Divaina - විකිණීමේ චෝදනා තව දුරටත් විකිණිය නොහැක... ආචාර්ය සරත් වීරසේකරගෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරට පිළිතුරක්....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  port


 රියර් අද්මිරාල් (විශ‍්‍රාමික)
 ආචාර්ය සරත් වීරසේකර
 පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
 
වෛද්‍ය වසන්ත බණ්ඩාර ද ඇතුළු ජාතික සංවිධානවල සිටි අප සැවොම ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සහාය දුන්නේ ස්වෛරීභාවය කෙලෙසූ, රට අරාජික තත්ත්වයට ඇද දැමූ රටේ සම්පත් විදේශිකයින්ට කුණුකොල්ලෙට විකිණූ යහපාලන රජය පෙරළා අපේ රජයක් පත්කර ගැනීමටයි. එසේ පත්කර ගත් අපේ රජයේ දැන් අපත් මැති ඇමැතිවරු වන නිසා වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ”දිවයින” (ඉරිදා) පත‍්‍රයේ පළ කළ ”ස්වෛරීභාවය තුට්ටුවට පාවා දෙන වගයි” යන ලිපියට ප‍්‍රතිචාර දැක්වීමට සිතුවෙමි. මන්ද, වසන්ත බණ්ඩාර මහතාට අනුව එසේ පාවාදීමක් වන්නේ නම් එයට අපද වග කිව යුතු බැවිනි.
 
 අපේ රටේ ස්වෛරීභාවය අප තුට්ටුවට නොව ඩොලර් මිලියන නහුතයකටවත් පාවා නොදෙන බව දේශ හිතෛෂී ජනතාව දනී. ජනතාව අප කෙරේ තැබූ ඒ විශ්වාසය එසේම රැකීම අපේ යුතුකමකි. රජය යම් කිසි වැරැද්දක් කරයි නම් එය නොවලහා පෙන්වා එම වරද නිවරද කිරීමට අප ක‍්‍රියා කළ යුතුවාක් මෙන්ම රජයට නිකරුනේ දෝෂාරෝපණය කරමින් සාවද්‍ය කරුණු මත පදනම්ව රජය රට පාවා දෙන්නේ යැයි චෝදනා කරන විට එය එසේ නොවේ යැයි පෙන්වා දීමද අප සතු කාර්යයක් ලෙස සලකමි.
 
 උක්ත ලිපියෙහි දක්වා ඇති පරිදි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙහි 49% ක කළමනාකාර අයිතිය ඉන්දියාවට ලැබෙන බව සහ ජපානයේ වගකීම පොලියට ණයක් ලබාදීම පමණක්ය යනුවෙන් සහ එම ඉන්දියානු ”අධානි” සමාගම, එක රුපියලක් හෝ ආයෝජනය නොකර එහි කළමනාකාර අයිතිය ලබාගනී යනුවෙන් චෝදනා නගන අතර, එය රට පාවාදීමක් යැයි වර්තමාන රජයට දෝෂාරෝපනය කරයි. එය නිවැරදි නොවන කරුණු දැක්වීමකි. මන්ද එවන් වූ කොන්දේසි සහිත එම සහයෝගතා ගිවිසුම (MOC) අත්සන් කළේ යහපාලන රජය විසින් බැවින් සහ වර්තමාන රජය එම කොන්දේසි ප‍්‍රතික්ෂේප කොට ඇති බැවිනි.
 
 මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට එහි පසුබිම ඉතා කෙටියෙන් හෝ පෙන්වා දීම උචිත වේ. 2005 වසරේදී වරාය අධිකාරිය මගින් ”කොළඹ වරාය ප‍්‍රසාරණය කිරීමේ ව්‍යාපෘතිය” හෙවත් ”COLOMBO PORT EXPANSION PROJECT” වාර්තාව ඉදිරිපත් කළ අතර ඊට පහත සඳහන් දේ අඩංගු විය. එනම්
 
 කි.මී. 5.14 ක් දිග ප‍්‍රධාන සහ කි.මී. 1.65 ක් දිග ද්විතීයක දියකඩන සහ අක්කර හෙක්ටයාර් 600 ක වපසරියක් තුළ දකුණු, බටහිර සහ නැගෙනහිර දිශාවන්හි මීටර් 1200 ක් දිග, මීටර් 18 ක් ගැඹුරු විශාල නැව් තුනක් ගාල් කළ හැකි පර්යන්ත තුනක් ඉදිකිරීමයි. ඉහත සඳහන් දියකඩන ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් මගින් 2007 අපේ‍්‍රල් මස ඉදිකිරීම ආරම්භ කරන ලද අතර 2013 සැප්තැම්බර් මස ඉදිකොට අවසාන කරන ලදී. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 300 ක්ද වරාය අධිකාරිය ඩොලර් මිලියන 100 ක්ද යොදවන ලදී.
 
ඉන්පසු නියම ටෙන්ඩර් පටිපාටියක් මගින් දකුණු පර්යන්තය ඉදිකිරීම චයිනා මර්චන්ට් හෝල්ඩිංග් සමාගම විසින් භාරගන්නා ලද අතර එම ”COLOMBO INTERNATIONAL CONTAINER TERMINAL” හෙවත් ”කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය” (CICT) 2011 දෙසැම්බර් ආරම්භ කොට 2013 දී අවසන් කරන ලදී. මේ අනුව වර්තමානයේ දකුණු දිශාවේ මීටර් 1200 ක් දිග, මීටර් 18 ක් ගැඹුරු, නැව් තුනක් ගාල් කළ හැකි CICT පර්යන්තය ඉදිවී තිබේ. ඊට අමතරව පැරණි වරායේ නැව් තුනක් ගාල් කළ හැකි, මීටර් 940 ක් දිග, මීටර් 15 ක් ගැඹුරු ”SOUTH ASIAN GATE TERMINAL” හෙවත් ”දකුණු ආසියානු පිවිසුම් පර්යන්තයද”, නැව් 02 ක් ගාල්කළ හැකි මීටර් 660 ක් දිග, මීටර් 15 ක් ගැඹුරු ”ජයා බහාලූම් පර්යන්තය” ද වේ. (ජයා පර්යන්තයේ කුඩා නෞකා ගාල් කළ හැකි මීටර් 12 ක් සහ 13 ක් ගැඹුරු තවත් ජැටි දෙකක් තිබේ.)
 
port2මෙයින් ජයා පර්යන්තය වරාය අධිකාරිය සතුවන අතර SAGT පර්යන්තය ලංකාවට සහ විදේශීය ආයතනවලට අයත් වන අතර 2029 දී සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය සතුවේ. CICT පර්යන්තය වැඩි කොටස් සහිත චීනයට සහ ලංකාවට අයත් වන අතර 2013 සිට වසර 35 කින් එයද අධිකාරිය සතු වේ. CICT පර්යන්තය සඳහා එම සමාගම ඩොලර් මිලියන 500 ක් යොදවා ඇති අතර ඔවුන්ට කොටස් 85% ක්ද වරාය අධිකාරියට කොටස් 15% ක්ද හිමිවේ. 2013 සිට 2020 දක්වා වන වසර 07 තුළ CICT පර්යන්තයෙන් ඉඩම් බදු, ලාභාංශ සහ හිමිකම් භාග වෙනුවෙන් වරාය අධිකාරියට ඩොලර් මිලියන 120 ක් ලැබී ඇත.
 
 වරාය විශාල කිරීමේ සැලසුමට අනුව ඊළඟ සංවර්ධන ව්‍යාපෘතිය වූයේ අද මේ කතාබහට ලක්වන මීටර් 1200 ක් දිග, මීටර් 18 ක් ගැඹුරු සහ නැව් 03 ක් ගාල් කළ හැකි නැගෙනහිර බහාලූම් පර්යන්තය ඉදිකිරීමේ කාර්යයයි.
 
 මහින්ද රාජපක්ෂ රජය යටතේ වරාය අධිකාරිය විසින් එම කාර්යය භාර ගෙන රාජ්‍ය බැංකුවලින් ඩොලර් මිලියන 80 ක ණයක් ලබාගෙන පළවන අදියර වන මීටර් 440 ක් 2015 වන විට ඉදිකොට නිම කරන ලදී. එම ණය දැනටමත් ගෙවමින් පවතී. ඉන්පසු ඊට අවශ්‍ය වන බහාලූම් හසුරුවන ජංගම දොඹකර සඳහා ඇනවුම් කරන ලදී.
 
 යහපාලන රජය බලයට පැමිණි වහාම වරාය භාර අර්ජුන රණතුංග ඇමැතිවරයා උක්ත දොඹකර ඇනවුම අවලංගු කරන ලදී. එසේ නියම ක‍්‍රමයට ජාත්‍යන්තර ගිවිසුමකින් ඇනවුම් කරන ලද ඇනවුමක් කිසිදු හේතුවකින් තොරව අවලංගු කිරීමේදී රජයට දඩ වශයෙන් ගෙවීමට සිදු වූ විශාල මුදල් ප‍්‍රමාණය කෙතෙක්දැයි ජනතාව දැනුවත් විය යුතුයි.
 
 ඉන්පසු යහපාලන රජය ඩොලර් මිලියන 400 ක වියදමකින් නැගෙනහිර පර්යන්තයේ ඉතිරි කොටස නිම කිරීම සඳහා ”EXPRESSION OF INTEREST” එනම් කැමැත්ත ප‍්‍රකාශ කරන මෙන් නිවේදනයක් නිකුත් කරන ලදී. එසේ කරන ලද්දේ මෙම නැගෙනහිර පර්යන්තය 51% ක් ලංකාවට ද 49% ක් විදේශීය සමාගම්වලට ද අයිති වන පරිදි ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසය. මේ සම්බන්ධයෙන් කටයුතු කෙරීගෙන යනවිට අතරමැදදී ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරන්නේ යැයි කියමින් අර්ජුන රණතුංග ඇමැතිතුමා නැවත වරක් එය ද අවලංගු කරන ලදී. කරුණු මෙසේ තිබියදී යහපාලන රජය ජයා පර්යන්ත 5 යනුවෙන් අලූත් ජැටියක් ඉදිකිරීමට සැලසුම් කොට එය ඉදිවන්නටත් පළමු ඒ සඳහා දොඹකර 03 කට ඇනවුම් කරන ලදී.
 
 වරාය ඇමැති ධුරය භාරගත් මහින්ද සමරසිංහ ඇමැතිතුමා නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමේ කමකට නැති ප‍්‍රමාදය නිසා වසර 02 කට පමණක් රටට රුපියල් බිලියන 04 ක පාඩුවක් සිදුව ඇති බැව් පිළිගන්නා ලදී. වරාය අධිකාරිය විසින් 2013 දී කොටසක් නිම කළ නැගෙනහිර පර්යන්තය, ඇනවුම් කළ දොඹකර ද ලබාගෙන ඉතිරි කොටස ද සංවර්ධනය කිරීම ආරම්භ කළා නම් 2016 වන විට නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ඉදිකොට ක‍්‍රියාකරන තත්ත්වයට ගෙන ඒමට හැකිව තිබිණ. එසේ නම් රටට ඩොලර් කෝටි ගණනක් පාඩු කළ යහපාලන රජයේ එම කුහක ක‍්‍රියාව පිළිබඳව ද ජනතාව දැනුවත් විය යුතුව ඇත.
 
 නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමක් සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට නොසෑහෙන උත්සාහයක් ගත්තේ යහපාලන රජයයි. ඉන්දියාව ද මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ 75% ක් වන ඔවුන්ගේ ආනයන / අපනයන කාර්යයන් සිදුවන්නේ සංක‍්‍රාන්ති ස්ථානයක් ලෙස (TRANSHIPMENT HUB) කොළඹ හරහා බැවිනි. එසේම ඒ වන විට යහපාලන රජය ඉතාම ද්‍රෝහී ලෙස වසර 99 කට හම්බන්තොට වරාය චීනයට දුන් බැවින් කෙසේ හෝ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට උත්සාහ කළේ ඒ වන විට ඉන්දියාවෙන් සිදු කළ විශාල පීඩනය නිසා සේම එමගින් භූ දේශපාලනික වශයෙන් ඉන්දියාව තුලනය කිරීමට බැව්ද සිතා ගත හැක. එසේනම් රටේ ස්වෛරීභාවය පාවා දී ඇත්තේ කව්ද?
 
 ඉන්පසු දින 52 මහින්ද රාජපක්ෂ රජයෙන් පසු යහපාලන රජය නැවත බලයට පැමිණි වහාම එවකට වරාය භාරව සිටි සාගල රත්නායක ඇමැතිවරයා විසින් නැවත ඉන්දියාව, ජපානය සහ ලංකාව යන රටවල් 03 සමග නැගෙනහිර පර්යන්තය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය ලේඛන සකස් කරන ලදී. ඒ අනුව යහපාලන රජය විසින් 2019/5128 කැබිනට් තීරණයට අනුව ඉන්දියාව / ජපානය සමග MOC(MEMORANDUM OF CORPORATION) සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරන ලදී. නමුත් ඉන්පසු එලැඹුනු ජනාධිපතිවරණය නිසා එය ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රමාද විය.
 
 ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු යහපාලන රජය සමයේ වරාය අධිකාරිය අත්සන් කළ එම (ඉන්දියාව, ජපානය, ශ‍්‍රී ලංකාව) ඒකාබද්ධ ගිවිසුම පිළිබඳව සොයා බැලීමට පස් සාමාජික කොමිටියක් පත් කරන ලදී. ඔවුන්ගේ කාර්යය වූයේ දැනට ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය, ඊට වග කිවයුත්තේ කවුද, ඔවුන්ට විරුද්ධව ගන්නා ක‍්‍රියාමාර්ගය, නැගෙනහිර පර්යන්තයෙන් ලංකාවට උපරිම වාසියක් ලබාගන්නේ කෙසේද, වරාය අධිකාරිය විසින් ගන්නා ලද අනවශ්‍ය තීරණවලින් ඇතිවී ඇති පාඩුව කුමක්ද යනාදිය පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කිරීමකි.
 
 එසේ නම් අද වන විට නැගෙනහිර පර්යන්තය 49%ක කොටසක් අයිතිවන සේ, සංවර්ධනය කිරීමට, ඉන්දියාව සහ ජපානය සමග ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කිරීමට වර්තමාන රජය කිසිදු තීරණයක් ගෙන නොමැත. වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කර ඇති පරිදි ලංකාව ජපානයෙන් කිසිදු මුදලක් ණයට ගන්නේ නැති අතර ඉන්දියාවේ අධානි සමාගමට රුපියලක්වත් වැය නොකර නැගෙනහිර පර්යන්තයේ අයිතිය ලැබේය යන්නද පදනම් විරහිත වේ. පවතින සහයෝගිතා ගිවිසුමට නීතිමය බැඳීමක් මුළුමනින්ම නොමැති යැයි සිතිය හැකි නමුත් එය රටවල් දෙකක් අතර ගිවිසුමක් බැවින් එකවරම අවලංගු කිරීම රාජ්‍ය තාන්ත‍්‍රික ස්වභාවය නොවන බව බුද්ධිමත් ජනතාව දනී. එය අධ්‍යයනය කිරීමට කොමිටියක් පත්කර ඇත්තේ එබැවිනි. එබැවින් වර්තමාන රජය ඉන්දියාවේ පීඩනයට යටත්ව ඇති බැව් පැවසීම ද පදනම් රහිතය. රජය බලන්නේ යහපාලන රජය විසින් ද්‍රෝහී ලෙස අත්සන් කරන ලද ගිවිසුම අපට වාසිදායක ලෙස හරවා ගැනීමට හෝ එය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටය.
 
 එතෙක් යටපත්ව තිබූ නැගෙනහිර පර්යන්තය පිළිබඳව කතාබහ නැවතත් මතුවූයේ ජයා පර්යන්තයේ තවමත් ඉදි නොවූ ජැටියට, යහපාලන රජය ඇනවුම් කර තිබූ ඉහත සඳහන් දොඹකර කොළඹ වරායට පැමිණීමත් සමගය. අද වන විට එම දොඹකර නැගෙනහිර පර්යන්තයට සරිලන සේ සකසා නිසි පරිදි සවිකර තිබෙන අතර ක‍්‍රියාකාරී තත්ත්වයේ පවතී.
 
 නැගෙනහිර පර්යන්තයට යාබදව නැගෙනහිරින් පිහිටා ඇත්තේ SAGT හෙවත් දකුණු ආසියා පිවිසුම් පර්යන්තයයි. මීටර් 15 ක් ගැඹුරු එම පර්යන්තයේ සම්පූර්ණ අයිතිය තව වසර 09 කින් වරාය අධිකාරිය සතුවේ. එබැවින් දැනටමත් වරාය අධිකාරිය මගින් කොටසක් ඉදිකර ඇති එම පර්යන්තය අධිකාරිය මගින්ම ණයක් ලබාගෙන හෝ ඉදිකොට සම්පූර්ණ කරගතහොත් අනාගතයේදී අපට එකම පරිශ‍්‍රයේ මීටර් 15 ක් සහ මීටර් 18 ක් ගැඹුරු එකවර විශාල නෞකා 06 ක් ගාල් කළ හැකි ජැටි දෙකක් හිමිවී වසරකට විශාල මුදලක ආදායමක් ලැබීමට අවස්ථාව සැලසේ. එය රඳා පවතින්නේ යහපාලන රජය ඉන්දියාව සහ ජපානය සමග අත්සන් කර ඇති එම සහයෝගතා ගිවිසුමේ ස්වරූපය මතයි. රජය රටට වාසි වන අයුරින් එම තීරණය ගනු ඇත.
 
 වෛද්‍ය වසන්ත බණ්ඩාර අවසාන වශයෙන් ලියා ඇත්තේ වර්තමාන රජය සල්ලාලයන්ගෙන් බේරීමට ඉල්ලන දේ දෙන අභිසාරිකාවක් සේ හැසිරෙන බවයි. අභිසාරිකාවක් යනු සල්ලාලයන්ව කැඳවා ඔවුන් ඉල්ලන ඕනෑම දෙයක් දීමට සූදානම්ව සිටින කෙනෙක් මිස ඔවුන්ගෙන් බේරීමට ඉල්ලන දේ දෙන කෙනෙක් නොවේ. ඒ නිසා වසන්ත බණ්ඩාර මහතාගේ ඒ තර්කයත් වැරදිය.
 
 වර්තමාන රජය ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව විසින් ගෙන ආ, යහපාලන රජය සම අනුග‍්‍රාහකත්වය දැක්වූ එම ඊනියා 30/1 යෝජනාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වී ඇත. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මෙහි එන විට MCC ගිවිසුම රහසේ අත්සන් කරන්න යනවා යැයි චෝදනා කළ අයගේ කටවල් වසමින්, ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා පොම්පියෝට රටේ ස්වෛරීභාවය පාවා නොදෙන බව මුහුණටම කියා, තමන් සිහිනෙන්වත් MCC ගිවිසුම අත්සන් නොකරන බව ජනතාවට ප‍්‍රකාශ කොට ඇත. රජය MCC ගිවිසුම රහසේ අත්සන් කරන්නේ යැයි අවලාද කියූ අය ජනපතිගේ එම ස්ථාවරය පැසසුමට ලක්කරන්නේ ද නැත. එසේම දැඩි ආර්ථික පරිහානියකට පත් වී ඇතත් වර්තමාන රජය විදේශිකයන් ඉදිරියේ බාල්දු නොවී මේ වසරේ විදේශ ණය ඩොලර් බිලියන 4.2 ක් ගෙවා තිබේ. එබැවින් දේශහිතෛෂියෙක් වන වෛද්‍ය වසන්ත බණ්ඩාර වැන්නෙක්, දැනටමත් බලගතු රාජ්‍යයන් ඉදිරියේ තම අභිමානය රැකගනිමින් ක‍්‍රියාකරන එවන් වූ රජයක්, වැරදි උදාහරණයක් ගෙනැවිත් හෝ උපහාසයට ලක්කිරීමට තැත් කිරීම ගැන අපි කනගාටු වෙමු.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles