Divaina - කුවේරගේ පරාජය හෙවත් වේදිකාවට ගෙන දෑත් බැඳ ඇඳිවත කඩා දැමීම... කවුද මේ කුවේර ද සොයිසා..? සාලිය පීරිස් ගේ ඉලක්කය...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

edifea

බුලිත ප‍්‍රදීප් කුමාර

”නිලවරණ” ගැන අපේ සමාජය වැඩි වැඩියෙන් කතා කරන පසුබිමක අපේ රටේ සමාජ දේශපාලනය සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක ආයතනයක් වන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පසුගිය බදාදා මහත් උණුසුමින් යුතුව අවසන් විය.

අවසාන ප‍්‍රතිඵලය ගැන දැන් සමාජයේ කතාබස් බොහෝය. ජය පරාජය ගැන විවේචන ද බොහෝ ය. සිදු වූ දේ ගැන පසුවිපරම් ද ඉවරයක් නැත.

මේ සියල්ලෙහි සංකලනයක සාම්‍යයක් ලෙස ප‍්‍රතිඵලය ගත්කල පැහැදිලිව පෙනෙන කාරණාව වන්නේ නීතිඥ සංගමයේ මහ පුටුවට ඉදිරිපත් වූ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ නියෝජිතයා පරාජය කර විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ නියෝජිතයා විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීම ය...

මෙයම තවත් ආකාරයකින් කිවහොත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයා යැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පරාජය කරමින් පොදු විපක්ෂයේ නියෝජිතයා ලෙස සමාජය සලකන ලද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමය.

පොදු සමාජය පිළිගත් කාරණාවත් සමාජයට පෙනෙන්නට පැහැදිලි ව තිබූ කාරණාවත් මෙයයි. එහෙත් ආණ්ඩුව මෙම විග‍්‍රහය ප‍්‍රතික්ෂේප කරනු ලැබීය...

”කුවේර ද සොයිසා ආණ්ඩුව නියෝජනය කරන නියෝජිතයෙක් නෙවෙයි. පොහොට්ටුවෙන් නම් කරපු නියෝජිතයෙකුත් නෙවෙයි. එයා ස්වාධීන නීතිඥයෙක්... එච්චරයි” රජය නියෝජනය කරන එක්තරා නීතිඥ මන්ත‍්‍රීවරයෙක් මා සමඟ කීවේ එසේය.

එහෙත් සමාජය විසින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සලකනු ලැබුවේ මේ රටේ විපක්ෂයේ පාර්ශ්වය නියෝජනය කරන නියෝජිතයා ලෙස ය. සුමන්දිරන් ඇතුළු දෙමළ මුස්ලිම් සුළු පක්ෂවල මිත‍්‍රයා හා නියෝජිතයා ලෙස ය. ලංකාවේ මානව හිමිකම් හා සුළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන සියල්ලෙහි හිතවතා ලෙස ය. කොටින් ම විපක්ෂයේ සමස්ත බලවේග නියෝජනය කරන නියෝජිතයා ලෙස ය.

එහෙත් එම පොදු හැඳින්වීම විපක්ෂයේ නියෝජිතයින් ද ප‍්‍රතික්ෂේප කළේ ය. ඔවුන් ද සාලිය පීරිස් හඳුන්වා දෙන්නට වූයේ කිසිදු කණ්ඩායමකට සම්බන්ධයක් නැති ඉතා ස්වාධීන නීතිවේදියකු

ලෙස ය. අන්තර්ජාලයට මා ඇතුළත් කොට තිබූ එක්තරා අදහසකට ප‍්‍රතිචාර දැක්වූ විපක්ෂයට සම්බන්ධ බොහෝ දෙනෙක් සාලිය පීරිස් ඉතා ස්වාධීන අයෙකු බව ඉස්මතු කරන්නට උත්සාහ කර තිබිණි.

දේශපාලනයට සම්බන්ධ නැතැයි කියන මේ දෙදෙනා ඇත්තටම කවුරුන්ද කියා කුකුසක් පොදු මහත් පාඨකයාට ඇති වනු නිසැක ය. දැන් අපි සොයා බලන්නේ ඒ ගැනය.

* කවුද මේ කුවේර ද සොයිසා..?

ආදි රාජකීයයකු වන කුවේර ද සොයිසා සිවිල් නීතිය, වාණිජකරණ නීතිය, බේරුම්කරණ නීතිය හා පොදු නීතිය පිළිබඳ ලංකාවේ ප‍්‍රාමාණික උගතකු හා කීර්තිමත් ජනාධිපති නීතිඥවරයකු ලෙස ප‍්‍රකට ය. ආරම්භයේදී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ සහයක නීතිඥ කණ්ඩායමේ (චේම්බරයේ) අලි සබ්රිටත් ඉදිරියෙන් සිටි අති දක්ෂයකු වූ කුවේර 2012 තනිව වෘත්තීය කටයුතු ආරම්භ කර ඇත. ඉතා කෙටි කලකින් තම ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයකු වූ කුවේර ද සොයිසා අද ලංකාවේ ඉහළම ආදායම් ලබන නීතිවේදීන් කිහිප දෙනාගෙන් එක් අයෙකු වෙති. ජාතික ආගමික වශයෙන් සැබෑ දේශපේ‍්‍රමියෙකු වූ ඔහු දේශපාලනමය වශයෙන් රාජපක්ෂ කඳවුරට වඩාත් හිතෛෂිවන්ත ව කටයුතු කළේය. සැබෑ මානව හිතවාදියෙකු විය. හොඳ ක‍්‍රීඩකයෙකු විය. මැතිවරණවලදී මුල් යුගයේ නාමල් රාජපක්ෂට උදව් පදව් කළේය. 2015 න් පසුව දේශපාලන කටයුතුවලින් මදක් ඈත් වූ කුවේර සමාජ සේවය ද කරමින් නීති ක්ෂේත‍්‍රයේ ඉදිරියට ගියේය. පසුකාලීනව රාජපක්ෂවරුන්ට එරෙහි පැවැති නඩු හබවලට පෙනී නොසිටි බවට කියන කතාවේ ද ඇත්තක් නැතුවා නොවේ. ඔහුට ඒ සඳහා අවස්ථාවක් ද උදා වී තිබුණේ නැත.

* කවුද මේ සාලිය පීරිස්..?

සාලිය පීරිස් කුවේරට සමකාලීනව නීති ක්ෂේත‍්‍රය ට පිවිස සිවිල් නීතිය, පොදු නීතිය, ව්‍යවස්ථාපිත නීති හා මානව හිමිකම් සම්බන්ධයෙන් ඉහළ ප‍්‍රාමාණික දැනුමක් ලැබූ අති දක්ෂ ජනාධිපති නීතිඥවරයෙකි. ශ‍්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ දේශපාලන හා මානව හිමිකම් අයිතීන් වෙනුවෙන් කැප වෙමින් කටයුතු කළ ඔහු ඒ සඳහා ලංකාවේ ක‍්‍රියාත්මක වූ බොහෝ සමාජ හා රාජ්‍ය නොවන සංවිධානවල ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු විය. දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් හා සුළුජන අයිතීන් වෙනුවෙන් වැඩ කිරීම නිසා ම සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ හිතෛෂීවන්තයකු විය. මෙලෙස තහවුරු කර ගත් විශ්වාසය හා කීර්තිනාමය නිසාම ඔහුට 2015 පසුව පසුව බිහි වූ යහපාලන ආණ්ඩු සමයේ විවිධ වගකීම් හා තනතුරු ලැබූ බව ද රහසක් නොවේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් වීම් ලබන්නට පවා ඒ කැපවීම හේතු විය. එම ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු මෙන්ම ජිනීවා සමුළුවට පවා මානව හිමිකම් ගැටලූ රැගෙන ගිය ක‍්‍රියාකාරිකයකු වූ මංගල සමරවීරගේ සමීප උපදේශකයෙකු ද විය. ශ‍්‍රී ලංකාව විසින් යෝජනා කර ජිනීවා සමුළුවේ අනුමත වූ 30/1 යෝජනාවලට අනුව ලංකාවේ පිහිටුවන ලද අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපතිවරයා වූයේ ද සාලිය පීරිස් ය.

මේ සියල්ලට වඩා ඔහු හොඳ ගුරුවරයකු විය. පක්ෂ භේදයකින් තොරව, උදව් උපකාර බලාපොරොත්තුවෙන් ඔහු වෙත එන ඕනෑම ශිෂ්‍යයෙකුට, නීතිඥයෙකුට නො පිරිහෙළා තම වගකීම් ඉටු කරන, නිර්ලෝභීව උදව් පදව් කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයකු විය. හොඳ මනුස්සයකු විය.

මේ සියල්ලටම වඩා ඔහුගෙන් නීති ක්ෂේත‍්‍රයට සේවාවක් සිදු වූයේ නීති ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වන්නන්ට නීතිය උගන්වන සී. එෆ්. පී. එස්. ආයතනය ආරම්භ කර එමගින් ඉටු කරන ලද අධ්‍යාපන සේවාවයි. සෑම වසරකම නීති විද්‍යාලයට ප‍්‍රවේශ වන ආධුනික සිසුන්ගෙන් 80% දෙනා පැමිණෙන්නේ ඔහුගේ නීති ඇකඩමියෙන් ශාස්ත‍්‍ර හදාරා ප‍්‍රවේශ විභාගය සමත්ව වීම විශේෂත්වයකි. මේ නිසා අද ආධුනික නීතිඥයින් 4000 අධික පිරිසක් ඔහුගේ ශිෂ්‍යයින් ලෙස නීති ක්ෂේත‍්‍රයට පිවිස සිටිති. අන් කවරක් නැතත් නීති ක්ෂේත‍්‍රයේ ඕනෑම ඡන්දයක් දිනන්නට ඔහුට ඇති ඒ සුදුසුකම ම ප‍්‍රමාණවත් ය...


* සාලිය පීරිස් ගේ ඉලක්කය...

නීති ක්ෂේත‍්‍රය දිගේ ඉහළට යෑම තම අභිලාෂය කොට ගත් සාලිය නීතිඥයකු හැටියට සමාජයේ යෑමට හැකි ඉහළම තැනට යන්නට කල්පනා කළේ ය. නීතිඥ සංගමයේ සභාපති වන්නට ඔහුට අවශ්‍ය විය. 2017 වසරේ දී කාලිංග ඉන්ද්‍රතිස්ස නම් ගෞරවනීය නීතිවේදියා ස්වාධීනව එම තනතුරට ඉල්ලන ලද අවස්ථාවේ දී එවකට (යහපාලන) රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් ඔහු අනිත් පැත්තෙන් ඉදිරිපත් විය. එහෙත් එවකට විපක්ෂය කාලිංග ඉන්ද්‍රතිස්ස ට උදව් කරන බව දැනුණු නිසා හා විපක්ෂයේ බලවේගය එවකට ප‍්‍රබල ව තිබූ නිසා අතරමගදී ඔහු නතර විය.

එදා අතරමග නතර වූ ඔහු 2020 දී නැවත කරළියට පැමිණියේ සමාජය තුළ නැවතත් විකල්පයක අවශ්‍යතාවය දැනෙමින් තිබෙන මොහොතක ය. නව ආණ්ඩුව පත් කර ගැනීමෙන් පසු රටට යහපතක් වේ යැයි බලාපොරොත්තුවෙන් සිට ඉතා කෙටි කලකින් අපේක්ෂා භංගත්වයට පත් නීති ක්ෂේත‍්‍රයේ වෘත්තීයවේදීන්ගේ සහයෝගය තමන්ට නිසැකවම ලැබේ යැයි ඔහු කල්පනා කරන්නට ඇත.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, රිෂාද් බදුයුදීන්ගේ මුස්ලිම් පක්ෂය හා රාජපක්ෂවරුන්ට එරෙහි සියලූ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය යටතේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති තනතුරට ඉල්ලන්නට ඉදිරිපත් වීම ගැන කිසිවෙකුටත් වරදක් කීමට නො හැකි ය.

සාලිය පීරිස්ගේ කඳවුරේ නැගීම දුටු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥ ක‍්‍රියාකාරි පිරිසක් සාලිය පීරිස්ගේ සම්ප‍්‍රාප්තිය නතර කිරීමට විකල්ප සොයන්නට වූහ. ඔවුන්ට ලැබුණු එකම හා හොඳම විකල්පය වූයේ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ය.

විපක්ෂයේ සියලූ බලවේගවල සහයෝගය ඇතිව සාලිය පීරිස් සටනට පිවිසි අවස්ථාවේ කුවේර ද සොයිසාගේ ඉදිරිපත් වීම පොදු සමාජය සැලකූයේ පොහොට්ටුවේ නියෝජිතයකුගේ ආගමනයක් යැයි කියාය. වත්මන් ආණ්ඩුවට සම්බන්ධ යම් යම් ඉහළ පෙළේ නීතිඥයින්ගේ අනුදැනුම හා අනුග‍්‍රහය හා ආශිර්වාදය ඔහුට හිමි වීම ද මීට එක් හේතුවක් විය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ඩබ්ලිව්. දයාරත්න, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ආචාර්ය හර්ෂ කබ්රාල්, යූ. ආර්. ද සිල්වා, සංජීව ජයවර්ධන, දීන්ත ද අල්විස්, ප‍්‍රතිභා මහානාම හේවා, සමන්ත රත්වත්ත, ශාන්තා අභිමානසිංහ, කෞෂල්‍ය නවරත්න හා ෆයිසර් මුස්තාපා වැනි ජනාධිපති නීතිඥවරු ද ඒ අතර වූහ. මේ අතර වැඩිදෙනා වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ආයතන ප‍්‍රධානීන් හා ඉහළ පෙළේ නීතිඥයින් නිසා කුවේර ද සොයිසා ආණ්ඩුවේ නියෝජිතයා යැයි කවුරු හෝ සිතුවේ නම් එහි ඇති වරදක් නැති බව පැහැදිලි ය. වැදගත්ම කාරණය කුවේර ද සොයිසා පොහොට්ටුව කණ්ඩායමේ නියෝජිතයා නොවේ යැයි කියා කිසිවෙක් ප‍්‍රසිද්ධියේ කීවේ ද නැත. ඇතැම්හු ඒ බැව් දැන් කියමින් සිටින්නේ පැරදුනාට පසුව ය.

* නීතිඥයන්ගේ ඡන්ද බලය..!

ලංකාවේ සිවිල් සමාජය තුළ දැන් තිබෙන සංවිධාන අතර බලවත් ම සංවිධානය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යැයි ඇෙඟතත් නිසැකවම බලවත්ම සංවිධානය වන්නේ ඒ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයයි. මන්ද ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයින් සියල්ලන්ම පාහේ එහි සාමාජිකයන් වන නිසා ය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි සාමාජිකයෙකි. ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ ද සාමාජිකයෙකි. හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ ද එහි සාමාජිකයෙකි. මේ අයුරින් බලන කල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ම නීතිඥයෝ 50 කට ආසන්නය.

තවද අගවිනිසුරු ප‍්‍රමුඛ සියලූ විනිසුරුවරු, නීතිපති මෙම සංගමයේ සාමාජිකයෝ ය. නියෝජ්‍ය පොලිස්පතිවරු ද ගණනාවකි. අමාත්‍යංශ ලේකම්වරුද ගණනාවකි. නීතිඥයින් විභාග සමත් වූ පසු කළු ලෝගු ඇඳ දේශපාලනඥයින් පස්සෙන් ගොස් තනතුරු ලබාගෙන අද ආයතන ප‍්‍රධානීන් බවට පත්ව සිටින උසාවියේ හතරමායිම් වත් නොදන්නා නීතිඥයෝ තව කොතෙක් ද?

මේ සියල්ලෝම ගත් කල අද ලංකාවේ නීතිඥයෝ 21,000ක් පමණ මෙම සංගමයේ සාමාජිකයෝ වෙති. මේ අතරින් 17,500ක් පමණම සක‍්‍රීය සාමාජිකයෝ ය. සාමාන්‍යයෙන් සියල්ලෝම කෙසේ වෙතත් ලංකාව පුරා උසාවි 87ක් ඔස්සේ පවත්වනු ලබන නීතිඥ සංගම් නිලවරණයකදී සාමාන්‍යයෙන් වැටෙන ඡන්ද සංඛ්‍යාව 10,000 ට ආසන්න වෙයි.

පසු ගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ සභාපතිවරයා තේරීමේ ඡන්ද සටන ආරම්භ විය. සමගි ජන බලවේගය, එජාපය, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය ප‍්‍රමුඛ විපක්ෂයේ බලවේග සියල්ල ම එකාවන්ව වෙහෙසෙමින් සාලිය පීරිස් දිනවීමේ ඡන්ද සටනට එක්ව සිටියහ. තනි තනිවම නීතිඥයින් හමුවෙමින් කතාබහ කරමින් සිටියහ. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දෙමළ මුස්ලිම් නීතිඥයින්ගේ සහයෝගය නිසැකව ම සාලිය පීරිස් ට ලැබෙන බව හෙළි විය. ඒ අතර කිසිවක් ම නොවිමසා තමන්ට නීති ක්ෂේත‍්‍රයට පැමිණීමට අත හිත දීම නිසා සාලියට නිසැකවම ඡන්දය දෙන 4000 ක් පමණ වූ ආධුනික නීතිඥයින් පිරිසක් ද සිටියහ.

ඒ ආකාරයටම ආණ්ඩු පක්ෂයේ බලවේගවල සහාය තමන් වෙත ලැබෙනු ඇතැයි කුවේර ද සොයිසා විශ්වාස කළේ ය. ඔහු ට සහයෝගය දුන් හිත මිතුරු පිරිස ආණ්ඩු පක්ෂයේ බලවේග වෙන වෙන ම හමුවෙමින් සහයෝගය ඉල්ලා සිටියහ. අගමැතිවරයාගේ පටන් සියලූම මන්ත‍්‍රීවරුන් මෙන්ම ආණ්ඩුවේ ආයතනවල ප‍්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස සිටින සියලූ නීතිඥයින්ගේ සහාය තමන් වෙත ලැබෙනු ඇතැයි කුවේර සිතා සිටියේය. අධිකරණ ඇමැති අලි සබ්රි ඔහුගේ සමකාලීනයකු බැවින් ඔහුගේ චේම්බරයේ සිටින සියලූ දෙනා තමන්ට සහයෝගය දෙනු ඇතැයි කුවේර විශ්වාස කළේ ය. එ පමණක් නොවේ, එදා ශිරාණි බණ්ඩාරනායකගේ නඩුවට පෙනී සිටිමින් ශිරාණි බණ්ඩාරනායකගේ සිද්ධිය කරළියට ගනිමින් නීතිඥයින්ගේ මතවාද පුළුල් පරිවර්තනයකට ලක් කරමින් 2015 දී රාජපක්ෂ විරෝධී රැල්ලක් නිර්මාණය කරන්නට ඇප කැප වූ සාලිය පීරිස් වැන්නෙකුට රාජපක්ෂවරුන් රජකරන ආණ්ඩුවකින් උදව් නොකරනු ඇතැයි ද විශ්වාස කළේය.

* අන්තිමේ සිදු වූයේ කුමක්ද..?

විපක්ෂය දිස්ත‍්‍රික් මට්ටමින් සියලූ බලවේග හසුරවමින් සාලිය පීරිස් පෙරට ගෙන එන්නට සැදී පැහැදී සිටියහ. සුමන්තිරන් ඇතුළු දෙමළ මුස්ලිම් බලවේග රාජ්‍ය නොවන සංවිධානවල උදව් ඇතුව සාලිය පීරිස් වෙනුවෙන් ඡන්ද සූදානම් කළහ. එපමණක් ද... නැත. අධිකරණ ඇමැති අලි සබ්රිගේ චේම්බරයේ ඉරේෂ කාලිදාස හැරුණු විට අනිත් සියලූම නීතිඥයෝ කුවේරට එරෙහිව සාලිය දිනවන්නට වැඩ කළහ.

අනිත් අතට කුවේර ද සොයිසා ට තවත් අවාසියක් සිදු විය. ඒ වූ කලී ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින සියලූම නීතිඥයෝ සාලිය පීරිස්ට පක්ෂව ඡන්දය දෙන්නට තීරණය කිරීම ය. ආණ්ඩුවේ නියෝජිතයා යැයි කවරෙකුවත් ඔහුව නම් නොකළත්, ආණ්ඩුවේ නියෝජිතයා නොවේ යැයි කියා කවරෙකු වත් ඔහු ගැන නොකීවත් ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින සියලූම දෙනාගේ වෛරයට කෝපයට කේන්තියට පිළිකුලට ලක් වන්නට සිදු වූයේ කුවේරට ය.

බදාදා දිනයේ නිලවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පැමිණියේ ද ඉතාමත්ම සුළු පිරිසකි. වෙනදා නොවරදවා ම ඡන්දය දැමීමට එන මහින්ද රාජපක්ෂවත් නාමල් රාජපක්ෂවත් මෙදා පැමිණියේ නැත. සුසිල් පේ‍්‍රමජයන්ත, උදය ගම්මන්පිල, අනුර යාපා, නිමල් සිරිපාල, සිසිර ජයකොඩි, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි ඇතුළු ඉතාම සුළු පිරිසක් පමණක් ඡන්දය දාන්න පැමිණ සිටියහ.

අවසානයේ හවස ගණන් බලන විට නීතිඥ සංගම් 87 කින් මිනුවන්ගොඩ, මීගමුව, බලපිටිය, රත්නපුර, ගම්පොළ හැරුණු විට අන් සියලූම සංගම් ඉතා ඉහළින් ජයග‍්‍රහණය කරන්නට සාලිය පීරිස් සමත් විය. කුවේර ද සොයිසා ලබාගෙන තිබුණේ ඡන්ද 2807 කි. ඔහු පරයා සාලිය පීරිස් ඡන්ද 5267 ලබමින් ජයග‍්‍රහණය කළේ ය. නීතිඥ සංගමය තුළ පක්ෂ දේශපාලනයක් නැතැයි කියන්නට අද බොහෝ දෙනෙක් ඉදිරිපත් වී සිටින බව පෙනේ. කුවේර ද සොයිසාගේ පරාජයෙන් ඇඟ බේරා ගන්නට දෝ අද ආණ්ඩුවේ බොහෝ දෙනෙක් කියන එක ම කතාව වී ඇත්තේ කුවේර අපේ නියෝජිතයා නොවේය යන්නයි. එසේ නම් එය කියන්නට තිබුණේ අද නොවේ. ඡන්දයට පෙර කල් තියා කියා තිබුණේ නම් රජය කෙරෙහි කලකිරී සාලිය පීරිස් ට ලබා දුන් ඡන්ද විශාල ප‍්‍රමාණයක් කුවේරට ලැබෙනු නිසැකය.

කුවේරට සිදු වූ අකරතැබ්බය ගැන එක්තරා නීතිඥයෙක් මා හා අපූරු කතාවක් කීවේ ය.

”මෙතෙන්දි මේ ආණ්ඩුව කුවේරට ලොකු අසාධාරණයක් කළා. කුවේර පොහොට්ටුවේ නියෝජිතයා නෙවෙයි කියලා ආණ්ඩුව කිව්වෙ නෑ. නියෝජිතයා කියලා රටට දැනෙන්න ඇරියා. අන්තිමේ එතුමට උනේ සෙනග ඉස්සරහ ප‍්‍රසිද්ධ වේදිකාවට නග්ගවලා, අත් දෙක බැඳලා සරම කැඩුවා වගේ වැඩක්...”

අනිත් අතට සාලිය පීරිස් ස්වාධීන පුද්ගලයෙකු යැයි කියන්නට ද තවත් පිරිසක් වෙර දරන බව පෙනේ. දේශපාලන පක්ෂ සංවිධානාත්මක ව ඔහුට උදව් නොකළේ යැයි කියන කතා අද අන්තර්ජාලය ඔස්සේ ද හුවමාරු වන ආකාරය අපට පෙනේ. එහෙත් සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් තම තමන්ගේ ෆේස්බුක් පිටුවල පළ කර තිබෙන අදහස්වලට අනුව නම් ඔවුන්ගේ එම ප‍්‍රකාශ පරස්පර ය. අජිත් පී. පෙරේරා, තලතා වැනි අයගේ සතුට සැඟවිය නොහැක. ඒ අතර මංගල සමරවීර තම පිටුවේ සඳහන් කර තිබූ ආරංචිය කුමක් ද...

”කලකට පසු සතුටුදායක පුවතක් කණ වැකුණා...”

ඔහුගේ නීති උපදේශකයා ජයග‍්‍රහණය කිරීම පිළිබඳ මංගල සමරවීර සතුට පළ කර තිබුණේ එසේය.

මේ සියල්ලටම වඩා වටිනාම කාරණාව වන්නේ රටේ ඉතාමත්ම තීරණාත්මක වෘත්තීයවේදීන්ගේ බලවේගයක් වන නීතිඥ සංගමය විසින් රජයට ලබා දුන් සංඥාවයි. රජයට කෙලෙසකවත් මේ සංඥාව නොතකා හැරිය නොහැකි ය. මන්ද මෙම සංඥාවේ තරම මීටත් වඩා හොඳට අත් දකින්නට ඔවුන්ට මීට පෙර අවස්ථා ගණනාවක් ඉඩ ලැබී තිබුණ නිසා ය.

එදා 2015 දී මහින්ද රාජපක්ෂ රජය අනිත් පැත්ත ගසන්නට ගාමක බලවේගයක් ලෙස පෙරමුණට පැමිණ ක‍්‍රියා කළවුන් අතර මුල් පෙළේ සිටියේ නීතිඥවරුය. ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය මුල් කොට ගනිමින් නීතිඥයින් විසින් සාලිය පීරිස්ගේ නායකත්වයෙන් ආරම්භ කළ ඒ විප්ලවය ඔබට මතක ඇතැයි මම සිතමි. එසේ උසාවියෙන් ආරම්භ කළ විප්ලවය අවසන් කළේ තවත් අවුරුදු දෙකක් බලයේ සිටින්නට හැකියාව තිබුණු මහින්ද රාජපක්ෂ කල් වේලා ඇතිවම විශ‍්‍රාම ගන්වමිනි.

මෙවර ද නීතිඥවරු එක් ව සංවිධානාත්මක ව රජයට හොඳ දැනෙන සංඥාවක් ලබාදී අවසන්ය. මේ පරාජය අපේ නොවේ, කුවේර ද සොයිසා පුද්ගලිකව ලබන ලද පරාජයක් යැයි කියමින් අත පිසදා ගන්නට රජය ට නො හැකි ය.

තමන්ගේ අයෙක් මේ නිලවරණයෙන් පරාජය වී නැතැයි කියා රජය හිත හදා ගත්තාට වරදක් නැත. එහෙත් එමගින් ජයග‍්‍රහණය කර ඇත්තේ ආරම්භයේ පටන්ම තම කඳවුරේ පරාජයන් සඳහා පුරෝගාමීව ක‍්‍රියා කළ කඳවුරේ තීරණාත්මක බලවේගයක් ය යන සත්‍යය බැහැර කිරීමට ආණ්ඩුවට නොහැකිය. එය බැහැර කිරීම ආණ්ඩුවේ දේශපාලන ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නොවන වග පමණක් අපට කිව හැකිය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles