Divaina - බයිඩන්ද ට්‍රම්ප්ද බයිඩන්ද? ලෝක භූ දේශපාලනයට බලපාන්නේ කෙසේද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

america
 
 * ගෙදර යන ට්‍රම්ප්
 
 නන්දජීව සූරියබණ්ඩාර
 
වසර 231 ක ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ පහසුවෙන් නොබිඳිය හැකි වාර්තා රැසක් තබමින් ඩිමොක‍්‍රටික් අපේක්‍ෂක ජෝ බයිඩන් ජයග‍්‍රහණය අත්පත් කරගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ විරෝධතා සහ නීතිමය සටන් තවමත් අවසන්ව නැතත් ලබන වසරේ ජනවාරි 20 වැනිදා සිට ජෝ බයිඩන් නිල වශයෙන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති බවට දැන් සැකයක් නැත. මේ නව ලෝක බලවතා ලෙස රාජකාරි ආරම්භ කිරීමට නියමිත බයිඩන් ලොව බලවත්ම තනතුර තෙක් පැමිණි ගමන පිළිබඳ කෙටි විමසා බැලීමකි.
 
 
 පවුල සහ ළමා කාලය
 
ජොෂප් රොබිනේට් බයිඩන් (ජ්‍යෙෂ්ඨ) සහ කැතරින් ඉයුජිනියා ෆිනෙගන්ගේ පළමු දරුවා ලෙස 1942 නොවැම්බර් 20 වැනි දින පෙන්සිල්වේනියාවේ ස්ක‍්‍රැන්ටන්හි ශාන්ත මරියා රෝහලේ උපත ලද ජොෂප් රොබිනේට් බයිඩන්(කනිෂ්ඨ) ට වැලරි ඕවන්ස් (විවාහයට පසු ඕවන්ස් වාසගම ලැබුණි.) නමින් සහෝදරියක් ද ප‍්‍රැන්සිස් බයිඩන් සහ ජේම්ස් බයිඩන් නම් සහෝදරයන් දෙදෙනෙක් ද සිටී. බයිඩන්ගේ පියා ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ සම්භවයක් සහිත පුද්ගලයකු වන අතර ඔහුගේ මව අයර්ලන්ත සම්භවයක් සහිත තැනැත්තියකි. බයිඩන් උපත ලබන කාලය වන විට ඔහුගේ පවුල ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පීඩා විඳිමින් සිටි අතර එම නිසා බයිඩන්ගේ ළමා කාලය ගෙවී ගියේ කම්කටොළු රාශියක් මැදිනි. ස්ක‍්‍රැන්ටන්හි ආර්ථික කඩා වැටීම හේතුවෙන් බයිඩන්ගේ පියාට රැකියාවක් නොමැතිව වසර කිහිපයක් ගතකිරීමට පවා සිදුව තිබුණ අතර ඒ හේතුවෙන් බයිඩන්ගේ ළමා කාලයේ වසර කිහිපයක් නිව් කාසල් ප‍්‍රාන්තයේ පිහිටි සිය මිත්තණියගේ නිවසේ ගත කිරිමට ඔහු සිදුව තිබිණි.
 
 අධ්‍යාපනය
 
 ඩෙලවෙයාර් ප‍්‍රාන්තයේ ක්ලෙමන්ට්හි පිහිටි රෝමානු කතෝලික පාසලක් වන ආච්මියර් ඇකඩමියේ අධ්‍යාපනය ලද බයිඩන් පාසල් කාලයේ දක්‍ෂ පාපන්දු සහ බේස්බෝල් ක‍්‍රීඩකයෙකු වශයෙන් දක්‍ෂතා දැක්වීය. 1961 වසරේ පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර 1965 වසරේදී ඉතිහාසයට සහ දේශපාලන විද්‍යාව ඇතුළත් ද්විත්ව විශේෂ කලා උපාධිය ලබා ගැනීමට ඔහු සමත් විය. වයස විසි ගණන් වන තෙක් බයිඩන් කථා කිරීමේදී ගොත ගැසීමේ ආබාධයකින් පෙළුන අතර ඔහු විසින්ම ඇතැම් අවස්ථාවලදී පවසා ඇති පරිදි කණ්ණාඩියක් ඉදිරිපිට සිටිමින් කථා කිරීම මගින් එම අඩුපාඩුව මගහරවා ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබේ.
 
 විවාහය
 
 1966 අගෝස්තු 26 වැනි දින දී බයිඩන් නිව්යෝර්ක්්හි සිරකූස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වූ නීලියා හන්ටර් සමග විවාහ වන අතර ඒ වන විට ඔහු 24 වන වියේ පසු විය. එම විවාහයෙන් බයිඩන් යුවලට දරුවන් තිදෙනෙකු ලැබුණ අතර ඔවුන් පිළිවෙළින් ජොෂප් රොබිනේට් බීනු බයිඩන් (1969), රොබට් හන්ටර් බයිඩන් (1970) සහ නයෝමි ක‍්‍රිස්ටිනා ඇමි බයිඩන් (1971) වශයෙන් උපත ලැබීය.
 
 1972 වසරේ බිරිඳ නීලියා රිය අනතුරකින් මියයෑමෙන් පසු එවකට තුන් හැවිරිදි සහ දෙහැවිරිදි වයස්වල පසු වූ සිය පුතුන් දෙදෙනා රැක බලා ගැනීමේ ගැටලූවකට මැදිවූ බයිඩන් 1977 ජුනි 17 වන දින දෙවන විවාහයකට ඇතුළත්ව ඇති අතර ඔහුගේ අත ගත්තේ ගුරුවරියක වන ජීල් කේ‍්‍රසි ජෙකොබ්ස් ය. එවකට 26 හැවිරිදි වියේ පසු වූ ජිල් නිව් ජර්සි ප‍්‍රාන්තයේ හැමන්ටන්හි උපත ලබා ඇත. ජිල් බයිඩන්ගේ කාර්යාලයේ මාස 5ක පමණ කාලයක් සේවය කළ අතර ඇය බයිඩන්ගේ ජංගම දුරකථතන ඇමතුම් සහ සතිපතා සිදුකෙරෙන ක්‍ෂේත‍්‍ර චාරිකා කළමනාකරන්නිය ලෙස කටයුතු කළාය. දෙවන විවාහයෙන් ඔවුන් දෙපලට ඈෂ්ලි නම් දියණියක සිටී.
 
 බයිඩන්ගේ දෙවන දරුවා වන රොබට් හන්ටර් බයිඩන් ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබා ඇති අතර යේල් විශ්වවිද්‍යාලයෙන් ජූරිස් ඩොක්ටර්(ජේ.ඞී.) උපාධිය ලබාගන්නා ලදී. රොබට් සිය නීති වෘත්තියට අමතරව ආයෝජන උපදේශකයකු සහ ව්‍යාපාරික හවුල්කරුවකු වශයෙන් කටයුතු කරයි.
 
 බයිඩන්ගේ දෙවන විවාහයේ දියණිය වන ඈෂ්ලි බ්ලේසර් බයිඩන් ටියුලේන් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබා ඇති අතර පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් සමාජ ක‍්‍රියාකාරකම් පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඇය සමාජ ක‍්‍රියාකාරිණියක් සහ විලාසිතා නිර්මාණකාරියක් ලෙසට කටයුතු කරයි.
 
 පළමු විවාහයේ බිරිඳ සහ දියණිය මියයාම
 
america2බයිඩන්ගේ ජීවන ගමන් මග වැටී ඇත්තේ කනගාටුදායක සිදුවීම් සමුදායක් මතිනි. 1972 දෙසැම්බර් 10 වැනි දින ඩෙලවෙයාර්හි අංක 07 වීදියේ සිදු වූ දරුණු රිය අනතුරකින් බිරිඳ නීලියා සහ වසරක් වයසැති දියණිය නයෝමි මියගොස් බීනු සහ රොබට් පුතුන් දෙදෙනා දරුණු ලෙස තුවාල ලැබීය. නත්තල් ගසක් මිලදී ගැනීම පිණිස සිය දරු තිදෙනා සමග ගමන් කරමින් සිටි නීලියාගේ මෝටර්රථය ඉදිරියෙන් පැමිණි අපරික්‍ෂාකාරි රියදුරකු විසින් පැදවූ ට‍්‍රැක්ටර් ටේ‍්‍රලරයක් ඔවුන්ගේ මොටර් රථය පොඩිපට්ටම් කරමින් ඉදිරියට ඇදී ගිය අතර විල්මින්ටන් මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු නීලියා සහ දියණිය මියගිය අතර පුතුන් දෙදෙනා දරුණු තුවාල ලබමින් දිවි ගලවා ගත්තේය.
 
 මෙම මොහොත වන විට 30 හැවිරිදි බයිඩන් එක්සත් ජනපද ඉතිහාසයේ හයවන ලාබාලතම සෙනේට් සභිකයා ලෙස තේරි පත්වීමෙන් අනතුරුව දිවුරුම්දීම සඳහා සූදානමින් සිටි අතර ඔහු සෙනේට් සභිකයකු වශයෙන් දිවුරුම් දෙනු ලැබුවේ විල්මින්ටන් මහ රෝහලේ සිය පුතු බීනු ප‍්‍රතිකාර ලබමින් සිටි ඇඳ අසල සිටිමිනි.
 
 එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2012 වසරේදී පැවැති නිල උත්සවයකදී සිය ජීවිතයේ පළමු වතාවට එම කනගාටුදායක මතකය සිහිපත් කරමින් කථා කළ බයිඩන් ජීවිතයේ පළමු වතාවට යමෙකු දැනුවත්ව සියදිවි නසා ගැනීමට තැත් කරන්නේ මන්දැයි මට වැටහුණා යයි පවසා තිබිණි.
 
 වෘත්තීය ජීවිතය
 
america4තරුණ බයිඩන් 1968 වසරේදී සිරකූස් විශ්වවිද්‍යාලයේ නීති විදුහලින් ”ජූරිස් ඩොක්ටර්”(ජේ.ඞී.) උපාධිය ලබාගන්නා ලදි. එය නීති වෘත්තියේ නිරතවීම සඳහා වෘත්තීමය සුදුසුකම් ලබාගැනීමකි. අනතුරුව කෙටි කාලයක් රිපබ්ලිකන් පක්‍ෂයේ ප‍්‍රාදේශීය ක‍්‍රියාකාරිකයෙකු වූ විලියම් ප‍්‍රිකෙට්ගේ නායකත්වයෙන් යුතු විල්මින්ටන් නීති ආයතනයේ නීති සහකාරවරයෙකු ලෙස සේවය කළ අතර බයිඩන් පසුව පවසා තිබුණේ එම කාලයේ මම රිපබ්ලිකානුවකු ලෙස සිතුවෙමි යනුවෙනි.
 
 1969 වසරේදී ඩෙලවෙයාර් රාජ්‍ය නීතිඥ සංගමයට බැඳෙමින් වෘත්තීය කටයුතු ආරම්භ කළ බයිඩන් මහජන ආරක්‍ෂකයකු ලෙස කටයුතු කරමින් සිය මහජන සේවයේ මුල් පියවර අරඹන ලදි.
 
 දේශපාලන ආගමනය
 
america3ජෝ බයිඩන් සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ වර්තමානය වන විට සිය ප‍්‍රතිවාදී ට‍්‍රම්ප් නායකත්වය දරන රිපබ්ලිකන් පක්‍ෂයෙනි. 1969 වසරේ අගභාගයේදී ඔහු නිව් කාසල් හි ප‍්‍රාන්ත සභා ආසනයකට රිපබ්ලිකන් නියෝජිතයකු ලෙස තේරී පත්වූ අතර එය බයිඩන් ජනාධිපති ධුරය සඳහා පැමිණි ගමන් මගේ පළමු ඇරඹුම විය. 1972 වසරේ සෙනේට් සභාවට තරග කිරීම දක්වා ඔහු ප‍්‍රාන්ත සභාවේ රැඳෙමින් සේවය කරන ලදි.
 
 1972 නොවැම්බර් 07 වැනි දින පැවැති එක්සත් ජනපද සෙනේට් සභාව සඳහා නියෝජිතයන් තෝරාගැනීමේ මැතිවරණයේදී ඩෙලවෙයාර් ප‍්‍රාන්ත අසුනක් සඳහා බයිඩන් ඩිමොක‍්‍රටික් අපේක්‍ෂකයකු ලෙස තරග කිරීමට ඉදිරිපත් විය.
 
 අසාර්ථක වූ ජනපතිවරණ අපේක්‍ෂකත්වය
 
 1988 ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකත්වය දිනා ගැනීම සඳහා වන අභිලාෂය බයිඩන් 1988 ජුනි 9 වන දින නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලද අතර මැතිවරණ සටන ආරම්භයේදී අරමුදල් රැස්කිරීම අතින් වෙනත් ඕනෑම අපේක්‍ෂකයෙකුට වඩා ඔහු ඉදිරියෙන් සිටියේය. අපේක්‍ෂකත්ව සටන ඉදිරියට යන විට සතුරන්ගේ කුමන්ත‍්‍රණ මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලයේ අනුවණ ක‍්‍රියාවන් හේතුවෙන් බයිඩන්ගේ සටන අඩපණ වූ අතර සිය කථාවලදී අන්‍යයන්ගේ වාක්‍ය ඛණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවන්ට ලක්වූ අතර තම අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව අතිශයෝක්තියෙන් යුක්තව කරුණු හුවා දැක්වීම හේතුවෙන් අපහසුතාවයන්ට ලක්විය.
 
 විසි වසරකට පසු සිදුකළ සිය දෙවන
 උත්සාහයද අත් හැර දමයි

 
 ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය දිනාගැනීම සඳහා 1988 දී කළ උත්සාහය අත්හැර දැමීමට සිදුවීමෙන් අනතුරුව දිගටම දේශපාලනයේ ක‍්‍රියාකාරි වූ නමුත් තවත් වසර 20 ක් ගතවන තෙක් නැවත ඒ සදහා ඉදිරිපත් වීමට බයිඩන් අදහස් කළේ නැත. 2007 ජනවාරි 7 වන දින නිල වශයෙන් ඩිමොක‍්‍රටික් අපේක්‍ෂකත්වය දිනා ගැනීමේ සටන නැවත ආරම්භ කළ බයිඩන් මත විමසුම් වලදී ලද අසාර්ථකත්වය මත ඊට වසරකට පසු එනම් 2008 ජනවාරි 03 වන දින සිය අපේක්‍ෂකත්ව සටන අත්හැර දමන ලදි. ඉන් මාස 08 කට පසු 2008 අගෝස්තු 23 වන දින බරක් ඔබාමාගේ උප ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් නම් කරන ලදුව ඔබාමාට සහාය පළකිරීම ආරම්භ කළේය.
 
 2015 වසරේ සිය වැඩිමහල් පුතු මොළයේ පිළිකාවකින් මියයෑම හේතුවෙන් සහ සෞඛ්‍ය ගැටලූ කිහිපයක් හේතුවෙන් අපේක්‍ෂකත්ව සටන දියත් කිරිමට ප‍්‍රමාද වූ බයිඩන් පසුව ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානම් වූ නමුත් කාලය ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් තමන් අපේක්‍ෂකත්ව සටනින් ඉවත්ව සිටින බව නිවේදනය කළේය. කෙසේ නමුත් පසුව රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරණ සටන සඳහා එක් වීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳව කනගාටු වන බව පැවසීය. කෙසේ වෙතත් 2016 තරගයෙන් ඉවත්ව සිටීම 2020 තරගයෙන් අද්විතීය ජයග‍්‍රහණයක් ලැබීමට උත්තේජනයක් වී ඇති බව දැන් පැහැදිලිව පෙනෙන්නට ඇත.
 
 
 2020 ජනාධිපතිවරණ අපේක්‍ෂකත්ව සටන
 
 2020 ජනාධිපතිවරණය සඳහා ඩිමොක‍්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකයා 2020 අගෝස්තු 17 සිට 20 දින තෙක් පැවැත්වීමට නියමිතව තිබූ පක්‍ෂ සම්මේලනයේදී නම් කළ යුතු වූ අතර ඒ සඳහා සුදුස්සා තෝරාගැනීම පිණිස පක්‍ෂය විසින් සිදුකෙරෙන ප‍්‍රාථමික ඡන්ද විමසීම එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත 50 තුළම සිදුකෙරුණ අතර එය 2020 පෙබරවාරි 03 සිට අගෝස්තු 11 දක්වා කාලය තුළ පැවැත්විණි.
 
 ප‍්‍රධාන අපේක්‍ෂකයන් 29 දෙනෙකු මුල්වටයේ අපේක්‍ෂකත්වය සඳහා සිය අභිලාෂය ප‍්‍රකාශ කරන ලද අතර එය ඇමෙරිකානු ඉතිහාසයේ පක්‍ෂ අපේක්‍ෂකත්වය සඳහා ඉදිරිපත් වූ ඉහළම අපේක්‍ෂක සංඛ්‍යාව විය.
 
 බයිඩන් 2019 ආරම්භයේ සිටම සිය අපේක්‍ෂකත්ව සටන ආරම්භ කර තිබුණ අතර බර්නි සැන්ඩර්ස් සහ එලිසබෙත් වොරන් ඔහුට තියුණු තරගයක් ලබාදෙමින් සිටියේය. බයිඩන් දකුණු කැරොලිනා ප‍්‍රාන්තය අතිමහත් බහුතරයකින් ජයගැනීමත් සමග අපේක්‍ෂකයන් කිහිපදෙනෙකුම තරගයෙන් ඉවත්ව බයිඩන්ට සහාය පළ කරන ලදි. අවසානයේ අපේක්‍ෂකත්ව තරගය පැවතියේ සැන්ඩර්ස්, වොරන් සහ බයිඩන් අතර පමණි.
 
 සුපිරි අඟහරුවාදා ලෙස හැඳින්වෙන තීරණාත්මක ප‍්‍රාථමික මැතිවරණ දිනයේදී බයිඩන් ඒකක 15 න් 12 ක් ජයග‍්‍රහණය කිරීම හේතුවෙන් ඉතිරි අපේක්‍ෂකයන් පිරිස ද තරගයෙන් ඉවත් වූ අතර ඉතිරිව සිටි එකම අපේක්‍ෂකයා වූ බර්නි සැන්ඩර්ස් අපේ‍්‍රල් 08 වන දින තරගයෙන් ඉවත්වීම මත බයිඩන් පෙරමුණ ගත්තේය.
 
 අගෝස්තු 11 වන දින බයිඩන් තම උප ජනාධිපති ලෙස ඉන්දීය - ඇමෙරිකානු සම්භවයක් සහිත කමලා හැරිස් නම් කළ අතර අගෝස්තු 19 වන දින පැවැති ජාතික සම්මේලනයේදී බයිඩන් කමලා හැරිස් සුසංයෝගය 2020 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයන් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශ කෙරිණි.
 
 වාර්තා තබමින් දිනූ බයිඩන්
 
america577 හැවිරිදි ජෝ බයිඩන් සහ 56 හැවිරිදි කමලා හැරිස් නොවැම්බර් 03 වන දින පැවැති 2020 ජනාධිපතිවරණය ජයගත්තේ ඓතිහාසික සහ කිසිවෙකුටත් පහසුවෙන් නොබිඳිය හැකි වාර්තා රැසක් තබමිනි. වසර 231 ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉහළම ඡන්ද ප‍්‍රමාණය මෙවර වාර්තා වී ඇති අතර දරුණු ලෙස පැතිර යන කොවිඞ් 19 වසංගතයේ බලපෑම මධ්‍යයේ වුවත් මිලියන 161 කට අධික ජනතාවක් ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කර ඇත. ප‍්‍රතිශතයක් ලෙස ගත්කල මෙය 66.08%ක අගයක් වන අතර එය 1900 න් පසු වාර්තාගත ඉහළම ප‍්‍රතිශතයයි. (රිපබ්ලිකන් අපේක්‍ෂක විලියම් මැකින්ලින් ජයගත් 1900 ජනාධිපතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය 73.7%කි.) එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම ඡන්දය ප‍්‍රකාශ කිරිමේ අවස්ථාව ද වන 2020 ජනාධිපතිවරණයේ ඇතැම් මධ්‍යස්ථානවල තවමත් ඡන්ද ගණන් කිරීම සිදුවෙමින් පැවතිය ද ඩිමොක‍්‍රටික් අපේක්‍ෂක ජෝ බයිඩන් මේ වන විටත්් මිලියන 74.4 කට අධික ඡන්ද ප‍්‍රමාණයක් දිනාගෙන තිබෙන අතර එය එක්සත් ජනපද ජනාධිපතිවරණයකදී අපේක්‍ෂකයකු ලබාගත් ඉහළම ඡන්ද ප‍්‍රමාණය ලෙසට වාර්තාගතව ඇත. ගණන් කිරීම අවසානයේ මෙම අගයන් තවදුරටත් ඉහළ යෑම අනිවාර්ය බව මතක තබා ගත යුතුය. බයිඩන් ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති ධුරයට පත්වූ වයස්ගතම පුද්ගලයා ලෙසද වාර්තාගත වේ. බයිඩන් සිය පළමු ධුර කාලය අවසානයේ විශ‍්‍රාම යනු ඇතැයි අනාවැකි පළව තිබූ අතර ජනාධිපති ට‍්‍රම්ප් මැතිවරණ වේදිකාවේ වයස්ගතභාවය හේතුවෙන් මානසික ඒකාග‍්‍රතාවය අඩුවීමෙන් බයිඩන්ට ධුරයේ කටයුතු සාර්ථකව කළ නොහැකි වේයැයි ප‍්‍රශ්නාර්ථයක් මතුකර තිබුණි. කෙසේ වෙතත් සිය ජයග‍්‍රහණයෙන් අනතුරුව ඊට ප‍්‍රතිචාර දක්වමින් බයිඩන් ඉඟිකර තිබුණේ දෙවන වාරයේ තරගය සඳහා ද ඔහු සූදානමින් සිටින බවයි.
 
 කවුද මේ කමලා හැරිස්
 

america6ජැමෙයිකානු සම්භවයක් සහිත පියෙකුට සහ ඉන්දීය සම්භවයක් සහිත මවකට දාව ඇමෙරිකාවේ ඉපදුන කළු හම සහිත කාන්තාවක් නොවැම්බර් 03 වැනිදා ඇමෙරිකානු ඉතිහාසයේ නව පරිච්ෙඡ්දයක් නිර්මාණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය සඳහා තේරී පත්වීමට සමත් වූවාය. කමලා දේවි හැරිස් නම් මේ අපූරු චරිතය සම්බන්ධ කරුණු සොයා බැලීම බොහෝ දෙනාගේ උනන්දුව වඩවන කාරණයක් වනු නොඅනුමානය.
 
 එක්සත් ජනපද ඉතිහාසයේ උප ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව, පළමු කළු ජාතික කාන්තාව, පළමු ඉන්දියානු-ඇමෙරිකානු කාන්තාව, දෙවන අප‍්‍රිකානු - ඇමෙරිකානු ජාතිකයා මෙන්ම පළමු ආසියාතික සම්භවයකින් යුක්ත තැනැත්තා වන්නේ ද ඇයයි.
 
 පවුල සහ ළමා කාලය
 

1964 ඔක්තෝබර් 20 වැනි දින කැලිෆෝර්නියාවේ ඕක්ලන්ඞ් උපත ලද කමලා හැරිස්ගේ මව ජෛව වෛද්‍ය විද්‍යාඥවරියකි. ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ චෙන්නායිහි උපත ලබන ඇය ආචාර්ය උපාධිය හැදෑරිම සඳහා ඇමෙරිකාවට සංක‍්‍රමණය වූ අතර කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයෙන් 1964 වසරේ ආචාර්ය උපාධිය ලබාගන්නා ලදී.
 
 එම කාල සීමාවේදී හමු වූ ජැමෙයිකානු ජාතික ආචාර්ය උපාධි අපේක්‍ෂකයෙකු වූ ඩොනල්ඞ් ජේ. හැරිස් සමග 1963 වසරේදී ශ්‍යාමලා විවාහ වන අතර එම විවාහයෙන් හැරිස් යුවලට කමලා සහ මායා නමින් දියණියන් දෙදෙනෙකු ලැබුණි. ඩොනල්ඞ් ජේ. හැරිස් පසුව ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතර ඔවුන් දෙදෙනා 1970 දශකයේ මුල් භාගයේදී දික්කසාද වූ බැවින් කමලා සහ මායා හැදී වැඩුනේ සිය මව වන ශ්‍යාමලා සමගිනි. ඔවුන් දික්කසාද වන විට කමලා සත්වැනි වියෙහි පසු වූවාය. දෙමාපියන් වෙන් වුවද කමලා සහ නැගණිය ඉන්දියාවේ සිය මවගේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන අතර කිහිප වතාවක් ජැමෙයිකාවේ සිටි සිය පියාගේ පවුලේ සාමාජිකයන් හමුවීමට ද ගොස් ඇත.
 
 අධ්‍යාපනය
 
කමලා හැරිස් 1986 වර්ෂයේදී සිය බී.ඒ. උපාධි ලබාගත්තේ වොෂින්ටන්හි පිහිටි හොවාර්ඞ් විශ්වවිද්‍යාලයෙනි. හොවාර්ඞ් විශ්වවිද්‍යාලය යනු 1964 වර්ෂයේ සිවිල් අයිතිවාසිකම් පනත ක‍්‍රියාත්මක වීමට පෙර අප‍්‍රිකානු ඇමෙරිකානු සම්භවයකින් යුත් පුද්ගලයන්ගේ අධ්‍යාපනය සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ආයතන වලින් එකකි. මෙවැනි පාසල් සහ විශ්වවිද්‍යාල ඓතිහාසික කළු පාසල් සහ විශ්වවිද්‍යාල වශයෙන් හැඳින්වේ.(එච්.බී.සී.යූ.)හැරිස්ගේ උපාධියට දේශපාලන විද්‍යාව හා ආර්ථිික විද්‍යාව ඇතුළත්ය.
 
 කමලා 1989 වසරේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ හේස්ටිංග්ස් නීති විද්‍යාලයෙන් නීතිය සඳහා වන ජුරිස් ඩොක්ටර් (ජේ.ඞී.) උපාධිය ලබාගන්නා ලද අතර නීති විද්‍යාලයේ සිටියදී ඇය කළු ජාතික නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කළාය. 1990 කැලිෆෝර්නියා නීතිඥ සංගමයට ඇතුළත් වෙමින් ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.
 
 විවාහය
 
 

america7

කමලා හැරිස් 2014 අගෝස්තු 22 වන දින නීති වෘත්තිකයෙකු වූ ඩග්ලස් කේ‍්‍රග් එම්හෝෆ් සමග විවාහ වූ අතර සිය පළමු විවාහයෙන් දික්කසාද වී සිටි එම්හෝෆ් ඒ වන විට දරුවන් දෙදෙනෙකුගේ පියෙකු විය.එම්හෝෆ්ගේ දරුවන් දෙදෙනා සිය සුළු මව වන කමලාට ආදරයට අමතන්නේ ”මොමාලා” යනුවෙනි. කමලා සහ එම්හෝෆ් යුවලට තවමත් දරුවන් නැත.
 
 වෘත්තීය ජීවිතය
 
 1990 වසරේදී කමලා හැරිස් කැලිෆෝර්නියාවේ ඇලමෙඩා දිස්ත‍්‍රික්කයේ නියෝජ්‍ය නීති අධ්‍යක්‍ෂ ලෙස පත්වීම් ලබන අතර 2003 වසරේදී ඇය සැන්ෆ‍්‍රැන්සිස්කෝ දිස්ත‍්‍රික් නීතිපතිවරයා වශයෙන් තරග වැදීමට ඉදිරිපත් විය. 56% ක ප‍්‍රතිශතයකින් තරගය ජයග‍්‍රහණය කළ හැරිස් සැන් ෆ‍්‍රැන්සිස්කෝහි නීතිපති තනතුරට පත් පළමු කළු ජාතිකයා ලෙස වාර්තාගත වූවාය. කමලා 2011 වසරේදී කැලිෆෝර්නියාවේ නීතිපති තනතුරට තරග කිරිමට ඉදිරිපත් වූ අතර එහිදී පසුගිය කාලයේ කොංග‍්‍රස් සභාවේ කථානායක වශයෙන් කටයුතු කළ නැන්සි පෙලෝසි ගේ සහ ඩිමොක‍්‍රටික් සෙනේට් සභිකයන් වැඩි පිරිසකගේ සහයෝගය ඇයට ලැබුණි. රිපබ්ලිකන් අපේක්‍ෂක ස්ටීව් කුලී සමග පැවැති තියුණු තරගයකින් අනතුරුව ජයගත් කමලා හැරිස් කැලිෆෝර්නියාවේ නීතිපති ධුරයට පත් පළමු කාන්තාව, පළමු අප‍්‍රිකානු- ඇමෙරිකානුවා මෙන්ම පළමු දකුණු ආසියානු ඇමෙරිකානුවා වශයෙන් ඉතිහාස ගත වෙමින් 2011 ජනවාරි 08 වන දින නීතිපති වශයෙන් දිව්රුම් දුන්නාය.
 
 දේශපාලන ආගමනය
 
 වසර 24 ක කාලයක් කැලිෆෝර්නියාවේ සෙනේට් සභිකයා ලෙස කටයුතු කළ බාබරා බොක්සර් විශ‍්‍රාම යෑම හේතුවෙන් 2016 වසරේදී සිට කැලිෆෝර්නියා සෙනේට් අසුන පුරප්පාඩු වීමට නියමිත විය. එම තනතුර වෙනුවෙන් තරග වදින බව නිවේදනය කළ පළමු තැනැත්තිය බවට පත්වෙමින් කමලා හැරිස් සිය අභිලාෂය 2015 වසරේ මුල නිවේදනය කළ අතර ජනවාරි 13 වන දින නිල වශයෙන් ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කළාය. ජුලි 19 වන දින ජනාධිපති බරක් ඔබාමා සහ උප ජනාධිපති ජෝ බයිඩන් ඇයගේ අපේක්‍ෂකත්වය අනුමත කළ අතර 2016 නොවැම්බර් මස පැවැති මැතිවරණයෙන් 60% කට අධික ප‍්‍රතිශතයකින් සිය පක්‍ෂයේම අපේක්‍ෂිකා ලොරේටා සැන්චෙස් පරාජය කරමින් සෙනේට් මන්ත‍්‍රී අසුන දිනාගත් ඇය මේ වන තෙක් එහි රැඳී සිටී. සෙනේට් සභිකයෙක් ලෙස කටයුතු කරන කාලය තුළ ට‍්‍රම්ප් පාලනයට එරෙහිව කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ කමලා, ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේදී ද ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිය පක්‍ෂයේ මෙන්ම රටවැසියන්ගේ ද අවධානය දිනාගැනීමට සමත් වූවාය.
 
 2020 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකු ලෙස
 
 කමලා හැරිස් 2020 ජනාධිතිවරණයේ ඩිමොක‍්‍රටික් අපේක්‍ෂකත්වය සඳහා තරග වැදීමේ සිය අභිලාෂය 2019 ජනවාරි 21 වන දින නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළ අතර ඉන් පැය 24 ක් ගතවීමටත් මත්තෙන් පළමු පැය 24 තුළ වැඩිම අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන් 2016 වසරේදී බර්නි සැන්ඩර්ස් තබා තිබූ වාර්තාව අභිබවා යෑමට ඇයට හැකියාව ලැබුණි.
 
 ඩිමොක‍්‍රටික් අපේක්‍ෂකත්ව සටන තුළ 2019 ජුනි මස පැවැති සිය පළමු විවාදයේදී තරගකාරි අපේක්‍ෂකයෙකු වූ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් හානිදායක ප‍්‍රකාශ සිදුකරන්නෙක් ලෙස හඳුන්වමින් බැණ වැදීම මගින් සිය ජනප‍්‍රියත්ව ලකුණු 6 සිට 9 දක්වා ඉහළ නංවා ගැනීමට ඇය සමත් වූවාය.
 
 අරමුදල් රැස්කරගැනීමේදී ඇතිවූ පසුබෑම් හේතුකොටගෙන සිය ජනාධිපතිවරණ අපේක්‍ෂකත්ව ව්‍යාපාරය අත්හිටුවන බව ඇය 2019 දෙසැම්බර් 03 වැනි දින නිල වශයෙන් නිවේදනය කළ අතර 2020 මාර්තු මාසයේදී බයිඩන්ට සහාය පළකිරීම සඳහා එකතු විය.
 
 උප ජනාධිපති ලෙස තරගයට
 
 බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක ලෙස ඉදිරියට යන අතර උප ජනාධිපති තනතුර සඳහා ද වෙනම තරගයක් තිරය පිටුපස නිර්මාණය වෙමින් පැවතුනි. මාර්තු මාසය වන විට බයිඩන් සිය උප ජනාධිපති ලෙස නම් කිරීම සඳහා සුදුසු පුද්ගලයන් පිළිබද සලකා බලමින් සිටියේය. බයිඩන්ගේ උප ජනාධිපති ලෙස පත්කිරීම සඳහා පුද්ගලයන් දුසිමකට වැඩි පිරිසක් තරගයට එක්ව සිටි අතර කාන්තාවක් පත්කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලකින් සොයා බැලූනි. ඒ තුළ එළිසබෙත් වොරන්, කෙයිෂා ලාන්ස් බොටම්ස් වැනි ප‍්‍රසිද්ධ චරිත ද සිටි නමුත් 2020 මැයි මාසයේදී ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතන සිදුවීමත් සමග ලොව පුරා හමා යමින් තිබුණ කළු ජාතිකයන් සඳහා වන අනුකම්පාවේ රැල්ල කමලා හැරිස්ට වාසි සහගත ලෙස ක‍්‍රියාත්මක වෙමින් තිබුණි. අවසානයේදී අගෝස්තු 11 වැනි දින බයිඩන් තම උප ජනාධිපති ලෙස ඉන්දීය ඇමෙරිකානු සම්භවයක් සහිත කමලා හැරිස් නම් කළ අතර අගෝස්තු 19 වන දින පැවැති ජාතික සම්මේලනයේදී බයිඩන් කමලා හැරිස් සුසංයෝගය 2020 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයන් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශ කෙරිණි. කමලා හැරිස් එලැඹෙන වසරේ ජනවාරි 20 වැනි දින උප ජනාධිපතිවරිය ලෙස රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
 
 පවුල සහ ළමා කාලය
 
 1946 ජුනි 14 වැනි දින නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස්හිදී දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක සිව්වැන්නා ලෙස උපත ලද ඩොනල්ඞ් ජෝන් ට‍්‍රම්ප්ගේ පියා ජර්මානු සංක‍්‍රමණිකයෙක් වූ ”ෆ්‍රෙඞ්රික් ක‍්‍රිස්ට් ට‍්‍රම්ප්” වන අතර මව ස්කොට්ලන්ත ජාතික ”මේරි මෙලන් මැක්ලියොඞ්ට් ට‍්‍රම්ප්ය. ෆ්‍රෙඞ්රික් ට‍්‍රම්ප් දේපල සංවර්ධන ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කළ අතර මව රැකියාවක් කළේ නැත. පළමු ශ්‍රේණියේ සිට 7 වැනි ශ්‍රේණිය දක්වා ”කියෙව් ෆොරස්ට් පාසලේ” අධ්‍යාපනය ලද ට‍්‍රම්ප් වයස අවුරුදු 13 දී එනම් 1959 දී ”නිව්යෝර්ක් මිලිටරි ඇකඩමිය”ට ඇතුළත් විය. 1964 වසරේදී ”පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය”ට අනුබද්ධ ”වෝල්ටන් මූල්‍ය හා වාණිජ පාසලට ඇතුළත් වූ ඔහු 1968 වර්ෂයේදී ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය ලබාගත්තේය.
 
 1968 වසරේදී තරුණ ට‍්‍රම්ප් අස්ථි ආබාධ තත්ත්වයක් සම්බන්ධ රෝග විනිශ්චයක් ලබා ගත් අතර ඒ හේතුවෙන් වියට්නාම් යුද්ධය සඳහා වූ අනිවාර්ය කැඳවීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාව ලැබුණි. 1971 වසරේදී ඔහු සිය පියාගේ දේපල සංවර්ධන ව්‍යාපාරය සඳහා සහාය වෙමින් පූර්ණකාලීනව සේවයට එක්විය. ඒ කාලයේ ට‍්‍රම්ප්ගේ පියාගේ ව්‍යාපාරය කුලී නිවාස ඒකක 10000 ක් පමණ කළමනාකරණය කළ අතර තරුණ ට‍්‍රම්ප් එම ප‍්‍රමාණය 22000 දක්වා වර්ධනය කිරීමට සමත්වූ බව කියැවේ. 1974 ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියාගේ ව්‍යාපාර සමූහයේ සභාපති ධුරයට පත්වන අතර අනතුරුව ඔහු ව්‍යාපාරය ”ට‍්‍රම්ප් සංවිධානය” ලෙස නම් කිරීමට කටයුතු කළේය.
 
 ව්‍යාපාරිකයෙක් ලෙස ඉදිරියට ගිය ට‍්‍රම්ප්
 

america81970 දශකයේ අග භාගයේදී ට‍්‍රම්ප් සිය සංවිධානයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට කටයුතු කළ අතර එමගින් අධික ලාභ ලබමින් ව්‍යාපාරය දැවැන්ත තත්්ත්වයෙන් නගා සිටුවීමට සමත් විය. මෑන් හැටන්, අත්ලාන්තික් සහ නිව් ජර්සි නගර කේන්ද්‍රකර ගනිමින් සුඛෝපභෝගි මහල් නිවාස සහ හෝටල් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ඔහු කටයුතු කළේය. 1976 වසරේදී ට‍්‍රම්ප් නිව්යෝර්ක්හි ප‍්‍රධාන දුම්රිය පර්යන්තයට යාබද පැවැති අබලන් ”කොමදෝරු හෝටලය” ”හයට්” සමූහයේ සහයෝගීතාවයෙන් මිලදී ගත් අතර මෙම අති විශාල ගනුදෙනුව සඳහා නිව්යෝර්ක්හි තම පියාගේ දේශපාලන සම්බන්ධතා උපයෝගී කර ගනිමින් විශාල බදු සහන ලබා ගැනීමට ද කි‍්‍රයා කළේය. නවීකරණය කළ හෝටලය 1980 වසරේදී ”ග‍්‍රෑන්ඞ් හයට්” නමින් විවෘත කළ අතර එය කාමර 1400 කින් යුතු සුඛෝපභෝගී හෝටලයක් විය.
 
 මෑන් හැටන්හි 56 වන වීදියේ පස්වන පටුමගෙහි ”ට‍්‍රම්ප් ටවර්” නමින් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්, කාර්යාල හා වෙළෙඳසල් ඇතුළත් මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් 1983 වසරේදී ට‍්‍රම්ප් සමූහය විසින් විවෘත කළ අතර එය මීටර් 202 ක් උස මහල් 58 කින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් විය. ට‍්‍රම්ප් සමූහයේ මූලස්ථානය පිහිටුවා ඇති මෙම ගොඩනැගිල්ල ට‍්‍රම්ප්ගේ දරුවන් විසින් කළමනාකරණය කරනු ලැබේ. ”ෆෝබ්ස්” සගරාවට අනුව මෙම ප‍්‍රධාන ගොඩනැගිල්ල හැරුණු කොට ට‍්‍රම්ප් ටවර් යනුවෙන් නම් කෙරුණ කොන්ඩෝ හෝටල් 7 ක් සහ තවත් ව්‍යාපෘති 33 ක් පමණ ඇමෙරිකාව පුරා ක‍්‍රියාත්මක තත්ත්වයේ පවතී.
 
 ට‍්‍රම්ප් අත්ලාන්තික් නගරයේ කැසිනෝ ව්‍යාපාරය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන ලදී. ”ට‍්‍රම්ප් ප්ලාසා” ”ට‍්‍රම්ප් කාසල් කැසිනෝ රිසෝට්” සහ ”ට‍්‍රම්ප් ටජ් මහල්” යනුවෙන් නම් කරන ලද ලොව විශාලතම කැසිනෝ සංකීර්ණය ද මේ අතරට ඇතුළත් විය. ට‍්‍රම්ප් ටජ් මහල ආරම්භයේදී ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම්වල හඳුන්වාදී තිබුණේ ලොව අටවන පුදුමය ලෙස වන අතර එය පාඩු ලබන තත්ත්වයට පත්වීමෙන් පසුව 2016 වසා දමන ලදී. පසුව ”හාර්ඞ්රොක් ඉන්ටර්නැෂනල්” සමාගමට විකුණා දමනු ලදුව 2018 දී ”හාර්ඞ්රොක්” සන්නාමය යටතේ නැවත විවෘත වී ඇත.
 
 ඉක්මනින්ම ඇමෙරිකාවේ ප‍්‍රසිද්ධ බිලියනපතියෙකු වූ ට‍්‍රම්ප් මෙම කාලයේ ”නිව් ජර්සි ජෙනරල්ස්” පාපන්දු කණ්ඩායම මිලට ගත් අතර ෆ්ලොරිඩාවේ ෆාම් බීච් හි කාමර 118 කින් යුතු ”මාර්-එ- ලාගෝ” නම් මන්දිරය ද මිලට ගත්තේය. සිය විශේෂ අමුත්තන් සමග හමුවීම් සඳහා ට‍්‍රම්ප් දැනට ද භාවිතා කරන්නේ මෙම මන්දිරයයි. අඩි 282 දිගකින් යුත් සුඛෝපභෝගී මගී ප‍්‍රවාහන යාත‍්‍රාවක් මිලට ගත් ඔහු එය ”ට‍්‍රම්ප් කුමරිය” ලෙස නම් කළ අතර ඊස්ට් කෝස්ට් ගුවන් ෂට්ල් සේවාව මිලට ගත් ඔහු එය ”ට‍්‍රම්ප් ෂට්ල්” ලෙස නම් කළේය.
 
 විවාහ තුනකට ඇතුළත් වූ ට‍්‍රම්ප්
 
 විවාහ තුනකට ඇතුළත්ව ඇති ට‍්‍රම්ප් දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔහුගේ පළමු විවාහය 1977 වසරේදී චෙක් නිරූපිකාවක් වන ”ඉවානා සෙල්නකොව් වින්ක්ල්මයර්” සමග වූ අතර එයින් ”ඩොනල්ඞ්(කණිෂ්ඨ), ඉවන්කා සහ එරික් යනුවෙන් දරුවන් තිදෙනෙක් ලැබීය. ට‍්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කරන ඉවන්කා රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවලදී ලොව පුරා ප‍්‍රසිද්ධ චරිතයක් වේ. 1992 දී තම පළමු විවාහයෙන් දික්කසාද වූ ට‍්‍රම්ප් 1993 වසරේදී ඇමෙරිකානු නිළියක් වන ”මාර්ලා මේපල්ස්” සමග විවාහ විය. එම විවාහයෙන් ”ටිෆනි” නම් දියණියක් ලැබෙන අතර වසර 6 කට පසු ට‍්‍රම්ප් සිය දෙවන විවාහයෙන්ද දික්කසාද වේ. 2005 වසරේදී නැවතත් ස්ලෝවේනියානු නිරූපිකාවක් වන ”මෙලනියා ක්නෝස්” සමග විවාහ වන අතර 2006 වසරේදී ”බැරන්ට් නම් පුතෙකු ලැබීය. ට‍්‍රම්ප් 2016 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙලනියා එක්සත් ජනපද පළමු කාන්තාව වූ අතර විදේශයක උපත ලද දෙවන එක්සත් ජනපද ජනපති ආර්යාව වශයෙන් ඇය සැලකේ.
 
 1995 වසරේදී ට‍්‍රම්ප් ”මිස් යුනිවර්ස්”, ”මිස් යූ.එස්” සහ ”මිස් ටීන් යූ.එස්.” තරග සංවිධානය කළ ”එන්.බී.සී. රූපවාහිනී ජාලය” සමග අනුග‍්‍රාහකත්ව ගිවිසුමක් අත්සන් කරමින් එම තරග පැවැත්වීමට කටයුතු කරන ලද අතර 2004 වසරේදී තමාද රඟපෑමට එක් වෙමින් ”ආධුනිකයා” නම් රියැලිටි කථා මාලාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ට‍්‍රම්ප්ගේ පළමු විවාහයේ තුන්වන දරුවා වන එරික් ට‍්‍රම්ප් ද මෙම කථා මාලාවේ කථාංග 23 ක් සඳහා රංගනයෙන් දායක වී ඇත.
 
 ජනපති වූ ට‍්‍රම්ප්
 
 1980 දශකයේ සිට වරින් වර එක්සත් ජනපද ජනපති ධුරය සඳහා තරග වැදීමට ඇති තම කැමැත්ත ට‍්‍රම්ප් විසින් විටින් විට එළිදක්වා ඇති නමුත් ඔහුට තවත් බොහෝ කාලයක් යන තෙක් ඒ සඳහා අවස්ථාව හිමි වූයේ නැත. 1999 දී ඔහු රිපබ්ලිකන් පාක්‍ෂිකත්වය අතහැර ප‍්‍රතිසංස්කරණ පක්‍ෂය වෙත මාරු වූ අතර ජනාධිපතිවරණය සඳහා අභිලාෂයෙන් කටයුතු කරන ලදි.
 
 අනපේක්‍ෂිත පරාජයෙන් අනතුරුව
 
නීත්‍යානුකූල ලෙසට ඡන්ද ගණනය කිරීම සිදුවුවහොත් තම ජයග‍්‍රහණය අනිවාර්ය බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවස්ථා කිහිපයකදීම මාධ්‍ය අමතා ප‍්‍රකාශ කර ඇති අතර ඩිමොක‍්‍රටිකයන් තම ජයග‍්‍රහණය උදුරා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටී. මේ අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කයිලි මැක්නානි 9 වන සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ මැතිවරණය තවමත් අවසන්ව නැති බවයි.
 
 ප‍්‍රාන්ත කිහිපයක මැතිවරණ වංචා විමර්ශනය සඳහා බලය පවරමින් එක්සත් ජනපද නීතිපති විලියම් බාර් විසින් ෆෙඩරල් නඩු පවරන්නන්ට අවසර ලබාදී ඇති අතර එම ස්ථාවාරයට විරෝධය පළ කරමින් අධිකරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන රිචඞ් පිල්ගර් සිය තනතුරෙන් ඉල්ලා අස්විය. තම ස්ථාවරය පිළිබඳ අදහස් දක්වමින් බාර් මහතා ප‍්‍රකාශ කරන්නේ මැතිවරණ පැවැත්වීමේ මූලික වගකීම තනි රාජ්‍යයන්ට ඇති නමුත් ඇමෙරිකානු ජනතාවට මැතිවරණ ක‍්‍රියාවලිය සහ රජය කෙරෙහි පූර්ණ විශ්වාසය පවත්වාගත හැකි වන පරිදි මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා අධිකරණ දෙපාර්තමේන්තුවට බැඳීමක් තිබෙන බවයි.
 
 මේ අතර ජෝ බයිඩන්ගේ ජයග‍්‍රහණය ප‍්‍රාන්තය තුළ සහතික කිරීම වැළැක්වීම සඳහා ට‍්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රාන්ත අධිකරණයේ නඩුවක් ගොනු කරමින් හදිසි වාරණ නියෝගයක් ඉල්ලා සිටී.
 
 ඇමෙරිකානු ෆෙඩරල් නියෝජිතායතන කළමනාකරණය කරන සාමාන්‍ය සේවා පාලන ආයතනය මැතිවරණ ජයග‍්‍රාහකයෙකු පිළිබඳ නිශ්චිත තහවුරු කිරීමක් මෙතෙක් සිදුකර නැති බව පවසමින් බයිඩන් පරිපාලනයට විධිමත් ලෙස ආයතනවල පාලන බලය අත්පත් කර ගැනීමේ ක‍්‍රියාවලියට පහසුකම් සැලසීම අත්හිටුවා තිබේ.
 
 නව ජනාධිපතිවරයාගේ පාලන තන්ත‍්‍රයට තෝරාගත් අයවළුන් පිළිගැනීම, පාලන කටයුතු ආරම්භ කිරීමට ඔවුන්ට පහසුකම් සහ අරමුදල් සැපයීම සහ ඔවුන් පිළිගැනීම ජී.එස්.ඒ. නමින් හඳුන්වන මෙම ආයතනයට පැවරී තිබේ.
 
 2000 වසරේ පැවැති මතභේදාත්මක මැතිවරණයේදී හැර අන් අවස්ථාවලදී මෙම ක‍්‍රියාවලිය ගැටලූවකින් තොරව සිදු වූ අතර පාලනය භාරදීම දිගින් දිගටම ප‍්‍රමාද කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට සලකා බලමින් සිටින බව බයිඩන් පාර්ශ්වය ප‍්‍රකාශ කර ඇත.
 
 ජනාධිපති ට‍්‍රම්ප් මැතිවරණ සටන අතරතුර කිහිප වතාවක්ම කියා සිටියේ බයිඩන් ජයග‍්‍රහණය කළහොත් තමන් ඇමෙරිකාව හැර යන බවයි. දැන් බයිඩන් ජයග‍්‍රහණය කර ඇති බැවින් සිය ප‍්‍රකාශය ක‍්‍රියාත්මක කිරීමේ අභියෝගය ඔහු ඉදිරියේ ඇත. එසේ නමුත් තම ව්‍යාපාරික අධිරාජ්‍ය ඇමෙරිකාව තුළ පවතින හෙයින් එය අතහැර වෙනත් රටකට යෑමට ඔහුට කිසිම හැකියාවක් නැති බැවින් පසුගිය කාලය පුරාවටම සිදුකළ ලෙසට ඔහු මෙම අභියෝග ද මගහැර යනු ඇති බවට සැකයක් නැත.
 
 ඇමෙරිකානු පාලනයේ වෙනස
 ලෝක භූ දේශපාලනයට
 බලපාන්නේ කෙසේද ?
 

 

america9

ලොව විශාලතම ආර්ථිකයට තවමත් හිමිකම් කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. තවමත් ලෝකයේ යුද ආර්ථික බලවතා වන ඇමෙරිකාවේ දේශපාලන වෙනස්වීම් අඩු වැඩි වශයෙන් සමස්ත ලෝකයටම බලපෑම වැළැක්විය නොහැකි කාරණයක් බව පැහැදිලිය. සිව් වසරක රිපබ්ලිකන් පාලනයකින් පසු එලැඹෙන ඩිමොක‍්‍රටික් පාලනයේ වෙනස්කම් කවරේදැයි මේ සංක‍්‍රාන්ති සමයේ විමසා බැලීම කාලෝචිතය.
 
 තුන්වන ලෝකයේ රටවල ආණ්ඩු මාරුවෙන් මාරුවට ජාතික ප‍්‍රතිපත්ති මෙන්ම විදේශ ප‍්‍රතිපත්තීන් ද වෙනස්වීම සාමාන්‍ය තත්ත්වයක් වන නමුත් ඇමෙරිකාව වැනි දියුණු රටවල පාලකයන් මාරුවීම ජාතික සහ විදේශ ප‍්‍රතිපත්තීන්වල සැලකිය යුතු වෙනස්කම්වලට හේතු වන්නේ නැත.
 
 ඒ අනුව ට‍්‍රම්ප් පරිපාලනය යටතේ ක‍්‍රියාත්මක වූ උපායමාර්ගික ක‍්‍රියාමාර්ගයන් බයිඩන් පරිපාලනය යටතේ ද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ නමුත් ඒවායේ දෘශ්‍යමාන ක‍්‍රියාකාරිත්වයේ යම් යම් වෙනස්කම් පමණක් දැක ගැනීමට පුළුවන.
 
 බයිඩන් සිය දේශපාලන දිවියේ මුල්භාගයේ සිටම පරිසරය සම්බන්ධයෙන් වැඩි අවධාණයක් යොමුකර තිබුණ අතර ඔහු සිය ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී කිහිප වතාවක්ම අවධාරණය කර තිබුණේ හරිත පාලනයක් සඳහා තමන් කැපවන බවයි. විශේෂයෙන්ම ට‍්‍රම්ප් විසින් හිතුවක්කාර ලෙසට සිදු කළ පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන්ගෙන් ඉවත්වීම නැවත නිවැරදි කරන බව කියා තිබුණි. ඒ අනුව නැවත එම සම්මුතීන් බලාත්මක කිරීම බයිඩන් පරිපාලනය යටතේ සිදුවනු ඇත. බයිඩන් මෙන්ම කමලා හැරිස් ද ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණ ප‍්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනය කර ඇති බැවින් එහි යම් ලිහිල්වීමක් අපේක්‍ෂා කළ හැකිය. ඩිමොක‍්‍රටික් ප‍්‍රතිපත්තීන් නිසාවෙන් සහ උප ජනාධිපති කමලා හැරිස්ගේ බලපෑම හේතුවෙන් කළු ජාතිකයන් ඇතුළු සුළුජන කොටස්වලට යම් සහනශීලී වාතාවරණයක් ඉදිරියේදී ගොඩනැංවෙනු ඇති බව අපේක්‍ෂා කරනු ලැබේ.
 
 විදේශ ප‍්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනස්කම් දක්නට නොලැබෙනු ඇති නමුත් ඉන්දියානු සම්භවය සහිත කමලා හැරිස්ගේ බලපෑම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ දෙමළ ගැටලූව සම්බන්ධයෙන් සහනශීලී ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරනු ඇතැයි මත පළවෙමින් ඇත. කෙසේ වෙතත් චීනය සමග වන වෙළෙඳ යුද්ධය මෙන්ම මුස්ලිම් ත‍්‍රස්තවාදයට එරෙහිව ලොව පුරා කරනු ලබන මැදිහත්වීම ද ආර්ථික හා යුද ව්‍යාප්තකරණ උපායමාර්ගික ප‍්‍රවේශයන් ද බයිඩන් පරිපාලනය යටතේද නොවෙනස්ව ක‍්‍රියාත්මක වනු ඇති බවට සැකයක් නැත.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles