Divaina - සොහොන්කොත් වෙනුවට ”මිනීමැරුම් කොත්”

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

murder2ආඞ්වෙල් මන්දිරය දකුණු ස්කොට්ලන්තයේ රයින් ගෙඟ් නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ දිවෙන ්716 මාර්ගයේ කෙළවර ඇති ඉපැරණි නිවසකි. 18 වැනි සියවසේ ඉදිකෙරුණු මේ මන්දිරයට ඉදිරියෙන් ඇත්තේ සුන්දර වෙරළ තීරයයි. බොහෝ අය කියන්නේ මෙය පෙම්වතුන්ට සොඳුරුතම හා ආදරණීයම නිවාඩුවක් ගත කරන්නට කියාපුම තැනක් යැයි කියාය. එහෙත් එය ආදරණීය හා සොඳුරු යැයි යමෙකුට සිතෙනු ඇත්තේ එහි අවට ඇති ලඳු කැලෑවේ එක වටයක් ඇවිද යන තුරු පමණකි. ඒ ලඳු කැලෑවේ ඇවිද යන ඕනෑම කෙනෙකුට හමු වන එක් දෙයක් ඇත. එය ගල් වලින් තැනූ කොතකි. ඒ කොතෙහි ලොකු අකුරින් සඳහන්ව ඇති දෙය දකින ඕනෑම කෙනෙකු තිගැස්මට ලක් වෙයි.
 
 ”මිනීමැරුමක්.”
 මිනීමැරුමක් සිහිගැන්වීම සඳහා පිහිටුවන ලද්දකි.
 
 ගල් වලින් තනන ලද ඒ කොත පිහිටුවා ඇත්තේ ඒ ස්ථානයේදී ඝාතනයට ලක් වුණු තරුණියක සිහිපත් වීම පිණිසය. තරුණියගේ සිරුර මිහිදන් කර ඇත්තේ ඒ ස්ථානයේ නොවන නිසා එයට සොහොන් කොතක් යැයි කියන්නට නොහැකිය. එය ”මිනීමැරුම් කොත”කි. මේ මිනීමැරුම් කොත, 1800 ගණන් වලදී යුරෝපය පුරා සිදුවුණු බිහිසුණු මිනීමැරුම් ජනතාවට සිහිගැන්වීම සඳහා එකී මිනීමැරුම් සිදුවුණු තැන් වල පිහිටුවන ලද දහස් ගණනක් වූ ”මිනීමැරුම් කොත්” අතරින් එකක් පමණකි. බොහෝ විට මේ මිනීමැරුම් ඒ කාලසීමාව තුළදී මුළු මහත් සමාජයම කම්පනයට ලක් කළ බිහිසුණු මිනීමැරුම්ය. මේ මිනීමැරුම් කොත් වල අරමුණ වනුයේ ඝාතනයට ලක්වුණු පුද්ගලයන්ගේ ජීවිතය පිළිබඳ මතක සටහනක් ඉතිරි කිරීමම පමණක් නොවේ. ඉදිරියේදී මෙවන් බිහිසුණු ක‍්‍රියාවන්ට පෙළඹිය හැකි පුද්ගලයන්ට එහි විපාක වටහා දෙමින් ඔවුන්ව පසුබෑමට ලක් කිරීමත් ඒවායේ අරමුණක් වෙයි.
 
 බොහෝ විට මේ මිනීමැරුම් කොතක සටහන් වෙන වැකිය හෝ වචන කිහිපය මිනීමැරුමක බිහිසුණු කම ඉස්මතු කර පෙන්වන්නට සමත් වන ආකාරයේ ඒවාය. එයින් ඇතිවන ප‍්‍රතිවිපාක පිළිබඳව යමෙකුට ජීවිත කාලයක් පුරාම සිතන්නට තරම් දෙයක් සිතට කාවද්දන ආකාරයේ වචනය.
 
 නීත් හි පිහිටි ශාන්ත කැට්ව්ග්ස් දේවස්ථානයේ සුසාන භූමියේ පිහිටුවා ඇති එක් ”මිනීමැරුම් කොතක” ඇති විස්තරයේ අවසන ශාපයක්ද සටහන් වෙයි.
 
 1823 දී සිදුවුණු මිනීමැරුමක් සටහන් කොට තැබීමකි.
 
 

n4 1

මේ කොත පිහිටුවා ඇත්තේ විසි හය වියැතිව හිදියදී මරා දැමුණු මාගරට් විලියම්ගේ සිරුර මතිනි. 1822 ජූලි මස දාහතරවන දින උදෑසන, මෙම දේවස්ථාන භූමියේ කෙළවර ඇති වගුරුබිමේ අගලකදී, වධ දී මරා දමා තිබුණු ඇගේ සිරුර හමුවිය. මනුෂ්‍යයන්ගේ සෙවුම් වලින් ගැලවී පලා යන්නට මිනීමරුවාට හැකි වූ නමුත්, දෙවියන්ගේ නෙතින් පලා යන්නට ඔහුට නොහැකි වනු ඇත. දෙවියන් වහන්සේ ඔහුව සාධාරණ විනිශ්චයකට භාජන කොට සදාකාලික වේදනාවත් විඳවීමත් ලබා දෙනු ඇත.
 
 ඒ කාලසීමාවේ පළවුණු පුවත්පත්වල මාගරට් විලියම්ස් මෙනවියගේ මරණය ගැන පුවත් පළව තිබිණ. මාගරට් ප‍්‍රදේශයේ ධනවත් ගොවියෙකුගේ නිවසේ සේවිකාවක ලෙසින් කටයුතු කොට ඇත. ඒ ගොවියාගේ පුතා විසින් ¥ෂණය කරනු ලදුව ගැබිනියක බවට පත්වූ මාගරට් ඒ ගැන තම ගොවි හාම්පුතාට පැමිණිලි කළාය. තම කුස හොත් දරුවාගේ පියා කවුදැයි අනාවරණය කොට සති දහයක් ඉක්ම ගිය තැන, මාගරට් විලියම්ස්ගේ මළ සිරුර වගුරුබිම අසල අගලක තිබී හමුවිය. මේ මිනීමැරුමේ සැකය කෙලින්ම එල්ල වූයේ අර ගොවියාගේ පුත‍්‍රයා වෙතටය. එහෙත්, ප‍්‍රමාණවත් සාක්ෂි නැතිකමින් හා, ඇසින් දුටු සාක්ෂියක් නොමැතිකමින් ඔහු නිදොස් කොට නිදහස් වූයේය.
 
 ගම්මුන් මේ සිදුවීම ගැන බෙහෙවින් කෝපයට පත් වුවත් ඔවුන්ට කළ හැකි දෙයක් තිබුණේද නැත. එයින් වසරකට පසුව, ගම්වැසියෝ එක්ව, මාගරට්ගේ සොහොන මත පෙර කී වැකිය සටහන් ”මිනීමැරුම් කොත”ක් සවි කළහ. නීතියෙන් දඬුවමක් නොලැබුණත්, මාගරට්ගේ මිනීමරුවාට ඒ සැමරුම් වැකියම සදාකාලිකවම විඳවීමක් වූවාට සැක නැත.
 
 කැඩොක්ස්ටන් දේවස්ථාන සුසාන භූමියේ ඇති ඒ මිනීමැරුම් කොත වේල්සයේ ඇති එකම මිනීමැරුම් කොත වෙයි. එමෙන්ම ආඞ්වේල් මන්දිරය අසල ඇති මිනීමැරුම් කොත ස්කොට්ලන්තයේ ඇති එකම එක මිනීමැරුම් කොතයි. එහෙත් එංගලන්තයට නම් ඒවායින් හිඟයක් නැත.
 
 චාර්ල්ස් රොතර්හැම් විසින් බෙසී ෂෙපර්ඞ්ව ඝාතනය කළ සිදුවීම නොටින්ග්හැම්ෂයර්හි ප‍්‍රසිද්ධ මිනීමැරුම් පුවතකි. මේ මිනීමැරුම සිහිකරනු වස් ”මිනීමැරුම් කොතක්” ද පිහිටුවා ඇත.
 
 1817 ජූලි හත් වන දින බෙසී ෂෙපර්ඞ් නම් දාහත් වියැති යුවතිය මාන්ස්ෆීල්ඞ් නගරයේ හිඳ පැපල්වික්හි වූ තම නිවසට පැමිණෙමින් උන්නාය. ඇය මාන්ස්ෆීල්ඞ් නගරයට ගියේ රැුකියාවක් සොයා ගන්නටය. එහි ගොස් ආපසු එන ගමනේදී චාර්ල්ස් රොතර්හැම් විසින් ඇයව අල්ලාගෙන, ඇයට මිය යන තෙක් පහරදී ඇය සතු සියලූ දෙය පැහැරගෙන, ඇගේ මළසිරුර කාණුවකට විසි කර දැම්මේය. ගම්වැසියන්ට ඇගේ සිරුර හමුවූයේ පසුදා උදෑසනය. ඒ වන විට බෙසීගෙන් පැහැරගත් සපත්තු පවා විකුණා දමා හමාර කොට තිබුණු චාර්ල්ස්  
ලෝග්බරෝ නගරය වෙත පලා යමින් උන්නේය. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පසුව චාර්ල්ස් විසින් තමා කළ මිනීමැරුම ගැන පාපොච්චාරණය කරන ලදී. බෙසීව මරා දමන්නට පාවිච්චි කළ ලී දණ්ඩ පවා ඔහු පොලිසියට පෙන්වූයේය. 

 
 

මේ මිනීමැරුමට දඬුවම වශයෙන් චාර්ල්ස් රොතර්හැම්ව එල්ලා මරා දැමිණ. ගම්වැසියන් මුදල් එකතු කොට බෙසීව මරා දමා තිබුණු තැන ”මිනීමැරුම් කොතක්” පිහිටුවූහ.
 
 බොහෝ මිනීමැරුම් කොත් වල සටහන්ව ඇත්තේ මරණයට පත් වුණු තැනැත්තා කෙරේ සානුකම්පිතව ලියැවුණු සටහන් වුවත් වාර්වික්ෂයර් හි ඇති එක් මිනීමැරුම් කොතක ඇති දෙය ඊට හාත්පසින්ම වෙනස්ය. එහි චෝදනාව එල්ල වී ඇත්තේ ඝාතනයට ලක්වූ තැනැත්තා කෙරෙහිය. ඒ මරණයට පත්වුණු තැනැත්තිය විසින්, නිසි ආරක්ෂාවක් නැතිව, අපරික්ෂාකාරීව කටයුතු කරමින් ”මරණය” තමා වෙත ආකර්ෂණය කරගත් බවක් එහි චෝදනාත්මකව සටහන් කොට ඇත.
 
 ඒ මියගිය තැනැත්තිය මේරි ඈෂ්ෆෝර්ඞ්ය. මේරි ඈෂ්ෆෝර්ඞ්ගේ ඝාතනය පිළිබඳ වූ නඩු විභාගය බි‍්‍රතාන්‍ය නීති ඉතිහාසයේ සුවිශේෂී තැනක් ගත් නඩුවක්ද වෙයි.
 
 

murder1

මේරි ඈෂ්ෆෝර්ඞ් විසි වියැති යුවතියකි. ඇය ගෘහ පාලිකාවක් ලෙසින් රැුකියාවක් කළාය. ඇය ඇගේ මිතුරිය වූ හැනා කොක්ස් සමග බර්මින්ග්හැම් නගරයේ  අර්ඩින්ග්ටන්හි පැවැත්වුණු නර්තන සාදයකට සහභාගි වෙන්නට ගියාය. එදා රැුය තම මිතුරියගේ නිවසේ රැුය පහන් කොට, පසුදා උදෑසනම යළිත් තමන් සේවය කරන නිවස වෙත යන්නට මේරි ඈෂ්ෆෝර්ඞ් සිතා උන්නාය. එහෙත් සාදයට ගිය පසුව කතාව වෙනස් විය. ඇයට අපූරු තරුණයෙකු මුණ ගැසිණ. ඒ ඒබ‍්‍රහම් ටොරෙන්ටන්ය. මුළු සාදය පුරාවටම මේරි කාලය ගෙව්වේ ඒබ‍්‍රහම් සමගය. සාදය නිමවූ පසුවත් ඒබ‍්‍රහම් සමග තවත් වෙලාවක් ගත කරන්නට මේරිට වුවමනා විය. ඒ නිසා ඇය තම මිතුරිය වූ හැනා කොක්ස්ට බොරුවක් කීවාය. ඒ ඇය ඒබ‍්‍රහම් සමග තම මිත්තණියගේ නිවසට යන බවය. මිතුරියට ඒ බොරුව කියූ මේරි ඒබ‍්‍රහම් සමග සාදයෙන් පිටව ගියාය. ඇය නැවතත් හැනාගේ නිවසට ආවේ පාන්දර හතරට පමණය. හැනාගේ නිවසට විත් සාදයට ඇඳගත් ඇඳුම් මාරුකරගත් මේරි තමන්ගේ සේවා ස්ථානයට පාන්දරම යන්නට පිටත්ව ගියාය. එහෙත් එදින ඇය සේවයට ගොස් තිබුණේ නැත. දින දෙකකට පසු, පාළු ඉඩමක වතුර පිරුණු වළකින් ඇගේ මළ සිරුර සොයා ගන්නා ලදී. ඇය ¥ෂණයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණ වලදී හෙළි විය.
 
 මරණයට සැක පිට ඒබ‍්‍රහම් ටොරෙන්ටන්ව අත්අඩංගුවට ගැනිණ. නඩු විභාගයක් පැවැත්විණ. මේරි මිය ගිය දින ටොරෙන්ටන් වෙනත් ස්ථානයක වෙනත් පුද්ගලයන් සමග සිටි බව කියන සාක්ෂි කිහිපයක්ම ඉදිරිපත් විය. ටොරෙන්ටන් නිදහස් විය. නඩුව අහක ගියේය. එහෙත් කතාව නිම නොවීය.
 
 මේරිගේ සොහොයුරු විලියම් ඈෂ්ෆෝර්ඞ් ඒබ‍්‍රහම් ටොරෙන්ටන්ට එරෙහිව යළිත් මිනීමැරුම් නඩුවක් ගොනු කළේය. ඒබ‍්‍රහම් ටොරෙන්ටන්ව දෙවන වතාවටත් අත්අඩංගුවට ගැනිණ. ටොරෙන්ටන් මේ වතාවේ නීතියත් සමග ක‍්‍රීඩා කළේ වෙනස්ම ආකාරයකටය. ඔහු නීතියෙන් දෙපාර්ශ්වය අතර ද්වන්ධ සටනක් මගින් සාධාරණය විසඳා ගැනීමට ඉල්ලීමක් කළේය. මේ යල්පැන ගිය ද්වන්ධ සටන් ක‍්‍රමය ඒ වන විටත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ඉවත් කොට තිබුණේ නැත. ඒ නිසා ඒබ‍්‍රහම් ටොරෙන්ටන්ට විලියම් ඈෂ්ෆෝර්ඞ් සමග ද්වන්ධ සටනක් මගින් යුක්තිය විසඳා ගන්නට අවසර දෙන්නට අධිකරණයට සිදුවිය. ටොරෙන්ටන්ට වඩා දුර්වල කුඩා සිරුරක් තිබුණු විලියම් ඈෂ්ෆෝර්ඞ් මෙම සටනින් පරාජය වූයේය. ඒබ‍්‍රහම් ටොරෙන්ටන් නිදහස් වූයේය.
 
 මෙම නඩුව කොතරම් ආන්දෝලනයකට ලක්වූවක් වූයේද යත්, ඉන් වසර කීපයක ඇවෑමෙන්, මිනීමැරුම් අභියාචනයන්ද, ද්වන්ධ සටන්ද යන දෙකම ඉංග‍්‍රීසි නීතියෙන් ඉවත් කරන්නට මේ නඩුව ආරම්භයක් ලබා දුන්නේය.
 
 එපමණක් නොව මේරි ඈෂ්ෆෝර්ඞ්ගේ හැසිරීම උදාහරණයක් කොට ගනිමින් තරුණ කාන්තාවන් හැසිරිය යුතු කවරාකාරයෙන්ද යන්න ගැන උපදෙස් දෙන්නටත්, මිනීමරුවා අත්හැර මරණයට ලක්වූ තැනැත්තියට වරද පටවන්නටත් තරම් සමාජයද කනගාටුදායක තත්ත්වයකට වැටී තිබිණ.
 
 අවසනදී මේරි ඈෂ්ෆෝර්ඞ්ගේ ”මිනීමැරුම් කොත” මත මෙසේ සටහන් විය.
 
 කාන්තා සදාචාරයට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙසින්ද, ස්ත‍්‍රියගේ නිර්මලත්වය වෙනුවෙන් කෙරෙන නිහතමානී සිහිවටනයක් ලෙසින්ද,  මෙහි සටහන් කර තබන වග නම්,  මෙය අනාරක්ෂිතව හා අපරික්ෂාකාරීව කටයුතු කරමින්, වයස අවුරුදු විස්සේදීම, මරණය තමා වෙත ආකර්ෂණය කොට ගත් මේරි ඈෂ්ෆෝර්ඞ් මිහිදන්ව සිටින ස්ථානයයි. කාන්තා සදාචාරයට නොගැළපෙන ලෙසින් අනාරක්ෂිතව හැසිරීම නිසා 1817 මැයි 27 වන දින ඇයව අමානුෂික ලෙසින් ඝාතනය කොට දමා තිබිණ.
 
 යෝක්ෂයර් පළාතේ බිඬේල්හි විසූ පනස් පස් වියැති ගොවියෙකු වූ නිකොලාස් කාටර්ගේ මරණය වෙනුවෙන් පිහිටුවන ලද මිනීමැරුම් කොත ගැනද මෙහිදී නොකියාම බැරිය. ඔහුව මරාදමන ලද්දේ ඔහුගේම ගොවිපොළෙහි කම්කරුවෙකු විසිනි. ඒ මිනීමරුවා අධිකරණය විසින් එල්ලා මරා දමන්නට තීන්දු කෙරුණු අතර, යෝක්ෂයර්හිදී එල්ලා මරා දැමුණු අවසන් පුද්ගලයාද ඔහුය. නිකොලාස් කාටර් වෙනුවෙන් පිහිටුවන ලද මිනීමැරුම් කොතේ ඇත්තේ එකම එක වාක්‍යයක් පමණකි. එය සරලය
 
 ”මිනීමරන්න එපා.”
 
 අවාසනාවකට මෙන් ඒ මිනීමැරුම් කොත 2018 වසරේ ජනවාරි මාසයේදී, ඒ මත ගැටුණු වාහනයක් නිසාවෙන් විනාශයට පත්වී ගියේය.
 
 නිම්මි මුදිතා හේරත් 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles