Divaina - විල්පත්තුව වනසන කොට අනුරාධපුරයත් ඉවරයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

NA3 3කරාමයෙන්, පයිප්පයෙන්, ළිඳෙන්, වැවෙන් වතුර ගන්නට වැස්ස තිබිය යුතුය. වතුරේ උල්පත වැස්සය, වැස්ස නැති තැන සියල්ල විනාශ වී යයි. 2015 න් පටන් ගත් මහකන්නයේ සිට කන්න හතරක්ම ගොවිතැන් බත් නැතිව කුඹුරු පාළු විය. දැන් යළිත් ඒ පාළුව දිග හැරෙමින් පවතී. 2019 යල කන්න පටන් ගත්තේ අපේ‍්‍රල් මාසයේ සිටය. එතැන් පටන් වැහි කඳුළක් නැත. මහවැලි එච්. කලාපයේ කුඹුරු අක්කර අසූදහසක් පමණ පුරන් වෙමින් පවතී. එහි ගොවි පවුල් හතළිස් දහසක් පමණ හාමතේ පාන් රොඩු ගිලිති. මේ සාපරාධය ඇහින් දැක විසඳුමක් දෙන්නට එකම දේශපාලකයෙකුවත් නැත. ජනතාව බඩගින්නේ මැරෙන්නට හැර ඔවුහු බලයට පොරකති.

පෙර හෙළ රජ දරුවන් අනුරපුර පුරාවට ගමක් ගමක් ගානේ වැව් 4372 ක් බැන්දේ වැස්සෙන් ලැබෙන වතුර ටික එකතු කර ගැනීමටය. එදා පුරවැසියාගේ අවංක සාධාරණ වෙහෙස දැක ‘‘දේවෝ වස්සතු කාලේන’’ දෙවියන් කලට වැහිඵල ලබා දුන්හ. වැස්සෙන් වැව් පිරී ගියහ. ගොවිතැන් බත් සරුසාර විය. ජන ජීවිතය ද ඉසුරුමත් වී සුවෙන් සතුටින් ගෙවී ගියහ.

අද අනුරාධපුරයේ ජන ජීවිතය නිස්සාර වෙමින් ඇත. ඊට හේතුව ගොවිතැනින් දිවි පෙවෙත සරු කරගත් ගොවි ජනතාවට ගොවිතැන් බත් කරගන්නට වතුර නැතිවීමය. වතුර ලැබෙන්නේ වැස්සෙනි. අද වැස්ස නැත. වැස්ස නැති නිසා වතුර නැත. වතුර නැති නිසා වැව් වේළෙමින් ඇත. වැව් වේළෙමින් වැව් පතුල පැලී පුපුරා වේළී යන්නාක් මෙන් ජන ජීවිතයද කුස ගින්දරෙන් දැවෙමින් බඩට පිටත් පිටට බඩත් ඇලී යමින් පවතී. රජරට ජන ජීවිතය සුවපත් කරන්නට ගිය මැති ඇමැතිවරු කෝටි තුන හතරේ වාහනවල නැ`ගී පාර දිගේ පියාඹා යති.

පෙර රජ දරුවන් වැව් බැන්දේ වැස්ස බලාගෙනය. අවුරුද්දේ වප් මහින් පටන් ගෙන උඳුවප් මහ දක්වාද නැවත බක් මහින් පටන්ගෙන වෙසක් මහ දක්වාද වැස්ස ලැබුණි. ඒ වැහි වතුර වැව්වලට පුරවාගෙන ගොවිතැන් බත්වලට යොදාගෙන ජීවිත සරි කරගත්හ. ඒ වැහි රටාව අද අනුරාධපුරයට නැත. අවුරුද්දේ හැමදාම වේළිල්ලය. තව වසර හත අටක් ගෙවී යනවිට විශේෂයෙන් අනුරාධපුරයේ බටහිර හා නැෙ`ගනහිර පැති මිනිස් වාසයට නුසුදුසු කාන්තාර බවට පත්විය හැකි යැයි පරිසර විශේෂඥ ආචාර්ය එම්. යූ. ඒ තෙන්නකෝන් මහතා අවධාරණය කරයි. එතුමා අනුරාධපුර බටහිර පැත්ත මුල්කරගෙන පර්යේෂණයක් පවත්වා ඇත. ඒ පර්යේෂණයේදී සඳමල්එළිය, තන්තිරිමලේ, ඔයාමඩුව, මහවිලච්චිය, පේමඩුව, මන්නාරම් හන්දිය, උපතිස්සගම, බිල්ලෑව වැනි ප‍්‍රදේශවල කටු පඳුරු, මිටි ගස්, මොනර ගහනය වැනි කාන්තාරීකරණයේ ප‍්‍රාථමික ලක්‍ෂණ දකින්නට ලැබී ඇත. මෙබඳු දුක්බර තත්ත්වයක් ඒ ප‍්‍රදේශවල පැතිරී යන්නේ වැස්ස නැතිකම නිසාය. පෙරදා මේ ප‍්‍රදේශවලට ලැබුණ වැස්ස දැන් නොලැබෙන්නේ ඇයි?

පරිසරවේදීන් හඳුනාගෙන ඇති අන්දමට අනුරාධපුරයට පෙරදා ලැබුණු වැස්ස දැන් අතුරුදන් වී ඇත්තේ අනුරාධපුරයට වැස්ස ලබාදුන් විල්පත්තුවේ මහ කැලය කපා කොටා විනාශ කර දැමීමේ මහා පාපය නිසාය. විල්පත්තුව තුළ ස්වාභාවික ජල උල්පත් සහිත විල් 24 ක් පැවතිණ. ඒ විල්වලින් මතුකළ ජල වාෂ්ප විල්පත්තු වනය හරහා අනුරාධපුරයට ගලාවිත් වැස්ස ලැබුණු බව පරිසරවේදීන්ගේ මතයයි. නමුත් වනය විනාශ කිරීම නිසා විල්පත්තුවේ පැවැති විල් 24 න් 22 ක්ම මේ වන විට සිඳී ගොස් ඇත.

විල් සිඳීයෑම නිසා දැන් විල්පත්තුවෙන් ජල වාෂ්ප ගලා එන්නෙ නැත. ඒ නිසා අනුරාධපුරයට වැස්ස නැත. මේ සාපරාධය කළේ දේශපාලකයන් විසිනි. රට හදන්නට යැයි කියාගෙන ජනතාවගෙන් ඡුන්දය ලබාගෙන ගොස් ඇතැම් දේශපාලකයන් විල්පත්තුව විනාශ කරමින් රජරට ජනතාවට බඩගින්දර දායාද කර ඇත. මෙහෙව් දේශපාලකයන් ඔඩොක්කුවට ගෙන ආණ්ඩුවේ බලවතුන් හුරතල් කරමින් සිටි රජරට ජනතාවගේ බඩගින්දර නොදන්නා මේ ආණ්ඩුව මුළුමහත් රජරටට ම ශාපයක් වී ඇත.

NA3 1මහවැලි එච්. කලාපයේ හතළිස් දහසක් වන ගොවි පවුල්වලට අද බඩගින්නේ වේළි වේළී සිටින්නට සිදුව ඇත්තේද දේශපාලකයන් විසින් තමන්ගේ ඡුන්ද ගොඩ ලොකු කර ගන්නට කරන ලද සටකපටකම් නිසාය. මහවැලි එච්. කලාපයට අයත් නොච්චියාගම, තඹුත්තේගම, තලාව යන කොට්ඨාස තුන උක් වගාවට සැලසුමෙන් වෙන්කර තිබිණි. ඊට හේතු වූයේ මුළු එච්. කලාපයට අයත් අක්කර අසූදහසක තරම් කුඹුරු ප‍්‍රමාණය වගා කරන්නට ප‍්‍රමාණවත් ජලයක් කලාවැවේ ගබඩා කරන්නට නොහැකි වීමය. කලා වැවේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්‍ෂ දහදාහකි. දැනට එච්. කලාපයේ පවතින අක්කර අසූදහසක් තරම් වූ කුඹුරු ප‍්‍රමාණය එක් කන්නක් පැස්සවන්නට ජලය අක්කර අඩි තුන් ලක්‍ෂයක් අවශ්‍යය. එනම් කලා වැව තුන්වරක් පිරවිය යුතුය. වසරේ පවත්නා වැසි තත්ත්වයන් අනුව වරින් වර කලාවැව පිරවීම දුෂ්කර කාර්යයකි. නොච්චියාගම, තලාව හා තඹුත්තේගම කොට්ඨාස මුල් සැලසුමෙන් උක් වගාව සඳහා වෙන්කර තිබුණේ මේ ජල හි`ගය නිසාය. නමුත් දේශපාලකයන්ගේ වුවමනාවට තදියම් මහවැලි ක‍්‍රමයක් ඇතිකොට, උක් වගා කිරීමට වෙන්කළ කොට්ඨාසවලද වී වගාවට ගොවියන් යොමු කරන ලදි. මේ කොට්ඨාස තුනේ ගොවි ජනතාව තමන්ගේ දේශපාලන සාක්කුවට දමා ගැනීම මෙහි දේශපාලකයන්ගේ අරමුණ විය. මේ අන්දමට කලාවැවේ අඩු ජල ධාරිතාවකින් වැඩි කුඹුරු ප‍්‍රමාණයක් වගා කරන්නට තදියම් මහවැලියෙන් සැලසුම් කළ නිසා මහවැලි එච්. කලාපයේ නොවිසඳෙන ජල අර්බුදයක් සදාකාලිකව ඇති විය.

මහවැලිය කරන ලද තවත් නොපනත්කමක් වූයේ මහවැලි එච්. කලාපය තුළ ධාතුසේන යුගයේ සිට පැවැති පැරැුණි වැව් තලා පොළොවට සමතලාකර දැමීමය. මහවැලි මහ ජල කඳක් එද්දී, වැව්වලට බිම් හිර කරන්නේ කුමටදැයි කියා කලාවැවේ සිට එප්පාවල දක්වා පැවැති වැව් 128 ක් පමණ කපා පොළොවට සමතලා කර දමන ලදී. මේ සාපරාධයට ප‍්‍රදේශයේ ජනතාව විරුද්ධ වීම නිසා ඉතිරි වැව් කපා දැමීම නවත්වන ලද නමුත් මහවැලි ප‍්‍රතිපත්ති අනුව නොකැපූ වැව් නටබුන් වන්නට හරින ලදී.

මහවැලි එච්. කලාපයට ගෙන එනු ලැබූවත් බොහෝ අවස්ථාවල කලාවැව පවා පුරවා ගත්තේ වැසි ජලයෙනි. උඩතින් ප‍්‍රමාණවත් තරමට මහවැලි ජලය කලාවැවට ආවේ නැත. මහවැලි ජලයේ අඩුමාව පුරවා ගත්තේ වැසි ජලයෙනි. නමුත් දැන් වැස්ස නැත. වැසි දිනවලට පුරවා ගත හැකිව තිබූ වැව් ටික ද මහවැලියෙන් විනාශ කර දමා ඇත. දැන් මහවැලි ජලයත් නැත. වැසි ජලයත් නැත. වැව් ජලයත් නැත. ගොවියෝ ජීවන ම`ගක් නැතිව අතරමං වී සිටිති.

මහවැලි එච්. කලාපය වැව් දියෙන් පෝෂිත වූ ප‍්‍රදේශයකි. ධාතුසේන රජතුමා විසින් කලාවැවේ සිට අනුරාධපුර තිසාවැවට ජලය ගෙන යෑමට ඉදිකළ යෝධ ඇළ දෑලේ වැව් 224 ක් පමණ ඉදිකර තිබිණ. මේ වැව් සියල්ල යෝධ ඇළේ ජලයෙන් නිතර පුරවනු ලැබිණ. මේ නිසා යල මහ දෙකටම ජල අහේනියක් ඇති නොවී කුඹුරු ගොවිතැන් කර ගැනීමට ධාතුසේන නිම්නයේ ගොවි ජනතාවට ඉඩ ලැබී තිබිණ. මහවැලිය පැමිණීමෙන් පසු යෝධ ඇළද වැව් ටිකද කපා දැමීම නිසා අද මහවැලි එච්. කලාපයේ ගොවි ජනතාව අසරණ වී සිටිති. දේශීය මහවැලි බලධාරීන් විසින් විදේශීය වාරි ශිල්පීන් අනුව යමින් මේ සාපරාධය කළ නිසා අද යෝධ ඇළත් නැත. වැව් ටිකත් නැත. මහවැලි ජලයත් නැත. ඒ නිසා ජීවන වෘත්තීය වූ ගොවිතැනත් නැත යන තත්ත්වයට මහවැලි එච්. කලාපීය ගොවි ජනතාව ඇදවැටී සිටිති.

අපේ රටේ දේශීය වශයෙන් පැවැතියේ රැුඳවුම් වාපි ශිල්පයයි. විදේශවලින් ආනයනය කර ඇත්තේ ගලා යන වාරි ශිල්පයයි. ගලා යන වාරි ශිල්පය රජරටට යාදෙන්නේ නැත. නිරන්තර වියළි කාලගුණයක් පවතින රජරටට යාදෙන්නේ රැුඳවුම් වාපි ශිල්පයයි. අපේ හෙළ රජ දරුවන් ඉෂ්ට සිද්ධ කළේ එයයි.

මහවැලි එච්. කලාපය හදන්නට විදේශවලින් ආනයනය කරන ලද වාරි ශිල්පය යා නොදෙන බවට හොඳම සාධකය වන්නේ විදේශීය උපදෙස් අනුව මෑතකදී ඉදිකළ ජය ග`ගයි. කලාවැවේ සිට මහවැලි එච්. කලාපයට ජලය ගෙන යන්නට එක එල්ලයේ වේගයෙන් ජලය බැසයන ජය ග`ග ඉදිකර ඇත. එහි ජලය ගලායනු මිස රැුඳී සිටීමක් නැත. දේශීය වාපි සංස්කෘතිය අනුව ධාතුසේන රජු විසින් ඉදිකරන ලද යෝධ ඇළ හරියටම දික්වැවක් බඳුය. මෙහි දිය ගමන ආශ්චර්ය ජනකය. ඇළ දෑලේ පවතින වැව් දියවරෙන් පුරවමින් හෙමින් හෙමින් දියකලි මැදින් යෝධ ඇළ ඉදිරියට ඇදී ගොස් ඇත. වියළි කලාපයට යෝධ ඇළ දිව ඔසුවක් මෙනි. අද යෝධ ඇළ තිබුණේ නම් යෝධ ඇළ ආශ‍්‍රිත වැව් සමූහය තිබුණේ නම් සැබැවින්ම මහවැලි එච්. කලාපයට දිය අහේනියක් නැත. දේශීය වාපි ශිල්පය වළපල්ලටම දමා විදේශීය වාරි ශිල්පය අනුකරණය කිරීමෙන් අද ‘‘නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පළුවකුත් නැත.’’ යන තත්ත්වයට මහවැලි එච්. කලාපය පත්වී ඇත. කලින් සැලසුම් කළ එච්. කලාපීය මහවැලි ව්‍යාපෘතිය තදියමක් ගෙන විකෘති කිරීමෙන් ද මහවැලි එච්. කලාපීය ගොවියාට යන එන මං නැතිවෙමින් පවතී. විල්පත්තු කැලය කපා විනාශ කළ දේශපාලන කලවැද්දන් මේ තත්ත්වයට වගකිව යුතුව ඇත.

පටන් ගත්දා සිට මෙතෙක් පවතින මහවැලි එච්. කලාපීය දිය ගැටලූව විසඳීමට ගතයුතුව ඇති එකම පියවර වන්නේ එප්පාවලට යාව දැනට පවතින කෝන්වැව ජලාශය පුළුල් කොට ගබඩා ජලාශයක් බවට පත්කිරීමය. උක් වගාවට වෙන්කළ නොච්චියාගම, තලාව, තඹුත්තේගම කොට්ඨාස වී වගාවට යෙ¥ අවස්ථාවේදීම මෙම නව ජලාශය ඉදිකළ යුතුව තිබිණ. නමුත් දේශපාලකයන්ට ඡුන්ද බිලී බා ගැනීමට එම කොට්ඨාස තුන වී වගාවට හැරවූ නමුත් ඒ නිසා මතුවන ජල ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැත. අද වනතුරුත් මහවැලි එච්. කලාපයේ ජල ඌණතාව කැකෑරෙමින් පවතින්නේ ඒ නිසාය. මේ මානව ප‍්‍රශ්නය දැන්වත් විසඳා දීම සඳහා NA3 4වහාම අතිරේක ජල ගබඩාවක් වශයෙන් කෝන්වැව සංවර්ධනය කළ යුතුව ඇති බව බලධාරීන්ට අවධාරණය කරමු. මොරගහකන්ද හදාදී පොලොන්නරුවේ ජල ප‍්‍රශ්නය විසඳුවාක් මෙන් මහවැලි ඇමැති වශයෙන් කෝන්වැව ගබඩා ජලාශය සාදා දී මහවැලි එච්. කලාපයේ ජල ප‍්‍රශ්නය විසඳා දෙන මෙන් ජනාධිපතිතුමාට සිහිපත් කරමු.

එප්පාවල - රත්න බී. ඒකනායක
 


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles