Divaina - රිෂාඩ්ට අතින් ගෙවන්න වුණු ඓතිහාසික තීන්දුව මෙන්න

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

wilpaththu

නීතිඥ කපිල ගමගේ

2015 වසරේ ගොනු කරන ලද විල්පත්තු නඩුව අවසන් කරමින් අභියාචනාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව විල්පත්තුව ආශ‍්‍රිත රක්ෂිත වනය එළිකරමින් අවතැන් ජනයා පදිංචි කරවීම නීති විරෝධී බවට තීන්දු කර ඇති අතර එළිකරන ලද වනාන්තරය හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පුද්ගලික වියදමින් වන වගා කටයුතු සිදුකර පුනස්ථාපනය කළ යුතු බවට ද නියෝග කර ඇත. අදාළ පදිංචිකිරීම් නීතියට අනුකූල නොවන බවත්, යුද්ධයෙන් අවතැන් වූවන් පදිංචි කිරීමට ඇති අයිතිය පිළිගන්නා අතරම ඔවුන් ඔවුනගේ පූර්ව වාසභූමිවල යළි පදිංචි කිරීමට ඇති හැකියාව සළකා බැලිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් ස`දහන් වේ.

wilpaththu2 නැවත වන වගාව ස`දහා වැයවන මුදල් ඇස්තමේන්තුව සකස් කර ඒ ස`දහා කොපමණ මුදලක් වැය වන්නේ ද යන්න මෙම තීන්දුවේ දින සිට මාස දෙකක් ඇතුළත රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට දැනුම් දෙන ලෙසට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇත. තවද අදාළ මුදල බැර කළයුත්තේ කවර ගිණුමකට දැයි ඒ සමගම රිෂාඞ් බදුර්දීන්ට දන්වා සිටින ලෙසට ද අභියාචනාධිකරණය නියෝග කර ඇත. අභියාචනාධිකරණ නියෝගයට අනුව රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා විසින් අදාළ මුදල එම දැන්වීම ලැබී මාසයක් ඇතුළත - දෙන ලද ගිණුමේ තැන්පත් කළ යුතුව ඇත.

* වන විනාශයට දායක වූවන්ට ද`ඩුවමක් නැද්ද?

විල්පත්තු නඩු තීන්දුව ඇසුරින් මතුවූ සමාජ කතාබහ තුළ සාකච්ඡා වූ අපැහැදිලි තැන් අතුරින් ප‍්‍රමුඛ කාරණයක් වූයේ රිෂාාඞ් බදුර්දීන්ටත් මෙම වන විනාශයට දායක වූ අනෙක් උදවියටත් ද`ඩුවමක් නියම කර නැතිද යන්නයි. මෙම නඩුව පවරා ඇත්තේ වෙනම සන්දර්භයක ය. මේ සම්බන්ධයෙන් වටහා ගැනීම පහසු වනු පිනිස ලංකාවේ අධිකරණ ක‍්‍රමය පිළබ`ද යම් පැහැදිලි කිරීමක් සිදුකළ යුතුය.

* ලංකාවේ අධිකරණ ක‍්‍රමය කවරාකාර ද?

ලංකාවේ අධිකරණ ධූරාවලිය තුළ අපරාධ නඩු ස`දහා මහෙස්ත‍්‍රාත් අධිකරණය සහ මහාධිකරණයත්, සිවිල් නඩු ස`දහා දිසා අධිකරණය සහ වාණිජ මහාධිකරණයත් ක‍්‍රියාත්මක වේ. අපරාධයක් යනු සෑම විටම සමාජයට එරෙහි වරදක් වන අතර එයට අදාළ ද`ඩුවමක් ද වේ. එවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු වන්නේ සමාජය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති යාන්ත‍්‍රණය වන රජයටයි. මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමේදී බොහෝ විටම පොලිසිය පැමිණිලිකරු වන්නේ ඒ අනුවය. අයෙක් තව අයකුට පහර දීමකදී අදාළ පොලිසිය පැමිණිලිකරු වී, පහර කෑ පුද්ගලයා පැමිණිල්ලේ සාක්ෂිකරුවා වී පහරදුන් පුද්ගලයා චූදිතයා වන්නේ ඒ අනුව ය. (පුද්ගලිකව පැමිණිලි ගොනු කිරීමට අවස්ථාව ලබා දී තිබුණ ද එම අවස්ථාව භාවිතා වන්නේ ඉතා අඩුවෙනි.) මහාධිකරණයේ නඩු පැවරීම බොහෝ විට කරනු ලබන්නේ නීතිපතිවරයා විසිනි. ඒ රජයේ නීතිඥයා වශයෙනි. එහිදී දෙනු ලබන චෝදනා පත‍්‍රය අධි චෝදනා පත‍්‍රයයි. සිවිල් නඩු යනු දෙපාර්ශ්වයක් අතර ඇතිවන අපරාධමය නොවන වෙනත් ආරවුලකි. මෙහිදී ද`ඩුවමක් ලබාදීම වෙනුවට සිදුකරනුයේ හානි පූර්ණයට සහ වන්දි ගෙවීමට ආදී අවශ්‍ය නියෝග නිකුත් කිරීමයි. ගිවිසුමක් කඩ කිරීම නිසා, ණයක් නොගෙවීම නිසා ඇතිවන මෙවැනි ආරවුල් සේම පවුල් ආරවුල් වැනි තත්ත්වයන් ද සිවිල් නඩුකර යටතට ගැනේ.

මේ නඩු වර්ග දෙකටම අදාළව ඉහත කී මුල් අවස්ථා අධිකරණවලදී ලබාදෙන තීන්දුවලට එරෙහිව අභියාචනා කළ හැකි ස්ථානයන් වන්නේ මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයයි. පළාත් සභා හ`දුන්වාදීමත් සමග පළාත්බද අභියාචනා අධිකරණ ද අභියාචනාධිකරණවල නඩු ගොඩගැසෙන ප‍්‍රමාණය සළකා ඉහත කී පළාත් බද මහාධිකරණවලට සිවිල් අභියාචනා අධිකරණ බලයද ලබාදී ඇත. මේ සියලූ අධිකරණවල තීන්දුවලට එරෙහිව අවසාන අභියාචනා අධිකරණය වන්නේ ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙරට අධිකරණයකින් දෙන තීන්දුවක් උපරිම දෙවරක් අභියාචනා කිරීමේ හැකියාව පවතී. දිසා අධිකරණයකින් දෙන තීන්දුවක් පළමුව සිවිල් අභියාචනා බලය ක‍්‍රියාත්මක වන පළාත් මහාධිකරණයට යොමු කොට ඒ ලැබෙන තීන්දුවෙන්ද සෑහීමට පත් නොවන්නේ නම් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකිය. මහාධිකරණයෙන් දෙන තීන්දුවක් ද පළමුව අභියාචනාධිකරණයට අභියාචනා කොට ඒ ලැබෙන තීන්දුවෙන්ද සෑහීමට පත් නොවන්නේ නම් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකිය. මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් දෙන තීන්දුවක් පළමුව මහාධිකරණයට අභියාචනා කොට අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කළ හැක.

මේ තත්ත්වයට අමතරව වන තවත් අධිකරණ බලයන් රාශියක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට පවතී. ඒ මූලික අයිතිවාසිකම් පිළිබ`ද නඩු විමසා තීන්දුවක් දීමට සහ පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය විමසා තීන්දුවක් දීමට ආදී වශයෙනි. අභියාචනාධිකරණය සතුව ඇති වෙනත් බල අතර තවත් අධිකරණ බලයක් වන්නේ රිට් අධිකරණ බලයයි. රිට් අධිකරණ බලය යනු සර්ෂියොරාරි, මැන්ඩාමුස්, ක්වෝ වොරන්ටෝ, පොහිබිෂන් සහ හේබියස්කෝපුස් යන ආඥාවන් නිකුත් කිරීමේ අධිකරණ බලයයි. මින් සර්ෂියොරාරි සහ මැන්ඩාමුස් යන අධිකරණ බලයන් මගින් මූලික වශයෙන් නියෝග නිකුත් කරනුයේ රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවන අනීතික කාර්යයන් වැළැක්වීමටත්, රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකළ යුතුව තිබී, නමුත් නොකර පැහැර හැර ඇති කාර්යන් ඉටුකරවා ගැනීමටත්ය. විල්පත්තු නඩුවේදී ඉල්ලා ඇත්තේ මෙම සර්ෂියොරාරි සහ මැන්ඩාමුස් යන අධිකරණ බලයන් ක‍්‍රියාත්මක කරන ලෙසට වන නියෝග මගින් සහන ලබා දෙන ලෙසට ය. අදාළ නඩුවේ පෙත්සමට අනුව අදාළ රක්ෂිත ප‍්‍රදේශ අනීතිකව එළිපෙහෙළි කිරීමට අදාළව නිලධාරීන් සහ ඇමැතිවරුන් විසින් නිකුත් කර ඇති නියෝග බලරහිත කරන ආඥාවක් නිකුත් කරන ලෙසත් අදාළ රක්ෂිත ප‍්‍රදේශ එළි කිරීමේදී නිලධාරීන් සහ ඇමැතිවරුන් විසින් අනුගමනය කළ යුතු නමුත් නොකර හැර ඇති ව්‍යවස්ථාපිත කටයුතු ඉටු කිරීමට ඔවුනට නියෝග කරන ආඥාවක් නිකුත් කරන ලෙසත් අදාළ රක්ෂිත ප‍්‍රදේශ අනීතිකව එළිපෙහෙළි කිරීමට එරෙහිව ගතයුතු නීතිමය පියවර ගන්නා ලෙසට සහ අදාළ විනාශය ප‍්‍රතිස්ථාපනය කිරීමේ පියවරයන් ගන්නා ලෙසට වන සංරක්ෂක වෙත තවත් ආඥාවක් නිකුත් කරන ලෙසත් තවත් සම්බන්ධිත ආඥාවන් දෙකක් නිකුත් කරන ලෙසත් වෙනත් සුදුසු සහ වෙනත් සහන ලබා දෙන ලෙසත් වශයෙනි.

ඉහත කළ දීර්ඝ පැහැදිලි කිරීමට අනුව මේ විනාශය සිදුකරන ලද පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පවරා ද`ඩුවම් ලබාදීමට නීතිමය බලය ඇත්තේ අදාළ රාජ්‍ය නිලධාරීන්ට බවත් ඒ නිලධාරීන්ට ඊට අදාළ කටයුතු ආරම්භ කරන්නැයි නියෝග කරන ලෙසට වන ඉල්ලීමක් මෙම නඩුව මගින් ඉල්ලා ඇති බවත් පැහැදිලි වනු ඇත. ඒ අනුව දැන් සිදුකළ යුතුව ඇත්තේ මෙම නඩුවේදී වැරදිකරුවන් හෙළිවී ඇති බැවින් එම වැරදිකරුවන්ට එරෙහිව අපරාධමය පියවර ගැනීමයි. ඒ කටයුතු වනාන්තරය රැකගැනීමට මහජනයා විසින් වැටුප් ගෙවා පත්කර ඇති නිලධාරීන් විසින් දැන්වත් ආරම්භ කළ යුතුය. එසේම නීතිපතිවරයා විසින් ඊට අදාළ කටයුතු සම්පාදනය කළ යුතුය. පෙත්සම මගින් ඉල්ලා ඇති සර්ෂියොරාරි සහ මැන්ඩාමුස් යන රිට් ආඥා නිකුත් කිරීම නොකරන බවට නඩු තීන්දුවේ දැක්වෙන කාරණය ද මෙහිදී පැහැදිලි කළ යුතුය. එයට හේතුව ලෙස ගරු අධිකරණය දක්වා ඇත්තේ අදාළ සියලූ පාර්ශ්වකරුවන් පෙත්සමෙහි ස`දහන් කර නොමැති වීම නිසා එම ආඥාවන් නිකුත් කළ නොහැකි බවයි. අධිකරණ පද්ධතියේ කටයුතුවලදී කිසිදු අවස්ථාවක නඩුවේ පාර්ශ්වකරුවකු නොව පුද්ගලයකු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමේ බලයක් අධිකරණයට නොමැත. මන්දයත් අදාළ පුද්ගලයා එම නඩු කටයුත්තේ පාර්ශ්වකරුවකු නොවන තාක් දුරට ඔහුට තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බැවිනි. එනම් ”තීන්දුවක් ලබාදීමට පෙර සියලූ පාර්ශ්වයන්ට කන්දිය යුතුය” යන සිද්ධාන්තය පූර්ණ නොවන බැවිනි. එනිසා විල්පත්තුවේ අනවසර පදිංචිකරුවන්ට වහා ඉවත් වන්නැයි නියෝග කිරීමට අධිකරණයට හැකියාවක් නොමැත. ඔවුන් ඉවත් කරන්නැයි නියෝග කිරීමටද හැකියාවක් නොමැත. මන්දයත් ඔවුන් මෙම නඩුවේ පාර්ශ්වකරුවන් වී තම නිදහසට කරුණු ඉදිරිපත් කර නොමැති බැවිනි.

එසේ වූයේ ඇයි? ඔවුන් පාර්ශ්වකරුවන් නොකළේ ඇයි? එය කිසිසේත් ප‍්‍රායෝගික කටයුත්තක් නොවන බැවිනි. 1500කට අධික පවුල් ගණනක් නිසි පිළිවෙළක් හෝ නියාමනයක් නොමැතිව හිතු මනාපේ පදිංචිකර ඇති පසුබිමක ඒ එක්දහස් පන්සියයයේ නම් සහ ලිපින සොයා නඩුවට ඉදිරිපත් කිරීම කළ හැක්කක් නොවේ. කෙසේ හෝ සොයා ඉදිරිපත් කළද ඒ එක් එක් පාර්ශ්වය විසින් එක් අයකුට එක් නීතිඥයකු බැගින් ඉදිරිපත් කොට එක් එක් පුද්ගලයා වෙනුවෙන් නීතිඥවරුන් එක්දහස් පන්සියයක් කරුණු දැක්වීමට කාලය ලබාගතහොත් ඇතිවන තත්ත්වය සිහියට ගත යුතුය. එසේ වුවහොත් නඩුවේ මූලික කරුණු දැක්වීමට පමණක් අඩු තරමේ වසර තිහ හතළිහක් ගතවනු ඇත. ඒ මුළුකාලය පුරාම අදාළ පුද්ගලයන් අදාළ ස්ථානවල පදිංචිව සිටිමින් දිගටම වනාන්තරයට කළ හැකි හානිය සිදු කරනු ඇත. ඉන් පසුව ලැබෙන තීන්දුවක් මගින් ආරක්ෂා කිරීමට වනාන්තරයක් තබා තිබුණු තැනක්වත් සොයා ගැනීමට නොහැකි වනු ඇත. පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉහත සියලූ කරුණු සළකා බලා, වගකීමෙනි. ඒ නිසාම අද මෙම ජයගහණය දිනා දීමට ඔවුනට හැකිවී ඇත.

* නැවත වන වගා කටයුතු කිරීමට කොපමණ මුදලක් වැය වේද?

නැවත වන වගා කටයුතු සිදුකිරීමේදී සළකා බැලිය යුතු කරුණු සම්බන්ධයෙන් අගනා ලිපියක් කපිල රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇත. (එම ලිපිය පහලින් පළවේ. අදාළ වියදම පිළිබ`දව සළකා බැලීමේදී දළ වශයෙන් අක්කරයක ප‍්‍රමාණයක් නැවත වගා කොට වසර දහයක පමණ කාලයක්වත් රැකබලාගත යුතුය යන විද්‍යාත්මක පිළිගැනීමට අනුව කටයුතු කිරීමේදී අඩුම තරමින් අක්කරයකට වැයවන පිරිවැය රුපියල් මිලියනයක්වත් විය යුතු බවට පරිසරවේදියෝ අනුමාන කරති. ඒ අනුව දළ වශයෙන් අදාළ විනාශයට ලක්වූ ප‍්‍රමාණය අක්කර තුන්දහස (3000) ක් ලෙස උපකල්පනය කළහොත් වැයවන මුදල අඩුම තරමින් රුපියල් මිලියන තුන්දහසක් පමණ වෙතැයි පරිසරවේදීන්ගේ අදහසයි. නමුත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගතයුත්තේ වන සංරක්ෂක වන අතර එහිදී අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටත්, සිදුව ඇති පාංශුමය හානිය පිලිසකර කිරීමටත්, එළඹිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම් ආදියත් සළකා බලන විට මෙම අගය මීට වඩා වැඩි වීමට බොහෝ දුරට ඉඩ පවතී. මෙහිදී සැළකිල්ලට ලක් කළ යුතු වැදගත් කරුණ වන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දී ඇති කාල රාමුව තුළදීම වන සංරක්ෂක විසින් අදාළ ඇස්තමේන්තුව සකස් කිරීමයි. ඒ ස`දහා අමතර කාලයන් ඉල්ලමින් කල් මැරීම වෙනුවට අදාළ මාස දෙක ඇතුළත එම ඇස්මේන්තුව සකස් කළහොත් පමණක් ඉන් පසුව එළඹෙන මාසයක කාලය ඇතුළත අදාළ මුදල ගෙවීමේ වගකීම බදුර්දීන් ඇමැතිවරයාට පැවරේ.

* මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කළ හැකිද?
අභියාචනා අවස්ථාවක් පවතී. එය සිදුකළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

* නියම කරන ලද වන වගාව වෙනත් තැනක කළ හැකිද?

මගේ අදහස නම් මෙම තීන්දුව ලබා දී ඇත්තේ විල්පත්තුව ආශ‍්‍රිත වනාන්තර කලාපයට සිදුවූ හානිය සම්බන්ධයෙනි. ප‍්‍රතිපූර්ණ නියෝගයක් ලබා දී ඇත්තේ එම කලාපයට අදාළවය. ඒ අනුව වෙනත් තැනක වන වගාවක් ස`දහා මෙම නියෝග කරන ලද මුදල යොදා ගැනීමේ හැකියාවක් පැවතිය නොහැක. මෙම තීන්දුව අභියාචනාධිකරණ තීන්දුවක් වන බැවින් ඉදිරි නඩුවලදී අදාළ වන පරිදි මෙම නඩුවේදී ප‍්‍රකාශ වූ තීන්දුව සහ මූලික හරයන් අනුගමනය කිරීමට අනාගත අධිකරණ ද බැ`දී පවතී. එනම් අනුගම්‍ය අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය අදාළ වේ.

ඒ අනුව රජය විසින් ස්වාභාවික සම්පත් මහජන භාරයක් ලෙසින් දරා සිටිය යුතුය යන මහජන භාර සංකල්පය (Public trust doctrine) මෙම තීන්දුවේදී අධිකරණය විසින් සැලකිල්ලට ගෙන තිබේ. තවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ‘ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේය’ යන යුතුකම ගෙනහැර දක්වමින් අධිකරණයට ඒ ස`දහා මැදිහත්වීමට ඇති උපසේවී සහනය සහ ආනුශංගික බලය (ancillary or consequential) පිළිබ`දව ද මෙහිදී අවධාරණය කර තිබේ. තවද අධිකරණය විසින් තම බලය භාවිතා කරමින් පෙත්සම්කරු විසින් අයැද නැති නමුත් ලබාදිය යුතු බවට අධිකරණයට හැ`ගී යන සහන ලබාදීමක් ද මෙම තීන්දුව මගින් සිදුකර තිබේ. එසේම හංගේරියාව සහ ස්ලෝවැකියාව අතර පැවති ගබ්කිකෝවෝ -

නගිමාරස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයේදී කීර්තිමත් ශ‍්‍රී ලාංකේය විනිසුරු සී. ජී. වීරමන්ත‍්‍රී මහතා දැක්වූ අදහසත්, එප්පාවල නඩු තීන්දුවේදී කීර්තිමත් විනිසුරු ඒ. ආර්. බී. අමරසිංහ මහතා ප‍්‍රකාශ කළ තීන්දුවත් තවත් පූර්ව නඩු තීන්දු ගණනාවකුත් මෙම තීන්දුව ලබාදීමේදී අභියාචනාධිකරණය සැළකිල්ලට ලක්කළ බව තීන්දුවේ ස`දහන් වේ.

තවද බෞද්ධ දර්ශනයේ එන කූටදන්ත සූත‍්‍රයත්, හින්දු දර්ශනයේ එන භූමිකන්ද - පද්මපූර්ණයත්, ඉස්ලාම් දහමෙහි කුරාණයේ ස`දහන් විශ්වය පිළිබ`ද භාරකාරත්ව සංකල්පයත් ඇතුළු තවත් සංකල්ප සහ නිරීක්ෂණ ගණනාවකින් ද අභියාචනාධිකරණ තීන්දුව සමන්විත වී තිබිණි. මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවකි. නීතියේ ආධිපත්‍ය පිළිබ`දව විශ්වාසය තබන අති බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ විශ්වාසයන් සහ බලාපොරොත්තු ඉහළින්ම ඔසවා තබන තීන්දුවකි. පරිසරය වෙනුවෙන් එදා මෙදාතුර අපරිමිත වෙහෙස මහන්සියෙන් කටයුතු කළ පරිසරවේදීන්ගේ සාමූහික සමාජ ජයග‍්‍රහණයකි.

වනාන්තරය සහ පරිසරය වැනි සියලූ දෙනා විසින්ම හවුලේ භාවිතා කළ යුතු සහ අනාගතයටත් ආරක්ෂා කළ යුතු සම්පත් තනිවම පරිහරණය කිරීමට ගිජුවන සහ ඒවා වනසා තම මඩිය තරකර ගැනීමට පමණක් මාන බලන පාපතර මිනිසුන්ට සැර ප‍්‍රහාරයකි. නොයෙක් වාර්ගික මූලයන් ඉදිරියට දමාගනිමින් දේශපාලකයන්ගේ න්‍යායපත‍්‍රයන්ට අනුව ස්වාභාවික සම්පත් වැනසීමට කටයුතු කරන මූලධර්මවාදීන්ට අමතක නොවන රතු එළියකි. තම පුද්ගලික න්‍යායපත‍්‍රයන්ට අනුව දේශපාලකයන්ටත් බෙදා තමනුත් හොරෙන්ම බෙදා ගන්නා ජාගර නිලධාරීන්ට අලූත් විනය පටිපාටියකි. ඉඩ ලද මොහොතේ හැකි තරම් ගොඩගසාගෙන පරළොවටත් ගෙනයෑමට තරම් එක්රැස් කරගන්නා මැති ඇමැතියන්ට දෝෂාභියෝගයකි.


(විල්පත්තුව නඩු තීන්දුව සම්බන්ධයෙන් 2020.11.17 දින පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පවත්වන ලද වෙබ් සම්මන්ත‍්‍රණය සහ පරිසරවේදීන් නොයක් අවස්ථාවන්හිදී දක්වන ලද අදහස් දැක්වීම් ද මෙම ලිපිය සකස් කිරීමේදී උපයෝගි කරගැණුනි.)
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles