Divaina - නොරටුන්ටයි තෙල් ටැංකිත් ත්‍රීකුණාමලේ... හිරවෙයි ආයෙත් ඉන්දීය ගිවිසුම් උගුලේ... අපිට හොරෙන් අපි විකිණෙන හැටි!

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 උදේශ සංජීව ගමගේ - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

trinco



වර්තමානය වනවිට අපට අපේ රට ගැන ඇත්තේ මහත් වූ කම්පාවකි. මේ වන විට රට විකිණෙන්නේ අපටත් නොදැනෙන ගාණටය. අප හිඳින්නේ චීන - ඉන්දු බල පොරයකට මැදිවය. මදි පාඩුවට ඇමරිකාවත් අපේ රටට කුරුමානම් අල්ලමින් හිඳී. ඉන් ජය ගන්නේ කවරෙකු වුව ද අපට මේ රටේ බිම් අඟලක් හෝ ඉතිරි වේදැයි සැක සිතෙන තරම්ය. රටේ ඉඩම් සම්පත් මදි නොකියන්නට පිටරටට විකිණේ. නොඑසේ නම් එසේ කරන්නට පිඹුරුපත් සැකසෙමින් තිබේ. ඊයේ පෙරේදා වාර්තා වූ අන්දමට මේ වනවිට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව ප‍්‍රකාශ කළා යැයි කියන දේ ඒ බව සනාථ කරන්නේය.

එනම්, ඉන්දීය රජය හෙළි කරන ආකාරයට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බවය. ඉන්දීය රජය පවසන්නේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවය. මේ බව නිව්ස් ඒෂියා (News Asia) වෙබ් අඩවිය ද තහවුරු කර තිබිණි.

එහෙත්, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පසුගිය 17 වැනිදා කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේදී උත්සවයකට සහභාගි වෙමින් පැවසුවේ ‘‘දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ දක්වා නිසි ප‍්‍රයෝජනයකට ගත්තේ නැති, 2003 සිට අපට අහිමි වූ අපේ මහ සම්පතක් වන ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බව බොහෝම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා’’ යනුවෙනි.

මේ කතාවේ ඇත්ත නැත්ත හරියට දන්නේ ඉන්දියාවය. නැත්නම් ආවාට ගියාට එවැනි ප‍්‍රකාශ නිකන් කරන්නේ නැත. ති‍්‍රකුණාමල තෙල් ටැංකි පරිශ‍්‍රය සම්බන්ධයෙන් මේ රටේ ආණ්ඩු කරන ලද ‘පෙර වැරදි’ නිසා රටේ ජනතාව එසේ සිතීමෙහි වරදක් නැත. කතාවේ අගමුල තෝරා ගන්නට නම් ඒ පෙර වැරදි කවරේද යන්න දැන සිටිය යුතුය. 2017 වර්ෂයේදී එවක රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය කබීර් හෂීම් තෙල් ටැංකි පරිශ‍්‍රය සම්බන්ධයෙන් කීවේ මෙවැනි කතාවකි.


* මෙය පරණ කතාවකි

ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකිවල මූලික අයිතිය ශී‍්‍ර ලංකාවට හිමිවන පරිදි එයින් 14 ක් ඉන්දියානු සමාගමට ද, 10 ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද, ඉතිරි 74 හවුල් ව්‍යාපාරයක් ලෙස ද පවත්වාගෙන යෑමට දෙරට අතර එකඟතාවක් ඇතිව තිබේ.ඒ යහපාලන ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ඉක්ම ගිය තැනය. ඒ කතාව අනුව අපට තේරෙන්නේ, ඉන්දියාවට පවරන්නේ නැතැයි කියන තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ පෙර එකඟතාවක් තිබී ඇති බවය. ඒ නිසාම මෙහි ඇත්ත නැත්ත තවදුරටත් ඉතිහාසයට ගොස් සොයා බැලිය යුතුය.

එහිදී පැහැදිලි වන්නේ 2003 වර්ෂයේදී එක්සත් ජාතික පෙරමුණ රජය සමයේ මෙම තෙල් ටැංකි සමුහයෙන් යම් ප‍්‍රමාණයක් ඉන්දියානු තෙල් සමාගමට 39 අවුරුදු බද්දකට දී ඇති බවය. මේ සියලූ කතාවල් තේරුම් ගන්නට පෙරාතුව ති‍්‍රකුණාමලය තෙල් ටැංකි පරිශ‍්‍රය සම්බන්ධයෙන් ඇති ඉතිහාස ගත වැදගත්කමත්, එය අපේ රටට වටින්නේ ඇයි දැයි යන්නත් අවබෝධ කරගත යුතුය.


* මොනවද මේ ත‍්‍රිකුණාමල තෙල් ටැංකි

trinco2මෙම තෙල් ටැංකි සමූහය පිහිටා ඇත්තේ ත‍්‍රිකුණාමලය චීන වරාය ආශ‍්‍රිතවය. එම තෙල් ටැංකි සමූහය බි‍්‍රතාන්‍යයන් විසින් ඉදිකරනු ලැබූවකි. එහි විශාල ප‍්‍රමාණයෙන් යුත් තෙල් ටැංකි 101 ක් ඉදිකිරීමට බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් කටයුතු කරනු ලැබ තිබිණි.

බි‍්‍රතාන්‍ය පාලකයන් ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිත මෙම ප‍්‍රදේශය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ සුවිශේෂී කාරණා කිහිපයක් මුල්කරගෙනය. දකුණු ආසියාවේම එවන් ඉදිකිරීමක් සඳහා මෙවැනි බිම්කඩක් තිබී නැත. මෙම තෙල් ටැංකි සියල්ලම ඉදිකර ඇත්තේ පොළොව තුළ ගිලී යන ආකාරයෙන් ස්වාභාවිකව පිහිටි ස්ථාන මනා නිරීක්ෂණයකින් තෝරා ගැනීමෙන් පසුවය. එපමණක් නොව එම ස්වාභාවික පිහිටීම නිසාම යම් නොසිතූ විරූ පුපුරා යැමකට හෝ අනතුරකට ලක්වුවහොත් මෙම තෙල් ටැංකි කඩාවැටෙන්නේ භූමියෙහි ඇතුළටය. විශේෂයෙන්ම එම ගිලී යන ස්වභාවය නිසාම පුපුරා ගිනිගන්නා ටැංකියෙන් අනෙකුත් ටැංකිවලට ගින්න පැතිරීම වැළැක්වේ. මෙම සියුම් සහ විශිෂ්ට සැලසුම සකස් කරන ලද බි‍්‍රතාන්‍ය සැලසුම්කරුවෝ, මුහුද ආසන්නයේ පිහිටුවා ඇති තෙල් ටැංකිවල ආරක්ෂාවට විශාල කොන්ක‍්‍රීට් ආවරණයක් ද ඉදිකොට ඇත්තාහ. මුහුදු පෙදෙසින් ප‍්‍රහාරයක් එල්ල වුවද තෙල් ටැංකි ආරක්ෂා කිරීම එහි අරමුණයි.

මෙම එක් ටැංකියක් අඩි 45 ක් පමණ උස් වන අතර වට අඩි 365 ක වට ප‍්‍රමාණයකින් යුක්තය. මෙම ටැංකියක ධාරිතාව තෙල් ලීටර් එක්කෝටි හතළිස්හතර ලක්ෂ හතළිස්දහසකි. අක්කර 600 කට වඩා වැඩි භූමි ප‍්‍රමාණයක විහිද ඇති මෙම තෙල් ටැංකි 101 ක් වූ ප‍්‍රමාණයෙන් අද ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි. ඉතිරි ටැංකි දෙක විනාශ වී ඇත්තේ 1942 අපේ‍්‍රල් 9 වැනි දින උදෑසන ජපනුන් විසින් ත‍්‍රිකුණාමල වරායට බෝම්බ හෙළනු ලැබීම නිසාය. බි‍්‍රතාන්‍ය ප‍්‍රහාර හේතුවෙන් අඩපණ වූ යානයක් කඩාවැටී ඇත්තේ 91 වැනි ටැංකිය මතටය. ඒ ප‍්‍රදේශයේ පැරැන්නන් කියන ආකාරයට කඩාවැටෙන ගුවන් යානයේ නියමුවා ඉවතට පැන පැරෂුට් ආධාරයෙන් දිවි ගලවා ගැනීම වෙනුවට 91 වැනි ටැංකියට යානය යොමුකරවීමෙන් උත්සාහ දරා ඇත්තේ තෙල් ටැංකි සමූහයම පුපුරුවා හැරීමටය. කෙසේ හෝ ඒ හේතුව නිසා විනාශ වී ඇත්තේ තෙල් ටැංකි දෙකක් පමණි. ත‍්‍රිකුණාමල වරායටත්, තෙල් ටැංකි සමූහයටත් ප‍්‍රහාර එල්ල කළ ගුවන් නියමුවන් වන ෂිගනොරි වතනබේ, ටොකියා හොතෝ, ටිසුතොමු තොෂිරා යන තිදෙනා සිහිවීම පිණිස කුරුසියක හැඩය ගත් ස්මාරකයක් ද එහි පිහිටුවා තිබිණි. ඒ මත එක් සොල්දාදුවකුගේ හිස්කබල ද ගුවන් යානයක කොටස් ද තබා තිබෙනු දක්නට ලැබිණි. කෙසේ හෝ මේ වනවිට එම ප‍්‍රදේශයේ සංචාරක ආකර්ෂණය බෙහෙවින් උදාසීන මට්ටමක පවතින බව කිව යුතුය. මෙම තෙල් ටැංකි සමූහය පිහිටා ඇත්තේ ඉහළ සංකීර්ණය සහ පහළ සංකීර්ණය ලෙස කොටස් දෙකකින් සමන්විතවය. ඒ අනුව ඉහළ සංකීර්ණය ටැංකි 82 කින් ද පහළ සංකීර්ණය ටැංකි 17 කින් ද (විනාශ වූ ටැංකි ද ඇතුළත්ව) යුක්තය. ඉහළ සංකීර්ණයෙහි ඇති විශේෂත්වය වන්නේ දුම්රිය තෙල් ටැංකි සඳහා තෙල් පිරවීමේ පහසුකම්වලින්ද යුක්ත වීමය.

ත‍්‍රිකුණාමල වරාය ආශ‍්‍රිතව පිහිටි මෙම භූමිය ජාත්‍යන්තරයේ බොහෝ රටවල බෙහෙවින් ප‍්‍රකටය. ලොව දෙවැනි විශාලතම වරාය ලෙස සැලකෙන ත‍්‍රිකුණාමල වරායේ උපායශීලී වැදගත්කම වන්නේ යුදමය වශයෙන් මර්මස්ථානයක් වීමය. දකුණු හා
අග්නිදිග ආසියාව කේන්ද්‍ර කොටගත් යුරෝපා ජාතීන්ගේ ගවේෂණ ඉතිහාසය පෙන්වා දෙන පරිදි පෘතුගීසීන්, ලන්දේසීන්, ප‍්‍රංශ ජාතීන් හා ඉංග‍්‍රීසීන් ත‍්‍රිකුණාමලය තමා සතුකර ගැනීමට ගැටුම් ඇති කරගෙන තිබේ. අද වනවිට ත‍්‍රිකුණාමල වරාය ගැන විශාල කෑදරකමක් ඇතිකර ගෙන සිටින රටවල් අතර ඉන්දියාව ද ඉදිරියෙන් සිටී. 1987 අත්සන් කරනු ලැබූ ඉන්දු - ලංකා ගිවිසුමෙහිද සටහන් වූයේ ඉන්දීය ආධිපත්‍යයට හානියක් වන අයුරින් ත‍්‍රිකුණාමල වරාය විදෙස් රටක භාවිතයට ලබා නොදිය යුතු බවය. එසේ බලන කල මෙම තෙල් ටැංකි සමූහය පිහිටි පෙදෙස් වුව ඉන්දියාවට කොතරම් වැදගත් ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.


* පසු කතාව

2003 වර්ෂයේ දී මෙම තෙල් ටැංකි සමූහය පිහිටි සංකීර්ණය එනම්, තෙල් ටැංකි සංකීර්ණය, තෙල් ටැංකි පොම්පාගාරය සහ අනෙකුත් ගොඩනැඟිලි සමූහය ඉන්දියානු තෙල් සමාගමට 39 අවුරුදු බද්දකට පවරා දීමේදී වුව ඒ ගැන එතරම් කතාබහට ලක්වූයේ නැත. එහෙත් එම තීරණය හේතුවෙන් ශ‍්‍රී ලාංකික ඉන්ධන වෙළෙ\මෙන් සැලකිය යුතු කොටසක් ඉන්දියාවට හිමිව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. රටක ස්වාධිපත්‍යයට බලපෑම් කළ හැකි ආකාරයෙන් ආහාර, ඉන්ධන, ගමනාගමනය, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් කවර රටකට වුව අලෙවි කිරීම රට ගැන හිතන කාගෙත් අවධානයට ලක් විය යුතුය.

2003 වර්ෂයේ සිට ඉන්දියානු තෙල් සමාගමට එය පවරා දෙනු ලැබීමෙන් පසු ඔවුන් එහි නඩත්තු කටයුතු කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවට එකල ද ආරංචි පැතිරිණ. කොහොමත් ඉන්දියානු තෙල් සමාගමට තමන්ගේ ලාභ අරමුණ කරගත් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනවා විනා තෙල් ටැංකි සමූහය රැකගැනීමේ සැබෑ අරමුණක් තිබෙන්නට බැරිය.

වර්තමානයේ කතාව සැඟවී ඇති එකක් වුව ඒ ගැන වඩාත් විමසිලිමත් විය යුතු බව අපි තදින්ම විශ්වාස කරමු. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පැහැදිලි කරන මේ කාරණා ගැන අවධානය යොමු කළ යුත්තේ එබැවිනි. (2016.07.08 පාර්ලිමේන්තුවේදී)

මෙම පහළ සංකීර්ණයේ ටැංකි යම් ප‍්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් භාවිත කරන ලද අතර ඒවා 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට කුලියට දීමට එවකට ආණ්ඩුව කටයුතු කළා. ඒ ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මගිනුයි. එහෙත් ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි පිහිටා ඇති භූමියේ අයිතියක් නොතිබූ බැවින් එය නීත්‍යනුකූල පැවරීමක් නෙමෙයි. අත්සන් තබන ලද ගිවිසුමේ මාස 06 ක් ඇතුළත නීතිමය ලියවිලි සකස් කරන බව සඳහන් වුවත් මේ දක්වා එවැන්නක් සකස් වී නොමැති බැවින් නීත්‍යනුකූලව සියලූම සම්පත් රජය සතුව පවතිනවා.

ඉන්දියානු තෙල් සමාගම විසින් පරිහරණය කරනු ලබන්නේ පහළ සංකීර්ණයේ ටැංකි 17 න් යම් ප‍්‍රමාණයක් පමණි. රටේ තෙල් ඉල්ලූම ඉහළ යැම සැලකිල්ලට ගත්විට දුම්රිය මගින් බෙදාහැරීමේ පහසුකම් ද සහිත මෙම ප‍්‍රයෝජනවත් ගබඩා සංකීර්ණය මෙතෙක් පාවිච්චියට නොගැනීම බලවත් අපරාධයකි. අලූතින් තෙල් ගබඩා ඉදිකිරීම විශාල වියදම් දැරිය යුතු කටයුත්තක් බැවින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට විශාල අමතර වැය බරකින් තොරව මෙම ටැංකි සංකීර්ණය පාවිච්චියට ගත හැකිව තිබෙනවා. එසේම ගබඩා සංකීර්ණයේ විශාලත්වය හේතුවෙන් රට තුළ සැපයුමට පමණක් නොව ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළට ප‍්‍රවේශ වීමටද ඛනිජ තෙල් සංස්ථාවට මෙමගින් ඉඩකඩ පාදා ගත හැකියි.

විශේෂයෙන් ඛනිජ තෙල් සංස්ථාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවන ලද අවස්ථාවක මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීමේ හැකියාව සොයා බලන ලෙසට නිර්දේශයක් ද කරනු ලැබ තිබුණා. සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ද මෙම ගබඩා සංකීර්ණය පාවිච්චියට ගැනීමේ අවශ්‍යතාව බලධාරීන්ට පෙන්වා දී තිබුණා. ඒ අනුව සංස්ථාවේ නිලධාරීන් විසින් ටැංකි 17ක් පරීක්ෂා කොට බලා ලබාදුන් තාක්ෂණික වාර්තාවේ ඒවා එම තත්ත්වයෙන්ම පාවිච්චි කළ හැකි බවත් විනාශ කරනු ලැබ ඇති නළ පද්ධතිය පමණක් අලූතින් ඉදිකළ යුතුව ඇති බවත් පෙන්වා දී තිබුණා. ඒ සඳහා වන වියදම සංස්ථාවට දැරිය හැකි මට්ටමේ වන බවද එහි සඳහන්ව තිබුණා.

දැනගන්නට ඇති අන්දමට ටැංකි සංකීර්ණය නවීකරණය කොට සංස්ථාවේ පාවිච්චියට ගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය ද පළ වී තිබෙනවා. කෙසේ වුවද ඒ අනුව සංස්ථාව විසින් නවීකරණ කටයුතු ඇරඹීඹට සූදානම් වෙමින් සිටියදී කිසියම් අදිසි හස්තයක් විසින් එම කටයුතු නතර කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම ටැංකි සංකීර්ණයේ ඉතිරි ටැංකි ප‍්‍රමාණය ද ඉන්දියානු තෙල් සමාගමට ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවට ඛනිජ තෙල් සංස්ථා සේවකයන් අතර ද මේ මහා ජාතික සම්පත පිළිබඳ උනන්දු වන ජනතාව අතර ද මහත් නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් තිබෙනවා.

අනුර කුමාර දිසානායක එදා කී පරිදි දැන් මේ ඉස්මතු වී තිබෙන්නේ ද එවැනිම නොසන්සුන්තාවකි. නොසන්සුන්තාවට හේතුව ආණ්ඩුව මේ ගැන ස්ථිර වශයෙන් යමක් නොකීමට පරිස්සම් වීමය. ඒ පරිස්සමට හේතුව කුමක් හෝ කොළේ වසා ගැසිල්ලක් බව විශ්වාසයෙන් කිව හැකිය. එවක අගමැතිවරයා තෙල් ටැංකි ඉන්දියාවට පවරන්නේ නැතැයි ලිඛිත පොරොන්දුවක් දුන් පසු, තෙල් ටැංකි 14 ක් ඉන්දියාවට පවරන බවත්, 74 ක් හවුලේ පාවිච්චි කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා අපභ‍්‍රංස කතාවක් කියයි. ඇත්තම කතාව නම් බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් පසුව කවර හෝ පාලකයකු මේ තෙල් ටැංකි භාවිතයට ගන්නවා තබා ඒවායේ නඩත්තු කටයුතු ගැන හෝ හරිහැටි සැලකිල්ලක් දක්වා නැති බවය. නිවරිදිවම කීවොත් නම් මේ වනවිටත් ඉන්දීය ඔයිල් සමාගම භාවිතයට ගන්නා ටැංකි 14 හැරුණු විට අනෙක් ටැංකි ගැන හරිහැටි අවධානයක් යොමු වූයේ අත්සන් කිරීමට නියමිත ගිවිසුම හේතුකොට ගෙනය. 2003 දී අත්සන් කරන ලද ඒ ගිවිසුමෙන් පසු එම භූමියට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිදු නිලධාරියකුට, ඉංජිනේරුවරයකුට ඇතුළුවීමේ ඉඩකඩ තිබුණේ නැත.


* අලූත් කතාව

trinco3වර්තමානයේ අප කි‍්‍රයාත්මක වන්නේ එවැනි පසුබිමක් සහිත නාටකයක් දැයි සැක සහිතය. උදය ගම්මන්පිල ඇමැතිවරයා එකක් කියන්නේය. තෙල් ටැංකි ඉන්දියාව සතුවන්නේ දැයි අගමැතිවරයාගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර තනි වචනයේ එකකි. එතුමා අසන්නේ අපට ‘පිස්සු ද’ කියාය. රටේ ජාතික සම්පතක් සම්බන්ධයෙන් අසන ප‍්‍රශ්නයකට තනි වචනයකින් පිළිතුරකින් උත්තර දෙන්නට හැකියාවක් තිබේ නම් මේ රට දැනටමත් ගොඩය. නැගෙනහිර ජැටිය ඉන්දියාවට, හම්බන්තොට වරාය චීනයට, යාපනය අර්ධද්වීපයේ දුපත් තුනත් චීන බල ව්‍යාපෘතියකට, රටේ ඉඩම් චීනයට දෙන විට කිසිවේකුත් පිස්සුද? කියා ඇසුවේ නැත. රටේ වනාන්තර කපාගෙන කපාගෙන යනවිට කිසිවෙකුත් පිස්සුද? කියා ඇසුවේ නැත. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරන්නේ ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් 2003 වර්ෂයේ ඇති කරගත් ගිවිසුම තවදුරටත් කි‍්‍රයාත්මක බවය.

මේ පුවත වාර්තා වන්නේ ඉන්දීය තෙල් ටැංකිවල අයිතිය ශී‍්‍ර ලංකාවට හිමිවන බව අමාත්‍ය උදය ගම්මන්පිල වාර්තා කර දිනකට පසුවය. වැඩිදුරටත් ද හින්දු පුවත්පත වාර්තා කරන්නේ වසර 35 ක් ගතවන තුරු එම ගිවිසුම කි‍්‍රයාත්මක බවය.

උදය ගම්මන්පිල ඇමැතිවරයා කියන්නේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි. ඉන්දියානු ආණ්ඩුව සමග කළ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ටැංකි කළමනාකරණය කිරීමේ අයිතිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බහුතර කොටස් හිමිවන, ඉතිරි කොටස් ටික ලංකා ඉන්දියානු තෙල් සමාගමට හිමිවන සමාගමකට පැවරීමට එකඟතාවක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. වෙනත් වචනවලින් කියනවා නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බහුතර කොටස් තියෙන සමාගමක් කියන්නේ විගණකාධිපති විසින් ගිණුම් විගණනය කරනු ලබන, කෝප් කමිටුවට අධ්‍යක්ෂවරුන් කැඳවා ප‍්‍රශ්න කළ හැකි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අදාළ විෂයය භාර ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළ හැකි රාජ්‍ය සමාගමක් හරහා තමයි මෙම තෙල් ටැංකි පාලනය වෙන්නේ. මෙම සමාගම විසින් මෙම තෙල් ටැංකි කළමනාකරණය කරන කාලසීමාව, කොටස් හිමියන් අතර ඇති කරගන්නා එකඟතා ගිවිසුම, මෙම තෙල් ටැංකිවලින් කොතරම් ටැංකි ගණනක් ඛනිජ තෙල් සංස්ථාවට නිදහස් කරනවාද යන්න වැනි කාරණා තවදුරටත් සාකච්ඡා කරන්න නියමිතයි.’’

ඇමැතිවරයා රටට කියන කතාවත්, ශී‍්‍ර ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියන කතාවත් අතර ඇත්තේ රටේ ජනතාවගේ මොළේ මඤ්ඤං වන තත්ත්වයකි. කාරණය තේරුම්ගත හැකිවනු ඇත්තේ ගම්මන්පිල අමාත්‍යවරයා කියන පරිදි ‘‘තවදුරටත් සාකච්ඡා කරන්න නියමිතයි’’ දර්ශනයෙන් පසුවය. එතෙක් ඉවසා සිටීම නුවණට හුරු නොවන බව වරාය නැගෙනහිර ජැටිය (අනූනමයෙන් බේරාගත්) අපට පාඩම් කියා දී තිබේ. කිසිදු ආණ්ඩුවක් ඉන්දියානු මරාලයෙන් ගැලවීමේ ක‍්‍රමවේදයක් සකස් කරන්නට කිසිවිටෙකත් උත්සාහ ගෙන නැත. වත්මන් ආණ්ඩුව ද ඉන් වෙනස් නොවේ යැයි අපි විශ්වාස කරමු.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එදා කී කතාව අදටත් එලෙසම වලංගු යැයි ද අපි කියමු.

කවර පාලකයකු හෝ වේවා මේ තෙල් ටැංකි පරිශ‍්‍රයේ ඇති වටිනාකම අවබෝධ කර නොගැනීම ජාතියේ අවාසනාවකි. මෙම තෙල් ටැංකිවලට ඉන්ධන පුරවා අවම වශයෙන් අහල පහල රටවලට බෙදාහැරීමේ හෝ ක‍්‍රමවේදයක් ගොඩනැඟීමට නොහැකිවීම ගැන ඇත්ත වශයෙන්ම අප ලඡ්ජා විය යුතුය. ඒ සඳහා අවශ්‍ය ආර්ථික සැලසුම්, ජාලගත ව්‍යාපෘති නැත. වත්මන් ආණ්ඩුව ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීම ”ආර්ථික සැලසුම” බවට පත් කරගෙන ඇති බවක් පෙනේ. ත‍්‍රිකුණාමල වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශය ගැන අපේ රටේ උදවියටත් වඩා වෙනත් රටවල උදවිය බොහෝ සේ උනන්දුවක් ඇති බව කිව යුතුය. ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශය වෙනුවෙන් පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි, ප‍්‍රංශ අධිරාජ්‍යවාදීන් සටන් වැදුනේ ඒ නිසාය. මුලින් කීවාක් මෙන් චීනයත්, ඉන්දියාවත් අතර මේ ප‍්‍රදේශය වෙනුවෙන් නොපෙනෙන ගැටුමක්ද නිර්මාණය වී හමාරය. මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසීමෙන් ඵලක් නැත. එහෙත් මෝදිගේ හෝ එරට විදේශ අමාත්‍යවරයාගේ ඊළඟ ලංකා සංචාරයකට පෙර අමුඩ ලේන්සු සෝදාගෙන තිබීම කාගෙ කාගේත් යහපතට හේතු වේ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles