Divaina - විජේවීරගේ නම හමුදාවට කීවේ කවුද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

wije
 
 මනෝජ් අබයදීර
 
භීෂණය යන්න විප්ලවයට සේම මර්දනයට ද එකසේ ගැළපී ගොස් තිබුණි. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සභිකයන් සොයා ආරක්ෂක අංශ සිය සියලූ ශක්තිය යොදවා තිබුණි. ජවිපෙ නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා අභ්‍යන්තරයේ තරගයක් නිර්මාණය වී තිබුණි. ”ඉනිමෙඟ් පහළ සිට ඉහළටම නගින්න. එවිට ඉහළ සිටින එකා අල්ලා ගත හැකිය” යන යුද උපාය අනුව දේශපාලන මණ්ඩලයෙන් වැඬේ පටන් ගෙන විජේවීරගෙන් වැඬේ අවසන් කිරීම හමුදාවේ වුවමනාව විය.
 
 ඞී. එම්. ආනන්ද පිළිබඳව හමුදාවට ඉව වැටෙන්නේ මේ අතරේය. ඔහු මේ අවස්ථාවේදී හොඳ ගොදුරක් බව තේරුම් ගත් හමුදාව ආනන්ද සොයා මෙහෙයුම් දියත් කළේය. ජවිපෙ තහනමින් පසු මධ්‍යම කාරක සභාවට 1983 අවසානයේදී පත්වූ ආනන්ද, 1984 අගභාගයේදී දේශපාලන මණ්ඩලයට එක්විය. ඔහු දක්ෂ කථිකයෙකි. ජවිපෙ තහනමින් පසු මාතර, කළුතර සහ කොළඹ දිසා සංවිධායකයකු වශයෙන් ද මුල් කාලයේ කටයුතු කරන ලද, ඞී. එම්. ආනන්ද, ජවිපෙ කැරැල්ලේදී එහි පෙරමුණු සංවිධාන වූ ශිෂ්‍ය, භික්ෂු, කාන්තා අංශයේ නායකයා සහ බස්නාහිර සබරගමු කලාපයේ යුද නායකයා වූයේය. එමෙන්ම බෝම්බ සහ බිම් බෝම්බ නිෂ්පාදනය කළ තාක්ෂණික අංශයේ නායකත්වය ද ඔහුට පැවරී තිබිණි. ජවිපෙ මෙහෙයවූ රණහඬ ගුවන් විදුලිය ඇතුළු සංස්කෘතික අංශයේ කටයුතුවලට උර දුන්නේද ආනන්ද ය. ජවිපෙ දෙවැනි කැරැල්ලේ, නිල නොවන තෙවැනි නායකයා වූයේ ද ඔහුය.
 
 88 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය භාරකාර ආණ්ඩුවක් යටතේ එක්වර පවත්වන ලෙස දේශපාලන පක්ෂ අටක් සහ වෘත්තීය සමිති 20 ක් එක්ව එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන වෙත ඔක්තෝබර් 18 වැනිදා යොමු කරන ලද ලිපියක් මගින් යෝජනා කළේය. රට තුළ මතුව තිබූ අර්බුදකාරිත්වය මත එම යෝජනාව කෙරෙහි ජේ. ආර්. ගේ යම් එකඟතාවක් තිබුණද එය ක‍්‍රියාත්මක නොවුණේ එවකට අගමැතිව සිටි ජනාධිපති අපේක්ෂක ධුරය අපේක්ෂාවෙන් සිටි ආර්. පේ‍්‍රමදාසගේ විරෝධය හේතුවෙනි. ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡා ජනතා විමුක්ති පෙරමුණේ ද සහභාගිත්වයෙන් ඉතාමත් රහසිගතව පැවති අතර එහි සම්බන්ධීකරණය සිදු වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි. අදාළ සාකච්ඡා සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අනුර බණ්ඩාරනායක, ධර්මසිරි සේනානායක, සෝමසාර දසනායක, කර්නල් අනුරුද්ධ රත්වත්තේ, ඉන්ද්‍රපාල අබේවීර, හලීම් ඉෂාක්, ආරිය බුලේගොඩ යන පුද්ගලයන් ද මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන ද, ශ‍්‍රී ලංකා ලිබරල් පක්ෂය වෙනුවෙන් ආචාර්ය චානක අමරතුංග ද, සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය වෙනුවෙන් එම්. එච්. එම්. අශ්රොෆ් ද, එක්සත් ලංකා ජනතා පක්ෂය වෙනුවෙන් රුක්මන් සේනානායක සහ ගාමිණි විජේසේකර ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොංග‍්‍රසය වෙනුවෙන් අබ්දුල් අසීස් ද, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙනුවෙන් ගාමිණි මාලසිංහ සහ චම්පික රණවක ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඞී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ සහ ආනන්ද ඉඩමේගම ද සහභාගි වූහ.
 
 මාසික වැටුප රුපියල් 2500 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ලංගම සේවකයන් දියත් කෙරුණු වර්ජනය ජයග‍්‍රාහීව නිමා වූයේ 1989 වසරේ ජුලි 13 වැනිදා අලූත්කඬේ සුචරිත මන්දිරයේදී ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් හා ජනාධිපති පේ‍්‍රමදාස සමග පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා එක් වූ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිත පිරිසට ආනන්ද ඉඩමේගම, ඞී. එම්. ආනන්ද සහ ගාමිණි ජයලත් එයට සහභාගි විය. මෙවැනි තීරණාත්මක ස්ථාන ගණනාවක ගැවසුණු නිසා ඞී. එම්. ආනන්ද වෙත ඉහළ තලයේ පවා සම්බන්ධකම් තිබුණේය. එසේම එවැනි තීරණාත්මක සාකච්ඡා සඳහා ඔහු සහභාගි වීමෙන් නිරූපණය වූයේ ජවිපෙ තුළ ඔහු දරා සිටින ලද ස්ථානයය.
 
 මේ නිසා ඞී. එම්. ආනන්ද සොයා ගැනීම ජවිපෙ බල පීරමිඩයේ මුදුනත ස්පර්ශ කිරීම සඳහා එළඹෙන අනගි අවස්ථාවක් විය.
 
 ‘ආනන්ද නිතරම ඇහැලියගොඩ එනවා’ යන ආරංචිය හමුදාවට ලැබෙන්නේ, කොළඹ රාජා යන නමින් හැඳින්වූ, ජවිපෙ සාමාජිකයකු හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසුවය. රාජාගෙන් ලද තොරතුරු අනුව ඔහු සමග ආනන්ද ගැවසෙන ප‍්‍රදේශ කරා හමුදාවෝ ගමන් කළහ. ඞී. එම්. ආනන්ද සිය මෝටර් රථයේ අඩුපාඩු සකස් කිරීම සහ අලූත්වැඩියා කටයුතු සඳහා යන ගරාජය තිබුණේ ද  ඇහැලියගොඩය. මේ පිළිබඳව තොරතුරු රාජා දැන සිටියේය. ඔහුගේ එම හෙළිකිරීමෙන් ගොදුර අත ළඟටම ඇවිත් තිබෙන බව දැනගත් හමුදාවෝ, රාජා ඔත්තුකරුවකු සේ භාවිතා කරමින් ඇහැලියගොඩ ගරාජය වෙත පැමිණියහ. සාමාන්‍ය ආකාරයකින් ගරාජය වෙත, රාජා සමග ගිය හමුදාව ආනන්ද ළඟදී එහි නොපැමිණියේ ද යන්න රාජා ලවා විමසා සිටියේය. ඊට පෙර දා ඞී. එම්. ආනන්ද ගරාජය වෙත පැමිණ තිබුණි. සිදුවන්නේ කුමක්ද...? මේ ආනන්ද කවුද...? ඔහු සොයා පැමිණි පිරිස කවුද? නොදන්නා, ගරාජයේ පිරිස, එම පුවත රාජා වෙත සැලකර සිටියේය.
 
 එම පුවත අනුව අවට කලාපයේ ඞී. එම්. ආනන්ද සැරිසරන බව හමුදාව සැක හැර දැනගත්තේය. මේ නිසා හමුදාවේ ඉලක්කය වූයේ මහමග සිට ආනන්දගේ වාහනය හඳුනාගැනීමය. ආනන්දගේ වාහනය රාජා හඳුනන බැවින් ඔහු සමග හමුදාව ඇහැලියගොඩ මංසන්ධියේ කරක් ගසමින් සිටියේය. මෙතරම වාහන බහුල නොවූ එම කාලයේ අදාළ වාහනය හඳුනාගැනීම අතිශය පහසු කටයුත්තක් විය. තීක්ෂණ ඉවෙන් කටයුතු කරමින් සිටි, හමුදාවට රාජාගේ පාවාදීම සමග මෙය තවත් පහසු විය.
 
 මාරයාගේ හෝරාව අත ළඟටම උදාකරමින් ආනන්දගේ වාහනය හඳුනාගැනීමට රාජා සමත්විය. ‘ඔය එන්නෙ ආනන්දගෙ කාර් එක’ රාජාට පවසන්නට ලැබුණේ එපමණකි. හමුදාවෝ මහමගට පැන වාහනය නතර කළහ. බිල්ලෙක් බවට පත්ව සිටි රාජා ජවිපෙ කඳේ, තදම තැනක් පාවා දී අවසන්ය.
 
 වාහනය වටකරගත් හමුදාවට දැක ගැනීමට හැකි වූයේ, එහි ආනන්ද නොමැති බවය. රියැදුරා පමණක් යම් කටයුත්තක් සඳහා වාහනය රැගෙන යමින් සිටියේය. මේ සිටින්නේ ඞී. එම්. ආනන්ද නොව රියැදුරා බව රාජා විසින් හඳුනා ගත්තේය. මොහොතකට හමුදාවේ අපේක්ෂා දියවී ගියේය. ධෛර්යය අත් නොහළ හමුදාව, එසැණින්ම ඊළඟ පියවර සඳහා සැරසුනේය. රියැදුරා මෙසේ තනිවම ගමන් කරන්නේ ඞී. එම්. ආනන්ද කොයියම්ම ස්ථානයක බස්සවා හෝ ඔහු රැගෙන යෑම සඳහා බව තේරුම් ගත් හමුදාව ඊළඟ සැලසුම දියත් කළේය. ආනන්දගේ රියදුරු අනුර ප‍්‍රියංකර වාහනය සමග ළඟම ඇති හමුදා කඳවුරට රැගෙන ගිය අතර ”පාවාදීම” තෙක් සියල්ල එහිදී සිදුවිය. පහරදීම් වලින් ආරම්භ වූ ප‍්‍රශ්න කිරීම අනුර ප‍්‍රියංකරගේ පවුලේ ආරක්ෂාව තෙක් විහිද ගියේය.
 
 කාලයේ හැටියට එවැනි හමුදා කඳවුරකට ගිය කිසිවෙකු යළි යහතින් පැමිණියේ නැත. මේ භයංකාරභාවය අනුරගේ සියොළඟම භීතියෙන් පුරවා දමන්නට සමත් විය. ”සර් මට ළමයෙක් ඉන්නවා. මාව මරන්න එපා” යැයි අනුර වැඳ වැටෙනාවත් සමග ඊළඟ පියවර සඳහා හමුදාව සූදානම් විය. ආනන්ද සිටිනා ස්ථානය අනුරගේ ලේ ගලන මුවින් නිකුත් වූයේ සිය ජීවිත අපේක්ෂාව මුලට ගෙන විප්ලවයෙන් පසුබෑම සඳහා ඔහු තීරණය කර තිබූ බැවිනි.
 
 වහාම ආනන්ද සිටින ස්ථානය වට කරන ලද හමුදාව, වැඩි මහන්සියකින් තොරව ජවිපෙ තුන්වෙනියා බඳු ඞී. එම්. ආනන්ද අත්අඩංගුවට ගත්තේය. 1989 වසරේ නොවැම්බර් මුල් සතිය වන විට මේ සිදුවීම වාර්තා විය. අත්අඩංගුවට ගත් ආනන්ද, මත්තේගොඩ හමුදා කඳවුර වෙත රැගෙන එන ලදී. එතැන් සිට ආනන්දගෙන් ප‍්‍රශ්න කිරීම ආරම්භ වූ අතර, ඒ සඳහා මුල් වටයේදී යොදවන ලද්දේ, විශේෂඥ පුහුණුව සහිත හමුදා සහ පොලිස් නිලධාරීන් ය. එසේ වුවත් ආනන්දගෙන් තොරතුරු දැනගැනීම අතිශයින්ම අපහසු කාරණයක් විය. වරක් ඔහු ඒ පිළිබඳව මතකයක් නොමැති බව ප‍්‍රකාශ කළේය. කිහිපවාරයක්ම ඔහු විසින් වැරදි ස්ථාන ලබාදීම නිසා, ආනන්දගෙන් ප‍්‍රශ්න කිරීම අතහැර දමන තැනට නිලධාරීන් පත්ව සිටියේය. පසුව යටාරෝ කැෆටේරියා කඳවුර වෙත ගෙන එන ලද ආනන්ද, රඳවා තැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පවත්වාගෙන ගිය වධකාගාරයේය. ආනන්ද අවිවාහකයකු නිසා, ඔහුගේ පවුල සහ දරුවන් පෙන්වා ද තොරතුරු දැනගැනීමට නොහැකි නිසා අධික වධ බන්ධනයකට ඔහු ලක්කිරීමට නිලධාරීන් තීරණය කළේය. වධ බන්ධන ගණනාවකට ලක් කළද ඔහුගෙන් නිසි තොරතුරක් ගැනීමට නොහැකිවීම නිසා, කාලය නාස්ති නොකර ආනන්දගේ ජවනිකාව අවසන් කිරීමට හමුදාවේ ඉහළ පුටු තීරණය කර තිබුණි.
 
 තවත් කොටසක් ලබන සතියට...
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles