Divaina - කෘෂිකර්මාන්තය ආගාධයකට රැගෙන යන පොහොර සහනාධාරය

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pohoraයම්කිසි කර්මාන්තයක්‌ මගින් නිපදවන භාණ්‌ඩ හෝ සේවා වල මිල පහළ අගයක පවත්වා ගැනීම වෙනුවෙන් රජයක්‌ මගින් හෝ වෙනත් මහජනයාට වගකියන සංවිධානයක්‌ විසින් එම කර්මාන්තයට පිරිනමනු ලබන මුදල් ආධාර සහනාධාර ලෙස සැලකිය හැක. කෘෂිකාර්මික සහනාධාර විවිධ ආකාරයෙන් දෙනු ලැබේ. පොහොර සහනාධාරය එවැන්නකි. අප රටේ පොහොර සහනාධාරය කෙටියෙන් විස්‌තර කළහොත් රජයේ සහ පෞද්ගලික වෙළෙඳ සමාගම් මගින් ආනයනය කරනු ලබන පොහොර සඳහා රජය විසිsන් මිලක්‌ නියම කරයි. මෙම මිල එම පොහොර සඳහා වෙළෙඳපොළ තිබිය යුතු මිලට වඩා අඩු අගයකි. උදාහරණයක්‌ ලෙස යූරියා පොහොර, නිෂ්පාදන, ප්‍රවාහන සමාගම ලාභ ආදී සියල්ල ඇතුළුව වෙළෙඳපොළ මිල කිලෝ 50 මල්ල රුපියල් 3000 විය යුතු වන විට රජය එය රුපියල් 350 ලෙස පවත්වාගනී. පොහොර ආනයන කර බෙදා හරින සමාගම් සමඟ එකඟතාවකට පැමිණ සහනාධාර මිල හේතුවෙන් පොහොර සමාගම්වලට වන අලාභය රජය විසින් දරනු ලැබේ. එනම් අප රටේ ආදායම් බදු ගෙවන සියලු පුරවැසියන් විසින් දරනු ලැබේ.

පොහොර සහනාධාරයේ අරමුණු අතර ගොවියාට අඩු මිලට පොහොර සපයමින් ඔහුගේ නිෂ්පාදන වියදම අඩුකිරීම, ආහාර නිෂ්පාදනය වැඩි කිරීම, ආහාර මිල අඩු කිරීම, මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම, ග්‍රාමීය දුගී බව තුරන් කිරීම සහ කෘෂිකර්මාන්තය තුළ නව නිපැයුම් වැඩියෙන් බිහිවීම ආදිය සැලකේ. නමුත් සහනාධාර ශ්‍රී ලංකාවේ දෙනු ලබන ක්‍රමවේදය අනුව මෙම අරමුණුවලින් 50% වත් ඉටුවී නොමැති බවත් එය දේශීය කෘෂිකර්මාන්තය ක්‍රමයෙන් වළපල්ලට ගෙන යන උගුලක්‌ බවට පත්වී ඇති බව පෙන්වා දිය හැක. මෙම සහනාධාර ක්‍රමය කෘෂි ක්‍ෂේත්‍රයේ අරමුණු කොටගත් කොටස්‌ හෝ භෝගවලට නොවීමත් එය කෙටිකාලීන නොවන දීර්ඝ කාලීන එකක්‌ වීමත් මෙම අවාසි තත්ත්වයට බලපා ඇත. උදාහරණයක්‌ ලෙස වී වගාවේ අස්‌වැන්න සැලකියයුතු ප්‍රමාණයකින් ඉහළ දැමියහැකි පොහොර වර්ගයක තොරතුරු අපට ලැබී ඇති විටෙක එය අප රටේ දැනට තිබෙන තත්ත්වය අනුව නිෂ්පාදනය කර ගැනීමට නොහැකි විටෙක එය විදේශයෙන් ආනයනය කර සහනාධාර යටතේ ගොවියාට දැරිය හැකි මිලක්‌ නියම කර යම් කාල සීමාවකට දේශීය වී ගොවිතැනෙහි උන්නතිය වෙනුවෙන් හඳුන්වා දිය හැක. සහනාධාර කාල සීමාව තුළ රජය විසින් ඊට සමාන ප්‍රතිඵල ගත හැකි පොහොර වර්ග අප රටේ නිපදවීමේ යාන්ත්‍රණයක්‌ සඳහා දේශීය විද්‍යාඥයන් යොදා ගැනීම වහා කළ යුතුයි. තවද එම නව හඳුන්වා දුන් පොහොරවල පරිසරයට සහ මානව සෞඛ්‍යයට වන බලපෑම ආදිය පිළිබඳව ද නිසි අධ්‍යයනයක්‌ කළ යුතුය. මේ කිසිවක්‌ නොකර සහනාධාර යටතේ එම පොහොර වර්ගය දිගින් දිගටම භාවිත කිරීමට කටයුතු කිරීමෙන් අපේ වී වගාවට ඉන් සිදුවන්නේ දීර්ඝ කාලීන හානියකි. අවසන සිදුවන්නේ ගොවීන් එම සහනාධාර යටතේ ලැබෙන තාක්‌ෂණයට අනුගතවීමත් එතෙක්‌ භාවිත වූ දේශීය තාක්‌ෂණ ක්‍රමවේද අභාවයට යැමත්ය.

අප රටේ 1965 සිට 2015 දක්‌වා සියලු රජයන් විසින් දරන ලද දැවැන්ත පොහොර සහනාධාරයෙන් දේශීය කෘෂි කර්මාන්තයට ලැබුණු ප්‍රතිලාභ අපි සලකා බලමු. සහනාධාර යටතේ අපේ කුඹුරු සඳහා මේ දක්‌වා යොදන ලද අතිවිශාල පොහොර තොග සියල්ල ආනයනික පොහොර වීම හේතුවෙන් ඒ සඳහා ඇදී ගිය විදේශ විනිමය ප්‍රමාණය අතිවිශාලය. සහනාධාරය යටතේ පොහොරවල මිල විශාල පහළ බැසීමකට ලක්‌වීම තුළ භාවිතය ඉහළ ගියේය. එමගින් වාසි සැලසුනේ පොහොර නිෂ්පාදක විදේශ බහුජාතික සමාගම් සහ ඒවා ආනයනයකර බෙදාහරින දේශීය කෘෂි රසායන සමාගම්වලටය. නව රසායනික පොහොර යෙදීම හේතුවෙන් අස්‌වනු ඉහළ ගිය බව සත්‍යයකි. නමුත් ඒ යම් සීමාවක්‌ දක්‌වා පමණි. ඉන්පසු එය සැලකිය යුතු වැඩිවීමේ ප්‍රවණතාවක්‌ දැකගත නොහැක. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අස්‌වනු වැඩිකිරීමේ අරමුණින් යොදවන ලද පොහොර සහනාධාරය හේතුවෙන් පොහොර භාවිතය විශාල ලෙස වැඩිවීමේ ප්‍රවණතාවයකි. එනිසා අප රටේ පොහොර සහනාධාරයේ වාසිය සත්‍ය වශයෙන් නෙළාගෙන ඇත්තේ විදේශීය පොහොර නිෂ්පාදක සමාගම් සහ දේශීය බහු ජාතික කෘෂි රසායන සමාගම් විනා දේශීය කෘෂිකර්මාන්තය නොවන බව අප තේරුම් ගත යුතුය. අර්ථාන්විත සහනාධාර ක්‍රමවේදයකින් දේශීය කෘෂිකර්මාන්තයේ තිබෙන විශේෂිත ගැටලු දුර්වලතා දිගු කාලීනව විසඳීම සහ දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සුබදායී දිසාවකට හැරවීම සිදුවිය යුතුය. අප රටේ පොහොර සහනාධාර මීට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌ දේශීය කෘෂිකර්මාන්තයට අත්කරදී ඇත. දීර්ඝ කාලයක්‌ පුරාවට පසට මෙම රසායනික පොහොර එකතු කිරීම හේතුවෙන් පස ජෛව විද්‍යාත්මකව, භෞතිකව සහ රසායනිකවද දරුණු ලෙස පිරිහී ඇත. පෝෂක සමතුලිතවීම සහ ආම්ලිකතාව අහිතකර ලෙස වැඩිවීමට අමතරව පසට බැරලෝහ වැනි විෂ එක්‌වී දූෂණය වී ඇත. සහනාධාර යටතේ අපේ රටේ භාවිත වන පොහොරවල ඇති භයානක විෂ අපද්‍රව්‍ය අඩංගුව ඇති බව මහාචාර්ය දිසානායක සහ චන්ද්‍රජිත් වැනි විද්‍යාඥයන්ගේ උසස්‌ පර්යේෂණ තුළින් ද තහවුරු වී ඇත. මීට අමතරව 2015 වසරේ පුද්ගලික දේශීය කෘෂිරසායන සමාගමක ගබඩාවක තිබූ ආනයනික රසායනික පොහොර වල මිනිසාට අධික විෂ සහිත සහ වකුගඩු රෝගයට මුල්වන කැඩ්මියම් නම් බැරලෝහය තිබිය යුතු අවම සාන්ද්‍රණය මෙන් පස්‌ ගුණයකටත් වඩා වැඩියෙන් තිබූ බව වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයාද පෙනී සිටි ප්‍රවෘත්තිවල අපි සියල්ල නැරඹුවෙමු.

pohora1ඊස්‌ට්‍රජන් නමැති කාන්තා හෝමෝනය අනුකරණය කරන සංයෝග අඩංගු පලිබෝධ නාශක (Estrogenic Pesrticides) අප රටේ කිසිදු අවහිරයකින් තොරව භාවිත වන බව දැන ගැනීමට ඇත. ලෝකයේ වැඩිපුරම භාවිතයට තවමත් ගැනෙන ග්ලයිෆොසෙට්‌ වල්නාශකය පිළිකා ඇතිවීමට හේතුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විවිධ පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මේ සියල්ල සැලකීමේදී පොහොර සහනාධාරය සමඟ තවත් විවිධ ක්‍රම ඔස්‌සේ යොමුවුණු කෘෂිකාර්මික සහනාධාර වක්‍රව පරිසරය සහ මානව සෞඛ්‍ය විනාශ කිරීම සඳහා බලපාන ආකාර පැහැදිලි වේ.

නවීන විද්‍යාත්මක තාක්‌ෂණය භාවිත කරමින් නිපදවන ලද අධි අස්‌වනු සහිත භෝගවල පෝෂක නිසි පරිදි සැපයීම සහ එතුළින් අස්‌වනු විශාල ලෙස වැඩිකර ගැනීමේ අරමුණින් භාවිත කළ රසායනික පොහොරවලට විකල්පයක්‌ මේ වනතෙක්‌ දේශීයව අප ඉදිරිපත් කර නැත. පාලකයන් සහ විද්‍යාඥයන් කර ඇත්තේ එම පොහොර වර්ග භාවිත කරන ආකාරය සහ නිර්දේශ පිළිබඳ පරීක්‍ෂණ පමණි. එයින් සිදුව ඇත්තේ සහනාධාර මත මේවා නොකඩවා යෙදවීමට පියවර ගැනීම පමණි. විදේශ කෘෂි තාක්‌ෂණය අප රටට රැගෙනවිත් හඳුන්වා දීමට පමණක්‌ කෘෂි විද්‍යාඥයන්ගේ අවශ්‍යතාවක්‌ තිබේදැයි අප කල්පනා කළ යුතුය. කෘෂි උපාධිධරයෙක්‌ බිහිකිරීම සඳහා රජය ජනතා බදු මුදලින් රුපියල් මිලියන 2.5 පමණ වැය කරන විටෙක එසේ බිහිවන කෘෂි විද්‍යාඥයන් විදේශ කෘෂි අමුද්‍රව්‍ය සහ තාක්‌ෂණය මෙරටට හඳුන්වාදීමේ කාර්යභාරය පමණක්‌ කිරීම විශාල නාස්‌තියකි. එම කාර්යය කිරීමට අවශ්‍ය වන්නේ ආනයනකරුවන්, බෙදා හරින්නන් සහ වෙළෙඳ ප්‍රචාරකයන් පමණි. කෘෂි සහනාධාර අප රටේ භාවිත වන ක්‍රමවේදය තුළ විද්‍යාඥයන් අවභාවිත වීම බරපතළ ලෙස සිදුව ඇත.

විදේශ කෘෂි අමුද්‍රව්‍ය සහනාධාර නැවත ක්‍රියාවට නංවනවා වෙනුවට අප කළ යුත්තේ නව තාක්‌ෂණය උපයෝගී කොටගෙන ආහාර නිෂ්පාදනය අඩුවකින් තොරව පවත්වා ගැනීම සඳහා අප රටේම දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් පොහොර සහ අනෙකුත් කෘෂි අමුද්‍රව්‍ය නිපදවා ගැනීමේ වැඩසටහනක්‌ වහා ක්‍රියාවට නැංවීමයි. ඒ සඳහා අවශ්‍ය තාක්‌ෂණික දැනුමෙන් පිරි කෘෂි විද්‍යාඥයන් සහ අනෙකුත් විද්‍යාඥයන් අපේ විශ්වවිද්‍යාල තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි පර්යේෂණ ආයතන සහ පුද්ගලික අංශයේද සිටී. මොවුන් වැඩදායකව දේශීය කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා යොදා ගැනීම රජය සතු වගකීමකි.

මහාචාර්ය පී. අයි. යාපා

සබරගමුව විශ්වවිද්‍යාලය

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles