Divaina - පද්‍ය කාව්‍යක්කාරියෝ කවියෙන් ජීවිතය සොයති ජීවිතය දකිති

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

na9 2සිංහල සාහිත්‍යයේ පද්‍ය කාව්‍යක්කාරියන් පිළිබඳ විමසීමක දී පැරැණි චිරන්තන සාහිත්‍යයේ ද නවීන කවියේ ආරම්භක යුගයේදී ද කාන්තාවන්ගේ පද්‍ය කාව්‍ය නිර්මාණ වූ බව පෙනේ. කාව්‍ය රචනය කෙරෙහි සිත යොමු කළ ස්ත‍්‍රීන් සිටි බවට හොඳම නිදසුන වන්නේ සීගිරි කවි එකතුවයි. කොළඹ කවි පරපුරේ දෙවන කොටසට අයත් කවියේදී කාව්‍යක්කාරියන්ගේ දායකත්වය පිළිබඳ තතු දැන ගැනීමට ඔවුන් විසින් පළ කරන ලද කාව්‍ය කෘති හමු නොවූවත් කවි සඟරා සංස්කරණයෙහිලා ඔවුන්ගේ දායකත්වය කැපී පෙනෙන බව පැහැදිලිය. මාතර යුගයේ ප‍්‍රකට කාව්‍යක්කාරිය වූ ගජමන් නෝනා මෙන්ම ඇගේ සමකාලීන කාව්‍යක්කාරිය, රංචාගොඩ ළමයා ද ආරම්භක නාමාවලියෙහි හමුවන්නියෝ වෙත්. ඔවුන් බොහෝ දෙනාගේ කවියෙහි අන්තර්ගතය වූයේ පෞද්ගලික සංවේදනා වුවද ඒවා කාව්‍යාත්මක ලක්ෂණවලින් යුතු බවයි විචාරක මතය. ගජමන් නෝනාගේ කවියෙන් අපට ඇගේ ජීවිතය දකින්නට හැකිය. කියවන්නට හැකිය. ඈ තම ජීවිත කාලය පුරා විඳි නේක දුක්ඛ දෝමනසයන්, සුඛ දුක්ඛ වේදනාවන් ඇගේ බොහෝ කවිවලින් නිරූපිතය. රූමත් ගජමන් නෝනාගේ පහස සොයා පැමිණි කවිකාර පුරුෂ චරිත කෙරෙහි ඈ විසින් දක්වන ලද කාව්‍ය ප‍්‍රතිචාර ඇතැම් අවස්ථාවක කර්කශ, සෘජු විරෝධාකල්පීය කාව්‍ය ලෙස හඳුනාගන්නට හැකිය. රංචාගොඩ ළමයාගේ කවිය ගජමන් නෝනාගේ කවිය හා සැසඳිය නොහැකි වුවත් කවිත්වයක් ඈ සතු නොවූවත් උපහාසය පිරි ග‍්‍රාම්‍ය වදනින් යුත් ඇගේ කවියෙන් විරුද්ධවාදීන් නිහඬ කරවීමට සමත් වූ බව දත හැකිය. අපගේ මහා කාව්‍යකාරිය ගජමන් නෝනායි ප‍්‍රවාදගත කරමින් ඇගේ නම සාහිත්‍ය ඉතිහාසයෙහි ලියැවී හමාර ය. ගජමන් නෝනා තම කවියෙන් ජීවිතය දුටු විලසින්ම කවිය තම ආත්ම ප‍්‍රකාශනය කොටගත් පළමු හා විශිෂ්ට කාව්‍යක්කාරිය වන්නී රුහුණු රටින්ම පැමිණි මොනිකා රුවන්පතිරණයි. ඈ නවීන ගජමන් නෝනා ලෙස විරුදාවලී ලබන්නී ඊට ඇවැසි සියලූ සුදුසුකම් සපුරා ලූ පළමු හා එකම කාව්‍යක්කාරිය ලෙසය. හැත්තෑව දශකයේ කවිපරපුරෙහි පුරෝගාමී කාව්‍යක්කාරිය වූ මොනිකාගේ කවිය තුළත් ඈ ජීවිතය දුටු හා කියවූ අයුරුත්, ඈ කවියෙන් පතළා වූ මානව දයාවේ සුවඳත් අපට දැනේ. 1975 දී ඈ විසින් පළ කරන ලද ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය දීර්ඝ කාව්‍යය වුව ඊට කදිම නිදසුනකි. එහි ආරම්භයෙහි ඈ පවසන මෙ වදනම ඈ තුළ වූ මානවීය දයාව පෙන්වන්නකි.

ගැලූ කඳුළු යට තම දුක් නිදන් කළ
කතුන් සැමට පුද දෙන්නෙමි මෙ කව් වැල

මොනිකා නම් වූ කාව්‍යක්කාරිය, කවිය තුළින් ජීවිතය සොයා ගිය බවත්, දුකින් පීඩාවිඳින ගැහැනුන්, මිනිසුන්, දරුවන් පිළිබඳ කවියෙන් දුටු ආකාරයත්, සාම්ප‍්‍රදායික ශබ්දාලංකාර, උපමා රූපක බැහැර කරමින් ඒ වෙනුවට කාව්‍යමය සංකල්පනාවලටත්, සජීවී ඉන්ද්‍රිය රූපවලටත් මුල් තැන දුන් බවත් මහගමසේකර ඔබේ යෙහෙළිය කෘතියේ පසු වදනෙහි සඳහන් කර තිබෙනු දුටිමි. එය සැබෑවකි. එනිසාමය අකාලයේ ජීවිතයෙන් සමු ගත්තද, මොනිකා රුවන්පතිරණ කාව්‍යක්කාරිය සිංහල කාව්‍යක්කාරියන් අතර ගජමන් නෝනාට පසුව බිහි වූ මහා කාව්‍යක්කාරිය ලෙස පිළි ගැනෙන්නේ. ඇගේ කවීත්වයට ළං විය හැකි ඈ තුළ වූ ප‍්‍රතිභාවට, ජීවන දැක්මට සමාන කළ හැකි එකදු කාව්‍යක්කාරියක් හෝ මෙතෙක් හමු වී නොමැත. එහෙත් ඈ ගිය මගම අනුදත්, ඇගේ කවියට නිගා නොවනා‘යුරින් කාව්‍යකරණයෙහි නිරත ව සිටිනා නවීන කාව්‍යක්කාරියන් කිහිප දෙනෙකුම සිංහල පද්‍ය කාව්‍ය පෝෂණයට දායක වෙමින් සිටින බව කිව මනාය.

සිංහල පද්‍ය කාව්‍යක්කාරියන් අතර මොනිකා රුවන්පතිරණ මුදුන් මල්කඩ වුවත්, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලකදී හොඳම කාව්‍යක්කාරියට හිමි සම්මානය පළමුව ලබන්නී යමුනා මාලිනී පෙරේරා කාව්‍යක්කාරියයි. එහෙත් මොනිකා රුවන්පතිරණ දෙවරක්ම එකී සම්මානය හිමිකම් ලබන්නී මෙතෙක් එකී සම්මානය දෙවරක් දිනා ගත් එකම නිර්මාණකාරිය ලෙස වාර්තාවක් පිහිටුවමිනි. මෙම සම්මානයම දිනාගත් අනෙක් කාව්‍යක්කාරිය වන්නී සුහර්ෂිණී ධර්මරත්න ය. ඈ 2012 දී ගිරි හිස තරණය කරමින් සම්මානයට හිමිකම් ලබා ඇත්තීය. රාජ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව ඇරැුඹුණු රජත පුස්තක සම්මාන උළෙල අවසන් වටයට නිර්දේශ වූ කාව්‍ය සංග‍්‍රහ රචනා කළ පිරිසට එක් වූ එකම හා පළමු කාව්‍යක්කාරිය ලෙස මඳහසක මැදියම රචනා කළ අනුරාධා නිල්මිණී කාව්‍යක්කාරිය ගේ නමද මතකයට නැගේ. එක් වසරක් තුළ පළ කෙරෙන විසාල පද්‍ය සංග‍්‍රහ සංඛ්‍යාව අතර වනිතා නියෝජනය වසරින් වසර ඉහළ මට්ටමක් කරා යනු පෙනේ. ඔවුන් බහුතරයක් පෞද්ගලික සංවේදනා, පුද්ගලබද්ධ ජීවිතානුභූතීන් වෙනුවට සමාජබද්ධ කාලීන ජීවිත පරිඥානය පළ කෙරෙන අත්දැකීම්ම තෝරා ගැනීමට අභිරුචියක් දක්වන අතර පෞද්ගලික සංවේදනාවන් තුළින් වුව, ස්ත‍්‍රිය, විවාහ සංස්ථාව, කුටුම්භය, ¥ දරුවන් අඹු සැමි සබඳතා, දේශපාලන හා ආගමික සංස්ථා ආදිය දෙස හෙළනු ලබන විරොධාකල්පමය මෙන්ම මානව දයාවෙන් ද කැටි වූ දෘෂ්ටියක් පළ කෙරෙන නිර්මාණ රැුසක් බිහි වී ඇත. එය යහපත් ප‍්‍රවණතාවකි. ඔවුන් බහුතරයක ගේ කවියෙන් නිරූපිත චරිත ගැමි චරිත ද නාගරික චරිත ද, ඔවුන්ගේ ජීවන චර්යාවන් මධ්‍යම පාංතික නාගරික ජීවිතයෙහි කැඩපතක්ද නැද්ද යන්න නොව ඔවුන් විසින් නාභිගත කරනු ලැබ ඇති අත්දැකීම් තුළින් පාඨක ලොව විඳිනු ලබන ජීවිතානුභූතීන් ඔවුන්ගේ හදවතට කෙතරම් ළංවී තිබේ ද යන්න මෙහි ලා වැදගත් වේ. නවපරපුර නියෝජනය කරන විශේෂයෙන්ම තරුණ කාව්‍යක්කාරියන්ගේ බහුතර නිර්මාණ හෘද සංවේදී ගුණයෙන් යුත් අපූර්ව, ළෙංගතු නිර්මාණ ලෙස පාඨක සිත් ආමන්ත‍්‍රණය කරනු ලබන බව ඔවුන්ගේ මෑත කාලීන බොහෝ කෘති සාක්ෂි දරයි. ඇතැමතු පිටින් රළු යයඉම් අවස්ථාවක මොනිකා රුවන්පතිරණ කාව්‍යක්කාරියගේ දෘෂ්ටිය, චින්තාව, අබිබවා යමින් මතු පිටින් රළු යැයි දකින එහෙත් යටි පෙළින් ජීවිතයේ යථාර්ථය දකින රැුඩිකල් චින්තාවන්ගෙන් යුත් කාව්‍යක්කාරියෝ හමුවෙත්.

ඔවුන් සියලූ දෙනාම පාහේ කවියෙන් ජීවිතය සොයන්නෝ වෙත්. එසේම කවියෙන් ජීවිතය දකින්නෝ ද වෙත්. ආදරය, පේ‍්‍රමයේ සුකුමාරත්වය, රම්‍යතාව, චමත්කාරය, මෙන්ම එහි අඳුරු රුදුරු ගති සොබාද, ශෝකය, කම්පාව අහිමිවීම කැටිවුණු අපේක්ෂා භංගත්වයෙන් උපන් වේදනාව දැවටුණු ස්වභාවද මෙම නවීන කාව්‍යක්කාරියන් විසින් ප‍්‍රතිනිර්මාණය කරනු ලබන බව දකින්නට ලැබේ. මේ සටහන ඔස්සේ මෑත කාලීන සිංහල පද්‍ය කාව්‍යක්කාරියන් සිව් දෙනකු ගේ නිර්මාණ විමසීමකින් උත්සාහ ගනු ලබන්නේ ඔවුන් සිව් දෙනාම කවිය තුළින් ජීවිතය සොයන්නට ද, දකින්නට ද උත්සාහ ගන්නා නිර්මාණකාරියන් බව ඔවුන්ගේ නවතම කෘතිහි පළ වූ නිර්මාණ කිහිපයක් ඇසුරින් කතා බහට ලක් කිරීමටයි.

ඔව් ඒක හාදුවක් (2019) රොෂෙල් ෆර්නැන්ඩු කාව්‍යක්කාරියගේ පළමු කවි එකතුව ලෙස සැලකිය හැකිය. සුහර්ෂිණී ධර්මරත්න කාව්‍යක්කාරියගේ එහෙම වරදක් කරල නෑ මම (2019) ඇගේ පස්වන කාව්‍ය සංග‍්‍රහයයි. රාජ්‍ය සම්මාන හිමි වූ ගිරිහිස තරණය

(2012) හා සුදු වත ඇඳි කෙකණිය, අගේ පූර්ව නිර්මාණ සංග‍්‍රහ වේ. දේවිකා මධුවන්ති ගෝවින්නගේ කාව්‍යක්කාරිය ද ඇගේ කුළුඳුල් කවි එකතුව 2018 දී පළ කොට ඇත්තී එක කවියක් රුපියලයි නමිනි. රිදුම් පිරි පිරිමැදුම් ( 2019 ), අනුරාධා නිල්මිණි කාව්‍යක්කාරියගේ සිව්වන කාව්‍ය සංග‍්‍රහය වේ. රජත පුස්තක හා ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙල නිර්දේශිත වත් සියපත් හා මදහසක මැදියම ඇගේ පූර්ව කාව්‍ය සංග‍්‍රහ වේ.

සුහර්ෂිණී ධර්මරත්නගේ සානුකම්පා නිර්මාණයෙන් ඈ පවසන්නට උත්සාහ ගන්නී නවීන සංනිවේදන තාක්ෂණ භාවිතයෙහි අමිහිරි අතුරු ඵලයක් ලෙස ඈ විසින් උපකල්පනය කරනු ලබන අත්දැකීමකි. ඈ විවාපත් පුරුෂයකු අමතන්නී ය.

බස් රියේ

දුම් රියේ

පය පැකිල වැටෙන විට

දිගුවේය අත්



මහතුනි, ඔබේ බිරිඳත්

අවදානම් ගමනක ය

තනි මගක ය

තනි මගක, අවදානම් ගමනක යන බිරින්දෑවරු පිළිබඳ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට සොයන්නට බලන්නට වෙලාවක් වෙද? ඉර නැගී රාත‍්‍රිය වන තෙක් ඔවුන් අත වූ ස්මාර්ට් ජංගමයා, ඔස්සේ ඔවුනට ලැබෙන සුබ සිහින (ිඇැඑ ාරු්පි) පතනා සුබ පැතුම් බලනා කල්හි නිවෙස පිළිබඳ ඔවුනට කිනම් මතකයක් ද? බිරිඳකගේ දෛනික ජීවිතය කාව්‍යක්කාරිය අපූරුවට ප‍්‍රශ්න කරන්නීය.

ඇසෙනව ද අසනව ද ඔබ

මුළුතැන් ගෙයින් එන

හැඳි වළං ගැටෙන හඬ

මදින අමදින හඬ

කුඩමසු පිළීගඳ

ඔහුට ඈ මදින අමදින හඬ නෑසේ. හැඳි වළං

ගැටෙන හඬ ද ඔහුට නෑසේ. මුළුතැන් ගෙයක් ඔහුට සිහි නොවේ. සානුකම්පිත ඇසක දැල්වෙන ගිනිපුපුරු ඈ හඳුනන්නී ය. ඉන් පෙළුණ පුලූන් ඇති ඇගේ හද වුව කිසියම් මොහොතක හෝ ගිනි ගැනීමට ඉඩ ඇත. එනිසා ඉඳ හිට හෝ ඈ අමතන්න.

සානුකම්පා ඇසක දැල්වෙන

ගිනිපුපුරු හඳුනමි

පෙළු පුලූ‘නැති මහද වුව

හැකිය ගිනි ගන්න දන්වමි

ඉතින් ඔබ යන්න මුළුතැන් ගෙට

විමසන්න මහන්සිද ඇයට

ඉඳහිට

කාව්‍යක්කාරිය ස්වාමිපුරුෂ චර්යාවෙහි ප‍්‍රතිවිරෝධය දකින්නී මෙලෙසය.

හැකිය ගිනිගන්න ඈ හද ද

ඔබ නොදන්නා මොහොතක

ස්මාර්ට් අතබණුවක

දැවටෙන කුලූණු වදනක

ඈ අත රැුඳි ජංගමයාගේ සටහන් වන කුලූණු වදනක් වුව හොත් ගිනි නොගනී ද ඈ හද වුව? කුටුම්භ ජීවිතයේ අප ඇස නොගැටුණු පෙදෙසක් ස්පර්ෂ කිරීමට කාව්‍යක්කාරිය තම කවිය පිහිට කොට ගන්නීය. ආදරයෙන් එක්ව බැඳුණු ජීවිත දෙකකටම අවාසනාව ගෙන ඒමට නවීන ස්මාර්ට් ජංගමයාට ඉඩකඩ තිබීමේ ඛේදවාචකය කාව්‍යක්කාරිය දකින්නී ය. ඉදින් ඇගේ කවිය ජීවිතය දකිනා කවියක් නොවන්නේ ද?

රොෂෙල් ෆර්නැන්ඩු කාව්‍යක්කාරියගේ ඔව් ඒක හාදුවක් හි සංගෘහිත මගෙ මැණික් ගිනි කන්ද නිර්මාණයෙහි අත්දැකීම පෙර කී නිර්මාණයෙහි අත්දකීමට වෙනස් ය. එහෙත් එයද කුටුම්භය ආශ‍්‍රිත අත්දැකීමකි. අඹුසැමි මානව සබඳතාවක, නිරතුරු දක්නට ලැබෙන අත්දැකීමක් සාම්ප‍්‍රදායික දෘෂ්ටියකින් වියුක්තව චිත‍්‍රණය කළ සිදුවීමක් ලෙස පෙනේ. බීමත්ව නිවෙසට එන සැමියකු තම බිරිඳ දකින්නේ කෙසේද? ඔහුගේ ඇමතුම් කෙබඳු ද? ඔහු ඊට පෙර එලෙස ඈ දැක නොමැතිද? ආමන්ත‍්‍රණය කොට නොමැතිද? ඇගේ බැල්මෙහි, නෙතු කැල්මෙහි සැඟවුණු රහස ඔහුට දැනෙන්නේ ඔහු බීමතින් බැවින් ද?

මන්දාරම් ?ක

අකුණු පුපුරනකොට

විසිවෙච්ච තරු දෙකක්

රන්කඳ

ඒ වගෙයි අද නම්

උඹේ ගිනි තියන ඇස්දෙක

අපූරු කාව්‍යොක්තියකින් කාව්‍යක්කාරිය සැමියා දුටු බිරිඳගේ නෙතු වර්නනා කරයි. අකුණු පුපුරනකොට වීසිවෙච්ච තරු දෙකක් යන්නෙන් මතු කෙරෙන ව්‍යංගාර්ථය, මවනු ලන චිත්ත රූපය ප‍්‍රබලය. උඹේ ගිනි තියන ඇස් දෙක. කථකයාගේ ඇමතුම් ව්‍යාජ ඇමතුම් බව පාඨකයා දනී. ඇගේ බැල්මෙහි උණුසුම කාව්‍යක්කාරිය සමාන කරන්නී, පඬිපුර ගිනි තැබූ පත්තිනියගේ පියවුරටත් වඩා උණුසුමක් ඇති පියොවුරු දහසක උණුසුමකට සමාන කරමිනි.

පඬිපුර ගිනි තියන

පතිනි පියොවුරු දහසකුත්

ඉක්මවන බැල්මක් ය

උණුසුම් ය

ලාවා යට සඟවා ගත් නිරන්තරයෙන්ම සක‍්‍රීය සිරුරක් ලෙස ඔහු ඈ දකී. කුමන හෝ මොහොතක පුපුරා යන්නට හැකි ඇස් මැණික් ගිනි කන්දයි ඈ. කාව්‍යක්කාරිය මෙහි භාවිත කාව්‍යොක්තියෙහි ඖචිත්‍යය බලන්න. ඇස් ගිනි කන්ද..? රාග නිශ‍්‍රිත හැඟුමක් ජනනය කරනු පෙනේ.

කාව්‍යක්කාරිය මත් වූ සැමියා අසරණයකු බවට පත් කරන්නී සදය උපහාසයෙනි.

ඔහුගේ මත් ගතිය සිඳී යන්නේ හැඬුමකින් පසු රත් වූ බිරිඳගේ නෙතු දැකීමෙන් ද?

කඳුළකට රතු වෙච්ච

උඹේ තරු ඇස් දෙකට

වෙරි හිඳෙනව මැණික

නුඹ තවම දන්නැද්ද

කාව්‍යක්කාරිය දකින්නේද ඈ තම නිර්මාණයෙහි ප‍්‍රස්තුත විෂය ලෙස තෝරාගන්නේ ද අපට ආගන්තුක නොවන චරිතයකි.

එකම එක හවසක අනුරාධා නිල්මිණි කාව්‍යක්කාරියගේ රිදුම් පිරි පිරිමැදුම් කෘතියෙනි. එකම එක හවසක නිර්මාණය සුහර්ෂිනී ධර්මරත්නගේ කව්‍යානුභූතියට සමීප ලක්ෂණ දක්වන්නකි. මෙහි ද කතානායිකාව බියෙන් සිත සසල කරගන්නී

ජංගමයකුගේ අකුරු දැකීමෙනි. ඇගේ සැමියා කාන්තා ආකර්ෂණය දිනා ගන්නා ආකාරයේ හැඩකාර කඩවසම් චරිතයක් ලෙස නිර්මාණය නොවේ. ඔහුගේ පෙනුම කෙසේ ද?

කෝ ඉන්න

පියවන්න උඩ බොත්තම

අමතක වෙයි ඉණපටිය

මේ ලයිසන් එක



ඇගේ අතැඟිලි‘තර

ඇඹරි ඇඹරී

පොඩි වෙවී හේදෙන

දුඹුරු පැහැ යට බැනියම

ඩයි කහට බැඳුණ

කමිස කර



හැමදාම වැරදියට

කටු දුවන

සිටිසන් ඔරලෝසුවෙ

සුදු මූණ

මේ ස්වාමි පුරුෂයා කෙබඳු ද? ඔවුන්ගේ කුටුම්භය ආර්ථික වශයෙන් සශ‍්‍රීක පොහොසත් එකක් වන්නට නොහැකිය. බිරිඳගේ අතැ‘ඟිලි අතරේ පොඩි වෙවී දුඹුරු පැහැයට බැනියම සේදෙන්නේ නිවසෙහි රෙදි සෝදන යන්ත‍්‍රයක් නොමැති නිසා බව ව්‍යංගයෙන් පැවසීමකි. ඩයි කහට බැඳුණ කමිස කොලරය ද පවසන්නේ ද එවැනිම කතාවකි. සිටිසන් යනු කල් ඉකුත් වූ වෙළෙඳ නාමයකි. ඇගෙන් වසන් කරන්නට කිසිවක් නැති බව ඔහු නිතර මතක් කරයි. ඈ සිත බියපත් නොවේ. අසන්නන් නැති සරල ගීයක් පිළිබඳ කුමට බිය විය යුතු ද වැනි හැඟීමක් ඈ සිත තුළ වේ. එහෙත් ඇගේ සිතුවිලි ලෝකය දෙදරා යයි. මන්දිරයක් පැරැුණි වුවද කැමති නම් අලූත් හුස්මකට ඇර තැබෙන දොර කවුළු ඇති බව ඇයට සිහිවේ.

තිස්සෙම මතක් කරනව මට

වසංගන්නට

දෙයක් නැති බව

අසන්නන් නැති සරල ගීයකට

දන්නවා තවත් හොඳට ම



ඇර තැබෙන බව

දොර කවුළු

පැරණි මන්දිර තුළ පවා

කැමති නම්

අලූත් හුස්මකට

පැරණි මන්දිර දොරකවුළු අලූත් හුස්මකට ඉඩ දී විවර වී ද? ඈ එය පසක් කරගන්නී ඔහුගේ

ජංගමයාගේ ලියවෙන පණිවුඩ තුළිනි. සීරුවෙන් අකුරු නලියයි. කෙඳිරිලි හඬ පිටතට නො ඒ. එහෙත් කම්මුල් අගින් ගලන උන්මාද සිනා ඇගේ සිත සැකය තහවුරු කරයි.

සීරුවෙන් අකුරු නලියන

අත්බණුවේ

පිටතට නො එන

කෙඳිරිලි මැද

කම්මුල් අගින් ගලන

උන්මාද හසරැුලි

කියාදෙනවා මට

උද්‍යාන තිබෙන බව, තව

තුරුණු මල් පිරි

තුරුණු මල් පිරි උද්‍යානයක් ඔහුට හමුවී ද? ඇයට දැනේ තුත්තිරි පඳුරක් බඳු ඈ නුදුරු දිනෙක උදුරා දැමෙන බව. උදුරා දැමෙනුයේ කෙලෙස ද?

මතක මංකඩ වසා

ඉවුරු බිඳ

ගඟ දෙගොඩතලා යන බව

එහෙම එක හවසක

අඹුසැමි පේ‍්‍රමයක නිමාව කාව්‍යක්කාරිය උපේක්ෂා සිතින් විඳ දරා ගැනීමට සූදානම්ය. අනුරාධාගේ ජීවන චිත‍්‍රය අඳුරු වර්ණයකින් සිතුවම් වී ඇති සෙයක් පෙනේ. ඇදැහිය නොහැකි දෑ ලොව සිදුවිය හැකිය. අත්දැකීමෙහි අපූර්වත්වයත් කාව්‍යක්කාරියගේ පරිකල්පනයත් එක් වූ නිර්මාණයක් ලෙස රස විඳින්නට හැකිය.

දේවිකා මධුවන්ති ගෝවින්නගේ ආධුනික කාව්‍යක්කාරියකි. අද්වකාත් කාමරේදී, එක කවියක් රුපියලයි නම් කවි එකතුවෙහි එන්නකි. පෙර නිර්මාණ ලෙසම මෙහිත් අඹුසැමි සබඳතාවක ඛේදනීය ඉරණම කිවිඳියගේ කවි නිමිත්ත වේ. අද්වකාත් කාමරයක් යනු විවාපත් දෙපාර්ශ්වයකට, එක් පාර්ශ්වයක් ලෙස ජීවත්වීමට අවසර පතනා කල්හි යනෙන ස්ථානයකි. එහි සිදුවන්නේ කුමක් ද? නිර්මාණයේ කතා නායිකාව ඇගේ විවාහ ජීවිතයේ අතීත ස්මරණයට යන්නීය. අල්මාරි තට්ටුවක් පුරා අරක් ගෙන වෙඩිං ඇල්බමය වේ. අතීත ස්මරණ එතරම් බරැුතිය. මඟුල් ඇරැුයුම් පත ඇත්තේ හිනැහෙමිනි.

අහම්බෙන් හෝ මසිතට

එබිකම් කරන්නට

අවසර පත‍්‍රයක් ඉල්ලා

නුඹ එදා මට එවූ ඉල්ලූම් පත‍්‍රය

භාරගත් නිසාවෙන්

අද මං උසාවිය ළඟ

අද්වකාත් කාමරේ පුටුවක



අප එක්වන බවට

සම සිතින් පිළිගන්නට

මිතුරන්ට නෑයන්ට

යැවූ ආරාධනා පත‍්‍රය

තවම ඇත හිනැහී

අල්මාරි තට්ටුවක්

තනිවම භුක්ති විඳිනා

අධි බරැුති වෙඩිං ඇල්බමය ඇතුළත

වෙඩිං ඇල්බමය අල්මාරි තට්ටුවක් තනිව ම භුක්ති විඳී. එහෙත් අද ඉන් පලක් නොවේ. එය බරැුති මතකයක් පමණි. ඔහු ඇගේ ජීවිතයට එබිකම් කරන්නට අවසර පතා එවූ ඉල්ලූම් පත‍්‍රය නිසා ඈ අද උසාවිය ළඟ ය. අද ඔහු අයැදුම් පතකින් ඉල්ලා අස්වීමේ සහතිකය ඉදිරිපත් කරයි. උත්ප‍්‍රාසාත්මකව සිදුවීම් දෙකම කාව්‍යක්කාරිය ගොඩ නගයි. හවුල් බැංකු ගිණුම ඔවුන් දෙදෙනා ගේ ජීවිතය සංකේතවත් කරයි. එහෙත් අද එය තනි ගිණුමක් බවට වෙනස් කරගැනීමට ඔහු යෝජනා කරයි.

කලක් ගත වූ තැන

වුවමනා වූයෙන් නුඹට

දෙකඩ කර ලන්නට

අපෙ හවුල් ගිණුම් පත

ඉදිරිපත් කළා නුඹ

ඉල්ලා අස්වීමේ සහතිකය



ඔන්න එහෙනම් මමත්

අත්සනක් දැම්මා

දික්කසාදය නම් දැරූ

න්‍යාය පත‍්‍රයේ

අවසාන පිටුවට

ඉතිරි හිස් තැන නුඹට

අතීත සැමරුම් සියල්ල නිමාව දකින්නේ සැණෙකිනි. හවුල් ගිණුමක් දැන් නොමැත. ඈ අත ඉතිරි වූ තවත් එක් මතකයකි. ඊට කුමක් කළ යුතු ද? ඊට හිමි තැන ඈ දනී.

හෙට දින ඉවත ලන

කඩදාසි කසළ බඳුනට

ඉරා විසි කළ යුතුය

මෙතෙක් කල් මා සුරැුකි

විවාහ සහතික පිටපත

ඉහත නිර්මාණ චතුර්යෙහිම අඩු වැඩි වශයෙන් කියවෙන්නේ අඹු සැමි සබඳතා, දෙදරා ගිය හෝ කම්පනයට පත් වූ සසල වූ අත්දැකීම් සමුදායක ඡුායා මාත‍්‍රය. ස්මාර්ට් දුරකථනයක් නිර්මාණ ද්වයකම සබඳතා දෙදරා යන සංනිවේදන මෙවලමක භූමිකාව රඟයි. දෙදරා

ගිය අඹුසැමි සබඳතාවක නිමාව දකින අද්වකාත් කාමරය, ජීවිතයේ යථා ස්වභාවය මේ යැයි සිතන්නට පොලඹවන නිර්මාණයකි. කාව්‍යක්කාරියන් සිව් දෙනාම අත්දැකීම්හි හෘදයංගම, ළතෙත් බව මිස වෛරය, ක්‍රෝධය උත්කර්ෂයට නංවන්නට නොවෙහෙසෙති. මානව දයාව, බොහෝ තන්හි මතු කරලීමට ඔවුහු සමත්ව සිටිති. සාම්ප‍්‍රදායික, එකාකාරී, පට්ටා ගැසූ අත්දැකීම් විෂය කර ගනු වෙනුවට අපූර්ව ගුණයෙන් හෙබි අත්දැකීම් කවියට විෂය කර ගත් නව පරපුරේ බොහෝ කාව්‍යක්කාරියන් අලූත් කවි පොත් අතර හමු වේ. ඒවා කියවා ජීවිතය දෙස නව ඇසකින් බලන්නැයි ඔබට ඇරැුයුම් කරමි.

බුද්ධදාස ගලප්පත්ති

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles