Divaina - ප්‍රමිති ආයතනය තොරතුරු දෙන තෙක් අපි වස කමු... සිද්ධිකා ඉවත්කිරීමෙන් ප‍්‍රශ්නය විසදේද?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 pramithi
 
 * නිෂ්පාදන භාණ්ඩ වර්ග 1117කට ප‍්‍රමිති ආයතනය එස්.එල්.එස් ලාංඡනය ලබාදී ඇත
 * සමාගම් බේරාගන්න උත්සහ දරන්නේ නිලධාරින්ද? දේශපාලඥයින්ද?

 
 උදේශ සංජීව ගමගේ
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියව සිටි සිද්ධිකා සේනාරත්න තනතුරින් ඉවත් කිරීම රටේ ජනතාවට ඒ හැටි දැනුනේ නැත. ඊට වඩා රටේ ජනතාවට ‘පුෂ්පිකාගේ ඔටුන්න’ ඉවත් කිරීමේ කතාව දැනී තිබිණි. රටේ ජනතාවට හ`ඩා වැළපෙන්නට තරම් බරපතළ ප‍්‍රශ්නයක් තරමටම එයට මාධ්‍යයෙන් පවා පුළුල් ප‍්‍රචාරයක් ලැබිණි. එහෙත් ඇත්තම ප‍්‍රශ්නය යට ගොසිනි. රටේ ජනතාවට වැළපෙන්නට නොව වැළලෙන්නට තරම් ප‍්‍රශ්නයක් ඉතිරිව තිබේ. ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කළ පමණින්ම එම ප‍්‍රශ්නය විසඳෙන්නේ නැත. රටේ වගකිවයුතු අය සඟවන්නට උත්සාහ දරන, රටේ ජනතාවට අලූත් අවුරුදු සමය අවසන් වනවිට අමතකව යන බරපතළ ප‍්‍රශ්නයක් එතැන තිබේ. ඒ ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කී දේ තුළ ඇති බියකරු තත්ත්වයයි. කතාවේ මුලට යෑමේ අවශ්‍යතාවක් නැත. ඒ අදාළ කාරණය ගැන මේ වනවිට රටේ හැමෝම (නොදන්නා ගානට සිටින මුත්) දන්නා නිසාය.
 
 
 * විෂ කාරක අඩංගු පොල්තෙල්
 
 ඒ කතාවේ ආරම්භය වන්නේ මෙරටට පිළිකා විෂ කාරක සහිත (එනම් ඇෆ්ලටොක්සීන් විෂ කාරකය) පොල්තෙල් අඩංගු කන්ටේනර 13 ක් ගෙන්වා ඇතැයි යන ප‍්‍රවෘත්තිය රටට ගලා යෑමත් සමගය. විස පොල්තෙල් රටට ගෙන්වා ඇති බව අනාවරණය වූයේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් පැවැත්වූ සාකච්ඡාවක් නිසාය. එම මාධ්‍ය සාකච්ඡාව නොතිබෙන්නට සකල සිරින් පිරි සිරි ලංකාවේ අපි පිළිකා කාරක භාවිත විස පොල්තෙල් යහමින් පරිභෝජනය කරන්නෙමු. මේ ගැන රටේ විශාල ආන්දෝලනයක් මතු වනවිට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියව සිටි සිද්ධිකා සේනාරත්නයන්ගෙන් මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කර සිටියහ. එතැනදී ඇය ලබා දෙන පිළිතුරු හාස්‍යජනක ඒවා සේ පෙනුන ද තණකොළ නුබුදින අයගේ රෝම කූප කෙලින් කරවන අන්දමේ ඒවාය. ඇයට අනුව විස පොල්තෙල් ගෙන්වන සමාගම්වල නම් ගම් හෙළිදරව් කළ නොහැකිය. එසේ වූ විට අදාළ සමාගම් ඇද වැටෙන්නට හැකියාවක් තිබේ. ඒ නිසා එම සමාගම් නිවැරදි මාර්ගයට ගැනීමට කටයුතු කළ යුතුය. සිද්ධිකා සේනාරත්න එසේ කියන විට මාධ්‍ය ප‍්‍රශ්න කරන්නේ ඒ වනතුරු ජනතාව වසවිස කෑ යුතු ද යන්නය. ඊට ඇය දෙන පිළිතුර ද අපූරු එකකි. එනම්, එසේ වන්නේ කෙටි කලකට පමණක් බවය. එය අප තේරුම්ගත යුත්තේ ජනතාව කෙටි කලක් වසවිස අනුභව කිරීමෙහි වරදක් නැත යන්නය. අප දැනටමත් වසවිස කමින් සිටින නිසා සිද්ධිකා සේනාරත්න එසේ කීවා දැයි අප දන්නේ නැත. කෙසේ හෝ දැන් ඇය එම පුටුවේ නැත. එහෙත් ආණ්ඩුව ඇයගේ එම ප‍්‍රකාශය ප‍්‍රචාරය වූදා සිට මේ වනතෙක් ඒ සමාගම් මොනවාදැයි ඇයගෙන් ප‍්‍රශ්න කළ බවක් හෝ අදාළ සමාගම්වලට එරෙහිව කි‍්‍රයාත්මක වූ බවක් අප දුටුවේ නැත. ඒ නිසාම කිසිදු සැකයකින් තොරව ‘සිද්ධිකා’ කී ආකාරයට කෙටි කාලයක් නොව හැකි උපරිම කාලයක් අපට වසවිස කන්නට වන බව නියතය. ඊට හේතුව ප‍්‍රමිති ආයතනයේ ‘ප‍්‍රමිතිය’ පිළිබඳව දැන් අපට සැක කරන්නට ඕනෑවටත් වඩා කාරණා ඇති නිසාය.
 
 * කවුද මේ සිද්ධිකා සේනාරත්න
 
 වසවිස ගෙන්වන සමාගම් වෙනුවෙන් සෘජුවම පෙනී සිටි සිද්ධිකා සේනාරත්නගේ පැටිකිරිය ගැන සොයන විට ඇයට මෙවැනි තකිතීරු අදහස් පහලවීම පිළිබඳව පුදුම සිතේ.
 
 සිද්ධිකා සේනාරත්න යනු 2002 වර්ෂයේදී පියයුරු පිළිකා සඳහා භාවිත කරන Zoledronic acid නම් පියයුරු පිළිකා සඳහා භාවිත කරන එන්නත සොයා ගත් තැනැත්තියයි. එය ලොව පළමුවරට පියයුරු පිළිකා සඳහා අත්හදා බැලූ එන්නත ලෙස ඉතිහාසගත වේ. ආචාර්ය සිද්ධිකා සේනාරත්න ලොව පිළිගත් වෛද්‍ය පර්යේෂණයක් සිදුකළ වෛද්‍ය පර්යේෂිකාවක් ලෙස හැඳින්වේ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හිමිකරගෙන ඇති සිද්ධිකා 2002 වර්ෂයේදී ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් වෛද්‍ය විද්‍යාලයෙන් ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්තාය. එමෙන්ම ඇය ඇමරිකාවේ ජෝනිස් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාලයෙන් හා උතුරු කැරෝලිනා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් ආචාර්ය උපාධියද හිමි කරගෙන ඇත. ශී‍්‍ර ලංකා කාර්මික තාක්ෂණික අංශයේ පර්යේෂිකාවක ලෙස ඇය සිය පළමු රැකියාව තෝරා ගන්නීය. එහිදී එම ආයතනයට විශාල අඩුපාඩුවක්ව පැවති ජෛව පර්යේෂණ ඒකකය ගොඩනැංවීමටත් එය දියුණු තත්ත්වයකට පත් කිරීමටත් ඇය කටයුතු කළාය. එපමණක් නොව එම ජෛව පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කටයුතු වසර දෙකක් වැනි සුළු කාලයක් තුළ ආරම්භ කිරීමට ඇයට හැකි විණි. මේ කටයුත්ත සඳහා අවශ්‍ය අරමුදල් ඇය ලබා ගත්තේ ආයතනයෙන් නොව පිටතිනි. අනතුරුව ශී‍්‍ර ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ද පර්යේෂණ, සැලසුම් හා සංවර්ධන අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ ආචාර්ය සිද්ධිකා සේනාරත්න, ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයට පත්ව එන්නේ 2018 වර්ෂයේදීය. එකී තනතුරට පත්වී වසරක් ගත වනවිට ප‍්‍රමිති ආයතනයේ ආදායම මිලියන සියයකින් පමණ වැඩි කර ගැනීමට ඇය සමත් වී තිබිණි.
 
 පියයුරු පිළිකා සඳහා සාර්ථකව අත්හදා බැලූ පළමු එන්නත සොයා ගත් සිද්ධිකා සේනාරත්න වර්තමානහෙ රටේ ප‍්‍රකට වන්නේ ජනතාවට පිළිකා කාරක වසවිස ‘මද පමණින්’ කවන්නට උත්සාහ කළ තැනැත්තියක ලෙසයි. දැන් රටේ ජනතාව සිතන්නේ සිද්ධිකා සේනාරත්න පමණක් නොව ප‍්‍රමිති ආයතනයේ බොහෝ දෙනෙක් මහා පරිමාණයේ සමාගම් සමග එක්ව තමන්ට වසවිස කවන බවය. සිදුවෙමින් පවතින දේ අනුව එසේ සිතීම සාධාරණය.
 
 
 * මොකක්ද මේ ප‍්‍රමිති ආයතනය කියන්නේ
 
 ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය 1964 අංක 38 දරන ලංකා ප‍්‍රමිති කාර්යාංශ පනත යටතේ 1964 වර්ෂයේදී ස්ථාපනය කරන ලද ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමිති පිළිබඳ ජාතික ආයතනය වේ. 1984 අංක 06 දරන ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතන පනත මගින් එම පනත අවලංගු කොට ආදේශ කරන තෙක් ආයතනය කි‍්‍රයාත්මක වන ලද්දේ ‘ප‍්‍රමිති කාර්යාංශය’ යන නාමය යටතේය. මේ වනවිට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විද්‍යා තාක්ෂණය සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වෙයි. ඉහත කී පනත යටතේ විෂය භාර ඇමැතිවරයා විසින් පත්කරනු ලැබූ උපදේශක සභාවක් මගින් ආයතනය පාලනය වේ. ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය ජිනීවාහි මූලස්ථානය පිහිටි ප‍්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයෙහි එනම් (ISO) අයි. එස්. ඕ. (ජාත්‍යන්තර ප‍්‍රමිති සංවිධානය) සාමාජිකයකු වේ. එම සංවිධානයේ සාමාජිකයකු ලෙස ජාතික ප‍්‍රමිති ආයතනයේ තම ජාතික ප‍්‍රමිති පිටපත් අන්‍යොන්‍ය පදනමින් හුවමාරු කර ගනියි. එමෙන්ම ප‍්‍රමිති, තාක්ෂණික රෙගුලාසි සහ ප‍්‍රමිති බැඳුනු කි‍්‍රයාකාරකම් පිළිබඳ ජාතික මට්ටමින් ප‍්‍රජාවට තොරතුරු ප‍්‍රචාරණය කිරීමේ වගකීම උසුලයි. යම් භාණ්ඩයක් සාමාන්‍ය පාරිභෝගිකයකු පියවි ඇසින් දුටු විට එය නිසි ප‍්‍රමිතියෙන් යුත් භාණ්ඩයක් ද යන්න තීරණය කිරීමට හැකියාවක් නොමැති හෙයින් භාණ්ඩ මිලට ගැනීමේදී ප‍්‍රමිති ලාංඡනය (එස්. එල්. එස්. - SLS) පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ලබාදීමට ප‍්‍රමිති ආයතනය බැඳී සිටී. එය පාරිභෝගික සුරක්ෂිතතාවයේ අත්‍යවශ්‍ය සාධකයකි. භාණ්ඩයක් සඳහා එස්. එල්. එස්. ප‍්‍රමිති සහතිකය ලබාදෙනුයේ ඊට අදාළ සියලූ ප‍්‍රමිතින් නිසි ප‍්‍රමිතියෙන් යුත් පරීක්ෂණාගාරයක තත්ත්ව පරීක්ෂාවට ලක් කිරීමෙනි. නිෂ්පාදන භාණ්ඩවලට පමණක් නොව නොයෙක් කළමනාකරණ පද්ධතීන් සඳහා ද එස්. එල්. එස්. ලාංඡනය ලබාදීමට කටයුතු කරයි. ජාතික ප‍්‍රමිති ආයතනයේ සුදුසුකම් ලත් තත්ත්ව පරීක්ෂකවරු 135 දෙනෙක් දිවයින පුරා විසිරී සිටින අතර එම පරීක්ෂකවරු අදාළ ආයතනවලට ගොස් භාණ්ඩය නිෂ්පාදනය කරන සම්පූර්ණ කි‍්‍රයාවලියම පරීක්ෂාවට ලක් කරති. එක් එක් නිෂ්පාදනයට අදාළ ප‍්‍රමිති හඳුන්වාදී ඇති අතර, එකී ප‍්‍රමිතීන්වලට අදාළ වූ කරුණු කාරණා සම්පූර්ණ කර ඇත්දැයි එම පරීක්ෂකරු නිරීක්ෂණය කරති. එම කරුණු ගැන සැලකිලිමත් වී භාණ්ඩ නිෂ්පාදනය කළහොත් පමණක් එස්. එල්. එස්. ලාංඡනය පිරිනැමේ. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ එම ප‍්‍රමිති ලාංඡනය ලබාදුන් පසුව අඛණ්ඩව එම සහතිකයේ ප‍්‍රමිතීන්ට අනුව කටයුතු සිදුවේද යන්න ප‍්‍රමිති ආයතනය සොයා බලන බවය.
 
 
 * පිළිකා කාරක තිබෙන්නේ පොල්තෙල්වල විතරද?
 
 පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට සොයා ගත්තෙත් මෙවැනි පුළුල් කි‍්‍රයාදාමයක් සහිත ප‍්‍රමිති ආයතනයක් අපට තිබියදීය. අප කෑ වස ප‍්‍රමාණයේ තරම ඉන් වටහාගත හැක. රටේ ජනතාව සිහිතබා ගත යුතු වැදගත්ම කාරණයනම් නිෂ්පාදන භාණ්ඩ වර්ග 1117කට ප‍්‍රමිති ආයතනය එස්.එල්.එස් ලාංඡනය ලබාදී ඇති බවය. ‘සමාගම් බිඳ වැටීමට ඉඩ ඇති නිසා’ බොහෝ දේ හෙළිදරව් නොවූ ආයතන මේ අතරින් කොපමණ තිබිය හැකිද? එම නිෂ්පාදන භාණ්ඩ වර්ග 1117ට ආහාර නිෂ්පාදන මෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීමට අවැසි උපකරණ නිෂ්පාදන භාණ්ඩ වර්ගද අයත් වේ. ඇත්ත වශයෙන්ම මෙහිදී අප භාවිත කරන පරිභෝජනය කරන නිෂ්පාදනයන් පිළිබඳව විශාල සැකයක් ඉපැදීම වැළැක්විය නොහැකි කරුණක් බවට පත්ව තිබේ. පසුගිය සති දෙකකට පෙරාතුව පිළිකා කාරක ඇෆ්ලටොක්සීන් පොල්තෙල්වල අඩංගු බව වාර්තා වීම් සමගම ජාතික ප‍්‍රමිති ආයතනයේ කන්ටේනර් 13 ක බහාලූ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝ ග‍්‍රෑම් මිලියන 1.8 ක් පරීක්‍ෂාවට ලක් කළේය. අනතුරුව එම ආයතනය ප‍්‍රකාශ කළේ පිළිකා කාරක ඇෆ්ලටොක්සීන් එම තෙල්වල අඩංගු වන බවය. (හැමදාම කතාව නම් පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් අඩංගු බව කීම ඉතිහාසගත වන අන්දමේ පර්යේෂණයක් නොවන බවය. එහෙත් සාමාන්‍යයෙන් පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝවක අඩංගුව තිබිය යුතු ඇෆ්ලටොක්සීන් ප‍්‍රමාණයක් පිළිබඳ ‘ප‍්‍රමතියක්’ තිබේ.) සාමාන්‍ය තත්ත්වය යටතේ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝවක ඇෆ්ලටොක්සීන් මයික්‍රෝ ග‍්‍රෑම් 10 ක් පමණ තිබිය යුතු වේ යැයි කියති. එහෙත් ආනයනය කර තිබූ පරිපහදු නොකළ පොල්තෙල් කිලෝවක ඇෆ්ලටොක්සීන් මයික්‍රෝ ග‍්‍රෑම් 30කට වැඩියෙන් තිබී ඇත. ඒ අනුව එම ප‍්‍රමාණය සාමාන්‍ය ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක ඉහළ යෑමකි. නිවැරදිව කිවහොත් මේ තත්ත්වය හඳුනාගත හැකි වන්නේ රසායනාගාරයක සිදුකරන පරීක්‍ෂණයකින් අනතුරුවය.
 
* බන්දුලගේ විහිළු කතා
 
 එසේ තිබියදී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මාධ්‍ය හමුවකදී කීවේ එවැනි ‘පිළිකා කාරක අඩංගු යැයි කියන පාරිභෝගික පැමිණිලි රජයට ලැබී නැති බවය. සාමාන්‍ය ජනතාව වෙළෙඳපොළට යන්නේ ප‍්‍රමිති ලාංඡනය ගැන විශ්වාසයෙන් මිස ‘පර්යේෂණාගාර කට්ටල’ රැගෙන නොවන බව ඇමැතිවරයාට කවුරුන් හෝ තේරුම් බේරුම්කර දිය යුතුය. පාරිභෝගික ජනතාවට එම නිෂ්පාදනයන් තුළ ඇති රසායනික සංඝටක පිළිබඳව අවබෝධයක් නැත. ජාතික ප‍්‍රමිති ආයතනයේදී මෙන්ම භාණ්ඩ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා ගන්නා තැන සිට ම විධිමත් පරීක්‍ෂාවක් කරනවා යැයි කී විට එතැනින් එහා ඒ ගැන විමසීමේ අවශ්‍යතාවක් මතුවන්නේද නැත. මේ ගැන නොදන්නා කවරකු හෝ අවබෝධ කරගත යුතු කාරණය වන්නේ හඳුනාගත් භාණ්ඩ 123 ක් මෙරටට ආනයනය කිරීමේදී ශී‍්‍ර ලංකා ප‍්‍රමිතියට ඇත්දැයි සොයා බලා එස්.එල්.එස් සහතිකය පිරිනමන බවය. එය ජාතික ප‍්‍රමිති ආයතනය ගැන ආනයන අපනයන දෙපාර්තමේන්තුව එක්ව කරන කටයුත්තකි. රේගු දෙපාර්තමේන්තුවේ බහාලූම් අංගණවලින් පිට කළ පසුත් නැවත නැවතත් එම පිළිකාකාරක අඩංගු යැයි කියන පොල්තෙල් පරීක්‍ෂාවට ලක් කරන්නේ එවැනි තත්ත්වයක් යටතේය. ලොව කවර රටක් වුවද යම්කිසි නිෂ්පාදනයක් අපනයනය කිරීමේදී එම භාණ්ඩ නැව්ගත කිරීමේදී හෝ ප‍්‍රවාහනයට යොමුකරන අවස්ථාවේදී එම නිෂ්පාදනය පිළිබඳ රසායනාගාරයකින් ලබාගන්නා තත්ත්ව සහතිකයක් නිකුත් කරනු ලැබේ. එය අනිවාර්යය කි‍්‍රයාවලියකි. එසේ තිබියදී මෙම පොල්තෙල් කිලෝ ග‍්‍රෑම් මිලියන 1.8 ක ප‍්‍රමාණය කරුණු කාරණා නොදැන ආනයනය කර ඇති බවත් අප විශ්වාස කරන්නේ නැත. බජාර් භාෂාවෙන් කියනවනම් මෙය තනිකරවම ‘ගේමකි’. එවැනි ‘ගේමක’ සිටින උදවියට ජාතික ප‍්‍රමිති ආයතනය නොව ආණ්ඩුවේ මැති ඇමැතිවරුද ‘බා ගැනීම’ ලෙහෙසි පහසු දෙයකි. උපරිම ලාභය වෙනුවෙන් රටේ ජනතාවට වස විෂ කැවීම මහා පරිමාණයේ මුදලාලිලා මහා පරිමාණයෙන් කරන්නේ අදක ඊයේක හිඳ නොවන බව මතක් කළ යුතුය.
 
 අපේ රට ඈත අතීතයේ සිටම පොල්තෙල් බහුලව භාවිත කරන රටකි. ලොව පිරිසිදුම පොල්තෙල් නිපදවීමේ තාක්‍ෂණය අතීතයේ සිටම අප සතුව පැවැතුණි. අද වනවිටත් අපේ රටේ පිරිසිදුම පොල්තෙල් ඉතා ඉහළ මිල ගණන්වලට වෙනත් රටවල් මිලට ගන්නේ ඒ නිසාය. එක් යුගයක ශී‍්‍ර ලංකාව යුරෝපයට, එංගලන්තයට හා ජපානයට පොල්තෙල් අපනයනය කළ බව අමතක නොකළ යුතුය.
 
 මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 180,000 ක් පමණ වන අතර ඉන් මෙටි‍්‍රක් ටොන් 120,000 ක් පමණ එදිනෙදා ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදා ගැනේ. මෙටි‍්‍රක් ටොන් 60,000 ක් යොදා ගන්නේ විවිධ කර්මාන්ත සඳහාය. එහෙත් අවශ්‍යතාවට අනුව පොල්තෙල් නිෂ්පාදනය වන්නේ නැත. නිෂ්පාදනය වන්නේ වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 20,000 ත්් 30,000 ත් අතර ප‍්‍රමාණයකි. මෙටි‍්‍රක් ටොන් 10,000 ක් පමණ වාර්ෂිකව ආනයනය කරනු ලබයි. ඊට වාර්ෂිකව රුපියල් බිලියන 60-70 ක් අතර ප‍්‍රමාණයක් වැයවේ. ඒ අනුව ගත් කළ ලෝකයට පිරිසිදු පොල්තෙල් දුන් රටක් ලෙස පාලකයන්ගේ දුර්වල පරිපාලනය නිසා අපි පිටරටින් පොල් ගෙන්වමින් සිටිමු. පොල්තෙල් මින් වස විෂ ආදේශක ගෙන්වමින් සිටිමු. පිරිපහදු නොකළ පොල්තෙල් රටට ගෙන්වීම වැඩිවූයේ 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිටය. ඊට හේතුව ලෙස දැක්වූයේ පොල් ඵලදාව අඩුවීම, දේශීය වෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යෑම යන කරුණුය. එපමණකින් නොනැවතී පිරිපහදු නොකළ පොල්තෙල් බද්ද අඩු කරන්නට ද ආණ්ඩුව කටයුතු කළේය. ඒ සමගම පොල්තෙල් ආනයනය ආරම්භ කෙරිණි. පාම්තෙල් බද්ද වැඩිකොට පිරිපහදු නොකළ පොල්තෙල් බද්ද අඩු කරනවිට ඊට සමගාමීව රට තුළ පිරිපහදු කර්මාන්ත ශාලා කිහිපයක්ද ආරම්භ කෙරිණි. කොහොමත් පොල්තෙල් මේ වනවිට නිපදවන්නේ විශාල කර්මාන්ත ශාලාවලය.
 
 එම කර්මාන්ත ශාලාවලදී නව තාක්‍ෂණික ක‍්‍රම අනුගමනය කරමින් නිපදවන පොල්තෙල්වලට නොයෙක් රසායනික සංඝටක එකතු කරනු ලබයි. ඒ, ඒවා ගුණාත්මක පොල්තෙල් බව පෙන්වීමටය. පොල්තෙල් සුවඳ ගැන්වීමටද රසායනයක් (සුවඳ ගැන්වීමේ) එකතු කරනු ලබයි. මේ සියල්ල කරනුයේ ඒවා ඉස්තරම් පොල්තෙල් බව පෙන්වීමටය. අප ඉහත පෙන්වා දුන් පරිදි මේ වනවිට පොල් ඵලදාවේ අඩුවක් මෙන්ම පොල් හිඟයක්ද පවතී. (පොල් ඉඩම් කට්ටිකර විකිණීමද මීට හේතුවී තිබේ.) ඒ නිසාම රටේ පොල් අවශ්‍යතාව සැපයීරීමට ආනයනය කරන බොල්තෙල්වලින් උපරිම ලාභයක් ලබන්නට සමාගම් විවිධ උපක‍්‍රම භාවිත කරති. පසුගිය ආණ්ඩුව පිරිපහදු නොකළ පාම්තෙල් ආනයන බද්ද අඩු කළවිට ජාවාරම්කාර සමාගම් ඒවා පොල්තෙල් සමග කලවම්කොට විකිණීමේ කි‍්‍රයාවලියක්ද තිබිණි. එමෙන්ම 60%ක පොල්තෙල් ලෙසද ඉතිරි 40%ක් වෙනත් රසායනිකයන් යොදා ගනිමින් පොල්තෙල් යැයි කියමින් වෙළෙඳ පොළට නිකුත් කිරීමද සිදුවේ. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියන පරිදි මේවා ගැන පාරිභෝගික පැමිණිලි ලැබෙන්නේ නැත. ඊට හේතුව පොල්තෙල් සුවඳෙහි, පැහැයේ වෙනසක් නැත. ආහාර පිසීමට එක්කරන විට රසෙහි වෙනසක් නැත. මුලින් කීවාක් මෙන් ගෙදර කුස්සියේ රසායනාගාර පරීක්‍ෂණ කට්ටල නැත. ඉතිං අප කන්නේ වසය.
 
  * නුෂාඞ් පෙරේරා මඟ හරියි
 
 සිද්ධිකා සේනාරත්න ඉවත් කිරීමෙන් පමණක් මේ ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව අප කීවේ එවැන්නකි. ප‍්‍රමිති ආයතනයේ සභාපතිවරයා වන නුෂාඞ් පෙරේරා මේ කතාවේදී සිටින්නේ ‘නිර්වින්දනය’ කළ මට්ටමකය. සීනි බදු වංචාවේදී නුෂාඞ් පෙරේරා සතොසින් ඉවත් කර ප‍්‍රමිති ආයතනයට ඇද දැමුවක් මෙන් සිද්ධිකා ඉවත්කොට වෙනත් ආයතනයක හිඳුවීමෙන් ‘ඇත්ත ප‍්‍රශ්නයට’ විසඳුම් ලැබෙන්නේ නැත. ලසන්ත අලගියවන්න ඇමැතිවරයා පසුගියදා පවසා තිබුණේ ‘පොල්තෙල් කන්නට අනිසි විසක් ඇති කරන්නට එපා’ යනුවෙනි. නැවතත් කියමු. රටේ ජනතාවට බිය සැක උපද්දවා ගන්නට තරම් කරුණු කාරණා යෙදී තිබේ. ඒවාට ආණ්ඩුවෙන් නිසි පිළිතුරක් නැත. සිද්ධිකා සේනාරත්න කිව් පරිදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ආනයන කරන වෙනත් සමාගම් තිබේනම් ඒවායේ නම් හෙළි කරන්නට යැයි සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය අපේ‍්‍රල් 5 වැනි දින ජාතික ප‍්‍රමිති ආයතනයෙන් ඉල්ලා තිබිණි. ඒ ඉල්ලීම කළේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේය. ඔව්හු නුෂාඞ් පෙරේරා ද මුණගැසී මේගැන සාකච්ඡා කළහ. එදින නුෂාඞ් පෙරේරා කීවේ ‘තමන්ට කිසික් සැඟවීමට හෝ ආරක්‍ෂා කිරීමට’ අවශ්‍යතාවක් නැත’ යනුවෙනි. අදාළ තොරතුරු ඊට පසුදින ලබාදීමට පියවර ගන්නා බවද ඔහු කියා තිබිණි. එහෙත් ඉතා නිර්ලජ්ජිත ලෙස ඔහු එම පොරොන්දුව කඩ කළේය. පසුදින එහි ගිය සිවිල් සංවිධාන සාමාජිකයන්ට ආයතන පරිශ‍්‍රයට ඇතළු වීමට හෝ ඉඩක් ලැබුණේ නැත. ප‍්‍රමිති ආයතනය ප‍්‍රකාශ කර තිබුණේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබ, අනතුරුව අදාළ තොරතුරු ලබාදෙන බවය. 2016 වර්ෂයෙන් පසු පාර්ලිමේන්තුවට විශේෂිත වාර්තා ඉදිරිපත් කර නැති ප‍්‍රමිති ආයතනය, මේ තොරතුරු ලබා දෙන්නට වසර කීයක් ගතවීද යන්න නිශ්චය කළ නොහැකිය. එතෙක් දේශපාලනඥයන්, නිලධාරීන් සහ වගකිවයුත්තන් අපට කවන වස විෂ අනුභව කොට ඔවුන්ට පුණ්‍යානුමෝදනා කොට වතාවත්වල යෙදී අවුරුදු සැමරීම මැනවි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles