Divaina - පාස්කු ප්‍රහාරයේ න්‍යාය සහ ව්‍යවහාරය... ප‍්‍රහාරයේ මහ මොළකරු සහ මහ අරමුදල්කරු මෙන්න

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 pasku
 එරික් ගාමිණී ජිනප‍්‍රිය
 
ලබන අපේ‍්‍රල් 21 වැනි දිනට පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කර වසර දෙකක් සම්පූර්ණ වේ. එම ම්ලේච්ඡ ප‍්‍රහාරය එල්ල වී වසර දෙකක් ඉක්ම ගියත් තවමත් කතා කරන්නේ සහරාන් හෂිම්ගේ ඉස්සරහින් සහ පිටුපසින් සිටියේ කවුද යන්න පිළිබඳව පමණි. ඒ පිළිබඳව කතා කළ යුතු වුවත් ප‍්‍රශ්නය වී තිබෙන්නේ ඒ පිළිබඳව කතා කරන පුද්ගලයන් බඬේ බිජු තබාගෙන කතා කරන බව පෙනී යන බැවිනි. අපට එසේ ප‍්‍රකාශ කිරීමට සිදුවී තිබෙන්නේ විපක්ෂයේ දේශපානඥයන් තම දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව එම ප‍්‍රහාරය පිළිබඳව අර්ථකථන ඉදිරිපත් කරන බව පෙනෙන්නට තිබෙන බැවිනි.
 
 කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සහරාන් හෂීම් පසුපස සිටියේ කවුද යන්න හෙළිදරව් කර ගත යුතු බව අවධාරණය කරන්නේ නැවත එබඳු කුරිරු ප‍්‍රහාරයක් එල්ලවීම වැළැක්වීම සහ එම ම්ලේච්ඡ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම යන අරමුණු පෙරදැරිවය. එම පසුබිම තුළ පසුගිය දිනක සරත් වීරසේකර ඇමැතිවරයා විසින් නවුෆර් මවුලවි හෙවත් මොහොමඞ් ඉබ‍්‍රාහිම් මොහොමඞ් නවුෆර් පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුන්වා දී තිබුණි. එම හඳුන්වාදීම පිළිබඳව විපක්ෂයේ දේශපාලනඥයන් කිහිපදෙනකුම පුදුමයට පත්වී කරතිබූ ප‍්‍රකාශවලින් පෙනී යන්නේ එම දේශපාලනඥයන්ගේ සිංහල භාෂාව පිළිබඳ ඇති දැනුමේ දුප්පත්කම සහ ඔවුන් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශන කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පවා කියවා නොමැති බව පමණි.
 
 නවුෆර් මවුලවි පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුන්වා දීම නව අර්ථකථනයක් වුවත් ඊට පෙර ඔහුට ඊට ආසන්න වචනවලින් හඳුන්වා දී ඇත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශන කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේ නවුෆර් මවුුලවි පිළිබඳව සඳහන් කර තිබෙන්නේ ‘නවුෆර් විසින් ඉටු කරන ලද භූමිකාව කණ්ඩායමේ න්‍යායාචාර්යවරයකුගේ කාර්යභාරයට වඩාත් සමීප බවයි.’ එම පසුබිම තුළ නවුෆර් මවුලවි මහමොළකරු ලෙස හඳුන්වාදීම පුදුමයට පත්වීමට කාරණයක් වන්නේ නැත. එලෙස සඳහන් කළ හැක්කේ න්‍යායාචාර්ය කිව්වත් මහමොළකරු කිව්වත් එහි එතරම් වෙනසක් නොමැති බැවිනි. එල්. ටී. ටී. ඊ. සංවිධානයට ඇන්ටන් බාලසිංහම් මෙන්ම ජාතික තව්හිද් ජමාත් සංවිධානයට න්‍යායාචාර්යවරයා හෙවත් මහමොළකරු වූ නවුෆර් මවුලවි උපත ලබා ඇත්තේ 1978 නොවැම්බර් 30 වැනි දින කාත්තණ්කුඩියේදීය. ඔහු අ. පො. ස. (සා/පෙළ) දක්වා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කාත්තන්කුඩි මීරා බාලිකා විද්‍යාලය, කාත්තණ්කුඩි මධ්‍ය මහා විද්‍යාලය සහ කාන්තණ්කුඩි ජැමියල් ෆාලාහි යන පාසල් වලිනි. ඉන් පසුව ඔහු උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත්තේ ශ‍්‍රී ලංකා ජමෙයිතුල් ඉස්ලාම් සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ මාදම්පෙ ඉස්ලාමියා අරාබි විද්‍යාලයෙනි.
 
 නවුෆර් මවුලවීගේ ඉරණම තීරණය කළ ඉස්ලාමීය අන්තවාදයට ඔහුව නිරාවරණය වී ඇත්තේ ද මාදම්පෙ ඉස්ලාමියා අරාබි විද්‍යාලයේදීය. එහිදී ඔහුට ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව උගන්වා ඇති අතර විඩියෝ දර්ශන මාර්ගයෙන් ඇෆ්ගනිස්තානය, බොස්නියාව සහ චෙච්නියාව යන රටවල මුස්ලිම්වරුන් මුහුණදෙන ගැටලූ පෙන්වා ඇත. එහිදී ඔහුට ආයුධ පුහුණුව අනිවාර්ය බව උගන්වා ඇති අතර සෑම වසරකම සිසුන් කැලෑවට ගෙන ගොස් පුහුණු කඳවුරුවලදී පුහුණුව ලබා දී ඇත. ඉන් අනතුරුව ඔහුට ජමෙයිතුල් ඉස්ලාමී සංවිධානයේ ප‍්‍රචාරක නිලධාරියෙකු ලෙස පත්කර ඇත. එම කටයුතු සිදුවී ඇති කාල සීමාව 1990 දශකයේ විය හැකි බව පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳව විමර්ශන කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේදී සඳහන් කර ඇත. ඉන් අනතුරුව නවුෆර් 2000 සිට 2004 දක්වා අග්නිදිග විශ්වවිද්‍යාලයේ අරාබි සංස්කෘතිය ඉගෙන ගෙන ඇත.
 
 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන් එක් සාක්ෂිකරුවකුට අනුව නවුෆර් මවුලවි තවුහිද් දෙසට නැඹුරු වී ඇත්තේ සාලාෆි අනුගාමිකයකු වූ එහියාස් ඉල්මිගේ ආභාසය හේතුවෙනි. එම මූලාශ‍්‍රයට අනුව මුහුණු පොතේ අයි. එස්.අයි. එස්. මතවාදයන් පිළිබඳව පළ කිරීම ආරම්භ කළ පළමු ශ‍්‍රී ලංකිකයා වන්නේද නවුෆර්ය.
 
 ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන්වන ආකාරයට නවුෆර් මවුලවිට පළමුවෙන්ම සහරාන් හෂිම් මුණගැසී ඇත්තේ 2004 දී පමණ සහරාන් ඉස්ලාම් දහම ඉගෙන ගැනීම සඳහා කත්තණ්කුඩි හි ජමෙයිතුල් ෆාලා මද්‍රසා වෙත ඇතුළත් වී සිටියදීය. නමුත් ඊට පෙර 2003 දී නවුෆර්, මොහොමඞ් සිත්ති හජිරා සමග විවාහ වී ඇති අතර ඇය සහරාන්ගේ බිරිඳ වූ හාදියාගේ මවගේ සහෝදරියකි. කෙසේ වුවත් නවුෆර් සහරාන්ව වහබ්වාදය වෙත යොමු කිරීම පටන් ගෙන ඇත්තේ 2004 දී පමණ කාත්තණකුඩියේ ජමෙයිතුල් ෆාලා, මද්‍රසා වෙත ඇතුළත්ව සිටියදීය. සහරාන් හෂීම් 2005, 2006 දී පමණ ඩාරුල් අද්හාර් අද් දයියා නමින් සංවිධානයක් ආරම්භ කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස ක‍්‍රියා කොට ඇත්තේ නවුෆර්, මවුලවි නෂ්මාල්, මවුලවි අෂ්ෆර් රවුෆ් සහ තව්පික්ය. එසේ වුවද සහරාන් හෂීම්ගේ බිරිඳවන හාදීයා සඳහන් කර ඇති ආකාරයට 2008 දී නවුෆර් කටාර් රාජ්‍යය බලා පිටත්ව යෑමට පෙර සහරාන් සහ නවුෆර් අතර හිත් නොහොඳවීමක් ඇතිවී ඇත.
 
 නවුෆර් 2006 දී කටාර් රාජ්‍යය බලා ගියත් මාස හයකින් ආපසු පැමිණ ඇති අතර ඉන් අනතුරුව ඔහු අමානා ජාත්‍යන්තර පාසලේ ගුරුවරයකු ලෙස සේවය කර ඇති අතර 2008 දී යළිත් කටාර් රාජ්‍යය බලා ගොස් ඇත. නවුෆර් කටාර් රාජ්‍යය තුළ නීති කාර්යාලයක පරිවර්තකයකු ලෙස සේවය කළ කාලය තුළ දී වසරකට වරක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු එම රාජ්‍ය තුළ 2016 දක්වා සේවය කර ඇත. නවුෆර් කටාර් රාජ්‍යය තුළ දී අවස්ථා කිහිපයකදීම මේ වනවිට අත්අඩංගුවේ පසුවන හයාතු මොහොමදු අහමදු මිල්හාන් හමුවී ඇති බව වාර්තා වේ. ඔවුන් එහිදී අයි. එස්. ක‍්‍රියාකාරකම් පිළිබඳවත් සාකච්ඡා කර ඇත. එමෙන්ම මුහුණු පොත හරහා මිල්හාන් සමග මෙන්ම හසීම් අහමඞ් සමග ද සම්බන්ධවී ඇත. නවුෆර් 2016 ජූලි මාසයේදී යළිත් ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සහරාන් හෂීම් සමග නැවත මිතුරු වී ඇත. නවුෆාර් 2016 ඔක්තෝබර් මාසයේ දී පමණ අයි. එස්. සංවිධානය විසින් පුද්ගලයන්ගේ හිස ගසා දමන වීඩියෝ දර්ශන ඇතුළත් දත්ත බහාලූමක් සහරාන්ට ලබා දී ඇත.
 
 වාර්තා වන ආකාරයට 2017 දී නොවැම්බර් මාසයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානය පළමු පහුණු කඳවවුර මැදවච්චියේ රඹාවැව ප‍්‍රදේශයේ පවත්වා ඇති අතර එයට නවුෆර්, සහරාන් අන්සර්, රිස්වි, රිස්වාන්, ආබ්දීන්, රමීස්, මිල්හාන්, හස්තුන්, රිල්වාන් ඇතුළු 14 දෙනකු පමණ සහභාගිවී තිබේ. සහරාන් හෂීම් විසින් සංවිධානය කරන ලද සියලූම පුහුණු කඳවුරුවලට නවුෆර් සහභාගිවී ඇති අතර එහිදී ඔහු විසින් අයි. එස්. දෘෂ්ටිවාදය සහ එහි ක‍්‍රියාකාරකම් පිළිබඳව දේශන පවත්වා තිබේ.
 
 මාවනැල්ලේ බුද්ධ ප‍්‍රතිමාවලට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පවුල්වලට ලබාදීම සඳහා සහරාන් විසින් 2019 ජනවාරි මාසයේදී නවුෆර්ට මුදල් ලබාදී ඇත. සහරාන්ට එම මුදල් ලබාදී ඇත්තේ ඉල්හාම් විසිනි. නවුෆර් සිය බිරිඳ සමග පුත්තලමට ගොස් අත්අඩංගුවේ සිටි මුෆීස්ගේ පවුලට එම මුදල් ලබා දී ඇත. ඒවනවිට මුෆීස්ගේ බිරිඳගේ භාරයේ තිබූ සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය ඇයගෙන් නැවත ලබා ගෙන සහරාන් වෙත ලබා දී ඇත්තේ ද නවුෆර් විසිනි.
 
 සහරාන් හෂීම් විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස නවුෆර් පත් කළ බවට සාක්ෂි තිබෙන බව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ. එසේම සංවිධානයේ ආරක්ෂාව සඳහා තමා සහ අනෙකුත් සාමාජිකයන් නැවතී සිටින ස්ථානය හැර වෙනත් ස්ථානයක නැවතී සිටින ලෙසට සහරාන් විසින් නවුෆර්ට උපදෙස් ලබාදී ඇති බවත් සහරාන් විසින් එෙ`ඞ්රමුල්ලෙහි පිහිටි ආරක්ෂිත නිවසේදී නවුෆර්ට මිලිමීටර් 9 පිස්තෝලයක් ලබා දී ඇති බවත් එම කොමිෂන් සභා වාර්තාවේ ම සඳහන් කර ඇත.
 
 සහරාන් හෂීම් වහබ්වාදය වෙත යොමු කිරීම, අයි. එස්. සංවිධානයේ මිනිස් ඝාතන ඇතුළත් වීඩියෝ දර්ශන ඔහුට ලබාදීම සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරුවලදී අයි. එස්. දෘෂ්ටිවාදය සහ එහි ක‍්‍රියාකාරකම් පිළිබඳ දේශන පැවැත්වීම නිසා නවුෆර් මවුලවි පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව විසින් ඔහුට ජාතික තවුහිද් ජමාත් සංවිධනය තුළ න්‍යායාචාර්යවරයකගේ කාර්යභාරයට වඩාත් සමීප කාර්ය භාරයක් ඉටුකර ඇති බව සඳහන් කර ඇති බව පැහැදිලිය. නවුෆර් විසින් ඉටුකරන ලද එම කාර්යභාරය සලකා බලා ඔහු පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුන්වාදීමේ ගැටලූවක් තිබිය නොහැක.
 
 අරමුණු කුමක් වුවද ඕනෑම සංවිධානයකට මහපොළොවේ ක‍්‍රියාත්මක වීම සඳහා න්‍යාය පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත. න්‍යාය මෙන්ම ව්‍යවහාරද අවශ්‍ය වේ. එහිදී මුදල් විසින් ඉටුකරන්නේ සුවිශේෂී කාර්ය භාරයකි.
 
 සහරාන් හෂීම්ට මෙන්ම ජාතික තව්හිද් ජාමාත් සංවිධානයට න්‍යායයන් නවුෆර් මවුලවි හරහා විදේශයන්ගෙන් ලැබී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණත්, විදේශයන්ගෙන් අරමුදල් ලැබුණු ආකාරයකින් නම් මේ දක්වා හෙළිදරව් වී නොමැත. නමුත් මේ දක්වා හෙළි දරවු වී ඇති තොරතුරුවලට අනුව පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහොමඞ් ඊබ‍්‍රාහීම් ඉල්හාම්, අහමඞ් සහ ඔහුගේ සහෝදරයා වූ ඉන්ෂාෆ්ගේ මුදල් වැය කර ඇත. ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේ ඔවුන් හඳුන්වාදී ඇත්තේ සහරාන්ගේ කණ්ඩායමේ ප‍්‍රධාන අරමුදල් සපයන්නන් ලෙසය. 2018 වර්ෂයේදී ඉල්හාම් අහමඞ්, සහරාන් සමඟ රුපියල් මිලියන 200 ක් ශ‍්‍රී ලංකාවේ සිට සිරියාවට බෝට්ටුවකින් යැවීම සඳහා ද සාකච්ඡා කර ඇති බව එම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. සහරාන්ගේ ප‍්‍රධාන අරමුදල් සපයන්නන් දෙදෙනාගේ පියා වන්නේ මොහොමඞ් යුසුෆ් මොහොමඞ් ඊබ‍්‍රාහිම්ය. ඔහු ‘ඉෂාස්නා එක්ස්පෝට්ස්’ නම් කුළු බඩු අපනයන ව්‍යාපාරයේ හිමිකරුවා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකු ද වේ. පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ දේශපාලනය මෙන්ම මහ මොළකරු පිළිබඳව කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන එම පක්‍ෂය සහරාන් හෂීම්ගේ දේශපාලන ව්‍යාවහාරය පිළිබඳව කතා කිරීමට එතරම් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත. මොහොමඞ් යුසුෆ් මොහොමඞ් ඊබ‍්‍රාහීම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ එම පක්‍ෂයට හිතවත් වෙනත් දේශපාලන පක්ෂයක ජාතික අපේක්ෂයකු වූවානම් ජනාතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දේශපාලන විචාරවල නිමක් දකින්නට නැති වන්නේ නැත. නමුත් ඒ සම්බන්ධයෙනන් මුනිවත රකින දේශපාලනඥයන් පාස්කු බෝම්බ ප‍්‍රහාරය හෝ මහ මොළකරුවන් පිළිබඳව දක්වන අදහස් අපට දකින්නට සිදුවී තිබෙන්නේ බඬේ බිජු තබාගෙන කරන කතා ලෙස පමණි.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles