Divaina - විදුලි අනතුරු ගෙදර හොල්මන් කරන හැටි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

viduli
 
 දයන්ත ජයරත්න
 සිඞ්නි, ඔස්ටේ‍්‍රලියා
 
පසුගිය 14 වැනි දා දිවයින පුවත්පතේ පළවුණු, රාගම 17 වියැති තරුණියක් විදුලි සර වැදී මියගිය පුවත අතිශය කනගාටුදායක පුවතක් විය. එම මරණය පවුලේ අයට කොතරම් කම්පනයක් හා වේදනාවක් ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමසීමට පෙර එම ශෝචනීය මරණය පිළිබඳව පවුලේ සියලූ දෙනා වෙත අපගේ බලවත් සංවේගය පළකරමු.
 
 දිවයින පුවත්පතේ පළ වූ පරිදි මෙම මරණය සිදුවී ඇත්තේ ශීතකරණයක ඇතුළත සිදු වූ විදුලි කාන්දුවකිනි. එම පුවතේ මරණ පරීක්ෂකවරයාගේ තීරණය පිළිබඳ පැහැදිලි සටහනක් නොමැති වුවත් එය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් සේ නිගමනය කළ බව අනුමාන කළ හැකිය. රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර මෙහි අදාළ හදිසි මරණ පරීක්ෂණය සහ සාක්ෂි විභාගය රාගම ශික්ෂණ රෝහලේදී පවත්වා ඇත. රාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා පරීක්ෂණ සිදුකොට සාක්ෂි ඉදිරිපත් කොට ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරි පී. එන්. පී. එන්. බෝරුක්ගම මහතා පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කර ඇත.
 
 මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම සිදුවීම පිළිබඳ පාඨකයෙක් වශයෙන් කිසියම් කරුණු දැක්වීමක් කිරීමය. පළමු කොට මෙය වළක්වා ගත හැකිව තිබූ මරණයක් බව සටහන් කළ යුතුය. පුවතේ ගම්‍ය වන ආකාරයට මෙය එක්තරා අවාසනාවන්ත සිදුවීමක් සේ පෙනී ගියද එය එසේ නොවන බවත් මේ සිදුවීමට අදාළ, පසුබිම් කාරණා කිහිපයක් ඇති බවත් සඳහන් කළ යුතුය. පළමුකොට විදුලි කාන්දු වීමකින් සිදු වූ මරණයක් පිළිබඳව ප‍්‍රදේශයේ විදුලි ඉංජිනේරුවරයාගේ උපදෙස් නොපැතීම පුදුමයට කාරණයකි. නිවාසවල විදුලි පරිපථ ප‍්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට පෙර නිවසේ විදුලි පරිපථය නිසි පරිදි සම්බන්ධ කොට ඇත්ද, අවශ්‍ය ආරක්ෂක උපාංග, භූගතකරණය හා අනෙකුත් මෙවලම් නිසි ලෙස සකසා ඇත්දැයි, එම කටයුතු වෙනුවෙන් අවසරලත් නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම අනිවාර්ය වේ. මෙම මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණයේ ඉතාම වැදගත් අංගය එයි. නමුත් පුවතේ සඳහන් ආකාරයට එබඳු විමසුමක් කොට නැත. මෙම නිවසේ විදුලි පරිපථය නිපුන කාර්මිකයෙකු අතින් සිදු කළාද යන්න අනිවාර්යයෙන් විමසා බැලිය යුතුය. ඒ අනුව මෙම අකල් මරණයට වගකිව යුත්තේ සම්මත ක‍්‍රමවෙදයන්ට පටහැනිව කටයුතු කළ විදුලි කාර්මිකයෙක් ද, එය මනා ලෙස පරීක්ෂා නොකළ පරීක්ෂකවරයෙක් ද යන්න හඳුනා ගත හැකිය. දෙවනුව සලකා බැලිය යුතු කාරණය වන්නේ, මෙම විදුලි පරිපථය නිසි සුදුසුකම් නොලත් අයෙකු විසින් කිසියම් වෙනස්කම්වලට ලක් කොට ඇත්ද යන්නයි.

viduli2ශ‍්‍රී ලංකාවේ නිවසවල නිසි සුදුසුකම් නොමැති අයවළුන් විසින් විදුලි පරිපථයේ වෙනස් කිරීම් සිදුකිරීමත්, නිසි ආරක්ෂක මෙවලම් නොමැතිව විදුලි උපකරණ පරිහරණය කිරීමත් බහුලව දක්නට ලැබේ. සමහර අවස්ථාවල නිසි ලෙස ක‍්‍රියාත්මක වන ආරක්ෂක මෙවලම් මෙම වෙනස්කම් නිසා අක‍්‍රිය විය හැකිය. විදුලි මෙවලම් පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මිලදී ගන්න ලාබ උපාංග හදිසි අනතුරුවලට හේතු විය හැකිය. හදිසි මරණ පරීක්ෂණයේ දී අවධානයට ලක් නොවූ අනෙකුත් කාරණය නම්, ශීතකරණයේ සිදු වූ විදුලි කාන්දුවයි. පුවතේ සඳහන් පරිදි මෙම තරුණිය ශීතකරණය යට යමක් සෙවීම සඳහා අත පොවා ඇත. විදුලි උපකරණ උදෙසා පනවා ඇති ජාත්‍යන්තර සහ ලාංකික ප‍්‍රමිතීන්ට අනුව කිසිදු නිරාවරණය වූ සන්නායකයක් ශීතකරණයක හෝ වෙනත් උපකරණයක තිබිය නොහැක. සියලූම ප‍්‍රධාන විදුලිය හා සම්බන්ධ සන්නායක අදාළ ප‍්‍රමිතීන්ට අනුව ආවරණය කොට තිබිය යුතුය. මෙම නියමය පාරිභෝගිකයාගේ මෙන්ම විදුලි මෙවලම් අලූත්වැඩියා කරන්නන්ගේ ද ජීවිත ආරක්ෂාව සඳහා පනවා ඇති රෙගුලාසියකි. සමහර විටෙක මෙම ශීතකරණය නිසි සුදුසුකම් නොලත් කාර්මිකයකු විසින් අලූත්වැඩියා කරන ලද්දක් විය හැකිය. එවැන්නෙකු අතින් නිරාවරණය වූ විදුලි සම්බන්ධතා රැහැන් ආවරණය නැවත සවිකිරීම අනවශ්‍ය සේ නොසලකා හැරීම පහසුවෙන් සිදුවිය හැකිය. මෙමෙ අවාසනාවන්ත සිදුවීමේ ඉතාම භයානකම කරණය නම්, අනපේක්ෂිත විදුලි කාන්දුවකදී ක‍්‍රියාත්මක විය යුතු විදුලි විසන්ධි කරන ස්විචය (ටි‍්‍රප් ස්විච්) ක‍්‍රියාත්මක නොවීමයි. එම ටි‍්‍රප් ස්විචය නිසියාකාරව ක‍්‍රියාත්මක වූවා නම් මෙම අකල් මරණය කිසි ලෙසකත් සිදුවන්නේ නැත. මෙය නියත වශයෙන්ම වළක්වා ගත හැකිව තිබූ පමණක් නොව නොසිදුවිය යුතු සිදුවීමකි. ඉතා පැහැදිලිව පෙනී යන කාරණය නම්, මෙම මරණය නොසැලකිලිමත් කම නිසා සිදු වූවක් මිස, අහම්බයක් නොවන බවයි.
 
 මෙවැනි වටිනා ජීවිතයක් අහිමි වීමෙන් පසුව පවා මේ පිළිබඳව වගකිවයුත්තන් කටයුතු කොට ඇති ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැක. මරණය වගකිවයුත්තන් ගෙන් පවුලේ අයට වන්දියක් ගෙවීම, මින් මතුවට මෙවැනි අනතුරු වීමට ඇති ඉඩකඩ වැළකීම, විදුලි මෙවලම් හෝ ශීතකරණයේ ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම ආදී කිසිවක් නිර්දේශ නොකර මරණ පරීක්ෂණය සිදු කිරීම ඉතා කනගාටුදායකය. සමහර විටෙක මෙවැනි පරීක්ෂණ කරන නිලධාරීන්ට විදුලිය හා සම්බන්ධ අනතුරු පිළිබඳ නිසි අවබෝධයක් නොමැති විය හැකිය. මෙම ලිපියේ අරමුණ වූයේ ඉහත සඳහන් කරුණු පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමත්, ඉදිරියේදී විය හැකි මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ‘දිවයින’ පාඨකයන් මෙන්ම මේ පිළිබඳ වගකීමක් ඇති අය දැනුවත් කිරීමත්ය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles