Divaina - සිංහල ශිෂ්ටාචාරයේ උපන්ගෙය උපතිස්ස ග්‍රාමය වැළලීම

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අනුරාධ තෙන්නකෝන්
සභාපති
ජාතික ගොවිජන එකමුතුව

 

upathi
 
අප කිසිදා යුද්ධවලින් පරාජය කළ නොහැකි රණකාමීත්වයෙන් හා වීරත්වයෙන් පිරිපුන් ජාතියක් වුවද ගිවිසුම් මඟින් යම් යම් එකඟතාවයන් මඟින් අපව පරාජය කළ හැකි ජාතියක් බව බටහිරයන් වටහා ගත් නිසාම අපගේ ශිෂ්ටාචාරයේ අක් මුල් ගලවා දැමීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වූයේ ඊනියා මිත‍්‍රත්වයේත්, ඊනියා සංවර්ධනයේත් ක‍්‍රියාන්විතයන් හරහාය. විශේෂයෙන්ම අපට උරුම ආර්ථික දේශපාලන සංස්කාතික පදනම වූ වාපි ශිෂ්ටාචාරය සමඟ බැඳුණු ඓතිහාසික කෘෂිකර්මාන්ත අඩිතාලමේ අක් මුල් ගලවා දැමීම මඟින් මුළු රටේම ශිෂ්ටාචාරය බිඳ දැමිය හැකි බවට ඔවුන්ගේ විශ්වාසය වූ නිසාම අප රටේ වාරි ශිෂ්ටාචාරය මෙන්ම ජාතික උරුමයන් විනාශ කිරීමේ සටහන් ක‍්‍රියාත්මක වූයේ මහා සුවිසල් වාරිමාර්ග ව්‍යාපෘති ඔස්සේය. නිදහස ලැබීමෙන් අනතුරුව මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමයක් මෙරට ස්ථාපනය කරමින් එය ක‍්‍රියාවට නංවනු ලැබීමේ වාසිය අප රටට වඩා ඔවුන්ගේ සැහැසි අරමුණුවලට වැදගත් විය. මහවැලි ගඟ උතුරට හැරවීමේ සංකල්පය එවැනි ඊනියා සංවර්ධනයක මූලෝපායික සැලැස්ම විය.

අප රටේ වාපි ශිෂ්ටාචාරයේ තොටිල්ල මහවැලි ගඟ හෙවත් මහා වාලූකා නදියයි. භද්දකච්චායනා කුමරිය ඇතුළු පිරිස මෙන්ම තවත් බොහෝ අය මෙරටට පැමිණ ජනාවාසකරණය වූයේ මහවැලි ගඟ කේන්ද්‍ර කර ගනිමින්ය. මහවැලි ගඟ කේන්ද්‍ර කර ගනිමින් ජල විදුලි බල යෝජනා ක‍්‍රම සකස් කරනු ලැබුවේත් ජලාශ ඉදිකරනු ලැබුවේත් අපගේ මධ්‍යම කඳුකරයේ පාරිසරික තත්ත්වයන්ගේ, ජෛව විද්‍යාත්මක තත්ත්වයන්ගේ පදනම විනාශ කිරීමේ අපි නොදකින ඓතිහාසික පාරිසරික පදනම ගලවා ඉවත් කිරීමටය. මහවැලි ජලාශ ඉදිකිරීමෙන් වසර 50 කට පසු එම ආදීනවයන් අද අප භුක්ති විඳින්නෙමු. එම ජලාශ ඉහළ කඳුකර සෝදා යෑම නිසාවෙන් 60%ක් පමණ මඩින් පිරිලාය. එසේම වර්ෂයේ මාස නවයක් පමණ මහවැලි ගෙඟ් වතුර නැත. මධ්‍යම කඳුකරයේ ජල උල්පත්, ජල මූලාශ‍්‍ර සහමුලින්ම විනාශ වී හමාරය. මහවැලි ජලාශ ඉදිකිරීම හරහා ඇති වූ සංවර්ධනයට වඩා ඓතිහාසික ශිෂ්ටාචාරය විනාශ වීම වැළලීම අතිමහත්ය. විශේෂයෙන්ම ලංකාවේ කේන්ද්‍රය වූ ‘‘නාලන්ද ගෙඩිගේ‘‘ නම් ස්ථානය වෙනස් කරමින් නාලන්ද ජලාශය ඉදිකිරීම වැනි තත්ත්වයන්ද අප සැලකිල්ලට ගැනීමේදී ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශ කර දමමින් ශිෂ්ටාචාරය අකා මකා දැමීමක් සිදු නොවෙතැයි සිහි බුද්ධියෙන් මෙරටට ආදරය කරන අයට වැටහේ. මේ එක් උදාහරණයක් පමණි. 1977 න් පසු කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය නිසාවෙන් අප පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන් ඓතිහාසික ජාතික උරුමයන්ට වූ හානිය සුවිශාලය. විශේෂයෙන්ම ලෝක උරුමයක් බඳු විශිෂ්ටතම වාරි ඇළ මාර්ගයක් වූ ‘‘යෝධ ඇළ’’ විනාශ කරන ලද්දේ ‘‘නව ජය ගඟ’’ ඉදිකිරීම මඟිනි. වසර සියදහස් ගණනක් කෙත්වතු මෙන්ම පරිසරයද පෝෂණය කළ ජලාශ‍්‍රිත ශිෂ්ටාචාරය අවදානමට ලක් කිරීමේ අක්මුල් ගලවා දැමීම මෙවැනි සංවර්ධන යෝජනාවල ඇතුලාන්තයේ වූ සැහැසි අරමුණයි.
 
 1948 න් පසු දිගින් දිගටම ක‍්‍රමානුකූලව මෙම මහා පරිමාණ ව්‍යාපෘති හරහා අපගේ ශිෂ්ටාචාරයට ඇති වූ බලපෑම අතිමහත්ය. රටක් සංවර්ධනය විය යුතුය. එහෙත් ඓතිහාසික උරුමයන් විනාශ කරමින් ඉතිහාසය අකා මකා දමමින් සිදු කරන්නා වූ සංවර්ධනයෙන් අපට අත්වන්නේ අප නොසිතන ඛේදාන්විතයකි.
 
 එදාට වඩා අද අප ඉතාමත්ම මෙම විනාශයේ අභිමුව සිටින්නෙමු. ක‍්‍රමානුකූලව මෙකී ශිෂ්ටාචාරය අකා මකා දැමීම අඛණ්ඩව සිදු වුවද දැන් එය බලයට පත් වූ ආණ්ඩුවල රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත්වීම මඟින් සෘජුව සිදුවන බව කනගාටුවෙන් වුවද කිව යුත්තේය. මෙම විනාශයේ ප‍්‍රබලතම ඉරණමක් අභිමුවේ අප සිටින්නෙමු. ඒ අපගේ මුල්ම ජනාවාසය වූත් එකම ශිෂ්ටාචාරය වූත් රජරට ශිෂ්ටාචාරය අකා මකා දැමීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වීමෙනි. එය එළි දකින්නේ ‘‘පහළ මල්වතු ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය’’ නමින් වූ දේශීය වාරිමාර්ග සංවර්ධන බෞතීස්මයෙනි.
 
 පුරාතන ලංකාද්වීපයේ වී වගාව ප‍්‍රධාන කොටගත් කෘෂිකර්මාන්තය යනු ආර්ථිකයේ ප‍්‍රධානතම පදනමයි. ක‍්‍රි.පූ. 6 වන සියවසේ විජය ඇතුළු හත්සියයක් පිරිවරගේ පැමිණීමත් සමඟ ආර්ය ජනාවාසකරණයට පදනම මල්වතුඔය හෙවත් කදම්බ නදිය පාදක කරගනිමින් රජරට ශිෂ්ටාචාරයට මුල් අඩිතාලම සකස් විය. මෙරට ශිෂ්ටාචාරයේ තොටිල්ල රජරට ශිෂ්ටාචාරයයි. වසර 2300 ක ඓතිහාසික උරුමයේත් ජාතික අනන්‍යතාවයේත් පාදම මෙකී මල්වතු ඔය හෙවත් කදම්බ නදිය හා බැඳුණු ආර්ය ජනාවාසකරණයයි. විජයාවතරණයත් සමඟ රජරට ශිෂ්ටාචාරයේ මුල්ම ජනාවාස බිහිවන්නේද මල්වතුඔය ආශ‍්‍රිතවය. විජය කුමරුගේ ඇමැතිවරුන් දෙදෙනකු වූ උපතිස්ස හා අනුරාධ නම් ඇමැතිවරුන් දෙදෙනාගේ නායකත්වයෙන් මුල්ම ජනාවාස දෙක උපතිස්ස ග‍්‍රාමය හා අනුරාධ ග‍්‍රාමය ලෙස ගොඩනැ`ගුණි. මෙම ජනාවාස ග‍්‍රාම දෙකම මල්වතු ඔය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය විය. එය ලාංකීය ශිෂ්ටාචාරයේ මුල්ම ජනාවාස දෙක විය. එනිසාම අපගේ ඉතිහාසයට මෙන්ම ශිෂ්ටාචාරයට ඇති ප‍්‍රබලම සාක්ෂිය හා මූලාශ‍්‍රය මෙම ගම්මාන දෙක බව පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම ඉතිහාසඥයන්ගේ ද මතයයි. මහාවංශයේ සඳහන් පරිදි බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේදීම විජයගේ ලංකාගමනය සිදු වූ බවත්, ඔවුන් වයඹදිග මුහුදු වෙරළෙන් මෙරටට ගොඩබැසීමෙන් අනතුරුව එම ස්ථාන ආශ‍්‍රිතව මුහුදට වැටෙන ගංගාවක් දිගේ රට අභ්‍යන්තරයට පැමිණ කුවේණි නම් වූ අයගේ ආධාරයෙන් ජනාවාස ඉදිකරගත් බවද සැලය. මෙම ගංගාව කදම්බ නදිය හෙවත් මල්වතු ඔය වේ. පසුකාලීනව මෙරටට පැමිණි බොහෝ පිරිස් මෙන්ම ආකුමණිකයන්ද රටට ඇතුල් වූයේද මෙම ගංගා පාදක කරගනිමිනි. විශේෂයෙන්ම ගංගා නිම්න හා ගංගා පටුන් මුල් ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමේදී වැදගත්ම සන්ධිස්ථාන විය.
 
 මේ ආකාරයට බිහිවූ ජනාවාස බොහෝය.
 
 1. කදම්භ නදිය හෙවත් මල්වතු ඔය - උපතිස්ස ග‍්‍රාමය, අනුරාධ ග‍්‍රාමය.
 
 2. ගෝන නදිය හෙවත් කලා ඔය - උරුවේල ග‍්‍රාමය
 
 3. මහාවාලූකා නදිය හෙවත් මහවැලි ගඟ - රාම ග‍්‍රාමය, මහියංගණය, විජිත ග‍්‍රාමය.
 
 4. ගල්හ හෙවත් ගල්ඔය - දීඝවාපිය.
 
 5. කප්පරකන්ද හෙවත් මැණික් ගඟ - රෝහණ ග‍්‍රාමය, කාචර ග‍්‍රාමය (කතරගම).
 
 6. කරින්ද හෙවත් කිරිඳි ඔය - මහා ග‍්‍රාමය.
 
 7. කල්‍යාණි නදිය හෙවත් කැලණි ගඟ - කල්‍යාණි ජනපදය හෙවත් කැලණිය.
 
 මුල් කාලීනව ගංගා නිම්න ආශ‍්‍රිතව සිය ජනපද මේ ආකාරයට පිහිටුවාගත් නමුදු පසුකාලීනව ගංගා නිම්නවලින් බැහැරව රටේ අභ්‍යන්තර ප‍්‍රදේශ කරා ජනපද ව්‍යාප්ත විය. මේ අතුරින් පළමු ජනාවාසය බිහිවන්නේ මල්වතු ඔය ආශ‍්‍රිතව වූ උපතිස්ස ග‍්‍රාමයයි. ඊට සමගාමීව අනුරාධ ග‍්‍රාමයද බිහි විය. ඒ අනුව වසර 2600ක ලිඛිත ඉතිහාසයේ මූලාරම්භය සනිටුහන් වන්නේ මෙම මල්වතු ඔය ආශ‍්‍රිතව වූ උපතිස්ස ග‍්‍රාමය හා අනුරාධ ග‍්‍රාමය පාදම කර ගනිමිනි. මෙකී මූලික වශයෙන් ගොඩනැෙඟන රජරට ශිෂ්ටාචාරය වසර 1500 කට ආසන්න දීර්ඝ කාල පරිච්ෙඡ්දයක් පුරාවට ආර්ථිකව, සමාජයීයව, ආගමිකව, සංස්කෘතිකව ශක්තිමත් අඩිතාලමක් මෙන්ම සභ්‍යත්ව ශිෂ්ටාචාරයක් ගොඩනඟන නිසාවෙන් මෙරට ඉතිහාසයේ යෝධ සාක්ෂිකරුවා රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය ආශ‍්‍රිත වූ උපතිස්ස ග‍්‍රාමය හා අනුරාධ ග‍්‍රාමයයි. ඒ අතුරින් අනුරාධ ග‍්‍රාමය හෙවත් අනුරාධපුරය පසුකාලීනව දේශපාලන හා ආර්ථික අගනගරය ලෙස පණ්ඩුකාභය කුමරු විසින් සංවර්ධිත සැලැස්මකට අනුව ගොඩනංවනු ලැබූ අතර ඊට සමගාමීව උපතිස්ස ග‍්‍රාමයද එකී පාර්ශ්වීය ප‍්‍රධාන ජනාවාසයක් හා නගරයක් බවට පත්වූ බවට කිසිදු සැකයක් නැත.
 
upathi2මෙම ඓතිහාසික වැදගත්කමකින් යුත් මල්වතුඔය ආශ‍්‍රිතව පහළ මල්වතු ඔය බහුකාර්යය යෝජනා ක‍්‍රමය නම් වූ වාරිමාර්ග පද්ධතියක් ගොඩනැ`ගීමේ අවධානය යොමු වූවා පමණක් නොව සැලසුම්ද සකස් කරන ලද්දේ 1956 දී ය. ඒ ‘‘පහළ මල්වතු ඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතිය’’ යන ව්‍යාපෘති නාමයෙනි. එවකට අනුරාධපුර මැදවච්චිය ආසනයේ මන්ත‍්‍රීවරයාව හිටි මෛත‍්‍රිපාල සේනානායක මහතා මෙම ව්‍යාපෘතියට දැඩි සේ විරුද්ධ වීම නිසාවෙන් නිල නොවන ලෙසට මෙම ව්‍යාපෘතිය ඇණහිටි අතර එය යළි`දු 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව 2012 දී යළි මෙය ඇරඹීම සඳහා වාර්තා සකස් වුවද ඔහු විසින් මෙම ව්‍යාපෘතිය නතර කරන ලදී. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවනු ලබන්නේ අපගේ පැරණිතම හා ප‍්‍රථම ජනාවාසය වූ උපතිස්ස ග‍්‍රාමය ඇතුළු පුරාණ ගම් මැදි කරගෙනය. එම නිසාවෙන් අපගේ ශිෂ්ටාචාරයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මුළුමණින්ම පාහේ වැළලී විනාශ වී යන බවට විවාදයක් නොමැත. මහවැලි ජලාශයක් වූ වික්ටෝරියා ජලාශය නිසාද තෙල්දෙණිය වැනි පෞරාණික ගම් විනාශ වීමත් වැළලී යෑමත්, ඉතිහාසගත තොරතුරු අකාමකා දැමීමක් සිදුවිය. මෙය රාජ්‍යතාන්ත‍්‍රිකව දැනුවත් හෝ නොදැනුවත් භාවය මත සිදුවන්නා වූ කුමන්ත‍්‍රණයක් බව දැන්වත් අප විසින් අවබෝධ කරගත යුතුව ඇත. රටක් සංවර්ධනය වනවාට කිසිවකුත් විරුද්ධ නැති මුත් රටට ආදරේ කරන බොහෝ පාර්ශ්වයන් රටේ ශිෂ්ටාචාරය ගොඩනැ`ගූ ඓතිහාසික පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර විනාශ කරනවාට එරෙහිව හඬ අවදි කළ යුතුය.
 
 යෝජිත මෙම ව්‍යාපෘතිය පිළිබඳව සකස් කළ සංඛ්‍යාන වාර්තාවට අනුව පැහැදිලිවම මෙම ව්‍යාපෘතිය නිසාවෙන් වැළලෙන පුරාවිද්‍යා ස්ථාන ද හඳුනාගෙන එහි සටහන් කර ඇති අතර සමහර පුරාවිද්‍යාත්මක සාධක ඉන් ගලවා වෙනම කෞතුකාගාරයක් ඉදිකර ආරක්ෂා කරන බවටද සඳහන්ය. මෙවැනිම ක‍්‍රියාවක් ඉහත කී පරිදි නාලන්ද ජලාශය ඉදිකිරීමේදී ‘‘නාලන්ද ගෙඩිගේ’’ ගලවා වෙනස් තැනක ස්ථාලනය කරන ලද මුත් එය ඓතිහාසික වැරැද්දක් බව පසුව තේරුම් ගත්තද ඉන් ඵලක් වුණේ නැත.
 
 මෙම ව්‍යාපෘතිය අක්කර 10250 ක පමණ වපසරියකින් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 ක ගම්මාන 37 කගේම පෞරාණික වැව් 25කට අධික එල්ලංගා පද්ධතියක් යට කරමින් මන්නාරමට හා උතුරට ජලය ගෙනයෑමේ අරමුණින් රුපියල් බිලියන 16 ක වියදමින් ඉදිකරන රජරට මහවැලි ජලාශයයි. ජලාශයේ ජලධාරා ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 3246 ක් වන අතර ජලාශ භූමියේ ජලධාරා ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 2116.5 කි. තේක්කම් අමුණ හා ජලධාරා ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 530 කි. යෝධවැව ජලධාරා ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 737 කි. අත්තිමුරුප්පු වැව වර්ග කිලෝ මීටර් 73කි. යෝජිත වැව් බැම්මේ පහළ මට්ටමේ සිට වැව් බැම්මේ උස මීටර් 23.5 ක් වන අතර දිග කිලෝ මීටර් 3.59 කි. යෝජිත යටිතල පහසුකම් ලෙස අභ්‍යන්තර මාර්ග පද්ධතිය විදුලි සංදේශ පහසුකම්, විදුලිබල සැපයුම වැඩි දියුණු කිරීම මෙන්ම තන්තිරිමලේ හා වෙඞ්ඩිකුලම ගම්මාන සඳහා නව නිවාස ඇතුළු යටිතල පහසුකම් මෙන්ම තවත් රාජ්‍ය ආයතන පිහිටුවීමටද නියමිතය.
 
 මෙකී භෞතික පහසුකම් පිළිබඳව අවධානය යොමු කළද මෙහි ජෛව විවිධත්වය සේම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම විනාශ කරමින් මේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම හුදෙක් අප රටේ ශිෂ්ටාචාරය විනාශ කිරීමටත් සේම පැරණිතම හා ප‍්‍රථම ජනාවාසය වූ උපතිස්ස ග‍්‍රාමය වැළලීමකි. එසේම යට වීමට නියමිත භූමි වපසරිය ජෛව විවිධත්වයෙන් පොහොසත් වාසස්ථාන සැලකිය යුතු ප‍්‍රමාණයක් පවතින අතර සත්ව විශේෂ 222 ක් සම්බන්ධව මේ වන විට වාර්තා වේ. මේ අතර ජාතික වශයෙන් දැඩි ලෙස අන්තරායට පත්වූ මෙරටට ආවේණික ‘‘හිරිකණයා, තඹලයා, දිය බල්ලා, ගල්පාඬියා, නිලිකාර ඇදයා, හැල කිඹුලා, ඉන්දියානු තාරකා ඉබ්බා වැනි ජලජ සහ අර්ධ ජලජ සතුන්ද වියළි කලාපයේ උතුරු පෙදෙසට පමණක් ආවේණික වූ දිවි මකුළු විශේෂ කෙරෙහිද දැඩි බලපෑමක් ඇති වෙන අතර ආසියානු අලි වර්ගයේ අලින්ට රුචිකර වාසස්ථානයක් ද වේ. එමෙන්ම විල්පත්තු වනෝද්‍යානය ආසන්නයේ පිහිටීම නිසා ආසන්න ජල පදිකයන් විසින් නීති විරෝධී දැව ජාවාරම්, සත්ව දඩයම්, වනය එළි පෙහෙළි කිරීම් වැනි වනෝද්‍යානය අවදානමකට ලක්වීමටද ඉඩ ඇත.
 
 යෝජිත ජලාශ භූමියේ ඉදිකිරීම් නිසා හානියට පත්වන හෝ වෙනස් කෙරෙන පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රද බොහෝය. වාර්ථාව මඟින් පෙන්නුම් කරන්නේ පුරාවිදයාත්මක වැදගත්කමකින් මුතු භූමි 56ක් ඇති බවත්, ඉන් 33ක් පමණ යෝජිත ජලාශයට යට වීමට නියමිත බවත්ය. නමුදු මෙකී හඳුනාගැනීම්වලට වඩා බෙහෙවින්ම වැඩි බව ඉතිහාසඥයන්ගේ මතයයි. අපේ ශිෂ්ටාචාරය වළලන ප‍්‍රධානතම පුරාවිදයාත්මක ස්ථාන කිහිපයක් මෙසේය ;
 
 
 
 මැදවච්චිය තිබූ ජනාවාස පිළිබඳව සාක්ෂි :
 
 * මෙය අපේ ප‍්‍රථම ආර්ය ජනාවාසකරණය බිළිබඳ වූ ප‍්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂියකි.
 
 * ඉපැරණි ගල් පාලම
 
 * මෙය ඉතාමත් ඉහළ තාක්ෂණික හා ශිල්පීය ඥාණය ප‍්‍රකට කරවන්නකි.
 
 * මැදවච්චිය ලෙන් කටාරම
 
 * රුවන් මලූව ලෙන් කටාරම
 
 * රුවන් මලූව ගොඩනැ`ගිලි නටඹුන් හා ඉපැරණි ජනාවාස පිළිබඳව සාක්ෂි.
 
 * මිල්ලෑව පිටවාන අසල ගොඩනැ`ගිලි නටඹුන් හා ජනාවාස පිළිබඳ සාක්ෂි.
 
 * මහදංගස්වැව පුරාණ ගොඩනැ`ගිලි නටඹුන්.
 
 * මහදංගස්වැව සිවුරවානපු ගලේ නටඹුන්.
 
 * කිඹුල්වැව ජනාවාස පිළිබඳ සාක්ෂි.
 
 * දියමතුරාවේ නටඹුන්.
 
 * සියඹලාණ්ඩුව මෙගාලිතික ගල්සොහොන් බිම්.
 
 * මෙය ක‍්‍රි.පූ. තුන්වන සියවසට අයත් සොහොන් බිම්ය.
 
 * කුඩා හල්මිල්ලෑව පුල්ලෙයාර් කෝවිලේ නටඹුන්.
 
 * මිල්ලෑව ගල්වැටියේ නටඹුන්.
 
 * පින්හොරුකන්ද නටඹුන් අවශේෂ.
 
 * කැප්පෙටියාව නටඹුන් අවශේෂ.
 
 * කොක්ඇඹේ නටමුන් අවශේෂ.
 
 * විහාරගම නටඹුන් අවශේෂ.
 
මෙන්ම ඉතාමත්ම වැදගත්ම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් වූ මුල්ම ජනාවාසය වූ උපතිස්සගම ජනාවාස සාක්ෂි සේම එම ගම සමීපයේ ඇති නටඹුන් ද වැළලී යෑමට නියමිතය.
 
upathi3රජරට ශිෂ්ටාචාරයේ වැදගත්ම ජනාවාසකරණයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙසේ විනාශ කරලීම අප රටේ ඉතිහාසය විනාශ කර දැමීමකි. සංවර්ධන යෝජනා ක‍්‍රමයන් මුවාවෙන් ඓතිහාසික මූලාශ‍්‍රයන් විනාශ කිරීමට ඉඩදීම කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කළ යුතුය. එසේම රටක වැදගත්ම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර විනාශ වීම එම රටේ ජන කොට්ඨාශයේ ඉතිහාසය අක මකා දැමීමකි. මේ ආකාරයට යාන්ඔය ව්‍යාපෘතියේදී පුරාවිද්‍යාත්මක අගයක් සහිත සොහොන් සිය ගණනකින් දෙකක් පමණක් සංරක්ෂණය කිරීමෙන්ද අපගේ ශිෂ්ටාචාරයේ වසර දහස් ගණනක ඉතිහාසය විනාශ කිරීමකි. මෙය තනි පුද්ගලයෙක් විසින් පුද්ගලිකවම කරනු ලබන නීති විරෝධී විනාශයකට එහා ගිය රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීමෙන් ඊනියා සංවර්ධන මුවාවෙන් සිදුකරනු ලබන පුරාවස්තු සංහාර ක‍්‍රියාවලියකි. එසේම අතීත වාරි උරුමයක් වූ එල්ලංගා පද්ධතියද විනාශ වීම නිතැතින්ම සිදුවන්නේ එම ජලාශ පරිශ‍්‍රයේ ඇති පුරාණ කුලූවැව් විශාල ප‍්‍රමාණයක් ජලාශයට යටවීම නිසාවෙනි.
 
 මේ සිදුවන්නේ සංවර්ධන මූලෝපායන් හා සුවිශාල ව්‍යාපෘති අරමුදල් සම්පාදනය කරමින් ඔවුන්ට කිසිදා ඉටුකරගත නොහැකි වූත් ශිෂ්ටාචාරය සිඳබිඳලන ක‍්‍රමානුකූල සැලැස්මයි. රටක ශිෂ්ටාචාරයේ අක්මුල් ගලවා දමන මෙහෙයුම අදියර තුනක් ඔස්සේ ක‍්‍රියාත්මක වේ.
 
 සංරක්ෂණ ක‍්‍රියාවලියක් සිදු නොකර;
 
 01. ඉතිහාසය තහවුරු කරන පුරාවස්තු විනාශ කිරීම.
 
 02. ඉතිහාසය තහවුරු කරන පුරාවස්තු අතුරුදන් කිරීම.
 
 03. ඉතිහාසය තහවුරු කරන පුරාවස්තු පොළොව යට වැළලීම.
 
 මෙම ව්‍යාපෘතිය හරහා ඉතිහාසය හා බැඳුණු ඓතිහාසික උරුමයන් වූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත සාක්ෂි මූලාශ‍්‍ර විනාශ කිරීමේ ක‍්‍රියාවලියක්ද, අතුරුදන් කිරීමේ ක‍්‍රියාවලියක්ද පොළොව යට වැළලීමේ ක‍්‍රියාවලියක්ද සිදු කෙරෙන බවට මනාව පැහැදිලි වේ. සමහර පුරාවස්තු ගලවා වෙනත් ස්ථානයක කෞතුකාගාරයක් ඉදිකර කෞතුක වස්තු ලෙස ස්ථාපනය කරන බවද යම් යම් අවස්ථාවල ප‍්‍රකාශ කරනු ලබයි. එකම රටේ ජන කොට්ඨාශයක ජලය දීම ඉතාමත් වැදගත් මානුෂීය අවශ්‍යතාවයකි. එනමුදු ඓතිහාසික උරුමයන් විනාශ කරමින් මේ සිදුකරන්නා වූ ක‍්‍රියාවලිය පසුපස ඇත්තේ අප රටේ ශිෂ්ටාචාරය විනාශ කිරීමත්, වසර සිය දහස් ගණනක් ඉපැරණි පළමු ජනාවාසයක් පොළොව යට වැළලීමේ ක‍්‍රියාන්විතයක් බව ඉතාහිසඥයන් හා පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. පුරාවස්තු ගලවා වෙනත් තැනක කෞතුක වස්තූන් ලෙස ස්ථාපනය කිරීම ගැන විවිධ රටවල උදාහරණ සපයමින් මේ සැරසෙන්නේ ඒ මුවාවෙන් ඉතිහාසයේ අක්මුල් ගලවා දැමීමේ ක‍්‍රියාවලියකටයි.
 
 ‘‘ලෝකයේ පුරාවස්තු ප‍්‍රතිස්ථාපනය පිළිබඳව ඉහළම නිදසුන ලෙස සමහරු මහත් අභිරුචියෙන් වර්ණනා කරන්නේ ඊජිප්තුවේ අස්වාන් වේල්ල තැනීමේදී ‘‘අබුසිම්බල්’’ දේවස්ථානය ගලවා වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමයි. එහෙත් අප විසින් අමතක නොකළ යුතු සහ සංස්කෘතික හා ශිෂ්ටාචාර පුරාවස්තු සංහාරකයන්ට වුවමනාවෙන්ම අප පැහැදිලි කර ගත යුතුව ඇති කරුණ වන්නේ ‘‘අබුසිම්බල්’’ දේවස්ථානය ගොඩනැ`ගූ අතීත මිසර ජාතික හෝ පර්සියාවේ අතීත මිනිසා අද මෙලොවින් තුරන් වී ඇති බවය. ඒ අනුව ඊජිප්තුවේ වර්තමාන පාලක ආක‍්‍රමණිකයන් විසින් පැරණි ශිෂ්ටාචාරය වළ දැමීම හා සමාන ක‍්‍රියාවන් වසර සිය දහස් ගණනක අඛණ්ඩව ශිෂ්ටාචාරයක් සහිත ජාතියක අතීත උරුමයන් එම ජාතීන්ගේ වත්මන් පරම්පරාව විසින්ම දැන හෝ නොදැන මරා දැමීමට යොමු කිරීම මව් මරා ඉපිද අවසන සියතින්ම බඩ කපාගෙන මියයන ජාතියක් බවට අපව පත් කිරීම නොවේද?
 
 එසේ වරින් වර එල්ල වූ සාහසික ආක‍්‍රමණ හමුවේ සතුරන් පයින් පාගා දෙකට ඉරමින් සිරිමා බෝ හාමුදුරුවන් රැකගත්, ජනශූන්‍ය වූ රජරටට හිස මතින් රැගෙන ආ දර මිටි එළියෙන් මහමෙව්නාව ආලෝකමත් කළ එමෙන්ම කැළෑ උණ හෙවත් මැලෙරියාව හමුවේ තම සමීපතමයන් එකා පිට එකා මැරී වැටෙද්දීත් හදබිම් හැර
 
 නොගිය මේ උතුම් බිමට අසීමිතව ආදරය කරන හා කළ මිනිසුන්ගේ ජාන පරපුරේ වත්මන් නියෝජනයේ අක්මුල් සිඳලීමේ නරුම සැහැසිකම අද ඊනියා සංවර්ධනය යන වචනයට මුවා වී සැහැසි ලෙස සිදුවේ. කැලේ ගසක් නසන්නට කැලේ ගසක්ම යොදා ගැනීමේ උපාය මාර්ගික බටහිර ක‍්‍රියාන්විතය 19 වෙනි සියවසේ බි‍්‍රතානය පාර්ලිමේන්තුව නියෝජනය කළ අධිරාජ්‍යවාදී උපාය මාර්ගික විශේෂඥයා වූ ‘‘මැකලෝ සාමි’’ තම යටත්විජිත ශිෂ්ටාචාරගත ජාතීන් හා රටවල් පිළිබඳව මෙසේ පැවසීය.
 
 ‘‘අපට අවශ්‍ය වන්නේ ලෙයින් හා වර්ණයෙන් අප හා සමාන නොවූවද අපගේ වත්පිළිවෙත්, සිරිත් විරිත් සම්ප‍්‍රදායන් හා ආගම අතින් අප හා සමාන පිරිසක් බිහිකර ගැනීමයි.’’
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles