Divaina - හඳුනුම්පතට වසට පනහයි... මැතිනියට පළමු හැඳුනුම්පත දුන් ගුණවර්ධන කියන කතාව

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 id
 
 * පළමු හැ`දුනුම්පත ලබාගත් මැතිනියගේ උපන් දිනයත් ඊයේ
 

 මනෝජ් අබයදීර
 
”කොහේ යතත් අයිඩෙන්ටි කාඞ් එක අරගෙන යන්න’’ යැයි කියනුයේ අපි කවුරුන්දැයි වගකීමෙන් කිව හැක්කේ හැඳුනුම්පතෙන් නිසාය. හැඳුනුම්පතේ කතාව එහෙන් මෙහෙන් ලියැවී ඇතත්, එහි නිර්මාණකරුවන්ගෙන් ඒ පිළිබඳව හෙළිදරව් වූ අවස්ථා නොමැති තරම්ය. මේ කතාව සඳහා සම්පත්දායකයා වනුයේ, හැඳුනුම්පත සඳහා මුල පිරූ රාජ්‍ය සේවකයෙකි. ඔහු ඩබ්ලිව්. ඞී. ගුණවර්ධන මහතාය. අද විශ‍්‍රාමිකයෙක් ලෙස ක‍්‍රියාශීලි ජීවිතයක් ගත කරන ඔහු හමුවීම සඳහා අප යන විටත්, එදා රාජ්‍ය සේවකයන්ට හුරු පුරුදු ආකාරයට පිළිවෙළ කරන ලද ලිපි ගොනු සමග ඔහු සූදානම්ව සිටියේය.
 
 ඉතින්... කොහොමද තොරතුරු...?
 
 එසේ ආරම්භ වූ අපේ කතාවේ අරමුණ වූයේ, හැඳුනුම්පතේ කතාව අසා දැන ගැනීමටය. ඔහු කතාව ආරම්භ කරන්නේ හැටේ දශකයෙනි.
 
 ”මගේ ගම රත්නපුරේ... ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගය සමත් වෙලා, හේනේපිටගෙදර ඥානසීහ නායක හාමුදුරුවන්ගේ පිරිවෙනට ගිහින් වැඩිපුර ඉගෙනීම සිදු කළා. මේ අතරේ තමයි, ලිපිකරු විභාගය සඳහා ගැසට් පත‍්‍රය නිකුත් කළේ. ලිඛිත විභාගයෙන් සමත්වෙලා මම සම්මුඛ පරීක්ෂණය සඳහා ගියා. මට ආවේ ආරක්ෂක සහ විදේශ අමාත්‍යාංශයට... ඒ යනකොට මට චරිත සහතිකය ලබා දුන්නේ හේනේපිටගෙදර ඥානසීහ නායක හාමුදුරුවෝ... මේක දැකලා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටපු ඞී. ඞී. අයි. පී. ඒ. සිරිවර්ධන මහත්තයා, ”තමුසේ හොඳ මිනිහෙක්... තමුසේ මෙහෙ ඉන්න ඕනේ...’’ කියලා කිව්වා. එහෙම කියලා මාව විදේශ අමාත්‍යාංශයේ ප්‍රෝටකොල් අංශයට දැම්මා. ඒක තිබ්බේ ගෝල්ඞ් බග් එකේ... ඒ කියන්නේ ඔය අද වරාය ආසන්නයේ තියෙන චෛත්‍ය පාරේ...
 
 මේ වෙනකොට අපේ රටට තිබ්බ ලොකුම ප‍්‍රශ්නයක් තමයි, ඉන්දියානු කල්ලතෝනි ප‍්‍රශ්නය. ඉන්දියාවේ ඉඳන් අනවසරයෙන් දහස් ගණනක් අපේ රටට එනවා. මේ අය මුහුදෙන් එනවා. එහෙම එන අය මුහුදේදී අල්ලන නාවික හමුදාව. පොලිසිය එකතුවෙලා, ටැෆයි කියලා වෙනම අංශයක් ඇති කළා. ඒත් මේ අය එනවා. මෙහෙම එන කෙනෙක්, මුහුදේදී හරි, වෙරළේදී හරි ඇල්ලූවත් ප‍්‍රශ්නයක් නැහැ. ඒත් රට ඇතුළට ගියහම අල්ලන්න අමාරුයි. ඒ වගේම මේ මිනිහා ඉන්දියන් කාරයෙක් කියලා, ඉන්දීය ආණ්ඩුවට ඔප්පු කරන්න අපිට හරිම අමාරුයි. අපේ අමාත්‍යංශය තිබුණේ, අගමැතිනිය යටතේ. එකේ නම වුණේ, අගමැති කාර්යාලය, රාජ්‍ය ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය... අපේ උප ඇමැති වුණේ ලක්ෂ්මන් ජයකොඩි මහතා. අමාත්‍යාංශයේ ලේකම් වුණේ එන්. කිව්. දියෙස් මහත්මයා. අගමැතිනියගේ ලේකම් බ‍්‍රැඞ්මන් වීරකෝන් මහතා.
 
id2මේ කල්ලතෝනි ප‍්‍රශ්නය විසඳන්න කොයි ආණ්ඩුවටත් බැරි වුණා. සිරිමාවෝ මැතිනිය මේ සඳහා දූරදර්ශි නායකත්වයෙන් කටයුතු කළා. ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා අවශ්‍ය කම්කරුවන් ලෙස ඉන්දියාවේ සිට පැමිණ සිටි කම්කරු පිරිස ආපසු යැවීමද මේ කල්ලතෝනි ප‍්‍රශ්නයේ කොටසක් වුණා. ඉන්දීය අගමැති ශාස්ත‍්‍රී සමග මැතිනිය මේ සම්බන්ධයෙන් ගිවිසුමකට එලඹුනා. මිට පෙර 1954දි නේරු අගමැතිතුමා සහ කොතලාවල අගමැතිතුමා මේ කල්ලතෝනි ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගිවිසුමකට පැමිණියා. ඒ අනුව රටේ සියලූ පුරවැසියන්ගේ නාම ලේඛනයක් හදන්න අවශ්‍ය වුණා. ඒ නාම ලේඛනයේ සිටින පුද්ගලයන් ලංකාවේ අය ලෙසත් එහෙම නැති පිරිස කල්ලතෝනි ලෙසත් වර්ග වුණා. එහෙම කල්ලතෝනි ලෙස වර්ග වූ පිරිස ඉන්දියාවට යැවීමට එකඟ වුණා. එහෙම වුණත් ඒ ලැයිස්තු සැදීම නිවැරදිව වුණේ නැහැ. මේ සඳහා නිවැරදි ක‍්‍රමවේදයක් අවශ්‍ය වුණා.’’
 
 ගුණවර්ධන මහතා සඳහන් කරමින් සිටින්නේ හැඳුනුම්පත සඳහා පසුබිම සැකසෙන ආකාරය ය. ඊට පෙර පුද්ගලයෙකු   හඳුනාගැනීමට තිබුණේ ඔහු සඳහන් කරන දත්තය පමණය. අයථා ආගමිකයන් ලෙස හඳුන්වන ලද ඉන්දියාවෙන් සිට පැමිණෙන කල්ලතෝනින්ගේ ප‍්‍රශ්නය සඳහා ලංකාවට මුහුණදීමට සිදුවිය. විශේෂයෙන්ම ලංකාවේ වතු සේවයේ යෙදී සිටින්නන්ගේ නෑ හිතවතුන් සිය විරැකියා ප‍්‍රශ්නයට විසඳුම සඳහා දුටුවේ ලංකාවේ රැකියාවක් සිදු කිරීමය. මෙසේ අනවසරයෙන් ලංකාවට පැමිණෙන ජනතාව සඳහා දමන ලද පළමු පෙරහන වූයේ 1949 අංක 29 දරන ආගමික හා විගාමික පනතය. නව පනතානුකූලව නිදහස් ලංකාව සඳහා පැමිණෙන විදේශිකයෙකු තමන්ගේ රටේ රජයෙන් නිකුත් කරන ලද විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගත යුතුය. එසේම තම රටේ හෝ ආසන්න රටක පිහිටි ලංකා තානාපති කාර්යාලයේ වීසා බලපත‍්‍රයක් ලබා ගත යුතු විය. මේ ක‍්‍රමවේදය හේතුවෙන් ඉන්දියානුවන් නියමාකාරයෙන් පැමිණීම අඩු වුවද, මුහුදු මාර්ගයෙන් හොර පාරෙන් පැමිණෙන පිරිසේ අඩුවක් නොවීය. රටේ ඇතුළේ සිටින වීසා බලපත‍්‍රය කල් ඉකුත් වූ පිරිස් සහ අනවසර පිරිස් සොයා ගැනීම පහසු කාර්යයක් නොවීය. යම් හෙයකින් එවැනි පුද්ගලයෙකු සොයා ගත්ත ද ඔහු සෙසු ලාංකිකයන්ගෙන් වෙන් කර ගැනීම සඳහා ලිඛිත සාධකයක් රජය හමුවේ නොවීය.
 
 හැඳුනුම්පත නම් සංකල්පය ඇතිවෙන්නේ මේ සඳහාය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ආදර්ශය සඳහා, ඒ වන විටත් හැඳුනුම්පත් ක‍්‍රමවේදයක් අනුගමන කරමින් සිටි බුරුමය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව දෙසට ලංකාවේ අවධානය යොමු විය. ඒ අනුව හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව සොයා බැලීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් මැලේසියාව බලා පිටත් විය. ආගමන විගමන පාලක ඩබ්ලිව්. ටී. ජයසිංහ, මැතිවරණ කොමසාරිස් ෆීලික්ස් ඩයස් අබේසිංහ සහ නියෝජය ආහාර කොමසාරිස් ජේ. එච්. ලැනරෝල් මහතාත් මේ කමිටුවට අයත් වූහ. මෙම ත‍්‍රිපුද්ගල කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාව සලකා බලා අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, මේ සඳහා වන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, 1962 වසරේ අපේ‍්‍රල් මාසයේය.
 
id3පාර්ලිමේන්තුව කල්දැමීමට සිදුවීම හේතුවෙන් එම අවස්ථාවේදී අදාළ පනත සම්මත කර ගැනීමට නොහැකි වූ අතර, 1964 වසරේදී නැවත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළද එයද එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය. එම කෙටුම්පතින් යෝජනා කර තිබුණේ දිස්ත‍්‍රික් මට්ටමෙන් මේ සඳහා ක‍්‍රියාත්මක වීමටය. එහි සංශෝධන කිහිපයක් සහිතව 1966 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර, 1968 වසරේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලදී. මෙය 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත ලෙස හැඳින්වේ. එය ක‍්‍රියාත්මක විය යුතුව තිබුණේ 1971 අපේ‍්‍රල් මස පස්වෙනිදා සිටය. ලංකාවේ ස්ථිර පදිංචිය හිමි වයස අවුරුදු දහ අටට වැඩි සියලූ පුද්ගලයන් මේ යටතේ ලියාපදිංචි කිරීම සඳහා යෝජනා වී තිබුණි. ඒ අනුව හැඳුනුම්පතක් නොමැති ඉන්දියානු දෙමළ ජාතිකයෙකු අයථා ආගමිකයෙකු ලෙස සැලකිය.
 
 ”මේ පනත කෙටුම්පත් කළේ, එවකට රාජ්‍ය සේවයේ සිටි අති දක්ෂ නිලධාරියෙකු වූ, ආගමන විගමන පාලක ඩබ්ලිව්. ටී. ජයසිංහ මහතාය. ඒ මහත්තයා සිරිමා - ශාස්ත‍්‍රී ගිවිසුම කෙටුම්පත් කිරීමට පවා සහභාගි වූ නිලධාරියෙක්. පනතක් හැදුවට දෙපාර්තමේන්තුවක් පිහිටුවීම ලෙහෙසි දෙයක් නෙමෙයි. මේ කටයුත්ත භාර දුන්නේ අපේ අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ටී. බී. එම්. ඒකනායක මහතාට භාරවිය. මේ කාලය වන විට රටේ දේශපාලන තත්ත්වය හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. ජවිපෙ කැරැල්ල නිසා ආණ්ඩුවේ වැඩ කටයුතු අධික වෙලා තිබ්බා. ඒ වගේම ආණ්ඩුවට සල්ලි තිබ්බෙත් නැහැ. ඒකනායක මහත්මයා මේ වැඬේ පටන් ගන්න කොටම මාවත් ඒ සඳහා එකතු කර ගත්තා. ඒ කියන්නේ මේ වැඬේට හිටියේ එතුමායි, මායි විතරයි. රටේ හිටපු හැට පන්ලක්ෂයකට හැඳුනුම්පත් දෙනවා කියන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. ඔක්කොමගේ පොටෝ ගන්න ඕනේ. දිසාපති මට්ටමේ ඉඳලා ග‍්‍රාම සේවක මට්ටම දක්වා ඉල්ලූම්පත් යවන්න ඕනේ. ගෙන්න ගන්න ඕනේ. පොටෝ ගන්නවා කියන එකත් ලෙහෙසි නැහැ. හැඳුනුම්පත සඳහා එක එක ආකෘතින් යෝජනා වුණා. සමහරු ඒ කාලේ තිබ්බ රියැදුරු බලපත‍්‍රය වගේ පොතක් දෙන්න යෝජනා කළා. ඒත් වැස්සට තෙමුනොත් කියන එක නිසා ඒ වැඬේ නතර වුණා.’’
 
 ඒ අනුව ගැටලූ නැති හැඳුනුම්පතක් නිර්මාණය කිරීමේ ඡායාරූපයේ සැකසුම වගකීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ප‍්‍රථම කොමසාරිස්ව සිටි ටී. බී. එම්. ඒකනායක විසින් එවකට රජයේ චිත‍්‍රපට ඒකකයේ අධ්‍යක්ෂව සිටි ආචාර්ය ඞී. බී. නිහාල්සිංහ වෙත පැවරීය. ලැමිනේට් ක‍්‍රමවේදය භාවිතා කරමින් අතට පහසු ආකාරයේ හැඳුනුම්පත් ආකෘතියක් නිර්මාණය වන්නේ ඒ අනුවය. මේ සඳහා විශේෂිත අංක ක‍්‍රමයක් යෝජනා කළේ මහ බැංකුවේ සේවය කළ ආචාර්ය පෙරේරා මහතාගේ උපදෙස් අනුවය. මේ සඳහා පසුබිම සැකසී ඇත්තේ බි‍්‍රතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේදය සඳහා අනුගමනය කරන ලද අංකිත පිළිවෙළ ටී. බී. එම්. ඒකනායක මහතාගේ අවධානයට ලක්වීමෙනි. මෙම යෝජනාව අනුව අදාළ අංකිත ගණනය සඳහා ක‍්‍රමවේදයක් නිර්මාණය වන්නේ මහ බැංකුවේ පරිගණක අංශයෙනි.
 
 ”මේ ඔක්කොම තිබ්බත් අපිට මේ වැඬේ පටන් ගන්න තැනක් තිබ්බේ නැහැ. ඒ කාලයේ ජයසිංහ මහත්මයා පදිංචිවෙලා හිටියේ කොළඹ - 5, කැප්පෙටිපොළ මාවතේ ගෙදරක. ඒ බංගලාව ඊට කලින් සුදු ජාතික පරිපාලන නිලධාරියෙකු සිටි හොඳ තත්ත්වයේ ගෙයක්. ඒ ගෙදර මේ වැඬේට ගමු කියලා එතුමා යෝජනා කරලා, එතුමා කුලී ගෙදරකට ගියා. පටන් ගත්තා වගේ නෙවෙයි, වැඬේ ඉතා විශාල වුණා. අවුරුදු දහ අටට වැඩි ලක්ෂ හැට පහකට හැඳුනුම්පත් දීම වසරක් තුළ කරන්න ඕනේ. මමයි ඒකනායක මහත්මයයි වැඬේ පටන් ගත්තා. මේ වැඬේ ලෙහෙසි නැහැ. ආකෘති පත‍්‍ර හදන්න ඕනේ, හැට පන් ලක්ෂයකගේ පින්තුර ගන්න ඕනේ. ඒ ඡායාරූප මුද්‍රණය කරන්න ඕනේ. විස්තර මාරුවෙන්න බැහැ. පින්තූර මාරු වෙන්න බැහැ. මේ දේවල් සඳහා ඒකනායක මහත්මයා මාව තෝරා ගත්තා. මම ආරක්ෂක සහ විදේශ අමාත්‍යාංශයෙදී එතුමාගේ පුද්ගලික සහකාර. එතුමාට මං ගැන හොඳ විශ්වාසයක් තිබුණා. වාහනයක්වත් අපිට තිබුණේ නැහැ. ඒ සඳහා ඒකනායක මහත්මයාට ආණ්ඩුවෙන් දීලා තිබ්බ වාහනය තමයි පාව්ච්චි කළේ. ඩ‍්‍රයිවර් වැඬේ කරන්නේ මම. ඒ සඳහා වුවමනා උපදෙස් පත‍්‍රිකා එහෙම අරගෙන අපි දෙන්නා රට වටේම යනවා.
 
id4 ගිහිල්ලා ඒ ඒ පළාත්වල ඉන්න දිසපතිලාව දැනුවත් කරනවා.’ එක දිගට කතාවක් සේ ඩබ්ලිව්. ඞී. ගුණවර්ධන මහතා සිය මතකය දිගහරිමින් සිටියි.
 
 ”මුලින්ම අපි දෙන්නා මේ වැඬේ පටන් ගත්තා. පසුව නියෝජ්‍ය කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, ලිපිකරුවන්, සුළු සේවකයන් ආදී සියලූදෙනා පත් කර ගත්තා. මේ කාලය වෙන කොට අපිට රට වටින් අයැදුම්පත‍්‍ර එන්න ගත්තා. ඒවා පිළිවෙළ කරලා, ගබඩා කිරීම සඳහා මම සැලසුමක් හැදුවා. ඒ අනුව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ යට කාමරයක මේවා මිටි බැඳලා තිබ්බා. මුලින්ම ආණ්ඩුව යෝජනා කළේ මේ සඳහා වන සියලූ වියදම් රජය විසින් දැරීමට. එහෙම වුණත් හැත්තෑ එකේ කැරැල්ල නිසා ආණ්ඩුවට රුපියල් කෝටි පනහක පමණ පාඩුවක් වෙලා තිබ්බා. ඒ අනුව පනතට සංශෝධනයක් ගෙනත්, ඡායාරූප පිටපත් තුනක් සඳහා රුපියලක්ද මුද්දර ගාස්තුව ලෙස රුපියල් 1.50ක් ද බැගින් අය කර ගැනීමට ආණ්ඩුව කටයුතු යෙදුවා. අඩු ආදායම්ලාභීන් මෙම ගාස්තුවෙන් නිදහස් කිරීමටත් ආණ්ඩුව තීරණය කළා. ලැමිනේටින් තාක්ෂණය සඳහා අවශ්‍ය සියලූ තාක්ෂණය සහ අමුද්‍රව්‍ය අපිට ලබා දුන්නේ මහා බි‍්‍රතාන්‍යයෙන්. මේ සඳහා මම මූලික වී පිරිසක් පුහුණු කළා. එතකං මේ කටයුත්ත මම තනියෙන් කළා. මේ සඳහා අපි ඇබෑර්තු කැඳෙව්වත් කිසි කෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. පසුව තමයි මම පුහුණුවක් ලබා දීලා පිරිසක් මේ අංශයට බදවා ගත්තේ. හැඳුනුම්පත් ලිවීම සඳහා කොළඹ ලූම්බිණි විද්‍යාලය සහ ඞී. එස්. සේනානායක විද්‍යාලය අපි යොදා ගත්තා. හැඳුනුම්පතේ සුචි පත‍්‍රය සඳහා අකුරු ලිවීම සිදු කළේ පනාගොඩ හමුදා කඳවුරේ සොල්දාදුවන්.
 
 මේ අතර අපි මුලින්ම කැබිනට් මණ්ඩලයේ හැඳුනුම්පත් හදලා, ඒවා ප‍්‍රදානය කිරීම සඳහා අගමැතිතුමියගෙන් වෙලාවක් ඉල්ලා සිටියා. අගමැතිනියගේ හැඳුනුම්පත ලිව්වේ, ඒ කාලේ ලංකාවෙන්ම අත් අකුරු තරගයෙන් පළවෙනියට තේරුණු විජායි ලක්‍ෂ්මී මොහොට්ටි, එයා සේවය කළෙත් අපේ දෙපාර්තමේන්තුවේ. කිහිපවාරයක්ම එතුමියගෙන් මේ සඳහා වෙලාව ලැබුණත්, ඒ සියල්ල නොයෙක් හේතු නිසා එතුමියගේ කාර්යාලයෙන් කල් දැම්මා. එක දවසක් එතුමියම ඒකනායක මහත්තයාට කතා කළා. ”මම දැන් ඕගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවට එනවා’’ කියලා එතුමිය කිව්වා. එක පාරම එතුමිය සහ කැබිනට් මණ්ඩලයම අපේ කාර්යාලයට ආවා. එතුමිය අපේ කාර්යාලය නිරීක්ෂණය කරලා, ඉවර වුණ ගමන්ම මම අගමැතිනියගේ හැඳුනුම්පත එතුමියට ප‍්‍රදානය කළා. ඒ වෙලාවේ ඇමැති මණ්ඩලයේ බොහෝ පිරිසක් එතැන හිටියා.’’
 
 අපේ‍්‍රල් මාසයට වසර පනහක් සපිරෙන හැඳුනුම්පතේ උපත එතරම් රසවත් සහ පුද්ගලයන් දෙදෙනකුගේ සැලසුම මත මූලික වශයෙන් ඇති වූවක් බව කිව හැකිය. ඒ සඳහා නායකත්වය ලබා දුන් ටී. බී. එම්. ඒකනායක මහතා අද දැයෙන් සමුගෙන ගොසිනි. ජාතියට අද ඒ මතකය ගෙන හැර දැක්වීම සඳහා ඉතිරිව ඇත්තේ ඩබ්ලිව්. ඞී. ගුණවර්ධන මහතා පමණය. ඒ මතකය අවදි කරන ලද්දේ ශ‍්‍රී ලාංකේය හැඳුනුම්පත ලබා ගත් අසහාය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ජන්ම දිනය ඊයේ දිනයට යෙදී තිබුණි. 1916 අපේ‍්‍රල් 17 වෙනිදා ඇය බිහිවූයේ රත්නපුරයේදිය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles