Divaina - හොරුත් එක්ක හිඳ රහසේ ඩීල් දමා පේරාදෙණිය ගොඩගන්නේ කෙලෙස ළමා...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 pera
 
 * කල් තබා කියූ අනාවැකිය
 * පේරාදෙණියේ නිලවරණ කොල්ලයට පසු වදනක්..

 
 විමුක්ති වීදියබණ්ඩාර
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා උපකුලපතිවරයෙක් තෝරා ගැනීම පිණිස පැවැත්වීමට නියමිත උපකුලපතිවරණය පුද්ගලයන් කිහිපදෙනකුගේ ”අශුද්ධ සංධානයක්’’ විසින් කොල්ලකනු ඇති බවට අප කල් තියා අනතුරු ඇඟවූයේ කරුණු කාරණා සහ සුද්දයෙන් සඳහන් කරමිනි. එසේ වන නමුත් බීරි අලින්ට වීණා තබා බෙර තම්මැට්ටම් ගැසුවත් පලක් නම් නොවන බව පැහැදිලි කරමින් ඒ සඳහා මැදිහත් විය යුතු ඉහළ බලධාරීන් මර නින්දේ පසුවූයේ කොල්ලකරුවන්ට රිසි පරිදි නිලවරණ කොල්ලය සිදුකර ගැනීමට ඉඩ කඩ සලසමිනි. ඒ අනුව මෙරට නීතියද, යුක්තියද, සාධාරණය හා සදාචාරයටද පයින් ගසමින් පේරාදෙණියේ වර්තමාන උපකුලපතිවරයා සිය අභිලාෂය අපූරුවට සපුරාගෙන තිබේ. අප තවදුරටත් මෙම සටහන තබන්නේ හොරට නිදාගෙන සිටිනා බලධාරීන්ගේ ඇස් ඇරේ යැයි බලාපොරොත්තුවෙන් නොව මෙම අසික්කිත ක‍්‍රියාවලිය මෙරට ජනතාව දැනගත යුතු වන බැවින් සහ ඉතිහාසයේ නිවැරදිව සටහන්ව තිබිය යුතු වන බැවිනි.
 
 
 * කොල්ලය සිදුවූ අයුරු
 
 උපකුලපති නිලවරණය පසුගිය 09 වන සිකුරාදා දින පේරාදෙණි සනාථන සභා පරිශ‍්‍රයේදී පැවැත්වුන අතර රාත‍්‍රී 7.30 ආසන්න කාලය වන තෙක් පැවැති එහි කටයුතුවලින් අනතුරුව පාලක සභා සාමාජිකයන් සහ තේරීම් කමිටු නියෝජිතයන් සඳහා සාදයක් උපකුලපති නිල නිවාසයේ සූදානම් කර තිබුණි. මිල අධික විදේශීය මත්පැන් වර්ග වලින් සහ රසමසවුළු වලින් අඩුවක් නොතිබුණ එහිදී වර්තමාන උපකුලපති උපුල් දිසානායක මහත් ප‍්‍රීතියෙන් සිටින බව දකින්නට ලැබුණි. මෙවර උපකුලපතිවරණයේ අපේක්‍ෂකයෙකුද නොවන දෙවන නිල කාලයකින්ද පසු විශ‍්‍රාම යෑමට නියමිත උපකුලපතිවරයාට මෙතරම් ප‍්‍රීතියක් දනවන කාරණය කිමදැයි අපට කුතුහලයක් තිබුණි. එයට පිළිතුර පසුදින ඔහුගේ අන්තේවාසිකයෙකුගෙන් දැනගන්නට ලැබුණි. ඔහුට උපකුලපතිවරයා සිය කියා තිබුණේ මෙපරිද්දෙන්ය. ”බය නැතුව ඉදපන්, ඊළඟ අවුරුදු තුනටත් පේරාදෙණිය පාලනය කරන්නෙ මම තමයි’’ යනුවෙනි. බුද්ධිමතුන්ගේ පාරාදීසයේ අපක්‍ෂපාතී නිලවරණයක හැටි එහෙමය.
 
 අපේ‍්‍රල් 09 වන සිකුරාදා මධ්‍යාහ්න 12 ඇරඹීමට නියමිතව තිබුණු නිලවරණයේ පළමු අදියරේ ඇගැයීම් වාරය සඳහා සුදුසුකම් ලබා තිබුණ අපේක්‍ෂකයන් 7 දෙනා ගේ නම් මෙසේය. නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක‍්‍රම කරුණාරත්න, රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඞී. ලමාවංශ, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය ලීලානන්ද රාජපක්‍ෂ, මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, හිටපු ශාස්ත‍්‍ර පීඨ පීඨාධිපතිනි මහාචාර්ය අනෝමා අබේරත්න, මහාචාර්ය අමල් රාජපක්‍ෂ සහ මිලිටරි පසුබිමක් සහිත තවත් බාහිර අපේක්‍ෂකයෙකු වශයෙනි.
 
 මෙම අපේක්‍ෂකයන් 7 දෙනා අතරින් මුල් 6 දෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයන් වන අතර ඊට අමතර වශයෙන් ඉල්ලූම්කර තිබුණේ මිලිටරි පසුබිමක් සහිත අපේක්‍ෂකයා පමණි. නිලවරණයේ අපේක්‍ෂකයන් දෙදෙනකුම ලිඛිත විරෝධතා ගොනු කර තිබූ හිටපු උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතාද සාමාජිකයෙකු වූ පළමු ඇගැයීම් කමිටුව මගින් දෙවන අදියර සඳහා තෝරාගන්නා ලද අපේක්‍ෂකයන් පස් දෙනා ඔවුන්ගේ ලකුණු අනුපිළිවෙළ අනුව මෙසේය. මහාචාර්ය පරාක‍්‍රම කරුණාරත්න, මහාචාර්ය එම්. ඞී. ලමාවංශ, මහාචාර්ය රංජිත් දිසානායක, මහාචාර්ය ලීලානන්ද රාජපක්‍ෂ සහ මහාචාර්ය අනෝමා අබේරත්න වශයෙනි.
 
 පස්වරු 2.30 ට ඇරඹීමට නියමිතව තිබුණු දෙවන අදියරේ ඇගැයීම් වාරයේදී පාලක සභා සාමාජිකයන් විසින් ලබාදුන් ලකුණු ප‍්‍රකාරව අපේක්‍ෂකයන්ගේ නම් පෙළ ගැසුනේ මෙසේය. මහාචාර්ය එම්. ඞී. ලමාවංශ ලකුණු 81, මහාචාර්ය පරාක‍්‍රම කරුණාරත්න ලකුණු 74.5, මහාචාර්ය රංජිත් දිසානායක ලකුණු 71, මහාචාර්ය ලීලානන්ද රාජපක්‍ෂ ලකුණු 68 සහ මහාචාර්ය අනෝමා අබේරත්න ලකුණු 40 වශයෙනි. ඒ අනුව මුලින් කියැවෙන තිදෙනාගේ නම් උපකුලපති ධුරය සඳහා නිර්දේශිත නම් වශයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යැවෙනු ඇත. (මෙම ලකුණු නිල නොවන තොරතුරු මත පදනම් වන අතර ආසන්න අගයන්ට වෙනස් විය හැක)
 
 
 * නියෝජ්‍ය උපකුලපතිවරයාට  කොකා පෙන්වූ හැටි
 
pera2 ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් පේරාදෙණියේ සරසවි ප‍්‍රජාව අතර කියැවෙන කථාව මෙබඳුය. මෙම නිලවරණයේදි වර්තමාන උපකුලපතිවරයා විසින් බරපතළම රැවටීම සිදුකරනු ලැබ ඇත්තේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක‍්‍රම කරුණාරත්න හටය. නිලවරණයට බොහෝ කාලයකට පෙර සිටම උපකුලපතිවරයා පොරොන්දු ලබාදී තිබුණේ මහාචාර්ය පරාක‍්‍රම ලකුණු සටහනේ පළමු ස්ථානයට ඔසවා තබන බවයි. මන්ද එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදී පුද්ගලයෙකු වන ඔහු පළමු ස්ථානයට පත් නොවුණහොත් පත්වීම ලබාගැනීම සඳහා දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් නොවන බැවිනි. ඒ පොරොන්දුව මත විශ්වාසය තැබූ නියෝජ්‍ය උපකුලපතිවරයා ඡන්ද සටනේදී පාලක සභා සාමාජිකයන් හමුවේ ප‍්‍රකාශ කර තිබුණේ ලකුණු සටහනේ පළමු ස්ථානයට නොපැමිණියහොත් තමන්ගේ අපේක්‍ෂකත්වය ඉල්ලා අස්කර ගැනීමට තමන් කටයුතු කරන බවයි. පළමු අදියරේ ඇගැයීමේදීී නියෝජ්‍ය උපකුලපතිවරයා පළමු ස්ථානයට පත්වන්නේ ඒ පොරොන්දුව පරිදිය. ඇත්ත වශයෙන්ම ඔහුට ලබාදී ඇත්තේ සැනසිලි තෑග්ගක් මිස අන් යමක් නොවේ. උපකුලපතිවරයාගේ සැලසුම තිබුණේ අවසන් අදියරේදී මහාචාර්ය ලමාවංශ ඉහළට ඔසවා තැබීමයි. මන්ද තමන් පසුපස එන අපරාධ සෙවනැල්ලෙන් ආරක්‍ෂාව සලසා ගත හැක්කේ එපරිද්දෙන් පමණක් වන නිසාවෙනි. ඒ සඳහා 2015 සිටම මහාචාර්ය ලමාවංශ සමග එක්වෙමින් සැලසුම් කළ ඔහු 2019 ආණ්ඩු මාරුවෙන් පසු පත්කළ පාලක සභාව සඳහා නම් ලැයිස්තුව ලබා ගන්නේද මහාචාර්ය ලමාවංශගෙනි. ඒ අනුව දෙවන අදියරේ ඇගැයීමේදී මහාචාර්ය පරාක‍්‍රම පරයා ලමාවංශ ඉහළට එන්නේ ඒ ආනුභාවයෙනි. තමන්ම පත්කළ සාමාජිකයන් තමන්ට ඉහළ ලකුණු ලබා දෙන බව ඔහු දැන නොසිටින්නට හේතුවක් නැත. ඉදින් නඩුත් හාමුදුරුවන්ගේය බඩුත් හාමුදුරුවන්ගේය. අපට ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා කියා ගැනීම පමණකි.
 
 
 * මහාචාර්ය අනෝමාට සිදුකළ නින්දාව
 
 උපකුලපතිවරයා විසින් අනෙක් බරපතළම නින්දාව සිදුකර ඇත්තේ හිටපු ශාස්ත‍්‍රපීඨ පීඨාධිපතිනී මහාචාර්ය අනෝමා අබේරත්න මහත්මියටය. විශ්වවිද්‍යාලයේ දැවැන්තම මෙන්ම අර්බුදකාරීම පීඨය වන ශාස්ත‍්‍රපීඨයේ පීඨාධිපතිනිය ලෙස දෙවරක් තේරී පත්වූ ඇය නවක වධය පාලනය කිරීම මෙන්ම වෙනත් පරිපාලන කාරණාවලදී දැක්වූ නිර්භීතභාවය සහ සාර්ථකත්වයට නිසි ඇගැයීමක් ලැබීනැති බව පැහැදිලිය.” යකඩ ගැහැනිය යන අන්වර්ථ නාමයෙන් පේරාදෙණියේ හැඳින්වෙන ඇය ලකුණු 40 ක් තරම් පහළ මට්ටමක තැබීම ඇගැයීම් ක‍්‍රියාවලියේ සාධාරණත්වය පිළිබඳ බරපතළ සැක මතු කරවන්නත් බව නොකියා නොහැකිය. තවත් අතකින් බැලූවහොත් එය පිරිමි බහුතරයක් සහිත පාලක සභාවේ පුරුෂාධිපත්‍ය අනුකම්පා විරහිත ලෙස පතුරුවා හැරීමක් ලෙසටද විග‍්‍රහ කළ හැකිය. ප‍්‍රාදේශීය සභා ඡන්දයකදී පවා කාන්තාවන්ට ඇති ඉඩ ප‍්‍රස්ථාව පුළුල් කළ යුතු යැයි බෑගිරි ගසනා රටක කාන්තාවන්ට සලකන හැටි එහෙමය.
 
 
 * මහාචාර්ය රාජපක්‍ෂ කපා දැමූ අයුරු
 
 මෙම නිලවරණයේදී සිදුකළ බරපතළම අසාධාරණය සිදුකර ඇත්තේ මහාචාර්ය ලීලානන්ද රාජපක්‍ෂයන්ටය. මහජන ධනය කොල්ලකෑමට එරෙහි වීමේ වරදට උපකුලපතිවරයාගේ උදහසට ලක්වූ රාජපක්‍ෂ මහතා උපකුලපති නිලවරණයේ නිර්දේශිත නම් වශයෙන් ජනාධිපතිවරයා වෙත යවන නම් තුනට ඇතුළත්වීම වැළැක්වීම සඳහා වර්තමාන උපකුලපතිවරයා මාරාන්තික සටනක නියැළී සිටියේය. නිලවරණයට බොහෝ කලකට පෙරාතුව ඔහු සිය අන්තේවාසිකයන්ට පවසා තිබුණේ රාජපක්‍ෂට තුන් දෙනා අතරට ඒමට තමන් කිසිසේත් ඉඩ නොතබන බවයි. ඒ කිව් ලෙසටම අදාළ ප‍්‍රතිඵලය ලබා ගැනීම සඳහා උපකුලපතිවරයා බොහෝ වෙහෙස මහන්සි වූ බවද අපට දැනගන්නට ඇත. සියලූ පීඨ වෙත පෞද්ගලිකව යමින්, පීඨාධිපතිවරුන් හමුවෙමින්, සාද සංවිධානය කරමින් සහ වරදාන වරප‍්‍රසාද පිළිබඳ පොරොන්දු ලබාදෙමින් මහාචාර්ය රාජපක්‍ෂට එරෙහි විශාල සටනක නිරතවීමට උපකුලපතිවරයා කටයුතු කිරීම හේතුවෙන් පැහැදිලි අගතියක් ඔහුට මෙම නිලවරණයේදී සිදුව ඇති බව සක් සුදක් සේ පැහැදිලිය. ප‍්‍රධාන විනිශ්චයකරුවාම ප‍්‍රතිවාදී පිලට වාසි සහගත ලෙස ”හොර අවුට්’’ ලබාදෙමින් කටයුතු කරන විට තරග ජයග‍්‍රහණය සිහිනයක් වීම යථාර්ථයයි. මෙහිදී ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙසට දෙවරක් තේරී පත් වෙමින් පීඨය ගොඩනැගීමට ඔහු දක්වන ලද දායකත්වයත්, නවක වධය අවසන් කිරීම සඳහා ඉටුකරන ලද මෙහෙවරත්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙසට ඔහු ඉටුකළ ජාතික තලයේ මෙහෙවරත් ආදී වශයෙන් වන කාරණාවන්ට නිසි ඇගැයීමක් ලැබී නැති බව අපගේ අදහසයි. මේ අතර විශ්වාසදායක ආරංචි මාර්ගයන්ගෙන් දැනගන්නට ඇති පරිදි පාලක සභාව අපේක්‍ෂකයන් සඳහා ලකුණු ලබාදී ඇත්තේ ඉදිරිපත් කිරීම් සියල්ලෙන් අනතුරුව උපකුලපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුවය. එහිදී මහාචාර්ය රාජපක්‍ෂ පසුපසට ඇද දැමීමට හේතුකාරක ලෙස සලකා ඇත්තේ ඔහුට ඉදිරි වාර කිහිපයක් වුවත් තරග කිරීම සඳහා වයස ඉතිරිව තිබීම බව කියැවේ. මහාචාර්ය ළමාවංශට තවත් වාරයක් තරග කිරීම සඳහා වයස නොවීම හේතුවෙන් මෙම අවසන් අවස්ථාව ලබා දිය යුතු වන බව බහුතර පිරිසකගේ මතය වූයේලූ. අදෝමැයි. බුද්ධිමතුන්ගේ කෙරුවාව මෙපරිද්දෙන් නම් තවත් කථා කළ යුතු යමක් නැත. මේ මහත්වරුන් පිරිස මතක තබා ගත යුත්තේ උපකුලපති තනතුර යම් යම් පුද්ගලයන්ගේ විශ‍්‍රාම යෑමට පෙර පහල වන දොල දුක් සංසිඳවීම පිණිස දෙන දොල පිදේණියක් නොවන බවය.
 
 
 * හොරුන් සමග ඞීල් දමමින්
 පේරාදෙණිය ගොඩගත හැකිද?

 
 අවසන් වශයෙන් අපට ඉතිරි වන ගැටලූව වන්නේ හොරුන් සමග ඞීල් දමමින් හෝ උපකුලපති පුටුවට පැන ගැනීමට මාන බලමින් සිටි පුද්ගලයන්ට පේරාදෙණිය දැන් වැටී ඇති අගාධයන් ගොඩගත හැකිද යන්නයි. උපකුලපති තරගයේ ඉහළම ලකුණු නිර්මාණය කරගත් විශේෂඥ වෛද්‍ය එම්. ඞී. ලමාවංශ මහතා මේ වන විටත් රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරයි. පසුගිය මැතිවරණවලදී පොදුජන පෙරමුණට සහයෝගය ස්ථාවරයක සිට කටයුතු කළ ඔහුගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් මහනුවර විද්වත් හා වෘත්තීයවේදීන්ගේ සංගමය දෙකඩ වූ බවටද වාර්තාවී ඇත. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන අවස්ථාවේ තම පෞද්ගලික වියදමින් සිංගප්පූරුව බලා ගොස් දුක සැප විමසීමට කටයුතු කර ආණ්ඩු පක්‍ෂයේ ජයග‍්‍රහණයත් සමග තම කැපවීමට තරම් නොවන වරප‍්‍රසාද ලබාගැනීමට සමත්වූ ඔහු තම සටන් සගයන්ටත් නොදන්වාම විදේශගතවීම පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ විවේචන එල්ලවී තිබුණි. නව ආණ්ඩුව විසින් තනතුරුවලට පත් කරන ලද බොහෝ විද්වතුන් මෙන්ම රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයාද කැපී පෙනෙන කිසිවක් සිදුකර නැති බවටද විවේචන එල්ල වේ. එවැනි තත්ත්වයක් යටතේ තානාපති ධූරයේ නිල කාලය අවසන් වීමටත් පෙරාතුව තවත් ප‍්‍රධාන පෙළේ තනතුරක් ඉල්ලා පොරබැදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද පේරාදෙණිය කේන්ද්‍රකරගත් පොදුජන පෙරමුණට හිතවත් දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ අප‍්‍රසාදයද ළමාවංශ මහතා වෙත එල්ල වෙමින් පවතී. විශ්වාසදායක ආරංචි මාර්ගයන්ගෙන් දැනගන්නට ඇති ආකාරයට ලමාවංශ මහතා ජනාධිපතිවරයාද, අගමැතිවරයාද සමග ඇතැයි කියන දේශපාලන සම්බන්ධතා දඩමීමා කරගනිමින් මේ සැරසෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩගැනීමට නම් නොවේ. මෙහි සැඟවුණ අරමුණ තම බල ව්‍යාපෘතියට අදාළ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම පමණි. 2019 ආණ්ඩු පෙරළියත් සමග ඔහු බලාපොරොත්තුව සිට ඇතැයි කියැවෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධුරයයි. නමුත් ඊට පත්වීම සඳහා සම්ප‍්‍රදායක් ලෙස විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරයක් දරා තිබීම අවශ්‍ය වන හෙයින් 2019 දී ඔහුගේ ඒ වෑයම අසාර්ථක විය. ඉදින් මේ සැරසෙන්නේ ඒ ඉහළ පුටුව සඳහා වන නුසුදුසුකම සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කිරීමක් බව නොවැටහෙන්නේ කාටද.
 
 
 * ජනාධිපතිවරයාටත් කොකා පෙන්වූ උපකුලපති
 
 ”විදින ගුල්ලා රජ්ජුරුවන්ගේ ඔටුන්නේ ඇති මැණික් ගලටත් විදිනවා’’ යැයි කියමනක් ඇත. ඒ ලෙසටම පේරාදෙණිය උපකුලපතිවරයා මේ සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාටත් කොකා පෙන්වීමක් බව අප නොබියව කියමු. අප එසේ කියන්නේ ඇයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයත් සමග විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරුන් තෝරා ගැනීම සඳහා එතෙක් භාවිතා කළ පාලක සභාවේ ඡන්දය මත පදනම් වූ ක‍්‍රමය අවලංගු කරමින් 2020/2 චක‍්‍රලේඛනය නිකුත් කරන ලද්දේ සුදුසුකම් සඳහා ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදයක් මගින් සුදුස්සාට සුදුසු ලෙසට තනතුරට පත්විය හැකි ක‍්‍රමවේදයක් හඳුන්වාදීමටය. ඒ සඳහා ප‍්‍රතිපාදන කොමිෂමට නුවණ පහල වන්නට ඇත්තේ ජනාධිපතිවරයාගේ මග පෙන්වීම නිසාවෙන් බවට සැකයක් නැත. එහෙත් දැන් පෙනී යන්නේ එම චක‍්‍රලේඛනයේ ඇති දුර්වල ස්ථානයන්ගෙන් රිංගා යමින් තම අභිමතය පමණක් ක‍්‍රියාත්මක කරලීමට උපුල් දිසානායක වැනි උපකුලපතිවරුන්ට හැකියාවක් තිබෙන බවය. පේරාදෙණියේ නිලවරණය කියාපාන කථාන්තරය එයයි. ඉදින් අප අවසන් වශයෙන් කියා සිටින්නේ කරුණු සිදුවන්නේ මේ ලෙසට නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වර්තමාන උපකුලපතිවරයාට සින්නක්කරව ලියාදීම වඩා සුදුසු වන බවයි. එය මේ දිනවල පවතින අධික රස්නය නිසා අපේ සිතට එන විකාර අදහසක් වීමටද ඉඩ ඇත.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles