Divaina - පෝස්ටර් කටවුට් නැති මැතිවරණයක්... මෙන්න විසඳුම්

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p24 2මීළඟ මහා මැතිවරණය ලබන ජුනි 20 වැනිදා සෙනසුරාදා පැවැත්වීමට පසුගිය අපේ‍්‍රල් 20 වැනිදා රැුස්වූ මැතිවරණ කොමිසම තීරණය කළද, ඊට එරෙහිව මේ වන විට කිහිප දෙනෙකුම අධිකරණයට ගොස් ඇත්තේය. මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කොට බලරහිත කරන්නැයි, මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක්ම ගොනුකොට ඇත්තේය. මේ අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය නීතියට අනුකූලව පැවැත්වීම යෝග්‍ය බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව පසුගිය මැයි 5 දා පුවත්පත් වාර්තා කොට තිබුණේය. අනෙක් අතට, මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීරණයක් මැතිවරණ කොමිසම විසින් ලබන සතියේ ගැනීමට නියමිත බවටත්, මනාප අංක සහිත ගැසට් නිවේදනය ඉන් අනතුරුව ප‍්‍රකාශයට පත්කෙරෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වන්නේය. මැතිවරණය ජුනි 20 පැවැත්වීමට ගත් තීරණය යළි සලකා බැලෙන බවක් ඉන් ඇඟවෙන අතර, පසුගිය දින කිහිපයේ කොවිඞ්-19 ආසාදිතයින්ගේ ගණන ඉහළ  ගිය පසුබිමක් තුළ ජුනි මාසයේ ඡුන්දය පැවැත්වීම අවිනිශ්චිතය.

කොරෝනා වසංගතය විසින් අපේ රට පමණක් නොව මුළු ලොවම ගිලගෙන ඇති පසුබිමක් තුළ, ඡුන්දයක් පැවැත්වීම කොතෙක් දුරට ප‍්‍රායෝගික ද යන්න පිළිබඳව දැන් සති කිහිපයක සිට සංවාදයක් දියත්ව තිබෙනාතර, ඡුන්දය පැවැත්වීමට පක්‍ෂව හා විපක්‍ෂව විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වන්නේය. මැතිවරණයක් පැවැත්වීමට යෝග්‍ය වාතාවරණයක් නොමැති හෙයින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු යැයි විපක්‍ෂය යෝජනා කරන අතර, තමන් එවැන්නකට සූදානම් නැතැයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේය. තවද, ජුනි 2 දිනට මත්තෙන් නව පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි වුවහොත් පැරණි පාර්ලිමේන්තුව ඉබේටම බලාත්මක වන බවට තවත් පිරිසක් තර්ක කරති. අනෙක් අතට, පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවනු ලැබූවද එය මාස දෙකකට කල්දැමීමේ බලය ජනාධිපතිතුමා සතුව ඇත්තේය. එබඳු පසුබිමක් තුළ, එක්තරා ආකාරයක, ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවීමේ තර්ජනයක් ද ඇත්තේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලාංකේය සෞඛ්‍ය බලධාරීන්ද පුන පුනා අවධාරණය කරනා පරිදි, කොරෝනා වසංගතයේ ඉක්මන් නිමාවක් අපේක්‍ෂා කළ නොහැකි වනවා පමණක් නොව, එහි පූර්ණ අවසානයක දින වකවානු ගැන කිසිදු අනාවැකියක් පළ කළ නොහැකිය. තව දිගු කාලයක් මුළු ලෝකයටම කොරෝනාවෙන් බැටකෑමට සිදුවිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේය. ඒ අනුව බලනා විට, ලබන

අගෝස්තුව පමණ වන විට කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම (සියයට සියයකින්ම) මර්දනය කොට, රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි සහතික ලබාදීමට තවම කල් වැඩිය. එනම්, පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවනු ලැබූවද එහි නියමිත කාලය අවසන්වීමට පෙරාතුව රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි සහතික ලබාදිය නොහැකිය. වෙනත් වචනවලින් කියතොත්, කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම මර්දනය කොට රට යථා තත්ත්වයට පත්වූ පසුව මැතිවරණය පැවැත්විය යුතු බවට ඇතමුන් කරනා ඉල්ලීම ප‍්‍රායෝගික නොවන්නේය. රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා තව කොතෙක් කල් බලා සිටීමට සිදුවේ දැයි හරිහැටි කිව නොහැකිය. මැතිවරණ කොමිසම මෙන්ම දේශපාලන පක්‍ෂ ද මුහුණ දෙන උභතෝකෝටිකය මෙයයි.

මෙහිලා අප අමතක නොකළයුතු වැදගත්ම කරුණ වන්නේ, මේ වන විට සමස්ත ලෝකයම මුහුණපා සිටින මෙම තත්ත්වය සුවිශේෂී එකක් වන බවයි. මෙය යුදමය වාතාවරණයකට සමාන තත්ත්වයක් බවයි. අපගේ අදහස අනුව නම්, අද මුළු ලෝකයම මුහුණ දී සිටින්නේ තුන්වැනි ලෝක යුද්ධයටයි. පළමුවැනි සහ දෙවෙනි ලෝක යුද්ධ හා සසඳන විට, 2020 තුන්වැනි ලෝක මහා යුද්ධයේ ඇති විශේෂත්‍වය වන්නේ, මෙය රට රටවල් අතර කෙරෙන යුද්ධයක් නොව මුළු ලෝකයම එක්ව කොවිඞ්-19 වෛරසයට එරෙහිව කරන සටනක් වීමයි. මෙබඳු යුදමය වාතාවරණයක් තුළ, ඡුන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා සාමාන්‍ය ක‍්‍රමවේදය භාවිත කළ නොහැකිය. එවන් මැතිවරණයකදී අලූත් ක‍්‍රමවේද හඳුන්වාදීමට අවශ්‍ය වන්නේය. අප දන්නා තරමින්, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු පනතේ 129 වැනි වගන්තිය යටතේ, හදිසි තත්ත්වයක් යටතේ ඡුන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය අදාළ ප‍්‍රතිපාදන සලසා ඇත්තේය. තවද, මීළඟ මැතිවරණයේදී රීති කිහිපයක්ම වෙනස් කිරීමට, දැනටමත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී ඇති බව වාර්තා වන්නේය. නිදසුනක් ලෙස, ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම වෙනුවට වෙනත් ක‍්‍රමයක් භාවිත කිරීම, ඡුන්ද පත‍්‍රිකා ඇතුළු ලේඛන ලබාදීමේදී අත්වැසුම් පැළඳීම වැනි කරුණු කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී ඇති බව වාර්තා වන්නේය.

p24 1මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාසයේ පැවැත්වුවද, එසේ නැතිනම් ජුලි හෝ අගෝස්තු මාසයේ පැවැත්වුවද, කොරෝනාවට එරෙහි සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපැදීම අත්‍යවශ්‍ය වන්නේය. මීළඟ මැතිවරණය සෞඛ්‍ය ආරක්‍ෂිතව පැවැත්විය යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානීන් විසින් පසුගිය මැයි 4 වැනිදා මැතිවරණ කොමිසමට බාරදී ඇතැයි වාර්තා වන්නේය. ඡුන්දය පාවිච්චි කිරීමේදී අනිවාර්යයෙන්ම ශාරීරික දුරස්ථභාවය පවත්වාගත යුතු බවටත්, මුහුණු හා අත් ආවරණ පැළඳිය යුතු බවටත්, විෂබීජ නාශක දියර භාවිත කළ යුතු බවටත්, සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇතැයි වාර්තා වන්නේය. ඡුන්දය පාවිච්චි කිරීමේදී පමණක් නොව, මෙවර මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදීමේදී ද මුඛ හා අත් ආවරණ පැළඳීම, මීටරයකට වැඩි ශාරීරික දුරස්ථභාවයක් තබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. සබන් හෝ වෙනත් පවිත‍්‍රකාරකයක් යොදා නිරතුරුව අත් සේදීම අත්‍යවශ්‍ය වන්නේය. මේ වන විට, විනෝද චාරිකා, උත්සව සහ මහජන රැුස්වීම් තහනම් කොට තිබෙනාතර, ඉදිරි මාස දෙක තුන තුළ එම සීමාවන් ලිහිල් වනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකිය. මෙවර ඡුන්ද ප‍්‍රචාරක ව්‍යාපාරය අලූත් ආකාරයකට දියත් කිරීමට සිදුවනු ඇතැයි අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය.

අපගේ අදහස අනුව නම්, කොරෝනා වසංගතය හරහා අපට මේ ලැබී තිබෙන්නේ එක්තරා අන්දමක ස්වර්ණමය අවස්ථාවකි. එනම්, නව දේශපාලන සංස්කෘතියකට, සදාචාර සම්පන්න මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයකට අවතීර්ණ වන ලෙස කොරෝනා වසංගතය අපට බලකර සිටින්නේය. විශේෂයෙන්, කාලයත් ශ‍්‍රමයත් ධනයත් නිකරුණේ නාස්ති කෙරෙන ඡුන්ද ප‍්‍රචාරක රැුස්වීම්වලින් වැළකෙන ලෙස කොරෝනා වසංගතය අපට බලකර සිටින්නේය. එය ඇත්තෙන්ම යහපත් පණිවිඩයක්, බලකිරීමක් නොවන්නේද? පොලිතීන් සැරසිලි ඇතුළු අනෙකුත් දෑවලින් සිදුවන හානිය මේ හරහා අවම වන්නේය. එපමණක් නොව, අවට පරිසරයේ අලංකාරයට හානි කෙරෙන බැනර්, කටවුට්වලට මේ හරහා වැට බැඳෙන්නේය.

එසේ නම්, ඡුන්ද ප‍්‍රචාරණ කටයුතු කරන්නේ කෙසේදැයි කෙනෙකුට ප‍්‍රශ්නයක් මතුවිය හැකිය. අපගේ අදහස අනුව නම්, ගෙයින් ගෙට ගොස් ඡුන්දය ඉල්ලා සිටීමට (කැන්වසින් කිරීමට) අපේක්‍ෂකයන්ට අවසර ලබාදිය යුතුය. එහිදී, සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම අනිවාර්ය අවශ්‍යතාවයක් වන අතර, මුඛ ආවරණ පැළඳ කැන්වසින් යන අයවළුන් ගණන දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට සීමා කළ යුතුය. ඒ හැරුණු කොට, මෙවර මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේදී භාවිත කළ හැකි වඩා සුදුසු මාධ්‍යය වන්නේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම අන්තර්ජාලයයි. මෙහිදී, ඒ ඒ අපේක්‍ෂකයන්ට රූපවාහිනී සහ ගුවන්විදුලි කාලය වෙන්කිරීම, ජනාධිපතිවරණයකදී තරම් පහසු නොවන බව ඇත්තය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්‍ෂකයන් 7543 දෙනෙකු නාම යෝජනා භාරදී තිබෙන අතර, ඒ හැම කෙනෙකුටම රූපවාහිනී හා/හෝ ගුවන්විදුලි කාලය ලබාගැනීමේ අයිතියක් ඇත්තේය. ඒ සඳහා දිස්ත‍්‍රික්ක වශයෙන් (පාර්ලිමේන්තු මැතිවරණයකදී අදාළ කොට්ඨාසය වන්නේ දිස්ත‍්‍රික්කයයි.), පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා වේලාවක් (කෝටාවක්) වෙන් කෙරෙන ක‍්‍රමවේදයක් සකස් කරගත හැකිය. එම කාලය භාවිත කරනා ආකාරය පක්‍ෂ නායකත්‍වය හෝ අදාළ දිස්ත‍්‍රික්කයේ කණ්ඩායම් නායකයා විසින් තීරණය කළ යුතුය. වර්තමාන ලංකාවේ ඈත පිටිසර ගැමි පවුලක වුවද රූපවාහිනී හෝ ගුවන්විදුලි යන්ත‍්‍රයක් අනිවාර්යෙන්ම තිබෙනා හෙයින්, ශාරීරික දුරස්ථභාවය රැුකගනිමින් ඡුන්ද සටන මෙහෙයවීමට මෙය සුදුසුම ක‍්‍රමවේදය වන්නේය.

මීට අමතරව, සමාජ මාධ්‍ය ජාලා ද ඇතුළුව අන්තර්ජාලය මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේදී භාවිත කළ හැකි තවත් වැදගත් මාධ්‍යයක් වන්නේය. ඈත ගම්මානවල වෙසෙන අයට මෙන්ම දුප්පත්කමින් බැටකන බහුතරයකට අන්තර්ජාලයක් ගැන කතාකිරීම එක්තරා අන්දමක විහිළුවක් බව ඇත්තය. එහෙත් ඒ අතරම, ෆාමසියෙන් බෙහෙත් ගෙන්වා ගැනීම සඳහා වට්ස්ඇප් පණිවිඩ යැවීමට ඈත ගම්වල උදවිය පවා මේ දිනවල පුරුදු වෙමින් සිටිනා බවද බැහැර කළ නොහැකිය. ඉන් කියැවෙන්නේ, අදාළ තත්ත්වයන් විසින් බලකෙරෙන්නේ නම් සහ දැඩි කැපවීමක් තිබේ නම්, ඕනෑම කෙනෙකුට අසීරුවෙන් වුවද නව තාක්‍ෂණයට අනුගත විය හැකි බවය. එපමණක් නොව, නූතන තරුණ පරම්පරාවේ බහුතරයක් සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලය ඇසුරු කරන බව අතිශයෝක්තියක් නොවන්නේය. පසුගිය මැතිවරණවලදීද, සමාජ මාධ්‍ය ජාලා විසින් අවසාන ප‍්‍රතිඵලයට විශේෂ බලපෑමක් ඇති කළ බව බැහැර කළ නොහැකිය. මැතිවරණ කොමිසමේ අධීක්‍ෂණය යටතේ, සමාජ මාධ්‍ය ජාලා විධිමත් ලෙස ඡුන්ද ව්‍යාපාරයට යොදා ගන්නේ කෙසේද, සැබෑවටම එවැන්නක් කළ හැකිද යන්න පිළිබඳව අලූතින් සිතා බැලිය යුතුය.

මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් වූ තත්ත්වය මීට වඩා සරලය. රැුස්වීම්වලට, කටවුට්වලට, බැනර්වලට නාස්ති කෙරෙන මුදල් යොදාගෙන පුවත්පත් දැන්වීම් පළකිරීමේ අවස්ථාව හැම අපේක්‍ෂකයෙකුටම ලැබෙන්නේය. ඒ සඳහා ද යම් යම් සීමා පැනවිය යුතු යැයි හැෙඟ් නම් මැතිවරණ කොමිසමේ අවධානය ඒ සම්බන්ධයෙන් ද යොමු විය යුතුය. මේ සියලූ මාධ්‍ය සඳහා ගැලපෙන නව නිර්ණායක මැතිවරණ කොමිසම විසින් හඳුන්වා දිය යුතුය.

මේ අනුව බලනා විට, ”කළ නොහැක්කක් නොමැත” යන සුබවාදී සංකල්පය මීළඟ මැතිවරණයට ද අදාළ කරගත හැකිය. යටකී පරිදි, නව දේශපාලන සංස්කෘතියකට, සදාචාර සම්පන්න මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයකට මුල පිරීමට මීළඟ මැතිවරණය යොදාගත හැකිය. එම ඉලක්කය සාක්‍ෂාත් කරගැනීමට සියලූ පාර්ශ්වයන්ගේ පූර්ණ කැපවීම හා දායකත්‍වය අවශ්‍ය වන්නේය. මෙහිලා පළමුකොටම, මැතිවරණ කොමිසමට පැවරී ඇති බලතල ප‍්‍රකාරව නව රීති, නිර්ණායක හඳුන්වා දිය යුතුය. දෙවනුව, අලූත් ක‍්‍රමයට දියත් කෙරෙන ඡුන්ද ව්‍යාපාරයක් තුළ, මැතිවරණ නිරීක්‍ෂකයන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන්නේය. තෙවනුව, ඡුන්ද අපේක්‍ෂකයන්ගේ සහ ඡුන්දදායකයන්ගේ අවංක කැපවීම අත්‍යවශ්‍ය සාධකයක් වන්නේය.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles