Divaina - මෛත්‍රී ඇතුළු ගණනාවකට නඩු... පාස්කු කොමිසමේ වාර්තාවේ සියලු විස්තර මෙන්න...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

එරික් ගාමිණී ජිනපි‍්‍රය


saharnපාස්කු බෝම්බ ප‍්‍රහාරයේ ප‍්‍රධාන ඉලක්කය වූයේ මෙරට කතෝලික බැතිමතුන්ය. නමුත් ඔවුන් ඇසට ඇසකින්ද, දතට දතකින්ද වන්දි ගෙවිය යුතුය යන ආගමික ඉගැන්වීමෙන් මිදී යුක්තිය අපේක්‍ෂා කළේ නීත්‍යනුකූල මාර්ගයෙනි. ඔවුන්ට ඒ සඳහා නායකත්වය ලබා දුන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා විසිනි. අගරදගුරු හිමියන් නිරන්තරයෙන් ප‍්‍රකාශ කර සිටියේ එම ප‍්‍රහාරය පිටුපස සිටියේ කවුද? ඊට උදව් උපකාර කළේ කවුද? එම ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන ප‍්‍රශ්නවලට පිළිතුරු අපේක්‍ෂා කරන බවයි.
 
 හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා 2019 අපේ‍්‍රල් 21 වන දින එල්ලවූ එම ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට 2019 සැප්තැම්බර් 22 වන දින ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපෑ හේතුව විය යුත්තේ අගරදගුරු හිමියන්ගේ යටපත් කළ නොහැකි වූ එම ඉල්ලීමය. ඊට අමතරව පාස්කු ප‍්‍රහාරයෙන් ශේෂ වූ සුන්බුන් අතරද යටපත් කළ නොහැකි ප‍්‍රබල ප‍්‍රශ්න කිහිපයක්ම ඉතිරි වී තිබුණි. ටාජ් සමුද්‍රා හෝටලයේදී පුපුරුවා හැරීමට නියමිතව තිබූ බෝම්බය, දෙහිවල ට්‍රොෆිකල් ඉන් හෝටලයේදී පුපුරා යෑම, පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ගේ භූමිකාව කුමක්ද, ඉන්දියාව මෙම ප‍්‍රහාරය පසුපස සිටියාද, මෙරට ප‍්‍රබල මුස්ලිම් දේශපාලනඥයන් සහරාන්ට උදව් උපකාර කළාද යන ප‍්‍රශ්න ඒ අතර විය. පාස්කු ප‍්‍රහාරයට එරෙහිව යුක්තිය අපේක්‍ෂා කළ බොහෝ දෙනකු එම ප‍්‍රශ්නවලට පිළිතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙන් අපේක්‍ෂා කළේය. එම සෑම ප‍්‍රශ්නයකටම කොමිෂන් සභා වාර්තාව මගින් පිළිතුරු ලබාදී ඇත්ද?

 

mus2
 
 එම කොමිෂන් සභාව පරිච්ෙඡ්ද 32 ක් ඔස්සේ එම ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සාහ දරා ඇත. එම පරිච්ෙඡ්ද වන්නේ 1. හැඳින්වීම, 2. අන්තවාදයේ සිට ත‍්‍රස්තවාදය දක්වා, 3, ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, 4. වහාබ්වාදය, 5. ශී‍්‍ර ලංකාවේ වහබ්වාදය, 6. අයි.එස්. සහ ශී‍්‍ර ලංකාව, 7. සහරාන් හෂීම්ගේ මුල් වකවානුව, 8. සැඟවී සිටි සහරාන්, 9. මාවනැල්ලේ සිට වනාතවිල්ලූව දක්වා, 10. පුහුණු කඳවුරු සහ ආරක්‍ෂිත නිවස්න, 11. ප‍්‍රහාරය සඳහා සූදානම, 12. මගහැරුණු අවස්ථා, 13. පූර්ණ අනතුරු ඇඟවීම, 14. ප‍්‍රහාරය, 15. ට්‍රොෆිකල් ඉන් පිපිරීම, 16. ප‍්‍රධාන පාර්ශ්වකාර පුද්ගලයන්ගේ විස්තර, 17. විදේශීය මැදිහත්වීම, 18. ශී‍්‍ර ලංකාවේ ජමාතේ ඉස්ලාම් සංවිධාන :ීඛෂෂ)ල 19. වගවීම, 20. නීතිය බලාත්මක කරන බලධාරීන්ගේ අතින් සිදුවූ අතපසුවීම්, 21. නීතිපති දෙපාර්තමේන්තුව, 22. සහදායක සාධකයන්, 23. ප‍්‍රතිත‍්‍රස්ත නීතිය, 24. අකර්මන්‍ය වූ රජය, 25. අන්තවාදී ආගමික කණ්ඩායම්, 26. වින්දිතයන් සඳහා වන්දි, සුබ සාධන පියවර සහ සහන වැඩසටහන්, 27. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අනතුරුව සිදුවූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්, 28. ආගමික වන්දනා මාන කරන ස්ථාන ස්ථාපිත කිරීම, 29. ෆොටෙන්, 30. නිගමන, 31. නිර්දේශ, 32. විධායක සාරාංශය.
 
 ඉහත සඳහන් සෑම පරිච්ෙඡ්දයකින්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ලවීම, එය වළක්වා ගැනීමට නොහැකිවීම ඊට වගකිවයුත්තේ කවුද යන්න විවිධ පැතිකඩයන් ඔස්සේ සලකා බලා ඇත. නමුත් මෙම අවස්ථාවේදී එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනතාවගේ වඩාත් අවධානයට යොමුවී ඇති ඉහත සඳහන් කර ඇති කාදිනල්තුමාගේ මෙන්ම ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන පරිච්ෙඡ්දයන් පිළිබඳව පළමුව සලකා බලමු.
 
 * විදේශීය අනතුරු   ඇඟවීමේ තොරතුරු
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව අවධානයෙන් සිටින බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇති සාධකය වී තිබෙන්නේ ඉන්දීය ඔත්තු සේවයන් විසින් ලබාදුන් බව කියන තොරතුරු පිළිබඳවය. ඒ පිළිබඳව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ ‘පූර්ව අනතුරු ඇඟවීම’ යනුවෙන් සඳහන් 13 වන පරිච්ෙඡ්දයේය. කොමිෂන් සභා වාර්තාවේ ඒ පිළිබඳව සඳහන් කර තිබෙන්නේ සහරාන්ගේ කණ්ඩායමෙන් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයාට වෙනත් රටක බුද්ධි අංශයක ඔහු හා සම තනතුරු දරන නිලධාරියකුගෙන් පූර්ව අනතුරු දැක්වීමක් ලැබී ඇති බවයි. කොමිෂන් සභාව විසින් සිය වාර්තාව මගින් මෙම මූලාශ‍්‍රය හෙළි කළ යුතුද යන්න පිළිබඳව බරපතළ ලෙස සලකා බැලූ බවද සඳහන් කර ඇත. නමුත් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා සහ එම රටේ කාර්ය භාරය පිළිබඳව ප‍්‍රශ්න කරන තවත් සමහර සාක්‍ෂිකරුවන් විසින් එම රටේ බුද්ධි අංශවලට එරෙහිව කරන ලද ඇතැම් වක‍්‍ර චෝදනා සැලකිල්ලට ගනිමින් පුද්ගලයන්ගේ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් ඒ පිළිබඳව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කිරීමට විමර්ශන කොමිසම තීරණය කර ඇත.

 

mus1
 
 පාස්කු ප‍්‍රහාරයට අදාළ සිදුවීම්වලදී එම රටේ බුද්ධි අංශ සහ වෙනත් සංවිධාන හෝ පුද්ගලයන් ප‍්‍රහාරය පිටුපස සිටීද යන්න පිළිබඳවද විමර්ශන කොමිසම විසින් එම කොමිසමට පැවරී ඇති කාර්ය භාරය අනුව තීරණය කිරීම අවශ්‍ය බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.
 
 වාර්තාවේ සඳහන් ආකාරයට 2019 අපේ‍්‍රල් 04 වන දින රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයාට ඉන්දියානු බුද්ධි අංශ සගයෙකුගෙන් වට්ස්ඇප් පණිවුඩයක් ලැබී ඇත. එම පණිවුඩය මගින් ශී‍්‍ර ලංකාවේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයෝ විසින් ළඟදීම ශී‍්‍ර ලංකාවේ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කර ඇත. ඔවුන් වැදගත් දේවස්ථාන කිහිපයක් ඉලක්ක කිරීමට සැලසුම් කර ඇති බවත්, ඔවුන් ශී‍්‍ර ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පිළිබඳව ඔත්තු බැලීම සිදුකර ඇති බවත් එම ස්ථානය සැලසුම් සහගත ප‍්‍රහාරයේ එක් ඉලක්කයක් බවත් එම තොරතුරේ තවදුරටත් සඳහන් කර තිබී ඇත.
 
 ප‍්‍රහාරය සඳහා පහත සඳහන් ඕනෑම ක‍්‍රමයක් අනුගමනය කළ හැකි බවත් එම තොරතුරේ සඳහන් කර ඇත.
 
 අ). මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්, ආ). ආයුධ යොදාගෙන කරන ප‍්‍රහාරයක්, ඇ). පිහි ප‍්‍රහාරයක්, ඈ). ට‍්‍රක් රථ ප‍්‍රහාරයක්.
 
 සැලසුම් සහගත ප‍්‍රහාර කණ්ඩායමේ සාමාජිකයන් පහත දැක්වෙන අය බවද තොරතුරේ සඳහන් කර තිබී ඇත.
 
 1. සහරාන් හෂීම්, 2. ජල් අල් කිතල්, 3. රිල්වාන්, 4. සජිඞ් මවුලවි, 5. ෂාහිඞ්, 6. මිල්හාන් සහ තවත් අය.
 
 මෙම තොරතුර සඳහා ප‍්‍රමුඛතාව ලබාදී කටයුතු කරනු ඇතැයිද අපිට ඒ පිළිබඳව ප‍්‍රතිචාරයක් ලබාදීමට කාරුණික වනු ඇතැයි ද බලාපොරොත්තු වන බව එම ඉන්දියානු තොරතුරේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
 කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත්තේ සාමාන්‍ය තොරතුරක්. බුද්ධි තොරතුරක් බවට පත් කිරීම සඳහා බුද්ධි වටිනාකමක් ඇති ආකෘතියක් බවට පරිවර්තනය කළ යුතු බවයි. එම පරිවර්තනය සිදුවූ පසු තොරතුරු බුද්ධි තොරතුරු බවට පත්වන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
 
 බුද්ධි තොරතුරු තත්ත්වයන්හී විශ්වාසනීයත්වය පරීක්‍ෂා කිරීම සඳහා 5W1H‍ ප‍්‍රවේශය (කවුද, කුමක්, කොහේද, කවදා ද, ඇයි, කෙසේද) යන්න භාවිතා කරන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.
 
 එම නිර්නායකයන්ට අනුව සලකා බැලූ කල 2019 අපේ‍්‍රල් 04 වන දින ඉන්දියාවෙන් ලැබුණ තොරතුර ඉහළ විශ්වාසනීයත්වයක් ඇති බුද්ධි තොරතුරක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත. රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂවරයා එම තොරතුර හුදු තොරතුරක් පමණක් බව සඳහන් කළ බවත්, නමුත් කොමිෂන් සභාව බුද්ධි විශේෂඥයන්ගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එම තොරතුර නියත වශයෙන් බුද්ධි තොරතුරක් වන බවයි. කොමිෂන් සභාවද එම මතය සමග එකඟ වන බව සිය වාර්තාවේ සඳහන් කර ඇත. ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා සිය විදෙස්  සගයා සමග කළ සංවාදය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය සතුව කිසිදු වාර්තාවක් නොතිබීම පිළිබඳව කොමිෂන් සභාව වික්‍ෂිප්තභාවයට පත්වන බවයි. එසේම රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ඇත්ත වශයෙන්ම ඔහුගේ ඉන්දීය බුද්ධි අංශ සහයන්ගෙන් කිසිවෙකුට කිසිදු ප‍්‍රතිපෝෂණයක් ලබා නොදුන් බවත් විමර්ශන කොමිසම නිගමනය කළ බව සිය වාර්තාවේ සඳහන් කර ඇත. 2019 අපේ‍්‍රල් 21 වන දිනට හෝ ඊට පෙර සිදුවීමට නියමිත ප‍්‍රහාරයක් පිළිබඳව ඔහුගේ පළමු ඉන්දීය බුද්ධි අංශ සගයා දෙවන වරටත් තොරතුරු ලබාදීමෙන් පසු 2019 අපේ‍්‍රල් 20 වන දින ඔහුගේ දෙවන ඉන්දීය බුද්ධි සගයාගේ පණිවුඩයක් ලැබුණේ ඇයි දැයි යන ප‍්‍රශ්නයට ඔහු දක්වන ප‍්‍රතිචාරය සලකා බලන විට එම කරුණ පැහැදිලි වන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.
 
 රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයාගේ පසුකාලීන හැසිරීමෙන්ද ඔහු 2019 අපේ‍්‍රල් 04 දින ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි වැදගත්කමක් ලබාදී නොමැති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. ඒ සඳහා කොමිෂන් සභාව උදාහරණ ලෙස ගෙනහැර දක්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා 2019 අපේ‍්‍රල් 12 වන දින මඩකලපුවේ සංචාරය කිරීමට පෙර, 2019 අපේ‍්‍රල් 10 වන දින රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයාගේ අත්සනින් යුක්තව, ජනාධිපති ආරක්‍ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති තර්ජන තක්සේරු වාර්තාවයි. ජනාධිපතිවරයා සංචාරයක යෙදීමට පෙර කැඳවන එම වාර්තාවේ රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ‘ත‍්‍රස්තවාදී අන්තවාදී හෝ වෙනත් කණ්ඩායම්වලින් ජනාධිපතිතුමාට හෝ සංචාරයට තර්ජනයක් නොමැති බවයි. එම වාර්තාව 2019 අපේ‍්‍රල් 04 වන දින ඉන්දීය ඔත්තු සේවයක් විසින් ලබාදුන් බුද්ධි තොරතුරු පිළිබඳව සඳහන් කළ යුතු වුවත් ඒ පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැති බව කොමිෂන් සභාව සිය වාර්තාවේ සඳහන් කර ඇත.
 
 එසේම මඩකලපුවේ සියොන් දේවස්ථානය වෙත මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ අසාද් 2019 අපේ‍්‍රල් 12 වන දින ජනාධිපතිවරයා සහභාගි වූ රැස්වීම් පැවැත්වූ වෙබර් කී‍්‍රඩාංගණය ඉදිරිපිට පිහිටි මුස්ලිම් පල්ලියේ නැවතී සිටි බවත්, රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා තම ඉන්දීය සගයා විසින් ලබාදුන් බුද්ධි තොරතුරට නිසි වැදගත්කමක් ලබාදී ඇත්නම් ඔහු ගත යුතුව තිබූ සාමාන්‍ය කි‍්‍රයා මාර්ගය වූයේ ඒ පිළිබඳව ජනාධිපති ආරක්‍ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කර තක්සේරු වාර්තාවේ සඳහන් කිරීම බවද, කොමිෂන් සභාව සිය වාර්තාවේ සඳහන් කර ඇත.
 
 රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා වූ නිලන්ත ජයවර්ධන මහතා 2019 අපේ‍්‍රල් 07 වන දින ජාතික බුද්ධි ප‍්‍රධානියා වෙත ලිපියක් යොමුකර ඇති බවත්, එයට ඉන්දීය බුද්ධි සගයාගෙන් ලබාගත් බුද්ධි තොරතුරේ පිටපතක් අමුණා තිබූ බවත්, ආවරණ ලිපියේ මාතෘකාවේ ‘සැලසුම් කර ඇතැයි සැලකෙන ප‍්‍රහාරයක් පිළිබඳ තොරතුරු යනුවෙන්ද’ දැන ගැනීම සහ උපදෙස් සඳහා යනුවෙන්ද එහි සඳහන් කර ඇති බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත. ඊට පසුදින ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සමගද සාකච්ඡා කර ඇති බවත් එහි සඳහන් කර ඇත.
 
 2019 අපේ‍්‍රල් 09 වන දින පැවැති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ සිදුවූ දෑ සම්බන්ධයෙන් පරස්පරතාවන් පවතින බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. එම රැස්වීමේදී ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුර සාකච්ඡා නොකිරීම බරපතළ පසුබෑමක් ලෙස සලකන බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයා ඇතුළු වැදගත් පුද්ගලයන් සහභාගි වූ එම රැස්වීමේදී ඉන්දීය තොරතුර පිළිබඳව කතා කිරීමට අපොහොසත් වීම නිසා විශේෂයෙන් ප‍්‍රහාරය මැඬ පැවැත්වීම සඳහා මනාව සම්බන්ධීකරණයක් සහිත උත්සාහයක් වළක්වනු ලැබූ බවත් කොමිෂන් සභාව තීරණය කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සරහාන් සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳව සැලකිය යුතු බුද්ධි තොරතුරු හමුදා බුද්ධි අංශ සතුවද තිබුණු බවයි.
 
 2019 අපේ‍්‍රල් 09 වන දින පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉන්දීය බුද්ධි තොරතුර පිළිබඳව සාකච්ඡා කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන, රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් යන නිලධාරීන් තිදෙනාම වගකිවයුතු බව විමර්ශන කොමිසම විසින් සොයාගෙන ඇති බවත් සිය වාර්තාවේ සඳහන් කර ඇත.
 
 * ටාජ් සමුද්‍රා හෝටලයේදී පුපුරුවා හැරීමට නියමිතව තිබූ බෝම්බය, දෙහිවල  ටොෆිකල් ඉන් ලැගුම් හලේදී පුපුරා යාම
 
 ටාජ් සමුද්‍රා හෝටලයේදී පුපුරුවා හැරීමට නියමිතව තිබූ බෝම්බය, දෙහිවල ට්‍රොෆිකල් ඉන් ලැගුම් හලේදී පුපුරා යෑම බරපතළ සැක සංකා මතු කිරීමට හේතුවී ඇත. ඒ සඳහා එක් හේතුවක් වී ඇත්තේ ටාජ් සමුද්‍රා හෝටලයේ අයිතිය ඉන්දියාව සතුවීමය. මෙම ප‍්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බව සමහරුන් ප‍්‍රකාශ කරන්නේ එම කරුණු පදනම් කරගෙන විය යුතුයි. ට්‍රොෆිකල් ඉන් ලැගුම් හලේදී ජමිල් මිය යෑමද සමහරුන්ගේ සැක සංකා මතු කිරීමට හේතුවී තිබේ.
 
 පාස්කු කොමිෂන් වාර්තාවේ සඳහන් වන ආකාරයට 2016 සිට හමුදා බුද්ධි අංශය ජමිල් අන්තවාදී අදහස් දරන පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන සිට ඇත. 2018 අපේ‍්‍රල් මාසයේදී එම තොරතුරු නිසා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුගෙන් ප‍්‍රශ්න කර තිබේ.
 
 2019 අපේ‍්‍රල් 21 කොළඹ සහ වෙනත් ප‍්‍රදේශවල පිපිරුම් සිදුවූ වහාම ලද උපදෙස් මත කි‍්‍රයාත්මක වූ හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම් කි‍්‍රයාකාරිකයන් දෙමටගොඩ ලන්සියා වත්තේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.
 
 ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ට්‍රොෆිකල් ඉන් ලැගුම් හලට ගිය ජමිල්, සිය බෝම්බය සහිත බඩු බාහිරාදිය එම ලැගුම් හලේ තබා අවට ප‍්‍රදේශයේ සැරිසරා ඇත. එම ප‍්‍රදේශයේ පිහිටි දේවස්ථානයකට ද ඔහු ගොස් යාඥා කර ඇති අතර එම දර්ශන සීසීටීවී කැමරාවල සටහන් වී ඇත. එම දර්ශන කොමිෂන් සභාව විසින් නීල් ප‍්‍රනාන්දු නම් ප‍්‍රවීණ මනෝ වෛiවරයාට යොමුකර ජමිල්ගේ හැසිරීම පිළිබඳව විමසා ඇත. එම මනෝ වෛiවරයාගේ අදහස වී ඇත්තේ ජමිල්ගේ හැසිරීම තුළින්, තමන්ගේ ඉලක්කය වෙත ළඟාවීමට අපොහොසත් වූ කණස්සල්ලට පත්වූ පුද්ගලයකුගෙන් දක්නට ලැබෙන කි‍්‍රයාකාරකම් දිස්වන බවයි.
 
 එක්තරා පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට දුරස්ථ පාලක බෝම්බයක් මගින් ජමිල් මරා දැමීමට අවශ්‍ය වූයේ නම් අනිවාර්යයෙන්ම දේවස්ථාන හා හෝටල්වල මුල් පිපිරීම් සිදුකිරීමෙන් පසු ඔවුන් පැය 4 ක් තරම් කාලයක් ඒ වෙනුවෙන් මිඩංගු කෙරෙණු ඇති බවත් කොමිෂන් සභාවේ නිගමනය වී ඇත.
 
 එම බෝම්බය පිළිබඳව විශ‍්‍රාමික රස පරීක්‍ෂකවරයකුගෙන් කොමිසම විශේෂඥ සාක්‍ෂි විමසීමක් සිදුකර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ බෝම්බ පුපුරවා හැරීමට යොදා ගන්නා ඩෙටනේටරය තත්ත්වයෙන් බාල එක් වූයේ නම් එසේ සිදුවිය හැකි බවත්, එසේත් නොමැති නම් අදාළ පරිපථයේ නිසි ලෙස සම්බන්ධ නොවීමට හේතුවන ආකාරයේ අඩුපාඩුවක් පැවතියේ නම් එසේ සිදුවිය හැකි බවයි.
 
 * ප‍්‍රහාරයට විදේශීය  මැදිහත්වීමක් තිබුණද?
 
 සහරාන් සහ ඔහුගේ කණ්ඩායම විසින් පමණක් මෙම ප‍්‍රහාරය සිදුකර නොමැති බව කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන් සාක්‍ෂිකරුවන් කිහිප දෙනකුම ප‍්‍රකාශ කර ඇත. කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇති ආකාරයට එම ප‍්‍රකාශය කර ඇත්තේ පහත සඳහන් සාක්‍ෂිකරුවන් විසිනි.
 
 1. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, 2. හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, 3. හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, 4. හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන්, 5. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, 6. පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන්, 7. හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන, 8. ලතීෆ් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී (විශ‍්‍රාමික), 9. රවින්ද්‍ර විජේගුණරත්න මහතා, හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, 10. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, 11. වැඩ තහනමට ලක්වී ඇති රහස් පොලිස් අධ්‍යක්‍ෂ ශානි අබේසේකර.
 
කෙසේ වෙතත් එම සාක්‍ෂිකරුවන්ගෙන් කිසිවෙකු හුදෙක් තහවුරු නොකරන ලද අනුමාන හැරෙන්නට මෙම කරුණු විමසා බැලීමට, පරීක්‍ෂණ කොමිසමට සහාය දැක්වීමට කිසිදු සාක්‍ෂියක් කොමිෂන් සභාවට ලබානොදුන් බව, කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. එසේ වුවද පරීක්‍ෂණ කොමිෂන් සභාව විසින් එහි ඇති සම්පත් හා බලය යොදාගෙන මෙම ගැටලූව විමර්ශනය කිරීමට උත්සාහ කළ බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.
 
 සහරාන් පිටුපස වෙනත් බලවේගයක් සිටින බව බොහෝ දෙනකු ප‍්‍රකාශ කිරීමට හේතු වී ඇත්තේ ප‍්‍රහාරය සඳහා ඔහු ද සහභාගි වීමය. ඒ පිළිබඳව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙසේය.
 
 ප‍්‍රහාරය සිදුකළ කණ්ඩායමේ සැබෑ නායකයා සහරාන් නොවන බව ප‍්‍රකාශ කිරීමට එක් හේතුවක් වන්නේ ඔහු ද අනෙක් ප‍්‍රහාරකයන් සමග සියදිවි නසා ගැනීමය. නමුත් සහරාන් අංක 61/02 නස්මියා විලා, ෆෙජින් පාර, පානදුර යන ලිපිනයේ පැවති ආරක්‍ෂිත නිවසේ දී සිය ප‍්‍රහාරයේ සැලසුම් ගෙනහැර දැක්වූ බවත්, එම ප‍්‍රහාරය බංගලිදේශයේ අයි. එස්. කණ්ඩායමේ නායකයා විසින් සිදුකරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරයට සමාන මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සහභාගි වන බව ඔහු එහි සිටි අයට ප‍්‍රකාශ කළ බව එම වාර්තාවේ සඳහන් වේ.
 
 සහරාන් එහිදී සඳහන් කර ඇත්තේ අබු ඊබ‍්‍රාහීම් අල් හනීෆා ලෙස හඳුන්වන තම්මි අහමඞ් චෞදි සහ බංගලිදේශයේ ඉස්ලාමීය රාජ්‍යයේ එමීර්වරයා පිළිබඳව විය යුතු බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. ඔහු 2016 ජුලි මාසයේදී ගල්ෂාන් ආපන ශාලාවට ඩකා ප‍්‍රහාරය එල්ල කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 29 දෙනකු මරණයට පත් වී ඇත. එම ප‍්‍රහාරයෙන් තම්මි මියගොස් ඇති බව සහරාන් වැරදි ලෙස විශ්වාස කළ බවත්, එය සැක කිරීමට කොමිෂන් සභාවට හේතුවක් නොමැති බවත්, එම වාර්තාවේ සඳහන් වේ.
 
වනාතවිල්ලූවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසු සහරාන් සියදිවි නසාගැනීමේ ප‍්‍රහාරයක් සඳහා වූ සැලසුම ඉක්මන් කළ බවට සාදික් දුන් සාක්‍ෂිය මගින් ඇත්ත වශයෙන්ම එම ස්ථාවරය සනාථ වන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. එසේම සහරාන් මරණයෙන් පසු ජීවිතය සැබෑ ජීවිතය ලෙස විශ්වාස කළ බව ඔහුගේ දේශනවලදී සඳහන් කර ඇති බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.
 
 එසේම විදේශීය මැදිහත්වීමක අනන්‍යතාවය පිළිබඳව ව්‍යංගයෙන් සාක්‍ෂි දුන් එකම සාක්‍ෂිකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. අබු හින්ද් නම් ඉන්දියානුවකු මෙම ප‍්‍රහාරය අවුලූවාලීමට ඉඩ ඇති විදේශීය කොටස්කරුවකු බවට ඔහු සාක්‍ෂි ලබාදී ඇත. නිලන්ත ජයවර්ධන මහතා තමාට අපේ‍්‍රල් 04, 20 සහ 21 යන දිනවලදී ලබාදුන් බුද්ධි තොරතුරු මෙම පුද්ගලයා ද අත තිබෙන්නට ඇති බව ප‍්‍රකාශ කර ඇත. අබු හිද්දීගේ අනන්‍යතාවය පිළිබඳව විමර්ශනය කරන බව පරීක්‍ෂණ කොමිෂන් සභාව ඉදිරියේ රහස් පොලිසිය විසින් සාක්‍ෂි ලබාදී ඇත. එම පරීක්‍ෂණ ඉදිරියට යා යුතු බවත් කොමිෂන් සභාව පවසා ඇත.
 
 * පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත්  සාරා ජෙස්මින්
 
 සහරාන්ගේ බිරිඳ වූ හාදියා කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ 2019 අපේ‍්‍රල් 26 වන දින සයින්දමරුදුවල සිදුවූ පිපිරීමෙන් පසු ඇය සිහිසුන් වූ බවයි. ඇය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව සාරා මෙන් හඬන`ගන කාන්තාවකගේ කටහඬක් ද ඇසුණු බවත් ඇය ප‍්‍රකාශ කර ඇත. සාරාගේ මව සමඟ සිදු කළ ඞී. එන්. ඒ. විශ්ලේෂණයෙන් එම පිපිරීමෙන් සාරා මියගිය බව තහවුරු වී නොමැති බැවින් එම සාක්‍ෂි සැලකිල්ලට ගනිමින් සාරා පිළිබඳව පරීක්‍ෂණ කටයුතු දිගටම කරගෙන යන ලෙසත් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
 
 * ජනාධිපති  මෛතී‍්‍රගේ වගවීම
 
 හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වගවීම පවතින නීතිමය රාමුවේ සන්දර්භය තුළ සලකා බැලූ බව මෙම කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොමිෂන් සභාව 2019 අපේ‍්‍රල් 04 වන දිනට පෙර සහ දෙවනුව 2019 අපේ‍්‍රල් 04න් පසුව කරුණු මත පදනම්ව ඔහුගේ වගකීම සලකා බැලූ බවයි.
 
 මෛති‍්‍රපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ඉස්ලාම් අන්තවාදී කරුණු සාකච්ඡා කර ඇති බවත්, ඉස්ලාම් අන්තවාදය ඔවුන්ගේ ප‍්‍රජාවෙන් තුරන් කිරීම සඳහා ඔවුන්ගේ ප‍්‍රජාව සහ ආගමික නායකයන් සමඟ එක්ව කටයුතු කරන ලෙස මුස්ලිම් අමාත්‍යවරුන්ට පෞද්ගලිකව දැනුම්දී තිබේ. කෙසේ වෙතත් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ රාවුෆ් හකීම් යන ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයේදී එවැනි සාකච්ඡාවක් පැවැත්වීම ප‍්‍රතික්‍ෂේප කර ඇති බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෛති‍්‍රපාල සිරිසේන මහතා මාවනැල්ලේ සිදුවීමෙන් පසුව සහරාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට තදින් උපදෙස් දී ඇති බවයි.
 
 එසේ වුවත් ජනාධිපති සිරිසේන විසින් ගනු ලැබූ කි‍්‍රයාමාර්ග විධායක ජනාධිපති සහ ආරක්‍ෂක ඇමැතිවරයා වශයෙන් ඔහු වෙත පැවරී ඇති රාජකාරි හා වගකීම්වලින් බැහැර වන බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිරීක්‍ෂණය කර ඇති බව එම සභා වාර්තාවේ ස`දහන් වේ.
 
 ජනාධිපති සිරිසේන 2019 අපේ‍්‍රල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ පසුව සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්‍ෂක ඇමැති ධුරය සඳහා කිසිදු වැඩ බලන පත්වීමක් ලබා නොදීම හා ප‍්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතව එය සිදුකිරීම තුළින් චේතනාන්විතව සහරාන්ගේ අයි. එස්. තර්ජනයට මග පෑදූ බවත් එමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් කොමිසම නිර්දේශ කර ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩබලන පත්වීමක් සිදුකිරීම ජනාධිපතිවරයා අභිමතයෙන් පැවති බව සැකයක් නොමැති බවත්, එහෙත් ව්‍යවස්ථාපිත තත්ත්වය අනුව ඔහුට එසේ කිරීමේ වගකීමක් පැවති බවත් කොමිසම තීරණය කර ඇත. සාක්‍ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති කි‍්‍රයාවන්ගෙන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහස බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. එබැවින් දණ්ඩ නීති සංග‍්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව සාපරාධී නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
 
 * ජනපති මෛතී‍්‍රපාල බුද්ධි තොරතුර  දැන සිටියාද?
 
 මෙම සම්බන්ධයෙන් සලකා බැලීමේදී ජනාධිපති සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා යන අයගේ සාක්‍ෂි පිළිගැනීමේදී පරීක්‍ෂණ කොමිෂන් සභාව ප‍්‍රවේසම් සහගත වූ බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත. මෙම කාරණය සම්බන්ධයෙන් මෙම සාක්‍ෂිකරුවන් දෙදෙනාගේම විශ්වාසනීයත්වය බරපතළ ගැටලූ මතුකරන බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහස බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. පරීක්‍ෂණ කොමිෂන් සභාව නිරීක්‍ෂණය කර ඇත්තේ නිලන්ත ජයවර්ධන අධ්‍යක්‍ෂවරයා විසින් 2019 අපේ‍්‍රල් 04 සිට 16 දක්වා කාලය තුළ ජනාධිපති සිරිසේන වෙත ලැබුණු බුද්ධි තොරතුර ඔහු වෙත ලබාදී ඇති බවයි.
 
 හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නැ`ගී එන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් කි‍්‍රයාශීලී කාර්යක් ඉටුකිරීමට අසමත් වීමට හේතුව තේරුම් ගැනීමට කොමිෂන් සභාවට අපහසු බව සඳහන් කර ඇත. සාක්‍ෂි සලකා බැලීමේදී අග‍්‍රමාත්‍යවරයා ලෙස වික‍්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප‍්‍රවේශය එවකට රජය කි‍්‍රයාශීලී පියවර ගැනීමට අපොහොසත් වීමට එක් ප‍්‍රධාන හේතුවක් බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ මතය බව සඳහන් කර ඇත. ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප‍්‍රහාරය දක්වා ගොඩනැ`ගීමට මෙය පහසුකම් සපයන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.
 
 * හිටපු ආරක්‍ෂක ලේකම්  හේමසිරි ප‍්‍රනාන්දු
 
 ඔහුගේ පැත්තෙන් අතපසු කිරීම සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහස වී තිබේ. ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
 
 හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පැත්තේ සාපරාධී වගකීමක් ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහස වී තිබේ. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවත් පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles