Divaina - සහරාන්ගේ නැගෙනහිර සම්බන්ධකම් වාර්තාවේ කෝ...?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

ranil

* ක්ෂණික ප‍්‍රතිචාර, පිළියම් සහ නිර්දේශ
 

රනිල් වික‍්‍රමසිංහ


රාජ්‍ය පාලන විෂයන්හි නියමිත නිර්දේශයක් නොමැති අංශයක් වන්නේ ක්ෂණික අර්බුද කළමනාකරණයය. අර්බුදය ඇතිවීමත් සමග පාලන තන්ත‍්‍රය විසින් ගනු ලබන පියවර රාජ්‍යයේ ඊළඟ අදියර තීරණය කරන්නා සේම, රාජ්‍ය බලය හොබවන පක්ෂයේ ආයුෂ පවා තීරණය කරන බව කිව හැකිය. මේ සඳහා මා මුහුණ දුන් ප‍්‍රයෝගික අවස්ථා තුනක් පිළිබඳව ප‍්‍රථමයෙන් සඳහන් කරමි.

යාපන අර්ධද්වීපයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් හමුදා භටයන් 13 දෙනකු මිය යෑම හේතුවෙන් ඇතිවූ කළහකාරී තත්ත්වය, ආණ්ඩුවක් ලෙස අතිශය වගකීම් සහගත වූ අවස්ථාවකි. හමුදා භටයන් සියලූ දෙනාගේ දේහයන් කොළඹට ගෙන ඒම සහ සමාජ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව අවම වශයෙන් කල්පනා කිරීම හේතුවෙන්, කළු ජූලියක් බවට එම අවස්ථාව දික් ගැස්සී ගියේය. එය පැවති ආණ්ඩුවේ දෝෂයක් ලෙස දකිනවාට වඩා, පාඩම් ඉගෙන ගැනීමක් බවට පත් කරගත යුතු බව මගේ අදහසය. පූර්වයේ එවැනි තත්ත්වයක් නොමැති වීම තුළ, විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය පිළිබඳව, අත්දැකීම් අවම රටක් ලෙස ශ‍්‍රී ලංකාව පැවති තත්ත්වය තුළ එවැනි නීරස අත්දැකීම් ඔස්සේ පාඩම් ඉගෙනීමට සිදුවිය.

ජනාධිපති පේ‍්‍රමදාස මහතා ඝාතනය වූ අවස්ථාව ද එවැනි එක් සිද්ධි අධ්‍යනයකි. එවකට මා කටයුතු කරන ලද්දේ සභානායකවරයා ලෙසය. අදාළ සිදුවීම ප‍්‍රථමයෙන් මා වෙත වාර්තා වූයේ ජනාධිපතිතුමා සිටින ලද ආසන්නයේ ඇතිවූ බෝම්බ පිපිරීමක් ලෙසය. එසේ වෙද්දීම, රජයේ මුල් පෙළේ පුද්ගලයෙක් සහ එදින මැයි දිනය හේතුවෙන් එජාපයේ ප‍්‍රධාන පුද්ගලයෙක් ලෙස මා හට බරපතළ වගකීමක් පැවරී තිබුණි. සිද්ධියේ නිවැරදි තත්ත්වය ලැබෙන තෙක් සිටිනු වෙනුවට, ඒ මොහොතේ තත්ත්වය සමග රාජ්‍යයේ සාමකාමීභාවය පවත්වාගෙන යෑමට පියවර ගත්තෙමි. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, දුරකථනයෙන් අමතමින් මා මුලින්ම ඉටු කරන ලද්දේ, කොළඹට රැස්ව හුන් මහා ජනකාය විසුරුවා හැරීමය. එකිනෙකට වෙනස් දේශපාලන මත දරන කණ්ඩායම් ගණනාවක ප‍්‍රබල ක‍්‍රියාකාරීන්, සිය නායකයන් සමග කිලෝමීටර දහයකට දුරින් සිටීම, එවැනි අවස්ථාවක සුබදායි තත්ත්වයක් නොවේ. මේ නිසා බණ්ඩාරනායක මහත්මිය සමග දුරකථනයෙන් සාකච්ඡා කර, වහාම පක්ෂ දෙකේ මැයි පෙළපාලි සහ රැස්වීම් නැවැත්වීමට මම පියවර ගත්තෙමි. නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වෙත එතුමිය සමග සාකච්ඡා කරනු ලබන අවස්ථාව වන විටත් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ ඉරණම පිළිබඳව නිවැරදි තොරතුරක් මා සතු නොවීය. එවැනි අස්ථාවර අවස්ථාවක ප‍්‍රධාන දේශපාලන ක‍්‍රියාකාරීන් අතර ගැටුමක් ඇති වූවා නම්, එය නීතියට සහ සාමයට තර්ජනයක් වෙනවා සේම, රාජ්‍යයේ ස්ථාවරත්වය සඳහා ද බලපාන්ට ඉඩ තිබුණි. විධායක බලය රාජ්‍යයේ ආරක්ෂාව සහතික කෙරෙන බලගතුම තනතුර හෙයින් එම තනතුර වහාම පුරවා අර්බුදයේ ක්ෂණික අවස්ථාවට මුහුණ දුන්නෙමි.

පාස්කු ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ මා සිටියේ බෙන්තර ප‍්‍රදේශයේය. ආරක්ෂක අංශ, මා මුලින්ම දැනුම් දුන්නේ, කොළඹ හෝටලයක පිපිරීමක් සිදුව ඇති බවයි. එම පිපිරීම කුමක්ද යන්න සොයා බලන ලෙස මා ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නෙමි. ඊට ස්වල්ප වේලාවකට පසු පිපිරීම් මාලාවක් මා වෙත වාර්තා විය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විදේශගතව සිටි හෙයින් ඔහු අමතා වහාම ආරක්ෂක ප‍්‍රධානීන් කැඳවා ඉදිරි ආරක්ෂක කටයුතු කරගෙන යෑම පිළිබඳව දැනුම් දුන් අතර වහාම කොළඹ බලා පිටත්වීමට සූදානම් වුවත්, ගුවනින් මිස මහමගින් නොයන ලෙස මා වෙත ආරක්ෂක අංශ වෙතින් උපදෙස් ලැබුණි. ඒ අනුව ගුවනින් කොළඹ බලා පිටත්ව යන අතරේ සියලූ ආරක්ෂක ප‍්‍රධානීන්, මාගේ කාර්යාලය වෙත කැඳවන ලෙස අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබා දුන්නෙමි.

මෙවැනි හදිස්සි අවස්ථාවකදී පළමු පියවර විය යුත්තේ එම අර්බුදය පැතිර යෑම වළක්වාලීමය. ඒ සඳහා හොඳම විසඳුම වනුයේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමය. ඇතිවී තිබෙන තත්ත්වය සලකා, ඒ පිළිබඳව ආරක්ෂක අංශ සතු තොරතුරු එක් තැනකට ලබා ගත් අතර ඒ අනුව සිවිල් ජන ජීවිතය ගැටුම්කාරී තත්ත්වයක් කරා යෑමේ ශක්‍යතාවක් ඇති හෙයින් එය නතර කිරීමට වග බලා ගත්තෙමි. බෝම්බ ප‍්‍රහාරය අනුව මුස්ලිම් - කිතුණු ගැටුමක්, සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති විය හැකි බැවින් ඒ සඳහා ඇති සියලූ ඉඩ ප‍්‍රස්ථා නවතා දමන ලදී. මඩකලපුවේ සියොන් දේවස්ථානයේදී ප‍්‍රහාරයට ලක් වූයේ දෙමළ ජනතාවය. කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී ද දෙමළ ජනතාව ඝාතනය විය. එබැවින් දෙමළ - මුස්ලිම් ගැටුමක් සමහර ප‍්‍රදේශයන්හි ඇති විය හැකි බව ද නිරීක්ෂණය කර, ඒ සඳහා ද පිළියම් යොදන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කළෙමි.

අර්බුදකාරී තත්ත්වයකදී ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීම සේම ඒ සඳහා දිගුකාලින ප‍්‍රතිචාරය ද වැදගත්ය. පසුගියදා ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද පාස්කු කොමිෂන් වාර්තාව සැලකිය හැක්කේ, එවැනි අභියෝගයක් සඳහා ලබා ගන්නා ලද නිර්දේශයක් ලෙසය. එය අර්බුදය සඳහා දිගුකාලීන පියවරයන් ගණනාවක් සඳහා මාර්ගෝපදේශයක් සපයනු ඇත. එසේම එවැනි කොමිසමක වගකීම වනුයේ අංශක 360කින් අර්බුදය අනාවරණය කිරීමය. ඒ සමගම එවැනි තත්ත්වයක් යළි නිර්මාණය නොවීම සඳහා පිළියම් සැපයීමය.

මෙවැනි ප‍්‍රහාරයක් පිළිබඳව දැන සිටියේ කවුරුන් ද යන්න සෙවීම මෙන්ම, සහරාන් හසීම් පිළිබඳව දැන සිටීම ද වැදගත්ය. යුද සමයේ පටන් සහරාන් සහ ආරක්ෂක අංශ අතර සම්බන්ධතා ඇති වී තිබුණි. ටී - පනස් හය වර්ගයේ ගිනි අවි තමා සතුව තබා ගැනීමට සහරාන්ට හැකි වූයේ එබැවිනි. නැගෙනහිර පළාතේ එල්ටීටීඊය සතු අවි පිළිබඳව කරුණා සහ පිල්ලෙයාන්ට දැනුමක් තිබූ අතර මුස්ලිම් පුද්ගලයෙකු සතුව එවැනි අවි ගැවසීමක්, ආරක්ෂක අංශ නොදැනී තිබිය නොහැකිය. සහරාන් සමග එවැනි සම්බන්ධයක් තිබුණේ කා සමග ද යන්න මෙම කොමිසම අනාවරණය කර ගත යුතු වුවත් එවැනි සම්බන්ධයක් කොමිෂන් වාර්තාවේ සඳහන් නොවේ. ආමි මොහිදීන් නම් තැනැත්තා පිළිබඳව සොයා බලා, ඔහු සමග සහරාන් හෂීම් වෙත තිබූ සම්බන්ධය පැහැදිලි කර ගත යුතුව තිබුණි. සහරාන් සමග තිබුණු දේශීය සහ විදේශීය සම්බන්ධතා පිළිබඳව කිසිදු සඳහනක් මෙම වාර්තාවේ නොමැතිවීම, එහි ඇති බරපතළ අඩුපාඩුවකි. අයිසිස් වැනි සංවිධාන සමග සහරාන් ජාලගතව සිටියේද යන්න ද ආදිය මෙම වාර්තාව සිය අධ්‍යනය සඳහා භාජන කර නොතිබුණි.

විශේෂයෙන්ම සහරාන්ගේ භාර්යාව ප‍්‍රකාශ කර ඇත්තේ, දෙවැනි ප‍්‍රහාරයක් සඳහා ඔහු සූදානම්ව සිටි බවය, මේ දෙවැනි ප‍්‍රහාරය කුමක්ද? ඒ සඳහා සාරාගේ දායකත්වය කුමක්ද? සයින්දුමරුදු පිපිරීමට පෙර සාරා පලා ගියේ කෙසේද? වැනි ප‍්‍රහාර මාලාව පිළිබඳව ගැඹුරු හැදෑරීමක් සහ විමර්ශනයක් මෙහි නොතිබුණි. අවම වශයෙන් මෙවන් හෙළි නොවූ තොරතුරු අනාවරණය සඳහා සහරා සොයා ගන්නා ලෙස, මෙම කොමිසම අනාවරණය කර තිබුණේ නැත. නවුෆර් මවුලවි ගෙන්වීම සඳහා අප එදා ක‍්‍රියා කළා සේ මෙම පරීක්ෂණ හමුවේ අනාවරණය වූ සහරාන් ගෙන ඒම සඳහා ක‍්‍රියා නොකරන ලද්දේ මන්ද, යන්න, එසේ නොමැති නම් ඒ සඳහා නිර්දේශයක් හෝ ඉදිරිපත් කරන නොමැති වීම කොමිසමේ දුර්වලතාවකි. එක්සත් ජනපදය, මෙවැනි ත‍්‍රස්තවාදී සංවිධාන ගණනාවක් අරබයා, නඩු පවරා තිබුණි. ඒ පිළිබඳව අධ්‍යනය නොකිරීම සහ එක්සත් ජනපදය සතු තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු නොකිරීම ආදිය කොමිසමේ දුර්වලතා ලෙස සඳහන් කළ හැකිය. මෙවැනි තොරතුරු ගණනාවක් අනාවරණය නොගත්තේ මන්ද යන්න, විශේෂයෙන්ම සහරාන් හසීම් හට නැගෙනහිර පළාතේ තිබූ සම්බන්ධතා හෙළි නොකරන ලද්දේ සහ ඒ ගැන විමර්ශනය නොකරන ලද්දේ ඇයි යන්න ප‍්‍රශ්න කළ යුතුය.

ඉන්දියාවෙන් මෙම පිපිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පෙර, නැගෙනහිර පළාතේ ඇති සම්බන්ධය නිසා මෙම තොරතුරු අප වෙත ලැබිය යුතුව තිබුණි. එම තොරතුරු නොලැබී ගියේ ඇයි?

මාවනැල්ලේ බුදු පිළිම කැඞීම සම්බන්ධයෙන් පියවර ගත් තිදෙනා සම්බන්ධයෙන් කිසිදු වන්දියක් මෙම කොමිසම නිර්දේශ කර තිබුණේ නැත. අයි පී රෝහණ බණ්ඩාර, සාජන්ට් සිරිසේන, සාජන්ට් රත්නායක යන තිදෙනාම මෙහිදී අමතක කර තිබුණි. සයින්දමරුදුහි සහරාන් රැඳී සිටි ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන්නේ මුස්ලිම් පිරිසය. ඔවුන් සඳහා යම් අගැයීමක් සිදු කළ යුතුව තිබුණි. එසේ නොකළහොත් යළි නැගෙනහිර පළාතේ සිද්ධියක් සම්බන්ධයෙන් අප වෙත තොරතුරු වාර්තාවීම පසුබා සිටිනු ඇත.

ප‍්‍රහාරයෙන් පැය 12ක් ඇතුළත සියලූ සැකකරුවන් අල්ලා ගැනීම සඳහා කටයුතු යොදන්නට තරම් ශක්තිමත් ආරක්ෂක ජාලයක් අප ඇති කරගෙන සිටීම සම්බන්ධයෙන් ලෝක ආරක්ෂක ප‍්‍රජාවේ ප‍්‍රශංසාව, රටට හිමිවිය. එවැනි සංවිධානගත ආරක්ෂක ජාලය දිගින් දිගටම ශක්තිමත් කර තබා ගත යුතුය.

මෙවැනි අනාවරණය නොවූ සහ අවධානයට පාත‍්‍ර නොවූ තොරතුරු ගණනාවක් තිබේ. නැගෙනහිර පළාත සමග සහරාන්ට තිබූ සහ සම්බන්ධය සොයා නොබැලීම ආදිය යළි අවධානයට පාත‍්‍ර විය යුතුව පවතියි.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles