Divaina - තමන් හරි නම් කොවිඞ් එක්ක සටන් කරන්න පුළුවන්... නිවැරැදි ප‍්‍රමිතියට මුව ආවරණයක් සකසා ගැනීමේදී රෙදි වර්ග තුනක් භාවිත කළ යුතුයි...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පුෂ්පා රම්‍යානි සොයිසා -  ජාතික පුහුණුකිරීමේ නිලධාරිනි  ජාතික රෝහල කොළඹ
 
pushpa555  සාකච්ඡා කළේ 
 රුවන් ජයවර්ධන 
 ඡායාරූප - නිශාන් එස්. ප‍්‍රියන්ත


මේ වන විට රට තුළ උද්ගතව පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සාමාන්‍ය ජන ජීවිතය බරපතළ කඩාවැටීමකට ලක්ව අවසන්ය. එවැනි වටපිටාවක් තුළ රටවැසියන් වසංගත තත්ත්වයක් හමුවේ කටයුතු කළ යුතු වඩාත් නිවැරදි ආකාරය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා සමග සිදුකළ කතාබහක් පහත පළවේ.
 
 ප‍්‍රශ්නය - මේ වන විට කොවිඞ් වසංගත තත්ත්වය ක‍්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා. ඒ සම්බන්ධව ඔබේ මතය කුමක්ද?
 
 පිළිතුර - අපේ රට පමණක් නෙවයි. අද වන විට ලෝකයේ බොහෝ රටවල් මේ කියන වසංගත තත්ත්වය හමුවේ අසරණ වෙලා අඩපණ වෙලා ඉවරයි. නමුත් අප තරයේ සිහි තබාගත යුතු කරුණ තමයි ලෝකෙ ඇතිවුණ පළමු වසංගත තත්ත්වය හෝ අවසන් වසංගත තත්ත්වය මෙය නොවෙයි කියන එක. එහෙම නම් අපි කළ යුත්තේ කුමක්ද. පළමු දේ තමයි මෙහි පවතින අවදානම මොකක්ද ඊට මුහුණ දීමට නම් අපි තුළ මොන වගේ සූදානමක් පවතිනවද ඊට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් පැවතීම. නමුත් අපේ රට ගත්තොත් තවමත් ඒ අවබෝධය බොහෝ දෙනෙකු තුළ නැත කියන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ.
 
 ප‍්‍රශ්නය - ඔබ ඔය චෝදනාව කරන්නේ සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් පවතින වටපිටාවක නේද?
 
 පිළිතුර - සෞඛ්‍ය අංශ ගත්තොත් ඒ වගකීම අකුරටම ඉටුකරනව. ඒක සුවිශේෂී තත්ත්වයක්. නමුත් පාරකට බැහැල බලන්න කීයෙන් කී දෙනාද කියල ඒ උපදෙස් හරියට පිළිපදින්නෙ. කොවිඞ්වලින් ආරක්ෂා වීමේ දී මුව ආවරණය කියන්නේ අතිශය වැදගත් සාධකයක්. මුව ආවරණයක් පැළඳීමේදී නාසය, මුඛය, නිකට මුළුමනින්ම ආවරණය වන ආකාරයට පැළඳිය යුතුයි. ඒ වගේම තමයි ඔබ විසින් පාවිච්චි කරන්නේ ශල්‍ය මුව ආවරණයක් නම් එය පාවිච්චි කළ හැක්කේ වරක් පමණයි. ඔබ විසින් සාමාන්‍ය මුව ආවරණයක් පාවිච්චි කරනවා නම් එය ද නිවැරැදි ප‍්‍රමිතියට සකස් කළ යුතු එකක් විය යුතුයි. ඒ සඳහා උදාහරණයක් දෙනව නම් එවැනි මුව ආවරණයක් සකසා ගැනීමේදී රෙදි වර්ග තුනක් ඒ සඳහා භාවිත කළ යුතුයි. මුව ආවරණය පැළඳීමේදී සහ එය නැවත ගැලවීමේදී ඉතා හොඳින් සහ නිවැරදි ආකාරයට දෑත් පිරිසිදු කර නොගැනීම. එසේ නොකොට වසංගත තත්වයක් හමුවේ මුව ආවරණයක් පාවිච්චි කිරීමේදී පවා යම් අවදානමක් පවතිනව.
 
 ප‍්‍රශ්නය - ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදු කරනවනම්.
 
 පිළිතුර - ඔව්... උදාහරණයක් විදිහට යම් පුද්ගලයෙක් තමන්ගෙ කාර්යාලයට යනව නම් එහෙමත් නැත්නම් දරුවෙක් තමන්ගේ පාසලට හෝ වෙනත් අධ්‍යාපනික ආයතනයකට යනව නම් ඒ අය දැන්වත් මුව ආවරණයක් පැළඳීමේදී ඒ වගේම ගැලවීමේදී සහ රැගෙන යෑමේදී අනුගමනය කළ යුතු නිවරදි ක‍්‍රමවේදයක් පවතිනව. මොකක්ද ඒ ක‍්‍රමවේදය. ඉටි කවර තුනක් ගන්න. එයින් එක ඉටි කවරයක් තමන් ඒ මොහොතේ පාවිච්චි කරන මුව ආවරණය හොඳින් ආරක්ෂා කරගැනීම පිණිස භාවිතා කරන්න. උදාහරණයක් විදිහට ඔබ ආහාර ගන්නවා නම් පළමුව මුව ආවරණය ගලවා ඒ කවරය තුළට දමන්න. එහෙම නැතුව මුව ආවරණය ගලවල ආහාර ගන්න මේසය මත හෝ වෙනත් තැනක තබා ආහාර ගත් පසු නැවත පාවිච්චියට ගැනීම ඉතාමත්ම අනතුරුදායකයි. ඒ නිසා වෙනම කවරයක් ඒ සඳහා පාවිච්චි කිරීම ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම තමයි පාවිච්චි කරන ලද මුව ආවරණයක් නැවත පාවිච්චියට නොගන්නේ නම් එය වෙනම කවරයකට දමා වෙන්ව තබා ගත යුතුයි. ඊළඟට තුන්වැනි කවරය ගත්තොත් එය පාවිච්චියට නොගත් මුව ආවරණ බහා තබන ඇසුරුමක් ලෙස පාවිච්චි කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය - දැනට පවතින වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම පිණිස ඒ ඒ පුද්ගලයා සතු ශාරීරික ප‍්‍රතිශක්තිකරණය කොතෙක් දුරට බලපානවද?
 
 පිළිතුර - අද අපේ රට ගත්තොත් වර්ෂයක් තුළ වැඩි පිරිසක් මිය යන්නේ බෝනොවන රෝග තත්ත්වයන් හේතුවෙන්. අම්ම තාත්ත ජීවතුන් අතර සිටියදී විවිධ රෝගාබාධ හේතුවෙන් ඒ අයගෙ දරුවෝ මියයන තත්ත්වයක් අද වන විට දකින්න ලැබෙනවා. ඒකට හේතුව තමයි ප‍්‍රතිශක්තිකරණය දුර්වල වීම. ඇයි එහෙම වුණේ. රටක් විදියට අපට තිබුණ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවත ආ ආහාර සංස්කෘතියක්. නමුත් අපි විසින්ම ඒක වෙනස් කරල කෘතිම ආහාරපානවලට ඇබ්බැහි වෙන්න ගත්ත. කෘතිම ආහාරවලින් කරන්නේ මොකක්ද ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය මරණ එක. ඒක දැන් වෙලා ඉවරයි. දැන් අපේ මිනිස්සු ගාව තියෙන්නේ ජානමය වශයෙන් ශරීරයේ පවතින ප‍්‍රතිශක්තිය විතරයි. අප විසින් යමක් ආහාරයට ගන්නවා නම් ඒ තුළ පංච මහා ගුණය තිබිය යුතුයි. මොකක්ද පංච මහා ගුණය කියන්නේ. රසය, ගුණය, වර්ණය, ජවය, බලය මෙන්න මේ ටික ආහාරයක තිබිය යුතුමයි. කොත්තුවල, රයිස්වල මේ ගුණයන් තිබෙනවාද කියල තම තමන් සිතා බැලිය යුතුයි.
 
 ප‍්‍රශ්නය - එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ දී ජනතාව විසින් අනුගමනය කළ යුතු විශේෂ යමක් පවතිනවාද?
 
 පිළිතුර - එතැනදි කාරණා කීපයක් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනව. වැදගත්ම දේ තමයි යම්කිසි රෝග තත්ත්වයක් එහෙමත් නැත්නම් මේ වගේ වසංගත තත්වයක් තුළ ඊට එරෙහිව සටන් කළ හැකි මානසික තත්ත්වයක් හැම කෙනෙක් තුළම ගොඩනඟා ගැනීම. තමන් ශක්තිමත් නම් ජදඩසා එක්ක සටන් කිරීමේ හැකියාව ඔහු හෝ ඇය තුළ පවතිනව. ඒ තත්ත්වය ඇති කරගන්න නම් පෝෂ්‍යදායී ආහාර වේලක්, ප‍්‍රමාණවත් නින්දක් ඒ වගේම යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ඒ ඒ පුද්ගලයා තුළ තිබිය යුතුමයි. ඒ හරහා තමන්ගේ ජීවන රටාව පිළිබඳව තමන්ටම යම් වැටහීමකට යන්න පුළුවන් වෙනව. ඊළඟ කාරණය තමයි හැකිතාක් දුරට යහපත් සෞඛ්‍ය පුරුදු තමන් තුළ ඇති කර ගැනීම. වැසිකිළිය පාවිච්චියෙ සිට අනිකුත් සෑම කටයුත්තකදීම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, මේ වෙලාවේ අන් කවරදාටත් වඩා වැදගත් වෙනව. ඊළඟට ගත්තොත් බෝ නොවන රෝග, උදාහරණ විදිහට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ආදියෙන් පීඩා විඳින පිරිස් මේ වෙලාවේ හැකිතාක් දුරට සමාජ දුරස්ථභාවය සහිතව කටයුතු කළ යුතුයි. මොකද එවැනි රෝගී තත්ත්වයන් වලින් පෙළෙන අයට මේ වෛරසය ඇතුළු වීමේ ඉඩකඩ වැඩි බවට මේ වෙනකොට තහවුරු වී අවසන්. එම නිසා ඔවුන් මේ සම්බන්ධව වැඩි අවධානයෙන් පසුවිය යුතුයි.
 
 ප‍්‍රශ්නය - මෙවැනි වසංගත තත්ත්වයක් තුළ මානසික ආතතියෙන් මිදීම පිණිස අනුගමනය කළ යුතු විශේෂ යමක් පවතිනවාද?
 
 පිළිතුර - ඇත්තටම මම ඉහත සඳහන් කළ ආකාරයට මේ වෙලාව කියන්නේ රටක ජනතාවගේ මනස එහෙමත් නැත්නම් මානසික සුවතාවය ඉතාමත්ම හොඳින් පවත්වාගෙන යායුතු අවස්ථාවක්. එය අපේ රටට පමණක් නෙමෙයි මුළු ලෝකයටම එක සේ වැදගත් වෙනව. එතැනදී අපි විසින් අනුගමනය කළ යුතු පුංචි පුංචි ක‍්‍රියාකාරකම් රැසක් පවතිනව. විශේශෙන් ශාරීරික ව්‍යායාම්වල යෙදීම ශ්වසන ව්‍යායාමවල යෙදීම ඒ වගේම පොත පත කියවීම සංගීතයට සවන් දීම ආදිය හරහා ඔය කියන මානසික ආතතිය තමන් තුළින් පලවා හරින්න ඉඩකඩ හිමිවෙනව.
 
 ඒ වගේම විවිධ කට කතා ආදියට නොරැවටී සිටීම තුළත් යම් සහනයක් ලබාගන්න පුළුවන්කම පවතිනව. ඒ නිසා නිතරම සෘණාත්මක සංකල්පවලින් බැහැර වෙලා ධනාත්මකව හිතන්න පුරුදු වෙනවා නම් යහපත් මානසික සෞඛ්‍යයක් පිණිස එය ඉතාමත් වැදගත් වෙනවා.
 
 ප‍්‍රශ්නය - මේ වන විට මෙම වෛරස් තත්ත්වයෙන් බේරීම පිණිස දේශීය වෙදකම පිණිස නැඹුරු වීමේ ප‍්‍රවණතාවයක් බොහෝ දෙනෙක් තුළ දකින්නට ලැබෙනව. ඒ සම්බන්ධව ඔබ දරන මතය කුමක්ද?
 
 පිළිතුර - දේශීය වෙදකම පිළිබඳව අපට දීර්ඝ ඉතිහාසයක් තිබෙනව. ඒ පිළිබඳ විවාදයක් නැහැ. උණට කැස්සට හෙම්බිරිස්සාවට අපි එදා ඉඳන්ම ගත්ත ඖෂධ වර්ග කීපයක් තිබෙනව. කෙනෙක් කැමැත්තෙන් ඒව පානය කරනවා නම් ඒකෙ වරදක් නැහැ. නමුත් වැදගත්ම දේ තමයි යම්කිසි රෝග ලක්ෂණයක් හෝ කිහිපයක් පෙන්නුම් කරනවා නම් හැකිතාක් ඉක්මනින් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පිට ප‍්‍රතිකාර ආරම්භ කිරීම. මොකද ඒක ඒ රෝගියාට පමණක් නෙවෙයි සමස්ත සමාජයටම කරන යහපතක් කියල මේ වෙලාවෙ මතක් කරන්න ඕන.
 
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles