Divaina - කොරෝනාව මේ විදිහට තව අවුරුදු තුනක්වත් තියේවි... මද්‍යසාර දුම්වැටි සම්පූර්ණ යෙන් නතර කිරීමට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව අප මගහැර ගනිමින් සිටිනවා...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

corona

* මෙය සතුරන් දෙදෙනකුගේ සටනක් පෙනෙන සතුරා කොරෝනා වෛරසය
 

සාකච්ඡා කළේ -
සිරිමන්ත රත්නසේකර


නව කොරෝනා වසංගතය හමුවේ රට බැරෑරුම් ලෙස මුහුණ දෙමින් සිටී. එහි පවතින නවතම තත්ත්වය, ජනතා වගකීම, වසංගතය ආශිර්වාදයක් කර ගන්නේ කෙසේද ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විමසීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව මුණ ගැසුණෙමු.

පහතින් පෙළ ගැසෙන්නේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සමඟ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” කළ එම සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය - රෝගීන් හඳුනා ගැනීම කඩිනමින් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුල සිටම පැවසූ කාරණයක්. මේ වන විට රෝගීන් හඳුනා ගැනීමේ කාර්යය හරියාකාරව සිදු වනවාද?

පිළිතුර - මේ වන විට රෝගීන් හඹාගොස් හඳුනාගැනීම ඉතාම කාර්යක්ෂමයි. නැත්තම් මහජනතාවට හිතාගන්නවත් බැරි වේවි රෝගය පාලනය කරන්නේ කෙසේද කියලා.

ප‍්‍රශ්නය - හඳුනාගත් රෝගීන් සිතියම්ගත කිරීම තවමත් නිසි ලෙස සිදුවන්නේ නැහැ නේද?

පිළිතුර - හඳුනා ගන්නා රෝගීන්ගේ දත්ත සිතියම්ගත කරන්න යැයි අප මුල සිටම කිව්ව කාරණයක්. ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමට සිතියම්ගත කළොත් ජනතාවට රෝගීන් ඉන්න තැන්, ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කර ගන්න පුළුවන්. එවිට එම කලාප මඟහැර කටයුතු කරන ජනතාවට හැකියාව තිබෙනවා. එසේ නොවුණහොත් වෙන්නේ සෞඛ්‍ය අංශ, පොලිසිය සහ හමුදාව නිකුත් කරන මාධ්‍ය නිවේදන අනුව ජනතාවට කටයුතු කරන්න සිදුවීමයි. අපගේ වසංගත රෝග විද්‍යා අංශය මේ දත්ත දෙන්නේ දිස්ත‍්‍රික් මට්ටමට පමණයි. දිස්ත‍්‍රික්ක මට්ටමෙන් දත්තය දුන් පසු තමන් ඉන්න ප‍්‍රදේශය කොතරම් සුරක්ෂිත දැයි ජනතාවට තේරුම් ගන්න හැකියාවක් නැහැ.

ප‍්‍රශ්නය - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙය සෑහෙන කාලයක සිට සඳහන් කරන කාරණයක්. ඇයි එම කටයුතු සිදු නොවන්නේ?

පිළිතුර - අප කොපමණ කිව්වත් තවමත් ඒ දේ සිදුව නැහැ. ඒ අය එය කරන්නේ නැහැ. මේ පිළිබඳව අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් දැනුවත් කළා. ඔවුන් තවම දිස්ත‍්‍රික් මට්ටමින් එහා ගොස් රෝගීන් එළියට දෙන්නෙ නැහැ. මෙම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරු දස දෙනෙක් පමණ සිටිනවා. ඒ ඒ අයට සහාය වන තවත් ප‍්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් රැසක් ද සිටිනවා. ඒ වගේම පුහුණුවන ප‍්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. නමුත් මේ අය ඒවා බෙදාගෙන කරන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරු දෙතුන් දෙනෙක් මෙය තනිකරම අතට අරන් කරන්නේ.

ප‍්‍රජා විශේෂඥ වෛද්‍යවරු දෙසීයක් පමණ ඉන්නවා. නමුත් ඒ අය මේ මොහොතේ නිසි ලෙස ඒ ඒ තැන්වලට අනුයුක්ත කර නැහැ. වසංගත රෝග විද්‍යා අංශයේ අය තමන්ට පුළුවන් යැයි සිතමින් කටයුතු කරනවා. අපගේ අදහස එය සුදුසු නැති කාරණයක් බවයි. මෙය බෙදාගෙන කළයුතු වැඩක්.

වසංගතය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව අපගේ ශාඛාවක් තිබෙනවා. මම මෙම කරුණු ඔබට ඉදිරිපත් කරන්නේ අප සංගමය වෙත ඔවුන් කළ කරුණු දැක්වීම මත සිටයි.

මේ කාරණා පෙන්වා දෙන්නේ පුද්ගලිකව කිසිවකුට පහර දීමට හෝ චෝදනා කිරීමට නොවේ. අප නිරන්තරයෙන් කටයුතු කරන්නේ මෙම රෝගයෙන් ගොඩ එන්න ඕන කියන මතය පෙරදැරි කරගෙනයි. මෙම රෝගය පැතිරුණහොත් එහි ඇති භයානක කම අප හොඳින් දන්නවා. ඒ නිසා තමයි මෙම අඩුපාඩු පෙන්වා දෙන්නේ. නැත්නම් කාටවත් චෝදනා කර අඩුපාඩු පෙන්නා තෘප්තියක් ගන්න නෙවෙයි.

ඇත්තටම නව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩ භාර ගැනීමත් සමඟ සිතියම්ගත කිරීම, පරීක්ෂණ කටයුතු සහ පරීක්ෂණවල ප‍්‍රතිඵල වේගවත් වෙලා තිබෙනවා. ඒ බව පසුගිය දින හත නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඇත්තටම නව තත්ත්වය තුළ සතුටුදායක මට්ටමකට කටයුතු සිදුවන බව සඳහන් කරන්න ඕනෑ.

ප‍්‍රශ්නය - මේ වන විට මෙරට සිදුවන මරණ සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

පිළිතුර - අපගේ මරණ අනුපාතය සියයට දශම දෙකයි. මෙම තත්ත්වය ඇමරිකාවේ සියයට හතරයි. අප හොඳට කරනවා කියන එක පිළිගන්න ගමන් අඩුපාඩු පිළිගෙන ඉදිරිය සකස් කර ගන්න ඕනෑ.

ප‍්‍රශ්නය - බොහෝ විට මරණයට පත්වන්නේ බෝවන රෝග පවතින ආසාදිතයන් බව සඳහන් වන කාරණයක්. එය සත්‍යයක්ද?

පිළිතුර - පැහැදිලිවම ඔව්.. පසුගියදා ලැන්සන් යන ජර්නලය මියගිය අයගේ දත්ත විශ්ලේෂණය කර සඳහන් කළේ 96.2% ක් මියයෑම් සඳහා පසුබිම සකසා තිබෙන්නේ බෝ නොවන රෝග බවයි.බෝ නොවන රෝග නැත්නම් කොරෝනා රෝගයෙන් මියයෑම අවම බව ඔවුන් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඇත්තටම මෙය ද්විත්ව වසංගතයක්. මෙය සතුරන් දෙදෙනකුගේ සටනක්. පෙනෙන සතුරා කොරෝනා වෛරසය. නොපෙනෙන සතුරා බෝ නොවන රෝග.

ප‍්‍රශ්නය - එසේනම් බෝ නොවන රෝග සම්බන්ධයෙන් සමාන්තර අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය නොවේ ද ?

පිළිතුර - එය අත්‍යවශ්‍යම කාරණයක්. අප මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා. බෝ නොවන රෝග මැ`ඩලීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් දැන් රටට අවශ්‍යයි. දැන් බලන්න අපගේ ආයු කාලය එන්න එන්නම අඩු වෙනවා. දියවැඩියාව, හෘද රෝග, පිළිකා, ආතරයිටිස්, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග ඒ කාලේ වැළ`දුනේ වයස අවුරුදු 70ට වැඩි අයටයි. නමුත් දැන් වයස තිහ හතළියේ අයට වගේම කුඩා ළමුන්ටත් හැදෙනවා.

ප‍්‍රශ්නය - සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බෝ නොවන රෝගවලින් වැළැකීම සඳහා ගත යුතු ක‍්‍රියා මාර්ග කවරේද?

පිළිතුර - අප වස විසෙන් තොර ආහාරවලට යා යුතුයි. අදටත් අපි රුපියල් බිලියන දෙසීයක පමණ වස විස අපේ මහ පොළොවට වාර්ෂිකව එකතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව ඔහුගේ පාලන කාලය තුළ මෙය පැහැදිලිව නවතා දමන බව දක්වා තිබෙනවා.

වස විස මහ පොළොවට කෙතරම් එකතුවෙලා ද යන්න කියතොත් අද වස විස නැති වතුර ටිකක් බොන්න තැනක් නැහැ. වස ජලයට එකතුවීම නැති කරන්න ඕනෑ.

ප‍්‍රශ්නය - දුම් වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හට කොරෝනා වෛරසයෙන් සිදුවන හානිය ඉහළ බව ප‍්‍රකාශ වෙනවා. නමුත් තවත් ඇතැමුන් සඳහන් කරන්නේ අරක්කු චුට්ටක් බීම වෛරසය නැසීමට හේතු වන බවයි.

පිළිතුර - එය අමූලික බොරුවක්. කුමන තත්ත්වයක් තුළ වත් මත්ද්‍රව්‍ය දුම්වැටි ශරීරයට හිතකර නැහැ. මේවා බැඳ දැමීම සඳහා රජයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් මේ මොහොතේ අවශ්‍යයි. තැබෑරුම් වහන්න කියල කිව්වෙ අපි විතරයි. රතු කලාපයක වුවත් බාර් එකක් ඇරියොත් එතනට කොතරම් මිනිස්සු ප‍්‍රමාණයක් එකතු වෙලාද කියලා බලා ගන්න පුළුවන්. මේ මිනිස්සු මත්ද්‍රව්‍ය සඳහා පුදුම හාමතයකින් හා පුදුම අහේනියකින් ඉන්නේ. ඇසට නොපෙනෙන කොරෝනා වෛරස ආසාදිතයන් හොයාගෙන යන්න පුළුවන් ආරක්ෂක අංශ සිටින රටක ගමෙන් භාගයක්ම දන්න කසිප්පු පෙරන තැන් හොයාගන්න බැරි වීම පුදුමයක්. ඒකට හේතුව අපට හිතා ගන්නත් බැහැ. මේවා වහන්න කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණයි. මේ පවතින තත්ත්වය භාවිතා කර මත්ද්‍රව්‍ය සහ දුම්වැටි සම්පූර්ණයෙන්ම නතර කිරීමට වැඩ කටයුතු කළ හැකියි. නමුත් ඒ සඳහා වගකිවයුත්තන් නිසි දායකත්වයක්, නියෝජනයක් නැහැ. මේ ගැන අපගේ බලවත් අප‍්‍රසාදය පළ කරනවා. මධ්‍යසාර දුම්වැටි සම්පූර්ණයෙන් නතර කිරීමට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව අප මගහැර ගනිමින් සිටිනවා.

ප‍්‍රශ්නය - කොරෝනා වෛරසයෙන් ගැළවී සිටීමට ප‍්‍රතිශක්තිකරණය කෙතරම් වැදගත්ද?

පිළිතුර - කොරෝනා වෛරසය වැළැ`දුනහොත් එයට මුහුණ දෙන්න ඇති හොඳම ආයුධය තමයි ප‍්‍රතිශක්තිකරණය. ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට නම් ජලය පානය කළ යුතුයි. ඒ වගේම පලතුරු යුෂ පානය කිරීමත් ගොඩක් වැදගත්.

ප‍්‍රශ්නය - නමුත් අප රටේ වැඩිපුරම ප‍්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ පැණිබීම වර්ග පිළිබඳ නොවේද?

පිළිතුර - ඒක තමයි ප‍්‍රශ්නය. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පැහැදිලිවම සඳහන් කර තිබෙන්නේ පැණි බීම පානය නොකළ යුතු බවයි. පවතින කොරෝනා වසංගතය පැණිබීම සමාජය තුළින් අකර්මන්‍ය කිරීමට භාවිතා කළ හැකියි. මෙය හොඳ අවස්ථාවක්. නමුත් මෙම අවස්ථාව වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් ප‍්‍රයෝජනයට ගන්න බවක් පේන්න නැහැ. ඒ සඳහා ක‍්‍රියාශීලී වැඩපිළිවෙළකුත් පේන්න නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පාසල් ළමුන්ට වතුර පානය කිරීම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළවල් රැසක්ම ක‍්‍රියාත්මක කරමින් තිබෙනවා.

ප‍්‍රශ්නය - ළමුන්ට වතුර බොන්නත් උගන්නන්න ඕන වෙලාද?

පිළිතුර - ඔව්.. යුනිසෙෆ් ආයතනයත් වෙනම වතුර ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. වතුර පානය කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහන් රැසක් ඔවුන් ක‍්‍රියාත්මක කර තිබෙන්නේ. දැන් අප රටේ වෙනත් ක‍්‍රම මගින් වතුර පානය කිරීමට ඇති ඉඩකඩ ක‍්‍රම ක‍්‍රමයෙන් අහුරමින් තිබෙනවා. තරු කියලා කියාගන්න අයත් ඇතැම් ක‍්‍රීඩාවලින් ඉහළට ගොස් සිටින අයත් සමාජ වගකීම පැත්තකට දමා සල්ලි වෙනුවෙන් කටයුතු කරමින් පැණි බීම ප‍්‍රවර්ධනය කරමින් සිටිනවා. ඔවුන් පැණි බීම දැන්වීම්වලට ලැජ්ජා නැතිව පෙනී සිටිනවා. ඒ නිසා එම පැණිබීම අලෙවිය හොඳින් සිදුවෙනවා. ඇත්තටම අප පැණි බීමවලින් ජලයට සහ පලතුරු යුෂවලට මාරු විය යුතුයි. අපට ජලය පානය කිරීමට ළමුන්ට උගන්වන්න වෙලා තියෙන්නේ මේ තත්ත්වය නිසයි.

2002 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව සඳහන් කර තිබුණේ බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට කළ යුතු ප‍්‍රධාන කාර්යය තමන්ගේ රටේ පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියට යොමු වීම කියලයි. එය ඔවුන් ඉදිරිපත් කළ තිබුණේ විශාල පරීක්ෂණ දත්ත පදනම් කරගෙනයි.

ඇත්තටම අපගේ පාරම්පරික ආහාර රටාව තමයි අපගේ නිරෝගිකමට මූලික හේතුව වී තිබුණේ. බටහිර ජාතීන් අපගේ රට යටත් කරගන්න පෙර බෝ නොවන රෝග අපට තිබිලා නැහැ. එක රජ කෙනෙකුට දියවැඩියාව තිබුණා කියලා අහල තිබෙනවා ද?

අතීතයේ වගේ මුළුතැන්ගෙයි උයන්න පටන් ගන්න ඕනා. කොත්තු ප‍්‍රයිඞ් රයිස් වැනි කඬේ කෑම නොකා පාරම්පරික සහල්, වත්ත පිටියේ එළවළු, දේශීය කුළුබඩු කෑමට ගන්න ඕනා. ඒ වගේම ගෙවත්තේ වගා කරන්න පුරුදු වෙන්න ඕනෑ. ඒ වගේම ඒවා පරිභෝජනයට ගනිමින් අසල්වාසීන්ටත් ඵලදාව ලබා දෙන්න ඕනෑ. ‘‘ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං - විශ්වාසා පරමා ඥාතී” කියලයි අපි කිව්වේ. ඇත්තටම කොරෝනාවලට මුහුණ දෙන්න ඖෂධීය දේශීය කෑම වට්ටෝරු සහිත ආයුධ අප ළඟ ඕනෑවටත් වඩා තිබෙනවා. පරණ මුළුතැන්ගෙයට නැවත ඉඩ විවර කළ යුතුයි. ඇත්තටම අපට කොරෝනාවට අපට භිය වෙන්න දෙයක් නැහැ.

ප‍්‍රශ්නය - දුම් මුට්ටිය, දුම් වාෂ්ප ඇල්ලීමේ ක‍්‍රියාවලිය ගැන ඔබ සඳහන් කරන විට එය ඇතැමුන් සමච්චලයට පවා ලක්කර ඇති බව දක්නට තිබුණා.

පිළිතුර - ඔව්.. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් කළු සුද්දන් ඒ කටයුතු සඳහා හිනා වෙන බව අප දන්නවා. මේ අය නිසා එම ක‍්‍රියාවලියත් අත්හදා බලන්න තිබෙන අවස්ථාව මඟ හැරෙමින් තියෙන්නේ. චීනයේ සියයට අසූවක් පමණ දේශීය ක‍්‍රම අනුගමනය කර සාර්ථක ප‍්‍රතිඵල ලබා ගත්තා. අප රටේ ඇතැම් තීන්දු තීරණ ගන්නේ සුද්දා රටේ ඉන්න කාලෙටත් වඩා සුද්දට ගැති කළු සුද්දන් ටිකක්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන කටයුතු කරන අය ඇතැම් කළුසුද්දන් නිසා දේශීය දේ ආපස්සට යනවා. මේ නිසා තමයි කමිටුවලින් අනුමැතිය ගන්න ප‍්‍රමාද වී තිබෙන්නේ. මේ වගේ දේ කතා කරන අය වැද්දෝ කියලයි ඒ අය හිතන්නේ. පිටරට පෙති විතරයි බොන්න ඕනේ කියලා හිතන අයත් ඉන්නවා.

ප‍්‍රශ්නය - කොරෝනා වසංගතය නිසා මුළු ලෝකයම ආපස්සට ගමන් කරමින් තිබෙනවා. ඇත්තටම මෙම වසංගතය අපට ප‍්‍රයෝජනවත් දේ සඳහා භාවිතා කළ නොහැකිද.?

පිළිතුර - අනිවාර්යෙන්ම පුළුවන්. මම ඉහත කිව්වා වගේ දුම්වැටි මත්ද්‍රව්‍ය, වැරදි ආහාර රටාවන් අකර්මණ්‍ය කර දේශීය කෑම බීම ප‍්‍රවර්ධනය කිරීමට තිබූ අවස්ථාවන් අහිමි වෙමින් පවතිනවා. නමුත් කොරෝනා පෙනෙන සතුරා සහ නොපෙනෙන බෝ නොවන රෝග දෙකම නිසි ලෙස කළමනාකරණය කරගත හොත් අපට මෙම වසංගතයෙන් පරාජයක් අත් වන්නේ නැහැ. ඇත්තටම එසේ වුණොත් කොරෝනා නිසා අප ඵලදායී ජනතාවක් බවට පත්වෙනවා. අවුරුද්දක් ගත කර හරි බෝ නොවන රෝගවලින් ගොඩ එන්න පුළුවන් නම් මේ දෙකම එකට ගොඩ දාගත් දවසකට අප නිරෝගී ජාතියක් වේවි. ඒ දවසට අපට පෙර රජ කාලයේ මෙන් දහගුණයක් ශක්තියෙන් වැඩකර රට ගොඩ දැමිය හැකියි.

ප‍්‍රශ්නය - ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ගෙන්වීමේදී අයථා කටයුතු සිදුව ඇතැයි පැවසෙනවා.

පිළිතුර - මේ පිළිබඳව පසුගිය දිනවල වැඩි වැඩියෙන් කතා වුණා. මේ සියලූ කාරණා සඳහා තාක්ෂණික දායකත්වය ලබාගත යුතුයි. එම කටයුතු සඳහා වැඩි කාලයක් ගත වෙනවා නම් විදෙස් රටවල සහාය ලබාගෙන එම කටයුතු කඩිනම් කළ යුතුයි. මේ සියලූ කාරණා දේශපාලන ක‍්‍රමයකට විග‍්‍රහ කර ගැනීම නොකළ යුත්තක්.

ගැටලූකාරී තත්ත්වයක් මතු වෙනවා නම් තාක්ෂණික ඇගයීමක් කළ යුතුයි. ඊට පසුවයි ලංකාවට ගෙන ඒමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියයි සිදුවිය යුත්තේ. ඒ ගැන තමයි ප‍්‍රශ්නය ඇතිවී තිබෙන්නේ. ඖෂධය රාජ්‍ය අංශයෙන් ගෙනෙන විට මිල ගණන් අඩුකර ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. නමුත් පුද්ගලික අංශයේ දායකත්වයත් අවශ්‍ය තැන්වලදී ලබාගත යුතුයි. මේ සියල්ලත් සමඟ පාරදෘෂ්‍යභාවය තියාගෙන වැඩ කිරීම තමයි අප බලාපොරොත්තු වන්නේ.

ප‍්‍රශ්නය - මෙම වෛරසය මර්දනය කිරීම සඳහා එන්නතක් සොයා ගැනීමට තව කොපමණ කාලයක් යාවිද ?

පිළිතුර - එන්නත් එන්න තව වසරක් වැනි කාලයක් යාවි. ඒ ගැනත් 100% ක විශ්වාසය තියාගන්න අමාරුයි. ඇත්තටම එන්නත් සෑදීම සඳහා ප‍්‍රමාද වෙන්නේ ‘පේටන්ට්’ අයිතිය ගැනීමට ඇති අවශ්‍යතාවයයි. ඒ ඒ රටවල විද්‍යාඥ කණ්ඩායම් එකතුව වැඩ කරන්නේ නැහැ. මුදල් අරමුණු කරගනිමින් වැඩ කටයුතු කිරීම මෙහි ප‍්‍රමාදයට හේතුවයි. මෙය අවාසනාවන්ත තත්ත්වයක්.

ප‍්‍රශ්නය - එසේ නම් මෙම වසංගතය තව කොපමණ කාලයක් පවතී ද?

පිළිතුර - මෙය ගෝලීය වසංගතයක්. අප රටේ නැතත් ලෝකයෙන් මෙය තුරන් කිරීමට අඩුම වශයෙන් වසර දෙකක් වත් යාවි යැයි සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් පවතින අවදානම විමසිලිමත් භාවය ඉදිරි දෙවසර තුළ මග හරින්න බැහැ. අපගේ ජනතාව බෝ නොවන රෝග වලින් වළක්වා ගත්තොත් රටට ජයග‍්‍රහණයක් තිබේනවා. මේ සඳහා රජයට, සෞඛ්‍ය අංශවලට මෙන්ම මහජනතාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා. අර්බුදයකින් හොඳ ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට අප සූදානම් විය යුතුයි. අප මෙම අර්බුදයට මුහුණ දෙන ආකාරයට රටේ ඉදිරි අභිවෘද්ධිය සඳහා භාවිතා කළ හැකියි. අපගේ ආකල්ප සමහර අයට ජනප‍්‍රිය නොවන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති. කොරෝනා වෛරසය දුක් වීමට හේතුවක් කර නොගෙන වෛරසය ආශිර්වාදයක්ම කර ගැනීමයි මේ මොහොතේ කළ යුත්තේ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles