Divaina - එලවලූ ගොවියෝ එක පැත්තක සහල් මාෆියාව තව පැත්තක

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අනුරාධ තෙන්නකෝන්
සභාපති, ජාතික ගොවිජන එකමුතුව

 

vegi444

අප රටේ යළිත් වතාවක් සහල් හිඟයක් පිළිබඳව කථිකාවක් නිර්මාණය වී තිබේ. මෙය ඇත්ත ඇති හැටියෙන් නොදන්නා අය සහල් මාෆියාවක් ලෙස ද හඳුන්වා ඇත. මෙය හුදෙක් මහා පරිමාණ සහල් නිෂ්පාදක මෝල් හිමියන් විසින් බලහත්කාරයෙන් හාල් මිල ඉහළ නංවාලීමට ගනු ලබන කූට උප්පරවැට්ටියක් ලෙස ද සමාජ ගත කරනු ලබයි. ඇත්තෙන්ම මෙය විය හැක්කක්ද? මේ පිළිබඳව විමර්ශනාත්මක විමසා බැලිය යුත්තේය. විශේෂයෙන්ම අප රටේ වගා කරනු ලබන ප‍්‍රධාන බෝගය වී ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තෙන් වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව නිෂ්පාදන හා පර්යේෂණ නිවැරදි දත්ත ඇතුළත් වන පරිදි කෘෂි ආර්ථික සංගණනයක් වාර්ෂිකව සිදු කළ යුතුව ඇත. එසේ නොකර ආනයන ජාවාරම්කාර සමාගම් හා ආර්ථික ඝාතක නලධාරීන්ගේ උපදෙස් මත පිහිටා ඇති කරන තාක් කල් ‘‘සහල් මාෆියාව” වසරක් පුරා අලූත් ආකාරයකින් ඇති වේ. එහි අධ්‍යයන අරමුණු සහල් ආනයන ක‍්‍රියාන්විතයකි. අප රටේ වී නිෂ්පාදනය කරනු ලබන සමස්ථ ප‍්‍රමාණය වගා කළ හැකි ඉඩම්වලින් 48%කි. දළ වශයෙන් 2018/ 2019 මහ කන්නයේ අක්කර 1,870,000 ක් ද (දහ අට ලක්ෂ හැත්තෑ දහසකි) යල කන්නයේ අක්කර 5000කි. සමස්ථයක් ලෙස වාර්ෂිකව වී වගා කරන වපසරිය අක්කර 2,805,000කි. (විසි අට ලක්ෂ පන්දහසකි) මෙය ලැබෙන වර්ෂාපතන තත්ත්වය අනුව වැඩි අගයක් ගනී. අප රටේ නියමිත ආකාරයේ වර්ෂාපතනය ලැබේ. සැපයුම් කටයුතු නිසි පරිදි සිදු වන්නේ නම් වගා කළ හැකි වපසරිය අක්කර (4,000,000) හතළිස් ලක්ෂයක් දක්වා වර්ධනය කළ හැකිය. කෙසේ වෙතත් වාර්ෂික වී ඇස්තමේන්තුගත දළ වශයෙන් මෙ.ටො. පනස් ලක්ෂයකට ආසන්නය. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මෙවර වාර්තාගත වී අස්වැන්නක් ලැබීය. එය මෙ.ටොන් 475,637 කි. බුසල් 22,795,000කි. කුරුණෑගල, අම්පාර, පොලොන්නරුව, හම්බන්තොට සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල වැඩිම වී අස්වනු වාර්තා විය. සමස්ථ වී නිෂ්පාදනය මාස් කන්නයේ මෙ.ටොන් 3,073,000කි. විශේෂයෙන් විශේෂිත මහවැලි කලාපය වූ උඩවලයේ කලාපය තුළ වී අස්වැන්න අක්කරයක් වෙනුවෙන් වූ මෙතෙක් ඉහළම අගයක් ගනු ලැබීය. එය බුසල් වශයෙන් ගත් කළ අක්කරයකට බුසල් 123.26 හෙක්ටයාර් එකකට 6355 නට ක් විය. එය වාර්තාගත අස්වැන්නකි. වී පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස නව වැඩි දියුණු කළ වී ප‍්‍රභේද නිසාම අක්කරයකින් ලබා ගත හැකි අස්වනු ප‍්‍රමාණය ඉහළ අගයක් ගනී. 2019 හා 2020 මහා කන්නයේ සමස්ථ වී අස්වැන්න මෙ.ටොන් ලක්ෂ 32,000කි. (3.2 මෙ.ටොන් මිලියන) එය යල කන්නයේ මෙ.ටො. ලක්ෂ 18,000කි. (1.8 මෙ.ටොන් මිලියන) මෙවර සමස්ථ ජාතික වී නිෂ්පාදනය දළ වශයෙන් මෙ.ටො 5,000,000 (පනස් ලක්ෂයකි.) මිලියන පහකි. වාර්තාගත වී අස්වැන්නකි. මේ සා විශාල වී නිෂ්පාදනයක් රට තුළ තිබියදී සහල් හිඟයක් කෙසේ පවතින්නේ දැයි විශ්මය දනවන කාරණයකි. තත්ත්වය කෙසේ වුවද මෙම සමස්ත වී නිෂ්පාදන ප‍්‍රමාණය සහල් බවට පරිවර්තනය කිරීමේ කාර්යයට දායක වන්නේ සහල් කර්මාන්තයේ නියැළෙන කුඩා හා මධ්‍යම පරිමාණයේ සහල මෝල් හිමියන්ය. සහල් නිෂ්පාදනය සඳහා රාජය මැදිහත්වීමක් හා රජයක් වශයෙන් වී මිලදී ගැනීමේ කාර්යයට මැදිහත්වීම ඇත්තේ ද ඉතාමත්ම අල්ප වශයෙනි. එය සමස්ත වී නිෂ්පාදනයෙන් 1.5% - 1.8% අතර ප‍්‍රමාණයකි. සාමාන්‍යයෙන් රජයක් විසින් ආරක්ෂිත තොග ලෙස අවම මට්ටමින් 5%ක ප‍්‍රමාණයක් දෙපා තබා යා යුතු වුවද මෙවර ආරක්ෂක අංශ හා වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇත්තේ මෙ.ටොන් 50,000 ක් වැනි සුළු ප‍්‍රමාණයක් බව කනගාටුවෙන් වුවද කිව යුතුය. බොහෝ රාජ්‍ය නිලධාරීන් මේ මැදිහත්වීම පිළිබඳ උදම් ඇනුවට එය සෑහෙන්නේ සමස්ත ජනගහනයට දින 5ක් සඳහා අවශ්‍ය සහල් සැපයීම සඳහා පමණි. මේ අනුව පෙනී යන්නේ එදා මෙදා තුර රජයන් වී ගොවියන් වී නිෂ්පාදනය වෙනුවෙන් දක්වා ඇති දායකත්වය නිසාම ඊනියා සහල් හිඟයක් සෑම වසරකම පාහේ යම් යම් කාල සීමාවක් තුළ රට තුළ ඇති වන බවය. මෙහි චෝදනාව ආණ්ඩුව විසින් විශේෂයෙන්ම වෙළෙඳ අමාත්‍යාංශය හා පාරිභෝගික අධිකාරිය විසින් එල්ල කරනු ලබන්නේත්, තර්ජනය කරනු ලබන්නේත්, මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතළොස්සකටය. මේ ආකාරයට සහල් මෝල් හිමියන්ට ඇඟිලි දහයම දික් කරාට ප‍්‍රශ්නය විසදෙන්නේ නැතිවා සේ ම මෙමගින් ආනයනික ජාවාරම්කරුවන්ට මෙන්ම අතළොස්සක් වූ ආර්ථික කුලීඝාතක රාජ්‍ය නිලධාරීන්ගේ ‘‘ගතමන්ට්’’ පිරවීමේ සිතැඟියාවන් ඉටුකර දීමට පාර කැපීමකි. මෙය පුරුද්දක් ලෙස සෑම වර්ෂයකම සිදු වන දෙයකි. එය හිතාමතාම සහල් ආනයන ක‍්‍රියාවලියකට පාර කපන ක‍්‍රියාවලියකි.

මේ පිළිබඳව නිසි ලෙස විශ්ලේශනය කිරීම වී නිෂ්පාදනය කරන විසිපන් ලක්ෂයක් වූ ගොවි පවුල්වල උන්නතිය වෙනුවෙනුත්, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ සහල් නිෂ්පාදනකයන්ගේ හෙට දවස වෙනුවෙන් වැදගත්ය.

මෙවර වී කිලෝවක මිල රු.44/-ක් රු.50/- ත් අතර මුදලකට ගොවියාගෙන් මිලදී ගෙන ඇත. විශේෂයෙන්ම මෙවර මාස් කන්නයේ සහ යල කන්නයේ වී ප‍්‍රමාණය වූ මෙ.ටොන් මිලියන 5 මුළුමනින්ම මහා පරිමාණ මෝල් හිමියන්ට පමණක් ගබඩා කර ගැනීමේ පහසුකම් නම් කිසිසේත්ම නැත. රජයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් යටතේ මිලදී ගෙන ඇත්තේ ද වී කිලෝ කෝටී පහක ප‍්‍රමාණයකි. එම ගබඩා කිරීම සියයට 1.5 ක් වැනි සුළු ප‍්‍රමාණයකි. ඒ අනුව ඉතිරි 98.5% ම මහා පරිමාණ මෝල් හිමියන් ගබඩා කර තිබිය යුතුය. එහෙත් ඔවුන්ට එසේ කිරීමට අවශ්‍ය ගබඩා පහසුකම් නොමැත. බොහෝ දුරට ඔවුන් සතුව 50%ක සංචිතයක් ගබඩා කර ඇතැයි සිතමු. අනෙක් 49% ම ඇත්තේ එක්කෝ ගොවියන් සහ කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් සතුවය. මෙහි තත්ත්වය සහල් ඒකාධිකාරියක් පවත්වා ගෙන යෑමට තරම් ප‍්‍රබල සාධකයක් නොවන්නේය. මෙය ආණ්ඩු විසින් හැමදාම සිදු කරනු ලබන්නා වූ කෲර නොමඟ යැවීමකි. එනම් වී ගොවීන් සහ සහල් නිෂ්පාදනය අතර ද්වේශ සහගත බෙදීමක් හා වෛරයක් සමඟ බෙදීමක් ඇති කිරීමට ගන්නා කූට ප‍්‍රයෝගයකි. බොහෝ කූට නිලධාරීන් හා ආණ්ඩුවල විෂය භාර ඇමතිවරුන් පවසන්නේ වී මෝල් හිමියන් ගොවියා සූරාකන බවට මතයකි. මෙය හිස මුදුනින් පිළිගන්නා ගොවියා දෙස් දෙවොල් තබන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ටය. සමාජ මතය පාරිභෝගිකයාට ද කාන්දුවන්නේ වී තුට්ටු දෙකට අරන් ගිනි ගාණට අලෙවි කරනවා යැයි හැඟීමකි.

කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සමස්ත සමාජය දෙස් දෙවොල් තියන්නේ සහල් නිෂ්පාදකයින්ටය. මෙය ඇත්තෙන්ම සත්‍යයක් නොවන බව විචක්ෂණශීලීව බැලූ කල පෙනී යයි. සාමාන්‍යයෙන් වී කිලෝ 1.6 ක ප‍්‍රමාණයකින් සහල් කිලෝවක් නිෂ්පාදනය කළ හැකිය. එයට සහල් කිලෝවකට අවශ්‍ය වී අමුද්‍රව්‍ය ප‍්‍රමාණය මූල්‍යම සංගණනය කළ විට 44% කට වී මිලදී ගන්නේ නම් සහල් කිලෝවක් සඳහා අවශ්‍ය වී වලට යන මුදල රු.70 කුත් ශත 40කි. මෙය තුළ වීවල වියළි බර, ප‍්‍රවාහන පහසුකම්, ගබඩා පහසුකම්, ඇතුළු බහුවිධ වියදම් අන්තර්ගත කර නොමැත. එබැවින් බලන කල සහල් කිලෝවක් නිෂ්පාදනයට අවශ්‍ය වී සඳහා පමණක් රු.80/- ක මුදලක් වැය වන බව පැහැදිලිය. එය සහල් බවට පරිවර්තනය කිරීමේදී යන්ත‍්‍ර සූත‍්‍ර වියදම්, ඇසුරුම් වියදම් ද ඇතුළත් විය යුතු අතර, වෙළෙඳපොළට යැවීමේදී ප‍්‍රවාහන වියදමක් ද ඇතුළත්ව සහල් කිලෝවක මිල සහල් නිෂ්පාදකයාගේ ලාභය ද ඇතුළත්ව සටහන් විය යුතු සේම, වෙළෙන්දාගේ ලාභය ද එක් කළ විට එය රු.100/- කට ආසන්න වේ. ඒ නාඩු සහල් සඳහා ය. සම්බා සඳහා ඊට වඩා වෙනස් වෙළෙඳපොළක් හා මිලක් සටහන් වේ. මේ පිළිබඳව කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වගකිව යුතු ආර්ථික ඝාතක අමාත්‍යාංශ නිලධාරීන් හා විෂය භාර ඇමතිවරුන් කරන්නා වූ චෝදනාව අතිශයෙන්ම ඛේදජනකය. එසේම මේ සා විශාල වී ප‍්‍රමාණයක් රට තුළ තිබියදී සහල් හිඟයක් පවතී යැයි විශ්වාස කළ හැකි ද? මෙය පිළිබඳව අප විමසා බැලිය යුත්තේ මෙරට සහල් නිෂ්පාදන ශක්‍යතාවය පිළිබඳව විමර්ශනයක් කළහොත් පමණි. පසුගිය විසි වසර තුළ වැඩි අවශ්‍යතාව ඇති කුඩා හා මධ්‍යම මෝල් ප‍්‍රමාණය 2500 කට අධිකය. එහි වගකීම මහා පරිමාණ මෝල් හිමියන් වෙත නොපවරා රජය විසින් භාර ගත යුතුවා සේ ම ඔවුන් සඳහා රජයේ කර්මාන්ත දිරිමත් ආධාර සහ බදු සහන දිය යුතුය. පසුගිය කාලයේ බැංකු ණය ගෙවා ගත නොහැකි වූ මෝල් හිමියන්ගේ දේපළ ද රාජසන්තක විය.

මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනයේ දිනකට නිෂ්පාදනය කළ හැකි සහල් ප‍්‍රමාණය මෙ.ටො. 650කි. එය වී මෙ.ටොන් 1000කි. එය මාසික සහල් අවශ්‍යතාවයෙන් 10%කි. අනෙකුත් මහා පරිමාණ මෝල් හිමියන් ද ඇතුළත්ව සහල් නිෂ්පාදනය 20% ත් 30% ත් අතර ප‍්‍රමාණයකි. එහෙයින් මහා පරිමාණ මෝල් හිමියන් විසින් සහල් මාෆියාවක් පවත්වාගෙන යනවා යැයි කියන ද්වේශ සහගත තර්කය හා චෝදනාව 80% කටත් එහා පදනම් විරහිතය. රජය මගින් කළ යුත්තේ බිඳ වැටුණු පණ අදින කුඩා සහල් නිෂ්පාදකයින් නඟා සිටුවීමේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් මිස ආනයනික සහල් ආනයනයේදී මෙ.ටොන් ලක්ෂයක් සඳහා ඇමරිකන් ඩොලර් 100ක අත යට මුදලක් ලැබෙන්නේ නම් සහල් ආනයනයේදී ලැබෙන මුදල මහා කෝටි කන්දරාවකි. පසුගිය රජයේ එසේ ජාවාරම්වලින් ලබා ගත් කෝටි ගණන් මුදලත් ආනයනික සහල් පරිභෝජනයට නුසුදුසු යැයි යන ලේබලය යටතේ සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමකට විකිණීමෙන් ලද පාඩුව රුපියල් මිලියන 6000කට ආසන්නය.

ඒ ඒ රජයන් මගින් කළ යුත්තේ වී ගොවියාත්, සහල් නිෂ්පාදකයාත්, පාරිභෝගිකයාත් රැකගෙන රටක් විදිහට ආනයන වියදම් අඩු කොට රාජ්‍ය ආදායම් හා ඉතුරුම් බලගැන්වීමේ ක‍්‍රමවේදයන්ය ක‍්‍රියාවට නැංවීමය. බහුජාතික තිරිඟු පිටි සමාගම් සඳහා පසු ගිය ආණ්ඩුවෙන් වත්මන් රජයත්, අය බදු සහන හෙවත් රජයට අහිමි වන ආදායම මිලියන 80,000කට ආසන්නය. තිරිඟු ඇට කිලෝවක් සඳහා රු.20/-ක බදු සහනයක් පසුගිය රජය යටතේත් තිරිඟු පිටි සඳහා රු.28/- බදු සහනයක් මේ රජය යටතේත් දෙන්නේ කුමක් අරමුණු කරගෙනද?
 

දේශීය ගොවියාත්, සහල් නිෂ්පාදකයාත් වළ පල්ලට යවා බහු ජාතික තිරිඟු පිටි මාෆියාව සතුටු කිරීමට නොවේ යැයි කාට කිව හැකිද? රජය කරන්නේ මේ ව්‍යසනයෙන් ‘‘අතින් කා හරක් බලන” තිරිඟ පිටි සමාගම් සුරකින එක නොවේද? වාර්ෂිකව මෙම බදු සහන නිසා රජයට අහිමි වන ආදායම අතිමහත් ය. කුඩා හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන්ට බදු සහන හා සහනදායී දිගුකාලීන දිරිමත් කර්මාන්ත ණය යෝජනාවලියක් ක‍්‍රියාත්මක වන්නේ නම් මේ ආකාරයේ සහල් හිඟයක් වෙළෙඳපොළ තුළ සෑම වර්ෂයකම නිර්මාණය වන්නේ ද නැත. ප‍්‍රමාණවත් වී තොග පැවතීම නිසා අවශ්‍ය වන්නේ සහල් නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය මැදිහත් වීම මිස එකිනෙකාට ඇඟිල්ල දික්කර සහල් මාෆියා භීතිකාවක් සමාජය තුළ නිර්මාණය නොකිරීමය. මෙවර සහල් ආනයනය සඳහා රු.කෝටි 225ක මුදල් කන්දරාවක් අවශ්‍ය වේ යැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසා ඇත. මෙය වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව අඩු මුදලක් විය හැකිය. අත්‍යවශ්‍ය නම් පමණක් සහල් ආනයනය සිදු කළ යුතුමය. නමුදු වගකීමෙන් යුතු රජයක් මහා පරිමාණ මෝල් හිමියන් මට්ටු කරන්නට මෙවැනි අවඥා සහගත ක‍්‍රියාවන් නොකළ යුතු වන්නේය. විය යුතුව ඇත්තේ සහල් නිෂ්පාදන ක‍්‍රියාවලිය පුළුල් කිරීම සඳහා වූ 70% ත් 80% ත් අතර වූ කුඩා සහල් නිෂ්පාදකයන් බලගැන්වීමේ ක‍්‍රියාදාමයකි.

එසේම වෙළෙඳපොළේ සහල් මිල වැඩි වීම කෙරෙහි ද පාලන මිල කෙරෙහි ද යම් යම් ගැටලූකාරී තත්ත්වයන් මෙන්ම මිල විකෘතියක් ද පවතින බව ආර්ථික විශේෂඥ මහත්වරු වටහාගත යුත්තේය. සහල් කිලෝවකින් අට දෙනෙකුට පිරිමැසිය හැකි වන අතර, එම වියදම දළ වශයෙන් එක් අයෙකුට රු.12.50 ක් වේ. පාන් රාත්තලක් 60/-කි. එය දෙදෙනෙකුට පමණක් සෑහේ යැයි සිතන්නේ නම් එක් වේලකට රු.30/-කි. එසේම පෙති පාන් රාත්තලක් රු.100/- කි. රු.40/- ක් මාෆියාවෙන් උපයා ගන්නා ලාභයකි. හාල් මිල රු.5/-කින් රු.10/- කින් වැඩි වනවිට මරාගෙන මැරෙන්න දඟලන පාරිභෝගිකයා පාන් රාත්තලකින් රු.40/- ක් වංචාවෙන් හා විජ්ජාවෙන් උපයා ගන්න විට කටේ කෙළබිඳක් හෙළන්නේ නැත. මෙකී තත්ත්වය කවුරුන් විසින් බලහත්කාරයෙන් නිර්මාණය කරන ලද්දක් ද යන්න කල්පනාකාරීව හිතා බැලිය යුත්තකි. අඩුගාණේ අපේ ගොවියාට හෝ දේශීයව මේ ලාභය ලැබෙන්නේ නම් අපට සතුටක් ඇතිවන්නේය යන ආකල්පමය වෙනස්වීමක් ඇති විය යුත්තේය. මහා බදු සහන ලබා දුන්න ද පාන් පිටි ආශ‍්‍රිත කෙටි ආහාරවල හෝ පාන්වල මිල අඩු වීමක් සිදු වූයේ ද නැත. මේ ආකාරයට සහල් මිල කුමන්ත‍්‍රණය ඇත්තේ මෙරට වී ගොවියාත්, වී නිෂ්පාදකයාත්, සහල් නිෂ්පාදනය අනතුරේ හෙළන රාජ්‍ය තාන්ත‍්‍රික වාණිජ උපාය මාර්ගික ප‍්‍රවේශයකි. රජයක් විදිහට කළ යුත්තේ ආහාර සුරක්ෂිතභාවය උදෙසා දේශීයව නිෂ්පාදන වැඩපිළිවෙළක් සඳහා ආරක්ෂණවාදී ක‍්‍රමවේදයක් ක‍්‍රියාවට නැංවීම ය. එම ක‍්‍රියා මාර්ගයන් හා වැඩපිළිවෙළ යුහුසුලූව ආරම්භ කළ යුත්තේය. එය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට මහා පිටි බලයක් ද වනු නොඅනුමානය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් මට්ටු කිරීමට සහල් ආනයනය කිරීම තරම් මෝඩ වැඩක්, රජයකට නොගැළපෙන බැවින් රජය මගින් කළ යුත්තේ ආනයනික වියදම් කැප කර සහල් නිෂ්පාදන ක‍්‍රියාවලියට සෘජුව මැදිහත් වීමය. එය වී ගොවියා සහ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ මෝල් හිමියන් මෙන්ම මෙරට එක් කෝටි විසි ලක්ෂයක් වූ පාරිභෝගිකයාද සුරැකීමේ පියවරක් වනු ඇත. ඇත්තේ සහල් මාෆියාව නොව නිසියාකාර වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොකර, භීතිකාවක් මවා පා, ජාවාරම්කාර කොමිස් ගැහිල්ලකි. යුහුසුලූව සහල් නිෂ්පාදන ශක්‍යතාවය ඉහළ නංවාලීමට බිම් මට්ටමින් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවාලීම වත්මන් රජයේ වැඩපිළිවෙළ විය යුතුවා සේ ම එය අනාගතයට මහඟු පුණ්‍යකර්මයක් ද වන්නේ ය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles