Divaina - බලය බෙදා ගැනීමේ ආණ්ඩුව: අනුපාතයට අනුව බලය!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

fedaral
 
 නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ
 
බලය බෙදා ගැනීමේ කොන්සොසියේෂනල් ක‍්‍රමවේදය සහිත ආණ්ඩුවක මූලික ලක්ෂණ හතරෙන් දෙකක්, එනම් මහා සභාග ආණ්ඩුවක් තිබීම සහ සුලූතර කණ්ඩායම්වලට ලැබෙන නිෂේධ බලය පිළිබඳ පසුගිය සති දෙකෙහිදී අපි සාකච්ඡා කළෙමු. මෙවර තුන්වැනි ලක්ෂණය වන වාර්ගික අනුපාතයට අනුව ආණ්ඩුවේ එක් එක් ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම්වලට ලැබෙන අවස්ථාව සහ බලය පිළිබඳව සාකච්ඡා කරමු.
 
 සරල බහුතර මැතිවරණ ක‍්‍රමයට අනුව පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තේරීමේදී එක් මැතිවරණ කොට්ඨාසයක් සඳහා වැඩියෙන් ඡන්ද ලබා ගන්නා අපේෂකයා එම කොට්ඨාසය නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට තේරී පත්වේ. ශ‍්‍රී ලංකාවේ දැන් පවතින සමානුපාතික ඡන්ද ක‍්‍රමයට කලින් පැවැති ඡන්ද ක‍්‍රමය ද මෙවැනි ආකාරයකට පැවතුණි. එම ක‍්‍රමයට පැවැති ශ‍්‍රී ලංකාවේ මැතිවරණවලදී අදාළ මැතිවරණ කොටසේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා තෝරනවිට වැඩිම ඡන්ද ලබා ගන්නා පක්ෂයේ අපේෂකයා එම මුලූ ආසනය වෙනුවෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. ඒ නිසාම ‘ජයග‍්‍රාහකයාට සියල්ල හිමිවන ක‍්‍රමයක්’ ලෙස මෙම සරල බහුතර ක‍්‍රමය හැඳින්වේ. එමගින් ප‍්‍රායෝගිකව බහුතර මතය පමණක් නියෝජනයවන අතර, බහුතරය ලබා නොගත් අපේෂකයන්ට හෝ පක්ෂවලට ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ මතය එමගින් නියෝජනය නොවේ. බහුතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මය අනුව බහුතරයට පමණක් අවස්ථාව සහ බලය ලැබෙන මෙම ක‍්‍රමය නිසා සුලූතර කණ්ඩායම්වලට අසාධාරණයක් සිදුවේ. එබැවින්, එක් එක් අපේෂකයා හෝ පක්ෂය ලබා ගන්නා ඡන්ද අනුපාතයට අනුව මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමේ සමානුපාතික ඡන්ද ක‍්‍රමය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ අතර, එම සමානුපාතික ක‍්‍රමය මගින් බහුතරයක් ලබා ගත නොහැකි සමාජයේ සෙසු කොටස්වලට ද අවස්ථාව සහ බලය ලැබෙන බව සැලකේ.
 
 කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක‍්‍රමවේදය සහිත ආණ්ඩුවක ‘අනුපාතික මූලධර්මය’ ලෙස හැඳින්වෙන්නේ ඉහත සාකච්ඡා කළ ආකාරයට එක් එක් වර්ගයාගේ අනුපාතයට අනුව විවිධ ආයතන හා ක්ෂේත‍්‍රවල අවස්ථාව සහ බලය එකී සෑම කණ්ඩායමකම නියෝජිතයන්ට ලබා දීමේ මූලධර්මයයි. එය බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක තුන්වැනි වැදගත් මූලධර්මය ලෙස මහාචාර්ය අරෙන්ඞ් ලෙයිෆාර්ට් 1977 දී ලියා පළ කළ ‘Democracy in Plural Societies’ (බහුවිධ සමාජයන්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදය) නමැති සිය කෘතියේ විස්තර කරයි.
 
 මේ අනුව තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පාලන ආයතනවලට තෝරා පත් කර යැවීම සඳහා පැවැත්වෙන මැතිවරණවලදීත්, ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය වැනි තීරණ ගැනීමේ ආයතනවලට පත් වීම් සිදු කිරීමේදීත්, රජයේ පරිපාලන නිලධාරින් සහ වෙනත් පත් කිරීම් සිදු කිරීමේදීත්, ආණ්ඩුවේ මුදල් වෙන් කිරීමේදීත් වාර්ගික අනුපාතය අනුව පත් කිරීම් සහ අදාළ වෙන් කිරීම් සිදු කිරීම බලය බෙදා ගැනීමේ කොන්සොසියේෂනල් ආණ්ඩුවක මූලික ලක්ෂණයක් වේ. මෙම මූලධර්මය අනුගත කිරීමෙන් බහුතරය මතය අනුව පමණක් ආණ්ඩුවේ කටයුතු පාලනය කිරීම මෙන්ම, සුලූතරයගේ නිෂේධ බලය මගින් විශේෂ සුලූතර බලයකට බහුතරය යටත් කිරීම යන ක‍්‍රම දෙකටම වඩා වෙනස්, සමබර ක‍්‍රමයක් මහා සභාග ආණ්ඩුව තුළ නිර්මාණය කෙරෙන බව මහාචාර්ය ලෙයිෆාර්ට් කියයි. එබැවින්, අනුපාතික පදනම මහා සභාග ආණ්ඩුවකට යහපත් අංගයක් බව ඔහු පෙන්වා දෙයි.
 
 අනුපාතික මූලධර්මය මගින් හැකි සෑම කුඩා ඒකකයක් දක්වාම ආණ්ඩු බලය බෙදා ගැනීම සිදු කෙරේ. එමගින්, හැකි සෑම දෙනෙක්ම තෘප්තිමත් කිරීමට හැකිවන නිසා එමගින් වාර්ගික බෙදීම් හේතුවෙන් ඇති වන ගැටුම් මඟ හරවා ගැනීමට විශාල රුකුලක් ලැබේ. අනුපාතික මූලධර්මය පිළිබඳ මහාචාර්ය යූග් ස්ටෙයිනර් සඳහන් කරන ආකාරයට එමගින් ‘එක් එක් කණ්ඩායමේ සංඛ්‍යාත්මක ශක්තියේ අනුපාතයට අනුව තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව ලැබේ.”
 
 එහෙත් මේ ආකාරයට මහා සභාග ආණ්ඩුව තුළ අනුපාතයට අනුව තීරණ සඳහා බලපෑම් කිරීමේ හැකියාව ලැබෙන්නේ ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්න පිළිබඳ කේවල් කිරීමේ අවස්ථාව සියලූම කණ්ඩායම්වලට ලැබෙන බව සහතික වුවහොත් පමණකි. ඒ අනුව, මහා සභාගය තුළ සියලූ කණ්ඩායම් නියෝජනය විය යුතුවා පමණක් නොව, එකී කණ්ඩායම්වලට ඔවුන්ගේ සංඛ්‍යාත්මක අනුපාතයට අනුව එකී නියෝජනය සහතික වී තිබිය යුතුය. උදාහරණයක් ලෙස ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් කවුන්සිලය සෑදී තිබෙන්නේ අනුපාතික නියෝජනය සහතික වන ආකාරයටය. එහෙත්, මෙහිදී පෙන්වා දිය යුතු කරුණක් වන්නේ ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් කවුන්සිලය අනුපාතික මූලධර්මයට අනුව තීරණ ගැනීමේ ක‍්‍රමවේදය මත සකස් වුණද යම් කරුණු සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ පවත්වන සෘජු ජනමත විචාරණ මගින් තීරණ ගැනීමේදී බහුතරයේ කැමැත්ත අනුව එකී තීරණ ගැනීම සිදු කරන බවයි.
 
 එසේම, ඔස්ෙටේ‍්‍රයාවේ කැබිනට් සභාග මණ්ඩලය තුළ ද එහි ප‍්‍රධාන පාර්ශ්ව කණ්ඩායම්වල ඡන්ද ශක්තියේ අනුපාතයට අනුව නියෝජිතත්වය හැකි උපරිම හා විශ්වාසනීය ලෙස සහතික කර ඇති බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.
 
 එහෙත්, අනුපාතික මූලධර්මයට අනුව කැබිනට් මණ්ඩලය පත් වී තිබුණත්, යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නවාද? නැද්ද? යන්න පිළිබඳව ලබා ගැනීමට උත්සාහ කරන්නේ ‘‘ඔව්” හෝ ‘‘නැහැ” යන තීරණ දෙකින් එකක් නම්, සියලූදෙනාම ‘‘ඔව්” හෝ‘‘නැහැ” යන දෙකින් එකකට එකඟ නොවන අවස්ථාවලදී එක්කෝ අනුපාතිකව බහුතරය හිමිවන කණ්ඩායමට වාසිදායක ලෙස එකී තීරණය ගනු ලබයි; නොඑසේ නම්, සුලූතරය සිය නිෂේධ බලය පාවිච්චි කරමින් බහුතරය මතයට අනුව තීරණයක් ගැනීම වළක්වාලයි. එහිදී එම තීරණයට අදාළව එක් පසෙකින් ජයග‍්‍රාහකයන් කණ්ඩායමකුත්, අනෙක් පසින් පරාජිතයන් කණ්ඩායමකුත් බිහිවේ. එය සභාග ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලූ සහගතය. මෙම ගැටලූවට සම්පූර්ණයෙන් සාර්ථක විසඳුමක් නොමැති බව පෙන්වා දෙන ලෙයිෆාර්ට්, යම් අසම්පූර්ණ මට්ටමකින් මෙම අවාසිදායක තත්ත්වය මඟ හරවා ගැනීමට විසඳුම් ක‍්‍රම දෙකක් යෝජනා කරයි.
 
 එක් ක‍්‍රමයක් වන්නේ කැබිනට් මණ්ඩලයේ විවිධ කණ්ඩායම්වලට වෙන් වෙන්ව අදාළ වන කරුණු රාශියක් එකිනෙකට සම්බන්ධකර, එය එක් කාරණයක් හෝ ‘පැකේජයක’ ලෙස එකට ගොනු කර, සියලූ දෙනා එක්වී යම් පොදු තීරණයක් ඒ සියලූ කරුණු සම්බන්ධයෙන් ගැනීමයි. එමගින් එහි අන්තර්ගත කරුණු අඩුම ගණනේ එකක් හෝ යම් කණ්ඩායමක යහපතට අදාළ වන බැවින්, එම කරුණින් ලැබෙන යහපත් ප‍්‍රතඵලය ආරක්ෂාකර ගැනීම සඳහා ‘මුළු පැකේජයටම’ එකඟ වීමට සියලූ දෙනාට සිදුවේ.
 
 අනෙක් ක‍්‍රමය වන්නේ, තීරණයක් ගැනීමට දුෂ්කර මෙන්ම, ඉතා වැදගත් ප‍්‍රශ්න පිළිබඳව තීරණ ගැනීම ඉහළම මට්ටමේ නායකයන් කිහිපදෙනෙකුගේ කුඩා කණ්ඩායමක් අතට භාර කිරීමයි. ඉහළම මට්ටමේ නායකයන් යම් නිල නොවන රහසිගත සාකච්ඡාවලින් ලබා ගන්නා එකඟතාවන් මත ඔවුන් සියලූදෙනා එකඟවන තීරණයකට පැමිණීමට ඔවුන්ට අවස්ථාව උදාකර ගත හැකි බව ලෙයිෆාර්ට් කියයි.
 
 අනුපාතික මූලධර්මයේ වෙනස් ආකාර දෙකක් පිළිබඳව ද ලෙයිෆාර්ට් සාකච්ඡා කරයි. එකක්, සුලූතර කණ්ඩායම්වලට සිය සැබෑ ශක්තියට වඩා නියෝජිත අවස්ථාව ලබා දීමයි. දෙවැන්න, බහුතර සහ සුලූතර සියලූ කණ්ඩායම්වලට එක හා සමාන නියෝජිත අවස්ථාව ලබා දීමයි. නිදසුනක් ලෙස, උතුරු අයර්ලන්තයේ 48% ක් පමණ වන ප්‍රොතෙස්තන්ත ආගමිකයන්ටත්, 45% ක් වන කතෝලිකයන්ටත් උතුරු අයර්ලන්ත පොලිස් සේවාවේ රැකියා සියයට 50 / 50 වන ලෙස ලබා දී තිබේ. එය එකිනෙකාගේ සැබෑ අනුපාතයට වෙනස් වනවා පමණක් නොව, සමාන අවස්ථාවක් දෙපාර්ශ්වයටම ලබා දීමකි.
 
 එසේම 1970 ඇති කළ ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයකට අනුව බෙල්ජියමේ ලන්දේසි භාෂාව සහ ප‍්‍රංශ භාෂාව කතා කරන ඇමතිවරුන් සමාන ගණනක් සහිත වන සංයුතියකට අනුව කැබිනට් මණ්ඩලය සකස් කෙරුණු අතර, එමගින් ප‍්‍රංශ බස කතාකරන ඇමතිවරුන් සිය ජන අනුපාතයට වඩා වැඩි ගණනක් කැබිනට් මණ්ඩලයට නම් කෙරුණි. එහෙත්, මෙය ප‍්‍රධාන කණ්ඩායම් දෙකක් පමණක් ඇති සමාජ තත්ත්වයන්හිදී සාර්ථකකර ගත හැකි ක‍්‍රමවේදයක් බව මහාචාර්ය ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.
 
 
 ලබන සතියේ - බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - 4 වන කොටස

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles