Divaina - නීතිය නවා සිල් රෙද්දක පටලවා හිරේ යැවූ ලලිත් - අනූෂ නිදොස් කොට නිදහස්.. ඔප්පු කළ හැකි කිසිදු සාක්‍ෂියක් නෑ! අහිමිවු සියල්ල ලැබේ...!!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 sill
 
 * අවංක රාජ්‍ය සේවකයන්ට පුර්වාදර්ශයක්

 ඒ. ජේ. ඒ. අබේනායක
 ඡායාරූප - ජූඞ් ඩෙන්සිල් පතිරාජ
 
හිටපු ජනාධිපති ලේකම්වරයකුවන ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුවන අනූෂ පැල්පිට යන දෙදෙනාව සිල් රෙදි නඩුවේ සියලූම අධි චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය පසුගිය 19 වැනිදා නියෝග කළේය. ඔවුන් වරදකරුවන් බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණය 2017 සැප්තැම්බර් 7 වැනිදා නියම කළ දඬුවම් නියෝගය ද බලරහිත කිරීමට ද අභියාචනාධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කළේය.
 
 කොළඹ මහාධිකරණය හමුවේ හා අභියාචනාධිකරණය හමුවේ පුරා පස් වසරකට අධික කාලයක් කැඳවනු ලැබූ එම නඩුවට පාදක වූ සුවිශේෂි කරුණු සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ගෙන එන පසු විපරමකි මේ.
 
 සිල් රෙදි කියූ පමණින්ම අප සිත් තුළ ඇඳෙන්නේ සිල් ගත් සංවරශීලී උපාසක උපාසිකාවන්ගේ චිත‍්‍රයකි. එසේත් නොමැති නම් පන්සලක්, වෙහෙර විහාරස්ථානයක් පසුබිම් කරගත් සිත් පහන් කරවන ප‍්‍රසන්න හැඟීමකි. ඒ 2014 වසරේ මුල් භාගයයි. එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා රට පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන මුල් කරගෙන සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණේ එම වසරේ මාර්තු 20 වැනි දින මහා සංඝරත්නය කළ ඉල්ලීමකට අනුවයි. එකී තීරණය 2015 ජනාධිපතිවරණයට පෙර කි‍්‍රයාත්මක කරන ලෙසින් ලැබුණු උපදෙස් අනුව වහා කි‍්‍රයාත්මක වූ එවකට ජනාධිපති ලේකම් ධුරය දැරූ ලලිත් වීරතුංග මහතා එකී විශේෂ ව්‍යාපෘති සඳහා ජනාධිපති අරමුදලින් අවශ්‍ය මුදල ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබිණි.
 
 එකී අරමුදලේ ඉතිරිව ඇත්තේ රුපියල් මිලියන 200 ක පමණ මුදලක් බවත් එකී මුදල ද කොතලාවල ආරක්ෂක පීඨයේ අරමුදලට අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරවරයා ජනාධිපති ලේකම්වරයාට දන්වනු ලැබුවා.
 
 ‘‘හරි ඒ තියෙන මුදල කොතලාවල පීඨයට දෙන්න. සිල් රෙදි ව්‍යාපෘතියට මම සල්ලි හොයා ගන්නම්’’ එලෙස සිය ගණකාධිකාරිවරයාට දැන්වූ ලලිත් වීරතුංග තමන් නිල බලයෙන් සභාපතිත්වය දැරූ ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් යළි ප‍්‍රතිපූර්ණය කිරීමේ පදනම යටතේ ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.
 
 ‘සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි’ යන අනියත දහම නැවත වරක් සනාථ කරමින් 2015 ජනවාරි 8 වැනිදා මෙරට සිදු වූ දේශපාලන පෙරළියත් සමග පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානතම පොරොන්දුවක් වූයේ පැවැති රජය සමයේ මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයන් ගැන සොයා බලා වරදකරුවන් බවට පත්වන්නවූන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවයි. පොලිස්පති නියමයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් කවුරුත් දන්නා පරිදි එෆ්. සී. අයි. ඞී. ය ස්ථාපිත කරනු ලැබුවේ ඒ අනුවය. ඒ නව රජය පිහිටුවා දින කීපයක ඇවෑමෙනි. 2015 ජනාධිපතිවරණයට දින නියම කොට තිබියදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක පති‍්‍රකා ද සමගින් සිල් රෙදි කට්ටල ලක්ෂ හතකට ආසන්න ප‍්‍රමාණයක් ලංකාව පුරාම පන්සල්වලදී බෙදා හැර ඇතැයි ද ඒ සඳහා රජයේ මුදල් රුපියල් කෝටි ගණනක් අයුතු ලෙස ලබාගෙන ඇතැයි ද යන පැමිණිල්ල එම ඒකකයට ලැබුණේ එය ස්ථාපිත කර දින කීපයක් ගතවීමට මත්තෙනි.
 
 එකී පැමිණිල්ල විභාගයට ගත් එම ඒකකයේ විමර්ශන නිලධාරීන් එකී සිද්ධියට සම්බන්ධ යැයි අනාවරණය වූ රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළු විශාල පිරිසක් දින ගණනාවක් තිස්සේ කැඳවා සිදු කළ විමර්ශනවල ප‍්‍රතිඵලය වූයේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට දෙපළට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කිරීමයි.
 
 එෆ්. සී. අයි. ඞී. නිලධාරීන් ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව අනුව යමින් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනා විත්තිකරුවන් කරමින් 2015 අගෝස්තු 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා තුනක් යටතේ නඩු පැවරීමට පියවර ගනු ලැබුවේ එවකට නීතිපති ධුරය දැරූ යුවන්ජන විජයතිලක මහතාගේ නියමය අනුවයි.
 
 2014 ක් වූ ඔක්තෝබර් මස 30 වැනිදා සහ 2015 ජනවාරි මස 5 වැනිදා අතර කාලය තුළදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් එකී කොමිෂන් සභා පනතේ ප‍්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුමට පේ‍්‍රෂණය කිරීමෙන් වංක ලෙස එකී මුදල සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් දෙදෙනාව නොතිසි මත කැඳවූ කොළඹ පුර්වගාමි මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කළාය. ඒ 2015 වසරේ ගෙවී යන්නට දින කිහිපයක් ඉතිරිව තිබියදී සිල් රෙදි බෙදා දීම සම්බන්ධව සිදු කළ විමර්ශනවල ප‍්‍රගතිය වාර්තා කළ යුතුව තිබූ දිනයේදී ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇති බව විමර්ශන නිලධාරීන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
 
 ‘‘ඇයි මේ දෙපාර්ශ්වයකට දෙවිධියකට සලකන්නේ නීතිය සැමට පොදු විය යුතුයි. නීතිය අනුව සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ විමර්ශන අවසන් කළ පසු ප‍්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තොරතුරු වාර්තා කර අධිකරණයට ඉදිරිපත් කිරීමයි. මේ පරීක්ෂණයේදී විමර්ශන සිදු කළ එෆ්. සී. අයි. ඞී. නිලධාරීන් ඒ පිළිවෙත අමතක කරලා තිබෙනවා.’’
 
 විමර්ශන සිදු කළ එෆ්. සී. අයි. ඞී. කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාව තම අධිකරණයට කැඳවූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ට අවවාද කළේ එලෙස චෝදනා මුඛයෙනි.
 
 චෝදනා කියවා දීම සාක්ෂි ලැයිස්තුව හා විමර්ශනයේ සාක්ෂිවල පිටපත්, සාක්ෂි ලේඛනවල පිටපත් විත්තියට භාරදීම ඇතුළු සුපුරුදු අධිකරණ කි‍්‍රයාදාමය අනුගමනය කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කෙරිණි.
 
 එවකට මැතිවරණ කොමසාරිස් ධුරය දැරූ මහින්ද දේශපි‍්‍රය, සිල් රෙදි කට්ටල බෙදාහැරීමේ වගකීම පැවරුණු හිටපු ජනාධිපතිවරයාගේ බෞද්ධ කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ වටිනාපහ සෝමානන්ද හිමි ඇතුළු සාක්ෂිකරුවන් විසිදෙනකු පමණ අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසුව පැමිණිලේ සාක්ෂි විභාගය අවසන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විත්තියට ආරාධනා කළේය.
 
 පළමුවන විත්තිකාර අනූෂ පැල්පිට මහතා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට කිසිවකු කැඳවීමක් නොකළ අතර ඔහු විත්තිකූඩුවේ සිට ප‍්‍රකාශයක් කරමින් අධිකරණයට පෙන්වා දුන්නේ දෙවන විත්තිකාර ලලිත් වීරතුංග මහතා කළ ඉල්ලීමක් අනුව සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 600 ක මුදලක් පරිත්‍යාගයක් ලෙස ජනාධිපති ලේකම් ගිණුමට පේ‍්‍රෂණය කිරීමට පියවර ගත් බවයි. එකී ව්‍යාපෘතිය හදිසි කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන ලෙසට කළ දැනුම්දීම අනුව සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඉදිරියේදී ලබා ගැනීමට යටත්ව එකී මුදල් මුදා හැරීමට පියවර ගත්ත බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ පළමු වන විත්තිකාර අනූෂ පැල්පිට මහතා එහිදී අධිකරණය හමුවේදී කියා සිටියේය.
 
 පළමු විත්තිකාර අනූෂ පැල්පිට මහතා ඔහුගේ විත්ති වාචකය එලෙස කෙටියෙන් අවසන් කළත් තමා වෙනුවෙන් සාක්ෂිකරුවන් කිහිපදෙනකු කැඳවීමට පියවර ගත් ලලිත් වීරතුංග මහතා ඉක්බිතිව සාක්ෂි කුඩුවට නැඟ දිවුරුම් පිට සාක්ෂි ලබාදීමටත් පසුබට නොවීය.
 
 එම විත්තිකරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමේදී අනාවරණය වූ කරුණක් කෙරෙහි සිය දැඩි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඟා ඇති පොදු දේපළ පනත යටතේ නැෙඟන අධිචෝදනා වහාම සංශෝධනය කර දණ්ඩ නීති සංග‍්‍රහයේ 386 වන වගන්තිය යටතේ ගැනෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම යටතේ නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලෙසට නීතිපතිවරයාට නියෝග කළේය.
 
 සිල් රෙදි ව්‍යාපෘතිය 2014 වසර නිම වීමට පෙර කි‍්‍රයාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව ජනාධිපති විශේෂ මූලාරම්භ වැය ශීර්ෂය යටතේ ඒ සඳහා අවශ්‍ය පියවර ගත් බවත් 2014 වසර වෙනුවෙන් එකී වැය ශිර්ෂයට පාර්ලිමේන්තුවෙන් වෙන් කළ මුදල් වැය කර අවසන් කර තිබූ බැවින් 2015 වසරේදී ප‍්‍රතිපූරණය කිරීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් එලෙස රුපියල් මිලියන 600 ක් ලබාගත් බව ද ලලිත් වීරතුංග මහතා එහිදී අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.
 
 වැය ශීර්ෂයේ මුදල් නොමැති විටකදී සිල් රෙදි ව්‍යාපෘතිය එතරම් කඩිනමින් කි‍්‍රයාත්මක කළේ කුමන අරමුණකින් දැයි අධිකරණය ඇසූ පැනයට පිළිතුරු දෙමින් විත්තිකරු කියා සිටියේ රටේ විධායක ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් හා නියෝග කි‍්‍රයාත්මක කිරීමට තමා බැඳී සිටින බවයි.
 
 එවැනි විශාල මුදලක් වැය කර සිල් රෙදි බෙදාදීම සිදු කළේ 2015 වසරේ ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන බවට පැමිණිල්ල කළ යෝජනාව තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ද ලලිත් වීරතුංග මහතා ප‍්‍රකාශ කළේය. එම මුදල වැය කරනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිසා හිටපු ජනාධිපති ලේකම්වරයා ලෙස තමා ඒ සම්බන්ධයෙන් වගකිවයුතු බව දන්නේ යැයි ද ලලිත් වීරතුංග මහතා එහිදී ප‍්‍රකාශ කළේය.
 
 රුපියල් ලක්ෂ 6000 ක් වැනි විශාල මුදලක් වැය කර හදිසියේ සිල් රෙදි බෙදා දීම සිදු කළේ රටේ සිල් රෙදි හිඟයක් තිබීම නිසා දැයි විනිසුරුවරයා එහිදී විත්තිකාර ලලිත් වීරතුංග මහතාගෙන් විමසා සිටියේය. තමා කි‍්‍රයාත්මක කළේ රටේ ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ නියෝගයක් බවත් එවැනි නියෝගයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නිලධාරියකු ලෙස තමාට නොමැති බවත් එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ලලිත් වීරතුංග මහතා ප‍්‍රකාශ කළේය. කිසිදු ජනාධිපතිවරයකු හෝ ඇමැතිවරයකු අවශ්‍ය ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම් ගැන හෝ ගිණුම්කරණය ගැන කතා නොකරන බවත් ඔවුන් කරනුයේ නියෝග ලබා දීම පමණක් බවත් එහිදී සඳහන් කළ ලලිත් වීරතුංග මහතා සිල් ගන්නා බෞද්ධයන් ඒ සඳහා පෙළඹ වීමේ අරමුණින් මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි හිටපු ජනාධිපතිවරයා එම සිල් රෙදි ව්‍යාපෘතිය කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙසට නියෝග කොට ඇතැයි තමා සිතන්නේ යැයි ද ප‍්‍රකාශ කළේය.
 
 සිල් රෙදි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලේකම්වරිය හා ශී‍්‍ර ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා කැඳවීමට අවසර ලබාදෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කළ ඉල්ලීමක් ද විනිසුරුවරයා ප‍්‍රතික්ෂේප කළේය.
 
 පැමිණිල්ලේ පමණක් නොව විත්තියේ නඩුව ද අවසන් කොට තිබියදී පැමිණිල්ල වෙනුවෙන් යළි සාක්ෂි කැඳවීමට අවසර ඉල්ලීම ඉතා අසාධාරණ හා නීති විරෝධී කි‍්‍රයාවක් බව විත්තිය නියෝජනය කළ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා පැමිණිල්ලේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
 
 සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය වහාම කි‍්‍රයාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා තමන්ට නියෝග කළේ 2014 වසරේ මාර්තු මාසයේදී බවත් එකී නියෝගය අනුව ඒ සඳහා මුදල් වෙන් කරනා තෙක්ම 2015 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කර නොතිබූ බවද ලලිත් වීරතුංග මහතා මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.
 
 විත්තියේ සාක්‍ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව දින හතකට ආසන්න කාලයක් පැවැති පැමිණිල්ලේ හා විත්තියේ දේශන 2017 අගෝස්තු 24 වැනිදා අවසන් කෙරිණි. ඉන් දෙසතියකට පසුව එනම් සැප්තැම්බර් 7 වැනිදා නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා දින නියම කළ අතර පුරා පැයකට ආසන්න කාලයක් වැය කරමින් විවෘත අධිකරණය හමුවේ සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනාම අධි චෝදනා තුනටම වරදකරුවන් බවට නිගමනය කළ බව පෙන්වා දුන්නේය.
 
 ජනාධිපති මැතිවරණය සඳහා දින නියම කොට තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා ලබා දී තිබූ උපදෙස් පවා නොතකමින් රට පුරා සිල් රෙදි කට්ටල හත් ලක්‍ෂයක් පමණ බෙදා හැරීම මගින් විත්තිකරුවන් එක් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාට දේශපාලන වාසියක් ලබාදීමට පියවර ගෙන ඇතැයි ද විනිසුරු ගිහාන් කුලතුංග මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර තුන බැගින් වූ සිර දඬුවම් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් වූ දඩ හා රුපියල් ලක්‍ෂ 500 බැගින් වූ වන්දි ගෙවීමටද විනිසුරුවරයා නියම කළේය. එම දඩ හා වන්දි නොගෙවන්නේ නම් අමතර වසර තුන බැගින් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.
 
 විත්තිකරුවන්ගේ එකී ක‍්‍රියා මගින් ඔවුන් පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන ගෙන ඇති බවට අනාවරණය නොවීම නිසා හා ඔවුන් පෙර එවැනි චෝදනාවලට ලක් නොවූ පුද්ගලයන් වීම නිසා තම අධිකරණය එවැනි ලිහිල් දඬුවම් නියම කරනා බවද විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.
 
 දණ්ඩ නීති සංග‍්‍රහය අනුව එක් අධිචෝදනාවකට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් සිරදඬුවම් හා දඩ මුදලකුත් අධිකරණයේ අභිමතය පරිදි වන්දි මුදලකුත් නියම කිරීමේ බලතල අධිකරණයට පැවැරී ඇති බැවින් උපරිම දඬුවම් නියම කරන ලෙස පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 විත්තිකරුවන්ගේ ක‍්‍රියාකලාපය නිසා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සිදු වූ රුපියල් මිලියන 600 ක අලාභයම වන්දියක් ලෙස අයකර ගැනීමට නියම කළ හැකි නමුත් විත්තිකරුවන් ඉටුකර ඇති රාජ්‍ය සේවය පිළිබඳ සලකා බලා තම අධිකරණය එවැනි ලිහිල් වන්දියක් ගෙවීමට නියම කළ බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
 
 පළමු වන විත්තිකරු යම් අයකු ආරක්‍ෂා කිරීමට ප‍්‍රයත්න දැරූ බව තම අධිකරණයට පෙනී ගිය බවද සිය තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරුවරයා දෙවැනි විත්තිකරු දැනුම් දුන් වහාම එකී මුදල මුදා හැරීමට පළමු විත්තිකරු ක‍්‍රියා කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමටත් පෙර බව ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව පෙනී යන්නේ යැයිද පෙන්වා දුන්නේය.
 
 රාජ්‍ය නිලධාරීන් රාජකාරි කළ යුත්තේ දේශපාලනඥයන් හෝ අන් අයගේ ඕනෑ එපාකම් හෝ තම පුද්ගලික පරමාර්ථ හා අභිරුචිකම් අනුව නොව රාජ්‍ය ආයතන සංග‍්‍රහය හා මූල්‍ය රෙගුලාසි අනුව වන්නේ යැයිද එහිදී පෙන්වා දුන් විනිසුරුවරයා නීති විරෝධී ක‍්‍රියාවල අනිසි විපාක විඳීමට සිදු වනුයේ ඔවුන්ව ඒ සඳහා පොළඹවන දේශපාලනඥයන්ට නොව රාජ්‍ය නිලධාරියාටමය වන්නේ යැයිද පෙන්වා දුන්නේය.
 
 රජයේ පාලනය යටතට පත් කර ඇත්තේ රටේ ජනතාවගේ මුදල් මිස දේශපාලනඥයන්ගේ මුදල් නොවනා බවත් ඒවා රැකබලා ගැනීමේ වගකීම රජයේ නිලධාරීන් සතුව ඇති බවත් විනිසුරු ගිහාන් කුලතුංග මහතා එහිදී පෙන්වා දුන්නේය.
 
 ඉදිරිපත් වූ සියලූම සාක්‍ෂි අනුව විත්තිකරුවන් දෙදෙනාම එකී අධිචෝදනා සියල්ලටම වරදකරුවන් බව නිගමනය කළ විනිසුරුවරයා දඬුවම් අවම කර ගැනීම සඳහා කරුණු දැක්වීමට විත්තියට අවස්ථාව හිමිකර දුන්නේය.
 
 එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එම නඩුව පසුව කැඳවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී ඉල්ලීම අනුව නඩුව පැය 1/2 කට කල්තැබීමට විනිසුරුවරයා තීරණය කළ අතර යළි නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ගේ නිදහස වෙනුවෙන් දීර්ඝ කරුණු දැක්වීමක් නොකරන නමුත් පෙර වැරදි හෝ පවතින නඩු කිසිවක් නොමැති නිකැළැල් රාජ්‍ය සේවයක් ඉටු කර ඇති එම විත්තිකරුවන්ට ලබාදිය හැකි අවම දඬුවම නියම කරන ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශන අනුව නීතිපතිවරයා විසින් පැවැරූ නඩු අතරින් තීන්දුවක් ලබාදුන් ප‍්‍රථම නඩුව ලෙස එය අධිකරණ ඉතිහාසයට එක්විය.
 
 එකී තීන්දුවට එරෙහිව විත්තිය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනාවට යටත්ව එම විත්තිකරුවන් දෙදෙනාවම සිර දඬුවම් නියම කොට දින 13 කට පසුව ඇපමත මුදාහැරීමට විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
 
 සිය අධිකරණය නියම කළ වසර තුන බැගින් වූ සිරදඬුවම් හා දණ්ඩන නියෝගයන්ට එරෙහිව විත්තිය ගොනු කර ඇති අභියාචනා පෙත්සම් වසර තුනක් ඇතුළත විභාග කර අවසන් කිරීමට ඇති ප‍්‍රවණතාවය අවශ්‍ය වීම කෙරෙහි අවධානය යොමු කර එම ඇප නියෝගය නිකුත් කරනා බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය. විත්තිය කළ ඇප ඉල්ලීම පිළිබඳව අධිකරණයේ අභිමතය පරිදි ඇප නියෝගයක් කරන්නේ නම් නීතිපතිවරයා විරුද්ධත්වයක් නොදක්වන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යුහාන් අබේවික‍්‍රම මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 සුපුරුදු පරිදිම විවිධ තාක්‍ෂණික හා ප‍්‍රායෝගික ගැටලූවලට විසඳුම් සොයමින් විනිසුරුවරුන් අතට හුවමාරු වෙමින් විටෙක මන්දගාමීව ද විටෙක ලහි ලහියේද ඉදිරියට ඇදෙමින් වාද විවාද දේශන කරුණු පැහැදිලි කර ගැනීම් මධ්‍යයේ දිනෙන් දින ඉදිරියට ගමන් කළ එකී අභියාචනා සම්බන්ධයෙන් තීන්දුව පසුගිය 19 වැනිදා නිකුත් කෙරිණි.
 
 තීන්දුව සඳහා නියම කළ දින දෙකක්ම පසුකර දමමින් හිටි හැටියේ ඉදිරියට ඇදුනු එකී දිනයේ විවෘත අධිකරණය හමුවේ සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ ද්විපුද්ගල විනිසුරු ම`ඩුල්ලේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කුමුදුනි වික‍්‍රමසිංහ මහත්මිය තමන් හා සිය සහෝදර විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය ද තීන්දු ප‍්‍රකාශ දෙකක් වෙන් වෙන්ව ප‍්‍රකාශයට පත් කරනා නමුත් විත්තිකරුවන් දෙදෙනාම ඔවුනට එරෙහිව න`ගා තිබූ අධිචෝදනා තුනෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට දෙදෙනාම නිගමනය කොට ඇතැයි පෙන්වා දුන්නාය. උගත් මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකාර අභියාචකයන්ට 2017.09.07 වැනිදා නියම කළ සිර දඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් බලරහිත කිරීමටද සිය තීන්දු ප‍්‍රකාශ මගින් නියෝග කොට තිබූ විනිසුරු ම`ඩුල්ල එකී නියෝග ක‍්‍රියාත්මක කිරීම සඳහා වහාම ඒවා මහාධිකරණය වෙත යැවීමට පියවර ගන්නා ලෙසටද අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළහ. විත්තිකාර පෙත්සම්කරුවන් කටයුතු කර ඇත්තේ නීත්‍යානුකූලව ඔවුන් වෙත පැවැරී තිබූ බලතල අනුව බැවින් ඔවුන් වැරදිකරුවන් කිරීම යුක්ති සහගත නොවන ක‍්‍රියාවක් වන්නේ යැයිද පෙන්වා දුන් විනිසුරු කුමුදුනි වික‍්‍රමසිංහ මහත්මිය පරිපාලන සේවයේ නිකැළැල් විශිෂ්ට සේවාවක් ඉටු කර තිබූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු වන අභියාචකයන් එකී මුදල් නිශ්චිත කටයුත්තකට යෙදවීමට පියවර ගෙන ඇති බවත් ඒවා ඔවුන් සාපරාධි ආකාරයෙන් භාවිතා කිරීමක් සිදුකර නොමැති බවත් කරුණු දැඩිව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ යැයිද පෙන්වා දුන්නාය.
 
 පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වලින් මෙන්ම එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ ලේඛන හා සාක්‍ෂි අනුව පෙත්සම්කරුවන් සියලූම චෝදනාවලට වරදකරුවන් බවට උගත් මහාධිකරණ විනිසුරුවරයා කර තිබූ නියෝගය නිසි ලෙස කරුණු සලකා බැලීමකින් තොරව සිදු කළ නියෝගයක් බවට තමන්ට පෙනී යෑම නිසා එකී නියෝගය බලරහිත කිරීමට තීන්දු කර ඇතැයි ද විනිසුරු කුමුදුනි වික‍්‍රමසිංහ මහත්මිය සිය තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.
 
 යම්කිසි රාජ්‍ය ආයතනයක් සතු මුදලක් හෝ දේපළක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන නීතිමය වදන්වල අරුත කෙසේ වෙතත් සාමාන්‍ය අරුත වනුයේ චෝදනා ලත් තැනැත්තා හෝ තැනැත්තන් එය සාවද්‍ය පරිහරණය කිරීමක් වන්නේ යැයිද මෙකී විත්තිකරුවන් දෙදෙනා අතරින් කිසිවකුත් එකී මුදලින් එක් සතයක් හෝ ඔවුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවට කිසිදු සාක්‍ෂියක් මගින් අනාවරණය වී නොමැති විටෙක ඔවුන් එවැනි බරපතළ චෝදනාවලට වරදකරුවන් කිරීම ඉතාමත් අසාධාරණ ක‍්‍රියාවක් වන්නේ යැයි ද ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ යන මහත්වරුන් සිය දේශන මගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබිණි. එකී තීන්දු ප‍්‍රකාශයෙන් අනතුරුව උපරිමාධිකරණ සංකීර්ණය හමුවේදී මාධ්‍ය ඇමැතු ලලිත් වීරතුංග මහතා එවන් නියෝගයක් ලබාදුන් අභියාචනාධිකරණ විනිසුරු ම`ඩුල්ලට තමන් දෙදෙනා හිස නමා සිය ගෞරවය පුද කරන්නේ යැයි ප‍්‍රකාශ කළේය. එය හුදෙක් තමන් පෞද්ගලිකව ලැබූ ජයග‍්‍රහණයක් නොව සමස්ත රාජ්‍ය සේවකයන්ම ලැබූ ජයග‍්‍රහණයක් ලෙස තමා දන්නේ යැයිද එහිදී පෙන්වා දුන් ලලිත් වීරතුංග මහතා එකී තීන්දුව සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස සතුටු වන්නේ යැයිද පෙන්වා දුන්නේය. තමන් දෙදෙනාට මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කොට රුපියල් මිලියන 52 ක් වැනි විශාල දඩ හා වන්දි නියම කිරීමෙන් පසුව රාජ්‍ය සේවකයන් බියට පත්වී තීන්දු තීරණ ගැනීමට පසුගාමී වූ බවද පැවැසූ ලලිත් වීරතුංග මහතා රාජ්‍ය නිලධාරීන් රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට තීරණ ගැනීමේදී මඳක් චක‍්‍රලේඛ හා නීති පොතෙන් බැහැරව කටයුතු කළ යුතුව ඇතැයි ද පෙන්වා දුන්නේය.
 
 තමන්ට නොව මට හා රටේ ජනතාවට වාසි සහගත වන ආකාරයෙන් තීන්දු තීරණ ගැනීමේදී රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලිකව යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බව තමා අත්දැකීමෙන්ම දන්නා බවද කියා සිටි හෙතෙම මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන්ට එවැනි අපහසුතාවන්ට මුහුණදීමට සිදුනොවනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යැයිද ප‍්‍රකාශ කළේය. මහාධිකරණය හමුවේ තමන්ගේ නිර්දෝෂීභාවය පෙන්වා දීම සඳහා දැඩි ලෙස පරිශ‍්‍රමයක් දැරූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, අභියාචනාධිකරණය හමුවේ තමන් වෙනුවෙන් පෙනී සිට නිහඬව සටන් කළ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා යන මහත්වරුන් දෙදෙනාවද කෘතවේදීව සිහිපත් කළ ලලිත් වීරතුංග මහතා මුල් අවධියේ සිටම තමාව මානසිකව දිරිමත් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතාවද කෘතවේදීව සිහිපත් කළේය. එකී තීන්දුව අධිකරණ ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ ඓතිහාසික තීන්දුවක් වන්නේ යැයිද එහිදී මාධ්‍ය හමුවේදී කරුණු දක්වමින් පෙන්වා දුන් අනූෂ පැල්පිට මහතා සියලූම බාධා බිඳගෙන රට ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයා දරන වෑයමට ශක්තියක් වන ලෙස සියලූම රාජ්‍ය නිලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ යැයිද ප‍්‍රකාශ කළේය.
 
 රජය රටේ උන්නතිය වෙනුවෙන් ගනු ලබන ප‍්‍රතිපත්ති නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවකයා කැප නොවන්නේ නම් රජයට පමණක් රටක් දියුණු කිරීමට නොහැකි නිසා මේ රටේ රාජ්‍ය සේවකයන්ට මෙම යුගයේ සුවිශේෂී වගකීමක් පැවැරී ඇතැයි ද අනූෂ පැල්පිට මහතා එහිදී සිහිපත් කළේය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles