Divaina - කන්ද උඩරට රජවරුන්ට ආරක්ෂාව දුන් හඟුරන්කෙත රජමාළිගාවේ පාදම මතුවේ...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

udarata
 
 සමන්තී වීරසේකර
 
සෙංකඩගල රාජධානියේ සෙනරත් රජ සිට රාජ පරම්පරාවේ රජුන්ගේ ආරක්ෂාව පිණිස හ`ගුරන්කෙ, ඉදිකර තිබූ රාජමාළිගයේ නටඹුන් මතුවීම මත ලාංකේය පෞඩ ඉතිහාසයේ නව පිටුවක් පෙරැළී තිබේ. පාදම සමග රජමාළිගාවේ බැම්මක් හෝ පොකුණක් වැනි ස්මාරකයක් ද මතුවීමෙන් අපගේ මුතුන් මිත්තන්ගේ ජය භූමිය පිළිබ`ද වූ ඉතිහාසය යළි අවදි කර ඇති බවක් හැ`ගී යන්නේය.
 
 කන්ද උඩරට අවසන් රාජධානිය අවසන් වූ එක්දහස් අටසිය දහඅට වසරේ සිට සියවස් දෙකකට ආසන්න කාලයක් කැනීම් නොකළ, හ`ගුරන්කෙත අතීත උරුමය සොයා ගියේ මේ මෑතකය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් මෙලක ස්ථාපිත කොට වසර සියයකටත් වැඩි කාලයක්ගත වුවද, කැනීම් සිදුකොට මෑතම අතීතය හාරා අවුස්සා ගන්නට මුදල් ප‍්‍රතිපාදන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු නොවීය.
 
 එක්දහස් නවසිය අනූ හයේදී, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ, හ`ගුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හ`ගුරන්කෙත පුරාවිද්‍යා කලාපයේ, දියතලා කන්ද පාමුල අක්කර පහකට ආසන්න භූමිය අවසන් රජ සමයේ නටඹුන් දැයි සෙවීමට අත තැබුයේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතාය.
 
 ඔහුගේ මගපෙන්වීම මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලයේ කැණීම් කණ්ඩායම හ`ගුරන්කෙත කාර්යට අත තැබූයේ ඉකුත් සැප්තැම්බර් මස විසිඅට වැනිදාය. පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි ඒ. එම්. එස්. පාලිත අත්තනායක, කැණීම් නිලධාරි උපාලි ජයසිංහ, කැණීම් සහකාර සරත් අශෝක රණවීර, කැණීම් ශිල්පීන්වන උත්පල කරුණාරත්න සහ සිසිර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළුව තවත් අතිරේක හයදෙනකුගෙන් යුත් කණ්ඩායම කැණීම් කටයුතු ආරම්භ කළහ.
 
 ඔවුහු හ`ගුරන්කෙත පල්ලේමළුව රාජමාළිග පරිශ‍්‍රයේ අධ්‍යනයන් සිදු කළේ, ගවේෂණාත්මක වාර්තාවක් සකස් කිරීම ස`දහාය. එම වාර්තාව අනුව සැලසුම් සකස් කරමින් කැණීම් පිළිබ`දව යෝජනා ඉදිරිපත් කොට තිබිණි. පිහිටීම ඉතිහාසගත තොරතුරු අනුමානයන් යන සාධක මත, කැණීම් ස`දහා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයාගේ අවසරය ඇතිව ස්ථාන හතරක් ඇසුරින් කැණීම් ආරම්භ කළහ. ඒ අනුව පළමුව මතුපිට සිට සෙන්ටි මීටර් එකසිය අසූවක ගැඹුරින් යුතු වලවල් කණිනු ලැබිණි. පළමු කැණීමේදීම ගල්වලින් ඉදිකරන ලද බැම්මක් හෝ පොකුණක එක් කොටසක් හෝ යන අනුමාන කොටසක් මතුවිය. මීටර් තුනහමාරක් දිග සහ මීටර් එකහමාරක් පළලින් යුතු කොටසක් මතු වූයේ කැණිම් හි සාර්ථකත්වය සාක්ෂි සහිතවම සනාථ කරමිනි.
 
 මේ පිළිබ`දව පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි පාලිත අත්තනායක මහතා කියා සිටින්නේ මෙවැන්නකි. ‘‘මෙම ඉඩම පුරාවිද්‍යා ස්මාරක සහිත ගොඩනැ`ගිල්ලක් ලෙස ගැසට් කළේ එක්දහස් නවසිය අනු හයේදී. මොකද 1930 ගණන්වල ඉ`දන් මේ අක්කර හතර පහ කොටසේ මිනිස්සු පදිංචි වෙලා ඉ`දලා තියෙනවා. එක්දහස් අටසිය දහ අටේ ඉංග‍්‍රීසීන්ගේ පාලනයට නතු වූ අවස්ථාවේදී මේ ආසන්නයේ වතු පාලනය කරලා තියෙන්නේ සොයිසා මත්තයා කියන වතු පාලකයා. ඔහු ඉවක් බවක් නැතිව මේ ඉඩම්වල ලැයිම් හදලා. මිනිස්සු පදිංචි කරලා. ඒ මිනිස්සු මේ භූමියේ විවිධ කටයුතු කරලා. නිවාස තිබූ නිසා වැසිකිළි වළවල් පවා කපලා. ඒ අනුව ඉතිහිසයට අයිති බොහෝ දෑ විතැන් වෙලා.. හානිවෙලා. 1990 තමයි මේ භූමියෙන් ඔය කියන ජනතාව ඉවත් කරලා තිබෙන්නේ.
 
udarata2අපේ කැණීම් සිදු කෙරුණෙ, අගලක් විදිහට. මේ තාක් පළපුරුදු විදිහට මුල් කණීම් අවස්ථාවලදීම අපට දැනෙනවා මේ බිමේ පුරාවිද්‍යා සාධක මතුවෙනවාද නැද්ද කියන කාරණාව. මුලින්ම ගල්වලින් තනන ලද බැම්මක් මතුවුණා. එය ඕවලාකාර හැඩයක් සහිතව පාදම දක්වා ඉදිවී තිබුණා. දෙවැනි රාජසිංහ රජු තමයි මේ මාළිගාව අලංකාරවත් බවින් අනූනව සකසා තිබෙන්නේ. ඒ නිසා මෙය පොකුණක් කියා සැක කළ හැකි අවස්ථාවක් බව අපි හිතුවා. එහි පතුලේ ගල්පතුරු අතුරා පිළිවෙළකට සකසා තිබුණා. ඉන් අනතුරුව ක‍්‍රමිකව උතුරු දෙසින් පාදම මතුවෙන්න පටන් ගත්තා. මීටර් අටක් දිග මීටර් අටක් පළල පාදම අපේ කටයුත්ත සාර්ථක වන බවට ඉ`ගි කළ සංදිස්ථානයක්.....”
 
හ`ගුරන්කෙත නගරාසන්නයේ අදටත් දක්නට ලැබෙන පොත්ගුල් විහාරය 1833 වසරේ දොරැටියාගම අත්ථදස්සි හිමියෝ විසින් වැඩිදියුණු කරන ලද විහාරයකි. එහි නැගෙනහිර විහාර දොරටුව හ`ගුරන්කෙත රාජ මාළිගාවෙන් ගත්තක් බව කියැවේ. තවද ස`දකඩ පහන, ලී කැටයම් සහිත කණු විශිෂ්ඨ කැටයම් සහිත දොරවල්, ජනේල පියන් ආදියද මාළිගාවේ තිබූ සුන්බුන් අතරින් ගෙන යළි ඉදිකළ ඒවා බව කියැවේ. එපමණක්ද නොව, සොයිසා මහතාගේ මැදිහත් වීමෙන් ඉදිකළ බව කියන හ`ගුරන්කෙත එමානුවෙල් පල්ලියේ ස`දහකඩ පහනද රජ මාළිගයේ සුන්බුන් අතරින් ගෙන ගොස් තබන ලද්දක් බව කියැවේ.
 
 රජ මාළිගයේ සුන්බුන් අතරින් ගෙන යන ලදුව නම් මේ මාළිගය කවරකු විසින් හෝ බි`ද දමන්නට ඇත. ඒ කොයි කලෙකද කවරකු විසින් දැයි සොයා බැලිය යුතුය. හ`ගුරන්කෙත රජ මාළිගයේ ඇතැම් තොරතුරු රොබට් නොක්ස් ලියූ එදා හෙළදිව කෘතියෙහි ස`දහන්ව ඇත. ඔහු කියා ඇති පරිදි, ”දැඩි ආරක්ෂාව ස`දහා වට ප‍්‍රාකාර බැම්මකින් සමන්විතව ඉදිකර ඇත. පියස්සක් සහිත රාජ මාළිගයේ සදළුතලය කළුවර ලීයෙන් සකසා තිබිණි. කැටයම් සහිත දෙපියන් දොරවල්, දොරජනෙල් කවුළුවල රිදී තහඩු යොදවා ආරක්ෂාව පිණිස දේශීය විදේශීය නීග්‍රෝ හේවායින් යොදවා ඇත. 1765 කාලයේදී ලන්දේසීන් විසින් මාළිගයට ගිනි තබා ඇති බවත්, යළි රජ මාළිගය න`ගාසිටුවූ බවත් රොබට් නොක්ස් කියා ඇත. නැවත 1803 දී ගිනි තබා ඇති බව ද නමුත් 1815 වන විට හ`ගුරන්කෙත මාළිගයේ වහළය දිලිසෙන රත් පැහැයෙන් දිස් වූ බව ද කියා ඇත. හෙතම මහනුවර සිට බදුල්ල දක්වා යන ගමනේදී ඒ වග දුටු බවත් 1818 දී බදුල්ලේ සිට යළි පැමිණෙන විට මාළිගය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව දුටු බවත් නොක්ස් සිය කෘතියෙන් පෙන්වා දී ඇත. එම තොරතුරු සමග හ`ගුරන්කෙත මාළිගයේ අප‍්‍රකට තොරතුරුවල වැදගත්කම සේම, මෙහි ජීවත් වූ රාජ රාජාධීන් පිළිබ`ද තොරතුරු තවදුරටත් සොයා ගියෙමි. ඒ ස`දහා පෙළගැස්මක් සහිතව උරුමය ගෙනහැර පෑවේ, සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ, ගවේෂක (චංචල දේපල) පුරාවිද්‍යා ගවේෂක මානව වංශික විද්‍යා ජනශ‍්‍රැති පර්යේෂක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය විරාජ් නෙරංජන් බාලසූරිය මහතා හ`ගුරන්කෙත සදාතනික ලේ උරුමය විග‍්‍රහ කරනු ලැබූයේ මෙසේය.
 
 ”ලංකාවේ උරුමය ආරක්ෂා කිරීම පිණිස රාජ්‍යත්වය පෙළ ගැසුණේ දළදා උරුමය සමග බද්ධ වෙමින්. දළදා සමි`දුගේ ආරක්ෂාව පිණිස රාජවංශිකයෝ නොකළ දෙයක් නැහැ. ඔවුන් ඒ හරහා සිංහල රාජ්‍යත්වය ආරක්ෂා කළා. ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාවේ උරුමය ආරක්ෂා වූයේ දළදා උරුමයත් ලේ උරුමයත් සමග. කන්ද උඩරට අවසන් රාජධානිය රජකරද්දී හ`ගුරන්කෙතට රජ මාළිගාවක් කුමකටද යන්න ප‍්‍රශ්නයක්. සේනාසම්මත වික‍්‍රමබාහු රජ හෙවත් තුන්වැනි වික‍්‍රමබාහු රජතුමා ගම්පොළ අනාරක්ෂිත බව තහවුරු කරමින් උඩවාසලවත්ත හෙවත් අද උඩවත්ත කැලේ දෙසට පැමිණ සෙංකන්ඩ බ‍්‍රාහ්මනයාගේ ලෙන ඇසුරේ වෙසෙනවා. දහහතර වැනි සියවසේ නිර්මිත මහනුවර නාථ දේවාල භූමිය ආසන්නව වෙසෙන ඔහු ඇතුල් නුවරට යාබද මාළිගයේ නවාතැන් ගන්නේ ආරක්ෂාව පතායි. ගිරිදුර්ග, වන දුර්ග, ජලදුර්ග වලින් සමන්විත සෙංකණ්ඩගල පුරය ආරක්ෂාව පිණිස ඉතා සුදුසු පරිසරයක් සහිත බව ඔහු වටහා ගන්නවා.
 
 එක්දහස් පන්සීය අනූවේ සිට එක්දහස් හයසිය හතර දක්වා කාලය පුරා කන්ද උඩරට රාජ්‍යත්වයට පැමිණි පළමු රජු වූයේ පළමුවැනි විමලධර්මසූරිය රජුයි. දෙවැනියට රජ වූ සෙනරත් රජු ධාර්මික බවින් පිරිපුන් රජෙකු ලෙස ප‍්‍රකටයි. ඔහු ලේ රජ සමයේ කන්ද උඩරටට පෘතුගීසි ආක‍්‍රමණ ඇති වෙමින් පැවතියා. එවිට දළදා වහන්සේ ආරක්ෂා කරගැනීම පිණිස අර්බුදයක් මතු වුණා. ඊට විස`දුම් ලෙස සෙනරත් රජු විසින් හ`ගුරන්කෙත මාළිගයක් තනවා එහි දැඩි ආරක්ෂක රැකවල් යොදා දළදා වහන්සේ ස`ගවා තබනවා. 1604 සිට 1635 කාලයේ හුන් සෙනරත් රජුගෙන් පසුව දෙවන රාජසිංහ රජු 1687 තෙක් කන්ද උඩරට රාජත්වයට පත්වෙනවා. මේ කාලය තුළ හ`ගුරන්කෙත මාළිගය තවදුරටත් වැඩි දියුණු කරමින් සංවිධිත මාළිගා පරිශ‍්‍රයක් බවට පත්කරනවා. පවුරු ප‍්‍රාකාර දිය අගල් වැනි බාධක ද, පොකුණු වැව් ලියකම් ගල්කම් සියල්ල යොදවා අලංකාර මාළිගයක් තැනීමට ඔහු කටයුතු කරනවා. එකළ තමයි දැඩි ආරක්ෂිත සේම උසස් නිර්මාණශීලී බවින් යුතුව හ`ගුරන්කෙත මාළිගය ඉදිවන්නේ. ඔහුගේ සමයේ දියතිලක නුවර මාළිගය ලෙස හ`ගුරන්කෙත මාළිගය නම් වෙනවා. දෙවැනි රාජසිංහ රජු පෘතුගීසීන් එළවන්නට ලන්දේසීන්ට සමීප වන්නේ මේ කාළේ. ඉ`ගුරු දී මිරිස් ගත්තා වාගේ කියන පිරුල නිර්මාණය වුණේ මේ පසුබිමත් සමගයි. ලන්දේසි ආක‍්‍රමණය ඉතා ප‍්‍රබල වෙනවා. දෙවැනි රාජසිංහ රජුගේ පුත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ වන්නේ 1707 දී. ඊට පෙර කාලයේ දෙවන විමලධර්මසූරිය රජු රාජ්‍යත්වය ලබනවා.
 
 ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු සෙල්ලක්කාරයෙක්. ඒ නිසයි ඔහුට සෙල්ලම් නිරු`දු නාමය පට බැ`දුනේ. ඔහු හ`ගුරන්කෙත රජ මාළිගයට සමාන මාළිගාවක් කුණ්ඩසාලයේ ඉදිකරනවා. මොහු ද ආරක්ෂාව පතා හ`ගුරන්කෙත මාළිගයේ රැකවල් අතර ආරක්ෂා වෙනවා. ඔහු මාළිගය අවට කුඩා නිවාස තනවා ඒ ප‍්‍රදේශයේ වෙසෙන රූමත් කතුන් සේවය ස`දහා මාළිගාවට බ`දවා ගන්නවා. මේ අතර ඉන්දියාවෙන් නායක්කාර වංශික කාන්තාවන්ද ගෙන්වා ගන්නවා. ඔහු තමයි සිංහලයේ අවසන් සිංහල රජු. මොකද ඉන් පසුව රජ වූයේ, නරේන්ද්‍රසිංහ රජුයේ නායක්කාර වංශික බිසවගේ සහෝදරයා වන විජය රාජසිංහ රජතුමා. ඔහු දකුණු ඉන්දියානු සම්බවයක් සහිත පුද්ගලයකු වීම මත හ`ගුරන්කෙත මාළිගය ආශ‍්‍රිතව විෂ්ණු පත්තිනි දේවාල ඉදිකරනවා. මේ සියලූ රජවරු හ`ගුරන්කෙත මාළිගයේ වරින් වර ඉදිකිරීම් සිදුකරමින් වැඩිදියුණු කරනවා. 1818 දී ජාතික විමුක්ති අරගලය තෙක් දළදා වහන්සේට ආරක්ෂාව යහමින් සැපයූවේ හ`ගුරන්කෙත රජ මාළිගාව ආශ‍්‍රිත ස්ථාන. දළදා වහන්සේ හ`ගුරන්කෙත වැඩසිටින තාක් රාජෝත්තමයෝ විසුවේ හ`ගුරන්කෙත රජ මාළිගාවේ. අද පාදම මතුව තිබෙන්නේ මෙන්න මේ ඓතිහාසික බිමෙහි.
 
 ශ‍්‍රී ලංකාවේ රැකවරණය පතා වූ සටන්කාමීත්වය සිහිකරද්දී සාධනීයම සාධකය වන්නේ හ`ගුරන්කෙත රාජ මාළිගයයි. මෙය සටන් කළ ජය භූමියක්. මතු පරපුර තෙක් මේවා රැකගත යුතු වන්නේ ඉතිහාසයේ ප‍්‍රබල මං සලකුණු එහි සටහන්ව තිබෙන නිසායි...”
 
 අතීතය සමග වර්තමානයත් අනාගතයත් බද්ධ වී තිබෙන බව අපට හැෙ`ගන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ මතු වූයේ ඉතිහාසයේ ශක්තිමත් පවුරක්. එය ලංකාව පමණක් නොව ලෝකයම අගය කළ යුත්තක්. මන්ද මේ ඉතිහාසය දෑසින් දැක කියවන්නට පෙරලූ මුල් පිටුව වන නිසාය. 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles