Divaina - මීළඟ වසංගතයට එරෙහිව සිදුවන ගෝලීය වෛරස දඩයම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

n7 12015 වසරේ දී TED කථාවක් කරමින් බිල් ගේට්ස් මීළඟ වසංගතයට අප සූදානම් විය යුතු බව කියා සිටියේය. ඔහු ඒ කථාව කළේ බටහිර අප‍්‍රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය ජීවිත දසදහසක් බිලිගැනීමෙන් අනතුරුව යාන්තමින් මර්දනය කර ගැනීමට හැකිව තිබූ පසුබිමකය. ඉබෝලා වසංගතය මීට වඩා අතිශය දරුණු ස්වරූපයක් ගැනීමට හැකිව තිබූ බවත් එසේ නොවූයේ එය එතරම් ජනාකීර්ණ නොවන පරිසරයක පැතිර ගිය නිසාත්, වාතයෙන් බෝවීම සිදු නොවූ නිසාත් බවත් පැවසූ ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එය හුදු වාසනාව නිසා සිදුවූවක් බවයි. නමුත් වාසනාව සෑම විටම අප අසල රැඳෙන්නක් නොවේ. එබැවින් තවත් මහා ජන සංහාරයක් නොවීමට නම් කවදා හෝ කොතැනදී හෝ මීළඟ වසංගතය හිස ඔසවනවිට එයට අප සූදානම්ව සිටිය යුතු බව අවධාරණය කළේ ය.

ඒ කථාවට වගකිව යුතු කිසිවකුවත් කන් දුන්නාද යන්න ගැන අපට නැවත විමසා බැලීමට සිදුව ඇත්තේ ඉන් වසර 4 කට පසුව ලෝකය තවත් දරුණු ගණයේ වසංගතයක ගිලී යෑමෙන් අනතුරුව ය. මේ වන විට ජීවිත තුන්දහසකට වැඩි ප‍්‍රමාණයක් බිලිගෙන ලොව පුරා පැතිර යන කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තියේ අවසානයක් ගැන තවමත් සලකුණක් නැත.

නොදියුණු රටවල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල වශයෙන් දායක වන බිල්ගේට්ස් තම කථාවේදී රටවල් මේ පිළිබඳව දක්වන අඩු උනන්දුව ගැන විවේචනය කිරීමට අමතක නොකළේය. ලොව දියුණු රටවල් ඕනෑම මොහොතක දී පැන නැගිය හැකි යුද්ධයකට මුහුණ දීම සඳහා විශාල මානව හා භෞතික සම්පත් ප‍්‍රමාණයක් කැපකරමින් සූදානමින් සිටින බවත් දැන් ලෝකයට ඇති සැබෑ අර්බුදය යුද්ධ නොව වසංගත බැවින් ඒ කැපවීම හා සූදානම ඉලක්කගත විය යුත්තේ වසංගත කෙරෙහි බවත් ඔහුගේ අදහස විය. ඒ පෙර සූදානමෙහි අවශ්‍යතාව දැන් ලෝකයාට වැඩි පුර දැනී තිබේ. ඒ මෙවර වසංගතය මාධ්‍යවල අවධානයට එතරම් හසුනොවන අප‍්‍රිකානු මහද්වීපයේ සිට ලෝකයේ සෑම රටකම දොරකඩවල් වලට පැමිණ ඇති බැවිනි.

මිනිසා හැර නොයන වසංගත

බැක්ටීරියා හා වෛරසවල සරදමට කලින් කල මිනිසා ලක් වන්නේ අද ඊයේ සිට නොවේ. දහහතර වන සියවසේ බැක්ටීරියා ආසාදනයක් නිසා යුරෝපය ප‍්‍රමුඛ ලෝකය පුරා පැතිර ගිය කළු මරණය නම් විරුදාවලිය ලත් වසංගතය නිසා මියගිය පුද්ගලයන් ගණන මිලියන 50 කට අධික යැයි සැලකේ. මෑත කාලීන ඉතිහාසයේ කැපී පෙනෙන ව්‍යසනය සිදුවූයේ මීට ශතවර්ෂයකට පෙර ය. ඒ 1918 දී ලෝකය පුරා පැතිර ගිය ස්පාඤ්ඤ උණයි. එමගින් අහිමි වූ ජීවිත ප‍්‍රමාණය මිලියන 30කට අධික ය. එතැන් පටන් ගත වූ ශතවර්ෂය පුරාම විටින් විට කොළරාව, වසූරිය, සරම්ප, මැලේරියාව හා විවිධ ඉන්ෆ්ලූවන්සා වර්ග ලෝකය පුරා තැනින් තැන හිස එසවූවත් ඒවා සාපේක්ෂව එතරම් හානියක් කිරීමට අපොහොසත් විය. ලෝකය වෛද්‍ය විද්‍යාත්මක අතින් ලබා ඇති දියුණුව මීට හේතුව යැයි පැවසීම නිවැරදිය.

එහෙත් ලෝකයේ තාක්ෂණික දියුණුවට සාපේක්ෂව දියුණු වී ඇති තවත් ක්ෂේත‍්‍රයක් මේ සමගම වසංගත පැතිරයෑමේ අවදානම විශාල ලෙස ඉහළ දමා තිබේ. ඒ මගී ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දියුණුවයි. ලොව පුරා දිනකට ජාත්‍යන්තර ගුවන් ගමන් වාර ලක්ෂයක් පමණ සිදුවන අතර ලොව සතර දිග්භාගයේ මිනිසුන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා හුවමාරු වෙමින් ගමන් කරති. මේ අතර එක් ආසාදිතයෙකු සිටියහොත් පැය කිහිපයක් ඇතුළත මුළු ලොව පුරා රටවල් ගණනාවකම වසංගතයක් පැතිර යා හැකි ය. 2003 දී සාර්ස් වෛරසයේ පැතිර යෑම මීට උදාහරණයකි. එහි මූල ලක්ෂ්‍යය සොයා යන විට පෙනී ගොස් තිබුනේ හොන්කොංහි හෝටලයක නතර වී සිටි චීන n7 2ජාතිකයෙකුගෙන් එම හෝටලයේ තාවකාලිකව නතරව සිටි තවත් ගුවන් මගීන් ගණනාවකට එම රෝගය බෝ වී ඔවුන්ගෙන් ලොව පුරා පැතිර ගොස් තිබූ බවයි.

මුහුණ දීමට පෙර සූදානම

කොවිඞ් 19 වෛරසය කෙබඳු අවසානයක් කරා යයි ද යන්න ගැන කල්තබා පැවසීමට නොහැකි ය. එය සෘජුව මැඬපැවැත්විය හැකි එන්නතක් තවමත් නිපදවා නොතිබුණත් වෛරසය වැළඳුණු පනස් දහසකට වැඩි පිරිසක් සුවපත් වී රෝහල් වලින් පිටව යෑම නිසා එය එතරම් දරුණු අර්බුදයක් බවට පත් නොවනු ඇතැයි අපට සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැක. නමුත් මෙම වසංගතයෙන් වත් පාඩමක් ඉගෙන අනාගතයේ දී මුහුණ දීමට සිදුවිය හැකි මෙවැනි වසංගත ව්‍යසනයකට මුහුණ දීමට ගෝලීය වශයෙන් පෙර සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණකි.

අනාගතයේ දී මෙවැනි වසංගතයක් ඇති වුවහොත් එයට මුහුණ දීමට පෙර සූදානමක් ලෙස ගත හැකි ක‍්‍රියාමාර්ග ගණනාවක් ගැන බිල්ගේට්ස් පෙන්වා දෙයි. ඉන් එකක් වන්නේ දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවල සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව ඉහළ නැංවීම ය. එවැනි රටකට කොවිඞ් 19 වැනි වෛරසයක් පැතිර ගියහොත් එමගින් ඇති කළ හැකි හානිය අති විශාලය. අනෙක් කරුණ මෙවැනි සිදුවීමකදී කඩිනමින් ක‍්‍රියාත්මක විය හැකි ජාත්‍යන්තර වෛද්‍ය බළකායක් නිර්මාණය කිරීමයි. වසංගත මැඬලීමෙහිලා විශේෂයෙන් පුහුණුව ලත් වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගෙන් සමන්විත මෙවැනි බළකායක ක්ෂණික මැදිහත්වීම හරහා ලොව ඕනෑම තැනක වසංගත වල ව්‍යාප්තිය අවප‍්‍රමාණය කර ගැනීමට හැකියාව ලැබේ. සීමාමායිම් නැති වෛද්‍යවරුන් ලෙස හැඳින්වෙන Médecins Sans Frontières  ලාභ නොලභන ආයතනය දැනටමත් මෙවැනි ක‍්‍රියාදාමයන් හිදී ප‍්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කරන අතර එම සේවා මොඩලය රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉතා පුළුල් මට්ටමකට ගෙන ආ යුතු ය.

මේ සම්බන්ධව ඇති ගේට්ස්ගේ තවත් යෝජනාවක් වන්නේ වසංගත මර්දන ක‍්‍රියාදාමය හමුදා යාන්ත‍්‍රණය සමග ඒකාබද්ධ කිරීමයි. ඉතා ඉක්මණින් හා සංවිධානාත්මකව හදිසි හා අවදානම් සහගත තත්ත්ව වලට ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ඕනෑම රටක යුද හමුදාව සතු බැවින් එම හැකියාව වසංගත මර්දන වෛද්‍ය ක‍්‍රියාදාමය වෙත සම්බන්ධ කර ගැනීමෙන් ඉහළ ප‍්‍රතිඵල ලබා ගත හැකිය. චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිටි ශ‍්‍රී ලංකික සිසුන් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායනය කිරීමේ ක‍්‍රියාවලිය තුළත් මෙම කාර්යක්ෂම භාවය අපට දැකිය හැකි විය.

එමෙන්ම මෙහිදී සිදුවිය යුතු තවත් කරුණක් වන්නේ මෙවැනි වසංගත වලදී රෝගීන්ගෙන් ජෛව සාම්පල ලබා ගෙන එය විශ්ලේෂණය කොට පර්යේෂණ පවත්වා එය මැඬපැවැත්විය හැකි ඖෂධයක් නිපදවීමේ ක‍්‍රියාවලිය වේගවත්ව සිදු කිරීමට හැකි මධ්‍ය යාන්ත‍්‍රණයක් බිහි කිරීමයි. මෙම ක‍්‍රියාදාමයේ විවිධ පියවරයන් සාර්ථකව සිදුකිරීමට හැකි මානව ශක්තිය, තාක්ෂණය හා උපාංග ලොව පුරා විවිධ රටවල්වල විවිධ ආයතන සතුව තිබුණත් ඒවා ඒකාබද්ධ නොවී හුදෙකලාව ක‍්‍රියාත්මක වීම නිසා එකම පර්යේෂණ ක‍්‍රියාදාමය අනවශ්‍ය ලෙස නැවත නැවත සිදුවන අයුරු දැකිය හැකිය. මේ හේතුවෙන් ඕනෑම පාර්ශ්වයක් වසංගතයක් මැඬපැවැත්වීමට එන්නතක් නිපදවීම විශාල කාලයක් ගත වන කටයුත්තක් බවට පත්වී තිබේ. එබැවින් ජාත්‍යන්තර වශයෙන් කෙරෙන සංවාදයක් හරහා මෙම ආයතන එකිනෙක සෘජුව සම්බන්ධ කර ප‍්‍රබල හා කාර්යක්ෂම පර්යේෂණ යාන්ත‍්‍රණයක් ඇති කිරීම ද අත්‍යවශ්‍යයෙන් කළ යුත්තකි.

වළක්වා ගැනීමෙන් ආරක්ෂා වීම

වසංගතයක් පැමිණි විට ඉන් ආරක්ෂා වීමට ශක්තිමත් ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් බිහිකර ගැනීම අනාගතයේ දිනක සිදුවන මීළඟ වසංගත උවදුරට මුහුණ දීමට පෙර සිදු කළ යුතු අත්‍යවශ්‍ය දෙයක් බවට සැකයක් නැත. එහෙත් ඒවාගෙන් ආරක්ෂා වීම සඳහා එයටත් වඩා වැදගත් තවත් පැතිකඩක් තිබේ. ඒ යම් කිසි වසංගතයක් මිනිස් වර්ගයාට බෝ වීමට පෙරම එය හඳුනාගැනීමට හා එය වළක්වා ගැනීමට කටයුතු කිරීමයි. මෙතෙක් වසංගත සම්බන්ධව අනුගමනය කෙරුණු ප‍්‍රතිකර්ම කිරීමේ ක‍්‍රමවේදය වෙනුවට වසංගතය වළක්වා ගැනීමට ක‍්‍රියාත්මක විය හැකි නම් එය අන් සියල්ලට වඩා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

n7 3නමුත් මේ සඳහා ඇති බාධකය නම් ඊළඟ වසංගතය පැනනගින්නේ කොතැනින් ද කවර මූලාශ‍්‍රයකින් ද යන්න පුරෝකථනය කිරීම දුෂ්කර කාර්යයක් වීමයි. නමුත් සමහර ආයතන දැනටමත් එම කටයුත්තට අත ගසා තිබේ. එක්සත් ජනපද ආධාර යටතේ ක‍්‍රියාත්මක වන USAID PREDICT එම කටයුත්තෙහි නිරත වන ප‍්‍රධාන ව්‍යාපෘතියකි. 
California-Davis විශ්වවිද්‍යාලය , EcoHealth Alliance" Metabiota yd Smithsonian Institution වැනි ආයතන සහ Columbia සහ Harvard  විශ්වවිද්‍යාල වල සහාය ලබන Wildlife Conservation Society  වැනි ලාභ නොලබන ආයතන ගණනාවක් එම ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරති.

සතුන්ගෙන් මිනිසාට

ඉතිහාසය පුරා මිනිසාට මුහුණ දීමට සිදුවූ මාරක වසංගත රෝග සියල්ලටම පාහේ ඇත්තේ සත්ත්ව මූලාශ‍්‍රයකින් පැනනැගුනු වෛරසයකි. (zoonotic)  1940 සිට මේ දක්වා බෝවන රෝග 400 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් සියයට 60 කට වැඩි ප‍්‍රමාණයක් සතුන්ගෙන් මිනිසාට බෝවන්නට ඇතැයි සැලකේ. ඉතිහාසය දෙස බැලූ කල මේ කරුණ හොඳින් වටහා ගත හැකි ය. දිගු කාලයක් තිස්සේ මිනිසා භීතියට පත් කළ මහාමාරිය රෝගය බෝවන්නට ඇතැයි සැලකෙන්නේ මීයන්ගෙනි. තවමත් නිසි ප‍්‍රතිකර්මයක් නැති ඒඞ්ස් රෝගය මිනිසාට සම්පේ‍්‍රෂණය වී ඇත්තේ වඳුරන්ගෙනි. බටහිර අප‍්‍රිකාවට වින කළ ඉබෝලා රෝගය ගැන ඇඟිල්ල දිගුවන්නේ වවුලන්ට ය. අධ්‍යයනයන් හරහා පෙනී ගොස් ඇත්තේ මීට ශතවර්ෂයකට පමණ පෙර එනම් 1918 දී ලෝකය සලිත කළ ස්පාඤ්ඤ උණ කුරුල්ලන්ගෙන් ඇති වන්නට ඇති බවයි. කොවිඞ් 19 වෛරසයද වවුලන් හා කබල්ලෑවන් හරහා මිනිසා වෙත සම්පේ‍්‍රෂණය වන්නට ඇතැයි සැලකෙයි. ඌරන්, කුකුළන්, ඇන්ටිලෝපයන් වැනි දිගු සතුන් ලැයිස්තුවක් මෙම විත්තිකරුවන් ගොන්නට ඇතුළත් වෙයි.

මිනිසා ඇතුළු සතුන්ගේ ශරීර තුළ සාමාන්‍යයෙන් විවිධ වෛරස මිලියන ගණනක් ජීවත් වන අතර අඛණ්ඩව ජනනය වන මෙම වෛරස තුළ විකෘතිතා ඇති වී නව වෛරස ප‍්‍රබේද නිපද වේ. මේවා බොහෝමයක් හානිකර නොවන නමුදු අහම්බෙන් ඉතා හානිකර වෛරස නිර්මාණය වීමට ඉඩ ඇත. විශේෂයෙන් සතුන් විශේෂ දෙකක් අතර සිදුවන වෛරස හුවමාරුවක දී මෙවැනි මිනිසාට අහිතකර නව වෛරස නිර්මාණය වන බව පෙනී ගොස් ඇත. මෙවැනි අහිතකර ලක්ෂණ ඇති වෛරසයක් සතුන්ගෙන් මිනිසා තුළට ඇතුළුවුවහොත් එය මිනිසාගෙන් මිනිසාට බෝවී යමින් දරුණු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක.

වනාන්තර එළි පෙහෙළි කිරීම, ගෘහාශ‍්‍රිතව සතුන් ඇති කිරීම, වන සතුන් වෙළඳාම හා පරිභෝජනයට ගැනීම, ජනගහනය වර්ධනය වැනි විවිධ හේතු නිසා සතුන් හා මිනිසුන් අතර පරතරය අවම වී තිබේ. විශේෂයෙන් චීනය වැනි රටවල ලබා දී ඇති නීතිමය ලිහිල්කම් හමුවේ වන සත්ත්ව වෙළෙඳාම පුළුල් ලෙස සිදුවන අතර එවැනි සත්ත්ව වෙළෙඳ පොළවල් වල වවුලන්, සර්පයන්, මුගටියන්, කබල්ලෑවන් ආදී විවිධ වර්ගයේ සතුන් රඳවා තබන කූඩු එකිනෙක මත  ගොඩගසා තැබීම සුලබ දර්ශනයකි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ එක් සත්ත්ව විශේෂයක මුත‍්‍රා, අසූචි, ලේ ආදී ජෛව තරල හරහා තවත් සත්ත්ව විශේෂයක් තුළට වෛරස පහසුවෙන් ගමන් කිරීමයි. එමගින් බිහිවන නව වෛරස ප‍්‍රබේධ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් කිසිවක් නොසලකා මස් අලෙවියෙහි යෙදෙන වෙළෙන්දන් හරහා පහසුවෙන් මිනිසුන් වෙත සම්පේ‍්‍රෂණය වේ. වසංගත උණුසුම හමුවේ මේවාට දැනට තහංචි පැනවී තිබුණත් මුළු ලෝකය පුරා සිදුවන මෙම ව්‍යාපාර සහමුලින්ම තුරන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. හැරත් ඌරන් කුකුළන් වැනි සම්මත ගොවිපළ සතුන් හරහාද මීයන් කුරුල්ලන් වැනි පරිසරයේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සතුන් හරහා ද මෙවැනි වෛරස මතුවීමට ඇති ඉඩ වළක්වාලිය නොහැක.

එබැවින් මෙවැනි වසංගත වලින් ආරක්ෂා වීම සඳහා එවැනි තර්ජන මතුවීමට පෙර ඒවා කල්තබා හඳුනාගැනීම අතිශය වැදගත්ය. ඒ සඳහා තැබීමට අවශ්‍ය ප‍්‍රධාන පියවරක් වනුයේ ලොව පුරා තිබෙන මිනිසා තුළට සම්පේ‍්‍රෂණය වීමට ඉඩ ඇති වෛරස පිළිබඳ දත්ත ගබඩාවක් සකසා ගැනීමයි. PREDICT ව්‍යාපෘතියට සම්බන්ධ ආයතන වල පරිසර හා ජෛව විද්‍යාඥයන් නිරත වී සිටින්නේ මෙම කටයුත්තෙහි ය.

වෛරස දඩයම

චීනය මෙන්ම ඉන්දුනීසියාව, තායිලන්තය ආදී බොහෝ රටවල සමහර ප‍්‍රදේශ ආශ‍්‍රිතව වවුලන්, වැනි වන සතුන් දඩයම, ප‍්‍රවාහනය හා විකිණීම බහුලව සිදුවේ. මෙම ජෛව විද්‍යාඥඥයන් දඩයම්කරුවන් සමග එවැනි ප‍්‍රදේශවල වනය තුළට වැදී එහි ජීවත්වන එබඳු සතුන් අල්ලා ගෙන උන්ගේ ලේ, මුත‍්‍රා හා ඛේටය ආදී ජෛව සාම්පල ලබා ගැනීමට කටයුතු කරයි. පසුව මෙම සාම්පල විද්‍යාගාර වෙත යවා විශ්ලේෂණය සිදු කෙරේ. මේ හරහා පරිසරය තුළ පැතිර පවතින වෛරස පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම නව වෛරස ප‍්‍රබේධ හඳුනාගැනීමටද අවකාශය නිර්මාණය වේ.

PREDICT ව්‍යාපෘතිය මගින් 2014 වසරේ සිට  පසුගිය වසර වන විට සතුන් තිස්දහසකට අධික ප‍්‍රමාණයක ජෛව සාම්පල ලබා ගෙන තිබූ අතර ලොව පුරා රටවල් 26 කට වැඩි ප‍්‍රමාණයක් ආවරණය කර තිබුණි. මේවා බොහෝමයක් අප‍්‍රිකානු හා ආසියානු රටවල් ය. එමෙන්ම ඔවුන් විසින් මේ වන විට සොයා ගෙන ඇති නව වෛරස ප‍්‍රමාණය දහසකට අධිකය. මෙම වෛරස වල ජාන කිටු වැඩිදුර අධ්‍යයනය මගින් මිනිසාට වැළඳීමට වැඩි අවදානමක් ඇති වෛරස හඳුනාගැනීමට හැකියාව ඇත.

වෛරස ගවේෂණය කිරීමේ පළමු ව්‍යාපෘතිය PREDICT නොවේ. 1915 දී ඇමෙරිකාවේ Rockefeller පදනම දියුණු වෙමින් පවතින රටවලින් කහඋණ රෝගය මුලිනුපුටා දැමීම සඳහා ව්‍යාපෘතියක් දියත් කළ අතර එහිදී සිදුවූ පර්යේෂණ කටයුතු වලදී නව වෛරස ගණනාවක් හෙළිදරව් වනු ලැබීය. මෙහි එක් අදියරක 1947 දී උගන්ඩාවෙන් සිකා (Zika)  වෛරසය සොයා ගන්නා ලදී. එය මිනිසා වෙත සම්පේ‍්‍රෂණය වී ජීවිත විශාල ප‍්‍රමාණයක් බිලිගත්තේ ඊට දශක හයකට පසුය. එය මෙවැනි පෙර සූදානමක ප‍්‍රයෝජනවත්භාවය ගැන නිසැක සිහිකැඳවීමකි.

PREDICT ව්‍යාපෘතියෙන් ලැබූ අත්දැකීම් හා දැනුම පාදක කරගනිමින් මේ වන විට මේ සඳහා 
Global Virome Project නමින් වඩාත් පුළුල් ව්‍යාපෘතියක් දියත්ව තිබේ. මෙහි ඉලක්කය සතුන්ගෙන් මිනිසාට හුවමාරු වීමේ අවදානමක් ඇති වෛරස ලක්ෂ පහක පමණ ප‍්‍රමාණයක් හඳුනාගෙන එවා ජානමය වශයෙන් විශ්ලේෂණයට ලක් කිරීමයි. භූගෝලීයව වෛරස ප‍්‍රබේධ පැතිර ඇති අන්දම සිතියම්ගත කර එම තොරතුරු අන්තර්ගත, සියලූ දෙනාට ප‍්‍රවේශ විය හැකි දත්ත ගබඩාවක් ඇති කිරීම, අවදානම් සහගත වෛරස කාලයත් සමග විවිධ වාහකයන් හා ප‍්‍රදේශ හරහා පැතිරයෑම පිළිබඳ විමසිලිමත්වීම, මිනිසා වෙත වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකි වැඩි අවදානම් සහිත මූල ප‍්‍රදේශ හඳුනාගැනීම හා තොරතුරු එක්රැස් කිරීමට ප‍්‍රාදේශීය මට්ටමින් යාන්ත‍්‍රණයන් හඳුන්වා දීම ආදිය මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ඉලක්කයන් වේ. එහි වැදගත්ම කොටසක් වනුයේ එම දැනුම පාදක කර ගනිමින් එවැනි අවදානම් සහගත වෛරස මිනිසාට සම්පේ‍්‍රෂණය වීමට පෙරම ඊට අවශ්‍ය එන්නත් හා ප‍්‍රතිකර්ම විධි කල්තබා සැකසීමට ගෝලීය ප‍්‍රජාව උනන්දු කරවීමයි.

මහජනතාවගේ දැනුවත් බව

මෙම වැඩසටහන මගින් සිදුවන වැදගත් ප‍්‍රතිඵලයක් වන්නේ සත්ත්ව විශේෂ වල වෛරස හඳුනාගැනීමට අමතරව මෙම ප‍්‍රාදේශීයව ජීවත් වන ජනතාව තුළ මෙම අවදානම වළක්වා ගැනීමට හැකිවන පරිදි අවබෝධය ලබා දීමට හැකි වීමයි. වෛරස වල අවදානම හා ඒවායෙන් වැළකීම පිළිබඳ බොහෝ විට ජනතාව තුළ ඇත්තේ අඩු දැනුමකි. ලොව පුරා මෙවැනි රෝග කාරක පැතිර යෑමට ප‍්‍රධානතම හේතුව මෙය බව පැවසීම නිවැරදි ය. මීට මනා නිදසුනක් PREDICT කණ්ඩායමේ අත්දැකීම් ඇසුරෙන් පෙන්වා දිය හැක. බංගලාදේශයේ 2001 වසරේ සිට භසච්ය නම් වෛරසය කලින් කලට පැතිර යමින් තිබූ අතර වසරකට 50 ක් වැනි ප‍්‍රමාණයක් එමගින් මිය යන ලදී. නමුත් 2016 වසරේ සිට එම පැතිරයෑම සහමුලින්ම නතර කළ හැකි විය. ඊට හේතුව වූයේ පර්යේෂකයන් කළ එක්තරා නිරීක්ෂණයකි. බංගලාදේශයේ ගම්බදව රටඉඳි ගස්වලින් රා නිෂ්පාදනය කරන අතර පර්යේෂකයන්ට තම පර්යේෂණ අතරවාරයේ රාත‍්‍රී කාලයේ අධෝරක්ත කැමරා මගින් සිදු කරන ලද නිරීක්ෂණ වලදී පෙනී ගොස් තිබුණේ වවුලන් ගස්වල සවි කර ඇති එම ස‍්‍රාවය එක්රැස් කරන මුට්ටි වලින් රා පානය කරන බවයි. මෙහි දී ඒවාට වවුලන්ගේ කෙළ මෙන්ම මුත‍්‍රා ද එක් වන අයුරු ඔවුන් නිරීක්ෂණය කර තිබුණි. ඉන් පසු ඔවුන් සිදු කර තිබුණේ ප‍්‍රාදේශීය පරිපාලනයන් හා එක්ව එම රා නිෂ්පාදකයන්ට තම මුට්ටි උණ බට පියනකින් ආවරණය කිරීමට උපදෙස් ලබා දීමයි. 2016 දී එම ක‍්‍රියාමාර්ගය ගැනීමත් සමග එම රෝගය පැතිර යෑම සහමුලින්ම නතර විය. මෙලෙස ඉතා විශාල මුදලක් වැය වන ප‍්‍රතිකාර දාමයක් හා මරණ වැළැක්වීමට උණබට පියනකින් ඔවුන්ට හැකිවීම වසංගත අභියෝගය ජය ගැනීම පිණිස දරන උත්සාහයන් ඉලක්කගත විය යුත්තේ ප‍්‍රතිකර්ම වෙත නොව වළක්වා ගැනීම වෙත බවට වන හොඳ උදාහරණයකි.

දැවැන්ත වැය

ගෝලීය මට්ටමෙන් සිදුවන මෙවැනි දැවැන්ත වෛරස දත්ත එකතු කිරීමේ ව්‍යායාමයන් සඳහා අධික මුදලක් වැයවේ. නමුත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ උත්සාහය හරහා එක් වසංගතයක් හෝ වළක්වා ගත හැකි නම් එම ආයෝජනය සම්පූර්ණයෙන්ම පියවී යන බවයි. කොවිඞ් 19 වසංගතය 2020 වසරේ දී ගෝලීය ආර්ථිකයට සිදු කරනු ඇතැයි ගණන් බලා ඇති පාඩුව ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියනයකට අධික ය. ශ‍්‍රී ලංකාව පමණක් සැලකුවද මෙම සිදුවීම හරහා සංචාරකයන් නොපැමිණීමෙන් සංචාරක ක්ෂේත‍්‍රය ද අමුද්‍රව්‍ය සපයාගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදන ක්ෂේත‍්‍රයටද ඇතිව ඇති බලපෑම අති විශාලය. එබැවින් මෙවැනි උත්සාහයන් මීට වඩා බලසම්පන්නව ඉදිරියට ගෙන යෑම පිණිස ලෝක බලවතුන් ඇතුළු සියලූ දෙනාගේම අවධානය වහා යොමු විය යුතුය.

මීළඟ වසංගතයේ අනාවැකිය

මෙම වෛරස දඩයමෙන් අපේක්ෂිත අවසන් ඉලක්කය වනුයේ මීළඟ වසංගතය පැනනගින්නේ කොතැනින් ද කුමන සත්ත්ව විශේෂයෙන් ද යන්න කල් තබා පුරෝකථනය කිරීමයි. වෛරස වල විවිධත්වය හා ඒවායේ හැසිරීමේ අවිනිශ්චිත බව ගත්කල එය අතිශය අපහසු කරුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය කිසි ලෙසකත් කළ නොහැක්කක් බවයි. කෙසේ නමුත් PREDICT හි ජෛව විද්‍යාඥයන් මේ දෙස බලන්නේ ඊට වඩා ධනාත්මකවය. ඔවුන් පවසන්නේ වසංගත වල පැන නැගීම පුරෝකථනය තවමත් තිබෙන්නේ එහි ළදරු අවධියේ බවටයි. කාලගුණ විද්‍යාවද වරක් එලෙසම තිබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නමුත් ඉතා දිගු කාලයක කාලගුණ දත්ත සටහන් කර තැබීම නිසා එම දත්ත පාදක කර ගනිමින් මොඩල සකසා නිවැරදිව කාලගුණ අනාවැකි පැවසීමට කාලගුණ විද්‍යාවට අද වන විට හැකිව තිබේ. ඔවුන් පෙන්වාදෙන්නේ එලෙසම අද සිදුවන මෙම දත්ත එකතුකිරීමේ හා විශ්ලේෂණය කිරීමේ ක‍්‍රියාවලිය හරහා අනාගතයේ දිනක මීළඟ වසංගතය පිළිබඳව නිවැරදි අනාවැකි පළ කිරීමට හැකි වනු ඇති බවටයි. මිලියන ගණනක ජීවිත තවත් වරක් මිහිතලයෙන් තුරන් වී නොයෑමට වග බලා ගැනීමට නම් මෙවැනි ව්‍යායාම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් බව කීමට අමුතු නුවණක් අවශ්‍ය නැත.

දමිත නිපුණජිත්


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles