Divaina - පොකුරු පොකුරු ඇවිත් රටම ලොක්ඩවුන් වෙයිද?... කෝවිඞ් සමාජයේ පැතිරිලාද? දෙවැනි රැල්ල ඉවර වෙන්නේ කවදාද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ
 

pokuru



 සාකච්ඡා කළේ
 සිරිමන්ත රත්නසේකර
 
නැවත වතාවක් කොරෝනා වසංගතය රට ආක‍්‍රමණය කරමින් ඇති මොහොතක ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු.
 
 පහතින් පෙළ ගැසෙන්නේ වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.
 
 ප‍්‍රශ්නය - රටේ බොහෝ තැන්වලින් මේ වන විට කොරෝනා රෝගීන් හමු වෙනවා. නමුත් වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ තවමත් එය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් නැති බවයි.
 
 මේ අදහස සම්බන්ධයෙන් මත දක්වන සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ දෙනෙක් ”සමාජයේ තියෙන්නේ ලංකාවේ නොවේදැයි” යන්න විමසීම් කරනවා.
 
 පිළිතුර - සමාජ මාධ්‍ය තුළ ඉතා උපහාසාත්මකව ඒ වගේම නිර්මාණාත්මකව ඒ සම්බන්ධයෙන් පෝස්ට් පළ වෙනවා. නමුත් වසංගත රෝග විද්‍යා අංශය සමාජ ව්‍යාප්තියත් යන්න සඳහා ලබාදී ඇති නිර්ණායකය අනුව තවම කොරෝනා වසංගතය අප රට තුළ එම තත්ත්වය සමාජයේ ව්‍යාප්තියක් දක්වා ගොස් නැහැ.
 
 ප‍්‍රශ්නය - නමුත් බ‍්‍රැන්ඩික්ස් පොකුරට අමතරව තවත් උප පොකුරු ගණනාවක්ම සමාජය තුළින් මේ වන විට මතුව තිබෙනවා. ඇත්තටම මෙම රෝගීන් සමාජය තුළින් හමු වූ රෝගීන් නොවේ ද?
 
 පිළිතුර - ඒ සමාජය තුළින් මතුවූ පොකුරු සහ රෝගීන් තමයි. පසුගිය බ‍්‍රහස්පතින්දා (22 වැනිදා) රාත‍්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් 269 දෙනාගෙන් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූයේ රෝගීන් දෙදෙනෙකු පමණයි. ඒ කියන්නේ ඉතිරි රෝගීන් 267 දෙනාම වාර්තා වී තිබෙන්නේ සමාජයෙන්. ඒ අනුව අන් කවරදාටත් වඩා මෙවර සමාජය තුළින් රෝගීන් මතුවෙන එක කාටත් පිළිගන්න වෙනවා. එය පේන්න තිබෙන දෙයක්. නමුත් මෙතන තිබෙන අනිත් කාරණය එය සමාජ ගතව තිබෙනවා ද යන්නයි. සමාජ ව්‍යාප්තියක් යන්නෙහි තාක්ෂණික නිර්වචනය ”එකකට එකක් සම්බන්ධ නොවන බහුවිධ පොකුරු නිර්මාණය වී තිබීම” යන්නයි.
 
 ප‍්‍රශ්නය - නමුත් බ‍්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ නොවුණු පොකුරු මේ වන විට තැන් තැන්වල නිර්මාණය වෙලා.
 
 පිළිතුර - ඔව්... කුලියාපිටිය, පෑලියගොඩ, මතුගම, ඩොක්යාඞ් වැනි තැන්වල පොකුරු නිර්මාණය වී තිබෙනවා. නමුත් වසංගත රෝග විද්‍යා අංශයට අනුව මේ සෑම පොකුරකට ම බ‍්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධකමක් තිබෙනවා. ඔවුන් මෙය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් නැතැයි පවසන්නේ ඒ නිසයි. තාක්ෂණිකව ගත් පසු වසංගත රෝග විද්‍යා අංශයට අනුව එය සමාජය ව්‍යාප්තියක් කියන්න බැහැ.
 
 ප‍්‍රශ්නය - සමාජ ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය කෙබඳු ද?
 
 පිළිතුර - අපි කියන්නේ කෙස් පැලෙන තර්කවල එල්ලී ගෙන නොසිට, සමාජ ව්‍යාප්තියක් ඇත්ද නැද්ද යන්න තර්ක කර කර නොඉඳ එසේ නොවන තැනකට කටයුතු කළ යුතු බවයි. සමාජ ව්‍යාප්තියක් කරා නොයන්න අප සැවොම උපරිම ක‍්‍රියාමාර්ගවලට යන්න ඕනෑ. බැරි වෙලාවක හෝ සමාජ ව්‍යාප්තියක් රට තුළ සිදු වුවහොත් මේ තිබෙන තත්ත්වය මුළුමනින්ම උඩු යටිකුරු වෙනවා. එය ඉතා භයානකයි. යථාර්ථය සමාජය තුළින් මේ වන විට රෝගීන් මතුවීමයි. සමාජය තුළින් යන වචනයේ එල්ලීගෙන නොඉඳ සමාජය තුළින් රෝගය මතුවීම පිළිගෙන නිවැරදි සෞඛ්‍ය ක‍්‍රියා මාර්ගවලට යොමු වෙන්න ඕන.
 
 ප‍්‍රශ්නය - අනෙක් තැන්වලින් හමු වී ඇති උප පොකුරුවලට වඩා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ තුළින් හමු වී ඇති පොකුර විශේෂත්වයක් ගන්නවා. මොකද, එම පොකුරට සම්බන්ධ අයවළුන් එක තැනකට, එක ප‍්‍රදේශයකට අයත් නොවන විසිරී සිටින අය බවට පැවසෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතුව නිවැරදි තොරතුරු තිබෙනවාද?
 
 පිළිතුර - ඇත්තටම ඔවුන්ගේ හරි තොරතුරු අපට තවම ලැබී නැහැ. එම තොරතුරු අපට වැදගත්. යම් යම් තීන්දු තීරණ ගැනීමේදී එම තොරතුරු අපට ඉතාමත් වැදගත් වෙනවා. නමුත් වසංගත රෝග විද්‍යා අංශය අපට එම තොරතුරු තවම ලබා දී නැහැ. අනික් පාර්ශ්වකරුවන් අතර තොරතුරු බෙදා ගැනීමේ දුර්වලතාවය තවමත් වසංගත රෝග විද්‍යා අංශය සතුව තිබෙනවා. අද (23 වැනිදා) උදේ මම සෞඛ්‍ය ලේකම් යටතේ ඇති අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරියට කතා කළා. නමුත් එම මෙහෙයුම් මැදිරියටවත් නවතම තොරතුරු ලබාදෙන්න වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කර තිබුණේ නැහැ.
 
 ප‍්‍රශ්නය - මෙතරම් බැ?රුම් අවස්ථාවකදී හෝ වසංගත රෝග විද්‍යා අංශය එලෙස කටයුතු කරන්නේ ඇයි ද යන්න ප‍්‍රශ්නයක් නොවේ ද?
 
 පිළිතුර - ඇත්තටම විශාල ප‍්‍රශ්නයක්. ඔවුන් මෙලෙස තොරතුරු ලබා නොදෙන්න හේතු දෙකක් තිබෙන්න පුළුවන්. එකක් ඒ අය සතුව තොරතුරු නැහැ. අනෙක් කාරණය ඔවුන් සතු ඇති තොරතුරු ලබා දීමට ඔවුන් තුළ ඇති අකමැත්ත. මෙම ප‍්‍රශ්නය ජනාධිපතිතුමා වෙත පවා ගොස් තිබෙනවා. නමුත් තවම ඒ සඳහා නිසි විසඳුමක් නැහැ.
 
 ඇත්තටම අපට තොරතුරක් නොදෙන එක පැත්තකින් තියමුකෝ. අඩුම ගාණේ සෞඛ්‍ය ලේකම් යටතේ ඇති මෙහෙයුම් මැදිරියට හෝ කඩිනමින් හරි තොරතුරු දෙන්න ඕන. තොරතුරු නොදීමෙන් ලංකා සිතියම හරියට යාවත්කාලීන කරන්න නොහැකි වෙනවා. රට හමුවේ ඇති අවදානම තක්සේරු කරන්න නම් රෝගීන් මතුවෙන තැන් සිතියම් ගත කරන්න ඕනෑ. එසේ තොරතුරු නොදීමෙන් වෙන්නේ රටට විශාල හානියක් සිදු වීමයි.
 
 ප‍්‍රශ්නය - කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ජනතාව තුළ මුලදී තිබූ බිය දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවෙමින් යන බව පෙනෙන්න ඇති කාරණයක්. ඇත්තටම එහෙම බිය වෙන්න කාරණයක් දැන් නැද්ද?
 
 පිළිතුර - කොරෝනා දැන් හැදෙන්නේ නෑ. හැදුණත් ලොකුවට අමාරු නැහැ. ටිකක් අමාරු වුණත් මැරෙන්නේ නැහැ වගේ අදහස්වල මිනිස්සු ඉන්නවා. හැබැයි සමාජය ව්‍යාප්තියක් වුවහොත් ඒ සියල්ල උඩු උඩුයටිකුරු වෙන එක ඒකාන්තයි. රෝගීන් සඳහා ඇඳන් නැති වේවි. හදිසි ප‍්‍රතිකාර ඇඳන් නැති වේවි. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදි වේවි. මරණ ප‍්‍රමාණය අනිවාර්යයෙන්ම ඉහළ යාවි. සමාජ ව්‍යාප්තිය තුළ දී වැඩිහිටියන්ව, සංකූලතා තිබෙන අයව රැකගන්න අපට නොහැකි වේවි. ඇත්තටම එය කොහෙන් කෙළවර වේවිද කියන්න බැහැ.
 
 ප‍්‍රශ්නය - ලංකාවේ අයට කොරෝනා වෛරසය එතරම් අමාරු නොවන බව සහ ඉන් සිදුවන මරණ අඩු බවත් ඇතැමුන් සඳහන් කරන තවත් කාරණයක්.
 
 පිළිතුර - අපේ රටට කියලා අමුතු කරුණාවක් මේ වෛරසයට නැහැ. මුළු ලෝකයම මේ වන විට මෙම වෛරසය හමුවේ බිඳ වැටෙමින් තිබෙනවා. අප රටේ තිබෙන සෞඛ්‍ය, අධ්‍යාපනය හා ජනතාවගේ දැනුවත් වීම නිසා යම් තරමකට තවමත් රට බේරී තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශය ලබා දෙන ලබා දෙන පණිවිඩය තවමත් ජනතාව හොඳින් ග‍්‍රහණය කර ගනිමින් සිටිනවා. අපගේ වැඩිහිටියන් ඒ වගේම ගර්භණී මාතාවන් ආරක්ෂා කරගන්න තවම අපට පුළුවන් ව තිබෙනවා. අපි පරිස්සම් වෙන්න යැයි කිවූ පිරිසට තවම රෝගය වැඩි වශයෙන් සේන්දු වී නැහැ. දැන් රෝගය හැදෙන්නේ එළියට බැහැල වැඩ කරන අයට. ඇත්තටම සමාජයේ ව්‍යාප්තියක් වෙත ගිය වෙලාවක ඔය පම්පෝරි කතා කියන අය හොයා ගන්නවත් බැරි වේවි. ඒ වෙලාවට වැඩ කරන්න වෙන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට පමණයි. ඒ නිසා මෙම වෛරසය ගැන මතුපිටින් නොබලා අනෙක් රටවලට සිදුව ඇති දේ තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය - කොරෝනා වෛරස පාලනය සම්බන්ධයෙන් ලෝක දර්ශකවල අප රට ඉහළ තැනක සිටියා. නමුත් ඒ තත්ත්වය දැන් මුළුමනින් ම වෙනස් වෙමින් පවතිනවා. ඇත්තටම අපි වෛරසයට හුරු උනාද? බය නැති උනාද? එසේත් නැතිනම් වගකීම් රහිත උනාද?
 
 පිළිතුර - දැන් මතුව තියෙන්නේ ඔය ත‍්‍රිත්වයෙහි සම්මිශ‍්‍රණයක්. පසුගිය මාර්තු අපේ‍්‍රල් මැයි මාසවල රෝගීන් වාර්තා වුවත් ජූලි අපේ‍්‍රල් සැප්තැම්බර් මාසවල රෝගීන් වාර්තා වුණේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සුන්ට මෙන්ම ජනමාධ්‍යයට මෙය අමතක උනා. රටේ ප‍්‍රමුඛ මාතෘකා උනේ මැතිවරණය සහ වෙන වෙන දේවල්... වෛරසය රට තුළ තිබියදී එය බොහෝ දෙනා එය අමතක කළා. අපි බලධාරීන්ට අහඹු සාම්පල පරීක්ෂා කරන්න කිව්වේ ඒ නිසයි. අපේ යෝජනා ප‍්‍රශස්ත ලෙස නොවීම මේ තත්ත්වයට හේතුවයි.
 
 ප‍්‍රශ්නය - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස්, යෝජනා අදාළ බලධාරීන් පිළිනොගන්නා තැනකද තිබෙන්නේ?
 
 පිළිතුර - අපි අපේ දායකත්වය සෑම අංශයක් වෙත ම නොඅඩුව ලබා දෙනවා. ජනාධිපති කාර්ය සාධන බලකායේ සිට අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව දක්වාද ඉන් එහාට ද අපගේ දායකත්වය අප ලබා දෙනවා. නමුත් අපගේ යෝජනා සහ අදහස් ක‍්‍රියාත්මක කිරීම අදාළ බලධාරීන්ගේ කාර්යයක්. අපගේ ඇතැම් යෝජනා ක‍්‍රියාත්මක වෙනවා. සමහර ඒවා පරක්කු වෙනවා. තවත් සමහර යෝජනා ක‍්‍රියාත්මක වන්නේම නැහැ.
 
 ප‍්‍රශ්නය - වෛරසය ක‍්‍රම ක‍්‍රමයෙන් රට තුළ ව්‍යාප්ත වන එක පැහැදිලියි. මේ තත්ත්වය තුළ රට ලොක්ඩවුන් කළ යුතු තත්ත්වයක් තිබෙනවාද?
 
 පිළිතුර- මෙම වෛරසය ලෝකය තුළ මුලින්ම ව්‍යාප්ත වෙමින් පවතින විට රටවල් ලොක් ඩවුන් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළ කාරණයක්. නමුත් අද වනවිට එම මතයේ ඔවුන් ද නැහැ. ඔවුන්ගේ අදහස රටක් ලොක්ඩවුන් කිරීමෙන් වන්නේ රටේ දරිද්‍රතාවය, මන්දපෝෂණය, ජනතාවගේ දුප්පත්කම ඉහළ යෑම සහ ජනතාව මානසික පීඩනයට ලක්වීම පමණක්ය කියලයි.
 
 නමුත් ඊට මෙහා තැනක සිට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට කලාප වසා දැමීමට කටයුතු කළ යුතුයි. ඉන් එහාට ගොස් අවශ්‍ය නම් දිස්ත‍්‍රික් පවා වසා දැමිය යුතුයි. කලාප වසාදැමීම නිසි ලෙස නිවැරැදි වේලාවට සිදු නොවුණහොත් අන් කවරදාටත් වඩා මෙවර කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක් කරා යෑමේ ඉඩකඩ ඉතා වැඩියි. 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles