Divaina - පොලාස ගිරා පෝතක වස්තුව

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 

umbe

නිමල් ෆ‍්‍රැන්සිස්

එක් කලෙක මඤ්ඤංලන්තයෙහි එක් නුවරෙක ගෘහයකට රැස්වූ මඤ්ඤං හුදී ජනයින් සුඟක් එකී ගෘහයෙහි වූ රූ දසුන් පෙට්ටගමෙහි වූ යම් දසුනෙක් දකිනුයේ ඉන් අඤ්ඤකොරොස්වැ ගොස් එතෙක් එකී පිරිසෙහි වූ සාද තෙපුල් හිරු දුටු පිනි සේ වාෂ්පවැ ගොස් එතැන් සිට යම් වූ බරසාර වූ කතිකාවෙක නොහොත් වාදයෙක පැටැලී ඇති නියා පෙනෙනුයේ එතැනට පැමිණෙනා වූ පෙරකී නුවණැති වූ වයෝවෘද්ධ මනුෂ්‍යයා උනට ළංවැ,”දරුවෙනි, තෙපි කිනම් වූ කතිකායෙක යෙදී සිටියාහුදැ?”ලූයි ඇසූ කල්හි උන් සැම එකවරමැ,”එසේය පණ්ඩිතයෙනි, තෙල පොලාස ගිරා පෝතක තෙමේ, කොමිසමුන් හමුවට වන් මෙත්පලයා මෙන් නන් දොඩනායැ. අප උහු කියනා බස් අසා නස්පුක්වැ ගියෙමුයැ’ලූයි කියනුයේ, එබස් ඇසූ පෙර කී මනුෂ්‍යයා,”එසේදැ දරුවෙනි, මෙකී පොලාස ගිරා පෝතකයන් මෙසේ නන් දෙඩවූයේ මෙකල්හි පමණෙක් නොවන්නේයැ. මුහු පෙරකල්හිද මෙසේ බලවතුන් හමුයේ චකබලාස්වැ ගොස් ඇත්තේයැ. වරෙව මම් තොපට හුදී ජන පහන් සංවේගය පිණිසැ පොලාස ගිරා පෝතකාවලිය වදාරමි’යි හුදී ජනයින් තුමූ වටා හිඳුවා පොලාස ගිරා පෝතකාවලියෙහි ප‍්‍රථම ඛාණ්ඩය වූ රවනා ගොන්කෙබරයාගේ කතාව මෙසේ වදාරනාහ.

ඒ කෙසේද යත්, පෙරකල්හි මඤ්ඤංලන්තයට නව රජකු අභිෂේක ගැන්වුම් වස් රජවරණයක් පවත්වන්නට යෙදෙනුයේ රාජාභිෂේකය පිණිස පෙම්දස් සජිතයාණන් හා ගොටුඅභයාණන් නම් වූ දෙපාර්ශ්වයක මහා සටනෙක් හට ගන්නාහ. දෙපිළකට බෙදුනා වූ පිරිස් එකිනෙකාට නියවමින් පරිභව කෙරෙමින් අපහස් කෙරෙමින් මතු නොව තුමු තුමුනට හැකි වූ සකල අයුරින්ම මාරාන්තික වූ සංග‍්‍රාමයෙකැ නියුතුව සිටිනුයේ, රජවරණයට දෙතුන් දිනෙක් තබා පෙම්දස් සජිතයාගේ පසෙහි වූ සෙනරත් දන්තයා නම් එකකු,”වෘෂභ නාදයෙහි චතුර වූ මපුත‍්‍රයාණන් හා පාෂාණ ආඳ මසෙකු වූ මා එක් වූ කල්හි කළ නොහැක්කක් මිහි පිට නොමැත්තේයැ. බලනු මැන සජිතයෙනි, රජවරණ සටන නිමාවන මොහොතෙහි මා ගසනා වූ ගැටයෙන් ගොටුඅභයාණන් හොම්බෙන් යවනායුරු බලනු මැනවි’යි සිහනද කොට කිඹුල් පෝතකයන් බානක් අල්වා උන් නහවා කවා පොවා කෙස් රවුළු අලවා අත්ලස් දී මැදි වැද්දන් හමුවට කැඳවා,”එම්බල මැදි වැද්දනි, බලව්, තෙල ගොටුඅභයා අසරණ ජනයින් අල්වා උන් පිටිකර හයා බැඳ මෙකී කිඹුල් පෝතකයන් ලවා මහා කිඹුලනට අහර පිණිස වැව් දියට හොවා අතුරුදන් කොට ඇත්තේයැ. එහි සියල් තතු මෙකී උන්ගෙන් අසා දැනගනිව්. ජනයිනි, තොප රජසුනට නංවන්නට තතනනුයේ එවන් එකකුදැ?’ලූයි ඇසිපිය වන වනා අසනාහ.

umbe2මඳ දිනෙකින් රජවරණය නිමා වී විසල් ජන මනාපයකින් ගොටුඅභයාණන් රාජාභිෂේක ලබනුයේ කිඹුල් පෝතක දෙබාන වහා පොලාස රාජපුරුෂයන් හමුව, තුමූ අත්ලස් ගෙන දන්තයාගේ උවදෙස් පිට මුසා බස් දෙඞී යැයි කියනුයේ, ජනයා නොමඟ යැවී යැයි චෝදනා කොට දන්තයා වහා බොටුයෙන් ගෙන රක්ෂිත සිපිරි ගෙයි ලන ලෙස අණපනත් නිකුත් කෙරෙනාහ. හුදී ජනයකු තුමූ දරුවන් කුස ගිනි නිවනු වස් සහල් සැළකින් සහල් සුණ්ඩුවෙක් සොරා ගත් කල්හි උහු හෝ උහු නොමැති නම් උහු අඹුදරුවන් හෝ බොටුයෙන් හෝ හිස කෙසින් ගෙන දෙතිස් වධ දෙමින් ධර්ම චක‍්‍රයෙහි ලා කරකවා අඩ පණ නසා සිපිරි ගෙයි ලන්නාවූ මඤ්ඤං පොලාස සේනාව එකී අණ අසා තුෂ්ණිම්භූතවැ ගොස්, දන්තයා නොමැති නියා දැනමැ එතැන් වට කොට දන්තයාගේ අඹුදරුවන් යෙහෙන් සිටිත්දැයි පසක් කොට සිස් අතින් පැමිණෙන්නාහ. දින ගණනක් ගෙවී ගියද දන්තයාගේ කෙසකුදු අල්වන්නට පොලාස සේනාව අසමත් වන්නාහ. මැදි වැද්දෝද රවනා ගොන්කෙබර නම් වූ එකල්හි පොලාස ගිරා පෝතකයා වට කොට දන්ත තතු විමසා උහු බයිටයට ගන්නාහ. අසරණ වූ ගිරා පෝතක තෙමේද කිසිත් කියනු නොහී ඉහින් හා කණින් දහදිය හෙළමින් තතන තතනා නන්දොඩනාහ. ඉදින් දරුවෙනි, පොලාස ගිරවුන් මෙසේ බයිට වූයේ මෙකල්හි පමණෙක් නොවේයැයි පොලාස ගිරා පෝතකාවලියෙහි පළමු ඛාණ්ඩය නිමා කොට වදාරනාහ.

එකී දෙසුම අසා සිටි හුදී ජනයෝ,”ස්වාමීනී, එකී රවනා ගොන්කෙබර කතාව සොඳින් අසා සිටියෙම්හ. අප කෙරෙහි අනුකම්පා කොට ගිරා පෝතකාවලියෙහි ද්විතීය ඛාණ්ඩය ද දෙසා වදාරනු මැනව’ලූ යි එකහෙළා කියනාහ. උන් කෙරෙහි වූ අනුකම්පායෙන් ද්විතීය වෙළුම ද මෙසේ ගෙන හැර දක්වනුයේ ඒ කෙසේද යත්, පෙරකල්හි මඤ්ඤංලන්තයෙහි රිසිද බඩඋඩිනයා නම් වූ වැසියෙකු මාතොට නම් පසල් දනව්වක ඉතා දුකසේ වසනුයේ පබකරණයා නම් වූ මාංශ වැද්දා විසින් උත්තර දේශයෙහි වසනා වූ වැසියන් පලවා හරිනුයේ බඩඋඩිනයාද තුමූ හැඳිවතට පමණෙක් සීමා වන්නේ ඉතිරි වූ වස්ත‍්‍ර සුඟ සිලි නම් වූ පැසෙක ලා ගෙන අසරණ වූ ජනයාද සමඟ වයඹ දේශයෙහි පෞත්තලාම නම් නුවරට පිවිස අනාථයන් පිණිසමැ පිහිටුවනා ලද්දාවූ කඳවුරෙක දුක සේ වසනාහ. එසේ වුවද මෙකී බඩඋඩිනයා වනාහී ජන්මයෙන්ම සටකපට එකකු යැයිද මරිසි නම් වූ වදනක මහා නිපුනයකු බැවින් උහු දෙගුරුන් මුහු මරිසි බඩඋඩිනයා යැයි නම් නොතබා රිසිද බඩඋඩිනයා යැයි නාම කොට දක්වන ලදැයි මඤ්ඤං වැසියන් තුඩ තුඩ පවත්නා වූ පවතෙක් පැවතේයැයි දනෝ කියනාහ.

එකී පුවත ස්ඵුට කෙරෙමින් බඩඋඩිනයාද පෞත්තලාම නුවරට විත් නොබෝ කලකින්මැ සිලි පැස ගුලි කොට පසෙක ලා එහි වූ වස්ත‍්‍ර හැඳ දෙස්පළුවට බසිනුයේ සුළු කලෙකින්මැ මඤ්ඤං රජසුන හිඳවිය යුත්තේ කිනම් එකකුදැයි තීරණ ගන්නා තත්ත්වයකට බලවත් වන්නාහ. එතැන් පටන් මඤ්ඤං මැටියන් හා ඇමැටියන් ද රජුන් උහු පාමුල මනාප සිඟමන් කොට දණින් වැටෙනුයේ බඩඋඩිනයා යොදුන් සිය ගණනින් වූ භූමිය සිය අඹුදරුවන් හා ඥාති සමූහයා අතර දැහැමෙන් සෙමෙන් බෙදා හදා ගනු නොදක්නා සේ සිටින්නාහ. වන රක්ෂිතයන් සංහාර කොට තුමූ වර්ගයා එහි වඩා හිඳුවනු නොදක්නා සේ සිටින්නාහ. මෙසේ කිරුළු නොපලන් රජකු සේ වැජඹෙනා බඩඋඩිනයාගේ මලනුවකු එක් කලෙක මඤ්ඤංලන්තයෙහි වූ සමූහ ජන ඝාතනයක සැකකරුවකු ලෙස අත්අඩඟුවට ගෙන පොලාසයන් භාරයට පත් කරනාහ. මහා වික‍්‍රමයක් කළ සේ වහා මැදි වැද්දන් කැඳවනා සෙනරත් ජල්ලියා නම් එකී පොලාස ගිරා පෝතක තෙමේ,”මුහු වනාහී ඝාතකයන් හා සබැඳි බැව් සක් සුදක් සේ සනාතව ඇත්තාහ. මුහු ඊට නිසි දඬුවම් ලබනු ඇත්තේයැ’ලූයි මහත් උජාරුයෙන් කියනාහ. රිසිද බඩඋඩිනයාද මහත් වූ කෝපයෙන් දැවෙනුයේ එබැව් නොපෙන්වා සිරිත් ලෙස මරිසි වෘතයෙහි පවත්නේ නිසි කටයුතුහි යෙදෙනාහ. මැදි වැද්දෝද වහ වහා එකී පුවත පතල කෙරෙනුයේ ඉන් ස්වල්ප කලකට පසු යළි මැදි වැද්දන් කැඳවනා ජල්ලියා පෝතක තෙමේ නිසි ලෙස පවත් සාක්ෂ්‍යාත් නොවූ හෙයින් මලනු බඩඋඩිනයා මුදා හැරි බැව් තතන තතනා කියන්නාහ. මැදි වැද්දෝද කරකවා හැරි සේ අඤ්ඤකොරොස්වැ ගොස් නේක පැන නැඟුවද තුමූ ගිරා වත පාමින් එකී එකමැ වදනමැ වනපොත් කළ සේ කියන්නේ මැදි හමුවෙන් වහා නික්ම යන්නාහ. එසේ නික්ම ගිය සෙනරත් ජල්ලි තෙමේ පසුදාම ගෝකණ්ණ පුරයෙහි දනව් පොලාසපතියාගේ අතවැසියා ලෙස පත්වුමක් ලැබ පිටත්ව ගිය බැව් දත යුත්තේයැයිද බලවතුන් ඇසුරෙහි සිටිනවාට වඩා ඇඳි වත උනා කටු පඳුරෙක් මත පිනුම් ගැසුම වඩා සුවදායක බැව් දතයුත්තේ යැයිද පොලාස ගිරා පෝතකාවලියෙහි ද්විතීය ඛාණ්ඩය මෙසේ නිමවා වදාරනාහ.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles