Divaina - පඬුවනට නයු වූ සිංහලයේ වියතාණෝ

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

paduwana
 
 අනුදි නිසල්යා වීරසිංහ
 
හරිශ්චන්ද්‍ර විජේතුංගයන් මෙම මස 25 වැනිදා තම 90 වැනි දිවි කඩඉම පසු කරයි. මෙම ලිපිය එ් නිමිත්තෙනි. වර්ෂ 1931 ඔක්තෝබර් 25 වැනිදා මිනුවන්ගොඩ මැඩෑමුල්ල නම් සුන්දර ග‍්‍රාමයෙහි දේශීය අක්ෂි වෛද්‍යවරයෙකු වූ ඩබ්ලිව්.එම්.ඞී.බී. විජේතුංග සහ අමරාවතී ජයසිංහ යන දෙපලට දාව අටදෙනෙකුගෙන් යුතු පවුලේ හතරවැනියා ලෙස ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංගයන් මෙලොව එළිය දුටුවේය. මිනුවන්ගොඩ ද්වීභාෂා පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලබාගත් ඔහු දෙවන ලෝක සංග‍්‍රාමයෙහි ආරක්ෂක හේතුන් මත මිනුවන්ගොඩට රැගෙන ආ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ශාඛාවකට ඇතුළත් වී ද්විතීක අධ්‍යාපනය ලැබීය. දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් අනතුරුව කොළඹ නාලන්දාව, මිනුවන්ගොඩින් නැවත කොළඹට රැගෙන ආ අතර එ් හේතුවෙන් විජේතුංගයන් කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය. කරුණාරත්න අබේසේකර, ධර්මසේන ආටිගල, රූපා ජයතිලක, හෙන්රි ජයසේන, ගුණදාස අමරසේකර ආදී වියතුන් විජේතුංගයන්ගේ සමකාලීන පංති සගයෝ ය. ජීව විද්‍යා අංශයෙන් ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ඉන් උසස් ලෙස සමත් වූ විජේතුංගයන් ඉන් අනතුරුව ලංකා විශ්වවිද්‍යාලයෙහි (වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලය) විද්‍යා පීඨයට ඇතුළත් වීමට වරම් හිමිකර ගත්තේය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි කොටසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රැගෙන ගිය අතර ලංකා විශ්වවිද්‍යාලයෙහි හිස් වූ ගොඩනැගිල්ලක සිංහල ශබ්දකෝෂ කාර්යාලයක් ආරම්භ කිරීමට එකල රජය විසින් කටයුතු කරන්නට විය. සිංහල පඬිරුවනක් වූ ජුලියස් ද ලැනරෝල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ සිංහල ශබ්දකෝෂය ලියැවී එ් වන විට වසර 25 ක් කල්ගත වී තිබුණි. විජේතුංගයන් විද්‍යා ශිෂ්‍යයකු වුවද, ඔහුට සිංහල භාෂාව පිළිබඳ වූයේ දැඩි ඇල්මකි. ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හැදෑරුවද වෛද්‍යවරයෙකු වීමේ සිහිනයක් ඔහුට නොවූ අතර ඔහුගේ එ්කායන අභිප‍්‍රාය වී තුබුණේ සිංහල භාෂාවෙන් විද්‍යා පොත් ලිවීමටය. ලංකා විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙන් ඉගෙනගත්ත ද ඔහුගේ සිත ශබ්දකෝෂ කාර්යාලය වෙත නිතැතින්ම ඇදීගියේ එහෙයිනි. විජේතුංගයන් ශබ්දකෝෂ කාර්යාලය වෙතට ගොස් ජුලියස් ද ලැනරෝල් පඬිතුමන් මුණගැසෙන්නේ ද සිංහල භාෂාව පිළිබඳ ඔහු තුළ තිබූ දැඩි ඇල්ම හේතුවෙනි. අමාවතුර, බුත්සරණ ආදී ග‍්‍රන්ථයන්හි ඇතුළත් වචන එකතු කර එ්වායෙහි අකාරාදියක් නිර්මාණය කරමින් තේරුම ද නිරුක්තිය ද සකස් කරමින් සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ ආකාරය ලැනරෝල් මහතා විජේතුංගයන්ට පහදා දෙන්නට විය. එවිට විද්‍යා වචනත් සිංහල ශබ්දකෝෂයට එක් කරනවාදැයි විමසූ විජේතුංගයන්ට ලැනරෝල් මහතා පැවසූයේ ‘‘එ්වා දැන්ම අපිට හදිස්සි නෑ” යන්නයි. නමුත් විජේතුංගයන්ට එ් පිළිබඳ වූයේ දැඩි හදිස්සියකි. සිංහලෙන් විද්‍යාව ඉගෙනගන්නා ශිෂ්‍යයින්ට පාරිභාෂිත පද අවශ්‍ය බවටත්, එය කාලීන වශයෙන් විද්‍යා විද්‍යාර්ථයින්ට මහඟු අත්වැලක් වන බවටත් විජේතුංගයන් ලැනරෝල් පඬිතුමන්ට පැහැදිලි කළද, එ් පිළිබඳ දැඩි උනන්දුවක් ඔහු තුළ නොවීය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජේතුංගයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විද්‍යා ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේය. පසුව මහනුවර මහමායා බාලිකාවෙහි රසායන විද්‍යා ගුරුවරයා ලෙස ද කටයුතු කරමින් සිටියදී මිරිදිය ජීවින් නමැති ඔහුගේ ප‍්‍රථම කෘතිය එළිදක්වන්නට විය. 1956 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල ශබ්දකෝෂ කාර්යාලයක් පිහිටුවන්නේ සිංහල ශබ්දකෝෂයක වටිනාකම එවකට සිටි සෑම විශ්වවිද්‍යාල පඬිවරයකු පාහේම අවබෝධ කරගනිමින් සිටි නිසාමය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි පිහිටු වූ මෙම නව ශබ්දකෝෂ කාර්යාලයෙහි විද්‍යා අංශයෙහි ප‍්‍රධාන සම්පාදක ධූරය හරිශ්චන්ද්‍ර විජේතුංගයන්ට හිමි වූ අතර එය ලාංකේය සිංහල ශබ්දකෝෂයෙහි නව පරිච්ෙඡ්දයක ඇරඹුම සනිටුහන් කරන්නට විය. එ් අනුව එතෙක් නොලියූ විද්‍යා මෙන්ම තව තවත් නවමු ක්ෂේත‍්‍රයන්හි ඇතුළත් වූ පාරිභාෂිතපද එකතු කර ගනිමින් සිංහල පාරිභාෂිත ශබ්දකෝෂය නමින් ශබ්දකෝෂයක් ප‍්‍රකාශයට පත් කිරීමට විජේතුංගයන් සමත් විය. එය මෙරට පළමු පාරිභාෂිත සිංහල ශබ්දකෝෂය වූ අතර පාරිභාෂිත යන නමද හරිශ්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද්දක් වීම විශේෂත්වයකි. සිංහල පාරිභාෂිත ශබ්දකෝෂය තව තවත් වැඩි දියුණු කරමින් ආයුර්වේදය ආදී වූ විෂය ක්ෂේත‍්‍රයන්හි සුසංයෝගයකින් ප‍්‍රායෝගික සිංහල ශබ්දකෝෂය 2 ලෙස ශබ්දකෝෂයක් ලියා පළ කළ අතර පිටු 3000කින් සමන්විත වූ එය එතෙක් මෙරට ලියැවුණු විශාලතම ශබ්දකෝෂය ලෙස හැඳින්වේ. විජේතුංගයන්ගේ ශබ්දකෝෂ ඔස්ටේ‍්‍රලියාව, අමෙරිකාව, ජර්මනිය ආදී රටවල පුස්තකාලයන්හි දක්නට ඇති අතර එම පුස්තකයන් අන්තර්ජාතිකව පරිශීලනය කරන ග‍්‍රන්ථ බවට පත් වී ඇති බව විජේතුංගයන් පවසන්නේ නිහතමානී ආඩම්බරයක් ද පෙරදැරි කර ගනිමිනි. එමෙන්ම 1990දී ඛැට්ක ඡයසකදිදචයහ ෂබ ඵැාසැඩ්ක ීසබය්ක් යන නිබන්ධනය සඳහා ඔහුට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිවිය. විද්‍යා ග‍්‍රන්ථ ලෙස මිරිදිය ජීවීහු, ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාව, පොළොවේ කාන්තාරය ආදී ග‍්‍රන්ථයන් ද පරිවර්තන කෘති, සාහිත්‍ය කෘති, ආගමික ඉතිහාස කෘති, දේශපාලන කෘති සහ නීතිය පිළිබඳ කෘති ද විශාල සංඛ්‍යාවක් ඔහු අතින් රචනා වී තිබීම විශේෂත්වයකි. එමෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලන වංශකතාවේ අද්විතීය භූමිකාවක් නිරූපනය කරමින් සිංහලයේ මහා සම්මත භූමිපුත‍්‍ර පක්ෂයේ නිර්මාතෘවරයා වූ ඔහු දෙවතාවක්ම ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් වූ විද්වත් දේශපාලනඥයෙකි.
 
 ඔහුගේ දේශපාලන දිවිය විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටි කාලයේ ආරම්භ වන අතර එකල පැවති සිංහලය රාජ්‍ය භාෂාව කරලීමේ ජාතික ව්‍යාපාරයට ඔහු සම්බන්ධ වනුයේ විශ්වවිද්‍යාලය තුළ සිංහල සංගමයක් ද පිහිටුවා ගනිමිනි. සිංහල භාෂාව නගාසිටුවීම සහ සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් නගාසිටුවීම නිමිත්ත කොට ගනිමින් සිංහලයේ මහා සම්මත භූමිපුත‍්‍ර පක්ෂය පිහිටුවා ගැනීමට ඔහු කටයුතු කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවට රාමඤ්ඤ නිකාය ගෙන එ්ම සහ එය මෙරට විධිමත්ව පිහිටුවීමට විජේතුංගයන්ගේ පරපුර ඇපකැප වී කටයුතු කර ඇති බව අවිවාදයෙන් යුක්තව පැවසිය යුතු කරුණකි. ධාතුසේන රජුට කලාවැව සම්පතක් වෙනවා සේම එ් හා සමාන අයුරින් ලේඛකයෙකුට ග‍්‍රන්ථ තම ප‍්‍රාණ සම වස්තු සම්භාරයම වෙයි. එසේ සුරැකිව තබා ගත් ග‍්‍රන්ථ සම්භාරය අනාගත සරසවි මානව මානවිකාවන් වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කිරීමට තරම් හරිශ්චන්ද්‍ර විජේතුංගයන් නිර්ලෝභී විය. තම සැඳෑ සමය ගෙවමින් අනූ වැනි වියට පා තබන මෙතුමාට තවත් බොහෝ කාලයක් සාහිත්‍ය අඹරෙහි සුවහසක් ලක්වැසි සහෘදයන් උදෙසා යෙහෙන් වැජඹීමට හේතු වාසනා වේවා.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles