Divaina - මහා අවි පෙන්නුම් ජාතකය

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

umbe
 

නිමල් ෆ‍්‍රැන්සිස්

එක් සමයෙක මඤ්ඤංලන්තය, මකර දේශයෙන් ආනයනය කළා වූ එකුන් විසි කෝවිද නම් මහා වසංගතයකින් වැසී යනුයේ ආහාරපානාදී උපයෝජන පරිභෝජන භාණ්ඩ හිඟයකින් නොහොත් සායකින් පෙළෙමින් හුදී ජනයෝ නේකවිධ දුක් ගැහැට අනුභව කෙරෙමින් වුව රූප පෙට්ටගම නම් වූ මෙවලමෙන් වෑහෙනා වූ නේක නේක විසූක දස්සන නැරඹුම නම් අතපසු නොකරනුයේ එක් දිනෙක හිමිදිරියේමැ ඉන් කියැවුනාවූ පුවතෙකින් අඤ්ඤකොරොස්වැ ගොස්,‘සගයෙනි, මෙකී පුවත වටහාගැනුම් පිණිස අප සතු ඥාණය පමණ නොමැත්තේය. එහෙයින් වහා ගොස් අප මහා චූලෞෂධ පණ්ඩිතයන් හමුව මෙකී ගැටලූව පිරිසිඳ දැනගත යුත්තේ යැ’යි කතිකා කොට වහා චූලෞෂධයන් බැහැදකිනු පිණිස පිටත්ව යන්නාහ. මෙකී චූලෞෂධයන් වනාහී පෙරකල්හි මියුළු නුවර වේදේහ නම් රජ්ජුරුවන් වහන්සේට අග‍්‍රපුරෝහිත වූ මහෞෂධයන් සේ මෙකල්හි මඤ්ඤංලන්ත රජ්ජුරුවනට නොව අසරණ හුදී ජනයිනට තුමූ නුවණින් කාරණාකාරණයන් පහදා දෙනු වස් පහළ වූ පණ්ඩිතයෙක්මැ වන්නාහ. උහු මහෞෂධයනට පමණක්මැ දෙවෙනි වූ නුවණැති හෙයින් චූලෞෂධ යැයි පරසිඳුවැ යන්නාහ.

ඉදින් අළුයම් වේලෙහි හිරු නැෙ`ගන්නටත් පෙර තුමූ වාහල් දොරකඩ මුල රැස්ව සිටින්නා වූ හුදී ජනයින් සමූහයක් දක්නා වූ චූලෞෂධයෝ ද්වාරය විවර කොට උන් ඇතුල් අංගනයට කැඳවා ඖෂධ කැඳාදියෙන් සංග‍්‍රහ කොට සනහා,”දරුවෙනි, තෙපි මෙතරම් අළුයමින් මා බැහැදැකුමට පැමිණියේ කිසියම් වූ වැදගත් කරුණකට බැව් පෙනෙන්නාහ. නොවලහා කියව්. මා නැණ පමණින් එකී පැනය විසඳාලමි”යි උන් දිරි ගන්වමින් කියනාහ. පිරිසද එකත්පස්වැ හිඳ,”ස්වාමීනී, චූලෞෂධයෙනි, පණ්ඩිතයෙනි, අප සැම සුපුරුදු ලෙසින් අළුයමින්මැ පරිත‍්‍රාණ දම් දෙසුමට සවන් යොමා සිත් පහදවාගනු වස් රූප පෙට්ටගම් මෙවලම ක‍්‍රියා කළ කල්හි ඇසූ පුවත ඇඟැ ලොමු ඩැහැගන්වනාහ”යි පවසනාහ. එබස් ඇසූ චූලෞෂධයෝ තුමුනද එකී කරුණ දැනුවත් හෙයින්,”තෙපි පවසන්නේ මද්‍රසයා නම් පාතාලයා නැසුනු පුවත වියහැක්කේයැ. දරුවෙනි, තෙල මද්‍රසයා මෙසේ අකල්හි නැසී ගියේ මේ භවයේ පමණක් නොව පෙර භවයන්හිද මුහු මෙසේ ගිනි සැර වැදැ අකල්හි නැසී ගියේයැ. වරෙව තොපට ‘මහා අවි පෙන්නුම් ජාතකය’ වදාරමි”යි පවසා උන් ඇතුළුගෙට කැඳවා යන්නාහ.

ඒ කෙසේද යත්; පෙර එක් සමයෙක මඤ්ඤංලන්තයෙහි දක්ෂිණ දේශයෙහි ජන්ම ලාභය ලද්දා වූ මද්‍රසයා නම් කෙළෙඹි පුත‍්‍රයෙකු පෙර විජවිරි සමයේ ජෙප්ප රැළියකට කඩා වදිනා ලද්දාවූ රාජපුරුෂයන් විසින් තුමූ මෑණියන් නසනු ලද්දෙන් බෝ දුක් ප‍්‍රාප්තවැ සිටැ පසු කලෙක වඩනා ලද වැර වීරියෙන් දිවි ගෙවන්නේ දනව් දෙස්පළුවකු හා ආරෝවකට පැටැලී අවසන ගිනි බිඳ උහු නසනාහ. එතැනින් ඇරැඹි මද්‍රසයාගේ පාතාල මැර දිවිය වහ වහා දළු ලා වැඩෙනුයේ වැඩි කලක් සිපිරි ගෙයිම ගතවන්නාහ. මෙසේ පර පණ නැසුමෙන් හා දස චෝර ධර්මයෙන් වැඩෙනා මද්‍රසයාගේ මැර දිවිය සියල් ඉසුරෙන් පිරී පවත්නේ නමුදු ඊට සරිලන සේ මරබියෙන් හා නොසැනසිල්ලෙන්ද පරිපූර්ණව යන්නාහ. කාලයාගේ ඇවෑමෙන් රාජපුරුෂ සේනාව ද සෙසු මැර පාතාල කැල ද මද්‍රසයාට විරුදුව අවි අමෝරා සටනට වදිනුයේ මද්‍රසයා මධ්‍ය පෙරදිග දේශයට පලා යන්නාහ. පලා ගොස් එකී දේශයෙහි සිට මත් සුණු මෙහෙයුම හා තුමුනට විරුදුවන් නැසුම් අරඹනා මද්‍රසයා නොබෝ කලෙකින්මැ පාතාල කිරුල සියතින්ම ගෙනැ හිස පළඳාගන්නාහ. එසේ කිරුළු පළන් මද්‍රසයා නච්ඡු ගීතාදියෙන් පූර්ණ නිරන්තර සැණකෙළි සිරියෙන් දිවි ගෙවනුයේ උහු පිළිබඳ නිරතුරු සෝදිසියෙන් සිටියා වූ මඤ්ඤංලන්ත චරපුරුෂයෝ එක් දිනෙක මධ්‍ය පෙරදිග දේශයේ මැදුරක වූ මද්‍රසයාගේ සාදයකට වැද උහු බොටුයෙන් ගන්නාහ. එකී මද්‍රසයාගේ බොටුවට, කහවනු පිණිසැ උහු හා ඇඟෑළුම් වූ මඤ්ඤංලන්ත නෘත්‍ය නළුවන්ද ගාන්ධර්වයන්ද සුඟක් ඈඳී එළි පෙහෙළිව ඇමිණී එන්නාහ.

මෙසේ බොටුයෙන් ගෙන මඤ්ඤංලන්තයට රැගෙන එන්නා වූ මද්‍රසයා පොලාස රාජපුරුෂ මූල නිවස්නයෙහි රඳවන ලද්දෙන් පැන විමසුම් කොට මත් සුණු මෙහෙයුම් පිණිස මද්‍රසයා මෙහෙයවන්නා වූ දෙස්පළුවන් කැලතකගේ නාම පදවියාදිය හෙළි කොට ගත්තේ යැයි වූ පුවත්, පත් ඉරු පුරා පළවන්නට වන්නේයැ. මඤ්ඤං ජනයෝද මහත් වූ ප‍්‍රීතියෙන් ඔද වැඩෙනුයේ,‘බලාගිය අමන දෙස්පළුවනි, තොප අප මනාපයෙන් රජසබයට වැදැ අප දරුවන් නසනා මත් සුණු අපටමැ විකුට ධනය උපයනාහ. ඉඳුව, මද්‍රසයා තොප වස්ත‍්‍ර උනා දමන තෙක් ඉඳුව’යි උදම් අනනාහ. එසේ වතුදු එකුදු දෙස්පළුවකුගේවත් නාම නොහෙළිවැ කල් ගෙවෙන්නේ මඤ්ඤංලන්තයට නිරතුරුව කඩා වදිනා වූ නේක අලකලංචි හේතුවෙන්ද පබකරණයා කියූ සේ මඤඤං හුදී ජනයාට යමක් මතකයෙහි රැඳෙනුයේ හුදෙක් සත්දිනක් පමණෙක් වන්නාවූ හේතුවෙන්ද සුළු කලෙකින්ම මද්‍රසයා යැයි එකෙකු සිටිත්දෝයි මඤ්ඤං ජනයාට නොමතකව යන්නාහ.”යි මඳ ඉසිඹුවක් ගන්නා වූ චූලෞෂධයෝ, ”ජනයිනි, මෙතැන් සිට මහා අවි පෙන්නුම් ජාතක කතාවෙහි නිමාව අඥාත වන්නාහ. පොලාස ගිරා පෝතක රෙහෙන අජාතයාට අනුව මහා අවි පෙන්නුම් ජාතකය මෙතැන් පටන් මෙසේ වන්නේයැ”යි පවසා කතාව යළි අරඹනාහ.

වසර එක් හමාරෙක් පමණ රාජපුරුෂයන් ඇසුරෙහි හා උන් රැකවලෙහි වූ මද්‍රසයා තුමූ පාතාල පුත‍්‍රයන් හා ඇසුරක් පැවැත්වුම් පිණිස කිසිදු බුරුලක් නොලදමුත් උන් මත්සුණු සඟවනා රහස් භූමි පෙදෙස් කවරේදැයි, දිවැසින් දක්නාහ. (මෙකී ඝාතකයාට දිවැස් පහල වූයේ කෙසේ දැයි යම් අමනයකු පැන නැ`ගිය හැකි නමුදු දිගු කලක් රාජපුරුෂයන් ඇසුරෙහි වූ මද්‍රසයා සියලූ දුසිරිත් හැර බවුන් වඩා මාර්ග ඵල ලැබූ බව එකී අමනයින් දතයුත්තේය.) එකී දිවැසින් දක්නා වූ මත්සුණු පිළිබඳ තතු රාජපුරුෂයනට පවසනා මද්‍රසයා මසුරන් කෙළ ගණනින් වටනා මත්සුණු රාජසන්තක කරනාහ. මෙසේ කල් ගෙවෙන්නේ එක් දිනෙක අළුයම් වේලෙහි තුමූ දිවැසට හසු වන්නාවූ යමක් හේතුවෙන් හදිසියේ අවදි වන්නා වූ මද්‍රසයා වහා පොලාස නිලදරුවන් අවදි කොට, ”මහතුනි, මඤ්ඤංලන්තයෙහි සකළ දරු පරපුර විනාශ මුඛයට යවනා වූ මත් සුණු නැලි දෙවිස්සක් සඟවා ඇති තැනක් මා විසින් දිවැසින් දක්නා ලද වම්හ. මා හා වඩිනු මැනව. මම් තොපට ඒවා හෙළි කොට දෙන්නෙමි”යි පවසන්නේ නිලදරුවෝද ඈලිමෑලිවැ,”මුහු නම් අපට සැනසීමෙන් සැතපෙන්නටවත් ඉඩ නොදෙන්නේයැ”යි මැසිවිලි කොටැ වහා හැඳ පැළැඳ උහු හා අළුයම තුනේ කණිසමට කෝලම්භපුර පැලසගාඩන නම් දනව්ව බලා පිටත්වන්නාහ. පිරිස එකී දනව්වෙහි මහල් නිවස්නයක් කරා සම්ප‍්‍රාප්ත වනුයේ එක්වරමැ දසතින් නැගෙන්නා වූ ගිනි බිඳුම් හඬින් කලබලවැ යන්නා වූ පොලාස සේනාව වහා මද්‍රසයා රැකුම් පිණිසැ පෙරට පනිනුයේ පාදයට හා හස්තයට ගිනි සැර වැද පසුබස්නාහ. යතුරුපැදියක නැ`ගි ඝාතකයෝ මාර්ග නීතිද අකුරට පිළිපදිමින් යතුරුපැදියෙහි සංඥා එළි දල්වා දකුණු මඟට හැරී යන්නේ පොලාස සේනාවේ ගිනි සරින් බේරුම් පිණිසැ යතුරුපැදිය මඟ අයිනෙහි බාවා දෙපයින් පලා යන්නාහ. නිලදරුවෝද මද්‍රසයා දෙසැ බලන්නේ, මද්‍රසයා හිස දෙපළු වන සේ වැදුණු ගිනි සැරෙන් මරු වැද ගොස් ඇති බැව් දැකැ බොහෝ ශෝකවැ ඝාතකයන් ලූහු බැඳුම පසෙක ලා, ”අප සුමිතුරාණන් වූ මද්‍රසයා මරු වැද ගියහ”යි වැළැපෙමින් එතැනම හිඳිමින් උහු මළ සිරුර රක්නාහ. අළුයම ඉක්ම ගොස් හිරු නැඟි කල්හි වහා මැදි වැද්දන් කැඳවා,”අහෝ ඛේදයකි! මද්‍රසයා මරු වැද ගොස් ඇති නිසායෙන් මත්සුණු වෑපාරය මෙහෙයවනා වූ මුල් හස්තයන් සොයාගැනුම උගහට වන්නේයැ”පවසා බොහෝ ශෝකයෙන් පෙරළා පැමිණොහ. චූලෞෂධයෝද,”ජනයිනි, තොප නැණ පමණින් මෙකී කතා වස්තුව වටහා ගතයුත්තේයැ”යි මහා අවි පෙන්නුම් ජාතකය වදාරා නිමා කරනාහ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles