Divaina - කර්මය පරදා අමිතානන්ද හිමියෝ මරණයෙන් නැගිටති

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

amitha
 
 කමල් බෝගොඩ
 
amitha2මෙරට සම්බුද්ධ ශාසනය බැබළවූ කීර්තිමත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම පසුගිය වසර පහක පමණ වූ කාලය තුළ අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පෑහ.
 
 
පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ අකල් අපවත්වීමෙන් පසුව උන්වහන්සේගේ හිඩැස පුරවමින් එම ශාසනික මෙහෙවරෙහි නිරතව සිටි මාදුළුවාවේ සෝභිත, දරණාගම කුසලධම්ම, බෙල්ලන්විල විමලරතන යන පූජනීය නාහිමිවරු අකල්හි අපවත් වූහ. ඒ යුගයේ තවත් සුප‍්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ නමක් හිටි හැටියේම නිහඬවූ අතර ඒ පිළිබඳව උන්වහන්සේගේ ශ‍්‍රාවකයන් මහත් චකිතයට පත්වූහ.
 
 දේශ දේශාන්තරයන්හි වැඩම කරමින් ධර්ම ප‍්‍රචාරයෙහි නිරතවූ පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ මීට වසර පහකට පමණ පෙර එසේ එකවරම නිහඬ වූ යතිවරයාණෝ වූහ.
 
 ශ‍්‍රී ලංකා ද්වීපයේ සිව්කොන වැඩම කරමින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැති පිරිසකගේ දම් පවස නිවාලන්නට දිනපතා, නිතිපතා දම්දෙසූ එහිමියන් රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවන්ට නැතිවම බැරි දේශකයන් වහන්සේ නමක් වූහ.
 
 එකල්හි කෙතරම් වෙහෙසකර, කාර්යබහුල දින චර්යාවක් ගත කළත් අමිතානන්ද හිමිපාණෝ මෙරට බොදු තරුණ තරුණියන් ධර්මයෙහි පිහිටුවාලීම සඳහා අපරිමිත වෙහෙසක් දැරූහ. ඒ වෙනුවෙන් උන්වහන්සේ දොම්පේ,
 
ශ‍්‍රී කල්‍යාණ යෝගාශ‍්‍රමය ආරම්භ කරමින් විවිධ වූ ධර්ම ප‍්‍රචාරක වැඩසටහන් ක‍්‍රියාත්මක කළහ. විශේෂයෙන්ම තරුණ තරුණියන් උදෙසා විශේෂිත දහම් මණ්ඩප සංවිධාන කරමින් යොවුන් සිත් සතන් දහම් දැනුමෙන් සන්නද්ධ කිරීමට උන්වහන්සේ දිවා ? වෙහෙසුනහ. එකී වැඩසටහන් දිනෙන් දින මෙරට යොවුන් ප‍්‍රජාව වැළඳගැනීම නිසා තව තවත් ප‍්‍රාදේශීයව දහම් මැඳුරු නිර්මාණය කිරීමට අමිතානන්ද හිමිපාණන්ට සිදුවිය. ඒ අනුව දෙල්ගොඩ උඩුපිල දහම් මැඳුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය. කොට්ටුන්න සිරි දේවමිත්ත යෝගාශ‍්‍රමය, කතරගම නීලකාරාම මහසෙන් භාවනා මධ්‍යස්ථානය, අත්තනගල්ල ඌරපොල දහම් මැඳුර යන ධර්ම නිකේතනයන් බිහිකරමින් ඒවාට උගත්, විනයධර ශිෂ්‍යවරයන් වහන්සේලා පත් කරමින් ලක් දන වෙත මහත්වූ ශාසනික සේවයක නිරතව සිටි බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණෝ පසුගිය දිනක එකවරම අන්තර්ජාලය ඔස්සේ විiමානවීම මෙරට බෞද්ධ, අබෞද්ධ, බොහෝ ජන සමූහයාගේ අමන්දානන්දනයට හේතු වූහ. උන්වහන්සේ දම්සභා මණ්ඩපයෙන් බැසගියදා සිට නැවත උන්වහන්සේ අන්තර්ජාලය ඔස්සේ ජීවමාන වනතුරුම විවිධ වූ ප‍්‍රචාරයන් සමාජය පුරා හඹා යන්නට විය.
 
 
amitha3ඇතැමෙක් උන්වහන්සේ අපවත් කළහ. තවෙකෙක් උන්වහන්සේ විදේශයකට වැඩම කරවූහ. තවත් පිරිසක් උන්වහන්සේ සදාකාලික රෝගියකු බවට පත් කළහ. එම ප‍්‍රචාරයන්හි ඇති ව්‍යාජය පසක් කරමින් අමිතානන්ද හිමියෝ පසුගිය දිනෙක සිය සුපුරුදු සුමධුර හඬින් අන්තර්ජාලය ඔස්සේ ධර්ම දේශනයක් පැවැත්වූහ.
 
අමිතානන්ද හිමිපාණන්ගේ පුනරාගමනයත් සමග උන්වහන්සේ වැඩ සිටින දොම්පේ ශ‍්‍රී කල්‍යාණි ධර්මාශ‍්‍රමය වෙත උන්වහන්සේගේ සැදැහැති දායක දායිකාවෝ වැල නොකැඞී පැමිණෙන්නට වූහ. ඔවුහු, අමිතානන්ද හිමියන් නිදුක්ව නිරෝගීව වැඩ සිටිනු දැක මහත් අමන්දානන්දයට පත්වූහ. දිගු කලකට පසු තම සැදැහැති සිව්වනක් පිරිස දැක අමිතානන්ද හිමියෝද මහත් ප‍්‍රමෝදයට පත්වූහ.
 
 ඇත්තෙන්ම අමිතානන්ද හිමිපාණන්ගේ සිදුවූයේ කුමක්ද? උන්වහන්සේගේ වර්තමාන තත්ත්වය කෙබඳුද? යන්න සොයා බැලීමට පසුගිය දිනක උන්වහන්සේ බැහැදැකීමට ගිය අතර එහිදී උන්වහන්සේ සිය අමිහිරි - මිහිරි අත්දැකීම් සමුදාය මෙසේ මුදාහළහ.
 
 මුලින්ම මම කියන්න ඕනෑ මම පසුගිය අවදියේ රූපවාහිනී නාලිකා හතරක බණ කිව්වා. ගුවන් විදුලි නාලිකා විස්සක විතර බණ කිව්වා. හැබැයි ඒ කිසි කෙනෙක් අසනීප වුණාට පස්සේ මම ඉන්නවද? නැද්ද? කියල බැලූවේ නැහැ. ‘දිවයින’ පත්තරේට විතරයි මාව මතක් වුණේ මම අවංකවම සතුටු වෙනවා. ‘දිවයින’ පත්තරේ වගේ මේ රටේ සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන පත්තරේකට මාව මතක්වෙලා මාව සොයාගෙන ආපු එක ගැන.
 
 දැනට අවුරුදු පහකට විතර කලින් කඨින පිංකම් තිබුණු කාලේ මම රත්නපුරේ ධර්ම දේශනයකට වැඩම කළා. මෙම උඩුපිල දහම් මැඳුරේ කඨින පිංකම අවසන් කරලයි එහෙ වැඩියේ. පැය එකහමාරක් විතර ගියා රත්නපුරේට යන්න. එහෙ එක්තරා මැණික් මුදලාලි කෙනෙක් අංග සම්පූර්ණ පන්සලක් හදලා මට පූජා කරන්න ලෑස්ති කරලා තිබියදී ඒ මුදලාලි මිය ගියා. ඒ මුදලාලිගේ තුන්මාසෙ දානය වෙනුවෙන් ධර්ම දේශනයක් පවත්වන්න වැඩම කරන්න කියල ඒ මුදලාලිගේ බිරිඳ මගෙන් ඉල්ලීමක් කළා. එම ධර්ම දේශනය සූදානම් කරලා තිබුණේ විශාල විහාරස්ථානයක. දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ තිබුණා. ධර්ම දේශනයට සවන් දෙන්න. ඒ වගේම රත්නපුර ප‍්‍රදේශයේ මහා සංඝරත්නය විශාල පිරිසක්ද වැඩම කරල හිටියා.
 
 මම ඒ විහාරස්ථානයට ගිහිල්ලා රාත‍්‍රි හතට විතර ධර්ම දේශනය පටන් ගත්තා. බණ පටන්ගෙන ටිකක් වෙලා යනකොට මට තද ඔළුවේ කැක්කුමක් ආවා. ඒ වෙනකොට මම බණ පටන්ගෙන පැය කාලක්වත් නැහැ. මගේ මුළු ඇඟම ගැහෙන්න පටන් ගත්තා. මට කරකැවිල්ලක් වගේ ඇවිත් ඇස් නිලංකාර වුණා. මම ධර්ම දේශනය සංවිධානය කරපු මහත්මියටත් අනෙක් අයටත් කීවා.
 
 මට මොකක්දෝ අසනීපයක් ආවා, මට බණ කියන්න බැහැ අද. මම වෙන දවසක ඇවිත් බණ කියන්නම් කියලා. මම මගේ රියැදුරාත් එක්ක වාහනයට නැගලා ආපසු උඩුපිල දහම් මැඳුරට එන්න පිටත් වුණා. මම රාත‍්‍රි 11.00 ට විතර වෙනකොට උඩුපිලට ආවා. ඒ එනකොටත් මට ඇෙඟ් අමාරුවයි හිසරදයයි තදින්ම තිබුණා. මම කාමරයට ඇවිත් උණුවතුර ටිකක් නාලා සැතපුණා. මට හොඳට කල්පනාව තිබුණා. දොරවල් ජනෙල් ඔක්කොම අගුල් දාල තමයි මම නිදා ගත්තේ.
 
 පසුවදා උදේ උඩුපිල දහම් මැඳුරට දානය අරන් ආපු දායක ඇත්තෝ දානය පිළියෙල කරන අනෙක් ස්වාමීන් වහන්සේලාට දානයට ආරාධනා කරලා දාන ශාලාවට වැඩම කළත් මම වැඩියේ නැත්තේ ඇයි කියලා බලන්න මගේ කාමරය ළඟට ඇවිත් තියෙනවා. එහෙම ඇවිත් මගේ කාමරයේ දොරට තට්ටු කරල ජනේලයට ගහලා මට කතා කරලා තිබෙනවා. ඒත් මගෙන් කිසිම ප‍්‍රතිචාරයක් නැති නිසා පන්සලේ පොඩි හාමුදුරු නමක් බැරල් එකක් තියලා මගේ කාමරේ කවුලූවකින් බලලා තියෙනවා. එහෙම බැලූවාම දැකලා තියෙනවා මම කාමරේ සැතපිලා ඉන්නවා දොරට ගහනකොට මගේ කකුල හෙලවනවා කියලා. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ විස්තරේ කියල මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ එක්ක ඇවිල්ලා බලල තියෙනවා. ඊට පස්සේ මේ අය කාමරේ දොර කඩල ඇතුළට ඇවිත් මට කතා කළත් මම කතා කරලා නැහැ.
 
ඊට පස්සේ කට්ටිය ඇවිත් මාව උඩුපිල රෝහලට එක්කගෙන ගිහිල්ලා තියෙනවා. එහිදී මගේ ෆ්‍රෙෂර්, සීනි ගොඩක් වැඩිවෙලා කියලා දැනගත්තාම හැමෝම හිතුවා ඒක නිසයි මට අසනීප වෙලා තියෙන්නෙ කියලා. ඊට පස්සෙ මම පන්සලට නැවත වැඩම කළාම මට දිගින් දිගටම හිස කැක්කුම තිබුණා. ඊට පස්සේ අපි විවිධ තැන්වලින් බෙහෙත් ගත්තත් අසනීපෙ අඩුවක් වුණේ නැහැ. ඔහොම යද්දී අපේ හිතවත් වෛද්‍යවරයෙක් ඉන්නවා අරුණ මුණසිංහ කියලා. එතුමා දැනට ගම්පහ මහ රෝහලේ සේවය කරනවා. එතුමා මාව පරීක්‍ෂණවලට ලක්කරලා සොයාගත්තා මගේ හිසේ නහරයක ලේ කැටියක් තියෙනවා කියලා.
 
 ඒ අනුව මට දිගින් දිගටම ප‍්‍රතිකාර කරමින් ඉද්දී නැවත මට අමාරු වුණ නිසා මාව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කළා. එහිදී විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතාගේ උපදෙස් මත සමන් වඩනම්බි කියන වෛද්‍යවරයා මගේ හිසේ ශල්‍යකර්මයක් කළා. කොයිල් එකක් දැම්මා. ඊට ටික දවසකට පස්සේ මම නැවත පන්සලට වැඩම කරලා ටික දවසක් යනකොට ආපසු මගේ අසනීප තත්ත්වය මතුවෙන්න පටන් ගත්තා. ඒ අනුව ආපසු සුනිල් පෙරේරා වෛද්‍යතුමා මාව පුද්ගලික රෝහලකට ඇතුළත් කරල මගේ හිසේ විශාල සැත්කමක් කරල මගේ ලේ කැටිය තිබුුණු ස්නායුව කපල හැදුවා. ඒ කරලා මට සනීප වුණාම නැවත මම පන්සලට ආවා. ඒ ඇවිත් අවුරුද්දක් විතර යනකොට මට හොඳට සනීපයක් දැනුණා. ඊට පස්සෙ බෙහෙත් හේත් ගන්න ටිකක් අතපසු වුණා. මම නැවත ධර්ම ප‍්‍රචාරක වැඩවලට යොමු වෙන්නයි උනන්දු වුණේ.
 
 එහෙම ටික කලක් යනකොට නැවතත් මට අපහසුතා මතුවුණා. මගේ ශරීරය සමබර නැති වුණා. කල්පනාව ටිකක් අඩුවුණා. එහෙම වුණාම නැවතත් මම ශල්‍ය කර්මයකට ලක්වුණා. ඒක කළේ වෛද්‍ය තිලක්ෂන් කුමාරසිංහ වෛද්‍යතුමා එතුමාගෙ ප‍්‍රතිකාරවලින් පස්සෙ මම හොඳින් හිටියා. ඒත් අවුරුද්දක් විතර ගියාට පසු නැවතත් මට අර රෝග ලක්ෂණ මතුවුණා. ඒ වනවිට මට විශාල වේදනාවක් දැනුණා. සමහර වෙලාවට. ඒත් එක්කම මට කතා කරද්දී ඇඬෙන්න පටන් ගත්තා.
 
 ඊට පස්සෙ මාව නැවත කොළඹ ජාතික රෝහලට එක්ක ගියා. එහිදී වෛද්‍ය දීපාල් අත්තනායක මහත්තයා මාව නැවත පරීක්‍ෂණ රැසකට භාජනය කරල මීට මාස තුනකට විතර කලින් මාව අද ඉන්න තත්ත්වයට සුව කළා. අද වනවිට මට ගොඩක් සුවයි. දැන් මට පරණ විදියට ධර්ම දේශනා පවත්වන්න පුළුවන්. මගේ මතක ශක්තියත් පෙර වගේම තිබෙනවා.
 
ඇත්තෙන්ම මා තුන් පාරක් ශල්‍යකර්මවලට භාජන කරපු නිසා දැන් මගේ හිස හැමතැනම කැපුම් පාරවල් තිබෙනවා. මටම පුදුමයි මම ජීවත් වෙනවා කියන එක ඇත්තෙන්ම සම්බුදු ධර්මයේ ආශිර්වාදයත්, දෙවිවරු වැනි වෛද්‍යවරුන්ගේ දක්ෂතාවත්, මගේම ඥාතීන්, සහෝදරයන් වැනි මගේ දායකයින්ගේ අනුග‍්‍රහය නිසයි අද මම සුජීවත්ව සිටින්නේ. මම මේ රට වටේම ගිහිල්ලා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශ‍්‍රී සද්ධර්මය දේශනා කිරීමෙන් ලැබුණු පුණ්‍ය මහිමය මම අද මේ තත්ත්වයට සුවපත්වීමට හේතුවුණා කියලා මම විශ්වාස කරනවා.
 
 පූජනීය බණ්ඩාරවෙල අමිතාන්ද හිමිපාණෝ මේ වනවිට නිදුක්ව නිරෝගීව සිය ශිෂ්‍යවරයන් වහන්සේලාගේ ගෞරව සැලකුම් ලබමින් වැඩ සිටිති. පරණ පුරුදු පරදිම රට පුරා ගොස් ධර්ම ප‍්‍රචාරයෙහි යෙදීමට උන්වහන්සේට බලවත් අවශ්‍යතාවක් ඇතත් උන්වහන්සේ තවදුරටත් විවේකීව, වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලැබිය යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි අමිතානන්ද හිමියෝ කීහ.
 
 එම නිසා උන්වහන්සේගේ ධර්ම දේශනා සඳහා සවන්දීමට ශ‍්‍රාවකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් දොම්පේ කල්‍යාණි ධර්මාශ‍්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ උන්වහන්සේගේ ධර්ම දේශනා සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.
 
 මෙරට බොදුනුවන්ගේ නොමඳ ගෞරවාදරයට පාත‍්‍රවූ පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන් වෙත යළිත් වරක් ශ‍්‍රී සද්ධර්මය දේශනා කිරීමේ හැකියාව ලැබීම සමස්ත ලෝකවාසීන්ටම මහත් වූ ආශිර්වාදයකි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles