Divaina - සිව් බුදුවරු වැඩම කළ මිහින්තලේ අනුහස්‌ - ලෝකයේ ඉපැරැණිම රෝහල ඉදිවුණේ මෙතැනයි...

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පළමු පැළය රෝපණය කර ඇත්තේ මිහින්තලේ...

මිහින්තලේ මංසන්ධියේ ඉඳලා ඉන්දියාවට වැඩි දුරක්‌ නෑ

mihinthaleතුරු හිස්‌ තෙමන ඉදිකටු වැස්‌ස අවට සීත සළුවෙන් පොරවාගෙනය. තුරු, ගොමු අතරින් ඉගිලෙන සුළඟ ගත දැවටෙන විට සියොළඟම කිතිකැවිණි. විහඟුන්ගේ ගී නාදයට මුසු වූ ගහ කොළ නැළවෙන හඬ මගේ සිත ඒකාත්මික කිරීමට සමත් වූ බව සැබෑය. ගල් පඩි සිය ගණනක්‌ ඉහළට තරණය කළ ද ගතට කිසිදු විඩාවක්‌ නොදැනේ. අවට සොබාසිරිය සිත් පුරා විඳගනිමින්, දැන් අප මේ ගමන් කරමින් සිටින්නේ මෙරට බෞද්ධ සංස්‌කෘතියේ මහගෙදරටය. එනම් මිස්‌සක පව්වටය. මීට වසර දෙදහස්‌ තුන්සිය විසිහයකට පෙර පොසොන් පෝය දිනයේදී මිහිඳු හිමියන් සහ ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන භික්‍ෂූන් ද සුමන සාමණේරයන් ද භණ්‌ඩුක උපාසක ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කළ අති උතුම් පුණ්‍ය භූමියටය. දඩ කෙළියේ නිරතව සිටි දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දහසක්‌ සේනාව පංචශීලයේ පිහිටුවමින් ධර්මය අවබෝධ කර දුන් පින්බිමටය.

mihinthale1හතළිස්‌දහසක සේනාවක්‌ ආයුධ බිම තබා පන්සිල් සමාදන් වූ ලෝකයේ ඇති එකම ස්‌ථානය මිහින්තලය පුද බිම පමණි. එමෙන්ම පංචශීලය පිහිටුවීම, පැවිදි කිරීම, උපසම්පදාව, ධර්ම දේශනාව යන සියලු පින්කම් එකම දිනයක, එකම ස්‌ථානයක මෙරට පළමු වරට සිදුකරනු ලැබුවේ ද මිස්‌සක පව්වේදීය. එදා මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම දේවානම්පියතිස්‌ස රජුට දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව අදට ද මිස්‌සක පව්වේ රැව් පිළිරැව් දෙන බව සැබෑය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි 'මිහිඳු කුටිය' ඒ පුණ්‍ය භූමියේ අදට ද ජීවමානය. මිහින්තලා පුදබිමේ පිහිටි අෂ්ටඵල බෝධිය, විෂ්ණු දේවාලය, කටුසෑය ආශ්චර්ය පිරුණු සිද්ධස්‌ථානය. ආරාධනාගල, මිහිඳු සෑය, මහා සෑය, කණ්‌ඨක චෛත්‍යය, ගිරිභණ්‌ඩ සෑය, අම්බස්‌තල වටදාගෙය, ඇත් වෙහෙර, පෝය ගෙවල්, අටසැට ලෙන්, ධාතු මන්දිරය, මනිනාග මන්දිරය එම පින්බිමේ ඇති සෙසු පූජනීය ස්‌ථානය. මැද මළුව, දාන ශාලාව, සන්නිපාත ශාලාව, පොත්ගුල, රාජගිරි ලෙන නටබුන්ව පැවතිය ද බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන සිද්ධස්‌ථානය. එමෙන්ම එම පින්බිමේ ඇති සිංහ පොකුණ, කළුදිය පොකුණ, නාග පොකුණ තිඹිරි පොකුණ, අදට ද දිය පිරුණු විසල් පොකුණුය. මැද මළුවේ දකුණු පසින් වූ ගොඩනැඟිල්ල, මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ, පැරැණි රෝහල, සහ උප ග්‍රන්ථය 1, සෙල්ලිපි, පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි, මහාදාඨික මහානාගගේ ගිරිලිපිය, ෂඪ වැනි මිහිඳුගේ පුවරු ලිපි ද්වය, උප ග්‍රන්ථය 2 ද මිහින්තලේ පුද බිමේ ඇති ඓතිහාසික වස්‌තූන්ය. එහෙත් එම සිද්ධස්‌ථාන සහ ඉපරැණි නටබුන් ගැන බෞද්ධ සමාජයේ කතාබහට ලක්‌වන්නේ ඉතාම අඩුවෙනි. බොහෝ බෞද්ධයන්ට මිහින්තලය සිහිපත් වන්නේ පොසොන් පෝය කිට්‌ටු වන විට පමණි. එහෙයින් අපි මිහින්තලේ රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් සහ මිහින්තලේ පුරාණ ගම්වැසියන් හමු වී මෙරට බෞද්ධාගමේ තිඹිරිගෙදර ඉතිහාසය සහ ආශ්චර්ය ගැන සාකච්ඡා කළෙමු. මේ පෙළගැසෙන්නේ මිහින්තලේ ආශ්චර්යය ගැන කියෑවෙන කතාවය...

mihinthale2"මිහිඳු හාමුදුරුවෝ හිතුමතේ මිහින්තලයට වැඩම කළා නොවේ. බුද්ධගයාවේ බුදුවරු පහළ වන්නා සේම ලක්‌දිව බුද්ධ ශාසනය පිහිටුවනු ලබන්නේ මෙරට කේන්ද්‍රස්‌ථානය වූ මිහින්තලයේදී. ඒ වගේම මේ කල්පයේ පහළ වූ සිව් බුදුවරු මිශ්‍රක පව්වට වැඩම කර ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. සිව් බුදුවරු මිහින්තලයට වැඩම කළේ මේ බිමේ තියෙන ආශ්චර්යයට. අපි මිහින්තලේ ආශ්චර්යය ගැන කතා කරන්න ඕන ඒ ඉතිහාස කරුණුත් පාදක කරගෙනයි..." මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අපේ කතාවට එසේ ප්‍රවේශයක්‌ ලබාගත්තහ.

"අනුරාධපුර අටමස්‌ථානය පිහිටුවන්න මිහිඳු මහරහතන්වහන්සේ දේවානම්පියතිස්‌ස රජුට උපදෙස්‌ දී ඇත්තේ මිශ්‍රක පව්වේ වැඩහිඳිමින්. අරිට්‌ඨ ඇමැති ඇතුළු ලාංකීය කුලදරුවන් හැට එක්‌දෙනකු සසුන්ගත කළේ මේ පින්බිමේදී. මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායමත්, සසුන්ගත කළ හැට එක්‌නමත් පළමු වස්‌ වැසීම සිදු කරන්නේ මිහින්තලා පින්බිමේ ඇති අටසැට ලෙන්වල. ඒ වගේම තිස්‌ස රජුගේ ඉල්ලීමක්‌ අනුව මෙරටට වැඩම වූ ධාතූන් වහන්සේලා සොළොස්‌මස්‌ථානයන්වලට බෙදා දී ඇත්තේ මේ පින්බිමේදී. (දළදා ධාතූන් වහන්සේ හැර) මිනිස්‌සු ගස්‌, ගල්වලට වැඳුම් පිදුම් කරනවා දැකලා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ වැඩමවීමට මිහිඳු මහරහතන් වහන්සේට අදහස පහළ වෙන්නේ මේ පින්බිමේදී. ඒ අනුව මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කරලා මාස හයක්‌ සම්පූර්ණ වෙනකොට සංඝමිත්තා තෙරණිය, කුල දහඅටක සේනාවක්‌ සමඟ ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවක්‌ මෙරටට වැඩමවාගෙන පැමිණියා. සංඝමිත්තා තෙරණිය වැඩම කිරීමත් සමඟ භික්‍ෂුණි ශාසනය ආරම්භ වුණා. ශාරීරික, උද්දේශික, පාරිභෝගික සියලු වස්‌තූන් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර කෙරුණා. ඒ සමඟ තමයි මෙරට ආගම, දහම, සංස්‌කෘතිය සියලු සකලාංග බිහිවුණේ. හිත් පිත් නැති කළු ගල්වලට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‌ඛා සතර බ්‍රහ්ම විහරණ ඔබ්බලා ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කෙරුණේ. මෙරට බෞද්ධ ජනතාව තුළ බෝසත් ගතිගුණ ඇති කළේ මිහිඳු හාමුදුරුවො. ඒ උත්තම හිමි වැඩ සිටි මිහිඳු කුටිය අදටත් ලෝක බෞද්ධයාගේ වන්දනාවට පාත්‍ර වෙනවා. අෂ්ඨඵල බෝධීන් වහන්සේ අදටත් විරාජමානයි. ශ්‍රී මහා බෝධියෙන් පැළ වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේලාගෙන් පළමු පැළය රෝපණය කරලා තියෙන්නේ මිහින්තලේ පූජා භූමියේ..."

"මිහිඳු හිමියන්ගේ කාලයේ නිර්මාණය කරපු මිහින්තලේ ඉස්‌පිරිතාලය ලෝකයේ පැරැණිම රෝහල. ඒ රෝහල් භූමියෙන් සොයාගත්ත මෙවලම් කොහෙන් ගෙනද්ද කියලා පුරාවිද්‍යා නිලධාරීන්වත් තවම නිගමනය කරලා නෑ. රෝහලේ තිබුණු ශල්‍ය උපකරණ වෙනත් ග්‍රහලෝකවලින් ගෙනත් ඇති බවට ජනප්‍රවාද පවතිනවා. ඒවා මහා විස්‌මිත දේවල්. ඒ වගේම තමයි මිහින්තලේ හතරමංහන්දිය. භූගෝලීය පිහිටීමට අනුව මිහින්තලේ හතරමං හන්දියේ ඉඳලා ඉන්දියාවට විශාල දුරක්‌ නෑ. ඒ වගේම මිහින්තලේ හන්දියේ ඉඳලා මෙරට සෑම දිසාවකටම යන්න පුළුවන්. මිහින්තලා පුද බිම කියන්නේ උත්තම පින්බිමක්‌. ඒ බිමේ තියෙන සෑම සිද්ධස්‌ථානයක්‌ම අනුහස්‌ පිරිලා. නටබුන් ලෙස ශේෂ වූ සිද්ධස්‌ථානවල පවා හරි පුදුම දේවල් වෙනවා..."

"මිහින්තලේ උඩමළුවේ, අෂ්ටඵල බෝධිය ළඟ විෂ්ණු දේවාලය අසල සුනඛයන්ට කැත කරන්න බෑ. වැරැදිලාවත් සුනඛයෙක්‌ හිටියොත් මහා රෑට කෑගහගෙන දුවනවා. ආයෙත් ඒ සතා පේන්නවත් එන්නේ නෑ. සමහර දවස්‌වලට උදේට අෂ්ටඵල බෝධිය වටා අතුගාන්න දෙයක්‌ නෑ. පොළොව පිරිමැද්ද ඉඳල් පාරවලුත් තියෙනවා. ඒත් පිරිමැදපු කෙනෙක්‌ නෑ. ඒ වගේම රෑ නවයට, දහයට දේවතා එළි පාත් වෙනවා නිතරම අපි දකිනවා. සමහර දවස්‌වලට රෑට විදේශිකයන් ඇවිත් ඡායාරූප ගන්නකොට ඒ පින්තූරවල එළි තියෙනවා. ඒවා දැකලා ඒ මිනිස්‌සුන්ටත් පුදුමයි. එක්‌දහස්‌ නවසිය පනස්‌ ගණන්වල මහා සෑයේ බුදුරැස්‌ විහිඳිලා තියෙනවා. ඉඳ හිට අෂ්ටඵල බෝධිය ළඟට විශාල සුදු නායෙක්‌ ඇවිත් පෙනිලා යනවා. කැලෑව ඇතුළෙන් මහා රෑට පිරිත් හඬ, හේවිසි හඬ ඇහෙනවා. රෑට සුදු ඇඳ ගත්තු අය ඇවිත් බෝධිය ළඟ භාවනා කරනවා පේනවා. ළඟට යනකොට කවුරුවත් නෑ. මස්‌ මාංශවලින් වැළකිලා බෝධීන් වහන්සේට පුද සත්කාර කරගෙන ඉන්න අයට ඔය දේවල් පේනවා. අපි දවසට හතර වරුවක්‌ තේවාව කරනවා. උදේ පාන්දර පහට, හතට බුද්ධ පූජාව, දවල් බුද්ධ පූජාව, හවස ගිලන්පස පූජාව කරනවා. සෙනසුරාදා, බදාදා දවස්‌ දෙකේ විෂ්ණු පූජාව පවත්වනවා..."

"විෂ්ණු දේවාලයත් අනුහස්‌ පිරුණු තැනක්‌. දවසක්‌ අපේ ප්‍රධාන දායක මහත්මයකුගේ කිරි හරක්‌ කිහිපදෙනෙක්‌ හොරකම් කරගෙන ගිහින්. හොරකම කරපු පුද්ගලයාව හොයාගෙන ගිහින් අපි කිව්වා පොලිසී ගානේ යන්නේ නෑ, අපිට හරක්‌ ටික දෙන්න කියලා. මිනිහා හොරකම් කළේ නෑ කියලා පරසක්‌වල ගැහුවා. ඊට පස්‌සේ මම කිව්වා මට කරන්න දෙයක්‌ නෑ, මේ මහත්තයා විෂ්ණු දේවාලයට ගිහින් පලි ගහයි කියලා. මම කිව්වා වගේම හරක්‌ අයිතිකරු විෂ්ණු දෙවියන් ඉදිරියට ගිහින් නඩුව කිව්වා. එදා රෑ දොළහ වෙනකොට කිහිපදෙනෙක්‌ හරක්‌ හොරකම් කරපු පුද්ගලයාව උස්‌සාගෙන පන්සලට ආවා. අත, පය පණ නෑ. අදටත් ඒ මනුස්‌සයාගේ අත, පය පණ නෑ. ඒ වගේ සිද්ධි අනන්තයි. විෂ්ණු දේවාලයට ගිහින් දුක කියලා බාරයක්‌ වුණොත් පිහිට අනිවාර්යයි. කටුසෑයෙත් එහෙමයි. නිරන්තරයෙන්ම අදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙන තැනක්‌. කඩවර, සහ බහිරව හත්කට්‌ටුව හොඳට සහ නරකට දෙකටම ක්‍රියාත්මක වෙනවා. නරක පැත්තේ අත්දැකීම් මට නෑ. හොඳ පැත්තේ අත්දැකීම් මටත් තියෙනවා. සඵල නොවී කල්මැරෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා කටුසෑයට බාරයක්‌ වුණහම සතියෙන්, දෙකෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අත්දුටුයි, ප්‍රත්‍යක්‍ෂයි. සෙනසුරාදා, බදාදාට කටුසෑය ළඟ ඉඩක්‌ නෑ සෙනඟ පිරිලා. ඒ සේරම එන්නේ බාර හාර වෙන්න. බලාපොරොත්තු සඵල වෙච්ච අය බාර ඔප්පු කරන්න. ඒ වගේම තමයි අෂ්ටඵල බෝධිය ළඟට ඇවිත් දුකක්‌, කරදරයක්‌ කියලා පිහිටක්‌ ප්‍රාර්ථනා කළොත් අනිවාර්යයෙන්ම ශාන්තියක්‌ අත් වෙනවා. බාබාලා පරක්‌කු අම්මලා ඇවිත් දින හතක්‌ බෝධී පූජා පැවැත්තුවම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා මේ ගම්වල දායකයෝ මාත් එක්‌ක කියලා තියෙනවා. එහෙම පූජා පවත්වලා ප්‍රතිඵල ලබාගත්ත අය මටත් ඇවිත් පිං දීලා යනවා. ඒ දේවල් මිහින්තලේ පුරාණ ගම්වාසීන්ගෙන් ඇහුවම මට වඩා හොඳට කියයි..." අපේ කතාව වෙනත් මානයකට යොමු කරමින් ධම්මරතන හාමුදුරුවෝ නිහඬ වූහ.

අප අතර නිහඬතාවකි. අම්බස්‌තලය පීරාගෙන හමන සුළඟේ ඝෝෂාව නොඇසෙන්නට මැද මළුවේ කිසිදු හඬක්‌ නොනැඟෙයි. මගේ දෙනෙත් අම්බස්‌තලය සිසාරා දිවෙයි. නිල්ලෙන් දිළෙන වන පෙත මැද අඹ පිරුණු ගස්‌ තවමත් දෙනෙත්හි පැටලේ. තණ උලා කන මුව රංචු ඇස නොගැටුණාම නොවේ. මේ බිම ජාතියේ පිනටම පහළ වූ පින්බිමකි. එදා රට පාලනය කළ ඉංග්‍රීසිහු පවා අම්බස්‌තලයේ ජීවත් වන සතුන් මැරීම තහනම් කරමින් පූජා භූමිය පුරා තැන, තැන දැන්වීම් ප්‍රසිද්ධ කරමින් මේ පින්බිමට වැඳුම් පිදුම් කළහ. එහෙත් රටේ කරුමයකට අපේ නායකයන් මෙරට බෞද්ධ ආගමේ මහගෙදරට පැමිණෙන්නේ පොසොන් උත්සවයේ ආලෝක පූජාව විවෘත කිරීමට පමණි. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ පවසන පරිදි මිහින්තලේ පුදබිමේ අඩු පාඩු ගොඩකි. එමෙන්ම අපේ කාලේ මස්‌ වැද්දෝ අම්බස්‌තලයේ ජීවත් වන මුවන් මරාගෙන කති. එවැනි පාපකාරි තිරිසනුන්ට ඒ පව් මිහිපිටදීම පඩිසම් දෙන්නේය. ඒ බව අපිට කීවේ අත්දැකීම් සහිත ප්‍රදේශවාසියෙකි. ඒ කතාව ඇතුළුව මිහින්තලය පූජා භූමියේ අනුහස්‌ ලබන සතියේ ද පෙළගැස්‌වීමට අපගේ කැමත්තය...

තරංග රත්නවීර

මිහින්තලේ රංගචතූ

mihinthale3

mihinthale4


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles