Divaina - රේගුවෙන් පන්නන විස්කි...! අඩු ගානට...! ලොක්කෙක් ලෙස වෙස්ගත් රියදුරෙක්ගේ විස්කි ජාවාරම මාට්ටු වූ හැටි...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

viskey
 
 * මීට ඉස්සෙල්ලා අහුවෙලා ඒත් දිගටම කරලා
 
  හේමන්ත රන්දුණු
 
 
viskey2ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ආයතනයක හිමිකරුවකු වූ වික‍්‍රමසිංහගේ ජංගම දුරකථනය වෙත හදිසියේ ඇමතුමක් ලැබුණේය.පත්තරේ ගිය ඕගොල්ලන්ගේ කම්පැණි එකේ ඇඞ්වටීස්මන්ට් එක දැකලා මම කතා කරන්නේ.
 
 මම කස්ටම් එකේ ඩිපියුටි ඩිරෙක්ටර් රුවන් ජයසිංහ.
 
 දුරකථන ඇමතුම ලබාදුන් රේගුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු වූ රුවන් ජයසිංහ තමන් හඳුන්වා දුන්නේය. ඉතාම ප‍්‍රසන්න ගාම්භීර හඬකින් කතා කළ රුවන් ජයසිංහ කෙරෙහි වික‍්‍රමසිංහගේ සිත පැහැදුණේය. මොකක්ද මිස්ටර් ජයසිංහ අපෙන් කෙරෙන්න ඕනේ. වික‍්‍රමසිංහ ද බොහොම සුහදව ප‍්‍රතිකාර දැක්වූවේය. කටුනායක එයාෆෝර්ට් එකේ පොඩි කන්ස්ට‍්‍රක්‍ෂන් වැඩ වගයක් තියෙනවා. මට ඒ ටික ඉක්මනින් කරගන්න ඕනෙ. ඔගොල්ලන්ගෙ කම්පැණි එකට හොඳ හිස්ටි‍්‍ර එකක් තියෙන බව මං දැන ගත්තා. ඒ නිසයි මේ වැඬේ ඕගොල්ලන්ට භාර දෙන්න තීරණය කළේ...
 
 රුවන් ජයසිංහ ඉතාම විශ්වසනීය අන්දමින් තමන් ඇමතුම ලබා දුන්නේ මන්ද යන්න වික‍්‍රමසිංහට පැහැදිලි කළේය.
 
 ‘‘අපට මේ වැඬේ භාර දෙන්න. අපි කිසි දවසක හොර බොරු කරලා නැහැ. මේ කන්ස්ට‍්‍රක්ෂන් එකට ටෙන්ඩර් එකක් දාන්න ඕනෙද ඒ වැඩ ටික කරන හැටි අපට කියන්න. වික‍්‍රමසිංහ අදාළ කොන්ත‍්‍රාත්තුව භාර ගනිමින් විස්තර විමසුවේය.
 
 මේකට ටෙන්ඩර් දාන්න ඕනෙ නැහැ. මගේ ලෙවල් එකෙන් කරන්න පුළුවන්. මට ඔයාගේ ඞීටෙල්ස් ටික ෆැක්ස් කරන්න වැඬේ කෙරෙන හැටි මං ඔයාට කියන්නම්... දන්නවනෙ මේ වැඩ කෙරෙන ක‍්‍රමය...
 
රුවන් ජයසිංහ බොහොම සුහදශීලි අන්දමින් වික‍්‍රමසිංහට කීවේය. වික‍්‍රමසිංහගේ තොරතුරු ලබාදීම සඳහා ෆැක්ස් අංකයක් ද රුවන් ජයසිංහ ඔහුට ලබා දුන්නේය. දින දෙකක් තිස්සේ රුවන් ජයසිංහ සහ වික‍්‍රමසිංහ අතර දුරකථන සංවාද හත අටක් ම පැවැත්විණි. තමන් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ලෙසද රුවන් ජයසිංහ වික‍්‍රමසිංහට ආරාධනා කළේය. වික‍්‍රමසිංහ තමන් සමඟ සම්බන්ධ වී සිටින රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු වූ රුවන් ජයසිංහ පිළිබඳව සොයා බැලූවේය. රේගුවට සම්බන්ධ කීපදෙනකුම කියා සිටියේ රුවන් ජයසිංහ යනු අවංකව රාජකාරි කරන ඉතාම දක්‍ෂ හොඳ නිලධාරියකු බවය.
 
 පසුගිය කාලයේ ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වූ සමනළ සංධ්වනිය චිත‍්‍රපටය මෙන්ම තවත් චිත‍්‍රපට ගණනාවක් සහ ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කර ඇති රුවන් ජයසිංහ කලාවට සම්බන්ධ බොහොම මිත‍්‍රශීලි අයකු බව ද වික‍්‍රමසිංහ දැන ගත්තේය.
 
 ගුවන්තොටුපළේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුවට අදාළ ලිපි ගොනුවක් ද විවෘත කිරීමට කටයුතු කළ වික‍්‍රමසිංහ එළැඹෙන සඳුදා දිනයේ රුවන් ජයසිංහ හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද සැලසුම් කර ගත්තේය.
 
මේ දුරකථන සංවාදය යන අතරතුර සෙනසුරාදා දිනයක් එළැඹුණේය. එදින උදෑසනම රුවන් ජයසිංහගෙන් වික‍්‍රමසිංහට දුරකථන ඇමතුමක් ලැබුණේය. එදින වික‍්‍රමසිංහ සිටියේ නිවසේය. මිස්ටර් වික‍්‍රමසිංහ අපි සඳුදා උදේ 9.00 ට එයාපෝර්ට් එකේදී හම්බවෙමු. වරද්දන්නෙ නැතිව එන්න.. ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුව පිළිබඳව කතා කරන අතරතුර රුවන් ජයසිංහ හිටිහැටියේම මාතෘකාව වෙනස් කළේය.
 
 ‘‘මිස්ටර් වික‍්‍රමසිංහ තව පොඩි දෙයක් කියන්නත් එක්ක මං ඔයාට කතා කළේ. මගේ ළඟ බ්ලැක් ලේබල් විස්කි වගයක් තියෙනවා. මේක හදිසියේම කාට හරි දෙන්න කියලා බැලූවෙ. මේ ටික කාලෙක ඉඳලා මගේ ළඟ තිබුණා. මේවා ගෙවල්වල තියාගෙන ඉන්නත් බැහැ. අඩු ගාණකට දීලා දාන්න බැලූවේ. මේ ටික ගන්න කවුරුහරි ඉන්නවා නම් මට කියන්න..
 
රුවන් ජයසිංහ තමන් සතුව ඇති විස්කි බෝතල් 45 ක් විකිණීමට ඇති බව වික‍්‍රමසිංහට කීවේය. අපටත් විස්කි බෝතල් ටිකක් ඕනෙ කරලා තියෙනවා. දන්නෙ නැද්ද අවුරුද්ද අන්තිම එක එක යාළුවන්ට තෑගි පාර්සල් යවන්න තියෙනවානෙ. වික‍්‍රමසිංහ මේ විස්කි බෝතල් තොගය පිළිබඳව තමන් උනන්දු බව රුවන් ජයසිංහට කීවේය.
 
‘‘එහෙමනම් බෝතලයක් හත්දාහ ගානේ ගන්න. මේවා මටත් තෑගි හම්බවෙච්ච ඒවා. මේක මේ තියාගෙන ඉන්න බැරි නිසා දීලා දාන්නෙ. ලාභයක් ගන්න නෙවෙයි රුවන් ජයසිංහ කීවේය. මේ දිනවල රට පුරා විදේශ මත්පැන් තොගයක් පැවතීම නිසා ඒ මත්පැන්වලට තිබුණේ විශාල ඉල්ලූමක්. ඒ ඉල්ලූම නිසාම විස්කි, බ‍්‍රැන්ඩි මිල නොසිතූ අන්දමින් ඉහළ ගොස් තිබුණේය. බ්ලැක් ලේබල් විස්කි බෝතලයක් රුපියල් 7000 ක් වැනි අඩු මිලකට ලබා ගැනීම විශාල වාසියක් බව සිතූ වික‍්‍රමසිංහ තමන්ට ඒ විස්කි තොගය අවශ්‍ය බව කීවේය.
 
 ‘‘මිස්ටර් ජයසිංහ මට ඒ විස්කි ටික දෙන්න. මම ලබන සඳුදා ඔයාව බලන්න එද්දී සල්ලි අරගෙන එන්නම්...’’
 
 වික‍්‍රමසිංහ රුවන් ජයසිංහට පොරොන්දු වුණේය.
 
 ‘‘සොරි මිස්ටර් වික‍්‍රමසිංහ. සඳුදා වෙනකල් මට මේක තියාගෙන ඉන්න බැහැ. අදම මේ වැඬේ ඉවර කරලා දාන්න. ඔයා කාව හරි එවන්න. මං විස්කි බෝතල් ටික එවන්නම්. අපි මේක ඉවර කරලා දාමු...’’
 
 රුවන් ජයසිංහ කීවේය. අතටම ලැබුණු වාසියට පයින් ගැසීම අපරාධයක් බව සිතූ වික‍්‍රමසිංහ තම රියැදුරු කැඳෙව්වේය.
 
 ‘‘තමුසෙ මේ ලක්‍ෂ තුනහමාර අරගෙන යනවා ඔරුගොඩවත්තෙ කස්ටම් ඔෆිස් එක ළඟ රුවන් ජයසිංහ කියලා මහත්තයෙක් තමුසෙගෙ ෆෝන් එකට කතා කරලා විස්කි බෝතල් ටිකක් දෙයි. ඒක අරගෙන එනවා....’’
 
වික‍්‍රමසිංහ තම රියැදුරුට රුපියල් තුන්ලක්‍ෂ පනස්දහසක මුදලක් ලබා දී විස්කි බෝතල් තොගය රැගෙන එන්නට උපදෙස් දුන්නේය. ඒ වන විට රුවන් ජයසිංහ සහ වික‍්‍රමසිංහ අතර ඉතාම හොඳ මිත‍්‍ර සම්බන්ධතාවක් ගොඩනැඟී තිබුණේය. ඉතාම විනීතව කතාබහ කරන මේ නිලධාරියා පිළිබඳව වික‍්‍රමසිංහට එක අංශු මාත‍්‍රයක හෝ සැකයක් මතුව තිබුණේ නැත. වික‍්‍රමසිංහගේ රියැදුරු එදින දහවල් 1.00 ට පමණ අදාළ මුදල් ද රැගෙන ඔරුගොඩවත්ත රේගු අංගනය ආසන්නයට ගියේය. රුවන් ජයසිංහ රියැදුරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේය.
 
 ‘‘මල්ලී... තමුසෙ කස්ටම් ඔෆිස් එකට යන්න එපා. එතන අය මේක දැක්කොත් හරි නැහැනේ. පාර අයිනේ වාහනේ නතර කරගෙන ඉන්න. මං ගෝලයෙක් එවන්නම්. එයත් එක්ක මේ වැඬේ කරගන්න.’’
 
 රුවන් ජයසිංහ රියැදුරුට උපදෙස් දුන්නේය. විනාඩි කීපයකට පසු සුදු අත් කොට කමිසයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටි තරුණයකු රියැදුරු අසලට ආවේය.
 
 ‘‘රුවන් ජයසිංහ සර්ගේ පණිවිඬේට ආවේ ඔයාද?’’ තරුණයා රියැදුරුගෙන් විමසුවේය.
 
 ‘‘ඔව්.... ඔව්.... සර් මට දැන් කතා කළා. ඔයා එක්ක මේ වැඬේ කරගන්න කිව්වා.’’
 
 රියැදුරු, තරුණයා සමඟ බොහොම සුහදශීලීව සිනාසෙමින් කීවේය.
 
 ‘‘ඔයා මෙතන පැය කාලක් ඉන්න. මට කිව්වා සල්ලි ටික අරගෙන ගිහින් ඔයාට බෝතල් ටික ගෙනත් දෙන්න කියලා.’’ තරුණයා කීවේය. තරුණයාගේ හැසිරීම ගැන රියැදුරුට කිසිදු අවිශ්වාසයක් නැත. ඔහු එකවරම තමන් රැගෙන ආ රුපියල් තුන්ලක්‍ෂ පනස්දහසක මුදල් සහිත පාර්සලය තරුණයා අත තැබුවේය.
 
  ‘‘මම පැය කාලකින් මෙතනට එනවා. බෝතල් ටික කාර් එකේ ඩිකියට දාගන්න පුළුවන්නෙ....ඩිකිය ඇරගෙන ඉන්න. මං එනකල්. තරුණයා රියැදුරුට එසේ පවසා මුදල් ද රැගෙන ඔරුගොඩවත්ත රේගු අංගනය දෙසට ගොස් නොපෙනී ගියේය. විනාඩි 15 ක් ගත වුණේය. තරුණයා පැමිණියේ නැත. පැයක් පැය දෙකක් ගත විය. එහෙත් කිසිදු හෝඩුවාවක් නැත. රියැදුරු වික‍්‍රමසිංහට දුරකථන ඇමතුමක් දුන්නේය.
 
 ‘‘සර්... සල්ලි ටික අරන් ගියා. තාම විස්කි ටික දුන්නෙ නැහැ’’
 
 තව ටිකක් වෙලා බලලා රුවන් ජයසිංහ මහත්තයාට කෝල් එකක් දීලා බලනවා. රාජකාරි රැසක් මැද්දේ සිටි වික‍්‍රමසිංහ තම රියැදුරුට උපදෙස් දුන්නේය. පසුව රියැදුරු රුවන් ජයසිංහට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. එහෙත් ඒ වන විට රුවන් ජයසිංහගේ දුරකථන අංකය ක‍්‍රියා විරහිත කර තිබුණේය. රියැදුරුට දෙලොව රත්වුණේ ඉන් පසුවය. අපේ සර්ලා අහුවුණාද. මට නම් හිතාගන්නත් බැහැ. රියැදුරු මේ පිළිබඳව වික‍්‍රමසිංහට දැනුම් දුන්නේය.
 
 තමුසෙ බෝතල් ගන්න ඉස්සර සල්ලි දුන්නෙ මොකටද? වික‍්‍රමසිංහ රියැදුරුගේ ඇඟට ගොඩවුණේය. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය. තමන් විශාල වංචාවකට හසු වී ඇති බව වික‍්‍රමසිංහට තේරුම් ගොස් තිබුණේය. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට වික‍්‍රමසිංහ කටයුතු කළේ නැත. නැති වු මුදලට වඩා තම ආත්ම ගෞරවය ලොකු බව තේරුම් ගත් වික‍්‍රමසිංහ සිදු වූ පාඩුව විඳදරාගෙන නිහඬව සිටියේය.
 
 වික‍්‍රමසිංහ තම මිතුරකුගේ මාර්ගයෙන් රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයකු වන රුවන් ජයසිංහට මේ පිළිබඳව දැනුම් දුන්නේය.
 
 ‘‘ ඕගොල්ලොත් මේ හොර නඬේට අහුවුණාද. මේ වෙනකොට මං දන්න තරමට විසිපහක් තිහක් විතර පිරිසක් මේ විස්කි බිස්නස් එකට හවුල් වෙලා සල්ලි නැති කරගෙන’’
 
 ඔය ටීම් එක මගෙ නම පාවිච්චි කරල තමයි මේ වංචාව කරන්නේ. ඔයාම මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න. රුවන් ජයසිංහ වික‍්‍රමසිංහට උපදෙස් දුන්නේය. වික‍්‍රමසිංහට විතරක් ලබා දෙන බව කියමින් මුදල් වංචා කළ සිද්ධිය වාර්තාවී දින කීපයකට පසු වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේය.
 
 ඒ කඩවත ප‍්‍රදේශයේ පදිංචි තවත් ව්‍යාපාරිකයකුට මේ ආකාරයටම විස්කි ලබා දීමට පොරොන්දු වී රුපියල් තුන් ලක්‍ෂ විසිදහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි. මේ පැමිණිල්ල ලද වහාම වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයශාන්ත මහතා ක‍්‍රියාත්මක වූයේය. විස්කි ලබා දෙන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා ලක්‍ෂ ගණනින් මුදල් කොල්ලකන සංවිධානාත්මක කල්ලිය පිළිබඳව විමර්ශන ආරම්භ කෙරිණි. මේ සංවිධානාත්මක කණ්ඩායමේ පැටිකිරිය එළියට එන්නට පටන් ගත්තේ ඉන්පසුවය.
 
 රේගු දෙපාර්තමේන්තුවේ රියදුරකු ලෙස කලක් සේවය කළ සුරංග නමැති පුද්ගලයෙකු මේ මහා වංචාවේ මහ මොළකරු බව පොලිසිය සොයා ගත්තේය. රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරයේ සිදුවන සියලූ දේ පිළිබඳව මෙන්ම එහි උසස් නිලධාරීන් පිළිබඳව හොඳ දැනුමක් ඇති සුරංග ඒ දැනුම උපයෝගී කරගෙන මේ මහා වංචාව සිදු කරන්නේ වසර තුන හතරක සිටය.
 
 රේගුවේ සිදු කළ කිසියම් වංචාවක් නිසා සේවයෙන් ඉවත් කර සිටින සුරංග රේගු අධ්‍යක්‍ෂවරයකු වන රුවන් ජයසිංහ මහතාගේ නම පාවිච්චි කරමින් මේ මහා වංචාව කරගෙන ගොස් තිබුණේය. සුරංග සම`ග මේ සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකි. ඔවුන් පිළිබඳවද පොලිසිය තොරතුරු සොයා ගත්තේය. මේ සංවිධානාත්මක කණ්ඩායමේ වංචාවට හසුවී මුදල් අහිමි කරගත් පිරිස කොතෙක් දැයි කිව නොහැකි තරම්ය. ඒ සියලූ දෙනා වංචාවට හසුකරගෙන තිබුණේ ඉතාම අඩු මිලට විස්කි ලබා දෙන බව කියමින්ය. පුවත්පත්වල පල කෙරෙන දැන්වීම් හරහා විවිධ ආයතනවල ප‍්‍රධනියාට දුරකථන ඇමතුම් ලබාදී තමන් රේගු අධ්‍යක්‍ෂවරයකු වන රුවන් ජයසිංහ බව පවසමින් විවිධ කොන්ත‍්‍රාත් ලබා දී සුරංග කටයුතු කර තිබුණේය. ඒ කොන්ත‍්‍රාත් ලබා දීම හරහා එම ආයතනවල ප‍්‍රධානීන් සමග දැඩි විශ්වාසයක් ගොඩන`ගා ගන්නා සුරංග පසුව විස්කි ගණුදෙනුව ඔවුන් වෙත ඉදිරිපත් කරන්නේ කිසිම ආකාරයක සැක සංඛාවක් ඇති නොවන ආකාරයටය.
 
 වරක් මේ ආකාරයට සීසීටීවී කැමරා සවිකරන ආයතනයක හිමිකරුවකුට ඇමතුමක් ලබා දුන් සුරංග සුපුරුදු සෙල්ලම ක‍්‍රියාත්මක කළේය.
 
 කටුනායක ගුවන්තොටුපළේ රේගු අංශය සීසීටීවී කැමරා 100 ක් සවි කිරීමට අවශ්‍ය බව කියමින් ඊට අදාළ කොන්ත‍්‍රාත්තුව මෙම සමාගමට ලබා දීමට රුවන් ජයසිංහ නමින් පෙනී සිටිමින් සුරංග කටයුතු කර තිබුණේය. සීසීටීවී කැමරා සවි කිරීමේ කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් සාකච්ඡා යන අතරතුර විස්කි ගනුදෙනුව එළියට දැමීමට සුරංග කටයුතු කළේය.
 
 රේගුවේ අධ්‍යක්‍ෂවරයකු වන රුවන් ජයසිංහ කෙරෙහි විශ්වාසය තැබූ සීසීටීවී කැමරා ආයතනයේ හිමිකරු විස්කි තොගය අඩු මුදලට මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය. අවසානයේදී ඔහුට සිදුවුණේද වික‍්‍රමසිංහට සිදුවූ දේමය. මේ ආකාරයට රටේ ප‍්‍රධානම පෙළේ භාණ්ඩ ප‍්‍රවාහන සමාගමක හිමිකරුවකු ද ඇන්දවීමට සුරංගට හැකි විය. පුවත්පතක පළ කළ දැන්වීමක් හරහා මේ භාණ්ඩ ප‍්‍රවාහන සමාගමේ හිමිකරුට සුරංග දුරකතනයෙන් කථා කළේය.
 
 මම කස්ටම් එකේ ඩිරෙක්ටර් රුවන් ජයසිංහ අපට කොළඹ වරායේ ඉඳලා කන්ටේනර් 20 ක් ත‍්‍රිකුණාමලය වරායට යවන්න ඕනෙ. අපි ඔයාගෙ කම්පැණියට මේ වැඬේ භාර දෙනවා. රුවන් ජයසිංහ නමින් පෙනී සිටි සුරංග අදාළ කොන්ත‍්‍රාත්තුව භාණ්ඩ ප‍්‍රවාහන සමාගමට භාර දුන්නේය. ඒ අතරතුර විස්කි ගනුදෙනුවද ඉදිරිපත් කළේය. ඉතාම අඩුමිලට විස්කි ලබා ගැනීමට හැකි වීම විශාල ලාභයක් ලෙස සැලකූ භාණ්ඩ ප‍්‍රවාහන සමාගමේ හිමිකරු විස්කි ලබා ගැනීමට මුදල් දුන්නේය. අවසානයේ ඔහුටද සිදුවන්නේ විස්කි සිහිනය බොඳ කරගෙන තම මුදල පිළිබඳ තිබූ ආසාව අත හැර ගැනීමටය. භාණ්ඩ ආනයනය කරන මෙරට ප‍්‍රධාන පෙළේ සමාගමක හිමිකරුවකු ඇන්දවීමටද සුරංග ඇතුළු කල්ලියට හැකිවිය. ඔයා ගෙන්නපු බඩු වගයකට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ. බඩු ආනයනය කරන්න දීපූ ලියකියවිලි සේරම අපට ආයෙත් භාර දෙන්න.
 
 රුවන් ජයසිංහ මහතා ලෙස පෙනී සිටි සුරංග භාණ්ඩ ආනයනය කරන සමාගමේ හිමිකරු මූලින් බියට පත් කළේය. පසුව මේ පරීක්‍ෂණ සඳහා සහනයක් ලබා දෙන බව පවසා ඔහු සමග කුළුපගවූ සුරංග අවසානයේ දී විස්කි ගනුදෙනුව ඔහුටත් ඉදිරිපත් කළේය.
 
 භාණ්ඩ ආනයනය කරන ස්ථානයේ හිමිකරුට රුපියල් ලක්‍ෂ 5 ක මුදලක් අහිමි වන්නේ අඩුමිලට විස්කි ලබා ගැනීමට හැකි සිහිනය බොඳ කර ගනිමින්ය. වසර 3 ක් තිස්සේ සුරංග ඇතුළු මේ හොර නඩය කළ වංචාවන් අවස්ථා කීපයකදීම පොලිස් ස්ථානවලින් කෙළවර වී තිබුණේය. වරක් සුරංග ඇතුළු හොර නඩය කඩවත පොලිසියට කොටු වුණේය. රුපියල් ලක්‍ෂ පහක මුදලක් ලබාගෙන විස්කි බෝතල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේය. අධිකරණයෙන් ඔවුන් ඇප මත මුදා හැර තිබුණේ රුපියල් දෙදහස බැගින් මුදල් ඇප මතය. තවත් වරෙක පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක දොලමුල්ල මහතා ඇතුළු නිලධාරීන් විසින් සුරංග ඇතුළු හොර නඩය කොටු කර ගත්හ.
 
 ඒ බියගම ප‍්‍රදේශයේ සුළු සේවකයන් කුලී පදනම මත ලබා දෙන ආයතනයක හිමිකරුවකු රවටා විස්කි ලබාදෙන බව කියමින් රුපියල් දෙලක්‍ෂ විසිපන් දහසක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.
 
 එවර අධිකරණයට ඉදිරිපත් කළ සුරංග ඇතුළු සැකකරුවන්ට මාස දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරයේ ලගින්නට සිදුව තිබුණේ විස්කි වංචා සිද්ධීන් රැසක් පිළිබඳ චෝදනා ඔවුන් වෙත එල්ල වී තිබූ නිසාය. තවත් අවස්ථාවක මේ හොර නඩය කොටහේන පොලිසියටද කොටු වී තිබුණේය. දිගින් දිගටම පොලිස් අත්අඩංගුවට පත් වුවද අධිකරණවලින් දඬුවම් නියම වුවද සුරංග ඇතුළු හොර නඩය විස්කි ලබා දෙන බව කියමින් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වංචා කරන ජාවාරම නතර කළේ නැත. මෙසේ වංචා කර ලබාගන්නා මුදල්වලින් වැඩි කොටසක් මොවුහු කැසිනෝ ක‍්‍රීඩාවට වැය කළහ. කෑමට, මත්පැන් පානය සහ තවත් නොයෙකුත් දුරාචාර ක‍්‍රියාවන් සඳහා මොවුහු අත දිග හැර මුදල් වියදම් කළහ. වසර ගණනක් තිස්සේ විශාල පිරිසක් රවටමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන් සිදු කළ සුරංග ඇතුළු හොර නඩය ඇනගත්තේ වැල්ලම්පිටිය පොලිසියෙන්ය.
 
 කටුනායක ගුවන් තොටුපළේ ප‍්‍රධාන ගොඩනැ`ගිල්ලේ අතසෝදන සින්ක් සියයක් සවි කිරීම සඳහා එම සින්ක් සපයන ආයතන හිමිකරුට සුරංග කොන්ත‍්‍රාත්තුවක් ලබාදී තිබුණේ රේගු අධ්‍යක්‍ෂ රුවන් ජයසිංහ මහතා නමින් පෙනී සිටිමින්ය. මේ කොන්ත‍්‍රාත්තුව ගැන සාකච්ඡා කරන අතරතුර විස්කි ගනුදෙනුව සුරංග ඉදිරිපත් කරන්නේ කිසිම ආකාරයක සැකයක් මතු නොවන ආකාරයටයි. සුපුරුදු ලෙස විස්කි වංචාව සිදු කළ සුරංග ඇතුළු පිරිස රුපියල් තුන්ලක්‍ෂ විසි දහසක මුදල් බෙදා ගන්නේ හෙට දිනයේද තවත් කිසිවකු හෝ මුලා කර මුදල් ලබා ගැනීම සඳහා සැලසුමක් සකස් කර ගනිමින්ය. එහෙත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ජයශාන්ත මහතාගෙන් සුරංගටත් ඔහුගේ හොර නඩයටත් ගැලවීමක් ලැබුණේ නැත.
 
 කඩවත පොලිසියේ මෙන්ම පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ මේ හොර නඩය පිළිබඳව තිබූ වාර්තා සොයාගත් පොලිසිය සුරංග ඇතුළු සැකකරුවන් ලූහුබඳින්නට විය. වංචාව සිදු වී පැය 24 ක් ගතවන්නනටත් පෙර සුරංග ඇතුළු හොර මුලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයශාන්ත මහතා ඇතුළු නිලධාරීහු සමත් වූහ. සුරංග වත්තල පමුණුගම ප‍්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරුවන් දෙදෙනා වත්තල සහ මහර ප‍්‍රදේශවලින් පොලිස් භාරයට ගනු ලැබීය.
 
 සර්......... මං පපුවේ අමාරු කාරයෙක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ.
 
 සුරංග පොලිස් නිලධාරීන්ගේ අනුකම්පාව ලබා ගන්නට උත්සාහ කළේය. ඒ නිසා ද තමුන් රට වටේ ඉන්න අහිංසක මිනිස්සු රවට්ටලා ලක්‍ෂ ගණන් සල්ලි මංකොල්ල කන්නෙ කස්ටම් එකේ ඉන්න වැදගත් මහත්තයෙක් රුවන් ජයසිංහ කියන්නෙ. ඒ මනුස්සයගෙ කීර්ති නාමය එහෙම පිටින්ම විනාශ කරලා.
 
 සුරංග ඇතුළු හොර නඩය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයශාන්ත මහතා කටයුතු කළේය. අලූත්කඬේ අධිකරණයට ගෙන සිය අවස්ථාවේ සුරංග අධිකරණ ශාලාව තුළ එකවරම ඇදවැටුණේය. ඒ වන විට සුරංගට හදිසි හෘදයාබාධයක් වැලඳී තිබුණේය. පොලිස් නිලධාරීහු සුරංග වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්හ. වසර ගණනක් තිස්සේ සාධාරණ මුදල් ඉපයූ මිනිසුන්ට අසාධාරණ කම් කරමින් මුදල් වංචා කළ සුරංගට මිහිපිටදීම දඬුවම් ලැබුණේය.
 
 ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි සුරංග හෘදයාබාධය උත්සන්න වීමෙන් මිය ගියේය. වසර ගණනක් තිස්සේ සුරංග ඇතුළු හොර නඩය රේගු අධ්‍යක්‍ෂවරයකු වන රුවන් ජයසිංහ මහතාගේ නම පාවිච්චි කරමින් කළ වංචා ප‍්‍රමාණය කොතෙක් දැයි කිව නොහැකි තරම්ය. මේ වංචාකාරයන් නිසා රුවන් ජයසිංහ මහතා දැඩි අපහසුතාවයට පත්ව සිටියේය. රුවන් ජයසිංහ මහතා කෙරෙහි විශ්වාසය තබා විස්කි ලබා ගැනීමට බොහෝ අය මුදල් යොදවා තිබිණි. එහෙත් මේ ආකාරයට වටිනා දේ නොවටිනා ගණන්වලට ලබා දෙන පුද්ගලයන් ගැන මීට වඩා අවධානය යොමු කිරීම ඔබගේද වගකීමක් වන්නේය. එසේ අවධානයෙන් සිටින තාක් කල් මෙවැනි වංචා කාරයන්ට ඔබව හසුකර ගැනීමට නොහැක.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles