Divaina - වැද්දන් බලන්ට බැද්දට ගිය ස්පිට්ල්ට සිදු වූ අකරතැබ්බය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 

wadda555
 සඳරුවන් ලොකුහේවා
 
wadda222ගමණ්ඩි ආරච්චිලගේ ප‍්‍රතිකාරයෙන් සුවය ලත් දොස්තර ස්පිටල් පසු දින පෙරවරුවෙහි වැද්දන් බලන්ට පිටත්ව ගියේ කරත්ත දෙකක නැගී ගෙනය. ඉන් එකක සුදු හූරාත්, ආරච්චිලත් වූහ. අනෙක් කරත්තය පුරා වූයේ වැද්දන්ට ඇනවුකාලන්ට ගෙනා කෝනම් පොජ්ජවල්, මිසමීරිය, ගල්මානන් ඇට, පිහියා, කැති, ගයි ගැට, පැ`ගිරි කොළ, වේච්චන් කොළ හා වෙනත් ලට්ට ලොට්ටත්, සුදු හූරාගේ හා මඟ පෙන්වන්නන්ගේ කෑම බීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයනුත්, ලංතෑරුමකුත්, ටෙන්ට් රෙද්දකුත් තවත් අනම් මනම් ය.
 
 ගමනට හවුල් වන මඟ පෙන්වන්නන් අතර හේරතා ද හීනා ද වූහ. බැදි ගොම්මන මැද්දෙන් වූ වැලි පාර දිගේ ඇදෙන කරත්ත දෙකේ, ‘චිරිස්... චිරිස්... ශබ්දයත්, වලිකුකුළන්ගේ හ`ඩත්, ඈත හේන් යායවල සිට ගිරා සකලයින් අඹන කොලූ කෙල්ලන්ගේ ‘‘ගැහැ’’ කියන හ`ඩත් සමඟ මුසුව එන අත්වැල් සෙලවීමෙන් නැගෙන ‘ටකරාස්.. ටකරාස්...’ හ`ඩත් නිසා ප‍්‍රබෝධයට පත් ආරච්චිල ස්පිටල් වෙතට නැඹුරු වී ‘‘ෂේර්... රෝඞ් කොරෝස් ද ඇලිපෙන්ට්’’ යැයි කීවේ සුදු හූරා... අවදි කර ගැනීමට ය.
 
 ආරච්චිල කීවේ ඇත්තක් යැයි හිතූ ස්පිටල් ක්ෂණයකින් ක‍්‍රියාත්මක වී තමා සමීපයේ වූ ගිනි අවිය අමෝරා පාර වසාගෙන ආරුක්කවක් මෙන් වැටී තිබුණු කුකුරුමහන් රුක් වදුලට කොකා ගැස්සීය.
 
 වෙඩි හ`ඩින් දෝංකාර දුන් වන ගැබේ තුරු හිස් මුදුන්හි ලැග සිටි සියොත් රැළ ‘චීස්.. චීස්...’ ගාමින් විසිර යද්දී..., භීතියට පත් ගොන් බාන බෙටි හළමින් හැල්මේ දුවන්නට වූහ. ඒරියා කඳ මත හුන් කරත්තකරුවා තෝන් ලණුව හසුරුවමින් මහත් වෙර වීරියක් දරා ගොන් දෙන්නා ආන් බාන් කර ගත්ත ද උන්ගේ දිවිල්ලේ වේගයට ඔරොත්තු නොදුන් ස්පිටල්ගේ හිස පැලඳි තොප්පියත්, ආරච්චිල කරේ දමා ගෙන සිටි සළුවත් ළඳු අකුල තෙක් ඉගිලී ගියේ.. උන් දෙදෙනාටම ඔච්චම් කරන විලසිනි.
 
 ‘‘ආරච්චල මගේ තොප්පිය.. අකුලේ...’’ ස්පිටල් කෑ ගැසුවේ ය. ‘‘මයිගෝට්... ෂේර්... මයි... මයි.. කරේ... කරේ තිබුණ සාළුවත් කැලේට පැදලා...’’ ‘‘කොල්ලා..... නවත්තපන් ඔයි කරත්තේ...’’ ආරච්චිල කෑගෑවේය.
 
 කොල්ලා තෝන් ලණුව ඇද්ද ද උන් නාහෙට අහන්නෙ නැතුව තවමත් දුවයි. ‘‘මොනා ආරච්චිල නිලමේ කේන්නේ...? ගොන් බාන නාහෙට අහන්නෑ හෙමයි, අරෙයි කඳු ගැට්ටෙදි උන් නවතියි... එතෙක් ඔහේ ඉන්ට හොඳයි..’’ ‘පස්සෙන් පහු කරත්තෙ එන ඇත්තො තොප්පියයි, සාළුවයි දැකල ගෙනෙයි හෙම.’
 
 ‘‘එහෙ වුණොත් හොඳයි...,කෝකටත් ඔයි ගොන්ගේ බිය පහකේන්ට කවියක් වත් කියාපන් කොයි,’ ආරච්චිල කොල්ලාට අණ කකළේ ය. ඉබ්බා දියට දැම්මාක් වැනි තුනින්චියෙන් පිරුණු කොල්ලා තම කවිකාර කම ඉස්මතු කරමින්,
 
 වෙඩිලි සැරට ගොන් බානම වෙව්ලනවා
 මගේ ඇඟත් ගිඩි ගිඩි ගා දඟලනවා
 තොප්පි ලෙල්ල කටු අකුලේ ලෙළදෙනවා
 සාළුව ගොහින් ගොම රිත්තක දැවටෙනවා
 
යැයි කීවේ ආරච්චිල උපහාසයට ලක් කරමිනි. ‘කිරා, උඹ හොඳ කොල්ලා, ‘උඹ ගිහින් මයේ තොප්පිය ගෙනෙන්’ හොඳයි සුදුහූරාලැත්තො, අරෙයි කන්ද නැගල ඉමු’යි කී කොලූවා කන්ද තරණය කිරීමෙන් පසු ගොන් බාන නවත්තා කරත්තයෙන් බැස ‘හූවක්’ තැබීය.
 
 හූවට ප‍්‍රතිචාරයක් දැක් වූ පසු පසෙන් එමින් සිටියවුන්’ ‘‘අපි එනවෝ...., හු... හූ..... අපි එද්දින් හිටපවු...’’ යැයි කී ගෑවේ ය.
 
 ‘‘අපි ඉන්නවෝ....., ඔය වංගුව ගාවදි සුදු හූරග තොප්පිය හුළගේ පැද්දා... ඒක ගෙනා වරෝ......’’
 
 ‘‘හා, හොඳයි... තොප්පිය ගේනවෝ.......’’
 
 ‘‘හූ..... මෙයෙයි නිලමෙගෙ .. සාළුවත් හුළඟට පැද්දා.......’’
 
 ‘‘අෙ`ඩයි.... ඒක මොනාට? අපෙ කරත්තෙ රෝදෙට අහුවෙලා ගොම රිත්තකුත් ගෑවිලා.......’’
 
 ‘‘එහෙනන්, මොනා කේන්නේ, අයියණ්ඞී? .. ඕක බැද්දට ගහමප ! යි’ කොල්ලා මහා හ`ඩින් කෑ ගසා කීවේ ය.
 
wadda222තමාගේ අගනා සාළුව විසික්කරන්ටැ’යි කීමෙන් මහත් සේ කිපුණ ආරච්චිල අම්මා මෝ නැතුං කිරා කොලූවාට බැණ වදින්නට විය. ඒ දෙස මඳ වේලාවක් සිනහසෙමින් බලා සිටි ස්පිටල් මහතා, ආරච්චිල උඹ හොඳයි....! කට තමයි නරක....! ආ.... මේ මප්ලර් එක උඹට හොඳයි යැයි’ තම බෑගයේ තිබුණු වූල්වලින් ගොතන ලද මප්ලරයක් ගමණ්ඩි ආරච්චිලට දුන්නේ ය. (එදා ස්පිටල් මහතා ගමණ්ඩි ආරච්චිලට වරින් වර තෑගි කළ දෑ අතර තිබුණ මප්ලරය අතීත කතාව කියන ගමන් මට ගෙනවිත් පෙන්නුවේ ය.)
 
 පිටුපසෙන් පැමිණි කරත්තයත් සමග ගමන ආරම්භ කළ ඔවුහු නොබෝ වේලාවකින් වර්තමානයේ පොල්ලෙබැද්ද නමින් හැඳින්වෙන ගම්මානයට සේන්දු වූහ. ගමක් යැයි කීව ද, පොල්ලෙබැද්ද නම් වූ එහි වූයේ ගෙවල් හතරකි. ජනගහනය 14 කි. හේන් ගොවිතැනින් ජීවිතය රැකගත් ඔවුහු සිංහල හේන් ගොවියෝය. 1818 කැරැල්ලෙන් දිවි බේරාගෙන වන වැදුණ මොවුන් කර්කශක දිවිපෙවෙතකට හුරු වූවන් ය. එබැවින් උඩුකය වසා ඇඳුමක් නො ඇන්ද අමුඩ කෙටියකින් යටි කය වසා ගත් ඔවුන් හා වනවාසී වැද්දන් අතර වෙනසක් නොවීය.
 
 පොල්ලෙබැද්දේ විසූ මේ සිංහල හේන් ගොවියන් අතරින් කැපී පෙනෙන මිනිසකු වූයේ රංහොටි බණ්ඩාරලාගේ බංඩා නමැති ගමරාළ ය. ස්පිටල්ගේ වනගත මිතුරෙකු වූ ආර්.බී. බංඩා ගමරාළ සුදු හූරා මෙන්ම වැද්දන්ට ළෙන්ගතු කෙනෙකු විය. පොල්ලෙබැද්දට පැමිණි සංචාරකයෝ ගමරාළගේ හේනට යාබද ව පිහිටි ගෙවත්තට පිවිසුණ හ.
 
 උස හීන්දෑරි මිනිසකු වූ ගමරාළ අමුතුම තාලේ ඇඳුමකින් සැරසී ගත්තෙකි. කිසි දිනක උඩුකයට කමිසයක් නො අඳින ඔහු අමුඩ හීරුවකින් සැරසී උඩුකය ඒකාංග වන ලෙස සරම වළලලක් සේ දමා ගෙන සැරයටියක් අතින් ගෙන සිටියි.
 
 එදා ඔහුගේ ගෙදර ගෝහාලය මත මුව හමක් එළා තිබුණි. ස්පිටල් මහතා කරත්තයෙන් බැස ගෙයි ඉදිරිපස වූ මඩුගෙයට පිවිසියේ ගමණ්ඩි ආරච්චිලත් සමග ය. ගමරාළ ඉදිරියට පැමිණ දෑත් එක්කොට වැඳ ආචාර කරමින්,
 
 ‘ස්පිටල් සුදුහූරලැත්තා මෙහෙන් ඇනබාගත්තා නම්, යැයි’ ඔහුට කෑමට ආරාධනය කළේ ය.
 
 ගමණ්ඩි ආරච්චිල මෙන් ම සුදු හූරා ද ගෙදර ඇත්තියන් පිළිගැන්වූ පැන් කොතලයෙන් අත කට දොවා ගෙන කුරක්කන් පිට්ටුත් එක්ක කිරි කන්ට වූයේ තලූමරමින් ය.
 
 බින්තැන්නට පැමිණි කිහිප විටක දීම කුරක්කන් පිට්ටුත් සමග මුදවාපු කිරියි පැණියි කා පළපුරුදුකම් ඇති ස්පිටල් මහතා ආරච්චිල කුරක්කන් පිට්ටුයි, කිරි පැණියි ඉදුණු කෙසෙල් ගෙඩියි එකට අනාගෙන කන දෙස බලාගෙන සිටියේ අපුලෙන් යුතුව ය. බැරිම තැන ඔහු, ‘ආරච්චිල ඔය කන කෑම හොඳ නෑ....යි’ කීවේ ය. ඒ ඇසූ ආරච්චිලට එකපාරට ‘බකස්’ගා හිනා ගියේය.
 
 ‘මොනා කියන්නේ ෂේර්...., මෙව්වා අපට උරුම කෑම... කිරි කොරහක් කාලා ගෙහුන් වී පෑලක කුඹුර කොටල එන මට මේ ඇබින්දන් කිරි මුට්ටියක් කන එකක් කජ්ජක් දැ’යි අසමින් නැගී සිටියේ... සුදු හූරාට සිදු වූ කෝන් ඇඹුලේ ඇබැද්දිය ද මතක් කර දෙමිනි.
 
 ‘ආරච්චිල උඹලා කිරි කන්ට හරි පෙරේතයි.’,
 
 ‘කිරි විතරක් නෙමෙයි ආයුබොවන්ට... අපි තලපයි, දඩමසුයි කන්ටත් හපන්නු’යි කියමින් ගමරාළ උන්දෑ ද කතාවට එක්වීය.
 
 ඔවුන්ගේ කතා බහ මැද්දේ උයන ගේ දෙසට ගොස් කුසපොත්ත පුරවා ගත්තු ආවතේවකාරයෝ බුලත් විට හපා කමින් පැමිණ කරත්ත දෙක නැවත ගමන් මඟට ගත්හ.
 
 ‘හා... හරි.. අපි යමු, උඹත් වරෙන් ගමරාළ යැ’යි ස්පිටල් ගමරාළට ද ගමනට ඇරයුම් කළේ ය.
 
 ‘යමුකොයි... ආයුබොවන්ට...? කී ගමරාළ තම අඩුමකුඩුම සහිත පන්මල්ල ඉනේ රඳවා ගත්තේ ය. අඩ හෝරාවක පමණ ගමනකින් පසු ඔවුහු පොල්ලෙබැද්ද මායිම පසුකර නැගෙනහිර දෙසට වන්නට පිහිටි නුවරගල හීතවන්නිය කඳු පාවුලට පැමිණිය හ.
 
 කරත්තය තුළ වූ ලට්ට ලොට්ට සියල්ල කර තබා ගත් ගමන්කරුවන් ද සහිත සංචාරකයෝ රඹකැන් ඔයෙන් එගොඩ වූහ.
 
 කුඹුක්, කරඳ, මාදං, ඇට්ටේරියා, මිල්ල,
 
 ගොරක, ඇටඹ, බුරුත, නැදුන් ආදී රුක් වදුලෙන් ද එළවැල්, කළවැල්, නා පිරිත්ත, බාංවැල් ආදී වැල් ගාල්වලින් ද සමන්විත වන බිමේ තැනිතලා පෙදෙස ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළට නගින්නේ ඉහළින් දිස්වෙන කඳු පංතීන්් ශක්තිමත් කෙරෙන පාදමක් ලෙසිනි. ඈතින් දිස්වෙන දැලිහැළියක් මෙන් කාලවර්ණ වූ දැලිබැහැර කන්ද දෙස නෙත් හෙළීමට පවා බියක් දක්වන ගම්වැසියෝ එය ‘‘යකුන්ගේ හෙල’’ නමින් ද හඳුන්වයි. ගැමියන් තබා වැද්දන් ද කිසි දිනක පයා තබා නැතැයි පවසන යකුන්ගේ හෙලට ගිය එකම දෙපා සතා බින්තැන්න හෙල්ලූ වන්නකු තිසාහාමි බව ආරච්චිල ද ගමරාළ මුත්තා ද පවසති. මේ යකුන්ගේ හෙල දිහාවට වැද්දන් නොයන හෙයින් නුවරගල ඉසව්වේ හෝ හීත වන්නියේ පිහිලේගොඩ ලෙනෙහි හෝ වැද්දන් සිටිය හැකි යැයි අනුමාන කළ මඟ පෙන්වන්නන් නුවරගල දක්වා යන මගෙහි පාවුල් කන්ද තරණය කරන්ට වූයේ ගමන් මලූ ද කර පින්නා ගෙනය.
 
 ඉරගල වැටීගෙන එන යාමයේ දී මුත්තාකඩට පැමිණි පිරිස එහි වූ ගල්තලාවක වාඩිලා ගත්හ. හේරතා ගෝණි මල්ලක් ලෙහා කාදුවක් යෙදූ ටිං එකක් ගෙන දිය කඩකට ගොස් වතුර එකක් ගෙනාවේය.
 
 හීනා ගිනිමැලයක් ගැසුවේ ය. ඊට උඩින් කරුවක් යොදා වතුර ටිං එක එල්ලී ය.
 
 ‘ඔයි වතුරු මොල්ලි දානවා හෙමයි..... හීනා ඔයි බෙලෙක්කෙට කහට කුඩු ටිකක් දාප කොයි. ගමණ්ඩි කීවෙන් අත ඉක්මන් කළ හීනා උතුරමින් තිබූ වතුර එක කෙක්කක ආධාරයෙන් ඉවතට ගෙන තේ කොළ ටිකක් දමා ගින්නට ළං කර මද වේලාවකින් පදමට රන්වන් වූ තේ වතුර බෙලෙක්කය ඇලන් කරමින් ස්පිටල්ගේ පොල්කටු කෝප්පයටත් අනෙක් උන්ගේ පොල්කටු කෝප්පවලටත් තේ පෙරන් ගාන්ට වූයේය. ස්පිටල් හුංඩුවත් සීනි හැන්දත් ගෙන තේ එක පිළියෙල කර ගෙන ආරච්චිලට සීනි හුංඩුව දිග් කළෙන් ආරච්චිලත් ගමරාළත් අල්ලට සීනි ටිකක් හෙළා ගෙන තේ කහට තොල ගාන්ට වූහ.
 
 ‘උඹලා හැමෝටම පිරිමහින්ට තරම් මේකේ සීනි කැට නැතුවා හෙමයි... අරෙයි කොච්චි කරලකුයි, ලූණු ඇටේකුයි යෝඩුකේගෙන උඹලගෙ කහට පෙත බීපව්.’
 
 ‘එහේවෙද? ආරච්චි නිිලමෙ අපෙ උරුමෙ... ලූණුයි, මිරිසුයිනෙ.’ කිරා කෙඳිරිගෑවේය.
 
 ‘මොනා අඩා තෝ... මුණු මුණු ගාන්නේ...?’ ආරච්චිල උඩු රැවුල කරකවා බැලූවේ අල්ලේ තිබූ සීනි කට තුළට රුවා ගනිමිනි. වඳුරු මොටෙක් මෙන් මුහුණ පුරා වැවී තිබුණ රැවුල් ගස් අතරේ රැඳුන සීනි ඇට නිසා ගමණ්ඩිගේ මුහුණ විකාර රූපී බවක් දැක්වූයෙන් ... විනෝදකාමියෙකු වූ ස්පිටල් මහතා උඩ පැන පැන සිනා සෙන්නට වූයේ, අනෙක් එවුන් ද සිනහවට එක් කර
 
 ගනිමිනි.
 
 ගමණ්ඩි ආරච්චිල සමච්චලයට ලක් වෙන බව දුටු ගමරාළ උන්දෑ... ‘ඔවුවා එහේ තමයි, ආරච්චිල ඇත්තෝ..... මෙහෙව් ගමන් ආවාම හිනා පාන්ටත් එපැ යි..’ කියා ඔහු සනසාලීය.
 
 සියල්ල අමතක කරන්ට මෙන් එපිටහ කොනේ ගල් ඇන්දේ සිට නැගෙන්ට වූයේ.... අලි පොර බදින හ`ඩකි.
 
 ‘අෙ`ඩයි.... කොල්ලෝ උනන්දු වෙයව්... එබ කොන අලි ගොර බානවා හෙමයි.... මේ අලි මංකඩෙන් වෙයි උං පියමං කේන්නේ...., උනන්දු වෙයව්..... තව හූවක දුර නෑ අළුගල්ගෙට එහෙ කොන තමා වැද්දො ඉන්නේ’ යි ගමරාළ ආරච්චිලගේ තැන ගෙන අණ දුන්නේ ය.
 
 මේ අව් අස්සේ ස්පිටල් සීනි බෙලෙක්කය මිනිසුන් අතට දී තිබුණෙන් හිතේ හැටියට තේ කහට බී ගත ප‍්‍රාණවත්ව කන්ද තරණය කර අළුගල්ගේ පාමුලට ම සේන්දු වූ ඔවුන් අතර සිටි හේරතා... ‘ආරච්චි නිලමේ වැද්දන්ට අපි ආ බව දැනුම් දෙන්ට හූවක්.... තිබන්ට වෙයි නේ?’ යි කීවේ ආරච්චිලගේ තරහ නිවන්ටත් එක්කය.
 
 ‘ ඕ.... ආරච්චිල මේ ලෙනේ වැදි මිනිස්සු ඇති තමා.... ස්පිටල් ද ආරච්චිල කතාවට හවුල් කර ගත්තේ ය. ‘ආයුබෝවන්.. උන් මේකේ නොහිටියොත් ආයෙ, හීත වන්නියේ තමයි උන් ඉන්නේ, කාරි නෑ... අපි හූවක් තබා බලමු. කොයි, හේරතා.. ඔය ගහකට නැගලා හූවක් තබාප...?’ අරච්චිල අණ කළේය.
 
 හේරතා ද ගහකට නැග ‘‘හූ.....’’ තුනක් තැබීය. එහෙත් ඊට ප‍්‍රතිචාර ලැබුණේ එහා ගල් කන්දෙනි. එම ‘හූ..’ හ`ඩට කන් යොමු කළ ස්පිටල්, ආරච්චිල කවුද ඒ....?’
 
 ‘අම්මටෝයි..! ආයුබෝවන්.. ඔයි තමා කන්දෙ යකා.....’
 
 ‘කන්දේ යකා.... ඌ ඉන්නවද?’
 
 ‘කන්දෙ යකා කියන්නේ වලස් ගෙඩියට ආයුබෝං.... ! ’
 
 ‘මං හිතුවා, ආරච්චිල... ඒ මිනිහගෙ හූවක් නෙවෙයි කියලා...’
 
 ‘එහෙමයි ආයි බෝං..... ! දැන් ආයි ගමන් බෑ.... මේ අළු ලෙනේ වාඩිලාගෙන ඉඳලා හෙට පාන් කළුවෙන්ම හීත වන්නියට යමු.’
 
 ‘ ඕං... ඒක හොඳ අයිඩියා එක’යි ස්පිටල් ද අනුමැතිය දීමෙන් පසු ඔවුහු එදින එහි ලැගුම් ගත්හ.
 
 
 වදන් වැල
 
 ඇනවුකාලන්ට - දීමට/ බෙදා දීමට
 
 කෝනම් පොජ්ජවල - රෙදි/ ඇඳුම්
 
 (පොජ්ජ නිපාත පදයකි)
 
 මිසමීරිය - කුරහන්
 
 ගල්මානන් ඇට - බඩ ඉරි`ගු ඇට
 
 ගයි ගැට/ කහට ගෙඩි - පුවක්
 
 පැ`ගිරි කොළ - බුලත්
 
 චේචිචන් කොළ - දුම්කොළ
 
 සකලයන් අඹන - කුරුල්ලන් එළවන
 
 අත්වැල් - ටකපෝරු එල්ලූ වැල්
 
 හැල්මේ - වේගයෙන්
 
 පැදලා - පාවී ගොස් (සුළං පදිනවා - හුළං හමනවා සකලයන් පදිනවා - කුරුල්ලන් පියාඹනවා)
 
 මොනා ආරච්චිල කේන්නේ? - මොනවද ආරච්චිල කරන්නේ.?
 
 එහේ වුණොත් - එහෙම වුණොත්
 
 හුළගේ පැද්දා - හුළඟට ගහගෙන ගියා
 
 ඒක මොනාට? - ඒක මොනවට ද?
 
 ගෝහාලය - නිදා ගැනීමට, වාඩි වීමට ඇති ලී ද`ඩුවලින් සෑදු මැස්ස
 
 වතුර මොල්ලි දානවා - වතුර උතුරනවා (බුබුළු දමමින්)
 
 තේ පෙරන් ගානවා - තේ පෙරනවා/තේ වත් කරනවා
 
 අලි බොටුන්ගේ - අලින්ගේ
 
 උනන්දු වෙයව් - ඉක්මන් කරපල්ලා
 
 අම්මටෝයි! - පුදුමය දනවන වදනක්

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles