්‍ෂුවක්. අන්තවාදී දේශපාලන කඳවුරක වැරැුදි කි‍්‍රයාමාර්ග කළ අයත් වැරැුදි වැඩක් කෙළින්ම නොකළ අයත් භික්‍ෂූන් 33 ක් අතුරුදන් වුණා. එහෙත් ඒ සමහර භික්‍ෂූන් වැරැුදි වැඩ නොකළත් ඊට අනියම් ලෙස සම්බන්ධකම් දැක්වූ අයයි. මේ අය නැතිවෙනකොට ඒ කණ්ඩායමේ මාත් සමඟ ඉතිරි වුණේ භික්‍ෂූන් 3 - 4 දෙනෙක් විතරයි. මා ඒ වෙලාවෙ බේරුණෙ තාත්තාගේ මධ්‍යස්ථ අන්තවාදී නොවන ගති ලක්‍ෂණ මා ළඟ පිහිටි නිසයි. අනෙක තාත්තාගේ සදාචාරවත් ගුණය මා පිළිගත් නිසයි. ඒ කාලෙ අපේ සරසවියෙ උපකුලපතිතුමා හැටියට හිිටියෙ ජී. එල්. පීරිස් මහත්මයා. එතුමා රැුස්වීමක් තියලා මා ඇතුළු තවත් භික්‍ෂූන් 3-4 දෙනකුට ප‍්‍රශංසා කළා මේ වෙලාවෙ.
 
 තාත්තාගේ මනාපයක් නැතිව මහණකමට ගියත් නිවාඩු කාලෙට මං නොවරදවාම අපේ ගෙදර එනවා. අනේ! අපේ තාත්තා මා එනවාද බලන්න මඟට ඇවිත් බලා ඉන්නවා. මට විශේෂ කැඳ සව් ආදිය සකසාගෙන ඉන්නවා.
 
 ‘‘ලූණු කැඳ සේලයින්’’
 
 අපේ තාත්තා හරිම නිරෝගී මිනිහෙක්. 89 වෙනකම් ඒ ශරීරය විදලා ලේ බිංදුවක් අරන් බැලූවෙ නෑ. ඒ නිරෝගිකම රැුක දෙන්න අම්මාත් ලොකු සේවයක් කළා. අපේ තාත්තලාට ‘ධනාත්මක චින්තනය’ වගේ වචන දන්නෙ නැති වුණාට ඒක හොඳට තිබුණා. අපට පෝෂ්‍යදායී ආහාර දෙනවා වගේම ලූණු කැඳ කෝප්පයක් බොන්න නම් තාත්තාගේ අණක් තිබුණා.
 
 ලූණු කැඳ කියන්නේ ‘සේලයින්’ එකක්. අපේ ප‍්‍රතිශක්තිය හදන්න මේ ලූණු කැඳට පුළුවන් බව අම්මාත් තාත්තාත් දන්නවා. ගමේ වරින් වර වසංගත වගේ දේවල් පැතිර යනකොටත් අපේ අයට ඒක නාවේ මේ ‘‘ලූණු කැඳ සේලයින්’’ නිසයි.
 
 තාත්තා 89 වෙලත් එදාත් ඇළෙන් වතුර නාලා ඇවිත් ස්වභාවික මරණයකට පත් වුණා. එතුමාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ. වයසට ගිහිල්ලාමයි මළේ. පැපොල රෝගය ගම පුරා පැතිරෙන විටදි තාත්තා අපේ බෙල්ලේ ‘පෙරුම්කායම්’ කෑල්ලක් එල්ලනවා. පෙරුම්කායම්වලට විෂබීජ නාශක ගුණයක් තිබෙන බව එදා වැඩිහිටියො දැන සිටියා. ගෙවත්තෙ පලා වලින් හදපු කොළ කැඳ බොන්නත් තාත්තා අපට උපදෙස් දුන්නා. අපේ තාත්තා අපට රේඩියෝවක් ගෙනැත් දුන්නෙ සින්දු අහන්න නොවේ. ප‍්‍රවෘත්ති අහන්න, ‘ගුරුගේ මැණික් වාසනාව’, ‘කෙතක මහිම’, ‘නාරද හාමුදුරුවන්ගේ බණ’ මේවා තාත්තාත් ආසාවෙන් අහනවා. මාත් ඇහුවා.
 
 ගොම මැටි බිම සොඳුරුයි
 
 ‘‘පුතේ, මිනිසුන්ට ආදරය කරන්න. මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න.’’ තාත්තා අපට දුන් හොඳම ඔවදනයි. අපි ගොම මැටි ගෑ පොළොවෙ නිදාගත්තෙ. ඒක බුමුතුරුණක් අපට. අර ගීයකත් කියැවෙනවා මතකයි.
 
 ‘‘ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ’’
 
 මේ කතාව අපේ ගෙදරට හොඳටම ගැළපුණා. වේයගෙ කෙළත් මිශ‍්‍ර මේ හුඹස් මැටි පිරිසුදු මැටි වගේම හරිම ශක්තිමත්. ඒ හුඹස් මැට්ටෙන් බැන්දාම තීන්ත වර්ගයක් ගෑවාට වඩා සුන්දර පෙනුමක් තියෙනවා.
 
 අපේ තාත්තා අපට කවදාවත් ගහලා නෑ. ඒ වරදක් කළාම ඔරවලා බැලූවා නම් ඇති. එක වේවැල් පහර 100 කට වඩා බරපතළයි, සැරයි. අපේ තාත්තා ළඟ යථා ලාභ සන්තුෂ්ටිය කියන එක උපරිමයෙන්ම තිබුණා. සතුට තමයි පරම ධනය කියලා හිතූ අහිංසක ගැමියෙක් මගේ තාත්තා.
 
 උපාලි සමරසිංහ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles