Divaina - එලවළු මිල ගැටලුව විසඳන්න රජය මැදිහත් වෙන්නෙ නැති නම් අපිට දෙන්න...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

elawalu
 
 තරංග රත්නවීර
 
එකම ආකාරයේ අමනකම් පුණරුච්ඡාරණය වෙමින් තිබේ. එම අවාසනාවන්ත තත්ත්වය ගැන යළි, යළිත් අපිදු සටහන් තබන්නෙමු. හරියට චක‍්‍රයක් සේය. ඒ කාලකණ්ණි චක‍්‍රයේ මුලට යළිත් අපි පැමිණ සිටිමු. කොරෝනා අස්සේ කළු කඩ වෙළෙන්දෝ ජමරෙට වැඩය. මෙරට පළමු කොරෝනා රැල්ල පැමිණි අවස්ථාවේදී තුප්පහි කළු කඩ වෙළෙන්දෝ ගොවීන් සහ පාරිභෝගිකයන් සූරාගෙන කන කාලකණ්ණි ව්‍යාපාරය කරගෙන ගියහ. ලේ දහඩිය වගුරවමින් වගා කර නෙළාගත් ගොවීන්ගේ එළවළු අස්වැන්න තුට්ටු දෙකට මිලට ගත්ත ව්‍යාපාරිකයෝ නගරයට ගෙනැවිත් අස්ප ගණන්වලට විකිණූහ. මෙවරත් එම කාලකණ්ණි වෙළෙඳාම එලෙසින්ම සිදුවෙමින් තිබේ.
 
 බස්නාහිර පළාතේ විවිධ ප‍්‍රදේශවලට පැමිණෙන ලොරිවල එළවළු මිල පොදුවේ කිලෝව රුපියල් එකසිය හතළිහට, එකසිය පනහට, එකසිය හැටට අළෙවි කෙරෙන බව එම ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. කළුතර දිස්ත‍්‍රික්කයේ අපේ ගම් ප‍්‍රදේශයට පැමිණි ලොරිවල එළවළු මිල පොදුවේ කිලෝව එකසිය පනහක්, හැටක් විය. ලොරි තුන, හතරක් පැමිණිය ද එළවළුවල පොදු මිල එක සමාන විය. වර්ග දහයක් සහිත එළවළු මල්ල රුපියල් එක්දාහස් පන්සියයක්, එක්දාහස් හයසියයක් විය. ඒ බස්නහිර පළාත වසා තිබුණු දිනවල එළවළු මිල ගණන්ය. මුළු පළාතම ලොක්ඩවුන් වී තිබූ පසුබිමක ගමට, මහල් නිවාස සංකීරණයට පැමිණෙන ලොරිවල එළවළු කීය කීවත් මිනිසුන් මිලදී ගත් බව ද සැබෑය.
 
 ‘හැමදේම කරන්නෙ කන්න නේ... මැරෙන්න හරි කලා ඉන්න ඕන...’ ගිනි ගණන්වලට ලොරිවලින් එළවළු පන්සීය, දෙසීයපනහ මිලට ගන්න අපේ ගම් ප‍්‍රදේශයේ වැසියන් එසේ මුමුණන අයුරු කණට ඇසුණු වාර අනන්තය. ලොරි වෙළෙන්දන් පොදු මිලකට එළවළු අලෙවි කරනු ලබන්නේ ද කපටි කයිරාටිකකමෙන් පරිභෝගිකයන් මුලාවට පත්කොට වැඩි ලාභයක් උපයාගැනීමේ බලාපොරොත්තුවෙනි. නැවත බස්නාහිර පළාත විවෘත කළ ද වෙළෙඳපොළේ විකිණීමට ඇති එළුවළු මිලේ අඩු වීමක් නැත. මේ ලිපිය සටහන් තබන 11 වැනිදා බදාදා දිනයේ පාර අයිනේ නවතාගෙන සිටින ලොරියේ සියලූ එළවළුවල පොදු මිල රුපියල් හැටකි. ඇඳිරිනීතිය දිනවල ගම් පුරා එළවළු රැගෙන ගියේ ද අද පාර අද්දර ගාල් කරගෙන එළවළු විකුණන ලොරිය. මේ වන විට එළවළු වෙළෙඳසැල් විවෘත වී ඇති බැවින් එම කඩවල එළවළු මිල ද මෙසේ විය.
 
 ගෝවා ග‍්‍රෑම් 500 රුපියල් හැටකි. බෝංචි ග‍්‍රෑම් 500 රුපියල් හැත්තෑවකි. කැරට් ග‍්‍රෑම් 250 රුපියල් පනහකි. තක්කාලි ග‍්‍රෑම් 500 රුපියල් හැටකි. වම්බොටු ග‍්‍රෑම් 500 රුපියල් හැටකි. කරවිල ග‍්‍රෑම් 250 රුපියල් හැත්තෑවකි. රට අල ග‍්‍රෑම් 500 රුපියල් හැත්තෑවකි. ලීක්ස් ග‍්‍රෑම් 500 රුපියල් හැටකි. රට ළුෑනු කිලෝව රුපියල් දෙසීය හැත්තෑවකි. දඹල ග‍්‍රෑම් 500 රුපියල් හැටකි. වට්ටක්කා ග‍්‍රෑම් 500 රුපියල් හැත්තෑවකි. මුරුංගා ග‍්‍රෑම් 500 රුපියල් හැටකි. බීට් අල ග‍්‍රෑම් 500 රුපියල් හැටකි. විවිධ නම්වලින් හැඳින් වූ එළවළු කඩ කිහිපයක එළවළු මිල ගණන් අපි විමසා බැලූවෙමු. රුපියලක, දෙකක වෙනසක් වුවද අප ගිය සියලූ කඩවල සෑම එළවළුකම ග‍්‍රෑම් 500 ක මිල රුපියල් පනහට වැඩි විය. එළවළු කඩවල මිල ගණන් පරීක්‍ෂා කරගෙන සුපිරි වෙළෙඳසැලට ඇතුළු වූ අපි එහි එළවළු මිල විපරම් කර බැලූවෙමු.
 
 දඹල ග‍්‍රෑම් 100 රුපියල් පහළොවකි. තලන බටු ග‍්‍රෑම් 100 රුපියල් විස්සකි. බණ්ඩක්කා ග‍්‍රෑම් 100 රුපියල් දහයකි. වම්බොටු ග‍්‍රෑම් 100 රුපියල් දහතුනකි. බටර් බෝංචි ග‍්‍රෑම් 100 රුපියල් තිස්හතයි ශත තිස්පහකි. තක්කාලි ග‍්‍රෑම් 100 රුපියල් දොළහකි. මෑකරල් ග‍්‍රෑම් 100 රුපියල් දහහතරයි ශත අනූවකි. කැකිරි ග‍්‍රෑම් 100 රුපියල් අටයි ශත හතළිහයි. මුරුංගා ග‍්‍රෑම් 100 රුපියල් දහඅටයි ශත හැටයි. කෙසෙල් මුව ග‍්‍රෑම් 100 රුපියල් නවයයි ශත හැත්තෑපහයි. අළු කෙසෙල් ග‍්‍රෑම් 100 රුපියල් එකළොහකි. අළු පුහුල් ග‍්‍රෑම් 100 රුපියල් දහහරතයි ශත විස්සකි. රට ළුෑනු ග‍්‍රෑම් 100 රුපියල් විසිහතරකි. රතුළුෑනු ග‍්‍රෑම් 100 රුපියල් හතළිස් හතකි. රට අල ග‍්‍රෑම් 100 රුපියල් විසි එකකි. සුපිරි වෙළෙඳසැලේ එළවළු මිල දකින විට බඩ පපුව පත්තු වී ගියේය. එම මිල ගණන් සෝදිසි කිරීමෙන් අනතුරුව මෙරට ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන තුනක නිලධාරීන්ට කතා කර එළවළු මිල ගණන් විමසා බැලූ විට හදවත කම්පනයට පත් විය.
 
elawalu2පසුගිය 10 වැනිදා වැලිමඩ කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල මෙසේ විය. කැරට් කිලෝව රුපියල් සීයත්, එකසීය දහයක් බවට මිල නියම වී තිබිණි. ලීක්ස් කිලෝව රුපියල් තිස්පහක්, හතළිහක් අතර මිලකට අලෙවි විය. බෝංචි කිලෝව රුපියල් එකසිය තිහත්, එකසිය හතළිහක් විය. තක්කාලි කිලෝව රුපියල් හතළිහත්, පනහක් විය. ලංකා අල කිලෝව රුපියල් එකසිය හැටකට මිල නියම වී තිබිණි. කැප්පෙට්ටිපොළ ආර්ථිකයේ එළවළු මිල ගණන් එසේ වන විට, දුරකථනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වූ රාජාංගනයේ ගොවි මහත්මයෙක් පවසා සිටියේ මේ දිනවල තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදී එළවළු කිලෝව රුපියල් විස්සට, තිහටවත් මිල කිරීමට නොහැකි බවය. ඔහු නිහාල්ය. රාජාංගනය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ගොවි මහත්මයෙකි.
 
 ‘‘රාජාංගනයේ අපේ ගම් පළාතේ කැරට්, ලීක්ස් නැතිව හැම එළවළුවක්ම වගා කරනවා. වම්බොටු, බණ්ඩක්කා, පතෝල, කරවිල, මෑ කරල් විශාල වශයෙන් වගා කරනවා. පහුගිය දවස්වල ඒ කිසිම එළවළුවක් රුපියල් තිහකට දීගන්න බැරි වුණා. අද දිනයෙත් එහෙම තමයි. අපේ මිනිස්සු නන්නත්තාරයි. ලක්‍ෂ ගණන් වියදම් කරලා වගා කරනවා. අන්තිමේ වගා ණය මුදලවත් පියවා ගන්න ලාභයක් ලැබෙන්නෙ නෑ...’’ අපි නිහාල්ට කතා කළේ පසුගිය 10 වැනිදාය. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදී එදිනවත් ඔවුන්ගේ එළවළුවලට සාධාරණ මිලක් නියම වී නොතිබිණි. එවැනි පසුබිමක නිහාල් ආණ්ඩුවට ද දොස් වරමින් කියා සිටියේ රජය මැදිහත් වී ගොවියාගේ එළවළු මිලට ගෙන පරිභෝගිකයා අතට ලබාදෙන යම් වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් ඔවුන්ට මෙහෙම නස්පැත්තියක් නොවන බවය. රාජාංගනයේ නිහාල් එසේ කියන විට සූරියවැව ප‍්‍රදේශයේ එළවළු මිල ගණන් ගැන රංජිත් මෙසේ කීවේය. ඔහු ද සූරියවැව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ගොවි මහත්මයෙකි.
 
 ‘‘බස්නාහිර පළාත වහලා තියෙන දිවල අපේ එළවළු අස්වැන්න මිල කරගන්නම බැරි වුණා. කොරටුවල කුණු වෙලා ගියා. බස්නාහිර පළාත ඇරපු නිසා දැන් නම් ලොරි එනවා. වම්බොටු කිලෝව රුපියල් තිහට, තිස්පහට මිල වෙනවා. බණ්ඩක්කා කිලෝව රුපියල් හතළිහට, පනහට මිල වෙනවා. තළන බඩු කිලෝව හැටයි, හැටපහයි. මෑකරල් හැටයි. තක්කාලි තිහයි, හතළිහයි. හොඳම වට්ටක්කා කිලෝව රුපියල් පනහට, හැටට මිල වෙනවා. අනිත් වට්ටක්කාවලට නම් ලොකු මිලක් නෑ. සූරියවැව රංජිත් එම ප‍්‍රදේශවල එළවළු මිල ගැන කරුණු කාරණා පැහැදිළි කරනු ලැබුවේ ද පසුගිය 10 වැනිදාය. පහත රට එළවළු මිල ගණන් එසේ පෙළගැසෙන විට උඩරට නුවරඑළියේ මංජුල ද එම ප‍්‍රදේශවල එළවළු මිල ගැන දුරකථන ඇමතුමක් ඔස්සේ අපව දැනුවත් කළේය. හේ පාරම්පාරික එළවළු ගොවියෙකි. එමෙන්ම කෘෂි උපදේශකවරයෙකි. මේ නුවරඑළියේ එළවළු මිල ගැන මංජුල කියන කතාවය.
 
 ‘‘මේ දවස්වල නුවරළියේ ලීක්ස් අස්වැන්න නෙළනවා. වෙන කාලවලට වඩා ලීක්ස් අස්වැන්න වැඩියි. පහුගිය කන්නවලට වඩා ගොවියෝ මෙවර ලීක්ස් වගා කරලා වැඩියි. අස්වැන්න වැඩි නිසා ලීක්ස් මිලත් හොඳටම පහළ ගිහින්. ගොවීන්ගෙන් ලීක්ස් කිලෝව ගන්නෙ රුපියල් තිහයි. තිස්පහයි. බීට් කිලෝව මිල වෙන්නෙත් තිහත්, හතළිහත් අතර මිලකට. කැරට් කිලෝව රුපියල් එකසීය විස්සකට විතර මිල වෙනවා. මෙවර අර්තාපල් අස්වැන්න අඩු නිසා මිල ටිකක් වැඩියි. ගෝවා කිලෝව රුපියල් හැටකට විතර මිල වෙනවා. වැලිමඩ ප‍්‍රදේශවලට යනකොට එළවළු මිල තවත් අඩු වෙනවා. නුවරඑළියේ එළවළු ගුණාත්මක බවින් වගේම රසයෙන් වැඩි නිසා මිලත් වැඩියි. නුවරඑළියේ එළවළු දවස් තුන හතරක් තියාගන්න පුළුවන්. වැලිමඩ, බණ්ඩාරවෙල ප‍්‍රදේශවල එළවළු කල් තබාගන්න අමාරුයි. රසත් අඩුයි. ඒ නිසා වැලිමඩ, බණ්ඩාරවෙල එළවළුවලට වඩා නුවරඑළියේ එළවළු කිලෝවක මිල රුපියල් විස්සකින් විතර වැඩි වෙනවා. ඒ වගේම විවිධ ප‍්‍රදේශවලට ඇඳිරිනීතිය වැටුණා කියලා නුවරඑළියේ එළවළු ගොවීන්ට ගැටලූවක් වුණේ නෑ. අස්වැන්න මිල වුණා. ලීක්ස්වලට තමයි මිල අඩු වුණේ...’’ මංජුලගේ කතාවෙන් කියැවෙන්නෙ නුවරඑළියේ ගොවීන්ට කොවිඞ් වසංගතය ගැටලූවක් වී නැති බවය. එහෙත් ලීක්ස්, බීට් සැලකිය යුතු මට්ටමේ මිල පහළ වැටීමක් තිබේ.
 
 මෙරට එළවළු වගා කරන බොහෝ ප‍්‍රදේශවල පවතින එළවළු මිල ගණන් පෙළගැසෙන මේ සටහනට අපි ඇතුළත් කළෙමු. එමෙන්ම මෙරට පුරා එළවළු වගා කරන ප‍්‍රදේශවලින් සීයට හැත්තෑවකට වැඩි ප‍්‍රමාණයක එළවළු තොග රැගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටය. මෙරට සියලූ නගරවල එළවළු තොග වෙළෙන්දන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සමඟ දෛනිකව ගනුදෙනු කරන බව සැබෑය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ගැනුම්කරුවන් එළවළු තොග වෙළෙඳුන්ය. ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මෙරට එළවළු වෙළෙඳපොලේ ප‍්‍රධාන මිල තීරකයා කීවොත් අප නිවරැදිය. එහෙයින් එළවළු මිල ගැන කතා කරන විට රංගිරි දඹුලූ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නිලධාරීන්ගෙන් අනිවාර්යෙන්ම කරුණු විමසීමක් කළ යුතුය. මේ කතා කරන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ
 සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතාය.
 
 ‘‘එළවළු මිල ප‍්‍රශ්නය කොවිඞ් නිසා මතුවෙච්ච එකක් නෙමෙයි. හැමදාම තියෙන ගැටලූවක්. එළවළු මිල වැඩි ද? අඩු ද? කියලා කියන්න බැරි තරමට මේ වන විට පාරිභෝගිකයෝ අසරණ වෙලා ඉන්නේ. සති පොළේ එළවළු එක මිලක්. එළවළු කඬේ තව මිලක්. සුපිරි වෙළෙඳසැල්වල එළවළු ග‍්‍රෑම් 100 ගිනි ගණන්. ඒ මිල තීරණය කරන්නෙ එකී ව්‍යපාරිකයන්. එළවළු වෙළෙඳාමේ ලාභ ලබන්නෙ ගොවියො නෙමෙයි. අතරමැදි වෙළෙන්දෝ. ඒකට ප‍්‍රධාන හේතුව ආර්ථික මධ්‍යස්ථානවල එළවළු විකිණෙන මිල ගණන් පාරිභෝගිකයන් දැන නොසිටීම. ඕනෑම එළවළුවක අස්වැන්න වැඩි වෙලා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන තොග වැඩි වෙනකොට එම එළවළුවේ මිල අඩු වෙනවා. ඒත් තොග වෙළෙන්දෝ මිල අඩු වුණා කියලා එම එළවළුවේ වැඩි තොග ප‍්‍රමාණයක් අරගෙන යන්නෙ නෑ. වෙනදාටත් වඩා අඩු කිලෝ ප‍්‍රමාණයක් අරගෙන ගිහින් එම එළවළුවේ හිඟයක් නිර්මාණය කරලා වැඩි මිලට විකුණනවා. මිලක් නැතිව ආර්ථික මධ්‍යස්ථානවල විකුණගන්න බැරි එළවළු නගරයේ එළවළු කඩවල, සුපිරි වෙළෙඳසල්වල අධික මිලට විකිණෙනවා. ඒ වගේම ගොවියගේ කොරටුවේ අස්වැන්න වැඩි වෙලා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල කොච්චර අඩු වුණත් කාලයක ඉඳලා නගරයේ එළවළු වෙළෙඳපොළේ මිල අඩු වෙන්නෙ නෑ. එළවළු ව්‍යාපාරිකයන් මිල පාලනය කරනවා...’’ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතා දුරකථනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වූයේ පසුගිය 11 වැනිදාය. ඔහු මේ කියන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එදින පැවති එළවළු තොග මිලය. පහතින්  පෙළගැසෙන්නේ සෑම එළවළුවකම කිලෝවක් අලෙවි වූ තොග මිලය.
 
 ‘‘බතල රුපියල් 120 = 140. ගෝවා රුපියල් 50 = 60. ගෝවා මල් රුපියල් 120 = 130. ලීක්ස් රුපියල් 50 = 60. කැරට් රුපියල් 120 = 170. බීට් අල රුපියල් 35 = 50. රාබු රුපියල් 20 = 25. තක්කාලි රුපියල් 40 = 50. නෝකෝල් රුපියල් 50 = 60. කැකිරි රුපියල් 20 = 30. ලංකා අල රුපියල් 155 = 165. රට අල රුපියල් 110 = 130. වැටකොලූ රුපියල් 90 = 100. බණ්ඩක්කා 40 = 50. පාතෝල රුපියල් 70 = 80. කරවිල රුපියල් 160 = 190. වට්ටක්කා රුපියල් 60 = 70. වම්බොටු රුපියල් 50 = 90. දඹල රුපියල් 40 = 50. මුරුංගා රුපියල් 50 = 60. අමුමිරිස් රුපියල් 110 = 200 යි. ඊයේ එළවළු මිලට වඩා අද මිල රුපියල් 10 = 20 කින් වැඩියි. නගරයේ එළවළු කඩවල, සුපිරි වෙළෙඳසල්වල අද විකිණෙන්නේ ඊයේ එළවළු. පැහැදිළිව කියනවා නම් ඊයේ දඹුල්ල ආර්ථිකයෙන් අඩු මිලට අරගෙන ගිය එළවළු. සුපිරි වෙළෙඳසල්වල් රුපියල් 14 ට විකුණන දඹල ග‍්‍රෑම් 100 ඊයේ දඹුල්ලේ ආර්ථිකයෙන් අරගෙන ගියේ කිලෝවම රුපියල් විස්සට. එළවළු කඬේ රුපියල් 60 ට, 70 ට විකුණන දඹල ග‍්‍රෑම් 500 ඊයේ දඹුල්ලෙන් අරගෙන ගියේ කිලෝව රුපියල් 20 ට. එළුවළු මිල තීරණය වෙන විදිහ දැන් පැහැදිළියි නේද?
 
 ‘‘මේ ගැටලූව විසඳන්න රජය මැදිහත් වෙලා යම්කිසි යාන්ත‍්‍රණයක් හරහා ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු මිලට අරගෙන රට පුරා බෙදාහරින්න ඕනෑ. නැති නම් මේ රටේ සම්පූර්ණ එළවළු ව්‍යාපාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට භාර දෙන්න ඕන. පවතින තොග මිලට ප‍්‍රවාහන ගාස්තු වියදම, එළවළු අපතේ යෑමේදී ඇති වන පාඩුව ගණන් බලලා විනිවිදභාවයකින් යුක්තව උපරිම සාධාරණ මිලකට එළවළු අලෙවි කිරීමට අපි කටයුතු කරනවා. ලංකාව පුරා ගොවීන්ගෙන් 80% ක් අපිත් එක්ක ඉන්නවා. දීර්ඝ කාලයක ඉඳලා ඔවුන්ගේ අස්වැන්න ලබාදෙන්නෙ අපිට. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ගැන ඔවුන්ට හොඳ විශ්වාසයක් තියෙනවා. අපිත් එම කීර්තිනාමය ආරක්‍ෂා කරගන්නවා.
 
 පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙනවට අපි කැමති නෑ. පාරිභෝගිකයො අපිව අතහැරියොත් ගොවියොත් ඉවරයි. අපිත් ඉවරයි. ඒ නිසා ගොවීන්ගේ වගේම පාරිභෝගිකයන්ගේ විශ්වාසයත් අපි දිනාගන්න ඕනෑ. අපිට පුළුවන් ඒක කරන්න...’’ රංගිරි දඹුලූ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතා රජයට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ ගැන අවධානය යොමු කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. සරළව පෙළගැසෙන මේ කතාව කියවන මන්දබුද්ධික නොවන ඕනෑම කෙනකු මෙරට ක‍්‍රියාත්මක වන එළවළු මාෆියාව ගැන තේරුම් යන බව සැබෑය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles