Divaina - බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


fearal

ලබන සතියේ - බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - 3 වැනි කොටස
නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ


බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ අතර ප‍්‍රධානම සහ වැදගත්ම ලක්ෂණය වන්නේ මහා සභාග ආණ්ඩුවක් පැවැතීම බව පසුගිය සතියේ සාකච්ඡා කෙරුණි. පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකදී මෙන්ම, ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකදී ද මහා සභාග ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි ආකාරය කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ න්‍යායාචාර්ය අරෙන්ඞ් ලෙයිෆාර්ට් 1977 දී ලියා පළ කළ 'Democracy in Plural Societies' (බහුවිධ සමාජයන්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදය) නමැති කෘතියේ පෙන්වා දී ඇති බවද එහිදී පෙන්වා දෙන ලදී.

මහාචාර්ය ලෙයිෆාර්ට් දක්වන ආකාරයට පාර්ලිමේන්තු සහ ජනාධිපති ආණ්ඩු ක‍්‍රමවලට අමතරව සමූහාණ්ඩු ක‍්‍රමයක දී මෙන්ම රාජාණ්ඩු ක‍්‍රමයකදී ද මහා සභාග ආණ්ඩුවක් නිර්මාණය කළ හැකිය. විශේෂයෙන් රාජාණ්ඩු ක‍්‍රමයක එක් පුද්ගලයෙකු මත ජාතික ඒක‍්‍රාග‍්‍රතාව ගොනු කෙරෙන සංකේතය වන බැවින් ඔහුට /ඇයට විවිධ කණ්ඩායම් අතර සමබරතාව ඇති කරමින් කණ්ඩායම් වෙත බලය ගොනුවීම සමබර කිරීමේ හැකියාව ඇති බවත්, එසේම එකී ප‍්‍රධානියා විවිධ කණ්ඩායම්වලට පොදු පුද්ගලයෙකු බවට පත්වෙමින් දේශපාලනික වශයෙන් නිර්පාක්ෂික වීම මත මෙම මහා සභාගය සාර්ථක කර ගත හැකි බවත් ලෙයිෆාර්ට් ගේ මතයයි. නෙදර්ලන්තයේ සහ බෙල්ජියම් රජු මේ ආකාරයට ක‍්‍රියා කරන බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.

මහා සභාග ආණ්ඩුවකට අමතරව ද්විතීක ලක්ෂණ තුනක් බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක ඇත. සුලූතර කණ්ඩායම්වලට ලැබෙන නිෂේධ බලය, අනුපාතික සිද්ධාන්තය, සහ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සුලූතරයට ලැබෙන ස්වංනීර්ණ අයිතිය එකී සෙසු ලක්ෂණ වේ.

බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මහා සභායට එක්වන සුලූතර කණ්ඩායම්වලට යම් ආරක්ෂාවක් මහා සභාගයට එක්වීම තුළම ආණ්ඩු බලය ලැබීමෙන් හිමිවෙතත්, එය අඩු පාඩු රහිත ආරක්ෂාවක් ලෙස සැලකිය නොහැකි බව ලෙයිෆාර්ට් ගේ මතයයි. මහා සභාග ආණ්ඩුවේ තීරණ බහුතරයේ කැමැත්තෙන් ලබා ගැනෙන බැවින්, සුලූතරය එම සභාගයේ කොටස්කරුවන් වුවද බහුතරය එකඟ නොවන සුලූතරයේ කටයුතු වෙනුවෙන් විශාල බලපෑමක් කිරීමට එම සුලූතරයට නොහැකි වේ. එසේම, එකී බහුතරයේ කැමැත්ත මගින් සුලූතරයේ වැදගත් අයිතීන් සහ කටයුතුවලට බලපෑමක් ඇතිවන විට යම් ආරක්ෂණයක් සුලූතරයට තිබිය යුතු අතර, එසේ නොවුණහොත් බලය බෙදා ගැනීමේ එකඟතා විනාශ වී යා හැකිය. එබැවින්, සුලූතර වුවමනාවන් මහා සභාග ආණ්ඩුව තුළ ආරක්ෂා කර ගැනීම සඳහා සුලූතර කණ්ඩායම්වලට ‘නිෂේධ බලයක්’ තිබිය යුතු බව ලෙයිෆාර්ට් විශ්වාස කරයි. එකී නිෂේධ බලය මගින් තම ආරක්ෂාව තමන්ට ම සලසා ගැනීමට මහා සභාගයේ සුලූතර කණ්ඩායම්වලට හැකියාව ලැබේ. එබැවින් මහා සභාගයේ මූලධර්මවලට නිෂේධ බලය අඩංගු විය යුතු බව ලෙයිෆාර්ට් තරයේ අවධාරණය කරයි.

නිෂේධ බලය මගින් සුලූතරයට දේශපාලන ආරක්ෂාවක් ලැබේ. නිෂේධ බලය මහා සභාග ආණ්ඩුවේ මූලධර්මයක් ලෙස
පිළිගන්නාවිට, එක් අයෙකු හෝ යම් යෝජනාවකට විරුද්ධ වුවහොත්, එය සම්මත නොවේ. නිෂේධ බලය මගින් සුලූතර කණ්ඩායම්වලට වැදගත් කරුණු සම්බන්ධයෙන් අවාසි සහගත ලෙස මහා සභාග ආණ්ඩුවේ බහුතරය තීරණය කරනවිට එයට එරෙහි වී, එමගින් එම යෝජනා පරාජය කිරීමට සුලූතර කණ්ඩායම්වලට හැකිවේ. එමගින් සුලූතරයම මහා සභාගය තුළ තමන්ගේ ආරක්ෂකයන් බවට පත්වේ.

මහාචාර්ය ලෙයිෆාර්ට් විසින්ම පෙන්වා දෙන ආකාරයට මෙම සුලූතරයේ නිෂේධ බලය මගින් බහුතරයට නිරතුරුව එරෙහිවන කෲර පීඩකයන් පිරිසක් බවට සුලූතරය පත්වීමේ අවදානමක් ඇති විය හැකිය. එහෙත්, කරුණු තුනක් නිසා එය එතරම් විශාල අවදානමක් නොවන බව ලෙයිෆාර්ට්ගේ මතයයි. පළමු හේතුව නම් සුලූතර නිෂේධ බලය සියලූම සුලූතර කණ්ඩායම්වලට හිමිවන අනෝන්‍ය නිෂේධ බලයක් වන බැවින්, යම් කණ්ඩායමක් කරදරකාරි ලෙස නිරතුරුව සිය නිෂේධ බලය පාවිච්චි කළහොත්, සෙසු නිෂේධ බලය හිමි සුලූතර කණ්ඩායම් එලෙස නිරතුරුව නිෂේධ බලය පාවිච්චි කරන කණ්ඩායම හෝ කණ්ඩායම්වලට එරෙහිව යා හැකි බැවින් එකී කරදරකාරී කණ්ඩායම්වල සැබෑ වුවමනාවන්වලට අගතියක් ඇතිකරන වාතාවරණයක් මහා සභාගය තුළ නිර්මාණය වේ. එමගින් නිෂේධ බලය කරදරකාරී ලෙස නිරතුරුව යොදා ගැනීමට එරෙහිව යම් පාලනයක් ඇතිවන බව ලෙයිෆාර්ට් කියයි. දෙවන හේතුව නම්, නිෂේධ බලය මගින් සුලූතර කණ්ඩායම්වලට යම් ආරක්ෂාවක් තිබෙන බවට සභාගයේ අනෙක් කණ්ඩායම් තුළ ඇති හැඟීම නිසා, සුලූතරයට අගතියක් ඇති නොකොට ක‍්‍රියා කරන වාතාවරණයක් මහා සභාගය තුළ නිර්මාණය වන බවත්, එම නිසා සුලූතරයේ නිෂේධ බලය කිසි විටක පාවිච්චි කිරීමට හේතු වන කරුණු මහා සභාගය තුළ පැන නොනඟින බව ලෙයිෆාර්ට් විශ්වාස කරයි. එබැවින්, මහා සභාග ආණ්ඩුව එකිනෙකාගේ යහපත වෙනුවෙන් සම්මුතිවාදී ලෙස හැසිරෙන බව ඔහු කියයි. තුන්වන හේතුව ලෙස ලෙයිෆාර්ට් දක්වන්නේ යම් පාලනයක් නොමැතිව නිෂේධ බලය පාවිච්චි කළහොත් මහා සභාගයේ කටයුතු අඩපණ වී, ඉදිරියට යා නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව සියලූ දෙනාටම වැටහෙන නිසා බහුතරය පීඩාවට පත්වන ආකාරයට නිෂේධ බලය පාවිච්චි කිරීමෙන් එකිනෙකා වැළකී සිටින බවයි. එබැවින්, එක් එක් කණ්ඩායමේ සුලූ වුවමනාවන් පසෙක තබා, සියලූ දෙනාම පොදු යහපත වෙනුවෙන් ක‍්‍රියා කොට, අවසානයේ තමන්ටම අගතියක් ඇතිවන ආකාරයට නිෂේධ බලය පීඩාකාරී ලෙස පාවිච්චි කිරීමෙන් සුලූතරය වැළකී සිටින බව ලෙයිෆාර්ට් කියයි.

සුලූතර කණ්ඩායම්වල ආරක්ෂාව වෙනුවෙන් ලැබෙන නිෂේධ බලය පීඩාකාරී ආයුධයක් ලෙස යොදා ගත හැකි බව බැලූ බැල්මට පෙනුණ ද නිෂේධ බලය පීඩාකාරී ලෙස පාවිච්චි කිරීමට එරෙහිව මහා සභාගයේ ක‍්‍රියාකාරීත්වය තුළම නිර්මාණය වන ඉහත සඳහන් කළ හේතු තුන නිසා, ප‍්‍රායෝගිකව එය පීඩාකාරී නොවන බව මහාචාර්ය ලෙයිෆාර්ට් කියයි. ලෙයිෆාර්ට් ගේ මෙකී අනුමානයන් ප‍්‍රායෝගිකව ලොව පුරා කෙසේ ක‍්‍රියාත්මක වූයේද යන්න ඉදිරියේදී සාකච්ඡා කෙරෙන බැවින්, ලෙයිෆාර්ට් ගේ මතයට පමණක් මෙම සාකච්ඡාව දැනට සීමා කරමි.

මහා සභාග ආණ්ඩුව තුළ සිය ආරක්ෂාව වෙනුවෙන් සුලූතරයට ලැබෙන මෙකී අනෝන්‍ය නිෂේධ බලය, එක්කෝ කණ්ඩායම් අතර ඇති අලිඛිත සහ අවිධිමත් අවබෝධයක් ලෙස මෙන්ම, ලිඛිත සහ විධිමත් හෝ ඇතැම් විට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද වගන්ති මගින් නිශ්චිත ලෙස ලබා දෙන බලයක් ලෙස සුලූතරයට ලබා දිය හැකි බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි. නෙදර්ලන්තයේ සහ ස්විට්සර්ලන්තයේ සුලූතර කණ්ඩායම් භුක්ති විඳින නිෂේධ බලය අවිධිමත් ආකාරයට ලැබී ඇත. ඔස්ටේ‍්‍රලිවේ මෙය සමාජවාදී සහ කතෝලික කණ්ඩායම් එක් එක් සභාග ආණ්ඩු පිහිටුවීමට කලින් ඇති කරගත් විධිමත් සාමූහික එකඟතාවයන් මත ක‍්‍රියාත්මක වේ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles