Divaina - පස්දුන් කෝරළේ කොරෝනා කලබැගෑනිය...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 pas


තරංග රත්නවීර
 
කිසිදු මුහුණක ප‍්‍රිය තෙපුලක් නොවීය. සිනහා මැරී ගොස්ය. ඉඳහිට මඟ තොටේදී මුහුණට මුලිච්චි වන මිනිස්සු ද දෑස්හුදෙකලා කළ අපේ ගම් පළාතේ තත්ත්වය එසේය.
 
 පසුගිය කාලයේ රාජාංගණය ප‍්‍රදේශයේ කොරෝනා පැතිර යනවිට අපි එම ප‍්‍රදේශයට ගියෙමු. කොරෝනා දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් දලූ ලෑම පටන් ගත් විට එම ප‍්‍රදේශයේ සංචාරය කළෙමු. ඒ කිසිදු ප‍්‍රදේශයකින් නොදකින ස්වයං නිරෝධායනයක් අපේ ගම් ප‍්‍රදේශයේ මිනිසුන්ගෙන් දැකගැනීමට ලැබීම මතුගම ගම් තුලානයට ම සැනසීමකි. එහෙත් කොරෝනා අති භායනකය. පණගැසීමට පුංචි හෝ ඉඩක් ලැබුණු සැණින් කොරෝනා ශීඝ‍්‍රයෙන් ගම් පුරා දුවන්නීය. එහෙයින් මතුගම පමණක් නොව, මුළු රටම තවමත් අවදානමේය. එවැනි පසුබිමක ජීවත් වන අපි කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් තුළ ප‍්‍රතිකාර ලබමින් සිටින කිහිපදෙනකුට දුරකථනය ඔස්සේ කතා කර සුවදුක් විමසා සිටියෙමු. මේ පෙළගැසෙන්නේ ඔවුන්ට කොරෝනා දැනෙන හැටි, මෙන්ම රෝහල් තුළ ගෙවන ජීවිත පිළිබඳ කියැවෙන කතාවය.
 
 ප‍්‍රථමයෙන් කතා කළේ මතුගමට කොරෝනා පැමිණි සුඛෝපභෝගී බස් රථයේ හිමිකරුටය. ඔහු විතානගේ තරංග රංජන්ය. තිස්නව වැනි විය පසු කරගෙන යන ඔහු එක්දරු පියෙකි. වෘත්තියෙන් රියැදුරෙකු මෙන්ම බස් රථ ව්‍යාපාරිකයෙකි. මේ ඔහු කොරෝනාට සමීප වූ හැටි කියන කතාවය.
 
 ‘‘මම බස් එකේ අයිතිකරු. බස් එක වැඩ කරන්න වෙනම රියැදුරෙක් ඉන්නවා. එයා දිලීප කුමාර. කොන්දොස්තර දීපාල් වීරවංශ. රියැදුරු හරි කොන්දොස්තර හරි නිවාඩු දවසට මම බස් එකේ වැඩ කරනවා. මේ මාසෙ පළමුවැනිදා ඉඳලා මමත් 12 වැනිදා වෙනකොට දවස් හතරක් බස් එකෙ වැඩ කරලා තියෙනවා. අපේ බස් එක ධාවනය වෙන්නෙ අධි වේගී මාර්ගයේ. දවසකට ගමන් වාර දෙකක් ධාවනය වෙනවා. පළමු ගමන් වාරය ආරම්භ කෙරෙන්නෙ උදේ 5.30 ට. දෙවැනි ගමන් වාරය මතුගමින් ගමන් ආරම්භ කරන්නේ උදේ 10.30 ට. පිටකොටුවට ගමන් කරන්නේ කොට්ටාව, පන්නිපිටිය, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, පුංචි බොරැල්ල, මරදාන හරහා. අපේ බස් එකේ ගමන් කරන මගීන්ගෙන් බහුතරයක් රෝහල්වල වැඩ කරන සේවකයන්. රෝගීන් බැලීමට යන අය. පාර්ස්පෝට් ඔෆිස්, අයිඩින්ටි ඔෆිස් එකට යන අය. මහරගම පිළිකා රෝහලට. ජයවර්ධනපුර රෝහලට යන අය පන්නිපිටියෙන් බහිනවා. ආයුර්වේද රෝහලට යන අය රාජගිරියෙන් බහිනවා. අයි.ඞී.එච්. රෝහල, කාසල්, රිජ්වේ, ජාතික රෝහල, ඇස් වාට්ටුවට යන අය බොරැල්ලෙන්, පුංචි බොරැල්ලෙන් බහිනවා. පිටකොටුවෙන් බස් එක පිටත් වෙන්නෙ සවස 1.30 ට. රෝහල්වල ලෙඞ්ඩු බලන්න ගිය අය, සේවා කාලය අවසාන වෙලා නිවෙස්වලට යන රෝහල් සේවකයන් සියලූදෙනා ගම් බිම්වලට එන්නෙත් අපේ බස් එකේ. ඒ නිසා අපිට කොරෝනා කාගෙන් සමීප වුණාද කියලා හිතාගන්නවත් බෑ.’
 
 ‘‘මේ මාසේ 05 වැනිදා වෙනකොට අපේ රියැදුරු දිලීපට අත, පය ඇඳුම්කන ගතියක් දැනිලා. එදා සවසම දිලීප මතුගම නෑබඩ පාරේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහින් බෙහෙත් අරගෙන තියෙනවා. එක බෙහෙත් වේලක් බොනකොට රෝගී තත්ත්වය නැති වෙලා ගිහින්. ඒ වෙනකොට මමත් දිලීප එක්ක දවස් දෙකක් විතර වැඩ කරලා තිබුණා. 07 වැනිදා බෝධීන්වහන්සේනමක් වැඩම කරවීමට අනුරාධපුරේ ගියා. උදේ පාන්දර ඕවිටිගල පන්සල අසලින් ගමන් ආරම්භ කරලා උදේ කෑමට පමණක් බස් එක නතර කරලා අනුරාධපුරයට ම බස් එක ධාවනය කළේ මමයි. බස් එකේ ගිය පිරිස අටමස්ථානය වැඳ පුදාගෙන බෝධීන්වහන්සේත් වැඩම කරගෙන අනුරාධපුරේ ඉඳලා එක දිගට ම කඩවතට වෙනකම් නැවත මම බස් එක ධාවනය කළා. කඩවතින් තමයි දීපාල්ට බස් එක දුන්නේ. මට කිසිම මහන්සියක් දැනුනෙ නෑ. 08 වැනිදා උදේ පාන්දර සුපුරුදු විදිහට දීපාල් අයියය, දිලීපයි බස් එක වැඩ කළා. 09 වැනිදා හවස දීපාල් අයියත් කිව්වා අත, පය රිදෙනවා කියලා. ඒ වෙනකොට මගෙත් ඇඟට අමාරු ගතියක් දැනුණා. 10 වැනිදා උදේ දීපාල් බෙහෙත් අරගෙන තිබුණා. එදාම උදේ මගේ වයිෆ් සෙංගෙඩි කියලා බෙහෙත් ගත්තා. ඇඟ පත රිදෙන නිසා මමත් ඒ බෙහෙත්වලින්ම වේලක් බිව්වා. ඒ බෙහෙත් වේලෙන් මගේ ඇඟ රිදෙන ගතිය නැති වෙලා ගියා.’’
 
 ‘‘එදා රෑ රූපවාහිනී නිව්ස්වලට කිව්වා කොළඹ ජාතික රෝහලේ, රිජ්වේ, කාසල් රෝහල්වලින් කොරෝනා රෝගීන් වර්තා වෙලා කියලා. අපේ බස් එකේ යන ජාතික රෝහලේ සේවකයෙක් කිව්වා අපිව නම් රෝහලෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂණ කරනවා කියලා. එතකොට අපිත් කිව්වා මෙන්න මේ විදිහේ රෝගී ලක්‍ෂණ අපිටත් තියෙනවා පී.සී.ආර්. පරීක්‍ෂණයක් කරගන්න බැරි ද කියලා. ඊට පස්සෙ ඒ අය අපේ නම්, ගම් ලියාගෙන කළුතර නාගොඩ රෝහලෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ කරගන්න සූදානම් කර දුන්නා. ඒ අනුව සඳුදා 12 වැනිදා බස් එක දුවන්නෙ නැතිව උදේ 10 ට නාගොඩ රෝහලට ගිහින් අපි තුන්දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණ කර ගත්තා. එළියට එනකොට ෆෝන් නම්බර් ඉල්ලාගෙන අපිට කිව්වා දැන් ඔයලා ගෙදර යන්න පී.සීී.ආර්. පරීක්‍ෂණය නෙගෙටිව් ද පොසිටිව් ද කියලා දන්වන්නම් කියලා. ජීවිතේ පළමු වතාවට පී.සී.ආර්. පරීක්‍ෂණයක් කළේ. එතැනින් පස්සෙ මොනදව කරන්න ඕනා කියලා අපි දන්නෙ නෑ. ගෙදර ඇවිත් සාමාන්‍ය පරිදි ජීවත් වුණා. අඟහරුවාදා උදේ දීලිප ටෙන්පරි ගෝලයෙක් එක්ක බස් එකත් වැඩ කළා. දීපාල් අයියා සණස බැංකුවට ගිහින් තිබුණා. හිතවතුන් එක්ක කතාබහා කරලා තිබුණා. මමත් කඩවලට ගියා. පී.සී.ආර්. පරීක්‍ෂණය කරපු වේලාවේ අපිට හරි උපදේශනයක් ලබා දුන්නා නම් අපි ගෙදරට වෙලා ඉන්නවා. දැන් සමාජයෙන් අපවාද විඳින්නෙ අපියි. සෞඛ්‍ය නිලධාරීන්ගේ වරදක් කවුරුවත් කියන්නෙ නෑ.’’
 
 ‘‘දැන් අපි ප‍්‍රතිකාර ගන්නෙ වැලිකන්ද රජයේ රෝහලේ. මේ රෝහලේ හැට ගාණක් ප‍්‍රතිකාර ලබනවා. කිසිම කෙනෙකුට අමාරුවක් නෑ. වෛද්‍යවරුත් අපි ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. බෙහෙත් ටික වේලාවට දෙනවා. ප්‍රෙෂර් චෙක් කරනවා. කෑම ටික ලැබෙනවා. අපිට තියෙන එකම දුක ගමට කොරෝනා අරගෙන ගියා කියලා සමාජයෙන් විවිධ කටකතා පතුරුවලා අපවාද දෙස් දෙවොල් නඟන එක. හෙට අනිද්දා ගමට ඇවිත් මිනිස්සුන්ට මුහුණදීම ගැන.’’ තරංග රංජන් කියන කතාව තවත් දිගය. අවශ්‍ය ප‍්‍රමාණයට ඔහු කියන කතාව කෙටි කළේය. එමෙන්ම ඔහුගේ බිරිඳ සහ චූටි දරුවා ද මේ වනවිට කොරෝනා අසාදනය වී රෝහල්ගත වී සිටිති. එහෙත් මේ පෙළගැසෙන්නේ තරංගගේ බිරිඳගේ කතාව නොව, මොරටුව ලූනාව රජයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත කාන්තාවක් කියන කතාවය. ඇය නම් ගම් පැවසීමට අකමැති විය.
 
 ‘‘ලූනාව මේ රෝහලේ වාට්ටු දෙකක කොරෝනා රෝගීන් විසි දෙකක් ප‍්‍රතිකාර ලබනවා. කටුනායක, සීදුව, කඳාන, මතුගම ප‍්‍රදේශවල රෝගීන්. ඒ කිසිම රෝගියකුට බරපතළ තත්ත්වයක් නෑ. හොඳට විහිළු තහළු කරගෙන ඉන්නවා. මට ටිකක් ගඳ සුවඳ දැනෙන්නෙ නෑ. වෙන කිසිම ශාරීරික අපහසුතාවයක් පෙන්නුම් කරන්නෙ නෑ. අපට තියෙන ගැටලූව මේ රෝහලෙන් ලැබෙන පහසුකම් තමයි. වාට්ටු දෙකේම රෝගීන්ට කැසිකිළි වැසිකිළි පහසුකම් කරන්න තියෙන්නෙ ටොයිලට් දෙකයි. රෑට අපිව වහාගන්න තරම් මදුරුවො ඉන්නවා. ඇඳන්වලට නෙට් නෑ. කොට්ට නෑ. මෙට්ට බැහැලා. විදුලි පංකා වැඩ නෑ.

මේ වාට්ටු දෙක පැත්ත පළාතකට ඩොක්ටර් කෙනෙක් එන්නෙත් නෑ. අඩුම තරමින් නර්ස් කෙනෙක්වත් නෑ. අපිට කෝල් කරලා ලෙඩ අහනවා. ‘ඔයලා දිහා අපි බලාගෙන ඉන්නෙ, බය නැතිව ඉන්න කියනවා’ රෝගීන් අතරින්ම ලීඩර් කෙනෙක් තෝරාගෙන එයා තමයි ප්‍රෙෂර් චෙක් කරන්නේ. බෙහෙත් දෙන්නේ. සියලූ රෝගීන්ට දෙන්නෙ විටමින් සී. ඊට අමතරව එක, එක අය ලෙඩ කියන විදිහට ඊට අදාළ බෙහෙත් දෙනවා. රෝගීන්ව බලන්න එන්න වෛද්‍යවරුන්ට ඇඳුම් නෑ කියලා තමයි කියන්නේ.‘‘ඇෙඟ් ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න, පවත්වාගෙන යන්න හොඳට කන්න බොන්න ඕනෑ. අපිට තුන් වේලටම කෑම දෙනවා. ඒත් ඒ කෑම කන්න අමාරුයි. දවසකට එක සැරයකට කොත්තමල්ලි වතුර එවනවා. රෝගීන් විසිදෙකට ඒ ප‍්‍රමාණය මදි. අනුකම්පා කරලා මීට වඩා අපි  ගැන සැලකිලිමත් වෙන්න කියලා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.’’ ඇය අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැළකී සිටින්නේ නේවාසික රෝහලේ අඩු පාඩු කතා කිරීම සෞඛ්‍ය අංශවල උදහසට ලක්වේදෝ යන බියෙනි. තවත් කොවිඞ් රෝහලක ප‍්‍රතිකාර ලබන රෝගියෙක් කතා කළේය. ඔහු ද නම් ගම් හෙළිදරව් කිරීමට මෙන්ම ප‍්‍රතිකාර ලබන රෝහලේ නම සඳහන් කිරීමට ද අකමැති විය. එහෙත් ඔහු පැවසූ කතාවේ රටේ ජනතාවට වැදගත් යැයි සිතෙන කරුණු අපි මෙසේ සටහන් කළෙමු.
 
 ‘‘මට වයස අවුරුදු හැත්තෑවක් වෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වුණා කියලා ගාණක්වත් නෑ. ඒ නිසා මේ රෝගයට අපි බය වෙන්න ඕනෙනෑ. ශීඝ‍්‍ර පැතිරීම ගැන. අපි ආරක්‍ෂා වෙන්න ඕනෑ රෝග වාහකයෙක් නොවී ඉන්නයි. ඒ නිසා කෙනෙකුට දින කිහිපයක් තිස්සේ ඉඳලා උණ, හෙම්බිරිස්සාවක්, ඇඟපත කැකුමක් තියෙනවා නම් කොත්තමල්ලි, පත්පාඩගම් බීබී ඉන්නෙ නැතිව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් දැනුවත් කරලා රෝහල් ගත වෙන්න ඕනා. ඒ වගේම කොරෝනා ආසාදිතයෙක් ලෙස රෝහල්ගත කිරීමට රැගෙන යෑමට සූදානම් වන විට, බිස්කට් පැකට් ටිකක්, ඉඟුරු, කොත්තමල්ලි, තේ කුඩු පැකට් එකක්, උණු වතුර බෝතලයක්, ඇඳුම් කැඩුම්, තුවා බෙඞ්ෂීට් රැගෙන එන්න අමතක නොකළ යුතුයි. සෞඛ්‍ය නිලධාරීනුත් රෝගීන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුයි. හැම දේම රෝහල්වලින් බලාපොරොත්තු නොවී පුළුවන් විදිහට අරගෙන එන එක තමයි හොඳ. එතකොට බඩගිනි වේලාවට බිස්කට් එකක් කාලා තේ ටිකක් හරි හදාගෙන බොන්න පුළුවන්.’’ කොවිඞ් වාට්ටුවල නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් එවැනි කතා කියන විට තිස්සමහාරාමයේ කොරෝනා ආසාදිත තරුණයෙක් අමුතු කතාවක් කියන්නේය. එමෙන්ම ඔහු මේ වන විට මුහුණුපොතේ ජනප‍්‍රිය පුද්ගලයෙක් බවට පත්ව සිටින්නේය. මේ ඔහු කියන අමුතු කතාවය.
 
 ‘‘සංචාරක මඟපෙන්වන්නෙක් විදිහට මම වැඩ කළේ තිස්සමහාරාමයේ සංචාරක හෝටලයක. මම කසාද බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ මාසෙ 06, 07 දෙදින තුළ කැනේඩියානු සංචාරකයන් කණ්ඩායමක් එක්ක සෆාරි ටි‍්‍රප් එකක් ගියා. 19 වැනිදා මට දැනගන්න ලැබුණා ඒ කැනේඩියානු සංචාරකයන් අතර කොරෝනා ආසාදිතයන් ඉන්නවා කියලා. එතකොට මටත් ඇඟපතේ අමාරුකම් තිබුණා. ඒ කතාව ඇහුවම මට ලොකු බයක් දැනුණා. ඊට පස්සෙ මම රෝහල්ගත වෙලා පී.සී.ආර්. පරීක්‍ෂණ කර ගත්තා. පොසිටිව් කියලා දැනගත්තට පස්සෙ මාව කොවිඞ් රෝහලකට රැගෙන ආවා. මට ගොඩක් අමාරු වුණා. ආසාධ්‍ය තත්ත්වයටම පත් වුණා. දැන් නම් රෝගී තත්ත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. සමහරුන්ට මේ රෝගය අමාරුයි. සමහරුන්ට හැදුණා කියලවත් දන්නෙ නෑ. ඒක තීරණය වෙන්නෙ මිනිස්සුන්ගේ ප‍්‍රතිශක්තීකරණය මතයි. දැන් මට තියෙන ගැටලූව වැඩ කරපු ආයතනයෙන් චෝදනා කරනවා මම ගම්පහ මඟුල් ගෙදරක ගිහින් කොරෝනා හදාගෙන ඇවිත් කියලා. මම ගිය මඟුල් ගෙයක් නෑ. මම දිගට ම ඒ ආයතනයේ සේවය කළා. මට කොරෝනා හැඳුණේ ආයතනය ඇතුළෙන්. බොරු අවලම් කතා ගොතලා මිනිස්සුන්ගේ ප‍්‍රතිරූපය විනාශ කරන්න එපා. ඒක කොරෝනා රෝගීන්ගේ පවුල් ජීවිත විනාශ කිරීමක්.’’ ඔහු කියන කතාවේ සත්‍යතාවයක් ඇත. ප‍්‍රථමයෙන් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව සම්බන්ධයෙන් විවිධ කතා පතුරවමින් ඇයගේ චරිතය විනාශ කළාය. එහෙත් බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මූලය සොයාගෙන යනවිට තවත් කතා ගොන්නක් මතු විය. එහෙයින් කොරෝනා රෝගීන් සුවපත් වී නැවත සමාජයට පැමිණිය යුතුය. කොරෝනා සමඟ ඔවුන්ගේ චරිත ඝාතනය නොකට අද ඔවුන්ට වෙච්ච දේ හෙට ඔබටත් විය හැකි බව තේරුම්ගෙන ජීවත්වීම යහපතකි.
 
 සිදු වී ඇති වැරැදි නිවැරැදි කිරීමට දැන් නොහැකිය. එම වැරැදිවලට මූලය සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සහ ජනතාවගේ නොසැලකිලිමත්කම බව ද පැහැදිලිය. කෙනෙකු පී.සී.ආර්.පරීක්‍ෂණයක් සිදු කර ගන්නේ කොරෝනා රෝගී තත්ත්වයක ලක්‍ෂණ පහළ වූ විටය. තරංගලා නාගොඩ මහ රෝහලට ගිහින් පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදු කර ගත් පසු එම රෝහලේ අදාළ නිලධාරීන් විසින් මතුගම ප‍්‍රදේශයේ අදාළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් දැනුවත් කොට ඔවුන්ගේ නිවෙස් නිරෝධායනය කළ යුතුව තිබිණි. එසේ වූවා නම් පී.සී.ආර්. පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තෙක් තරංගලා නිවසට වී සිටින්නේය. වන්දනා ගමන් යන්නේ ද නැත. කඩ සාප්පු ගානෙ ඇවිදින්නේ ද නැත. බැංකු කටයුතු සිද්ධ කරන්නේ ද නැත. මතුගම කොරෝනා පුරයක් වෙන්නේ ද නැත. එහෙයින් දැන්වත් කෙනෙකු පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදු කරගත් දින සිට ඔවුන්ගේ නිවෙස් නිරෝධායනට ලක් කිරීම සෞඛ්‍ය අංශ විසින් අමතක නොකළ යුතුය. කොරෝනා දෙවැනි රැල්ල පැතිරෙන මේ දිනවල පමණක් නොව, මේ වසංගත තත්ත්වය පහව ගිය පසුව ද එලෙසින්ම එම සෞඛ්‍ය සේවා පවත්වාගෙන යා යුතුය. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුරට අමතරව අප සමාජයට කොරෝනා ඇතුළු වී ඇති බව ද තිස්සමහාරාමයේ තරුණයා කියන කතාවෙන් පැහැදිලිය. එහෙයින් කොරෝනා අපත් සමඟ තව කාලයක් ජීවත් වන බවට සැක නැත.
 
 එමෙන්ම කෙනෙකුට කොරෝනා ආසාදනය වූ පසු රෝගය වැළඳුණු මූලය සොයා ගොස් වහකයා හඳුනාගෙන වසංගත ව්‍යාප්තිය පාලනය කරගැනීම සෞඛ්‍ය අංශවල කාර්යභාරයකි. ඒ හැර මිනිසුන් විසින් විවිධ කටකතා ගොතමින් එම රෝගියාගේ බිදුණු මානසික මට්ටම තව, තවත් බිඳ දැමීමට කටයුතු කිරීම තිරිසන් ගතියකි. එමෙන්ම වාර්තා වන අන්දමට කොවිඞ් රෝහල්වලදී රෝගීන්ට ලැබෙන පහසුකම් කියන තරම් සුන්දර නැති ගානය. එහෙත් කොරෝනා වසංගතය පාලනය කරගැනීමට රටේ සෞඛ්‍ය සේවාව නිරෝගී සම්පන්නව සිටිය යුතුය. එහෙයින් කොරෝනා ආසාදනය වී රෝහල්ගතව නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට යම් අඩු පාඩුවක් වුවද එය විඳ දරාගෙන සෞඛ්‍ය සේවකයන්ට උපරිම ශක්තිය ලබාදීමට මේ මොහොතේ වගබලා ගත යුතුය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles