Divaina - සෝපානත් කඩා වැටෙනවා මහනුවරම හෙල්ලෙනවාද?... දැනටමත් ගොඩනැගිලි 14ක් අනතුරේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

kandy
 
 සටහන සහ ඡායාරූප
 සමන්තී වීරසේකර
 
මහනුවර නගරාශ‍්‍රිතව දැඩි අවදානම් සහිත ගොඩනැගිලි දහහතරක් ඇති බව සනාථ කරමින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් පත්කළ කමිටු වාර්තාව උණු උණුවේ තිබියදීම පෙරේදා හෙවත් ඔක්තෝබර් නව වැනිදා අලූයම යළිත් පස්මහල් ගොඩනැගිල්ලක තාවකාලික සෝපානය කඩා වැටී ජීවිත දෙකක් බිලි ගත්තේය. ඉන් මිය ගියේ තිදරු පියකු වන උඩුවාවල පදිංචි පනස්හය හැවිරිදි උපාලි ජයරත්න සහ මහනුවර පදිංචි පනස් හතර හැවිරිදි ඒ.එල්. අරවින්ද යන අයය.
 
 මිනිස්සු බොහෝ විට සිතන්නේ තමාගේ සුබසෙතම පමණය. දියුණු වන්නට සිතා කොහොමින් හෝ තට්ටු දෙකක ගොඩනැගිල්ලක් ඉදිකරගන්නා බොහෝ දෙනා, දියුණු වත්ම ඊට තවත් තට්ටු ඈඳා ගනිමින් තමන්ගේ කටයුත්ත හරි යැයි සිතන්නේ ඒ නිසාය. මෙයට ආසන්නතම සිදුවීම පෙරේදා (9දා) දෙදෙනකුට මරු කැඳවමින් මහනුවර ධර්මාශෝක මාවතේ වාසනා ගොඩනැගිල්ලේ විදුලි සෝපානය කඩා වැටීම සහ තිදෙනකුට මරු කැඳවමින් ඉකුත් විසිවැනිදා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ සිදු වූ පස් මහල්
 ගොඩනැගිල්ලක් කඩා වැටීමය.
 
 මෙම ගොඩනැගිලි කඩා වැටීමත් සමඟ අනවසර, ප‍්‍රමිතියෙන් තොර, අනුමත සැලසුමට අනුකූල නොවන මහනුවර ගොඩනැගිලි පිළිබඳ කතාබහක් නිර්මාණය වී තිබේ. අනුමත සැලසුම්වලට පටහැනිවත් අවශ්‍ය නිර්දේශ නොගෙනත් සිදුකර තිබෙන ඉදි කිරීම් මොනවාද යන්න සොයා මෙතෙක් ඒ ගැන සැලකිලිමත් නොවී සිටියේ රාජ්‍ය නිලධාරින්මය. එහෙයින් එවැනි ගොඩනැගිලි මොනවාද යන්න සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසින් ඉංජිනේරුවරු ද ඇතුළුව විසිදෙනෙකු ගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබ තිබිණි. එම කමිටුවට නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර මහ නගර සභාව, ජාතික
 ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව හා සී.ඊ.සී.බී ආයතනය හා වෙනත් අදාළ ආයතන නියෝජනය කරන භූ විද්‍යාඥයින් මෙන්ම ඉංජිනේරුවන් ද ඇතුළත්ව සිටියහ.
 
 ඔවුන් විසින් අධීක්ෂණය කොට සොයා ගත් දත්ත අනුව මහනුවර නගරයේ ගොඩනැගිලි විස්සක් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඉන් දහහතරක් දැඩි අවදානමේ පසුවන බවත් තීරණය කර තිබේ.
 
 මහනුවර නගරය ආශ‍්‍රිතව දැඩි අවදානම් තත්ත්වයේ පවතින දැනට හඳුනා ගත් ගොඩනැගිලි අතර, රජපිහිල්ල මාවතේ නවාතැන්පොල (ගෙස්ට්හවුස්), ලේවැල්ල නිවාස සංකීර්ණය, බහිරවකන්ද ජේ. ඩබ්ලිව්. ඒ. අධ්‍යාපන මධ්‍යස්ථානය, රජපිහිල්ලේ නිවාස සංකීර්ණය, හන්තානේ නිවාස සංකීර්ණය, ගෝතමී බාලිකා විද්‍යාලයේ ප‍්‍රධාන ගොඩනැගිල්ල, හිල්වුඞ් විද්‍යාලයේ රියදුරු නවාතැන, සරණංකර මාවතේ උත්සව ශාලාව සහිත ගොඩනැගිල්ල, ධර්මරාජ විද්‍යාලයේ ගෘහස්ථ ක‍්‍රීඩාංගනය සහ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය, බූවැලිකඩ පුද්ගලික වෙළෙඳ ගොඩනැගිල්ල සහ කොටුගොඩැල්ල වීදියේ සුධර්ම ටෙක්ස්ටයිල් ගොඩනැගිල්ල යන ගොඩනැගිලි දහහතර අවදානම් සහිත බවට මුල්තැන ගෙන තිබේ.
 
පේරාදෙණිය පාරේ විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානය දැඩි අවදානම් තත්ත්වයේද, අවම අවදානම් තත්ත්වයේ ද යන ද්විත්ව අවදානම් සහිත ගොඩනැගිල්ලක් ලෙස හඳුනා ගෙන තිබේ. මහනුවර නගරයේ අවදානම් ගොඩනැගිලි අතර මධ්‍ය අවදානමක් සහිත ගොඩනැගිලි ලෙස හඳුනා ගෙන ඇත්තේ, කටුකැලේ ප‍්‍රින්ස්ටන් අධ්‍යාපන මධ්‍යස්ථානය, ධර්මරාජ විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ල, පේරාදෙණිය පාරේ පුද්ගලික වෙළෙඳ ගොඩනැගිල්ල, පේරාදෙණිය පාරේ ඕර්ක් රේ හෝටලය, කුමුදු මාවතේ ඇබන්ඩොනේඞ් නිවස, පේරාදෙණිය පාරේ ඊසීයූ ගොඩනැගිල්ල ආදිය ය. මහනුවර නගරයේ අවම අවදානම් සහිත නමුත් අවධානය යොමු කළ යුතු ගොඩනැගිලි ලෙස හඳුනා ගෙන ඇති ගොඩනැගිලි වන්නේ, පේරාදෙණිය පාරේ දියවැඩියා මධ්‍යස්ථානය, ප‍්‍රිම්රෝස් ගාඞ්න්ස් හි නිවාස ගොඩනැගිල්ල, යන ගොඩනැගිලිය.
 
 බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ මහනුවර දිස්ත‍්‍රික්කයේ අවදානම් සහිත ස්ථානවල ඉදිකර තිබෙන අස්ථාවර ගොඩනැගිලි පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නිර්දේශ සමඟ ඉහත වාර්තාව සැපයීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් සැප්තැම්බර් විසිහත්වැනි දින පත්කළ කමිටුව මෙසේය.
 
 කමිටුවේ සභාපතිවරයා ලෙස, ඉංජිනේරු ඩබ්ලිව්. එම්. ඒ. වික‍්‍රමසිංහ මහතා කටයුතු කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා ඉදිකිරීම් අංශයේ සභාපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා සමග පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරුන් වන ආචාර්ය එල්. සී. කුරුකුලසූරිය, ආචාර්ය එස්. කේ. නවරත්නරාජා ආචාර්ය කේ. කේ. විජේසුන්දර, ආචාර්ය සමිත් බුද්ධික යන මහත්වරුද, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ආචාර්ය සී. එස්. ලෙවන්ගමගේ මහතා ද, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ආචාර්ය එන්. එච්. ප‍්‍රියංකර මහතා ද, ප‍්‍රාදේශීය ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් වන ඒ. ජී. සමරසිංහ මහතා සහ වයි. එම්. සී. එන්. යාපා මහත්මියද, මධ්‍යම ඉංජිනේරු උපදේශන සභාවේ ඉංජිනේරු සංජීව පෙරේරා මහතා ද, නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් එන්. ඒ. එස්. එන්. නිශ්ශංක, රවී සමරසිංහ මහත්වරුද මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරු පී. බී. අබේකෝන්, ජී. එස්. කේ. ජයසේකර, ඉංජිනේරු බී. එම්. ටී. ජයසිංහ යන මහත්වරුද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සමන්ත බෝගහපිටිය මහතාද ස්වේච්ඡා ඉංජිනේරුවරුන් වන චානක විද්‍යාරත්න, සුජීව දිසානායක, කපිල දසනායක, චන්දන කරුණාපාල යනු මහත්වරු ද ඉංජිනේරු නිර්මලා වික‍්‍රමතන්ත‍්‍රි මහත්මිය සහ ස්වේච්ඡා භූ විද්‍යාඥ ඞී. එච්. විජේවික‍්‍රම යන මහත්වරු කමිටු සාමාජිකයෝ වූහ.
 
 ඔවුන්ගේ අධීක්ෂණය දින දහයක කාලයක් පුරා සිදු කෙරුණු අතර එහිදි අවධානය යොමු වූයේ මේ වන විට අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලිවල පැවැත්ම සම්බන්ධයෙනි. මෙම සියලූම ගොඩනැගිලිවල මේ වන විට පදිංචිව සිටින අතර කිසියම් ව්‍යාපාරයක් සඳහා යොදවා තිබේ. එපමණක් නොව ගොඩනැගිලි කිහිපයක්ම ප‍්‍රසිද්ධ අධ්‍යාපන ආයතන ලෙස දැනටත් පවත්වා ගෙන යන අතර ප‍්‍රධාන පෙළේ පාසල් ද මේ අතර වෙයි. මේ සම්බන්ධයෙන් කමිටුවක් හරහා පර්යේෂණ කරන තුරුම කිසිවෙක් නොදැන සිටියේ නම් එය බරපතළ වරදකි. සමාජයේ ව්‍යසන අතර ගැවසෙමින් රාජ්‍ය නිලධාරීන් මේවන තුරු නිදා සිටියේද යන්න අපට ප‍්‍රශ්න කරන්නට සිතේ.
 
 ගොඩනැගිලි ඉදිකරන සමය යටත්ව වසර දහඅටක් පුරා මහනුවර නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ, චන්දන තෙන්නකෝන් මහතාගේ අදහස වූයේ මෙයය.
 
 ”මහනුවර නගර සීමා බල ප‍්‍රදේශයේ විතරක් මාසයකට ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අයදුම් පත‍්‍ර 100-150 ක් ඉදිරිපත් වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබා දුන්නට පස්සේ ඉංජිනේරු මහත්මයෙකු විසින් අනුමත කරන සැලැස්මක් නගර සභාව මගින් පරීක්ෂා කරලා බලලා අනුමැතිය ලබා දෙනවා. මේ විදිහට අනුමැතිය ලබා ගන්න සමහරු
 ගොඩනැගිල්ලේ ඉදි කිරීම් අවුරුදු ගණනාවක් පුරා කරනවා. මේ ඉදිකිරීම් අනුමත සැලසුමට අනුකූලව වෙනවද කියන එක පරීක්ෂාවට ලක්කිරීමේ හැකියාවක් අපිට නැත්තේ නිලධාරී හිඟය නිසයි. කමිටුව පිහිටුවීමත් මහනුවර නගරයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීමත් අරමුණු කරගනිමින් ආණ්ඩුකාර ශ‍්‍රවනාගාරයේ පැවැති රැස්වීමකදී අදහස් දැක්වූ මහනුවර මහ නගර සභාවේ ප‍්‍රධාන ඉංජිනේරු පාලිත අබේකෝන් මහතා මෙසේ පැවසුවේය. කඩා ඉවත් කිරීමට අධිකරණය මගින් නියෝග ලබාදුන් ගොඩනැගිලි මහනුවර නගර සීමා බලප‍්‍රදේශයේ 256 ක් තිබෙනවා. ඒවා බොහොමයක් තවත් ගොඩනැගිලි සමඟ එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා අනවසර ඉදිකිරීම් කඩා ඉවත්කරන්න ගියොත් ඒකට බද්ධව තිබෙන අනෙක් ගොඩනැගිල්ලට හානි වෙනවා. නගර සභාවේ සැලසුම් කමිටුවක් තිබෙනවා. ඉදිකිරීම්වලට අනුමැතිය ලබාදෙන්නේ හොඳට හොයලා බලලා අදාළ අනිකුත් අනුමැතීන් සම්පූර්ණ කරලා තිබුණොත් විතරයි. සමහර අය සැලසුමට අනුව ගොඩනැගිල්ල හදලා වහලය වෙනුවට ස්ලැබ් එකක් දාලා රූෆ් ටෙරස් එකක් විදිහට ඒක පාවිච්චි කරනවා. ටික කාලයක් ගියාම ඒකේ වටේට බිත්ති බැඳලා වහලයක් ගහගන්නවා. මේ විදිහට තමයි සැලසුමට පිටින් කොටස් එකතුකර ගන්නේ.
 
 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය. මහනුවර බෑවුම් ප‍්‍රදේශවල ඉදි කිරීම් රැසක් දකින්න තිබෙනවා. මේ එක තැනක් විතරයි. විෂය සම්බන්ධ වැඩිදුර ඉගෙන ගෙන විශේෂඥ මට්ටමට පත්ව සිටින අයගේ උපදෙස් පිළිනොගෙන ඇතැම් අය තමන්ගේ හිතු මතේට ඉදි කිරීම් කරනවා. එවැනි වැරදි තීරණ නිසා සමහර අවස්ථාවල වැරදි නොකරන අයටත් දඬුවම් විඳින්න සිදුවෙනවා. යම් ඉදිකිරීමක් කරනවා නම් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය අත්‍යවශ්‍ය බවට නිර්දේශ කළේ මීට අවුරුදු 10 කට කලින්. ඊට පෙර ඉදිකළ ගොඩනැගිලිවලට මේ සහතිකය නැහැ.
 
 අධික බෑවුම් සහිත අවදානම් ස්ථානවල ඉදිකිරීම් කරලා තියෙන අය තමන්ගේ ගොඩනැගිල්ල අවදානම් මට්ටමකද තියෙන්නේ නැද්ද කියලා තාක්ෂණික උපදෙස් ලබා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
 
 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත‍්‍රික් භාර භූ විද්‍යඥ සමන්ත බෝගහපිටිය මහතා මෙසේ පැවසුවේය. රාජ්‍ය ආයතනවලින් මොනතරම් උපදෙස් හා නිර්දේශ ලබා දුන්නත් වැඩක් නැහැ ඉදිකිරීම් කරන අය ඒ නිර්දේශවලට අනුකූලව වැඩ කරන්නේ නැත්නම්. 2011 වසරේ ඉඳන් අපේ ආයතනය මගින් භූමිය පරීක්ෂා කරලා බලලා නිර්දේශ ලබා දෙනවා ඉදි කිරීමක් ආරම්භ කරන්න කලින්. ඒක වාචිකව මෙන්ම ලිඛිතවත් දෙනවා. ඒත් මේවා පැත්තකට දාලා තමන්ට ඕන විදිහට ඉදිකිරීම් කරලා තියෙන ස්ථාන අපට නිරීක්ෂණය වෙනවා. මහනුවර ගත්තොත් එවැනි ගොඩනැගිලි රැසක් තිබෙනවා. මිනිස්සු මේ විදිහට වැඩකරලා තමන්ගේ ජීවිත වගේම අනිත් අයගේ ජීවිතත් අනතුරට ලක්කරනවා. මම කියන්නේ තමන් පවුලත් එක්ක ජීවත් වන ස්ථානය, ජීවිතයේ වැඩිම කාලයක් ගතකරන්න හිතාගෙන ඉන්න තැන වඩා ශක්තිමත්ව, නියම ප‍්‍රමිතියක් ඇතිව, සැලසුම්වලට අනුකූලව
 ගොඩනගන්න කියලයි. කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ගත්තොත් ඒක පිහිටලා තියෙන්නේ නිම්නයක. මේකේ බර කණුවලට දරාගන්න බැරුව තමයි කඩා වැටී තිබෙන්නේ. නාය යෑමක ලක්ෂණ එහි දක්නට ලැබෙන්නේ නැහැ.
 
 මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර අවදානම් සහ අනවසර ගොඩනැගිලි සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ කීවේය. මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් බොහොමයක් දක්නට ලැබෙනවා. පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පස්සේ අවදානම් ගොඩනැගිලි ගැන ජනතාවගෙන් නොයෙකුත් පැමිණිලි එනවා. මට පෙත්සම් රැසක් මේ දින කිහිපයේදී අවා. නගරයේ ඉඳලා හන්තාන පැත්ත බැලූවම එල්ලෙන ගොඩනැගිලි පේනන තියෙනවා. මේවාට අනුමැතිය ලබාගෙන තියෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. මහනුවර නගරයේ තියෙන අනවසර හා අවදානම් ගොඩනැගිලි සම්බන්ධව අපි පරීක්ෂණයක් කරනවා. මහනුවර නගර සභාවට, නාගරික සංවර්ධන අධිකාරියට, භූ විද්‍යා හා පතල් කාර්යාංශයට, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න උපදෙස් ලබාදී තිබෙනවා. මේ ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන අය වගේම අවසර ගන්න අයත් අවංක වෙන්න ඕන. අවසර දෙන අය වැරැද්දක් කළත් අවසර ගන්න අය වැරැද්දක් කළත් දෙකෙන්ම වෙන්නේ හානියක්. මේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීම අපිට හොඳ පූර්වාදර්ශයක්. මින් ඉදිරියට හෝ මේ වගේ අවාසනාවන්ත දේවල් සිදු නොවන්න අපි වගබලාගන්න ඕන. මේ වන විට අපට කමිටුවේ වාර්තාව ලැබී තිබෙනවා. එහි සඳහන් වන ගොඩනැගිලි සම්බන්ධයෙන් අපි ඉදිරි සතියේ පුළුල් ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මා මෙහි අයිතිකරුවන් සියල්ලක්ම කැඳවා තිබෙනවා. පුළුල් ලෙස සාකච්ඡා කරමින් නිසි පියවර ගැනීම සඳහා.
 
 මහනුවර නගර සීමා බල ප‍්‍රදේශයේ පර්චසයක මිල රුපියල් ලක්ෂ පනහ හැට ඉක්මවයි. එවැනි මුදලකට ද මිලට ගැනීමට හිස් ඉඩම් කැබැල්ලක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයන්නාක් මෙන් දුෂ්කරය. මේ නිසා නගරයේ ව්‍යාපාරිකයින් කරන්නේ තිබෙන ගොඩනැගිලි අනුමත සැලසුම්වලට පිටින් අහස උසට ගෙන යෑමය. හන්තාන, ප‍්‍රිම්රෝස්, බූවැලිකඩ, වේල්ස් පාක් ආදි ප‍්‍රදේශවල ගොඩනැගිලි ඉහළට ඉදි කරනු ලබන්නේ හරිත පැහැයෙන් යුත් සුන්දර කඳු දර්ශන ඉහළ මහලට හසුකර ගැනීමටය. මේ ආකාරයට ඉහළට එසවෙන ගොඩනැගිලි බොහොමයක් එම ගමන යන්නේ අනුමත සැලසුම්වලට පිටිනි. ඒවාහි ප‍්‍රතිවිපාක ඇතැම් විට අත්විඳින්නට සිදුවන්නේ එම ක‍්‍රියාවන්ට කිසිසේත් සම්බන්ධ නොමැති අයටය. මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අහිංසක පවුලක් පමණක් නොව, ධර්මාශෝක මාවතේ පස්මහල් ගොඩනැගිල්ලේ තාවකාලික සෝපානය කඩා වැටී දෙදෙනකුට අකාලයේ මරු වැළඳ ගන්නට සිදු වූයේද ඒ නිසාය. 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles